Menu Close

අවසානයක් නොවේ – 19 කොටස…

…කෙඳි වළාකුළු ස්තරය පසා කරගෙන ඉහළට නැඟුනු ළිහිණියා, ආපිට හැරී හිස පහතට ලාගෙන පියාපත් අකුළා ගත්තෙන්, ඉහළ සිට පහතට වැටෙන කාලතුවක්කු උණ්ඩයක් සේ වේගයෙන් පහළට එන්නට ගත්තේ ය. 

පළමුවෙනි කොටස

තුන්වෙනි කොටස

දහ අට වන කොටස

නාවිකයා කරගන්නට යන අනතුරේ තරම මැන ගැනීමට දුර්ගා විල ආසන්නයේ වූ උසැති ගල් කුළක ට නැග ගත්තා ය. කුරුල්ලා පහතට එන වේගය අනුව තවත් තත්පර කිහිපයකින් පොළොවට ආසන්න වනු ඇත. කුරුඳු ළිහිණියාගේ සූක්ෂ්ම සංවේදනයන් සහ බුද්ධිය ගැන කොතෙක් පැහැදිළි කළ ද, ඒ සියල්ල නොතකා හුදෙක් වීරත්වය පසුපස යාම නෝර්ඩික් ජාතියට ආවේණික ලක්ෂණයක් වන්නට ඇත.

සුළඟ හා පොර බදන දැවැන්ත පිහාටු අස්සෙන් නැඟෙන සට සට හඬ… හිස කෙස් අතරින් වේගයෙන් හමා යන සුළං රැල්ලෙන් නැඟෙන සියුම් හූ හඬ… පොළොවට ලම්බක වූ කුරුල්ලාගේ බඳ මතින්, පහතට විසි නොවී සිටීමට නාවිකයාහට සෑහෙන වෙහෙසක් දැරීමට සිදු විය. ඇඩම් සිය දෙපය ළිහිණියාගේ උරහිස් වටා ඔතාගන්නට තැත් කරද්දී එක් වරම ළිහිණියා පියාපත් දිග හැර, ඇසිල්ලකින් නැවත අකුලාගත්තේ ය. එයින් එක් මොහොතකට ඔවුන් දෙදෙනා වේගයෙන් ගැස්සුණි. නාවුකයාගේ දෙපයේ ග්‍රහණය ලිහිල් වී, ඔහු දැවැන්ත කුරුල්ලාගේ හිසට උඩින් පහතට වැටුණේ ඒ ගැස්මේ බලපෑමෙනි. යුරෝපීයයාගේ මුහුණ තත්පර කිහිපයකට කුරුඳු ළිහිණියාගේ හොට ට අඟල් කීපයක් ආසන්නයෙන් පහළට යද්දී, උගේ ලොකු ඇස්වල සටහන් වූ මාරාත්මක නපුරුකම ඔහු ට මනාව දැක ගත හැකි විය.

එහෙත් ඩ්‍රේක් සිය දෑතේ ග්‍රහණය අත් හළේ නැත. තම හිස වටා තදවුණු වැල් පොටේ එල්ලී සිටින මිනිසා හට තියුණු හොටයෙන් අනින්නට කුරුඳු ළිහිණියා කිහිප විටක් ම තැත් කළේ ය. කොයි මොහොතේ හෝ ඌ ගේ වෑයම සාර්ථක වනු ඇති බව ඇඩම් පසක් කළේ ය.

“අතෑරලා පනින්ටෝ…!” දෑත් විහිදා සිය මුව දෙපසින් තබාගත් දුර්ගා කෑ ගෑවා ය. ඒ කෑගැසීම වඩාත් ම හොඳින් ඇසුණේ කුරුඳු ළිහිණියාට බව පෙනුනේය. ඌ සිය පියාපත් විහිදුවාගනිමින් හිස ඔසවා, මුහුණ පහතට යොමාගති. එයින් උගේ සිරුර පොළොවට සමාන්තර පිහිටුමකට පැමිණ, උගේ දෙපය ඉදිරියට යොමු විය. දෙපයේ ඇඟිලි විහිදුවාගත් විට කිණිසි මෙන් උල් වූ නියපොතු තුඩු අවර දිගට යොමු වූ හිරුගේ රැසින් දිළිසෙනු දුර්ගා දුටුවා ය. දැවැන්ත පක්ෂියා, එතෙක් නිදැල්ලේ පහතට වැටෙමින් තිබූ පොළොවට ලම්බක ගමන් මඟ මඳක් වෙනස් කර ඈ සිටි ගල් කුළ වෙත ට අත්තටු ගසමින් පහත් වන්නට වූූයේ සිය ගමන් වේගය අඩාල කර නොගනිමිනි.

කුරුඳු ළිහිණියාගේ හොටයෙන් ගැළවුණ ද, නිය පහුරට හසු වීම නියත බව දුටු ඇඩම්, වැල්පට පද්දා අතහැර, පසුපසට පැන්නේ ය. ඒ පිනුමේ ඉළක්කයක් නොවී ය. ඔහු වැටුණේ දුර්ගා නැග සිටි ගල් කුළත්, විලත් අතර පැතිරි වටකුරු ගල් ගොඩ ට ය. ළය පිරෙන සේ හුස්මක් ගත් තරුණිය, වැටෙමින් සිටි නාවිකයා ඉළක්ක කරගෙන ඉදිරියට පැන්නා ය. ඇගේ දෙ අත ඇඩම් ගේ සිරුර වටා වෙළී යත්ම, දෙ දෙනා ම විලෙහි ජල කඳ මතට වැටී, සැණෙකින් පතුළට ම කිඳී ගිය හ. 

දෙපා වකුටු කරගත් දුර්ගා, සිය දෑතින් ඇඩම් තරයේ සිය සිරුරට තද කරගෙන, ජලයේ උඩුකුරු තෙරපුම විසින් සිය සිරුරු විල් දිය මතුපිට ට ඉල්පීම වළක්වා ගත්තා ය. උඩ බැලූ යුරෝපීයයා දුටුවේ පක්ෂියාගේ පියාපත් සැළීම මගින් සිය හිස ට ඉහළින් වූ විල් දිය තළය රැළි නැඟෙන ආකාරය යි. 

නාවිකයෙකු ලෙස ලද හුරුව නිසා ඇඩම් හට හුස්ම අල්ලා දිය යට විනාඩි දෙකක් – තුනක් පමණ සිටිය හැකි විය. සිතෙහි වූ කළබලය පහව යද්දී, තමා වැළඳගෙන සිටි ස්ත්‍රියගේ සුමුදු, සුනම්‍ය හා පිරිපුන් ස්පර්ෂය විසින් ඔහු තුළ සුරක්ෂිත හැඟීමක් ඇති කළේ ය. තමන් ද ඇගේ බඳ වටා දෑත් යවා ඈ තුරුළු කරගෙන සිටි බව නාවුකයා හට පසක්වූයේ දුර්ගා තම දෑත් ලිහිල් කර, ඔහුගේ සිරුරෙන් ඈත්වන්නට තැත් කරද්දී ය.

විලෙහි ජල තළය මතුපිට වට කිහිපයක් පියාසර කළ කුරුඳු ළිහිණියා විල ඉවුරේ වූ ගලක් මත ලැගගත්තේ ය. පෙනහළු තුළ වූ අවසන් ඔක්සිජන් ස්වල්පය වැය වී ගිය පසු, වීරයන් දෙදෙනා හට දිය මතුපිටට එන්නට සිදු වනු ඇත.

උඩ බලාගත්වන ම අවසන් හුස්ම පොද ද පිට කළ ඇඩම් දුර්ගා දෙස බැලී ය. ඇගේ කළු පැහැ කෙස් කළඹ ඈ පිටුපසින් වළාකුළක් මෙන් විහිදී ගොස් තිබුණි. ඇඳ සිටි දිවි සම ද දියෙහි පාවෙමින් තිබුණෙන්, දිය තලයෙන් පහළට පෙරී ආ හිරු රැසින් ඇගේ සිරුරේ ලාලිත්‍යවත් සුන්දරත්වය ඔහු දුටුවේ ය. ඒ සමඟ ම නාවුකයාගේ හුස්ම හිර වන බව තරුණිය ට පෙනුණි. උඩ බැලූ ඇඩම්, විල ඉවුරෙහි වූ දැවැන්ත ගලක් යට වූ පටු ඉඩකඩ ඉළක්ක කරගනිමින් ඉහළට ඇදී යන්නට පටන් ගත්තේ ය. වහා ඔහු වෙත පිහිණූ දුර්ගා, සිය දෑත් ඔහුගේ උරහිස වටා යවා, ඔහු අල්ලාගත්තා ය. ඈ දෙස බැලූ ඇඩම්, ඇගේ මුව තම තොල් මත තෙරපෙනු හැඟීය. ඈ දෙතොල් සහ දිවග මඟින් ඔහුගේ තොල් යාන්තමින් විවර කරගනිත්ම, ඇගේ මුවෙහි සිට සිහිල් පිරිසිදු වාතය සිය මුව හරහා ඇදී ගොස් පෙනහළු පිරී යනු නාවුකයාට දැනිණ. තප්පර කිහිපයක් ඇතුළත ඔහුගේ පපු කුහරය සම්පූර්ණයෙන් පිරවූ තරුණිය නැවත ද ඔහුගේ තුරුළින් මිදී ඈත් වූවා ය. ඈ පසුපසට යද්දී ඇගේ දිගු හිස‌කෙස් ඇගේ මුහුණ දෙපසින් ඉදිරියට පාවී ආයේ ය. කෙස් කළඹ අතරින් ඔහුගේ විස්මයපත් දෑස් දුටු ඇගේ මුව සහ දෑස් මඳ සිනහවකින් රැළි වැටිණ…

https://t4.ftcdn.net/jpg/00/03/70/45/360_F_3704520_Kb6CjkW2hyaEsuCFLBwUNJ79zdW35bdF.jpg

ගෙළ සිර කරන ලද බළලෙකුගෙන් නැඟෙන අන්දමේ මරහඬළෑමක් ඈතින් ඇසුණේ ය. ශබ්දය ආ දිශාව වටහාගන්නට මෙන් හිස ඒ මේ අත හැරවූ කුරුඳු ළිහිණියා, ලැග සිටි තැනින් ඉවතට පියාඹා ගියේ එක් වරම ය. 

ඉහළට යමු යැයි අතින් සංඥා කරමින් දුර්ගා දෙපා වනමින් බුහුටි ලෙස විල් දිය  මතුපිටට ආවාය. ඈ පසුපසින් ඉහළට ආ ඇඩම්, සිය හිස දියෙන් මතු වෙත්ම දිගු ප්‍රාශ්වාසයක් කළේ සැහෙන තරම් හඩක් නඟමිනි. විල් ඉවුර වෙත පිහිනා ගිය දෙදෙන දියෙන් ගොඩට එද්දී, කුරුම්බර වන සීමාවේ සිට ඔවුන් වෙත දිව ආයේ ය.

දුර්ගා දකුණැලයට නැවී, සිය තෙත්බර කෙස් වැටිය මිරිකා හරිමින් ඇඩම් දෙස බැලුවා ය. “ඔයා ට අමාරුද?” 

“ඒ තරම් ගැටළුවක් නෑ” සිය පාදයේ වේදනාව සඟවාගැනීමට තැත් කරමින් යුරෝපියයා ඈ වෙත සෙමෙන් පිය නැඟීය.

කුරුම්බර හති අරිමින් ඔවුන් සිටි තැනට ළඟා විය. “ඔන්න තාරා උත්තමාවි අපේ වැඩේ හරි. ගැල් දෙකකට ඇතිවෙන්න කුරුඳු පොලු හම්බවුණා. එයිට වැඩියත් හොයාගන්න තිබුණා… කොහෙද? අපේ කොල්ලො ටික වශී වෙලා වගේ මේ ඇත්තො කුරුල්ල පිටේ යන හැටි බලාගෙන උන්නනෙ…”

“කුරුල්ල පිටේ තමා… තව ඩිංගෙන් කෑලි ටිකවත් අපට ආපහු කන්ද උඩරටට ගෙනියන්න වෙන්නෙ නෑ…” දුර්ගා මඳසිනහවක් පාමින් නෙත් කොණින් ඇඩම් දෙස බැලුවා ය. “වෙලාවට තව කුරුඳු ළිහිණියෙක් කෑ ගැහුවා. නැත්නම් අපි අද රෑ වෙනතුරු මේ විල පතුළෙ.”

“ඒ කෑගැහුවෙ මම.” කුරුම්බර සිනාසුනේ ය. “පිරිමි කුරුඳු ළිහිණියො, බල්ලො වගේ තමන්ගෙ සීමාව රැකගන්න මහන්සි වෙනවා. හොඳවෙලාවට ඌ රැවටුණා මගෙ සද්දෙට…”

   *    *    *

ශෛලමය බිත්ති වලින් සැදුණු ශාලාව මැද, එළන ලද පළස මත මිත්‍ර, සුමන සහ ඉන්ද්‍ර වීරාසනයෙන් වාඩි වී සිටියහ. ඔවුන් ඉදිරියේ වූ සුමට ගල් බිත්තිය මත කළු පැහැයට ඉතාම ආසන්න කොළ පැහැති උකු දියරයක් ආලේප කර තිබිණි. බිත්තිය සහ පළස අතර විශාල ගල් පාත්‍රයක පිරවුණු අඟුරු රත් පැහැයෙන් දිළියෙමින් තිබිණ. ඉන් නැඟෙමින් පැවති දුමෙහි වූ ඖෂධීය සුවඳ ශාලාව පුරා පැතිරුණි. පාත්‍රය අසළ කොළොම්බක් මත තැබූ බටපොතු වට්ටියක අත්තන මල් පුරවා තිබුණි.

තිදෙනා ම ගැඹුරු හඬින් “ඕ…ම්ම්ම්” යි හඬ නැඟූ හ. නැවත නැවතත් එය පුනරුච්ඡාරණය කරද්දී, මඳින් මඳ, උකු දියරය ආලේපිත බිත්තිය මත දැවැන්ත ගිණි වළල්ලක් මැවුණි. කීප මොහොතකින්, ගිණි වළල්ල මැද පුරුෂයෙකුගේ ඡායාවක් පෙනෙන්නට විය.

අවුල් වුණු දිගු කෙස් වැටිය… නළලෙහි සටහන් කෙරුණු අඩ සඳෙහි හැඩය ගත් තිලකය… අඳුරුවන් සම… දකුණු උරහිසේ සිට පහතට ඇඳගෙන සිටි අඳුන් දිවි සම… උරහිස් මත ගෙළ වටා දරණ ගසාගෙන සිටි සුදුවන් නාගයා… උත්තුංග පිරිපුන් ශරීරය… තියුණු බැල්ම…

ගිණි වළල්ල මැදින් ආගන්තුක පුරුෂයා ශාලාව තුළට පිය නැඟී ය. ඔහුගේ සුරතෙහි දැවැන්ත ත්‍රිශූලයක් වූ අතර, කුඩා උඩැක්කියක් වැනි බෙරයක් වමතෙහි විය. හිස නවා ශාලාව මැද වාඩි වී සිටි ති දෙනාට ආචාර කළ ඔහු, ඔවුන් ඉදිරියේ වීරාසනයෙන් වාඩි වී, දෑතෙහි තිබූ උපකරණ තමා දෙපස බිම තැබී ය. ඉන්ද්‍ර, තමන් ඉදිරියේ තබාගෙන සිටි පළතුරු වට්ටියක් දෑතින් ම ගෙන අමුත්තා වෙත දිගු කළේ ය. එහි පිරී තිබුණේ මසන් සහ බෙලි ගෙඩි ය.

නිහඬව ම පළතුරු වට්ටිය පිළිගත් ආගන්තුකයා, එය ඔඩොක්කුව මත තබාගෙන, මසන් අහුරක් සුරතට ගෙන කටෙහි ලා ගත්තේ ය.

“කරුණු කීපයක් තිබෙනවා මට කතාකරන්න.” ඔහු කතා කළේ සංස්කෘතෙනි. “ඊට කළින් ඔබේ උවමනාව කතා කරමු. ඔබලා නේ මා කැඳෙව්වේ…”

“රුද්‍ර, ඔබ අපේ සභා ශාලාවට සාදරයෙන් පිළිගන්නවා.” ඉන්ද්‍ර අනුව අනෙක් දෙ දෙනා ද දෑත් එකතු කොට ආගන්තුකයාට ආචාර කළහ. “කාලයක් තිස්සේ යුරෝපාකරයේ ආක්‍රමණිකයෝ සහ වෙළෙන්දෝ අපේ රටවල් ආකූල කරමින් ඉන්නවා. නමුත් අපි ඒ ගැන වැඩිමනත් මැදිහත්වීමක් කරන්නේ නෑ. අපි එකඟතාවකට ආ විදිහටත්, ඒ වගේම රට වැසියන් තවදුරටත්, රටේ ස්වාධිනත්වය සහ සුභ සිද්ධිය අපෙන් අපේක්ෂා කරන්නේ නැති නිසාත්. රටවැසියන්ටත් රජුටත් සැබෑ උවමනාවක් තියෙනවා නම්, අපට පුළුවන් ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙන්න. නමුත් ඒ සියල්ලන්ට ම තියෙන්නේ වෙන වෙන තාවකාලික අපේක්ෂාවන්…”

රුද්‍ර හිස නවා එකඟතාව පළ කළේ ය.

“පෘතුගීසීන්, ප්‍රංශ ජාතිකයන් සහ ලන්දේසින් සෘජුවම ඉළක්ක කළේ කුළුබඩු වෙළෙඳාම. ඒත් ඔබ දන්නවාද නෝර්වේ ජාතිකයන් අපේ රටවල සොයන්නේ මොකක්ද කියලා?”

මසන් ගෙඩි සූප්පු කොට ඉතුරු වුනු ඇට ටික සපමින් සිටි රුද්‍ර සිය හඬ අවදි කළේ ය. “මගෙත් ප්‍රධානම ගැටළුව ඒක තමයි. ලංකාවටත් ආවද නෝඩික් ජාතිකයන්?”

“ඔව්.” සුමන කී ය. “ගෝකර්ණයෙන් ඇතුළු වුනු කීප දෙනෙක් වන වැදිලා. ඉන් තුන් දෙනෙක් අල්ලාගෙන. එකෙකුට සිහි කල්පනාව නැහැ. අනෙක් දෙන්නා රජු භාරයේ. ඔවුන් කුමක් හෝ සොයමින් සිටි බව තහවුරුයි.”

“ඩේන්වරු තන්ජෝරයේ බළකොටුව ආපහු පිළිසකර කෙරුවා.” රුද්‍ර කී ය. “ඔවුන්ගේ නිරීක්ෂක දූතයන් නිතරම එහෙමෙහ යනවා. ඔවුන් උනන්දුයි ස්වදේශික ඇදහිලි සහ බෙහෙත් ක්‍රම ගැන. ඒ වගේම හිමාලය ට ආසන්න ප්‍රදේශවල තියෙන…” 


ඉතිරි කොටස ඉතාම ඉක්මණින්…

%d bloggers like this: