Menu Close

ඇස් පෑදේවා!- තෙවෙනි කොටස

අඩියෙන් අඩිය තමයි ඒවා ලබා ගත්තේ….

“දැනට තිස් අවුරුද්දකට ඉස්සෙල්ලයි හම්බන්තොට රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය පටන් ගත්තේ. තනි දොස්තර මහත්මයෙකුගෙන්… වෛද්‍ය A.P.S. අබේසූරිය මහත්මයා මෙහාට එනකොට අවශ්‍ය අක්ෂි වෛද්‍ය උපකරණ මොනවාවත් රෝහලේ තිබ්බේ නෑ. එතුමා ඇවිත් තිබුණේ ටෝච් එකක්  විතරක් අරගෙන….

-අඩියෙන් අඩිය ඒවා ලබාගත්තේ. ඊට තුන් අවුරුද්දකට පස්සේ මටත් මේ අංශයට පත්වීමක් ලැබුණා. අපි දෙන්නට හැරෙන්නටවත් ඉඩක් නැති කාමරයකයි අපිට මුලින්ම වැඩ කරන්නට වුණේ!….”

අලුත් ක්ලිනික් එක විවෘත කරන වෙලාවේ, ඒ විස්තර කියැවුණේ, අක්ෂි වෛද්‍ය අංශයේම 27 අවුරුද්දක සර්විස් එකක් ඇති සුජානි නංගිගේ පිළිගැනීමේ කතාවේදීය.

පසුගිය අවුරුදු හතරටම, තුන් වතාවකි- අක්ෂි වෛද්‍ය සායන පැවැත්වෙන තැනට මං වුණත් ගිහින් තියෙන්නේ. ඒ එතැන තිබුණු තදබදයට තිබෙන අප්පිරියාව නිසාමය. එතැන ඕනෑම දවසක පිරීතිරී පිටාර ගලන තරමට සෙනඟය; සුජානි නංගිව හමු වෙන්නට වුණත් යන්නට වුණේ සෙනඟ පීරාගෙනය. ඒ තරමටම ඉඩ නැති-ඇහිරුණු තැනකය; සායනය පැවැත්වුණේ.

කොහොමද අපේ කෑම? (මේ fotoව දොස්තර මහතාට සමු දෙනදා ගත්තකි.)

“ඒ නිමල් අයියෙ… කොහොමද අපේ කට්ටියගෙ කෑම-බීම? රහයිද….”

කෙටි විවෘත කිරීමේ වැඩ සටහන අවසානයේ, හැම දෙනාටම කෙරුණු සංග්‍රහය අතරතුරදී සායන අංශයේ කාන්තාවක් මගෙන් විමසුවාය.

(ඇය මගේ නමින්ම ඇමතුවත්, මට ඇයව හඳුනාගත නොහැකි විණි. සමාවෙන්න නංගී. ඔයා හිටියෙත් මාස්ක් එකක් දාගෙනනේ…. අනෙක, වාට්ටුවේ උදවිය වගේ ඔයාලා කීප දෙනාව වැඩිය හමු වෙන්නෙත් නැහැනෙ….)

“රහයි, රහයි… හැබැයි මට කල්පනා වෙන්නෙම වෙනින් දෙයක්. මේ බංගසාල ලුණුමිරිස් බේසමේ තරමට කොච්චර කිරිබත් සූදානම් කරලා තියේද කියලයි…. කිරිබත් විතරය…. කැවුම්, කොකිස්, හැලප, ආස්මී….ඒ මදිවට කේකුත්…”

“ගමකට දෙන්න හදල තියෙනවා නිමල් අයියේ…. අර කාමරේ ඇතුළේ…. අපේ සර්ට ඔක්කොම දේවල් ඉතිරිලා යන්න තියෙන්න ඕනිනේ. චුට්ටක් හරි මදි වුණෝතින් අපටනෙ විසුමක් වෙන්නැත්තේ … ඔය කොච්චර හොඳට හිනා වේගෙන හිටියත් දන්නවනේ යකා නැග්ගම…

තමුසේට ඔහොම ඔව්වා ගිලින්න හොඳද මං අහන්නේ?

-අපිටනෙ නිමල් අයියේ ක්ලිනික් එක හැදුවයින් ගොඩක් ලේසි වෙන්නෙත්.

-මෙතැන කොච්චර ඉඩ  තියෙනවද? අපේ සර් හැදුවේ සල්ලි දීලා කේටරින් එහෙකින් උත්සවේට කෑම ගෙන්නන්න…. ඒ මොන ලජ්ජ නැති වැඩක්ද අප්පේ? අපි එපැයි කිව්වා…. වාට්ටුවේ කට්ටිය අනෙක් දේවල් කරන අතරේ, අපි කට්ටිය එක-එක්කෙනා සංග්‍රහයට එක-එක ජාති ගේන්න බාරගත්තා. අපේ සන්තෝසෙන්ම….” ඇය කිව්වේ දිග විස්තරයකි.

“ඔයාලා එහෙම ගෙනාවට වෙන්න ඇති මේකා හැම ජාතියෙන්ම බෙදාගෙන තියෙන්නේ….තමුසෙට ඔහොම ඔව්වා ගිලින්න හොඳද මම අහන්නේ?” නෙවිල් එබුණේ මගේ තසිම දිහාටය.

“ආ….හොඳට බලනවා. මං කෙසෙල් ගෙඩි අරගෙන නෑ… දොදොල් බෙදාගෙන නෑ… මීකිරි අරගෙන නෑ….තව…”

“දෙවෙනි වටේදී වෙන්නැති ඒවා බෙදා ගන්නේ!”

“ඔන්නොහෙ ඔයා පාඩුවේ බෙදාගෙන කන්න නිමල් අයියේ. නෙවිල් අයියා කියන දේවල් ගණන් ගන්න එපා… අනේ, අපේ සර්ව මෙහෙන් මාරු කරලා නෙවෙයි නං…. අපිට අද කොච්චර සතුටු දවසක් වෙන්න තිබ්බද? එහෙනං පාටියකුත් දානවාමයි!” ඇය කියුවේ දෑස් පිස දමමිනි.

මට නම් හිතට ඇල්ලුවේ ‘කරන දේ හරියට කරන්න…..’

එවන් විස්තරවලින්වත් මගේ වැළඳීමට බාධා නොවිණි!

ඉස්සර සවල් ගහමින් කෑම ගිලින්නට පුරුදුවී හිටි නිමල් දිසානායකට දැන් යමක් වළඳන්නට හැට පැයක් ගත වෙයි. ඒ මල්ටිපල් මයෙලොමාවේ අතුරු ඵලයකි. ඒකට බෙහෙත් ගනිද්දී ඇටකටුවල සවිමත් බව ගිලිහිණි; දත් වහලු දෙකම අබලන් විණි. මගේ දන්ත කල්‍යාණය බල්ලාටම ගියේය.

ඒ හින්දා, මගෙත් එක්කම එදා සංග්‍රහය රස විඳින්නට පැමිණි සියල්ලන් පිටව ගිහින් තියෙද්දීත් මං හිටියේ, හීන් සීරුවේ කොකිසක් හපමිනි.

ඒ අතරේ තේ බොන්නට ආවේ රෝහලේ සිකියුරිටි අංශයේ පිරිසකි. ඔවුනගේ ලොක්කාත් එතැන හිටියේය.

“…මට නං අපේ ඩොක්ටර්ගේ කතාවෙන් හොඳටම හිතට වැදුණේ අර කෑල්ල. අර හින්දු ආගමේ කියනවයි කිව්වේ… කරන වැඩේ හරියට කරන්න, ඒකෙන් හම්බ වෙන ඵලය ගැන හිතන්න එපැයි කියලා කිව්වේ. අන්න ඒක.”

සිකියුරිටි අංශයේ ලොක්කාට, අයස්මන්ත මහතාගේ කෙටි දේශනයෙන් අමතක නොවී තිබුණු අනෙක් දේවල් අහගන්නට මට බැරි විණි. එයාලා කෑම බෙදාගෙන ඈතට ගිය නිසාය.

මගේ ජීවිතේ වෙනස් වුණේ පොත් දෙකක් නිසා!

මං impress වුණේ නම් ඒකෙන් විතරක් නොවේ.

“මගේ ජීවිතය වෙනස් වුණා නම් එහෙම වුණේ කරුණු දෙකක් නිසා. එක චින්ගීස් අයිත්මාතව්ගේ ‘ගුරු ගීතය’පොත. ඒ පොතේ දුයිෂෙන්…… දෙක හින්දු ආගම. හින්දු ආගමේ ‘භගවත් ගීතාව’පොත. භගවත් ගීතාවේ කුරු-පාණ්ඩව යුද්ධයේදී අර්ජුන කුමාරයා යුද්ධ කරන්න බැහැයි කියනවා. ‘සතුරු කඳවුරේ ඉන්න සේරමත් මගේ නෑදෑයෝ- මම කොහොමද එයාලව මරන්න ඊතල විදින්නේ?’ කියලත් අර්ජුන අහනවා ක්‍රිෂ්ණගෙන්.

-එතකොට ක්‍රිෂ්ණ කියනවා දැන් ඒවා හිත-හිතා ඉන්න වෙලාවක් නෙවෙයි. දැන් ඔබ ඉන්නේ සටනක. යුක්තිය, සාධාරණය වෙනුවෙන් සටනක. සතුරු කඳවුරේ ඉන්න අයගේ නෑදෑකම්-හිතවත්කම් ගැන සලකන වෙලාවක් නෙවෙයි මේ. සටනකදී ඔබේ කණ්ඩායමට ඔබෙන් විය යුතු යුතුකම හරියට ඉටු කරන්න!’ කියලා.

-ගුරු ගීතයේ දුයිෂෙන්කළා වගේ; කුරු-පාණ්ඩව යුද්ධයේදී අර්ජුන කළා වගේ මමත්…. මගේ වෘත්තියට කැප වෙලා ඉන්නේ…. තව කාරණයක්. මේක මගේ රස්සාව වුණාට ප්‍රධාන විනෝදාංශයත් වෙලයි තියෙන්නෙ….”

අක්ෂි වෛද්‍යවරයෙකු විදිහට සේවය කරමින් හිටි අයස්මන්ත මහත්තයා එංගලන්තයේදී විදේශීය පුහුණුව සම්පූර්ණ කරලා ආවාම, විශේෂඥ අක්ෂි ශල්‍ය වෛද්‍යවරයෙකු විදිහට මුල්ම පත්වීම ලැබිලා තියෙන්නේ හම්බන්තොට මහ රෝහලටයි. ඒ 2008දී.

ඒ උත්තේජනය ලැබීමේ වාසිය හිමි වන්නේ….

“දුයිෂෙන් වගේම තමයි…. ඒ එද්දී මෙහෙ steriliser එකක්වත් තිබ්බෙ නැහැ. ආදි කාලේ වගේ පරණ බොයිලර් එකක් විතරයි තිබුණේ…. නිමල් අයියට හිතාගන්න පුළුවනිද…. ඉස්සෙල්ලාම දවසේ මං කරලා තිබුණේ කැටරැක්ට් ඔපරේෂන්ස් 18යි . උදේ අටේ ඉඳන් හවස 3 වෙනකල්ම. ඕනේ කරන පහසුකම් සේරම නොතිබුණාට නිමල් අයියේ මෙහෙ staff එක නම් මරු!”

එහෙම කට්ටියක් ලැබුණායින් ඔහු තව-තවත් උත්තේජනය වීමේ වාසිය ලබන්නේ හම්බන්තොටත් ඒ යාබද ප්‍රදේශවලත් ජනතාවය.

“මොන යාබදක්ද නිමල් අයියේ….2016 දෙවෙනි සැරේට අපේ සර් මෙහාට මාරුවෙලා ආවාම මාතර, ඇඹිලිපිටිය, මොනරාගල හිට ඉඳලා ලෙඩ්ඩු මෙහෙ ඉස්පිරිතාලෙට එන්න පටන් ගත්තා. අපේ සර් හින්දම….” මට කිව්වේ කාර්ය මණ්ඩලයේ කෙනෙකි. “අපිත් මහ පාන්දර එන්න ඕනි අපේ සර් වැඩ පටන් ගන්නේ පාන්දරම නිසා.”

“Staff එකේ අයටත් මගේ වැඩ කරන විදිහ නිසා ඉවරයක් නැහැ තමයි නිමල් අයියේ….” අයස්මන්ත මහත්තයාම පිළිගනියි. “එයාලගෙත් support එක නැත්තං කොහොමද දැන් මෙහෙදී මාසෙකට කැටරැක්ට් ඔපරේෂන්ස් 450-550ක් විතර කරන්නේ? අනෙක් ඒවාට අමතරව.”

සලා වැටුම්වලින්, කටු-කොහොල්වලින් ගහණ දිවි මංසලේ…

එහෙම බලද්දී මෙයා ‘රාජකාරියට ඇබ්බැහි වූවෙකු’ වෙලා තියෙන්නෙත් පොත් දෙකක් නිසා නේද?

පොත්! පොත්!! පොත්!!! මගේ ජීවිතයටත් පොත්වලින් ඇති කර තිබෙන බලපෑම සුළුපටු නැත. පොතක් ඇතුළේ කීදෙනෙකුගේ ජීවිත අත්දැකීම් ගොනුවී තියෙනවාද? කොච්චර දැනුම් සම්භාරයක් හැංගී තියෙනවාද? එතෙක්-මෙතෙක් ලෝකයේ ජීවත්වූ; විශ්ව සම්භාවනාවට පාත්‍රවූවන්ගේ අදහස් හා ආකල්ප පොත් ඇතුළේ තවමත් ජීවමානයි නේද? පොත් විතරක් නොවේ; කලා නිර්මාණත් එහෙමය.

වැඩිය එපා! වැල්-වටාරම්වලින්, සලා වැටුම්වලින්, කටු අකුල්වලින් මෙන්ම මල් යහන්වලින් පිරීතිරී තියෙන මගේ ජීවිත කතාව බ්ලොගයට ලියන්නට ගියාම…..

එය ලියන්නට සුදුසුම ආකෘතිය හිතට ආවේ ‘පංච තන්ත්‍රය’ පොතෙනි. බොහොම පිං විෂ්ණු ශර්මන් පඬිතුමාණෙනි!

‘අරාබි නිසොල්ලාසය’ත්, යක්කඩුවේ ශ්‍රී ප්‍රඥාරාම හාමුදුරුවන් ලියූ ‘වනකතා’ පොත් දෙකත් විතරය, මේ ආකෘතියට ලියවී තියෙන්නේ. (ඒ මං දන්නා හැටියටය. එහෙම බැලුවාම ‘මේකට සාදර අනුග්‍රහය නම්- ටිං ටිං… නිමල් දිසානායකගෙන්ය!)

මට හම්බ වෙච්ච staff එක මරු! (මේ එයින් කොටසක් පමණි.)

මහඟු සාහිත්‍ය- කලා නිර්මාණ ඕනෑම කෙනෙකුගේ හදවත; මනස සුසර කරයි. ළතෙත් බව ඇති කරවයි. බුද්ධිය වර්ධනය කරවයි.

කොපමණ උගතෙකු වුණත්, ධනයෙන්- බලයෙන් ආඪ්‍ය වූවෙකු වුණත් පොතක්-පතක් නොකියවන; චිත්‍රපටයක්- නාට්‍යයක් නොබලන; ගීතයක් රස නොවිඳින කෙනෙකු නම්…. තවකෙකුගේ හදවත ගැහෙන රිද්මය එවැන්නෙකුට වැටහෙන්නේ නැත.

මගේ මිම්මෙන් නම්, එහෙම ජීවිතයකින් ඔහුට හෝ ඇයටවත් පලක් නැත; තව කෙනෙකුට සෙතක් වන්නේත් නැත. ඉස්සර මිනිසුන් නම් ඔය බණේ කවියකිනුත් කියා තිබේ.

   උපන්නාට මේ ලොව වැනෙනවා       විනා

   ලොව සිරිතට අඹු-දරු රකිනවා          විනා

   රූපේ අරන් පාපේ ගෙවනවා             විනා

   ගෙනියන දෙයක් නැත පව් ගෙවනවා විනා

මගේ අවට සිටින්නන් ගැන නිසියාකාර අවබෝධයක් ලබන්නට; ඔවුන්ගේ සිතැඟියාවන් වටහා ගන්නට මට උදව් වෙන්නේ පතපොතින් හා අත්දැකීම්වලින් මා ලබාගෙන ඇති දැනුමයි. කාටත් එහෙම විය යුතුය.

සමාවෙන්න. මේ මිස්ටර් මවුලානා නේද?

ඒ බව හොඳටම පෙනුණේ, අක්ෂි සායන අංශයේ හා වාට්ටුවේ ලොකු-කුඩා සියලු දෙනාගේ උදව් ලබාගෙන පීරිස් මහත්තයා තමන්ගේ අරමුණ සාර්ථක කරගන්නා විදිහ දැක්කාමය. ඒ පිරිස කුඩා නැත; එයාලගේ අදහස්-උදහස් එක එක විදිහකටත් නැත. ඒවා එකම තැනකට ගෙනෙන්නට…..

මවුලානා මහතාට කතා කරද්දී ඔහුගෙන් කියැවුණේත් ඒකමය.

පරතරය තියාගෙන ඈතින්-ඈතින් හිටියත් මට මවුලානාව හඳුනාගන්නට හැකි විණි. ඔහු හිටියේ තනියෙන්මය. මම එතනට ගියෙමි. “සමාවෙන්න… මේ මිස්ටර් මවුලානා නේද?…. අපි 2013 ඔයාලගේ ගෙදර ඇවිත් රෑ කෑමත් කෑවා!”

කිලෝ මීටර් 100ක් යාල කැලය හරහා පා ගමනින් කතරගමට එන පාද යාත්‍රාවේ යෙදුණු දොස්තර මහත්තයාට ‘කොළඹ යන ගමන් රෑ කෑමකට එන්නැයි’ මවුලානා ආරාධනා කර තිබිණි. “ඔබතුමාට ආරාධනා කළාට අපිටත් එන්න පුළුවන්ද?” අපේ සුනිල් පස්ස ගැහුවේ, අපේ මිතුරු සංසදයේ වැඩ ගැන හරියටම නොදන්නා හින්දාය. 

“සේරමල්ලටම තමයි පයන්නනෙ එන්න කියන්නෙ. මට විතරක් නෙවෙයි…. ඒකටත් සාදර අනුග්‍රහය… ටිං ටිං… අයස්මන්ත පීරිස්!”

කිලෝ මීටර් සීයක් යාල කැලය මැදින් පා ගමනේ……

ඉතිං පා ගමනේ ගිය අපේ නඩයටම පෑදුණේ ඒ වාසනාවය. ඒ ‘රාමසාන් උපවාස’ කාලයේ අවසන් දිනයයි. අපට සංග්‍රහ කරලා අවසානයේ ටිකාක් පමාවෙලාත්ය; මවුලානා පල්ලියට ගියේ. මං මතක් කළේ ඒකය.

“මට ටිකක් මතකයි! ඒත්….”

මම මාස්ක් එක ගලවා මගේ දිරච්ච මුහුණත් තහඩුව ඔහුට පෙන්වීමි. “මේ අවුරුද්ද මුලදී දොස්තර මහත්තයා වාට්ටුවේ වැඩ කරන කට්ටියගෙ දරුවන්ට පොත් ලැයිස්තුවල බඩු දෙනකොට, ඒවා ගෙනියන්නත් අපි shop එකට ආවේ……”

“ආ හරි… හරි… දැන් මට මතකයි.!” 

අයස්මන්ත මහත්තයා ඔහුගේ අංශයේ සේවය කරන සියලුම දෙනාගේ දූ-දරුවන්ට අවශ්‍ය පොත්-පත්, පෑන්-පැන්සල් හා පොත් බෑග පවා තමන්ගේ වියදමෙන් රැගෙන දෙන පුරුද්දකට ඇබ්බැහිවී සිටියි.

“මවුලානා ඒවා සේරම අකුරට ලැහැස්ති කරලා, pack කරලා දීලා වියදම විතරමයි අයියේ ගත්තේ. ඒකත් බලෙන්මයි දෙන්න වුණේ!” පීරිස් ඒ ගැනත් අපට කියා තිබිණි.

මතකද ‘ත්‍රෛලෝකා’? කොටස් දාහතරක් වුණාට…

“දොස්තර මහත්තයා අපි එක්කත් කිව්වා මිස්ටර් මවුලානා වගේ ගොඩක් අය මේ වැඩේටත් උදව් කළ බව.”

“අපේ පලාතටනේ මිස්ටර් හොඳ, මේවා දියුණු වුණාම. මේ පළාතේ අයටනෙ මිස්ටර් අපි බිස්නස් කරන්නේ… දොස්තර මහත්තයා හොඳ කෙනා නිසා අපි සේරම උදව් කරනවා.”

මතකද ‘ත්‍රෛලෝකා’? ITN එකේ ගිය ‘ප්‍රදීප් ධර්මදාස’ගේ ටෙලි නාට්‍යය. 2018 දෙසැම්බර්වල ඉඳලා ප්‍රචාරය වුණේ. කොටස් දාහතරයි! ඒකේ කියවෙන මුහුදු වෙරළබඩ ගමේ උදවියත් සුනාමියට අහුවුණු අය. සිංහල, දෙමල, මුස්ලිම් සේරමලා එක පොකුරට එකට හිටිය පලාතක්… Foot Ballවලින් එකට බැඳිලා! 

මුළු හම්බන්තොට ගැනම නම් මට දැනීමක් නෑ. මුළු රෝහල ගැනම වුණත් මං දන්නෙ නෑ. ඒත් මෙතැන, ඇස් වාට්ටුවේ- එතැනට සම්බන්ධ, යන-එන ගොඩක් දෙනා ගැන නම් ටිකක් දන්නවා. එයාල අතරේ තියෙන්නේ ‘ඇස්’වලින් බැඳුණු බැඳීමක්.

හැබැයි ඒ ‘බැඳීම’ අස්සෙම ‘බෙදීම’කුත් හැංගිලා තියෙනවාවත්ද?

හම්බන්තොට හැමෝම ඉන්නේ එකා වගේ සමඟියෙන්….

“නිමල් මාත්තයා…. මෙහෙ අපි හැමෝම ඉන්නෙ සමඟියෙන්… අපි දන්නා තරමට සහරාන්ලා වගේ අයටවත් හම්බන්තොටට එන්න හම්බ වුණේ නෑ! …අපි දැනුවත්ව නම් එන්න දෙන්නෙත් නෑ…” ඔය බෙදීම ගැන අහද්දී නසාර් කිව්වේය. “අපිට වැඩියෙන් උදව් කරන්නෙ- අපිත් එක්ක ජීවත් වෙන්නෙ සිංහල මිනිස්සුනෙ නිමල් මාත්තයා.”  

නැඟී සිටිය හැක එක්සත් වී – බෙදී ගියොත් රට යයි සුන්වී’ වගේ සිංදු අහනවා වුණාට, බහුතරයක්  ඒවායෙන් පාඩම් ඉගෙන ගන්නවද අප්පේ? මට මේවා පෙනෙන්නේ ‘කෙළින් බලන’ හින්දා වෙන්නැතිය. 

අයස්මන්ත මහත්තයාත් නිතරම ‘කෙළින් බලන්න’ කියලා කියයි. සිකුරාදා හම්බන්තොට මහ රෝහලේඅධ්‍යක්‍ෂ S.D.U.M. රංග මහතාගේ අදහස් දැක්වීමෙන් පස්සේ තිබුණේ අයස්මන්තගේ කතාවය.

“… මට එච්චර කතා පවත්වන්න බැහැ. පුරුදු වෙලා තියෙන්නේ ‘කෙළින් බලන්න’ කියල කියන්න විතරයි…. ඒක කියන්නෙත් ඇස් බලන වෙලාවට, ලෙඩුන්ට…” ඔහු කතාව පටන් ගත්තේ එහෙමය.

ඇස් බලන වෙලාවට බුලත් විට කාලා ඒම තහනම්ය. හිසේ තෙල් ගල්වාගෙන ඒම තහනම්ය. ජංගම දුරකතන නිහඬ කරවාගෙන පැමිණිය යුතුය. මේ බ්‍රහස්පතින්දා උදේ ඇස් පෙන්වන්නට හිටි නේවාසික රෝගිනියක් ඔළුවට තෙල් අල්ලක්ම හලාගෙන ඇවිත්ය. “…යවනවා…. මේ සේරම ලෙඩ්ඩුන්ව නාගෙන එන්න කියල යවනවා.” අයස්මන්ත මහතා බිරුසන් දුන්නේය. ඈතින් හිටි අපටත් ඇහෙන තරම් සද්දෙටය.

අර ඇස් බලන මැෂිම කොච්චර වටිනවා කියලද හිතන්නේ?

“ඕකට එච්චරට තද වෙන්නේ මොකද?” මං ඇහුවේ පස්සෙය.

“අයියේ, අර ඇස් බලන මැෂිම ලක්ෂ කීයක් වටිනවය කියලද හිතන්නේ? ඔය තෙල් ටික-ටික තැවරිලා මැෂිම නරක් වුණාම….”

“ඒ වුණාට, එහෙම වෙලාවක පිටින් ඉඳගෙන බලන කෙනෙකුට පේන්නේ තමුසෙ යකෙක් වගෙයිනෙ….”

“මම යකෙක් තමයි, රාජකාරි වෙලාවේ මම වැඩ කරන එකට ඩිස්ටර්බ් වෙනව නං…. එහෙම නැතිව පුළුවන්ද නිමල් අයියේ…. ඔයා දන්නවද? දැන් මෙහෙ පේෂන්ට්ලට මාස ගණන් waiting list එකේ ඉන්න වෙන්නෙ නැති බව. ළඟ hospitls තියෙද්දිත්, දුර පැතිවල ඉඳල ලෙඩ්ඩු මෙහාට එන බව? ඒ මෙහෙ staff එකයි මායි එකා වගේ මැරීගෙන dutyය හරියට කරන නිසා….”

මේ දුයිෂෙන් ‘අල්තීනායි’ලා ගොඩාරියක් හදාගෙනය! හින්දු දහමේ ‘හරියට වැඩ කරන්න, ඵලය ගැන නොබලන්න’ කියමන පිළිපදින අය ගොඩක් හදාගෙනය!!

පැසසිය යුතු තැනදී ප්‍රශංසා කරන්නටත්- හොඳ දේ අගය කරන්නටත්……

ඇත්තම කියනවා නම් මෙවන් පෝස්ටුවක් ලියන්නට හිතේ තිබුණේ නැත. ඒ වෛද්‍ය අයස්මන්ත අපේ හිතවතෙකු බැවිනි. අක්ෂි වෛද්‍ය වාට්ටුවේ ‘කවී රවිහංස’ FB එකට ලියා තිබුණු කෙටි පෝස්ටුවක් දුටුවාමය,  මටත් එකක් ලියන්නට හිතුණේ. කවුරුන් හෝ මේ පිට කැසීමක්ය කියලා සිතිය හැකි වුණත් මේවා සටහන් කර තැබිය යුතුය. 

අපට; අපේ ජාතියට විවේචනය මිස ප්‍රශංසාව නුපුරුදුය! වන්දි භට්ටකම නම් සුපුරුදුය!!

මාත් ඒ ගොඩටම වැටෙන්නට අකැමැතිය. මට පෙනෙන වරදක් විවේචනය කරනවා වගේම, පැසසිය යුතු යමක් දුටු තැනදී පසසන්නටත්; අගය කරන්නටත් මම කැමැත්තෙමි. හැබැයි ඒ ප්‍රශංසාවේදී කොතරම් හිතවතෙකු වුණත්, කිසිවෙකු මුරුංගා අත්තක අගිස්සේ තියන්නට මම අකැමැත්තෙමි. මුරුංගා අතු හයිය නැත; පොඩ්ඩ ඇත්නම් කඩා වැටෙයි!

“නිමල් අයියේ… අපේ ලොක්කට එක්කෙනෙක් කිව්වලු -හැමදාම බලේ ඉන්න ඕනි නං ‘හැම දේටම Yes Sir කියන එහෙයියෝ විතරක් ළඟින් තියා ගන්න එපා. No Sir, Can’t Sir කියන කොන්ද පණ ඇති එව්වෝ පස් දෙනෙක්වත් කිට්ටුවෙන් තියාගන්න කියලා.”

2020 ඔක්තෝබර් 27 දහවල් ඕස්ට්‍රේලියාවේ සිට කතා කළ සිරිබිරිස් උන්නැහේගෙන් කියැවිණි. (හිතා ගන්නකො පැයක් විතර දිග කතාබහක්….) ස්තුතියි සිරිබිරිස් උන්නැහේ! ඔබතුමාත් නොමිලයේම මට ලියන්නට උත්තේජනය හා කරුණු සම්පාදනය කරයි!!

මට රෝහලේ fotoස් එවූ කවී රවිහංස, එනිකා මලන්කන්දගේ ඇතුළු හැමටමත්….

ඉතිං, ‘හොඳ දෙයකට හොඳයි කියා කියන මේ සටහන’ අක්ෂි වෛද්‍ය සායන විවෘතය ගැන සම්පූර්ණ වාර්තාවක් නම් නොවේ. එයට අදාළව මෙහි යොදාගත් fotos එකක්වත් මගේ ගල්ලෑල්ලෙන්; I Pad එකෙන් ගත්තු ඒවාවත් නොවේ.

මෙදා සැරේ හම්බන්තොට යැවුණේ යොදාගත් දවසට ගොඩක් කලින්නෙ. ගල්ලෑල්ල බෑගයට ඔබා ගන්නට අමතක වෙලාය.

ඒකෙන් අඩුවක් නොවුණේ, අක්ෂි වෛද්‍ය අංශයේ හිතවත් පිරිස නිසාය. විශේෂයෙන් එනිකා මලන්කන්දගේ නංගී හා කවී රවිහංස. මං ඉල්ලූ පමාවෙන් fotoස් එවූහ.

යන්තමින් මගේ මතකයට වැටී තිබුණු කාරණා තහවුරු කර ගන්නටත්, තනතුරු- නම් නිවැරදිවම හොයා ගන්නටත් ඉත-සිතින්ම උදව් කළ තවත් අය බොහෝ වෙති. ඔයාලා ඔක්කොටම ගොඩාරියක් ස්තුතියි!   

මේ බ්ලොගයේ ලියන්නේ මගේ ජීවන අත්දැකීම්ය.

ඉතිං අදත් මං ලියා තියෙන්නේ මට පෙනුණු; දැනුණු; මාත් මැදිහත් වුණු දේවල් ගැන විතරය. ඒවායිනුත් මගේ දයාබර පාඨකයන්ගේ රුචියට- රසයට ගැළපෙතියි මට සිතුණු, කිසිවෙකුට හෝ ආදර්ශයක් ගත හැකි වෙතියි සිතුණු කරුණු පමණය. ඒ මදැයි෴

%d bloggers like this: