Menu Close

රුසියානු විප්ලවයේ සැමරුම සහ ‘නිම්නා ගේ ඉතිහාසය’

අද දිනය ‘රුසියානු විප්ලවයේ’ ඓතිහාසික සැමරුම් දිනයයි (අමතර සටහනක්: සම්ප්‍රදායිකව අප මෙය ‘ඔක්තෝබර් විප්ලවය’ ලෙස නම් කළ ද, එම දිනය ඔක්තෝබරයට වැටෙන්නේ එකල රුසියාවේ පැරණි ජුලියානු කැලැන්ඩරය භාවිතා වූ නිසාය. අද පොදුවේ භාවිතා වන ග්‍රෙගරියානු කැලැන්ඩරයට අනුව ගත්විට රුසියානු විප්ලවයේ ඓතිහාසික සැමරුම් දිනය අදයි, එනම්, නොවැම්බර් 7 වෙනිදා ය).

ඉක්මනින් වියැකී යන පරම්පරාවකට අයත් නොස්ටැල්ජික මතකයක් ඉක්මවූ දේශපාලනික අකණ්ඩතාවයක් රුසියානු විප්ලවයට තවදුරටත් නොමැති බව පිළිගැනීම අපහසු නොවේ. ‘බොල්ෂෙවිකයන්’ සිදු කළ දෙය වර්තමානයේ නැවත සිදු කිරීමට උත්සාහ කරන පිරිස අද වන විට බොහෝ අඩු වී ඇති බව අපි දනිමු. අනෙක් අතට එම විප්ලවය මගින් ආරම්භ කළ සමාජ අත්හදා බැලීම අසාර්ථක වූ බවත් අපි දනිමු. අද තිබෙන්නේ එම අසාර්ථක වීමෙන් පසුව බිහි වූ නව ලෝකයයි. එම ලෝකයේ ‘ඔක්තෝබර් විප්ලවය’ යනු ද අතීත නෂ්ඨාවශේෂයකි. එම නිසා අපගේ මෙම නව ඓතිහාසිකත්වය හඳුනා ගැනීම යනු රුසියානු විප්ලවය වෙනුවෙන් පෙනී සිටීමේ පළමු පියවර යි. කෞශල්‍ය කුමාරසිංහ ගේ භාෂාවෙන් කියන්නේ නම් අප දැන් සිටින්නේ ‘නිම්නා ගේ ඉතිහාසයේ’ ය – බර්ලින් තාප්පය බිඳ වැටෙන දා උපන් ‘නිම්නලා’ බර්ලින් තාප්පය යනු කුමක්ද කියා අසා නැත.

ඒ වෙනුවට අපට තිබෙන්නේ “ධනවත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව පොදු සමාජ ධනය පාලනය වන අතර නග්න වර්ගවාදය පොදු ජන මතවාදය ලෙස ගන්නා දේශපාලනයක්” සහ, එයට එරෙහිව, “ධනවත් මිනිසුන්ගේ අවශ්‍යතාවයන්ට අනුව පොදු සමාජ ධනය පාලනය වන අතර අනෙකා ඉවසීමට උත්සාහ කරන දේශපාලනයක්” අතර ඇති බෙදීමකි. සංක්ෂිප්ත වශයෙන් අපට මෙය ‘ට්‍රම්ප් සහ බයිඩන්’ බෙදීම ලෙස නම් කළ හැකිය. ඉතාම පැහැදිළි වන්නේ ඉහත පළමු වර්ගයේ දේශපාලනයේ අනුරාගික පෙනී සිටීම හමුවේ ඉහත දෙවැනි වර්ගයේ දේශපාලනය වේගයෙන් අර්ථ විරහිත වී යන බවයි (ට්‍රම්ප් වැනි ඇදහිය නොහැකි විකාර කාරයෙක් පවා පරාජය කිරීමට ඉහත දෙවැනි දේශපාලනයට මෙතරම් අපහසු වන්නේ එම නිසාය).

මෙහි අවසානය කුමක් විය හැකි ද? මෙම ප්‍රශ්නයට තිබෙන්නේ විවෘත පිළිතුරකි. අපට කළ හැකි එක දෙයක් වන්නේ ඉහත පළමු වර්ගයේ දේශපාලනය පසුපස ඇති මතවාදයේ පදනම සහ සම්භවය හැකිතාක් නිරවුල් ලෙස විශ්ලේෂණය කර ගැනීමයි. ‘ජාතිකවාදය’ විචාරයට බඳුන් කිරීමේ සමකාලීන අවශ්‍යතාවය වන්නේ මෙයයි. ‘ජාත්‍යන්තරවාදයක්’ වෙනුවෙන් පෙනී සිටි ලෝක ඓතිහාසික සිදුවීමක් බිඳ වැටී ‘ජාතිකවාදයන්’ පෙරට පැමිණියේ ඇයි? ප්‍රබුද්ධත්වයේ සබුද්ධික බලාපොරොත්තුව වෙනුවට ආගමික අන්තවාදයේ ගූඨවාදය අප වෙත උරුම වූයේ ඇයි? අප පිළිතුරු සැපයිය යුත්තේ මෙම ප්‍රශ්න වලටයි.

තරමක ලස්සන අහම්බයක් ලෙස, නිර්මාල් රංජිත් දේවසිරි සහ වංගීස සුමනසේකර අතින් ලියවුනු ‘සිංහල ජාතිකවාදයේ පාරිශුද්ධ ස්වරූපය විචාරයට බඳුන් කිරීම’ යන කෘතිය නිකුත් වීමට තිබෙන්නේ අද දිනයේ ය. සමහරවිට, අද දවසේ අපට ‘රුසියානු විප්ලවයේ උරුමය’ වෙනුවෙන් සිදු කිරීමට ඇති ප්‍රධානම දෙය මෙය විය හැකිය.

අද දිනය ඇතුලත එම පොත නිකුත් කරමු. එයට ඓතිහාසික පෙරවදනක් ලෙස රුසියානු විප්ලවය සම්බන්ධයෙන් බදියු ගේ මෙම සටහන කියවන්න. ශ්‍රේෂ්ඨ ඔක්තෝබර් විප්ලවයේ ඓතිහාසික වැදගත්කම ගැන ‘නිම්න ලා’ ට මේ මගින් කෙටි පැහැදිළි කිරීමක් ලැබෙනු ඇත.

***

‘1917 රුසියානු විප්ලවය මිනිස් ඉතිහාසයේ පෙර නොවූ විරු සිදුවීමකි’

=======================================

ඇලේන් බදියු

ගෝලීය වශයෙන් ධනවාදයට බැලූ බැල්මට අත් වී තිබෙන ජයග්‍රහණයට පසුව අද වෙනකොට අමතක කර දමා තිබෙනවා කියා පෙනෙන කරුණක් අවධාරණය කිරීමට මට අවශ්‍ය වේ: 1917 රුසියානු විප්ලවය යනු මිනිස් වර්ගයා ගේ ඉතිහාසයේ පෙර නොවූ විරූ සිදුවීමකි.

මේ අර්ථයෙන්, සියල්ල සලකා බැලූ විට, මිනිස් වර්ගයාගේ ඉතිහාසය සැබවින්ම කෙටි එකක් කියා මතක් කර ගැනීම ප්‍රයෝජනවත් වෙයි. එයට අයත් වන්නේ වසර 200,000 ක් පමණි. නමුත් අපේ ග්‍රහලෝකය ඩයිනෝසෝරයින් විසින් ආධිපත්‍යය දැරූ වසර මිලියන ගණනත් සමග සන්සන්ධනය කරන විට මෙය විශාල කාලයක් නොවේ. මේ කුඩා කාල අනුක්‍රමණය තුළ ප්‍රායෝගිකව සිදුව තිබෙන්නේ එක මූලධාර්මික ‘විප්ලවයක්’ බව අපට කිව හැකිය: නවශිලා විප්ලවය. මේ විප්ලවය නිසා වඩාත් දියුණු උපකරණ, වාසස්ථාන සමග කෘෂිකර්මය, භූමියේ හිමිකම පිළිබඳව ස්ථාවර අදහසක්, කුඹල් කර්මාන්තය, වැඩ නොකරන පාලක පන්තියකට ඉඩ දෙන ආහාර අතිරික්තයක වියහැකි බව, මේ මගින් රාජ්‍යය බිහි වීම, ලිවීම ඇති වීම, මුදල් ඇති වීම, බදු පැනවීම ආරම්භ වීම, යුධ උපකරණ (තඹ නිසා) පරිපූර්ණ වීම, දිගු දුර වෙළඳාම වැනි දේ ඇති විය. මේ සියල්ලම වගේ ඇති වී දැන් වසර දහස් ගණනක් වුවත් අප තවමත් සිටින්නේ එතැනමයි. නූතන විද්‍යාවේ උපකාරයෙන් සිදුවන කාර්මික නිෂ්පාදනය නිසා බොහෝ ක්‍රියාවලීන් වේගවත් වී තිබෙන්නේ වුවත් ප්‍රායෝගික යථාර්ථය වන්නේ අපේ ලෝකය තවමත් සතුරු රාජ්‍යයන්, යුද්ධ, ස්වභාවික සම්පත් ආයුධ බලයෙන් අත්පත් කර ගැනීම, අන්ත දරිද්‍රතාවයෙන් පෙලෙනා බිලියන ගණනක ජනතාවක්, අධික ජනගහනයක් තිබෙන ප්‍රධාන නගර වල නිර්ප්‍රභූ භූමිකාවන් ඉටු කිරීම සඳහා සියලු ප්‍රදේශ වලින් දුගී ගොවීන් මහා පරිමාණයෙන් අනවතර ලෙස පැමිණීම වැනි දේ වලින් සමන්විත වන ලෝකයක් බවයි.

දේශපාලන සංවාදයේ කේන්ද්‍රයට රාජ්‍යයේ ආර්ථික පදනම පිළිබඳව ප්‍රශ්නය පැමිණෙන්නේ බොහෝ කල් ඉකුත් වී, උපරිම වශයෙන් දැනට සියවස් කීපයකට පමණ පෙරයි. එතැන් සිට මේ එකම මර්ධනකාරී සහ මිනිසුන් පහත් කොට සලකන සමාජ සංවිධානගතවීම කුමන රාජ්‍ය ආකෘතියක් තුළ වුවත් (අධිකාරීවාදී වුවත්, ප්‍රජාත්‍රන්තවාදී වුවත්) හොඳින් පැල පදියම් විය හැකි බව අපට කිව හැකි විය, එසේත් නැතිනම්, තහවුරු කළ හැකි විය. මෙම සමාජ සංවිධානගතවීම වන්නේ පුද්ගලික දේපල වල සීමා රහිත ආරක්ෂාව සමග, පවුල මගින් එම දේපල උරුම කිරීම වෙත, සහ අවසානයේ දී ස්වභාවික සහ අනිවාර්යයි කියා සලකන මුළුමනින් බිහිසුණු අසමානතාවයන් නඩත්තු කිරීම සමග මග හැරිය නොහැකි ලෙස බැඳී තිබිය යුතු බවට ගනු ලබන රාජ්‍ය තීරණයි.

දේශපාලන බලයේ ආකෘතිය ප්‍රශ්න කිරීමට පමණක් සීමා වූ ප්‍රයත්නයන්ට වඩා මුළුමනින් වෙනස් වූ විප්ලවවාදී ප්‍රවේශයන් පැමිණියේ මින් පසුවයි. සමස්ත දහනමවන සියවසම සලකුණු වන්නේ මෙවැනි දිශානතියක් සහිත විප්ලවවාදී ප්‍රයත්නයන් වල – බොහෝ විට ලේ වැකි – අසාර්ථක වීමත් සමගිනි. මිනිසුන් තිස්දහසක් පමණ පැරීසියේ මාවත් වල මිය ගිය පැරිස් කොමියුනය මේ අතරින් වඩාත් ශ්‍රේෂ්ඨ විනාශය වෙයි.

ඉතින් අපි මෙහෙම කියමු: 1914 සිට 1918 දක්වා වූ මහා යුද්ධයට අපරික්ෂාකාරී ලෙස සම්බන්ධ ව සිටි රුසියාවේ ඒකාධිපති මධ්‍යම රජයේ දුර්වල වීමේ සන්දර්භය තුළ; මෙම රාජ්‍යය පරාජය කරන ලද පළමු ප්‍රජාතන්ත්‍රවාදී විප්ලවයේ (1917 පෙබරවාරී) පසුබිමේ සිට; කැරලි ගැසීමට සූදානම් වූ සහ ඒවා අධෛර්යමත් කරන සම්ප්‍රදායික වෘත්තීය සමිති ද නොමැති වූ බොහොම තරුණ වැඩකරන පන්තියක් සකස් වීම සමග; සංවිධාන ශක්තිය අති විශිෂ්ඨ වූ බොල්ෂෙවික් පක්ෂයක නායකත්වය යටතේ; පැරිස් කොමියුනයේ පාඩම් වලින් උපන් දිගු සටන්කාමී අත්දැකීම් සහ ශක්තිමත් මාක්ස්වාදී සංස්කෘතියක් එකතු කළ ලෙනින් කෙනෙක් සහ ට්‍රොට්ස්කි කෙනෙක් සමග; මේ සියල්ල එකතු කරමින්, 1917 ඔක්තෝබර් වලදී සමස්ත මිනිස් ඉතිහාසයේම ප්‍රථම වරට පශ්චාත්-නවශිලා විප්ලවයක පළමු ජයග්‍රහණය සනිටුහන් විය.

මෙමගින් අදහස් වූයේ සියලුම ‘නූතන’ සමාජ වල වසර දහස් ගණනක් පැවති පදනම් මුලිනුපුටා දැමීම සිය නිල ඉලක්කය ලෙස පිළිගත් බලයක් ස්ථාපිත කරනා විප්ලවයකි. එම පදනම වන්නේ නිෂ්පාදනයේ සහ හුවමාරුවේ මූල්‍ය පාලනය හිමි අයගේ සැඟවුණු ඒකාධිපතිත්වයයි. මෙය නව නූතනත්වයක පදනම සඳහා මාවත විවර කළ විප්ලවයකි. මෙම පරම නවීනත්වයේ පොදු නාමකරණය වූයේ – මට හිතෙන ලෙසනම් එය තවමත් එසේ විය යුතු ය – ‘කොමියුනිස්ට්වාදය’ යන්නයි. ලෝකය පුරා සිටිනා විවිධ මිනිසුන්, කම්කරුවන්ගේ සහ ගොවි ජනයා ගේ සිට බුද්ධිමතුන් සහ කලාකරුවන් දක්වා අය, ‘කොමියුනිස්ට්වාදය’ ලෙස නම් කළ මෙම විප්ලවය පිළිගත්තේ උද්‍යෝගයෙනි. එයට පෙර තිබූ සියවසේ දරුණු පරාජයන්ට ප්‍රතිචාර ලෙස එම උද්‍යෝගය අනුපාතිකව සම විය. දැන්, ජයග්‍රාහී විප්ලව වල යුගය ආරම්භ වී ඇති බව ලෙනින් ට කියන්නට හැකි විය.

මෙම පෙර නොවූ විරු වීර චාරිකාවේ පසුකාලීන වර්ධනයන් කුමක් වුවත්, ලෝකය පුරා සිටිනා සමකාලීන නවශිලා කල්ලි විසින් නැවත පාලනය සියතට ගැනීමේ වර්තමාන තත්වය කුමක් වුවත්, 1917 ඔක්තෝබර් වල කොමියුනිස්ට් විප්ලවය යනු මිනිස් වර්ගයාගේ සද්භාවවේදී ඇතිවීමේ කාලික තලය තුළ, පාලක ධනවාදය යනු, සදාකාලිකවම අතීතයට අයත් දෙයක් බව දැන ගැනීමට අපට ඇති පදනමයි. ඇති වී නැති වී යන දෘශ්‍යමානයන් කුමක් වුවත් මෙය වෙනස් වන්නේ නැත.

සිංහල පරිවර්තනය

වංගීස සුමනසේකර

%d bloggers like this: