Menu Close

බ්‍රිතාන්‍ය කෞතුකාගාරයේ රැයක් වෙනුවට මාසයක් – 1

දැන් ඔයාලා කවුරුත් අර නයිට් ඇට් ද  මියුසියම් චිත්‍රපටය බලල තියනවනේ.  මටත් ඔහොම වැඩක් වුනා. අර කට්ටකාඩුව බ්ලොග් එක ලියන කට්ටේ ළමයා  මට වැඩක් පැවරුවනේ. අපේ බිරින්දෑ ගේ සහ පවුලේ ළමයින්ගේ බලවත් විරෝධය නොතකා කට්ටකාඩු උන්නැහේට අවශ්‍ය දේ සොයා ගන්න මම බ්‍රිටිෂ් මියුසියම් එකට ගියා.  ඒ ගොල්ලෝ විරෝධය පල කලේ මේ  කෝවිඩ් ප්‍රශ්නය නිසා, පොදු ප්‍රවාහන  සේවයේ ගිහින්  මට අසනීපය වැළඳෙයි කියන බයට. 

(හැබෑට වුනේ වෙන දෙයක්. ඒ විස්තර පසුව දැන  ගන්න ලැබේවි. දැනට ගියා කියල හිතන්නකෝ.)
ඉතින් ඒ ගියේ බිරින්දෑ වැඩට ගියාට පස්සේ හොරෙන්ම ගිහිල්ල එයා ගෙදර එන්න කලින් එනවයි කියල හිතාගෙන. නමුත් වැඩේ බරපතල කම කියන්නේ මට වෙලාව යනවා දැනුනේ නැහැ. කෞතුකාගාරය ඇතුලේ ඉන්දෙද්දීම ආවා කෝල් එකක්.
“ඔයා කොහේද ඉන්නේ  ඇවිදින්න  ගියාද “
සාමාන්‍යයෙන් මම හවසට ඇවිදින්න යන නිසා බිරිඳ අහනවා.  
බොරුවක් වත් කියන්න ඕනේ කියල හිතන කොට අනවුන්ස්මන්ට් එකක්  එනවා. අන්තිම  පැය භාගය තමයි මේ . කොරන දෙයක් කොරාගෙන පිට වෙන්න තියෙන්නේ කියල.  
“ඔයා ගියා නේද එපා කියද්දී  මියුසියම් එකට. එන්න එපා ගෙදර ලෙඩ වෙලා කියාගෙන. ගියානම් ඔහෙම ඉන්නවා.  ” බිරින්දෑ තිබ්බ ෆෝන් එක. 
දැන් මොකද කරන්නේ වැඩේ බකල්. කියව කියව හිටිය ලංකා ඉතිහාසය, රාජාවලිය, අති විශේෂ මන්ත්‍ර  ගැන පුස්කොල පොත්ක න්දරාව ආපහු දාන්නත් වෙලා යනවා. හොයා ගන්න ගිය වෙලාව නිසා දාලා යන්නත් මොකද්ද වගේ. ආයි හෙට එන්න කියලද? 
හිමින්ම  බෑග් එක ඇරලා බැලුව.  
හරි සැන්ඩ්විච් එකක් තියනවා තවම ඇතුලේ කෙහෙල් ගෙඩියකුත් එක්ක. වතුර බෝතලෙත් ඉතුරුයි.
මෙහෙමම  අද රෑ හොරෙන් ඉඳල හෙට යනවා.  මේ වැඩේ ඉවර කරලා . එහෙම හිතාගෙන මේස වලින් පිටි පස්සේ කෞතුක වස්තු තියෙන කොටසේ ප්‍රතිමාවකට එහායින් හැන්ගුනා. පහට හරියට කෞතුකාගාරය වහලා කට්ටිය එලියට යනව.  ඔය අතරේ මියුසියම් එක හෙට උදේට අරින වෙලාව බලන්න මම ෆෝන් එකෙන් වෙබ් සයිට් එක චෙක් කළා. 
මළ ම කෙලියයි. මෙන්න ලොක් ඩවුන් නිසා මියුසියම් එක මාසයක් වහනවලු.. 
දැන් මට  මේක ඇතුලේ  මාසයක් හිර වෙන්න වෙනවා.  කන්නේ බොන්නේ කොහොමද? වීදුරුවක් කඩාගෙන පනින්නත් බැහැ . මම ඉන්නේ උඩම තට්ටුවේ   ආසියානු කෞතුක වස්තු, ලංකාවෙන් සුද්ද හොරෙන් අරන් ගියය කියන  පුස්කොල පොත් තියෙන පැත්තේ. පහල  බිම් මට්ටමේ  කවුරුවත් පේන්න නැහැ. ඔක්කොම ගිහින්.
මම ඔළුවේ අත ගහගෙන බිම වාඩී වුනා. ඔලුවේ කැක්කුමත් වගේ දැන්.
ඒ අතරේ ලොකු කහ පාට එළියක් එක පැත්තකින් තියෙන විදුරු ජනේලයක් තුළන් ප්‍රාදුර්භූත වුනා. එළිය ටික ටික ලොකු වෙනවා. 
ඒ මොකක්ද යකෝ – මටම කියවුනා.
එළිය ටිකින් ටික බිමට පාත් වෙලා ආයි උඩට යන්න ගත්ත. නැහැ මේ මැවෙන්නේ රූපයක් . මල කෙලියයි යේක යෙකෙක්ද කොහෙද? අත් දහයක් විතර, මගේ අම්මෝ ඔළු ගොඩයි.
මගේ ඔලුව කැරකෙන්න ගත්ත. ඒ ළඟම තිබ්බ කෞතුක වස්තුන් තියෙන මේසයක්. වීදුරුව කඩල ඒකෙ තිබ්බ කිනිස්සකුයි කඩුවකුයි ඉස්සුවා. හාහ් වර බලන්න .
මමත් අරින්නේ නැහැ.
“පුත බිය නොවන්න. ඔබ පැමිණියේ කට්ටකාඩුව සෙනෙවි තුමාගේ කාර්යභාරයකට නොවේද ? තමන්ට වෙන කරදරය  නොතකා අධිෂ්ඨාන ශීලීව මෙසේ නැවතී ඉතිහාසය ගොඩ නැංවීමේ ඒ කාර්යභාරයට  ඔබ ඉදිරිපත් වීමම  විශිෂ්ඨයි. මා පැමිණියේ ඔබට උදව් කර මේ තැනින් සුවසේ නිවසට පිටත් කිරීමටයි. “
යන්තන් ඇඟට ලේ ටිකක් ඉනුවා. මේ යකා මාව මරාන   කන්න නෙමේ ඇවිල්ල තියෙන්නේ.
“ඔබතුමා කවුද, අනික අර කට්ටකඩුවා ට සෙනෙවිතුමා කිව්වේ මොකද  ” කිනිස්ස අතේ තදින් අල්ල ගනිමින්ම මම ඇහුවා.
“ඔබ මා කවුද කියා අඳුනන්නේ නැතිද? ඉතාමත් කණගාටුයි. මා තමයි ශ්‍රී ලංකා අධිරාජ්‍යය හා ඉන්දියාව පාලනය කල රාවණා නරේන්ද්‍රයානන්. මා  දැන් සිටින්නේ වෙනත් විශ්වයක. කට්ට කාඩුවා යනු එදවස මා යටතේ සිටි ශූර වීර සෙනෙවියෙක්. එතුමාට මා පිලිබඳ මතකය ඇති නිසා තමා ඔබව තෝරා ගත්තේ මෙහි එවීමට.   මා පැමිණියේ මා පිළිබඳවත් ශ්‍රී ලංකාවේ බුදුන් උපන් දේශය බවට විද්වතුන් ගෙනියන ඝෝෂාව සනාථ කිරීමට ඔබට උදව් කරන්නටයි ”   
“මාර වැඩේ ලංකාවට වුනේ – නෙමයි මට වුනේ ” මම මටම කියා ගත්ත. මං ආවේ වෙන වැඩකට. මදැයි දැන් මොකද කරන්නේ . බොරුවක් වත් කියල ශේප් වෙනවා. සමහරවිට මේ රාවණා ට දොර ඇරලා දෙන්න පුළුවන් වුනොත්.
“එහෙමයි එහමයි දේවයන් වහන්ස. ඒ පුස්කොල පොත් බලා මට මෙතැනින් යහතින් යා හැකිද?”
“එසේය පුතා. අවශ්‍ය කාලයක් මෙහි රැඳි සිටින්න. ඔබට අවශ්‍ය කෑම බිම පමණක් නොව අප විෂවෙයේ රාවනා මන්දිරයේ සේවයේ නියුතු අති සුරූපී රාවණා ලඳුන් කිහිප දෙනෙකුන් ද තව ස්වල්ප වෙලාවකින් ඔබගේ ආවතේව කිරීමට මෙහි ගෙගන්වමි. ඔබට නිදා ගැනීමට රාවණා ෂටල්  නව යානයේ කොටසක්ද වෙන් කරමි.  ඉතින් අපේ මනරම් දිවයිනේ තතු කෙසේද”
 
අම්මට සිරි. රාවණා ළඳුනුත් එනවනම් ඉතින් කොහේ යන්නද? කෑම බිමත ගේනවලුනේ. යක්කු කන කෑම වුනත් මොකද?
“දේවයන් වහන්ස , අපේ දේශයේ මෙන්ම  මුළු මහත් ලෝක තලයේම මහා රෝ බියක් පැතිර යනවා. ඇත්තෙන්ම වසංගතයක්. නමුත් දේවයන් වහන්ස, අපට බිය වීමට කාරියක් නැහැ “
“මගේ සිත ඉතා දුකට පත්වුණා දරුවා. නමුත් ඇයි බිය වීමට කාරියක් නැත්තේ . අපට ඔබලා  වෙනුවෙන් යම් උපකාරයක් කළ හැකිද?”
“අපෝ වශ්‍ය  නැහැ දේවයාණන් වහන්ස. අපට රාවණා  පරපුරෙන් පැවත එන නෑ   යකුන් බොහෝයි . ඒ අතරින් පවිත්‍රා දේවියන් වැනි සේනාධිනයිකාවන් සිටිති. සුදු එලියා වැනි සේනාධිනායකයන් සිටිති. ඔවුන් රාවණා මහිමයෙන් විශ්ව ශක්තීන් උපදවා රට රකිති. රාවණාවබෝධයෙන් යුත් රහතුන් දඬු මොනරකොප්ටරයෙන් ගොස් රට පුරා රාවණා ජලය ඉස ආශීර්වාද කරති.   රට වැසියෝ මොන ප්‍රශ්න පැමිණියත් නොබියවම ඉතා සතුටින්  කල් ගෙවති. ”  එහෙම කියල යන්තම් ශේප් එකක් දැම්ම.
“එසේ නම් අපි පුස්කොල පොත් සොයා ඒවා කියවා  ගනිමු. මම ඔබට එකල අපෙහි වූ ශ්‍රී විභූතිය අපේ විශ්වයේ ඇති මේ ඔබලාගේ රුපවාහිණිය වැනි යන්ත්‍රයෙන් පනවමි. අපට මෙයින් අතීතයට ගොස් සියල්ල මැනවින් දැකිය හැකිය.”
~~~මතු සම්බන්ධයි 
***********************************************************
රායිට් . දැන් මෙතැනින්  තමයි කතාව  පටන් ගන්නේ. දැන් ඕගොල්ලන්ට තියෙන්නේ මට මාසයක් රාවනා එක්ක බ්‍රිතාන්‍ය කෞතුකාගාරය ඇතුලේ ලොක් ඩවුන් ඉවර වෙනකන් ඉන්න උදව් කරන්න.
කතාව 1, 2, 3, කියල ගෙන යන්න පුළුවන්. මාසේ අන්තිමට හොඳම  ලියවිල්ලට ත්‍යාගයක් දෙනවා.  (සම්මාන ඉල්ලා ගෙන එන්න එපා ඔන්න) 
හරි මගේ සාක්කුවෙන් තමයි ප්‍රථම ත්‍යාගය දෙන්න වෙන්නේ. තවම තීරණය කලේ නැහැ. සොඳුරු සඳවතී ගෙන් බුරියානි සෙට් එකක්ද? ඩේටා කාඩ් ටිකක්ද? පොතක්ද යන වග පස්සේ කියන්නම්.  කොළොම්පුරේයි ඩ්‍රකියයි ගෙට්ටුගෙදර් එකක් දැම්මොත් ඒකෙදි තෑග්ග දෙන්න සලස්වන්න    පුළුවන්. 
නැත්නම් කෝවිඩ් නිසා අසරණ වුනු පවුලකට ආධාර මල්ලක් දෙමු.
ලියලා ලින්ක් එකේ මේකේ දාන්න .
මොකද කියන්නේ බ්ලොග් සභාව 
……………….
%d bloggers like this: