Menu Close

බළලුන් සමඟ කතා කිරීම.

                                                    

අන්තර් ජාලයේ ඇවිදින විට අමුතුම ආකාරයේ ඇප් එකක් දුටුවෙමි. එනම්, බළලුන් සමඟ සංනිවේදනය කිරීමට, ඇමසන් ඉංජිනේරුවෙක් විසින් තනාගෙන යන ඇප් එකක් ගැන විස්තරයකි. ඉන් පෙර, බළලුන්ගේ අරුම පුදුම ගති සොභාවයන් ගැන යමක් කීම වටී යයි සිතේ.

බළලා මිනිස් සමාජයට වසර 7000- 10,000 අතර කාලයක් තුල පැමිණියේය යයි මතයක් තිබේ. පුරාණය  ඊජිප්තුවේ බළලාට තිබුනේ ඉහළ තැනකි. බළලෙක් මැරීම සඳහා වූ දඬුවම මරණ දඬුවම විය. ඊජිප්තුවේ ඇති වියළි, කාන්තාරමය ස්වභාවය නිසා එහි ජීවත් වන විෂකුරු සර්පයන් මීයන් සහ වෙනත් සතුන් මරා දමන නිසා සමහරවිට බළලාට මේ ඉහළ තත්වය ලැබෙන්නට ඇත.

ක්ලියෝපැට්රා රැජිණිය දිවි හානි කර ගත්තේ විෂකුරු සර්පයෙක් මගින් කියා කියනවා. එනම් සර්පයන් ගෙන් වන ව්‍යසන මේ රටේ මිනිසුන් අතීතයේ සිටම දැන හිටි නිසා බළලුන්ට ඒ සමාජයේ ඉහළ තැනක් තිබුනා වෙන්න ඇති. 

ඊජිප්තුවේ බළලුන් ගැන කිවහොත්, ඔවුන් ඉතාම නිර්භීතව ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් බළලෙක්ට අඩිය හප්පලා ..”ප්ශ්..ශ්හ්,..දුප් .., කීවොත් උන් බයවී පැනලා දුවන බැව් ඔබ දන්නවා. එහෙත් මේ රටේ බළල්ලු නම් එහෙම නැහැ. මේ බළල්ලුන් ගේ ඇති අමුතු ගතිය නිසා ඔවුන්ට විශේෂ තැනක් හිමිවුණා. ඊජිප්තුවේ බළලුන් අයිති වන්නේ කුමන කණ්ඩායමකටද? … ඔව් ඒ ඊජිප්තු බළල්ලු තරම් ආඩම්බර බළලුන් කොටසක් මා කොහෙවත් දැකලා නැහැ. මිනිසුන්ට කිසිම බයක් නැහැ.

මෙහෙම වන්න ඇත්තේ , සමහරවිට පාරාවෝ රජ කාලයේ පටන් ඔවුන්ට කිසියම් පුජනීය බවක් දුන් නිසා වෙන්නත් ඇති. ඒ නිසා ඊජිප්තුවේ මිනිසුන් ඔවුන්ට කරදර කලේ නැති නිසා වෙන්න ඇති. පාරාවෝ රජ දවස බළලෙක් මැරීම අති විශාල අපරාධයක් ලෙස සැලකුණා. “Bastet” යයි කියන දිව්‍යාංගනාවක් සේ දේවත්වයක් ඔවුන්ට ආරෝපණය කර තියෙනවා. ඒ දිව්‍යාංගනාවට ගැහැණියකගේ කය සහ බළලෙක් ගේ මුහුණ තියෙනවා.

ඇය කරුණාවන්ත සහ මිනිසුන් ආරක්ෂා කරන දෙවඟනක් යයි කියනවා. යක්ෂයා සමඟ බළලාගේ විශේෂ සම්බන්දයක් ඇති බවට විශ්වාසයකි. අඩුම ගානේ යක්ෂයාගේ නංගි කෙනෙක් වන, “බටකොළ ආච්චි” ගේ ඉදලේ, බළලා නැග යයි. බළලෙක් එසේ ආච්චි කෙනෙක් සමඟ අහසේ පියාසර කල බව දුටු ජපන් ජාතිකයෙක් මා දනිමි. ඇස් දෙකෙන්ම එය දැක්කා කියා සැක හැරව ඔහු කියන නිසා, ඔහු සමඟ වාදයට නොගියෙමි. 

කෙසේ නමුත් කාමරයක් කුඩා ලොකු බව කියන්නට, “බළලා වල්ගෙන් අල්ලා කරකැවීම” යන භෞතික ඒකකය ජපානයට යන විදේශිකයන් අතර  නම් භාවිතා වේ. “Hardly can swing a cat inside this F**g room” යයි ඔවුන් අමනාපයෙන් යුතුව කියති. එනම් ජපන් හෝටල්වල කාමර බළලෙක් වල්ගෙන් අල්ලා හිස වටා කරකවන්නට තරම් වත් ලොකු නැති බව කීමය. ජපන් මිත්‍රයා දුටු අහසේ පියාසර කල බළලා, ඒ ආකාරයට පාවී යන්න ඇත. ආච්චි කෙසේ පාවී ගියාද කියා තේරුමක් නැත.

වල් බළලුන් මුලින්ම හීලෑ කර නිවාසවල ජීවත් කරවීම ආරම්භ කලේ පුරාණ ඊජිප්තු ජාතිකයන් විසින් කියා වාර්ථා වෙනවා. මේ සතුන් නිවාස වලට එන විෂකුරු සර්පයන් පමණක් නොව, නයිල් ගංගා ඉවුරේ සිට මාළු දඩයම් කරමින් අයිතිකරුට උදව් කළා යයි කියනවා.

ලංකාවේ බළල්ලුත් වැඩි ප්‍රමාණයක් මේ ඊජිප්තියන් බළල් වර්ගයට සමාන වෙනවා. මේ වර්ගයට කියන්නේ  “Egyptian Mau” කියලා. සමහරවිට මේ ‘මාවූ’ කියන වචනය එන්නට ඇත්තේ බළල්ලු ඒ ආකාරයට සද්ද කරන නිසා වෙන්න ඇති. නළලේ ඇති ඉතා පැහැදිළි M ඉංග්‍රීසි අකුර නිසා ඔවුන් හඳුනා ගන්නට පහසු වෙනවා. අන්තර් ජාලයේ දකින්න ඇති පින්තුර වල සිටින ඊජිප්තියානු බළල්ලු සහ ඔවුන්ගේ නළලේ ඇති M අකුර නිරීක්ෂණය කරන්න.

බලන්න, ඔබේ ගෙදර සිටින බළලාත් මේ වර්ගයද කියා?…?  

ඒ වියළි සහ උෂ්ණ දේශගුණයේම ජීවත් වූ නිසාම, බළල්ලු කැමති උණුසුමටය. ඒ නිසා බොහෝ විට ඔවුන් ලිප් හෝ, පරණ පන්නයේ ටෙලිවිෂන් යන්ත්‍ර උඩ වැනි ස්ථාන වලට සමීපව හිඳගෙන හෝ, නිදාගෙන සිටින්නට කැමති වෙති. 

බළලුන්ට කිසි දිනෙක අඩන්තේට්ටම් කිරීමෙන් ඇති පලක් නැත. හේතුව වන්නේ උන් සිතා ගෙන සිටින්නේ නිවසේ ස්වාමියා ඌ බවය. ලේනෙක් මීයෙක් අල්ලා සෙල්ලම් කර, අවසානයේ මියගිය ඒ සතාව නැවත නිවසේ ආලින්දයේ හෝ පුටුවක් උඩ දමා තබන්නේ ඇයිදැයි ඔබ සොයා බැලුවාද?

ඒ, එසේ දක්ෂතාවයක් ඔබට නැති බව පෙන්වීමටත්, ඒ ආකාරයට ඔබත් ලෙහෙනුන් සහ මීයන් ඇල්ලීමට ඉගෙන ගත යුතුය යන්න කියන අවවාදයකි. ඔබට බොහෝ සමීප බළලෙක් හෝ බැළලියක්, ඔබව ලෙව කන්නේ ආදරයට නොවේ. එය ඒකාගේ ආධිපත්‍යය පෙන්වීමත්, “උඹ මගේ දරුවෙක්”… යයි කීමටත්ය. බොහෝ විට ඔවුන් මුහුණේ ලෙවකන්නේද, මිනිස් හෝ වෙන කිසිම වෙනත් සතෙක් ලෙව කන තැනක් නොවේ. එනම් නාසයේ අග වේ.

සමහරවිට ඌ ඔබව සූරනු ඇත. එයටද ඔවුන්ට අඩන්තේට්ටම් කිරීමේ ප්‍රයෝජනයක් නැත. ඒ සමහරවිට ආදරයට විය හැක. මා ඒ ආදරය දිනපතා විඳිමි. තවද උදේට නැගිටින්නට මට එලාම් ඔරලෝසු අනවශ්‍යය. 

සූරන බළලෙක්ට කල හැකි එකම දෙය වන්නේ උගේ නියපොතු කැපීමය. ඒ සඳහා තව කෙනෙක් අවශ්‍ය වේ. බළලා ගේ හිස, නිකට හෝ බෙල්ල අත ගාමින් ඒකාව නිසලව තබා ගැනීමට ඔබට හැක. ඒ අතරේ නියපොතු කැපිය හැක. බළලුන්ගේ නියපොතු කැපීමට සාමාන්‍ය නියපොතු කපන කතුරක් ප්‍රමාණවත්ය. නමුත් කල්පනාවෙන් එය කල යුතුය. නැතිනම් ඒ වක්‍ර නියපොතු අතර ඇති මස කැපෙන්නට පුළුවන. 

බළල්ලු බොහෝ දෙනෙක් ඇති කිරීම්, අවට පරිසරය සඳහා හොඳ දෙයක් නම් නොවේ. බ්‍රිතාන්‍යයේ කරන ලද පරීක්ෂණයක් මගින් සොයා ගෙන ඇත්තේ, එක බළලෙක් අවට පරිසරයේ වන ජනගහනය හෙවත් කුරුල්ලන්, ලේනුන් වැනි සතුන් මරා දැමීම නිසා, ඒ වන ජනගහනයෙන් හයෙන් එකක් විනාශ කරන බවය. එසේ හෙයින් බළලුන් ඇති කිරීම සීමා කිරීම අත්‍යවශ්‍ය කරුණකි.

මක්නිසාදයත්, ඒ සත්තු ස්වභාවිකව පරිසරයට පැමිණි සතුන් නොවන හෙයිණි. මිනිසා විසින් හීලෑ කලද, ඔවුන්ගේ ස්වභාවික ගති පැවතුම වන්නේ අන් සතුන් මරා කෑමය. [Domestic predators] . අන් සතුන් මරා කෑම වැළැක්වීමට ශබ්ද ඇති වීමට, බළලුන්ගේ කරේ සීණු එල්ලීමේ කිසිම තේරුමක් නැති බව තවත් පරීක්‍ෂණයකින් සොයා ගෙන ඇත. මක්නිසාදයත්, ඒ සීනුවේ ශබ්දය බිඳක්වත් නොඇසී ඔවුන්ට ගොදුර අසළට කිට්ටු වීමේ පුදුම දක්ෂතාවයක් ඇති හෙයිණි.  

රාත්‍රී කාලයේද බළලාගේ දැකීමේ හැකියාව ඉතා තියුණුය. ඊට හේතුව වන්නේ, අවට පරිසරයේ ඇති ආලෝකය බළල් ඇසේ වැදී ඉන් ඉවතට පරාවර්ථනය වීම වේ. එවිට ඇත්තෙන්ම ඒ ඇස් විදුළි පන්දම් දෙකක් සේ ක්‍රියාත්මක වේ. ඒ කුඩා එළියද බළලුන්ගේ දෘශ්‍ය සීමාව වැඩි කරයි. රාත්‍රියේ උන්ගේ ඇස් දිළිසෙනවා ඔබ දකින්නට ඇත.

කෙනෙක් ඇදුම රෝගියෙක් නම්, බළලෙක් හෝ බැළලියක් නිවසේ සිටීම ඒ ඇදුම රෝගය උත්සන්න වීමට හේතුවකි. මිනිස් හිස කෙස් සහ ලෝම වලට වඩා බළල් ලෝම ඉතා සියුම් හෙයින්, ඒවා මිනිස් නාසයෙන් ඇතුළට යා හැක. බළලාට, බැළලීට ඒ ප්‍රශ්ණය නැත්තේ උන්ගේ නාස් සිදුරු වඩාත් කුඩා හෙයිණි. බළලා නිවසේ ඇඳන් උඩ හෝ පුටු උඩ සිටී නම්, ඒකාව දිනපතා බුරුසුවකින් පිරි මැදීම අත්‍යවශ්‍ය වේ. මේ සඳහා ඒ වෙනුවෙන්ම ගන්නට ඇති ‘වයර් බ්‍රෂ්’ ඇත.  

එමෙන්ම ඇදුම රෝගියෙක් සහ බළලෙක් එකම නිවසේ ජීවත් වන්නේ නම්, නිවස ‘වැකියුම් ක්ලීනර්’ එකකින් පිරිසිදු කිරීම වටී.      

පූසන් උන්ගේ ‘ඤාව්’ ශබ්දය කරන්නේ මිනිසා සමඟ සංනිවේදනය සඳහා වේ. ස්වභාවයේ, බළලුන් එකිනෙකා සමඟ සංනිවේදනය කරන්නට ඒ ‘ඤාව්’ ශබ්දය කිසි විටෙක නොකරති. එකිනෙකා පොරකමින් මර හඬ දෙමින් කෑ ගැසීම වෙන කතාවකි. සමහරවිට බළලුන් දෙදෙනෙක් එකිනෙකා වෙත බොහෝ වෙලාවක් ඇසිපිය නොහෙළා බලා සිටිති. වෙනත් මානයක සංනිවේදනයක් සමහරවිට ඔවුනතර වනවාද ඇත. 

බළල් භාෂාව අවබෝධ කර ගැනීම එතරම් පහසු නැත. එසේ හෙයින්දෝ, ජේවියර් [Javier Sanchez] යයි කියන ඒ ඉංජිනේරුවා, “Meow talk” යන ඇප් එක හරහා ඒ සංනිවේදනයට උදව් කරන්නට ඉදිරිපත් වී තිබේ. මූලික වශයෙන් බල්ලාගේ ‘ඤාව්’ ශබ්දය මගින් පණිවිඩ නවයක් ඉදිරිපත් කරන බව ජේවියර් කියා සිටී.  ඉන් කීපයක් වන්නේ, “මට බඩගිනියි”,… “මගේ ඇඟ රිදෙනවා” …යන්නය.

ඊශ්‍රායලයේ සොලමන් රජුට මෙන් ඔබටත් සතුන් කතා කරන දේ තේරෙනවා නම් අවුලක් නැත. නැතිනම් ඉහත විස්තර කරන ලද ඇප් එකෙන් බළලා හෝ බැළලිය, මොනවා කියනවාද කියා සොයා ගත හැක. 

%d bloggers like this: