Menu Close

186. පස් වන ඇන් ඇක්සිඩන්ට් එක!

හොරා වගේ . . !

මට හරියට දිනේ මතක නෑ. බලමු හොයා ගන්න පුළුවන් උනොත් පස්සෙං පහු හරි ලියා තියන්නම්.

මම කියන ඔය කාලේ  අධිවේගී මාර්ගය ක්‍රියාත්මක උනේ කඩුවෙලට පමණයි. ඒත් කඩවතට වෙන තුරු පාර හදාලා ඉවරයි.

ඉතිං මමයි මගේ අපාය සහයක මිත්‍ර තෙශාන්තයි හවහක ගජයක් ගහන කොට ඉබේටම ආවා අදහසක් අධිවේගී මාර්ගයේ  නැතිනම් හයිවේ එකේ සයිකල් පදින්න!

ඕනෑම දහපත් දුරා වැඩකට  මුලින්ම කියවෙන නම් වලට පරසිද්ධ අපි දෙදෙනාම වැඩේ පටන් ගන්න පහුවෙනිදාම දා ගත්තා.

තෙශා ආවාම අපි දෙන්නා හීන් සීරුවේ සයිකල් දෙකත් පැදගෙන හයිවේ ගේට්ටුව පැත්තට ආවා.

ගේට්ටුව වසා තිබුනේ මාර්ග බාධකයක් විදියට යකඩ පයිප්පයක්  බැරල් දෙකක් උඩ හරස් කරලා. ඒ වුනාට ඕනෙකමක් තියේ නම් පැත්තකින් මාර්ගයට අවතීර්ණ වෙන්න පොඩි ඉඩක් තියලයි ඒ ඇටවුම තනා තිබුනේ.

ගේට්ටුවේ මුරට; ඒ කාලේ හිටියේ සිකුරිටිලා දෙදෙනෙකුයි පොලිස් රාළහාමි කෙනෙකුයි විතරයි. ඔය කාලේ හයිවේ එකේ; කඩුවෙල ඉඳන් කඩවත දිහාට ආවේ ගියේ; වැඩේ කොන්ත්‍රාත්තුව අරන් හිටිය ලොකු කුඩා කොන්තරක්කාරයන්ගේ වාහනයි ඒවායේ එහාට මෙහාට ගිය සිවිල් ඉංජිනේරුවොයි මේසන් බාසුන්නැහැලයි වගේ වැඩේට ඇරුණු පිරිස විතරමයි.

හවස 6.00 – 7.00 වෙන කොට මේ උදවියත් එහාට මෙහා වෙලා පාර තනිකරම පාළුවට යනවා.

අපි පාරට අරක් ගත්තේ ඔන්න ඔය වෙලාවට!

අපි සයිකල් දෙකත් පැදගෙන හීන් සීරුවේ අයින දිගේ ඇවිත් බැරල් වැට අයිනෙන් දාගෙන හයිවේ එකට ඇන්ටර් උනා!

ගේට්ටුවේ මුරට හිටපු එකා දෙන්නටත් වැඩිය නෝන්ඩි නොවීම අපිට හීන් සීරුවේ සුරූස් ගාල ලුහුටලා යන්න පුළුවන් කම ලැබුනා.

ඒ වෙන කොට හයිවේ එක හෙවත් කොළඹ පිටත වට රවුම් මාර්ගය කඩවත තෙක් සම්පූර්ණයෙන්ම වාගේ හදලා ඉවර වෙලා තිබුනේ.

අපි හිතේ හැටියට කාපට් ඇතිරූ මාර්ගයේ පැදගෙන ගියා.

අඩුපාඩුවකට කියලා තිබුනේ මාර්ගය ඒකා ලෝක කර නොතිබීම පමණයි.

කොටින්ම අපි පැද්දේ ඇට පල් කළුවරේ!

මේ කථාව කියනා කාලේ එකසිය ගානට පායනවා!

ඒනිසාම තරු රටා අහස පුරා!

තරු තියෙන රාත්‍රියේ මහ පාරවල ගමන් ගන්නා විට කෙලින්ම පාර දිහා නොබලා තරමක ආනතයකින් ඒ කියන්නේ අංශක 5 ක විතර කෝණයකින් ඉහල බලා යනවිට පාර යාන්තමින්; තරු එළියෙන් පෙනෙන බව මම අත්දැකීමෙන්ම දන්නවා.

ඉතින් අපි දෙන්නත් තරු එළියේ උඩ බිම සමසේ බලමින් කයිය කෙළමින්  කඩුවෙලට සයිකලේ පැද්දා.

මේක පුරුද්දක් උනා. 

හැම දිනෙකම වාගේ මමත් තෙශාන්තත් සයිකල් පැදීම කරගෙන ගියා.

මම මේ ගමන ගියේ; මගේ ස්කොට් – විශ්වාසවන්ත ගමන් සගයා සමගින්.

තෙශාන්ත ආවේ එයාගේ තාත්තාගේ ස්ටෑන්ඩර්ඩ් සයිකලයෙන්.

තරු එළියට අමතරව මාර්ගය දෙපස ඉවුර මතුපිට තිබුණු උස් නිවෙස් වල විදුලි එළියත් පාරේ තැනින් තැන යාන්තම් සෙවනැළි අන්දා.

කඩවත සිට කඩුවෙල තෙක්ම අධිවේගී මාර්ගය දිවුනේ කනුමත.

පාර දෙපස සිමෙන්ති බැම්ම.

සමහර තැන්වල වම් පස පමනක් සිමෙන්ති බැම්ම.

දකුණු පස යකඩ වැට.

යන්තමින් එළිය වැටෙන තැන් වල ඈතට දිවෙන මාරගය යාන්තමින් පෙනුනා.

මේ විදියට සයිකල් පැදීම සතියක් දෙකක් කරගෙන යන විට දිනක් ගේට්ටුවෙන් ඇතුළු වෙන තැනින් අප දෙදෙනාව නතර කර ගත්තා.

“මේ කොහෙද මේ යන්නේ . . . .?”

“සයිකල් පදින්න . . . . . ?” අපි ඇද ඇද උත්තර දුන්නා.

“මොකක්!? සයිකල් පදින්න!? හයිවේ එකට සයිකලයක් ඇතුළු කිරීමම හිරේ යන කේස් එකක් නේ?”

“තාම ඇරලා නෑනේ!?” අපි නිදහසට කාරණා කීවා!

“එතකොට අපි නඩුව දාන්නේ අනවසරයෙන් ඇතුළු වීමට!”

කරපු වැඩේ වැරදි විත්තිය අපිම දන්නවා නේ. අපි ආපහු හරවාගෙන දුකසේ එළියට ආවා.

” මචං! හයිවේ ඒකට දාන්න වේන තැනක් ඇත්තෙම නැද්ද?” මම තෙශාගෙන් ඇහුවා.

“බලමුද ගල්වල හංදියෙන්?”

අපි කඩවත ඉඳන් මාවරමණ්ඩියට පැමිණ එතැනින් ගල්වල හංදියට පැමිණ වට පිට ඉව අල්ලන්නට විමු.

දකුණු පසට දිවෙන දැල් වැට අයින දිගේ ඇති ගුරු පාර දිගේ අප සයිකල් තල්ලු කරගෙන ගියෙමු.

පාරේ පහලට වෙන්නට දැල් වැටට උඩින් ඇතුලට පැනීමට සුදුසු ස්ථානයක් මගේ ගණ දෙවි නුවණට ඇස ගැටුනි.

පලමුව සයිකලය ඔසවා වැට ඇතුලෙන් තබා එතැන තිබුනු කනුවක ආධාරයෙන් හයිවේ සීමාව ඇතුලට පැන්නෙමු.

එතැන් පටන් අප නැවතත් පුරුදු පරිදි සයිකල් පැදීම කරගෙන යන්නට පටන් ගත්තෙමු.

මෙසේ සයිකල් පදිමින් සිටිනාතරතුර දිනක් තෙශා හට; තම ඔපීසියේ වැඩ හරස් වී එන්නට නොහැකිවිය.

සහන් කසීරට ලිවීම සේ මාහට පැදීමය!

මම තනිව වැටෙන් පැන සයිකලය පැදීම කලෙමි.

තෙශාගේ සයිකල් පැදීම ඔහුගේ ඔපීසියේ වැඩවලට අනුලෝමව සමානුපාතික විය.

ඒ නිසාම මා තනිව සයිකල් පැදීමට හුරුවිමි.

සෑම දෙනකම පාහේ රාත්‍රී 7.00 පසුවූ විට සයිකලය ගෙන වැට පැන්නෙමි!


ඈතට දිවුනු මාර්ගයේ දිවාකල එහා මෙහා දිවුනු සේවා රථ වලට කිසිදු වේග සීමාවක් නොවීය.

ඒනිසාම ඒවා පැදවූවෝ ඉගිල්ලුනි.

මෙසේ ඉගිල්ලීම නැවත්වීම සඳහා පසු කාලෙකදී අතරින් පතරින් කිලෝමීටරයකට එකක් පමණ වනසේ මාර්ග බාධක යොදා තිබුනි.

එය සාදා තිබුනේ අඟල් හතරක පහක පමණ ඝනකමට සිටින සේ  අඩියේ අඩියේ පමණ දිග පළල කින් සමන්විතව සාදන ලද කොන්ක්‍රීට් කුට්ටියක් මත සිටුවන ලද; අඩි තුනක පමණ උණ බම්බු කෑල්ලක් සිටුවා සාදන ලද කණු කිහිපයක් මාරගය හරහා තබා ඒවා හරහා කහ කලු ඉරි වැටුණු ඉටිරෙදි පටි ඇදය.

මෙවන් වැටවල් දෙකක් එකිනෙක ප්‍රථි විරුද්ධ ලෙස තැබීමෙන් වේගයෙන් පැමිණෙන වාහන වැට වල් දෙක අතරින්; ඉංග්‍රීසි හෝඩියේ  S අකුරේ ආකාරයට සෙමෙන් ගමන් කොට; වැට සෑදූ එකාගේ මෑණියන් සිහිකරමින් ගමන් කරයි.

ඉංගිරිසි හෝඩිය උගන්වන වෙලාවේ පංතිය කට් කරපු එකාට අබ සරණය!

දිනක් මා සයිකලය ගෙන පුරුදු පරිදි මාවරමණ්ඩියේ ගල්වල හංදියේ අඳුරු තැනකින් දැල් වැටට උඩින් හයිවේ එකට පතිත වී සයිකල් පැදීම පටන් ගතිමි.

එදින තරමක උනුසුම් දිනයකි. 

පසලොස්වකට දින දෙක තුනක් තිබුණි.

අහසේ අම්බිලි මාමා යන්තමින් පෙනී නොපෙනීය.

සයිකලය එක සීරුවට කඩුවෙල බලා පැද්දෙමි.

කෙළගෙන යාම . . !

කඩුවෙලින් හරවන විට සිරුර හොඳින් උනුසුම්ව  තිබුනි.

කඩුවෙලින් හරවා එන ගමනේදී සයිකලය පදිනතරතුරම; එතෙක් උඩු කය වසා සිටි ටී ෂර්ටය ගලවා ඉනේ ගැට ගසා ගතිමි.

සිසිල් සුළඟින් ඇඟම සුවපත් වේ.

යාන්තමින් සඳ එළිය වැටී ඇත.

වළා කුළු විටෙන් විට සඳ එළිය වසා ගෙන ගලා ගියද විටෙන් විට මාර්ගය සඳ දියෙන් නැහැවෙමින්ය.

මා කඩුවෙලින් හැරී කිලෝ මීටර තුනක් පමණ පැද එන්නට ඇත.

සඳ අඳුරු වළා කුළකින් වැසී ගියේය.

මාර්ගය වම් පසට හැරී ගොස්ය.

අඳුරට හුරුවන තෙක් මාර්ගය ඇසින් ඇල්ලිය නොහැක.

ඇස් හිරිවැටී ගොස්ය.

සයිකලයේ වේගය එලෙසින්මය.

ගමන එකසේ වේගවත්ය.

                                                                   ගමනක අවසානය . . !

එක වරම සයිකලය කුමක හෝ ගැටී මා ගුවන් ගත් උනෙමි!

මා අඩි කිහිපයක් උඩින් පතිත වත්ම හිස නැවී දෙ අත් හිසත් බෙල්ලත් ආවරණය වනසේ ඇදී ගොස්ය.

මම බිමට පතිතවී  මිලි තත්පර ගනනකට පසු සයිකලය; කොන්ක්‍රීට් කණු මත ඇදෙන; කොන්ක්‍රීට් වලින්ම නිමකොට කාපට් ඇතිරූ පාර මත ඇද වැටුනි.

මා  මද වේලාවක් එම ඉරියව්වෙන්ම ඉඳ පලමුව අත  පය හා මුහුණ හිස ආදී එකී නොකී  මෙකී සියළු අවශ්‍ය අනවශ්‍ය හා අත්‍යවශ්‍ය අංගෝපාංග තිබුනු තැන්වලම තිබේදැයි සැක හැර දැන ගතිමි.

දන හිස, වැල මිට වැනි ඕනෑම සීන් එකකදී මුලින්ම තුවාල කරගන්නා උපාංගවල තීන්ත හීරී මීට පෙර යොදා තිබුනු කැට්ලොයි, පොටි මතුවී තිබුනාට බොඩිය ටින්කර් කිරීමේ අවධානමක් නොතිබෙන බව; මදකින් මාහට සැක හැර දැනුනි.

සෙමෙන් සෙමෙන් වැටී සිටිය තැනින් නැගිට ; එතෙක්  ඇඟ වටා එතී තිබුණු 

මාර්ග බාදක සඳහා යොදාගෙන තිබුනු හැසාර්ඩ් ඉටි රෙදි පටිය ඈත් මෑත් කොට හාත් පසට ඉව ඇල්ලුවේ සයිකලය ගැටුනේ කුමකදැයි කියා සැක හැර දැන ගැනීමටය.

පසෙක වැටී තිබුනු උන බම්බු රැඳි අඟල්  හතරක් ඝනැති අඩියේ අඩියේ කොන්ක්‍රීට් කුට්ටිය මගේ සැකය දුරු කලේය.

වේගයෙන් පැමිණි සයිකලය එක වරම ගැටී ඇත්තේ කොන්ක්‍රීට් කුට්ටියේය!

මම ඊළඟට මා සමග පැමිණි ගමන් සගයා ස්කොට් සයිකලය නැගිටුවා ගත්තෙමි.

සයිකලය ආභාධයක් නොපෙන්වමින්නැගිට ගත්තේය.

මා එහි හැඬලයෙන් ඔසවා ඉදිරිපස රෝදය කරක්කෙවේය.

එය මුරුක්කු කන හඬින් අපිට ඕනෑවට මෙන්  වට කාලක් පමන කැරකී නැවතුනි.

රෝදය ඉදිරිපස පෝක් අත අතර අයාලේ ගියේය.

කොටින්ම රෝදය කරකැවුනේ ඩෝප් කාරයෙකුසේය.

එය බකල්වී ගොසිනි.

රෝදයෙන් මුරුක්කු කන හඬක් නැගුනේ එය ඉදිරිපස බ්‍රේක් පෑඩයේ හෙවත් බ්‍රේක් පලුවේ හිරවෙමින් ගමන් ගත් හෙයිනි.

බ්‍රේක් පද්ධතියේ වංහුං . . . . !

සයිකලයේ ඉදිරිපස  මා දෙපස බ්‍රේක් ආර්ම් දෙක මිරිකා  බ්‍රේක් කේබල් ගයිඩය බ්‍රෙක් බ්‍රිජයෙන් රූටවා ගලවා දමාගෙන හෙමින් සීරුවේ සයිකලය පැද බැලුවෙමි. 

මහා අවුලක් නැත!

ගෙදර ඒමට පුළුවන් තරමය මා කිසිවක් නොවූ ගානට ගෙදර බලා පදින්නට පටන් ගත්තෙමි.

” මාව සයිකල් පදින්න ගිහින් ඇක්සිඩන්ට් උනානේ . . . !”

“අනේ . . කොහේද ඔයා වැටුනේ . . . . ?”

“ම්මේ . . . . හයි වේ එකේ . . . . !

“හ්හෑ .ඈ . . ඈ . . .?”

පසු දිනෙක සීදූවේ සුදත් සයිකල් වෙත ගිය මා ස්පෝක් කම්බි තිස් හතරේ; තිබුනාටත් වඩා සවිමත් ඩබල් ලේයර් රිම් එකක් රැගෙන විත් කඩවත ලකී අයියාට කියා සයිකලයට අමුනා ගත්තෙමි!

හයිවේ එකක සිදුවූ එකම සයිකල් අනතුර එයද?

%d bloggers like this: