Menu Close

රටටම බැඩ උලෙන දා – පළමුවෙනි කොටස

සොයිසලා තුන් දෙනෙකුගේ චණ්ඩිකම්වලින් බදුල්ල හෙල්ලී හිටි ඒ කාලේ….

“අනේ රංජි පුතේ…. සොයිසා කියලා මහා ලොකු සල්ලිකාරයෝ වගයක් මේ පැත්ත හොල්ලාන හිටියා කියලා විතරක් යාන්තමට මතකයි…. ආයෙ කාටද මයෙ පුතා ඔව්වා මතක තියාන ඉන්ඩ පුළුවන්…. ඒ කාලේ අපි පුංචි කෙල්ලොනේ!” සෝමාවතී හපුආරච්චිගෙන් 50-60 දශකවල බදුල්ලේ  හිටි චණ්ඩි ගැන ඇහුවොත් කියනවා ඇත්තේ එහෙමය.

අර්නල් සොයිසා, හරමානිස් සොයිසා, මැනුවෙල් සොයිසා කියන තුන්දෙනා බදුල්ලේ නමගිය චණ්ඩි බව කියන්නේ ඉතිහාසයයි!

“ඇයි පුතේ ඒ දවස්වල ආයෙ අපට පත්තර තිබ්බය කියලා? වෑර්ලස් රේඩියෝ තිබ්බය කියලා…. අපේ තාත්තලා-අම්මලා ආයෙ සන්දෙටවත් ගියා කියලය…. ගෙදරට ඕනි කරන දුරුමිරිස්-තුනපහ ටික වුණත් ගත්තේ කඩේ බාප්පාගේ කඩෙන් ඕං!” ඇය කියනු ඇත!

“අපේ තාත්තා ගමේ ගොඩේ මොනවාවත් හොයපු කෙනෙකුත් නෙවෙයිනේ…)

මොකක් හරි කියන්නට ගත්තාමය ඒවාට අදාළ තවත් කරුණු….

(සන්දෙ කියන්නේ බදුල්ලේ සති පොළටයි. දැන් නම් කොහොමද මන්දා… ඉස්සර නම් ඉරිදාට එය පැවැත්වුණේ බදුල්ල දුම්රිය ස්ථානයට ඉදිරිපසින් තිබුණු පහත් බිමකය.)

මගේ හිතේ නළියමින් තියෙන ප්‍රශ්න ටික සෝමා පුංචි ඉස්සරහින් වාඩිවීගෙනම අහගන්නටය මං පෙරුම් පුරමින් හිටියේ.

සෝමා පුංචි ගැන බ්ලොගය පටන් ගත් දවසෙමත් ලියන්නට වුණේය. දැන් නම් හිතාදර පාඨක ඔබට අමතක වෙලාත් ඇති.

අපේ ලොකු මාමාගේ විවාහය දවසේ මනාලිය කැන්දන් එන්නට ගියාම වෙච්චි දේ…. මනාලියට අන්දවන කෙනා නෑවිත්…. සෝමා පුංචි, කඩේ පුංචි එහෙම එකතුවී මනාලියට ඇන්දවූ හැටි….. මං වහන්සේ මනාලියට ‘Double Bun’ හෙයාර් ස්ටයිල් එක දැමූ රඟ….. 

ආයෙමත් ඒවා click වෙන්නේ දැන්ය!

මතකයේ හැටි එහෙමය. මොකක් හරි කියන්නට ගත්තාමය, අදාළ දේවල් ටිකෙන්-ටික මතක්වීගෙන එන්නේ. ඒ ඇන්දිල්ල ගැන ‘ආදර පූජාසනේ- 8’ පෝස්ටුවට, සෑම් පෙරේරා හිතවතා ඔක්තෝබර් 3 වෙනිදා එවා තිබුණු කමෙන්ටුව කියවද්දීවත් සිහියට ආවේ නැතිය. 

මේ දේවල් කරද්දී ඔයාට බය හිතුණේ නැද්ද?

මිනිස්සුන්ව අන්දන එක කලාවක් නම් “නිදි” එහි පිකාසෝ කිව්වාට වරදක් නැහැ. මේ දේවල් කරද්දී ඔයාට බය හිතුණේ නැද්ද, මොකක් හරි ප්‍රශ්නයක් ඇති වෙයි කියලා? තං මීටරේ තිබුණ ඒවායින් මට මතක මේ ටිකයි. අන්තිම දෙකේ අනුපිළිවෙල වැරදි විය හැකියි. නොතං, බොත්තං, යංතං, තං, පතං, නොපතං, දොන්ත පතං!

තොරතුරු මතු කර ගන්නට ඕනේ බලෙන් නොවේ; එකෑවරමත් නොවේ. පොහොර දමමින්, හූමිටි තියමින් හීන් සීරුවේය. මීමැස්සෙකු මලකින් රොන් ගන්නවා වගේ සාර සුබාවටය.

“අනේ රංජි පුතා…. මගෙත් ඇස්දෙක පියවෙන්න ඉස්සෙල්ලා ආයෙ වතාවක බදුල්ලේ ඇවිත් යන්ඩ එන්නකො පුතේ!” සතියකට, දෙකකට වතාවක් සෝමා පුංචි ඉල්ලා සිටියි. “ඔයා ඉතිං අපේ ගෙදරට ගොඩ වැදිලා නැහැනෙ තාම….” අනෝමා මානෙල් නංගිත් නෝක්කාඩු කිව්වේ වතාවක්-දෙකක් නොවේ.

“ආයෙමත් මෙහෙ ඇවිත්… දවසක් දෙකක්වත් ඉන්ඩ බලාගෙනම එන්ඩකො අයියා… එදා වගේ සිංදු කියලා….” දිස්නා නංගි මතක් කරන්නේ 2014 ඔක්තෝබරයේ බදුලු ගිහින් දවස් දෙකක් එයාලගේ ගෙදර හිටි විත්තියයි.

දිස්නා නංගී මේ මතක් කරන්නේ 2014 එහාට ගිය වෙලාවේ….

ඒ යද්දී සිරි බාප්පාත් ජීවතුන්  අතරය. ඊළඟට අප බදුලු ගියේ සිරි බාප්පාගේ මළගමටය. උදේ ගිහින් හවස ආවා විතරය. “ඔයා ඉතිං එනවා එනවා කියනවා විතරයි රංජි අයියා. ආයෙ එන්නෙ අපි කවුරු හරි මළාම තමා!” නිරංජනී නංගි එදා කිව්වේ කඳුළුත් පෙරමිනි.

ඇත්තම කියනවා නම් මාත් ඉන්නේ එහි යන්නට ආසාවෙනි. නැත්තේ නිවාඩුය; ඒකත් මට නොවේ. අපේ මානෙල් නංගිලාට, නෙවිල්ට එහෙමය…

තනියම එහෙ ගිහින් වැඩක් නැතිය.

අල්ලාප-සල්ලාප නැඟලා යන්නේ හරස් ප්‍රශ්න අහන්නට- කාඩ් ගහන්නට- රණ්ඩු කරන්නටත් කට්ටිය ඉන්නා විටය. මං හිතාන හිටියේ අමාරුවෙන් හරි; බලහත්කාරයෙන් හරි ඒ කට්ටියට නිවාඩු හොයාගෙන දවස් තුනකට බදුලු යන්නටය.

මං හිතාගෙන හිටි ගොඩාරියක් දේවල්; සැලසුම් වෙනස් කළේ පියවි ඇහැට නොපෙනෙන පුංචි වෛරසයකි; Covid 19ය. 

කොරෝනාවෙන් වෙනස් වුණේ; උඩු යටිකුරු වුණේ මගේ අහිංසක සැලසුම විතරක් නොවේ. මුළු මහත් පෘථිවිතල වාසීන්ගේම සැලසුම් හා බලාපොරොත්තුය!

අනෝමා මානෙල්, නීරන්ජනී දූලායි සෝමා පුංචියි…

හිතේ තෙරපෙන දුක හිතාදර ඔයාලට කියාගෙන ගියා මිස, ඒ සමහරක් කරුණු ‘නිදිගෙ පංච තන්තරේ’ පාඨකයන්ට ‘අන්ඩර දෙමළ’ හෝ ‘ග්‍රීක්’ හෝ වෙන්නට පුළුවන් බව මට කල්පනා වෙන්නේ දැන්ය.

සෝමාවතී හපුආරච්චි කියන්නේ විවාහයෙන් පස්සෙය.

ඊට කලින් එයා රහුබැද්දේ විදානේලාගේ සෝමාවතීය; ආර්.වී. ලීලාවතීගේ- අපේ අම්මාගේ නංගීය.

සෝමා පුංචිත් බදුල්ලේ එකියකි. මං මීට කලින් අපේ මව්රාජිනිය ගැන හෙළි කොට ඇති ‘නිගමනයක්’ පුංචිටත් වලංගුය. එයාත් පිරිමියෙකුට පැදුර පෑගුණත් ගැබ්බර වෙන අංගනාවකි. 

බදුල්ලේ කණුපැලැල්ල මයිලගස්තැන්නේ හිටි ආර්.වී. කිරිවන්තේ උන්දෑට නම් හිටියේ දූවරුන් දෙන්නෙකි.

ඒත් ලොකු දුවට දරුවන් දහ දෙනෙකි. දෙවෙනි දුවට දූපුතුන් අට දෙනෙකි. ජයන්ත, අනෝමා, නිහාල්, රෝහිණී, නිරංජනී (නීනි), දිස්නා, ගීතා (බේබි) හා චින්තා කියන්නේ පිළිවෙලිනි.

ඒ පැත්තෙන්ම කලිසන් අඳින අයව කසාද බැඳගත්තේ…..

“ඔයා දන්නෙ නෑ රංජි අයියා. ඉස්සර අපේ අම්මා කියන ආඩම්බර කතා…. එයයි, ලොකු අම්මයි විතරලු ඒ හරියෙන්ම කලිසන් අඳින දෙන්නෙක්ව කසාද බැන්දේ….” සෝමා පුංචිගේ ලොකු දූ අනෝමා මානෙල් නංගී තවමත් එයාල අම්මාගේ ‘පම්පෝරියක්’ මතක් කරමින් සිනාසෙයි.

“අක්කයි නංගියි දෙන්නම තකට තක. අපේ අම්මා හිටපු ගමන් නයෙක් අරිනවා- බදුල්ලටම හිටිය ලස්සන කෙල්ලෝ දෙන්නා එයාලයි කියලත්.” මම කියන්නෙමි.

කතන්දරේ විදිහට නං ‘සෝමා නංගිට’ කසාදය පට්ටල් කරලා තියෙන්නෙත් ගුණපාල මස්සිනාමය. ඒ කොළඹ හාදයා ගම්පහට ඇද්ද නිසාද, රේල්ලුවේකමට ඇද්ද නිසාද කියලා දැන් අහගන්නට බැරිය. දෙන්නාම දැන් මිය පරලොව ගොසිනි.

කලිසන්කාරයෝ වුණාට දිසානායක හේවගේ ගුණපාල, සිරිසේන හපුආරච්චි දෙමස්සිනෝ පුදුමාකාර නීතිකාරයෝ වූහ.

ඉස්සෙල්ලාම බදුල්ලට කෝච්චිය එන දවසේ ඒ අහිංසකයන් තණකොළ කපාගෙන… (foto- Shashin Wijethunga)

අපේ තාත්තා ගැන කියන්නට නම් බදුල්ලේ සීයාට අපේ අම්මා දුන් වී ගෝනියේ කතන්දරය විතරක් මතක් කළාම ඇතිය. සිරි බාප්පා හිටියේත් අපේ තාත්තා වගේම ගෙදර හැමෝම බය කරගෙනය. (ඒ මං දැක්ක විදිහය.) 

මට හිතෙන්නේ මේ පිරිමි දෙන්නාම ඒ විදිහට රජ කරන්නට ඇත්තේ බදුල්ලේ සීයා ගැමි ගොවියෙකුවූ නිසා වෙන්නට ඇති; බදුල්ලට ඉස්සෙල්ලාම කෝච්චිය එනවිට, කෝච්චියේ අශ්වයන්ට තණකොළ කපාගෙන ආව තරමේ අහිංසකයෙකුවූ නිසා වෙන්නටත් ඇති. 

කිරිවන්තේ උන්දැගේ බෑනලා දෙන්නාම හිතාගෙන හිටියේ එයාලා රජවරුන්ය කියලාය.

(හැබැයි, මා තේරුම් ගත් හැටියට තවත් භයානක ඇත්තකුත් නොකියා බැරිය.) මේ බිසෝවරු දෙන්නාම රජවරුන්ට නොදැනෙන්නට එයාලාගේ නහයත් විදලා- නාස් ලණුත් දමාගෙන හිටියෝය. (ඔහොම පෙනුණේ මගේ ඇස්වල ඒ දවස්වල කොරපොතු තිබුණ නිසාවත්ද?)

නමුත් මේ අක්ක නගෝ දෙන්නාම අපේ තාත්තාට කීකරු නොවෙන්නට….

සූර්යග්‍රහණ සිදුවෙන ආකාර අනුව….

එහෙම කීකරු නොවුණා නම් මොනවා වේදැයි උපකල්පනය කිරීමෙන් වැඩක් නැත. කීකරු වීමේ වාසි පැත්ත ගැනය මා බැලිය යුත්තේ. ඒ වාසිය හිමි වුණේ මට හින්දාය; මාරකයකින් ගැලවුණේ බිලිඳු මා හින්දාය.

ඒ පූර්ණ සූර්යග්‍රහණයක් තිබුණු දවසකය! හරියටම කියනවා නම් 1955 ජුනි 20 වෙනිදා….

සූර්යග්‍රහණයක් වෙන්නේ සූර්යයාත් හඳත් පොළොවත් එක පෙළට පිහිටන වෙලාවක… පොළොවේ ඉන්න කෙනෙකුට හඳේ හෙවණැල්ල නිසා සූර්යයා නොපෙනී යාමෙනි…. බොහොම පුංචි වෙලාවකට. සූර්යග්‍රහණ වර්ග තුනකි; අර්ධ, වළයාකාර හා පූර්ණ වශයෙනි.

මෙහෙම වෙන්නේ හැමදාම නෙවෙයි. අවුරුද්දකදීම වුණත් හතර වතාවක් විතරයිලු සූර්යග්‍රහණ වෙන්නේ. එයිනුත් පූර්ණ සූර්යග්‍රහණ හරිම කලාතුරකින් වෙන්නේ! 55 වුණෙත් එහෙම එකක්!

අදට අවුරුදු 65කට කලින්!!

සූර්යග්‍රහණය රූප ගන්නා විද්‍යාඥයන් බිලි ගනීද?

එදා ඉඳලා ලෝකය කොච්චර වෙනස් වෙලාද? වැඩියත්ම තාක්ෂණය නිසා. අද උදේ පාන්දර ප්‍රවෘත්ති බලද්දී දැක්කේ හරිම සුබදායක පුවතක්….. ඔයාලාට කලිනුත් කිව්වේ…. කොරෝනා නිසා ලෝකෙම උඩු-යටිකුරු වෙලා…. අංජ-බජල් වෙලා…. නන්නත්තාර වෙලා. සුබාරංචිය තමයි අපේ බලවන්තයෙක් විශ්ව ශක්තියෙන් ‘කොරෝනා’ව කොර කොරවන්නයි හදන්නේ.

ඊයේ අපේ ලොක්කො-ලොක්කියෝ තුන් දෙනෙක් ‘අර විශ්ව ශක්තියෙන් බල ගැන්වූ ජල කුම්භයන් හතරක් මාදු- කළු- කැළණි ගංගා තුනට වත් කරලා.

මං ඒත් බැලුවා මට වැරදිලාද කියලා. කළගෙඩි හතරක් ගඟවල් තුනකට?

හරිනේ… දෙන්නෙක්ම එකම කැළණි ගඟට දෙපොළකදී වතුර දාලා. නයි පටෝපු ගඟනෙ… නාග ලෝකෙටත් කොරෝනා පැතිරිලා වෙන්ටැති. නැත්තං මේ වෙලාවෙත් චීන කරඬුවක දාලා හරි එහෙන් බේතක් එවයි!

ඒ විතරක් නෙවෙයි; සෙසු දිස්ත්‍රික්කවල මැති-ඇමතිවරුන්ටත් ඒ පැන් කළගෙඩි බෙදා දීලා, ගම පළාත්වල ජල ධාරාවන්ට මුදා හරින්න.

විශ්ව ශක්තිය අඩංගු ඒ වතුරෙන් නාන්නද, බොන්නද ඕනෑ?

මේ කොරෝනා වසංගතේ දූරිභූත කරන්න ඇහැක් වෙන්නේ ඒ වතුර බිව්වමද, නෑවාමද නැත්තං ලෙඩාගේ පණ යන කල් ඒ ජලයේ ගිල්ලලා තිබ්බාමද කියලා නං තවම කියලා නෑ. මුලින්ම ගංගාවලට වක්කොරන්න ඇත්තේ සප්ත මහා සාගරයම ඖෂධයක් කරන්න හිතාගෙන වෙන්නත් පුළුවනි.

හැබැයි වැඩේ කියන්නේ මේ මනුස්සයෝ ටික ගඟට වතුර දාන්නේ පොලිතීන්වලින් කට ගැට ගහපු විදිහටම තියෙද්දී. නාවුක හමුදාවෙන් කිමිදුම් සූරයෝ යවන්නයි වෙන්නේ ඒවා ලෙහලා දාන්න. 

මොක වුණත් ඒ මහත්තැන්ලා business minded කට්ටිය නං නෙවෙයි!

මං වගේ නසරානියෙක් නං ඉස්සෙල්ලාම වතුර කළගෙඩි ටික යවන්නේ ඇමෙරිකාවට. එහෙ දවසකට කොරෝනා ලෙඩ්ඩු ලක්ෂෙත් පනිනවලුනෙ. ඇයි එංගලන්තේ…. සුමාන ගාණකට lock downලු! ප්‍රංශේ… ඒ වගේ තැන්වලට වතුර යවලා ලෙඩ්ඩු සනීප කළා නං අම්මපා, ඒ මහත්තැන්ලා නිකන් ඉඳීවිද කෙළෙහිගුණ නොපෙන්නා. ෂුවර්, අපේ විදේශ ණය සේරම උන්නැහේලා ගෙවා දමාවි නේද?

මේ වැඩෙත් අර හදිස්සියේ අපේ රටට ගෙන්නපු කොරෝනා පරතිකාරේ ‘අවිගන්’ වගේ එකක්ද කියලා දන්නෙ කවුද අප්පේ?

එතකොට මටත් ජයන්ත පුතාව…. (වමේ සිට) නිහාල්, නාරද හා ජයන්ත 

ඔන්න අපේ මොළේ! අපේ හැටි!! ප්‍රභාකරන් කිව්වැහේ ලංකාවේ මිනිස්සුන්ගේ මතකය සුමාන දෙකයි තමාය!!!

ඉතිං අවුරුදු 65කට ඉස්සෙල්ලා හිටිය ගොඩාරියක් පුරවැස්සන්ට තිබුණු මොළයේ වපසරියත් හොඳට පෙනුණේ එදා පොටේ තමාය.

“ලීලක්කට එහෙමත් ආරංචිය හම්බ වෙලා…. මටත් කවුදෝ කිව්වා! එතකොට මටත් ජයන්ත පුතාව හම්බ වෙන්ඩයි හිටියේ….” සෝමා පුංචි මතකය අවදි කරවන්නීය.

“සෝම නංගී…. පත්තරේක තිබ්බලු හෙට උදේට ඉර නොපෙනී යනවය කියලා… රෑ වගේම කරුවල වෙනවලු….”

“ඔව් ඔව් ලීලක්කා. ආං හැමෝම පුදුම වෙලා බලාගෙන ඉන්නවා හෙට වෙනකල්…. කල්ප-කාලාන්තරේකින්ලු මෙහෙම වෙන්නේ කියල කියව්වලු කඩේ බාප්පත්…..”

‘කඩේ බාප්පා’ මට නම් කඩේ සීයාය. විනයවර්ධන කල්ලියේ සාමාජිකයෙකුවූ; පාංශුකූලයකටවත් සංඝයා වහන්සේ කෙනෙකු වැඩම්මුවේ නැති කෙනෙකුවූ කඩේ සීයා ඒ ඉසව්වටම හිටි බුද්ධිමතාය; රැඩිකල් මතධාරියාය. ජ්‍යෝතිෂය දැන සිටි ඔහු හැමදාම නිඳා ගත්තේ මිනී පෙට්ටියකය. 

ලීලක්කයි මමයි කතා වුණේ පුතාටත් වදකහ පොවන්න!

“රංජි පුතා. එදා තව ඩිංගෙන් ලීලක්කයි, මායි ඔයාල තාත්තාගෙන් ගුටි කාලා මැරෙනවා!”

සෝමා පුංචිගෙන් මං මේවා අහගත්තෙ ළඟින් වාඩි වෙලා ඉඳගෙන නොවේ. යන්නට තහංචි හින්දා ටෙලිෆෝනයෙනි.

විඩෙන්-විඩේ එක-එක්කෙනාගෙන් කියවිලා තිබුණු තොරතුරු මෙහෙම ලේඛනාරූඪ කරද්දී, නැවතත් ඒවා විමසා බැලීම මගේ සිරිතය. නිකම්ම ‘මම තොරතුරු සපයමි – ඔබ තීරණය කරන්න’ කිව්වාට මදිනේ. හරිම ඇත්ත ලියලා තියන්නට වගකීමකුත් තියෙන්න ඕනිනේ…..

“ලීලක්කයි මායි කතා වුණේ ඔයාටත් වදකහ පොවන්ඩ!”

ඒ ඉරිදා, 1955 ජුනි 19 වෙනිදා ‘ඉරිදා ලංකාදීප’ පත්තරයේ වදකහ ගැන එවැනි උපදෙසක් පළවී තිබුණේලු. පූර්ණ සූර්යග්‍රහණය පවත්නා විනාඩි කිහිපය තුළදී වදකහ ස්වල්පයක් ගලගා පානය කිරීමෙන් වඩ-වඩාත් රූමත් විය හැකි යැයි ඒ පුවතේ තිබුණේල.

“ඇයි පුංචි, මම ඒ කාලේ කැතටද හිටියෙ?”

අනේ පුතේ ඔයා එතකොටත් ලස්සනයි! (අම්මයි මමයි)

“අනේ රංජි පුතා…. ඒ පැත්තේ හිටිය ලස්සනම කොල්ල ඔයා…. අපි හැදුවේ ඔයාව තවත් ලස්සන කරවගන්ඩයි. එකම ගෙදරක වගෙයිනෙ රංජි පුතේ අපි සේරම හිටියෙ. තනි- තනි බිත්තියෙන් තමා ගෙවල් වෙන්වෙලා තිබ්බේ.

-ඉතිං පුතේ ලීලක්කට වඩා ඔයා හිටියෙ මගෙ අතේ… පුතා දන්නවද? ගුණපාල අයියට තරහ ගිය ගමන් කරන අසත්පුරුෂ වැඩේ. ‘ගන්නෙ එහෙම නෑ මගෙ කොල්ලව උඹේ ළඟට’ කියලා ඔයාව වඩාගන්ඩ නොදී ඉන්නවා…. අනේ ඇත්තමයි පුතේ…. පුතාල තාත්තා හරිම නපුරුයි වෙලාවකට!”

“ඉතිං පුංචියි අම්මයි දෙන්නත් වදකහ….”

“මයෙ අම්මා…. දෙයියොම තමයි බලන්ඩ ඇත්තේ…. එදා ඔයාටත්….”

“පුංචි. තැඹිලි වතුරෙන්ද කොත්තමල්ලි වතුරෙන්ද ඔයාලා වදකහ උරච්චි කළේ?” මම තවත් වතාවක් උත්තරය කටටම දීලාත් විස්තර ගන්නට උත්සාහ ගත්තෙමි. සෝමා පුංචිට එච්චර විස්තර වැදගත් නැත. වාර්තාවන් කියන්නේ රන්වන් පැහැති සමක් ලබා ගනු රිසි අය තැඹිලි වතුරෙන් වදකහ ගලගාගත යුතු බවයි. බුද්ධි වර්ධනයට නම් කොත්තමල්ලි වතුරෙනි.

හානේ! එහෙමද කියල තියෙන්නේ?

උපදේශයෙන් කියැවිලා තියෙන්නේ වදකහ මංචාඩියක් ගලගාලා දියරයකට මිශ්‍ර කරන්නැයි කියලාය.

“හානේ! එහෙමද කියලා තිබුණය කියන්නේ… අපට පත්තර හම්බ වෙච්ච එකක්යැ පුතා. ආයෙ උගුරැස්සගහවත්තේ එක-එක්කෙනා කතා වෙච්චි එව්වා අහගත්තා මිස?”

ඉතිං…

%d bloggers like this: