Menu Close

රතන සූත්‍රයේ භූතානි කියා අමතන්නේ අද අපි කියන ජාතියේ භූතයන්ට ද?

මේ දින වළ අපිට නිතර දෙවේලේ ඇහෙන බලසම්පන්න රතන සූත්‍රයේ එන ගාථා කිහිපයක ම සඳහන් යානීධ භූතානි කියන පද තුළින් අදහස් කරන “භූතයන්” ගැන අදහස් දැක්වීම මෙම ලිපියේ අදහසයි.

යානි ඉධ කියන පද සන්ධි වීමෙන් තමයි යානීධ කියන පාලි වචනය සෑදී තියෙන්නෙ. ඉධ/ඉද කියන්නෙ “මේ, මෙතැන” කියන අර්ථයෙන්.

ධම්ම පදයේ එන එක ප්‍රකට ගාථාවක, පව් කරන සුළු පුද්ගලයා මෙලොව දී අත්වෙන දුක් විපාක නිසා තැවෙන බව, ඉධ තප්පති යන්නෙන් අදහස් කරනවා. ඒ අනුව ඉධ/ඉද කියන වචනයේ අරුත මේ උදාහරණ අනුවත් පැහැදිලියි. 

යානයක් කියන්නෙ යම් තැනකට යන්න එන්න බාවිතා කරන දෙයක්. ඒ නිසා යානීධ භූතානි සමාගතානී කියන්නෙ “මෙතැනට පැමිණ රැස් වූ භූතයන්” කියන අර්ථය ගැනීම වඩාත් නිවැරදියි.

විසාලා මහනුවරට ඇති වුනු තුන් බිය පහකිරීම සඳහා බුදුපියාණන් වහන්සේ ප්‍රමුඛව අරිහතුන් වහන්සේලා පන්සියයක් දෙනා එදා මහා පුද පූජා ලැ⁣බමින් මහා ගුණ රුවින් වැඩම කළා. 

ඒ මහෝත්තමයන් වහන්සේලා ගේ ගුණ සුවඳ දසත පැතිර යද්දි, මලින් සුපිපි වනගොමුවකට ඇදී එන පැණි පිපාසිත බිඟු කැලක් සේ මහා දෙව්බඹුන් කැළක් පැමිණියා.

භූත කියන පාලි වචනය බහු අරුත් ඇති එකක්. ඒ බව නොදන්න අයට නම් මේවා සමහරවිට බහුභූත වෙන්නත් පුළුවන්. ඒ කොහොම තේරුම් ගන්න ඔලුවක් මොළයක් ඇති අය වෙනුවෙන්, “සංජාතික භූත” කියන පාරිභාෂිතයෙන් හඳුන්වන පිරිස් තමයි මේ කාලයේ අපි ව්‍යවහාර භාෂාව තුළ අදහස් කරන භූතයන් වෙන්නෙ. ඒ කිව්වේ ගෙවල් වළ රැඳී බැඳී ඉන්න ඇතම් විට මිනිස්සුන්ට ආවේස වෙන, කරදර කරන අය.

ආටානාටිය සූත්‍රයේ භගවානං අප්පසන්නානං කියන විදිහට, භාග්‍යවතුන් වහන්සේ ගැන අප්‍රසාදයෙන් යුතු භූත පිරිස් — ඒ කිව්වේ, අභව්‍ය මට්ටමේ භූත පිරිස් — එදා බුදුපියාණන් වහන්සේ විසාලා මහනුවර කූටාගාර ශාලාවේ වැඩසිට රතන සූත්‍රයෙන් සීහනාද කරන විට පැත්ත පලාත වත් ඉඳල නැහැ!

ඒ නිසා ඒ සූත්‍රයේ “භූතානි” කියා විට ඇත්ත වශයෙන් ම අද ව්‍යවහාරයේ අපි කියන භූතයන්ට නොවෙයි සෘජුව අමතා අණ කර ඇත්තේ. 

තස්මා හි භූතානි සාමේථ සබ්බේ — “එබැවින් භුතයනි මිනිස්සුන් කෙරෙහි ඔබ සියලුදෙනා සාමයට පත්වව්!” කියද්දි වගේම, මෙත්තං කරෝථ මානුසියා පජාය — “මිනිස් ප්‍රජාට මෙත් වඩව්!” කියා සඳහන් තැන ද, …තස්මා හි නේ රක්ඛථ අප්-මත්තා — “…එබැවින් මිනිස්සුන්ට අප්‍රමාදීව රැකවරණය දෙවව්!” කියල තථාගත ආඤ්ඥා පනවා ඇත්තේ ද හුදෙක් ආතක් පාතක් නැතිව දුක්ඛිත අත්බැව් ගතකරන, අපිට භූත ප්‍රශ්ණ ගෙනදෙන ගෙවල පෙරේතයන්ට නම් නොවෙයි!

කන්ඩ, බොන්ඩ සහ අඳින්ඩ නැතිව ඉන්න ඒ බොහෝ අයට මිනිස් ප්‍රජාව බාර කරනවා කියන්නෙ හරියට නරියෙක්ට කුකුල් කොටුව බාර කරනවා වගේ නේ! අනික, එහෙම දෙයක් කරල අමුස්ස බිය තුරන් වෙයි ද? වැඩි වෙයි ද? පොඩ්ඩක් කල්පනා කරල බලන්න.

ඒ නිසා එහෙම පහත් පෙලේ භූතයන් එදා ඒ පැත්ත පලාතක නොසිටියා වගේ ම ඒ අයට මිනිස්සුන්ට උදව් කරන්නට යැයි අසාදාරණ ඉල්ලීම් බුදුපියාණන් සිදුකර නැති බව ඉඳුරාම වටහාගත යුතුයි.  

මහාපරිනිබ්බාන සූත්‍රයේ එන ගාථාවක සඳහන්ව තියෙනවා, දේවතානුකම්පිතෝ පෝසෝ සදා භද්‍රානි පස්සති— “දෙවියන් සහ බඹුන් ගේ අන්කම්පාව ලද මිනිසුන් සැමදා යහපත දකියි”, කියල. අන්න ඒ ගාථා හරය පරිදි තමයි මිනිසුන්ට යහපත සළසාදෙන්න කියල දෙව් බඹුන් හට බුදුපියාණන් වහන්සේ රතන සූත්‍රයේ දී “භූතයනි” ලෙස අමතා අණකර ඇත්තේ.

දිවා ච රත්තෝ ච හරන්ති යේ බලිං — බලි පූජා, පහන් පූජා සහ පින් අනුමෝදනා ආදිය හැටියට මිනිසුන් මිනිසුන් දිවාරෑ කරන කියන උදව් මතක් කරමින්, ඒවාට කළගුණ හැටියට ඉහත සඳහන් යහපත මිනිසුන් හට ලබාදෙන්න කියල යි රතන සූත්‍රයේ දී තථාගත ආඤ්ඥා පනවා තිබෙන්නෙ.

විසාලා මහනුවරට ඇතුල් වීමට පෙර රතන සූත්‍රය පලමුකොටම බුදුපියාණන් වහන්සේ ඒ භික්ෂු පිරිසට පමණක් ඇසෙන සේ අදිටන් කර දේශණා කළා. ඒක පාරක් බුදු වදනක් ඇසූ පමණින් මතකයේ පිහිටන ආනන්ද හිමියන් ඒ මොහොතේ ම එය මතකයට ගත්⁣තා. ඉන් පසුව බුදුපියාණන් වහන්සේ උන්වහන්සේ දන් වලඳන ශෛලමය පාත්‍රයට පැන් ගෙන එය ආනන්ද හිමියන්ට පිළිගන්වා, විසාලා මහනුවර සැරිසරමින් රතන සූත්‍රයෙන් පිරිත් කර එය ඉසින ලෙසට උපදෙස් දුන්නා. 

ජනගහනය වැඩි වීම නිසා කාලෙන් කාලෙට නුවර සීමා පුළුල් කිරීම නිසා, අදියර තුනකින් ඉඳිවුනු තාප්ප එහෙම නැත්තම් ප්‍රකාර තුනක් විසාල මහනුවර වටකර ඉදිකර තිබුණා. ඒ නිසයි ඒ නුවරට නිසා විසාලා කියල නම් පටබැඳුනෙ. 

ඒ ප්‍රාකාර සීමා අතර සැරිසරමින් රතන සූත්‍රය අනුසාරයෙන් පිරිත් කරමින් පැන් ඉසිමින් පිරිත් කර්මයන් ආනන්ද හිමියන් කළ සිද්ධිය, වේසාලියා තීසු පාකාරන්තරේසු….පරිත්තං කරොන්තො ආනන්දත්ථේරෝ….වශයෙන් ඇනවුම් පිරිත තුළ සඳහන් ව තියෙනවා. 

ඒ විදිහට විසාලාවේ පිරිත් කරන අතර ආනන්ද හිමියන් යං කිඤ්චි විත්තං ගාථාවේ ඒ පද තුන කියනකොටම දැනටමත් විසාලා නුවරින් පිට නොවී තවදුරටත් බලපුලුවම්කාරකම් පෙන්වමින් රැඳී බැඳී සිටි භූත පිරිස් සීසීකඩ පලාගිහින් තියෙනවා. ඒ හරියට පාපන්දු ක්‍රීඩා පිටියක වුන අනපේක්ෂිත පිපිරීමක් දී ක්‍රීඩා ලෝලීන් හිස ලූ ලූ අත පලායනවා වගේ. 

ඒ නිසා එදා අර ගාථා පද තුන පමණක් අහල තැතිගෙන පලාගිය භූතයන් ගෙන් විසාලා නුවර දොරටු අතුරු සිදුරු නැති ගිහින් තියෙනවා. අන්තමට දොරටු ඉඩ මදි නිසා යාගන්න බැරි වුනු බලසම්පන්න යක්කු අර තාප්පත් පෙරලගෙන පලා ගිහින් තියෙනවා. “පලායාම” කියන වචනයට අසාදාරණයක් නොවන විදහට තාප්ප පලාගෙනම ඒ භූතයන් ඒ විදිහට පලාගිහින් තියෙන්නෙ!

තුන් බියෙන් අසරණ වුන විසාලාවාසී ලිච්චවීන් බුදුන් පිළිසරණ යන්න පෙර එවකට හිටිය ශඩ් ශාස්තෘන් වහන්සේලා ගේ උපදෙස් මත කළ සතුන් මරා කරන යකුන්ට ලේ මස් පුදා කළ බිලි පූජා ආදිය නිසා යහමින් ආහාර ලැබීම හේතුවෙන් අමනුස්සයන් ඒ නුවර පදිංචි වෙලා (අධිගෘහිත වෙලා) ඉඳ ඇත්තෙ. 

සබ්බේ සත්තා ආහාරට්ඨිතිකා කියන දම් වැකිය පරිදි සියලු සත්ත්වයෝ ආහාරය මත යැපෙනවා. ඒ වගේම අපිට හුරුපුරුදු ජිගච්ඡා පරමාරෝගා කියන දම් වැකිය පරිදි බඩගින්න යි, සත්ත්වයාට ඇති ලොකුම රෝගය. 

ඒ ශඩ් ශාස්තෘන් වහන්සේලා ගේ ඇතැම් පව්කාර පිළියම් නිසා තුන් බිය පහ කරන එක කෙසේ වෙතත් අමනුස්ස ප්‍රශ්ණ උත්සන්න වෙන එකයි වුනේ. කිසිම ගැඹුරු හේතුපලයක් නෙදෙන්න මිත්‍යාදෘෂ්ටික කඩිනම් ප්‍රතකර්ම කරන්න යාමෙන් අභව්‍ය අමනුසසයන් තව තව දුගති ආහාර වලින් පෝෂණය ලැබෙමින් දිනෙන් දින බලවත් වුන එකයි අන්තිමට වුනෙ. 

ඒ විදිහට වැරදි තීන්දු තීරණ දාමයන පලය නිසා මහා විනාසයක උත්සන්නම මොහොතක තමයි නුවණැති බඹුනෙක් ගේ මැදිහත් වීමෙන් තුන්ලෝකාග්‍ර සම්මාසම්බුදුවරයන් වහන්සේ ගේ පිළිසරණ ඉල්ලා සිටියෙ.

බුද්ධ ප්‍රමුඛ මහාසංඝරත්නය විසාලා මහනුවරට වැඩ රතන සූත්‍රය දේශණා කිරීමෙන් තුන් බිය පහවයන බවත්, දිනකට 84,000 බැගින් දින හතක දී 588,000 දෙනා මගපල නිවන් ලැබගන්න බවත් තුන්කල් නුවණින් වහටා ගත් බුදුපියාණන් වහන්සේ ඒ ආරධනාව මහා කරුණා සිතින් බාරගත්තා.

ඒ නිසා රතන සූත්‍රයේ භූතානි නොහොත් භූතයනි කියල අමතා සිටින්නෙ මූලිකව පැමිණ රැස්ව සිටි දෙව් බඹුන් ප්‍රධාන කොට ඇති සියලු අමනුස්ස පිරිස් බව දත යුතුයි.

කෝටි ලක්ෂයක් සක්වල අණසක පතුරුවා කරන ලද දෙසුමක් නිසා මේ අණ පිළිගන්න තරම් උසස් නොවන අමනුස්ස පිරිස් අදටත් පසුබැස පලා යන්නෙ තුනුරුවනේ අපරිමිත සත්‍යානුභාවය ඒ අයට දරාන්න බැරි නිසයි.

%d bloggers like this: