Menu Close

සුභාෂ් ජයවර්ධන සහ කොපිය ගැන

අර කොපි කිරීමේ කතාවක් බුකියේ දිගටම යනවනේ. ඒකට ඇදීලා  තියෙන දේශපාලන පක්ෂය මේ කතාවට ගාව ගන්න එක වැරදියි. පක්ෂයකට හැමෝවම පාලනය කරන්න බැහැ . ලියන කියන ඒවා එහෙම. හැබැයි පක්ෂයේ අය  නිශ්ශබ්දව ඉන්නව නම් හොඳයි මොකද අදාල නැති නිසා. සුභාෂ් වීරතුංග ජයවර්ධන පුවත්පත් කලාවේදියෙක්. මා වරක් දෙවරක් හමුවී තිබෙන හොඳ මහත්මයෙක්. (හොඳ කොල්ලෙක්  කියමුකෝ). මේ එයාගේ අදහස මම බුකියේ දැක්කේ. ඒක සුන්දර හොඳ අදහසක් . ලෝකයේ හැම බුද්ධිමය නිර්මාණයක්ම අපි හැමෝටම අයිතියි කියන එක. තමන්ට අයිතිවාසිකම් නැහැ කියන. නමුත් මගේ තර්කය වුනේ ඒකෙන් කොපි කිරීම සාධාරණය කරන්න බැහැ  කියන එක. නිර්මාණය ට නම තියන්නේ නිර්මාණය කරපු තැනැත්තා ගේ නමින්. එහෙම අවශ්‍ය නැතිනම් බැන්ක්සි වගේ නිර්නාමිකව හැසිරෙන්න පුළුවන්. මමත් එහෙම ඕන තරම් ලියල තියනවා. ඒවා වෙන තැන්වල සංසරණය වෙනවා දැකලත් තියනවා. නමුත් අපි නමක් යොදන්නේ අපේ නිර්මාණයකට ඒක අවශ්‍ය නිසා. ලෝකයේ තිබෙන  බොහොමයක් නිර්මාණ නමකට ඇඳිලා තියෙන්නේ ඒකයි . නම අවශ්‍ය නැහැ කියල ක්වන්ටම්  බෞතිකයෙන් නැත්නම් බුද්ධාගම  ආශ්‍රයෙන් තර්ක කරන්න පුළුවන්.   නමුත් මට අත්දැකීම්  තියනවා මිනිස්සු අපිව පාවිච්චි  කරනවා කියල. එනිසා ලියන්නේ කවුද කියන එක වැදගත්, වෙන නමකින් හරි. එහෙම  අය ඉන්නව. කට්ටකඩුවේ ලොකු මල්ලි, විනිවිද ශ්‍රී ලංකා, එකොනොමට්ට වගේ අය . ඒ අයගේ දේවල් ගත්තත් ඒ නම සඳහන් කරන්න ඕනේ කියන එකයි මගේ අදහස. 

 *******************************************************************

සුභාෂ් වීරතුංග ජයවර්ධන: කොපි කිරීම ගැන මට විවේචනය කරන්න බෑ හෘද සාක්ෂියට එකඟව..මොකද මාත් මොනවා හරි ලියනවා කියලා ලියන්න පටන් ගත්තේ අනුන්ගෙ ඒවා කොපි කරලා.. මුළු පාසල් ජීවිත කාලේටම මං සිංහල රචනා 10 ක්වත් ලියා නැති බව මට සහතික කරලා කියන්න පුලුවන්. මම සාපෙ පංතියේ පාවිච්චි කරපු සිංහල එක්සයිස් පොත අපෙ මාමා කෙනෙක් ගාව මේ මෑතක් වෙනකම් තිබුණා. මිනිහා එක අරන් තියාගෙන. තාම තියෙනවද දන්නෙ නෑ. ඒක ලස්සනට කවරේදාලා වැඩ දාලා තිබ්බ පොතක්. සිංහල මිස් රචනාවලට, ව්‍යාකරණවලට, සාහිත්‍යට ආදි වශයෙන් පොත් බර ගානක් වෙන වෙනම තියාගන්න කිව්වට මං ගාව ඒ ඔක්කොටම තිබ්බේ පි‍ටු 120 පොතක්. පි‍ටු 30න් 30 වගේ වෙන් කරගෙන සියල්ලටම.. අපරාදෙ කියන්න බෑ සපෙ විභාගෙ වෙන කොට ඒ පොතේ පි‍ටු 10 කවත් දෙයක් ලියැවිලා තිබුණේ නෑ.. එකම එක රචනාවක් විතරයි රචනා කොටසේ තිබ්බේ. ඒකත් මගේ නෙවෙයි කොපියක්.
මගේ මිත්‍රයා සුමිත් පෙරේරා (මපට්) ලස්සනටම රචනා ලියන්න පුලුවන් එකා. මිනිහ වචන ගොඩාක් දැනගෙන හිටියා.. ඒවා ලස්සනට ගලපන්නත් දැනගෙන හිටියා…දේවල් පරිකල්පනය කරනවා හරි ලස්සනට. මට ලියන්න දන්නෙ නෑ..තාමත් එහෙම බෑ.. පොතේ පිටුවක් පිරෙන්න ලියා ගන්න බෑ.. මංම හිතලා ලියපු රචනා දෙක තුනක් ඇති ගූ හතයි.. මං කරන්නේ යාලුවාගෙ රචනාව කියවලා ඒක උඩ යට මැද ඔක්කොම කලවම් කරලා මොක හරි ගලපලා අමුතු රචනාවක් ලියන එක.. සමහර මෝඩ ගෝතයොත් හිටියා කෙලින්ම ගෙඩි පිටින් රචනා කොපි කරන් උන්. උන් ඉතින් මිස්ගෙන් ගු‍ටි කනවා.. මං නෑ එහෙම..වෙන කේස් වලට ගුටිකාපුවා..පංතියෙන් එළපුවා තමයි තියෙන්නේ.. ඒ කාලේ මං මගේ කොපි කිරීමේ නිර්මාණාත්මක හැකියාව ගැන සතුටෙන් හිටියේ..කොහොම හරි සිංහලවලට ඩී සමර්ථයක් ලැබුණා.. යාළුවාට නෑ…වැඩේ කියන්නෙ ජීවිතේට රචනා ලියල පුරුද්දක් නැති මං විභාගෙදි ලිව්ව ලිවිල්ලක්.. කොළ 18 ක් පිරෙන්න පත රචනාවක්. මතක විදිහට මාතෘකාව වුණේ ‘රූපවාහිනිය ළමා මනස විකෘති කරයි’ වගේ එකක්. කොහොම මොනවා ලිව්වද මංදා..
ඉතිං ඔය නිර්මාණ ගෙඩි පිටින් කොපි කරලා ඒකට අයිතිවාසිකම් කියන එක පිළිගන්නේ තක්කඩි වැඩක් විදිහට.. අහුනොවෙන්න කරන එක වෙන වැඩක්. ඒක නිර්මාණාත්මක තක්කඩි වැඩක්.. ඔය බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්. ඒ මං හිතන විදිහ.
තව ලංකාවේ සුප්‍රකට සම්මානනීය කලාකාරයෝ ඉන්නවා අනුන්ගේ නිර්මාණ ගෙඩිපිටින් කොපිකරපු. ගොඩක් වෙලාවට ආධුනිකයන්ගේ ඒවා.
මට මතකයි චන්ද්‍රකුමාර වික්‍රමරත්න ජීවත්ව සිටියදී එයාගේ කවි, ගීත එකතුකරලා පොතක් ගහන්න සූදානම් කරලා අත්පිටපතේ ගුණදොස් අහගන්න සුප්‍රසිද්ධ කලාකාරයෙකුට දුන්නා… ටික කාලෙකින් එයාගේ අතින් අත්පිටපත නැතිවුණා කියවෙනවා..චන්ද්‍රකුමාරත් අතුරුදන් වෙනවා. හැබැයි මේ කලාකාරයාගේ නමින් අලුත් ගීත ගනනාවක් ඒ දවස්වලම ලියැවෙනවා.. ඔව් ඒ චන්දරේ ගලපලා ගත්තු වචන සහ අදහස්.. ඒ ගැන දන්න කවුරුවත් මොනවත් කිව්වෙත් නෑ..මං මොකුත් කිව්වෙත් නෑ.. අලුත් සිංදු රස වින්දා..
කොපියක් වුණත් රසයක් විඳින්න පුලුවන් විදියට තියෙන්න ඕන කියන එකයි ඒකේ තේරුම.
————

මගේ පිළිතුර: මේක එකඟ වෙන්න  පුළුවන් කතාවක් නෙමේ සුභාෂ්. කාගෙන් හරි කොපි කලොත් දෙයක් එයාගෙන් ගත්ත කියල ලියන්න ඕනේ. නැත්නම් ඒක නිර්මාණ මංකොල්ලයක්. ඔය ඔයා කියන මුළු කොටසම //බුද්ධිමය දේපොල අයිතිය වගේ ඒවා තියෙන්නේ ඒ තක්කඩිකම් වලක්වන්න. නමුත් ඒක පදනම් වෙන්නේ නිර්මාණයක මුල්‍යමය අගය, ලාබය පදනම් කරගෙන.. එහෙම නැතිව මිනිස් නිර්මාණයක් කාටවත් අයිති බුද්ධිමය දේපලක් වෙන්න බෑ. මොකද එහෙම ඒවා මේ ලෝකේ කාටවත් තියෙන්න විදිහක් නෑ.. ඒක තියෙන පුලුවන් ලෝකය මැව්ව කියන දෙවියන් වහන්සේට විතරයි. මිනිහෙකුගේ බුද්ධිය කියන්නේ එයා තනිව නිර්මාණය කරගත්ත දෙයක් නෙවෙයි. ඒක සාමුහික ශ්‍රමයක්.// වාමාංශික දේශපාලන පක්ෂ අනුන්ගේ දේවල් අරගෙන තමන්ගේ ප්‍රකාශන වල පල කරගන්න කරන කියන තක්කඩි කමක් ඕක . ඊට පස්සේ උඩ යන්නේ ඒවා උස්සල දාපු එකා. ලියපු එකා ගැන කවුරුත් දන්නේ නැහැ. පක්ෂේ එකෙක් දන්නෙත් නැහැ. ඔය තක්කඩි කම වෙබ් සයිට් වලත් කරනවා. එහෙම නම් ඔයා හම්බ කරන කිසිම සත පහක් (ලියල හම්බ කරන දේ) ඔයාට අයිති නැහැ. ඒවා අයිති ඔයාට උගන්වපු ගුරුවරුන්ට. එනිසා ඒගොල්ලන්ට ඒවා දෙන්න. අපට බුද්දිය හම්බ වෙන්නේ අපි ඒ පිලිබඳ ශ්‍රමය වැය කරන නිසා මිසක් ඉබේ සමාජයෙන් වත් ඉබේ ගුරුවරුන්ගෙන් වත් නෙමේ.ඔයා , මම ඒකට ශ්‍රමයක් වැය කරනවා. ඒ ශ්‍රමයට සාධාරණ වටිනාකමක් තියනවා. ඔයා සින්දුවක් හොරකම් කලොත් ඒකෙ පාඩුව සින්දු කියන්නට විතරක් නෙමේ. සින්දුවෙන් යැපෙන තව දාහක් ඉන්නවා. සින්දුවට වාදනය දෙන එවුන්, ඒකට ලයිට් දෙන එවුන්. තේ හදන , වේදිකා හදන දහසක් මනුෂ්‍යයන්ගේ ශ්‍රමය එතන තියනවා. ඊට බැ****පුතෙක් ඇවිත් ඒක  හොරකම් කරහම ඒක සාධාරණ නැහැ. මමත් සින්දු හොරෙන් බාගෙන තියනව. චිත්‍රපට බාගෙන තියනවා. ඔය විධිහට තමා හිතුවේ. දැන් දෙකම කරන්නේ නැහැ. සල්ලි තියනවනම් ගෙවල බලනවා. ගෙවල අහනවා එපමණයි. මගේ පොත් තුනක් තියනවා. මට හමුවුනා  කොපි ගහපුව. මම කාගෙන් හරි ගත්ත නම් අනිවාර්යයෙන් ගත්ත තැන ලියනවා. බ්ලොග් එකේ ලින්ක් දානවා. නැත්නම් ඒක  කැත වැඩක්. ශ්‍රම කොල්ල කෑමක්. නිර්මාණ කොල්ල කන්න හා කම්කරුවාගේ ශ්‍රමය කොල්ල කන්න අතර වෙනසක් නැහැ. දෙකම එකයි. දෙන්නම කරන්නේ කාගෙහරි අවංක ශ්‍රමයක් කොල්ල කන එක.

————–

සුභාෂ් වීරතුංග ජයවර්ධන: මං ලියපු ඇඳපු දේවල් වලට මං අයිතිවාසිකම් කියන එක හිරිකිත වැඩක් විදිහට මට දැනෙන දෙයක්..ඒ හිරිකිත වැඩේ මං කරලත් තියෙනවා. ලිපියක් ලියල නම දාන එක චිත්‍රයක් ඇඳලා නම දාන එක..ඊයා…එහෙම නැතිව හෝ ඇතිව මං කරපු වැඩ වෙන අය අයිතිකරගෙනත් තියෙනවා.ඒවා පාවිච්චි කරලා වෙන ලාභ ,මුදල්, රස්සාවල්, තනතුරු ගත්තු අයත් ඉන්නවා…. මගේ ඒ වැඩ වලට මාත් මුදල් අරගෙන තියෙනවා.මගේ මුලික අවශ්‍යතාවයන්ගේ ප්‍රමාණයට. ඒ ඒක කරන්න වෙච්ච මහන්සියට සහ ඒ කාලයට. නැත්නම් මටයි මගේ යැපෙන්නනටයි බඩගින්නෙ මැරෙන්න වෙන්නේ. ලබන සතියේ වැඩක් නැති වුණොත් වෙන්න නියමිතත් ඒකයි.. ඒත් ඒ මහන්සිය මගේ ශරීරය දැරුවට ඒ දැනුම මට අයිති නෑ මගේ ගුරුවරුන්ට අයිතිත් නෑ. මං කොහෙ හරි තිබ්බ දේවල් එකතුකර ගත්තේ. ඒවාට තනි අයිතිකාරයෝ ඉන්න විදිහක් නෑ.ඒවා තුල තියෙන මිනිස් ශ්‍රමය, මේ ලෝකය මිනිසාට වඩා යහපත් තැනක් කිරීම වෙනුවෙන් අවුරුදු ලක්ෂ ගානක් තිස්සේ වගුරවපු දෙයක්…ඒවා අපි නැවත පාවිච්චි කරනවා නම් ඒවා අයිති විය යුත්තේ මිනිස් සංහතියටමයි. හොයල බලන්න බුද්ධ දේශනාව. ඒක තනිකරම කොපියක්.ඒ කාලේ තිබ්බ දැනුම එයා පාවිච්චි කළේ ගෙඩි පිටින්ම කොපි කරලා. බෝහෝ වෙලාවට ඒවා අහවලාගෙන් ගත්තේ කියලවත් එයා කිව්වෙ නෑ..ඒ එහෙම කියන්න ඕන නෑ..එයා අලුත් නිර්මාණයක් කළේ. ඒත් ඒකට කොපිරයිට් ඉල්ලුවෙ නෑ. අඩු ගානෙ ඒක රකින්න කිව්වෙත් නෑ..ඒ අලුත් නිර්මාණය හැමෝම එක්ක රස විඳිමු කියලා එයා යෝජනා කළේ.
මිනිස් නිර්මාණයක් කාගේ හරි පෞද්ගලික බුද්ධිමය දේපොළ අයිතිවාසිකමක් කියලා පිළිගන්නේ ඇයි? ඇයි අපි ඒවාට මිළක් නියම කරන්නේ.? ඒවාට ගෙවනේ ඇයි.? ඇයි ඒ වටිනාකම් සහිත දේපොළ හොරකම් කරන්නේ?
ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා. ඒක පිළිගන්නවා නම් අජිත් ඔයා හරි. මටත් මන් ලියන කරන දෙයකට කීයක් හම්බු වෙන්නෙ ඒ නිසා..නැත්නම් බඩ ගින්නෙ මැරෙන්න වෙන්නේ. මොකද අපි හම්බ කොළොත් අපි කෑවා තියරි එක තමයි හැම තැනම ප්‍රයෝගික ඇත්ත.
ඒ අනුව නිර්මාණයකට අයිතිවාසිකම් කියන, හැම නිර්මාණකරුවෙක්ම අමු තක්කඩියෙක් බවට මේ දේශපාලන ආර්ථික ක්‍රමය විසින් පත්කර තිබේ. කොපි කිරීම (නිර්මාණ මංකොල්ලය) වැරදියි කියන එකේ පදනම තියෙන්නේ එතන.
————–




මගේ පිළිතුර: මම හිතන්නේ මේක පෞද්ගලික අදහසක්. ඔයා ලියපු දේවල් ඔයාගේ නෙමේ කියල හැඟෙනවා නම් ඒක එහෙමයි. නමුත් ඔයාට ඒක අනිත් අයට ආදේශ කරන්න බැහැ. ඔය අප්‍රසන්න බොරුව මාත් කාලයක් ඇදහුවා.  ඒවා තුල මිනිස් ශ්‍රමය මිනිස්සු අවුරුදු ගානක් තුල වැවපිරුවේ නැත්නම් ඔය දැනුම ඔයාට ලැබෙන්නෙත්  නැහැ  මට ලැබෙන්නත් නැහැ. නමුත් ඒ දුන්න අයව අපි දන්නවා . ඒවාට නමක් තියනවා.  එකයි අදත් අපි ඔවුන්ව ආදරයෙන් මතක් කරන්නේ. බුදුන් හොයා ගත්ත අලුතින් කියපු දේවල් නැතිව ඇති. ඒ දවස් වල කොපි රයිට් තිබ්බේ නැහැ. නමුත් එයාගේ නම කියනවා. එයා උද්දක රාම පුත්‍ර ගාවට , පස්වග මහනුන් ගාවට ගියා කියල අපි කියනව. ඔවුන්ගේ අදහස්  වලට අපි නමක් දෙනවා. මාක්ස් ගේ නම කියනවා. අනිත් එවුන්ගේ නම්  කියනවා. බුදුන්ට කොපි රයිට් ඉල්ලන්න අවශ්‍ය නැහැ. ඒ වෙනුවෙන් සටන් කරන්න එවුන් ඉන්දෙද්දී. තමන් ලියපු  දේ නිසා තමා  ගෝර්කි, ඇරිස්ටෝටල් , ශේක්ස්පියර් නම් වෙලා තියෙන්නේ. ශේක්ස්පියර් ගේ නාට්‍ය “එයා හරියට ලිව්වේ නැහැ” කියල ඔයා කෑලි  දාල ලියල ඔයාගේ නමින් ඒක  පල කරලා සම්මානයක්  ගත්තොත් ඒක  සදාචාරාත්මක නැහැ. තර්කය ඒකයි . ඔයා කියන්න ඕනේ මේක ශේක්ස්පියර් ගේ නාට්‍යයක්, මම වෙනම මගේ විධිහට හැදුව. එහෙම කරන්න පුළුවන්. ඔයා මූලාශ්‍රය නම් කරල තියෙන්නේ.  අයිතිකාරයා මතක් කරලා. තව එකක් මතක් වුනා. මූලාශ්‍ර  හොරු වැඩිපුරම  ඉන්නේ ලංකාවේ . ඒ ගොල්ල දාන තර්කයත් ඒක . අරය මෙයා ලිව්වට ඕව අයිති ලෝකෙට. මිත්තනියගේ වස්ත්‍රය තමයි. . ඔය අප්‍රසන්න තර්කය  නිසා අනුන්ගේ පහනෙන් එලිය බලල දියුණු වෙච්ච  අය සමාජයේ වැඩියි. . අදත් එහෙමයි ලේඛකයන්ට. දියුණු වෙන්නේ වෙන එකෙක්. ඒ අස්සේ උන් ලියපු දේවල්  බොරු තර්ක ගෙනල්ල උස්සනවා. . 
//ඕනෑම දෙයකට මුල්‍යමය අගයක් තීරණය කිරීම මේ දේශපාලන ආර්ථික ක්‍රමයේ නියමයක් නිසා// සෝවියට් දේශයේදී ලියන්නන්  හැමෝටම පඩියක් ගෙව්වා. එනිසා සමහර ලියන දේවල් වලට නමක් අවශ්‍ය වුනේ නැහැ. ඒ වගේම පඩිය ගන්න ලියපු එව්වොත්  හිටිය.  නමුත් නිර්මාණ වලට නම් දුන්න. මොකද ඒක වික්කත් නැතත් බුද්දිමය අයිතියක් නිසා.  ඔහොම වෙන දේවල් වලටත් නැහැ කියල කියපු සමාජවාදී රංචුවක් හිටිය. තවමත් ඉන්නවා. හැබැයි හොයල බැලුවහම උන්ට අර අනිත් එවුන්ට අත අරින්න  කියපු ඔක්කොම තියනවා. හාමුදුරුවරුත්  එහෙමයි. අනිත් එවුන්ට අත හරින්න  කියන දේවල් උන් පාවිච්චි  කරනවා. මම දන්නවා  ඔයා පෞද්ගලිකව එහෙම කෙනෙක් නෙමේ කියල. නමුත් ඔය තර්කය රකින්න එපා ඒක  සදාචාරාත්මක නැහැ. අමන තක්කඩි කම තමයි නිර්මාණකරුවෙක්  ගේ දෙයක් කොපි කරන එකයි , ඒවා අරගෙන විකුණලා ජිවත් වෙන එකයි.බොහොමයක්  නිර්මාණ කරුවන් ,ගත්  කතුවරුන් හිඟා කාලා මැරිලා තියෙන්නේ ඒ නිසා. කතුවරයා මිය ගිහින් අවුරුද 150 කට පස්සේ අවසර ගන්නේ නැතිව පරිවර්තන අයිතිය හෙම දෙනවා. ඒවා ලෝක සංස්කෘතියට අයත් දේ වශයෙන්. එහෙම උනත් ඒ කතුවරයාගේ නම් පල කල යුතුයි. තමන් ගේ නමින් පල කරන්න බැහැ . ලෝකය පිස්සු ගුහාවක් වෙනවා නැත්නම්. 
%d bloggers like this: