Menu Close

මහගම සේකරගේ නිර්මාණ ප්‍රතිභාව ගැන ආවර්ජනයක්

කවිය, ගීතය, සාහිත්‍යය, චිත්‍රකලාව, සිනමාව ආදි විවිධ කලා මාධ්‍යවල සිය ප්‍රතිභාව පළ කළ, ශ්‍රී ලංකාවේ අසම සම කලාවේදියා වූ මහගම සේකරගේ 93 වැනි ජන්ම සංවත්සරය අදට යෙදී ඇත. සේකරගේ කලා කුසලතාව මුල සිට ම දුටු පත්‍රකලාවේදී විශිෂ්ටයකු වූ සිළුමිණ විශේෂාංග කර්තෘ බෙනඩික්ට් දොඩම්පෙගම ඔහු ජීවත්ව සිටිය දී සේකර අගය කළ අයුරු මේ ලිපියෙන් හෙළි වෙයි. 

මහගම සේකරගේ කල්පනා ලෝකය බන්දු එස්. කොඩිකාර දුටු හැටි

බෙනඩික්ට් දොඩම්පෙගම දුටු මහගම සේකර 

මට මහගම සේකරයන් හමු වූයේ මා ‘නවයුගය’, ‘සරසවිය’ හා ‘සිළුමිණ’ පුවත්පත්වල කර්තෘ මණ්ඩල වල සේවය කරමින් සිටියදීය. අප සමග සේවය කළ ඒ. ඩී. රන්ජිත් කුමාර, සේකරගේ මුල්ම කෙටිකතාව නවයුගයේ පළ කරන්නට රැගෙන ආවේ ඒ කාලයේය. සේකරගේ ඇසුර ප්‍රිය කළ ලොකු ම සහෘදයා සිටියේ සිළුමිණේ ය. ඒ අද අප අතර නැති බෙනඩික්ට් දොඩම්පෙගමය. එවකට ‘සිළුමිණ’ විශේෂාංග කතුවරයා වූ බෙනඩික්ට් දොඩම්පෙගම හමුවන්නට සේකර ඉඳහිට සෙනසුරාදා දිනයක සිළුමිණට එයි. එසේ එන්නේ බත් ‍‌ගෙඩියක් නොව කොස් ගෙඩියක් (කොස් තැම්බූ පාර්සලයක්) රැගෙන ය. සිළුමිණේ සහෘදයන් හා එක්ව එහි රස බලමින් බොහෝ වේලාවක් කතා කරමින් හිඳ සේකර නික්ම ගිය ද ඔහු බෙනඩික්ට් වෙතින් ඉවත්ව යන්නේ තවත් සෑහෙන වේලාවකට පසුව ය. 

එතැන් සිට බෙනඩික්ට්, සේකරගේ කවි රස විඳින්නට පටන් ගනියි. “කවද හරි සේකර ලංකාවේ අංක එකේ කවියා වෙනවා. ගීත රචකයා වෙනවා.” ඔහු ඒ හැමදාමත් කියයි. පැයක් පමණ දිගට ඇදී යන ඒ සංවාදයේ දී බෙනඩික්ට් උපුටා දක්වන්නට යෙදුණු කවි සියල්ලම මට මතක නැතත් එයින් කීපයක් මගේ සිතේ තදින් ඇඳී තිබේ. 

බෙනඩික්ට් දොඩම්පෙගම හැමවිටම අනෙක් සියලුම පත්‍ර කලාවේදීන්ට වඩා නිර්මාණයක රුව ගුණ හඳුනා ගැනීමට දක්ෂය. ඔහු සේකරගේ දක්ෂතා ඇගයීමක් කළේ මෙසේ ය. 

සේකරගේ ‘බෝඩිම’ කාව්‍ය සංග්‍රහය නිකුත් වූ විගස එහි පිටපතක් ගෙන ආ ඔහු අප සමඟ එහි කවි රස විඳි අන්දම අපේ මතකයට නැඟේ. එහි ආ ‘හඳ සහ නිව්යෝර්ක් නුවර’ කවි පන්තිය රස කර කියූ ඔහු එහි අවසාන කොටස ගැන සඳහන් කළේ නිව්යෝර්ක් නගරයේ මහල් නිවාසයක කාමරයෙන් සේකර දුටු හඳ ගැන කියවෙන අවසාන කොටසට වැඩි අවධානයක් යොමු කරමිනි. 

දිලිහි දිලිහි ආකාසේ 
රන් පිඟාන සේ 
හඳ, 
මා දන්නා අඳුනන 
අපේ ගමේ වෙල් එළියට පායන හඳ 
පෝය දාට බෝමළුවට පායන හඳ 

(බෝඩිම, 49 පිටුව) 

“කවිය නිර්මාණකරුවකුට සවිමත් අවියකි. එමගින් දිගු ලිපියකින් කිව හැකි දෙයක් වදන් කීපයකින් තියුණු ලෙස පැවසිය හැකිය.” 

1971 දී තරුණ පරපුර රජයට එරෙහිව කරැල්ලක් ගැසීය. එය සේකරයන් දුටුවේ මෙසේ ය. ‘හෙට ඉරක් පායයි’ නම් පද්‍ය සංග්‍රහයේ එන මේ කවිය පළ කර ඇත්තේ අංක 71. යටතේ ය. එය 71 කැරැල්ල සිහිපත් කරයි. ඊළඟට බෙනඩික්ට් සේකරගේ ‘හෙට ඉරක් පායයි’ කාව්‍ය සංග්‍රහයේ ආ ඒ කවිය මෙසේ සිහිපත් කළේය. 

71. 
‘කියනු මැන මට 
මේ තරම්….. 
මේ තරම් දුකකින් ද 
ඔබ වාගේ තරුණයන් 
හැමවිටම සිටින්නේ?’ 
එසේය මැතිනිය! 
විශේෂයෙන් ඔහු හුඟක් තරුණ විට 
යම්කිසි හැකියාවකුත් තිබෙන විට. 

 (හෙට ඉරක් පායයි, පිට 103) 

තරුණ අසහනය පිළිබඳ ලිපි දහසකින් කියන දෑ සේකරගේ මේ වචන කීපය තුළ ගැබ්ව තිබේ. පසුව බලයට පැමිණි ප්‍රේමදාස ජනාධිපතිවරයා කොමිසමක් පත් කොට සොයා ගත් දේ සේකරගේ ඒ වචන කීපය තුළ ගැබ්ව ඇති බව ඒ වාර්තාව කියවූවකුට අමුතුවෙන් පහදා දිය යුතු නොවේ. 

සේකරගේ රචනා ශෛලිය ආකර්ෂණීයය. ඔහුගේ ‘තුං මං හංදිය’ නවකතාවේ එන මේ ඡේදය ද බෙනඩික්ට් නිතර සිහිපත් කළ එකකි. 

“පුංචි දවස්වල බබාට ලිංග බේදයක් නැත. පොදුවේ කාටත් බබා කියති. බබා ලොකු වූ විට ගැහැනියක් නම් බබා නෝනා වෙයි. පිරිමියෙක් නම් බබා සිංඤෝ වෙයි. බේබි හා උක්කුං ද එසේමය. බේබි නෝනා, බේබි සිංඤෝ, බේබි මහත්තයා, උක්කුං නෝනා, උක්කුං සිංඤෝ, උක්කුං මහත්තයා. ගමේදි මොන නම කිව්වත් ඉස්කෝලෙදි නම අඬගහන්නෙ නියම නමෙන් කතා කරලයි.” (තුංමංහංදිය, 5 වන පිටුව.) 

මහගමගේ නිර්මාණ කීපයක් සමගම

“නිර්මාණයක් දේශීය සාම්ප්‍රදායට එකඟ වන්නේ නිර්මාපකයාගේ දේශීයත්වය අනුවය. සිංහලයකු ලෙස සිතන පතන, සිංහල භාෂා සාහිත්‍යාදියෙහි දැනුම ඇති, සිංහල පොළොවේ පිහිටි පා ඇති අයකු යමක් ලියූ විට එය ඉබේ ම දේශීය සාම්ප්‍රදායට එකඟ වෙයි. පිටින් ගත් ආකෘතියක් වුවද ඔහුගේ බලපෑම නිසා දේශීය මුහුණුවරක් ගනියි. සාගර, ඉලව්, බයිසිකල් වැනි වචන අපට පිටින් ලැබුණු ඒවායි. අප ඒ වචන වහරන්නේ සාගරය, සාගර‍යේ, බයිසිකලයෙන්, බයිසිකලයට ආදී වශයෙන් දේශීය සම්ප්‍රදායට ගැළපෙන පරිදි සකස් කර ගැනී‌මෙනි. එය අප සිතා මතා කළ දෙයක් නොවේ. ගතින් සිතින් දේශීය වූවන් අතින් ඉබේ ම සිදු වූවකි.” මහගම සේකරයන් සිය ‘රාජතිලක, ලයනල් සහ ප්‍රියන්ත’ නම් කෘතියේ පෙරවදනේ දක්වා ඇති ඒ අදහස ඔහුගේ නිර්මාණයන්ගෙන් මොනවට පැහැදිලි වෙයි. 

ගුරුදෙවි රවීන්ද්‍රනාත් තාගෝර්ගේ ‘ගීතාංජලී’ කාව්‍යයේ 37 වැනි කවිය මහගම සේකරයන් සිංහලයේ සුභාවිත ගීතයක් බවට පත් කර ගෙන ඇති සැටි බලන්න. 

පටු අදහස් නම් පවුරින් ලෝකය කැබලිවලට නොබෙදී 
ඥානය නිවහල් වී 
බියෙන් තොරව හිස කෙළින් තබා ගෙන 
සිටිනට හැකි කොහිදෝ 
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට 
මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ!
සත්‍යය පතුළින් ගලනා 
පිරිසිදු වචන කොහිද ඇත්තේ 
ගතානුගතිකව පැවතෙන සිරිතේ 
මරු කතරට වැදිලා 
නිර්මල ජලධාරව තර්කයේ 
සිඳී ගිලිී නොගියේ 
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට 
මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ 
පසුනොබසින වීරිය පිරිපුන් බව
දෙසට දෑත විහිදා 
සදා දියුණු වන සිතුවිලි උදෙසා 
යුතුකම් කටයුතු උදෙසා 
ඉදිරිය වෙත ඔබ මා සිත යොමවා 
ඇත්තේ කොතැනකදෝ 
ඒ වූ නිදහසේ ස්වර්ග රාජ්‍යයට 
මාගේ දේශය අවදිකරනු මැන පියාණනේ 

මෙහි ඇතුළත් අදහස් ගීතාංජලියේ එන තාගෝරයන්ගේ මුල් ගීයේ අදහස්වලට සමාන වුවත් මෙහි පද ගැළපීම අතින් කෙතරම් උසස් එකක් ද යත් මෙය අපේ ම ගීයක් බවට පත් වී තිබේ. 

මෙය තාගෝරයන්ගේ මුල් කවියටත් වඩා රසවත් යැයි කියන බෙනඩික්ට් එය අපේ ජාතික ගීය වෙනුවට වුවද යොදා ගත හැකි යැයි අප සමඟ අවධාරණය කළේ ය. 

සාම්ප්‍රදායික පබාවතී කතාව තුළින් වර්තමාන ලෝකයේ සමාජ ආර්ථික රටාව සේකරයන් සියුම් ලෙස මතු කරන්නේ මෙසේ ය. 

කුස! 
දමාපන් 
උ‍ඹේ ඔය වීනාව පැත්තකට 
අත් ඇරපන් 
ඔය මූර්ති ශිල්පය 
පබවතියට 
කලාවෙන් වැඩක් නැත 
ගනින් අතට වංක මැණික 
එක් රැස්කර ගනින් බලය 
පිළිමලුන්ගෙ එඩි මඩින්න 
එවිට ඒවි 
පබාවතී 
උඹ ඉන්නා තැන හොයාන 
උඹේ දැවුණු මුහුණ 
ඇයට 
එතකොට ලස්සනක් වේවි 

(හෙට ඉරක් පායයි = පිට 22) 

එහි කුස පබාවතී කතාවෙහි අටවක් මැණිකෙන් තනා ගෙන ඇති ‘වංක’ මැණික ඔහුගේ භාෂා කුසලතාව මනාව පෙන්වයි. 

බෙනඩික්ට් හැමවිටම සේකරගේ නිර්මාණශීලීත්වයේ හැම පැතිකඩක් ම දැක්කේ ය. 

සේකර ලේක්හවුසියට ආ හැම විට ම සිළුමිණටත්, නවයුගයටත්, සරසවියටත් ගියේය. එසේ ගොස් තමා සිත්ගත් හැම දෙනකුම පාහේ හමු වී කතාබස් කර යාම ඔහුගේ සිරිතය. එසේ ආ විටෙක ඔහු සරසවිය කතු මඬුල්ලේ සෝමවීර සේනානායකගේ මේසය ළඟ වාඩි වී සිටිය දී සරසවිය ඡායාරූප ශිල්පී බන්දු එස්. කොඩිකාර, ඔහුට හොරෙන් ඔහුගේ පින්තූරයක් ගත්තේ ය. මේ ලිපිය මුලට යොදා ගෙන ඇත්තේ ඔහුගේ ඒ ඡායාරූපයයි. 

– පර්සි ජයමාන්න 

(මේ ලිපිය 2016 අප්‍රේල් 7 වැනි දා සංස්කෘතික කටයුතු දෙපාර්තමේන්තුව සංවිධානය කළ, ශ්‍රී ලංකා පදනම් ආයතනයේ දී පවත්වන ලද, ‘මහගම සේකර 87 වැනි ජන්ම දින සමරුව’ නිමිත්තෙන් නිකුත් කෙරුණු ‘සේකර සමර’ සමරු කලාපයෙන් උපුටා ගන්නා ලද්දකි.) 

පසු සටහන – මහ ගමගේ ජෝන් අප්පුහාමි සහ රණවක ආරච්චිගේ රොසලින්ගේ දරුවකු ලෙස 1929 අප්‍රේල් 7 වැනිදා උපන් මහ ගමගේ සමරසේකර හෙවත් මහගම සේකර විවාහ වූයේ කුසුමලතා සුරවීර සමඟය. සිනමාව, චිත්‍ර කලාව, නවකතාව, කෙටි කතාව, ගීතය, කවිය ආදී විෂය ක්ෂේත්‍ර ගණනාවක් හරහා සිය ප්‍රතිභාව විහිදුවා ලූ මහගම සේකර වසර 47ක ආයු කාලයක් විඳ 1976 ජනවාරි 14 වැනිදා හදිසියේ ඇති වූ හෘදයාබාධයකින් අභාවප්‍රාප්ත විය. ඒ අදින් වසර 46කට පෙරය. දිවි ගෙවූ 47 වසරක කාලය තුළ ඔහු දැක්වූ නිර්මාණ පෙළහර අනභිභවනීයය.