Menu Close

‘විකාරි’ සහ ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’: කෙටි චිත්‍රපටයේ වෙනස් මුහුණුවර දෙකක් අසන එකම පැනයක්!

  (2020 ‍‍නොවැම්බර් 13 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ ‘හෙට ගැන සිතා’ තේමාව යටතේ පළවූවකි)

අන්තර්ජාල සිනමා උළෙලක් ලෙස පැවති දකුණු ආසියානු සිනමා උළෙල අතර සහයෝගීතා සිනමා දැක්ම (COSAFF) පසුගිය ඔක්තෝබර් 03 සිට 17 දක්වා ලොව පුරා විසිරි සිනමා රසිකයින් වෙත තිළිණ විය. තිළිණ වී යැයි මා කීවේ එහි බොහෝ නැරඹීම් සඳහා අන්තර්ජාල සබැඳිය ලබා ගැනීමට කිසිදු මුදලක් ගෙවිය යුතුව නොතිබීම හේතුවෙනි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ නමැති චන්දන ප්‍රසන්නගේ කෙටි චිත්‍රපටය ද ශ්‍රී ලාංකික සිනමා නියෝජනයක් වශයෙන් එහි දී අප වෙත පැමිණි අතර ‘ඇගේ ජීවිතය, ඇගේ නීතිය’ යන තේමාව පදනම්ව, ස්ත්‍රී අයිතිවාසිකම් වෙනුවෙන් වෙන් කෙරුණු කෙටි සිනමා පොකුරකට එය එක් කොට තිබිණ.

සඳුන් සෙනෙවිරත්න, චාලි බ්‍රේ සමග එක්ව අධ්‍යක්ෂණය කළ ‘විකාරි’ කෙටි චිත්‍රපටයට ඇමරිකා එක්සත් ජනපදයේ පැවති ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස (Horror) චිත්‍රපට උළෙලේ දී හොඳම චිත්‍රපටයට හිමි සම්මානය හිමි වූයේ ඉහත සිනමා උළෙල කෙළවර වූ දිනට පසු දින එනම් ඔක්තෝබර් 18 වැනිදා ය (බොහෝ මාධ්‍ය මෙය වාර්තා කර තිබුණේ සඳුන් සෙනෙවිරත්නගේ තනි අධ්‍යක්ෂණයක් ලෙස ය.). (විකාරි පූර්ව ප්‍රචාරක පටයලොව ප්‍රමුඛතම ෂානර සිනමා උළෙල අතර ඉහළින්ම නම සඳහන් වෙන ස්ක්‍රීම්ෆෙස්ට් සංත්‍රාස චිත්‍රපට උළෙල තුළ කෙටි චිත්‍රපට අංශයේ ඉහළම සම්මානය දිනීම ද සුළු කොට ගිනිය නොහැකි, ඉහළ පැසසුමකින් සළකා බැලිය යුතු කරුණකි.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සාදන චන්දන දිගු කලක් මුළුල්ලේ කෙටි චිත්‍රපටකරණයේ නියැලෙන්නෙකි. ඔහු තැනූ වාර්තා චිත්‍රපට ද වන අතර ඩෙනිස් පෙරේරා සමග සම-අධ්‍යක්ෂණයෙන් එක්ව ඔහු සෑදූ ‘How to become a Film Maker with Ten Dollars’ වාර්තා චිත්‍රපටය ශ්‍රී ලාංකික චිත්‍රපට ක්ෂේත්‍රය සහ එහි නිරතවන්නන් පිළිබඳ ඉතා විවෘත සහ නිර්භය කියවීමක් සහිත කෘතියකි. ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ තුළ දී ඔහුගේ සිනමා ඇස ගෘහ අභ්‍යන්තරයකින් බැහැර සිට රූපයක් තනන්නේ ආරම්භක අවස්ථාවේ දී පමණි. ඉන් අනතුරුව එක්තරා ගෘහයක් තුළට පිවිසෙන සිනමා ඇස පළමු රූපයේ එම නිවසින් පිටව ගිය පිරිසකට අත වනා සමු දුන් බව පෙනෙන පවුලක විසිරි සාමාජික පිරිසකගේ සංවාදයක් අප වෙත තබයි. එය නිවසේ තරුණ දියණිය කාංචනා ‘බලන්නට’ ‘මගුල් යෝජනා කණ්ඩායමක්’ පැමිණ ගිය දිනයයි. සිනමාකරු සෘජුවම අප වෙත තබන්නේ ඒ කණ්ඩායම පිටව ගිය සැණින් එළැඹෙන මොහොතයි. දියණියගේ සීයා, අත්තම්මා, අම්මා, වැඩිමහළු සොයුරිය (හා ඇගේ දරුවන්), මස්සිනා, නැන්දා ඇතුළු කණ්ඩායමක් වඩා තර්කානුකූල හා ඊටත් වඩා ‘ප්‍රජාතන්ත්‍රවාදී’ බව පෙනෙන යෝජනාවලියක් ඇය වෙත තබමින් පැමිණ ගිය (අප නොදුටු) මනමාලයාට ‘කැමැත්ත’ පළ කළ යුත්තේ මන්දැයි පහදයි. කාංචනා ඒ වෙත දක්වන ප්‍රතිවිරෝධයට එරෙහිව නැගෙන තර්ක සමුදාය ප්‍රබල ය.

චිත්‍රපටයේ උත්ප්‍රාසජනක අවසානය මෙහි ලියා තැබීමට කිසි ලෙසකින් මා අදහස් නොකරන නමුත්, චන්දනගේ අනගි නිර්මාණයේ බහුවිධ කලාප ආවරණය පිළිබඳ යමක් ලියන්නට සිතමි. එක් අතකින්, මෙහි (ඒ ඒ තැනැත්තා පදනම්ව) බැලූ බැල්මට තර්කානුකූල බව පෙනෙන සහ සාමාන්‍ය සමාජයේ වැසියන් බොහෝ විට ගෙනෙන අදහස් සහ යෝජනා ‘මගුල් තුලා’ ආදියෙහි දී බහුල ය. රටේ අති-බහුතර තරුණියන් සිය ජීවිතයේ ඉදිරිය පිළිබඳ තීරණය ගන්නේම එම ‘තර්ක’ පදනම්ව ය. එහෙත්, චන්දන චිත්‍රපටයේ නම තුළම බහා තබමින් සමස්ථ පුරවැසියා අභියස ඇති දේශපාලනික ‘තේරීම්’ යනාදිය පිළිබඳ ‘තර්ක’ ද සිනමා කෘතිය තුළ දී සංකේතාත්මකව ප්‍රශ්න කරයි. එහි නම ‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ ය! 

‘විකාරි’ ගැන විමසන්නට අපට තවම ඉඩක් නැත. එය යූටියුබ් හරහා අන්තර්ජාලය ඔස්සේ අප වෙත තිළිණ කෙරෙන්නේ එළඹෙන දෙසැම්බරයේ ය. එහි පූර්ව ප්‍රචාරක පටය එය වඩාත් සුහුරු සිනමා රූප වියමනක් සහිත කෘතියක් බව අපට හඟවා ඇත. එය එසේ නොවිය හැකි ද? සඳුන් සෙනෙවිරත්න ලන්ඩන් සිනමා ඇකඩමියේ සිනමාකරණය පිළිබඳ හැදෑරීමක් සහිතව ආ අයෙකි. ලාංකිකයෙකු නොවූව ද ඔහු හා සම-අධ්‍යක්ෂණයට එක්ව ඇති චාලි බ්‍රේ ද ඔහුගේ ඇකඩමික සගයෙකු බව පෙනේ.

දැන් මට මගේ අද යොමුව වෙත හැරෙන්නට ඉඩ දෙන්න!

චන්දන ප්‍රසන්න සහ සඳුන් සෙනෙවිරත්න තැනූ කෙටි චිත්‍රපට ද්විත්වය මේ ගෙවුණු කාල වකවානුව තුළ මෙරට නව හා තරුණ නිර්මාණකරුවන් සිය සිනමා කාච තුළ සටහන් කරගත් සහ සංස්කරණ යන්ත්‍ර ඔස්සේ පෙළ ගස්වා ගත් එකම නිර්මාණ ද්විත්වය නොවේ. දැන් දැන්, කෙටි චිත්‍රපටය යනු විශාල ලෙස සිනමා මාධ්‍යය ඔස්සේ සිය ප්‍රකාශනයන් පෙළ ගස්වන්නට තරුණ පරපුර තෝරා ගන්නා කලා භාවිතාවක් වී තිබේ. එක් පසෙකින් විශ්වවිද්‍යාල සහ සිනමා පාඨමාලා පදනම්ව තනන කෙටි චිත්‍රපට හමුවන අතර තවත් පසෙකින් සිය වුවමනාව පදනම්ව ම කෙටි චිත්‍රපට තනන පරපුරක නිර්මාණ ද හමු වෙයි. චන්දනගේ කෘතියට නිෂ්පාදනයෙන් දායක වන ‘ඇජෙන්ඩා 14’ වැනි ආයතනවල ආර්ථික සහාය ද ලැබුණු විට හා/හෝ සඳුන්ගේ ඇකඩමික සිනමා ඥාණය වැනි නිර්මාණාත්මක පදනම එක් වූ විට ද, ඒ හා සමග චන්දනගේ වැනි දේශපාලනික හා සමාජයීය සවිඥාණිකත්වය එක් වුණු විට ද තැනෙන්නේ වඩා නිර්මාණශීලී කෘතීන් ය. එවැනි කෘති තොග ගණනින් නොවෙතත්, යම් සැලකිය යුතු මට්ටමකින්, නව සිනමා තාරුණ්‍යය වෙතින් බිහිවෙමින් පවතී.

හිටි අඩියේ නැගෙන විශ්ව සම්මානයකින් හෝ ජාත්‍යන්තර උළෙල සහභාගිත්වයකින් අවදි නොවෙන, නිරන්තර අවධානයකින් යුතුව අප මෙම නව සිනමා පරපුර සහ නිර්මාණ විමසිල්ලට ලක් කළ යුතු ය. ඒ පිළිබඳ ඇගයීම, රස වින්දනය මෙන්ම විචාරය මතු නොව එම කෘති වඩා ක්‍රමවත්ව ප්‍රේක්ෂකයා හමුවට යැවෙන ක්‍රම සම්පාදනය ද සිදු විය යුතු ය. ඒ, දැඩි දොම්නසකින් යුතු ව සිය කෘති සිනමා ශාලා වෙත යොමු කරගත නොහී බලා හිඳින සිය සහෝදර ‘දිගු සිනමා කෘති’ තැනූ නිර්මාණකරුවන්ගේ වේදනාව මොවුන් වෙත කාන්දු නොවෙන ස්ථිර වැඩ පිළිවෙලක් දියත් කිරීම ඔස්සේ ය.

‘මගුල් ප්‍රජාතන්ත්‍රවාදය’ සහ ‘විකාරි’ වෙනස් ශානර සහ නිර්මාණ ඇමතුම් අවකාශවල සිට අසන එකම පැනය අප තේරුම් ගත යුතු ය. ‘අපේ අනාගතය කුමක් ද?’ යන්න ඒ තනි, ප්‍රබල එසේම විසඳුම් දිය යුතුම පැනයයි.

-ප්‍රියන්ත ෆොන්සේකා –    

 

%d bloggers like this: