Menu Close

ඇස් පෑදේවා!- දෙවෙනි කොටස

‘තල තෙලට වේළේ – මී බෙටි කුමට වේළේ’ කිව්වාසේ…

‘තල තෙලට වේළේ – මී බෙටි කුමට වේළේ’ කිව්වා වගෙය. මගෙන් එතැනට පලක් නැතත්, මමත් පස්සෙන් වැටුණෙමි. එයාලගේ විග්‍රහ-විශ්ලේෂණ කෙරෙද්දී බුකවාගෙන අසාගෙන හිටියෙමි.

අපරාදේ… තනියෙන් හරි ක්වාර්ටර්ස් එකට ගියා නං…… 

ගොඩනැඟිලි ඉදිකිරීම්, අලුත්වැඩියා කිරීම්, පින්තාරු කිරීම් ගැන මං දන්නා අටම්පහුරක් නැත. එහෙම දේවල් කතාවෙන තැනක- කෙරෙන තැනක- කරවන තැනක බුකවාගෙන බලා ඉඳිල්ල ඉල කැඩෙන වැඩක් නෙවෙයිද, මං අහන්නේ? මං තනියෙන් හරි දොස්තර මහත්තයගේ නිල නිවාසයට ගියානං….

2020 ඔක්තෝබර් 2 සිකුරාදාවකි. බොහොමයක් සිකුරාදාවල මට නිඳා ගන්නට වෙන්නේ පාන්දර එක-දෙක වෙලාය. එදත් එහෙමය…. එහෙම දවසකට නොවැරදීම කල් ඇතිව අපේ ගෙදරට ඇවිත් ඉන්නා නෙවිල්ට අමතරව එදා ගවීනුත්, තමිරත් ආවෝය. එහෙම එතැයි කියලා කල් ඇතිවම කියා තිබුණෙන් මට අමුත්තක් නොදැනුණි.  

දොස්තර මහත්තයා ආවේ ඊටත් පසුවය.

ගල්කිස්ස හෝටලේ පබිලිස් මහත්තයා වගේ, මාත් මගේ අලුත් සූපවේද අත්හදා බලන්නේ…..

මගේ අලුත් සූපවේද අත්හදා බලන්නට මං තෝරා ගන්නෙත් එවැනි දවස්ය. ‘පූරි හදද්දී කූනිස්සෝ දැම්මොත්?’ කලක් සිට හිතේ කුයි-කුයි ගාමින් තිබුණ ideaව එදා ක්‍රියාවට නැංවීමි. 

මේ ගිනියාපිග්ලාට; රසායනාගාර මීයන්ට ඒවා කන්න දෙන්නට පැය දෙකකටවත් කලින් මම ඒවා වළඳන්නෙමි.

එතකොට ඒවා කාලා විසවී මැරුණත්, ඒ මං විතරය. ඔන්න බඩේ ලෙඩක් නොදැනෙයි නම් විතරක් එව්වා එයාලටත් දෙන්නෙමි. ඉස්සර රජවරුන්ටත් එහෙමය. අගු බලන නිලමේ හිටියේ ඒකටය. රාජ භෝජන කෑවාම මැරෙනවාද- නැද්ද බලාගන්නටය.

මේවා ලිව්වාම අවාසිත් මටමය! මේ පෝස්ටුව කියෙව්වොතින්, මේ කබ්බෝ form වෙනවා සහතිකය. එයාලා රජවරුන්ය කියා ගනිද්දී මට වෙන්නේ බිල්ලට යන නිලමේ වෙන්නටය!!

එහෙම එයාලාටත් වළඳන්නට දුන්නාම එයාලගේ ප්‍රතිචාරය හොඳ නම්, ඊළඟට ඒවා යැවෙන්නේ මානෙල් නංගිලාගේ ගෙදරටය.

ඉතිං එදාත්; ඔක්තෝබර් දෙවෙනිදාත් රාත්තිරියේ වැඩි හරියක් සාකච්ඡාවට බඳුන් වුණේ ‘කූනිස්සන් පූරි’ය.

“මචං උඹට කූනිස්සෝ හම්බ වුණාද?”

“පිස්සුද මචං…. පිටි රාත්තල් දෙකකට විතර කූනිස්සෝ දෙන්නෙක් විතර දාලා හදපුවම කොහෙන්ද කූනිස්සෝ හම්බ වෙන්නේ….”

මම නින්දෙන්ම වළ කජ්ජ ගහලා නම් උදේ පාන්දර නැඟිටලා….

“මටයි තළන්න ඕනේ…. මේ කතන්දර අහ-අහ මුන්ට මේ වගේ කෑම හදල දෙනවට… හිටපල්ලකො…” මම බැනීම ඇරඹුවෙමි. දැනටමත් ඔබ දනියි. ඒවා හිත හොඳ දබරයන්ය. කොච්චර කෑම තිබුණත් ‘බැනුම්’ නැතිව එයාලගේ බඩවල් නොපිරෙයි!

ඔහොම දවසකට පසුවදා උදේ අල්ලපු ගෙදර දේවිකා නංගී සුපුරුදු ප්‍රශ්නයක් අහයි. “මගෙ අම්මේ. ඊයේ රෑ තිබිච්ච හිනා සද්දේ…. බැනුම් අහලා, හිනා වෙලා කීයටද කට්ටිය ගියේ?” එහෙම අහන්නේ මං දොර අරිනතුරුම විපරමෙන් බලාගෙන ඉඳලාය. එහෙම බලන්නැයි කියා දන්වලා තියෙන්නෙත් මං වහන්සේමය. ‘මං නින්දෙන්ම වළ කජ්ජ ගහලා හිටියෝතින්, දොර අරින්න බැහැනෙ! ඔන්න දේවිකා නංගී….. එහෙම වුණොත් ඉක්මනට මානෙල්ටයි, නෙවිල්ටයි කෝල් කරන්න!’

ඉතිං, එදා රෑ දොළහ පහු වුණා විතරය; තුන්වෙනිදාට ලැබුවා විතරය; තවත් ලෝක අමද්‍යප දිනයක් උදා වුණා විතරය.

පීරිස් නැඟිට්ටේය. නෙවිලුත් නැඟිට්ටේය.

“මෙහෙට එනවා!”

“ඒ මොකටද?”

“කිව්වම අහලා එනවකො.”

“ඉස්සෙල්ලා මොකටද කියල කියනවකො.”

“අඩෝ! මෙන්න මේක අරං උඹේ බඩකඩුත්තු පරණ කොම්පියුටරේ විසි කරපං….”

අපේ කට්ටියටත්, මංජුටත් ගොඩක් ස්තුතියි….!

පසුගිය මාස දෙක-තුනේම හිතවත් මංජුට;රවීන්ද්‍ර ප්‍රසාද්ට මගෙන් තිබුණු කරදරය ගැන මේ උදවිය දැනගෙන උන්හ. මගේ කම්පියුටරය දිගටම ලෙඩ දෙද්දී ඒකට බෙහෙත් දුන්නේ මංජුය. සල්ලියක්-මල්ලියක්; කුලියක්-කුරක්කමක් අරගෙන නොවේ.

තලපත්පිටියේ ඉඳලා, තකහනියක්ම අතින් වියදම් කරගෙනත් ඇවිදින්ය.

මගේ කම්පියුටරේට අලුතින් ගත යුතු කෑල්ලක් (කොරෝනා නිසා) හොයා ගන්නට පරක්කු වෙන බැවින්, මංජු පාඨක ඔයාලටත් උදව්වක් කළේය.

“නිමල් අයියේ, ඔයාට බ්ලොග් එකේ වැඩ ටිකනේ කරගන්න ඕනි. මෙන්න…. ඔයාගේ කම්පියුටරේ හදා ගන්නකල් මගේ එක පාවිච්චි කරන්න!” මගෙන් අහන්නෙවත් නැතිවම, එයාගේ පරිගණකය මට ගෙනවිත් දීලය මංජු ඒ උදව්ව කළේ.

මෙන්න මංජු, මගෙනුත්, ‘නිදිගෙ පංච තන්තරේ’ කියවන හිතවතුන් වෙනුවෙනුත් ඔයාට ලොකු තුති මල් කළඹක්!  

“දැන්වත් මංජුට වද නොදී, මෙන්න මේක පාවිච්චි කරපං, උඹේ චීත්තවාහිනියේ වැඩවලට… මේක අපෙන්, උපන් දිනේට තෑග්ගක්! ගනිං මචං foto එකක්!!” අයස්මන්ත පීරිස් නෙවිල් අනුරසිරිට කිව්වේය. එතකොටත් තමිර හර්ෂක බෑගයෙන් එළියට ගත් ලැප්ටොප් පරිගණකය දොස්තර මහතාගේ අතට වඩම්මා අහවරය.

මං වගේ මැන්ටල්වලට අලුත් ගැජට්-බැජට්….

“ඉතිං එනවා! ගනිං මචං foto එකකුත්!”

“පිස්සුද ඕයි. මෙහෙම කමිසයක්වත් නොදා foto ගන්න…. එහෙනං පොඩ්ඩක් ඉන්නවා, මම කමිසයක්වත් දාගන්නකං….”

ඒ යක්ෂයන් මට කමිසයක් ඇඳ ගන්නට දුන්නේ නැතිය. මරන්නට ගෙනියන හරකෙකු වගේ මාව එතැනට ඇද ගත්තෝය. ඒ උපන් දින තෑග්ග මා බාර ගත්තේ සරොම් කෙටියකින් සැරසීගත් ගමන්ය; උඩුකය නිරුවතින්ය.

“තමුසෙ ඕනිවට වැඩිය පාට් දැම්මොත් මේවා FB එකේ තියෙයි.” නෙවිල් තගකුත් දැම්මේය.

ඒ අගනා ත්‍යාගය වෙනුවෙන් කාට-කාට ස්තුති කළ යුතුදැයි මට වැටහීමක් නැත. ඇහුවාමත් කිව්වේ ‘අපේ කට්ටියගෙන්’ කියලා විතරය. අනේ…. එබැවින් පොදුවේ කියමි! ‘අපේ කට්ටියේ’ ඒ හැම දෙනාටම ගොඩක් ස්තුතියි!!

පරණ හණමිටි කර තියාගෙන සිටින මා වැනි ‘මැන්ටල්වලට’ අලුත් දේවලට ඇබ්බැහි වීම ලෙහෙසි නැත.

“යකෝ…. නොදන්නා දෙයක් තියෙනවා නං තමිරගෙන් අහගෙන ලැප්ටොප් එකට පුරුදු වෙයන්… තමිර- තෝ තමයි xත්තො මේකට මේ ලබ්බ ලේසියි කියලා කියල දෙන්න ඕනි.”

කොරෝනා හින්දා හදිසියෙවත් අපි එහාට කොටු වුණොත්?

එදා හිට නිතරම එවැනි කාරුණික උපදෙස් ලැබුණු නිසාත්, දිගටම තමිරට බැනුම් අස්සන්නට බැරි නිසාත් මේ වතාවේ හම්බන්තොට යද්දී මං ගියේ, ඒකත් අරගෙනය. ගියෙත් දොස්තර මහත්තයාගේම වාහනයෙනෙ…

හදිස්සියෙවත් කොරෝනා හින්දා අපි එහාට කොටු වුණොත්….

කොයිකටත් කියලා මම මගේ නොබැලූ films ගොඩකුත් අරගෙනය එහෙ ගියේ. තනියෙන්ම හරි ක්වාර්ටර්ස් එකට ගියා නං ඒවා බලන්නවත් ඉඩ තිබ්බනේ… ඊට පස්සේ මං කළෙත් ඒකය. නෙවිල්ගේ පරීක්ෂණවලට යද්දීත්, අලුත් සායනයේ අලුත්වැඩියා වැඩවලට ඔවුන් ගිය අතරෙත් මම චිත්‍රපටි දෙකක්ම බැලුවෙමි.

“පීරා… මෙන්න මචං වඳුරට දැලි පිහියක් හම්බ වෙලා…. මගේ testsවලට යනකොටවත් මූ ආවද? අපි අරහේ මැරීගෙන වැඩ කරන අස්සේත් මෙයා මෙහෙ තනියම චිත්‍රපටි බලනවා!”

“ඉතිං කිතිද? තමුසෙලාමනේ මාව කන්න හැදුවේ ලැප්ටොප් එකත් පාවිච්චි කරපං-කරපං කියලා. දැන් ඒක use කරද්දී මොකටද ඉරිසියා කරන්නේ? තෑ…න්…ක් යූෳෳෳෳෳෳෳෳ!” මමත් රැඟුවෙමි.

සිකුරාදා උදෙන් අලුත් සායනය විවෘත කෙරෙන නිසා බ්‍රහස්පතින්දා සවස මර්විනුත්, ගවීනුත් හම්බන්තොට එනවා කියලාය අපට දන්වලා තිබුණේ. “මර්වියා රෑට එතැන පිරිත් ටිකක් කියන්නත් එක්කයි එන්නේ.” පීරිස් අපට කියලා තිබිණි. නෙවිලුත්, ගවීනුත්, මාත් දේව දරුවන් නොවුණාට දොස්තර මහත්තයාත්, මර්විනුත් සැදැහැවත්; බැතිබර උපාසක දේව දරුවෝ වෙති!

ආගමික වතාවත් කරන්නට පැමිණි සංඝයා වහන්සේලා, හින්දු පූජකතුමා හා මවුලවිතුමාත් Maskවාදීන්වී….

ඒත් ‘කොරෝනා’ ඒ සැලැස්මට කෙළවලා දැම්මේය.

මර්වින්ට ස්වයං නිරෝධායනයට ලක් වෙන්නට සිදු වෙලාය. එයාලගේ office එකේ එකවුන්ටන්ට් මහත්තයාගේ අසල්වැසියෙකුට කොරෝනා වැළඳිලාය. එයින් වුණේ ගවීන්ගේ ගමනත් නැවතුණු එකය.

ඔන්න ඔයාලත් පරෙස්සමෙන්…. කොරෝනාවලට කරන්නට පුළුවන් අවුල් පොඩි නැත! 

අලුත් ක්ලිනික් එකේ විවෘතයට සහභාගී වුණු හැමෝමත් maskවාදීන් වෙලා සිටියහ. ආගමික වතාවත් කරන්නට සපැමිණි සංඝයා වහන්සේලා, හින්දු පූජකතුමා සහ ඉස්ලාම් මවුලවිතුමා පවා… අනේ, එදා එතනට රැස්වුණු පුංචි පිරිසවත් අයස්මන්ත මහත්තයාට තියෙන xකේ අමාරුවේ තරම ගැන දන්නවා  නම්…. අපේ සමහර හිතවතුන් නම් කියන්නේ අපේ නඩයෙන් වැඩි දෙනෙකුටත් ඒ අමාරුව උපතින්ම උරුමවී තියෙන බවයි!

ඉස්-ඉස්සෙල්ලාම දොස්තර මහත්තයාට තියෙන ඒ අසනීපයේ ලකුණු මට පෙනුණේ උන්දෑ කොළඹ ඇස් ඉස්පිරිතාලයේ වැඩ කරන කාලයේය. ඒ අක්ෂි වෛද්‍යවරයෙකු විදිහට, ඔහුට පත්වීම ලැබුණු මුල්ම කාලය විය යුතුය.

අක්ෂි සායනය විවෘත කරන්නට කලින්…..

කෙළවරක් නැතිව අපේ නෑදෑ-හිතමිත්‍රාදීන්; එයලාගේ නෑදෑ-හිතමිත්‍රාදීන්; එයාලාගේත් නෑදෑ-හිතමිත්‍රාදීන් විතරක් නොවේ, අනාගතයේ වෙන්ඩ ඉන්නා  නෑදෑ-හිතමිත්‍රාදීන් පවා නිතරෝම ඇස් වාට්ටුවට යන්ඩ පටන් ගත් කාලයයි; ඒ.

“නිමල් අයියේ…. මගේ ලොකූ ආසාවක් තියෙනවා ඒ සේරමලායි, එයාලගේ යාළුවොයි ගෙන්වලා Eye Camp එකක් කරන්න. Vision Care එකෙන් මොබයිල් යුනිට් එකත් ගෙන්නමු. මිසීලා කීප දෙනෙකුටත් මම කියන්නම්….. මොකද කියන්නේ? ඔයාලගේ ගෙදරදී වැඩේ කරමුද?”

“වෙන?”

“ඔයා ඒ වැඩේට එන staff කට්ටියට කෑම ලෑස්ති කරලා දෙන්න ඕනි. මගේ ගණනේ ඇස් බලවාගන්න එන සේරටම පොඩි සංග්‍රහයක්… කැවුම්, කිරිබත් වගේ…. දීලා කිරි තේ එකක්  දෙමු.”

ඔහු ඒ යෝජනාව ගෙනාවාම මට කියැවුණේ ‘අතින් සල්ලි දීලා කෙළවගන්නවා’ වගේ කඩප්පුලි කතන්දරයකි. “වැඩේ ලැහැස්ති කරමු. තමුසෙගෙ අතින් සල්ලිත් වියදම් කරන්න ඕනි වෙන්නේ නැහැ හලෝ. තලපත්පිටියේ ප්‍රියන්තලාගේ නෑදෑ කට්ටියයි, අපේ සුනිල්ලා, මානෙල්ලා කට්ටියයි එක්ක මං වැඩේ කෙරෙන විදිහක් බලා ගන්නං. එයාලට ඉස්පිරිතාලේදී ඔයා කරලා තියෙන උදව් වෙනුවෙන් ඒ මිනිස්සු ඉන්නේ ණය ගෙවාගන්න විදිහක් නැතිව.” 

කිරිබත්, කැවුම්, කැවිලි වර්ග මදිය නොකියන්නම…

ඉතිං, ඒ විදිහටම වැඩේ කෙරුණේය. දොස්තර මහත්තයාගේ දොළදුක ගැන ඇහුවාම හැමෝම උදව් දෙන්නට ආවෝය.

කිරිබත්, කැවුම්, කොකිස්, කෙසෙල් ගෙඩි, කේක්, තල කැරලි, බූන්දි විතරක් නොවේ බිස්කටුත් තොගයක්ම හිතවතුන්ගෙන් ලැබිණි. සංග්‍රහය අවසානයේ ගොඩ දෙනෙකුට ගෙදර ගෙනියන්නට දෙන්නත් ඇති තරමටමය.

ගෙයක් ඇතුළේ, කාටත් හොරෙන් ගමේ ලොකුම වෙසක් කූඩුව හැදූ කෙටි කතාවේ වගේ ප්‍රශ්නයක් මතු වුණේ, එදා විෂන් කෙයාර් එකේ  ජංගම සායන රථය ආවාමය. අපේ ගෙදරට එන පාර පටුය. වාහනය ලොකුය. මම ළමා නිවාසයට දිව්වෙමි. වාහනය ඒ බිමේ නවත්තන්නට අවසර ගතිමි. ඊළඟට තවත් එකක්…. විදුලිය? 

අපේ පාරේ මුල්ම නිවැසියා; ජිනදාස අයියා පිහිටට ආවේ ස්ව කැමැත්තෙනි. “නිමල් අයියා. අපේ ගෙදරින් කරන්ට් එක ගනිමු!” 

(වැරදීමක් නොවේ! මං එයාට ජිනදාස අයියා කියද්දී, එයා මට නිමල් අයියා කියයි. අතුරු කතාවක් විදිහට කියනවා නම් ජිනදාස අයියාගේ බිරිඳ සෝමක්කාත් මාත් ඉපදී තියෙන්නේ එකම අවුරුද්දක එකම දවසකය! ඇය මට වඩා පැය ගණනාවක් බාලය. එහෙම වුණත්, මෙතෙක් පුරුදුවී හිටිය විදියටම තවමත් මා ඇයට කියන්නේ සෝමක්කා කියලාය.)

හම්බන්තොට මහ රෝහලේ නියෝජ්‍ය අධ්‍යක්ෂ සුරංග ඔබේසේකර මහතාත් සායනය විවෘත කිරීමට සහභාගිවී…..

අප බලාපොරොත්තු වුණේ සායනයට සීයක් විතර එතැයි කියලාය. පිටස්තරයන්ට කිසිම දැනුම් දීමක් කෙරුණේ නැත. පමුණුව පාරේ යන-එන අයත් සෙනඟ රැස්වී හිඳිනු දැක ඇස් පෙන්වන්නට පෝලිමේ ආවෝහ.

එපැයි කියන්නද? බැහැයි කියන්නද? සායනය ඉවර වෙද්දී අයස්මන්ත මහත්තයාගේත්, උදව්වට ආ කාර්ය මණ්ඩලයේ අයගෙත් හොඳ පණ ගිහින්ය. දොස්තර මහත්තයාගේ දොළදුක නම් සංසිඳී තිබුණා විය යුතුය.

ඇත්තටම පීරිස්, එදා අහන්නට බැරි වුණු නිසාය අවුරුදු විස්සකට විතර පස්සේ හරි අහන්නේ… ‘එදාවත් අර දොළදුක සපිරුණේ නැද්ද?’ හම්බන්තොට රෝහලේදීත් එදා සපුරා ගන්නට හැදුවේ ඒ දොළදුකේම තවත් කොටහක්ද?

මෙතුවක් කල් සුරැකි තව රහසකුත් දැන් නම් නොකියා බැරිය.

එදා සායනය අවසානයේ, කාර්ය මණ්ඩලයේ පිරිස දිවා භෝජනයෙන් සන්තර්පණය වෙන අතරේ ඔබ, අක්ෂි වෛද්‍ය අයස්මන්ත පීරිස් මා පසෙකට කැඳවා ගත්තෙහිය; රහසින් දෙඩුවෙහිය; මගේ අතට ලියුම් කවර ගණනාවක් පත් කළෙහිය. “මේ මොනවද මේ?” මම ඇසුවෙමි.

අප එය කෙතරම් සංවිධානාත්මකව කළේද යත්……..

“කෑ ගහන්න එපා. මම දුන්නොත් අරගොල්ලෝ මේවා ගන්නෙ නෑ. වාහනවල ආවටවත්… ප්ලීස්, ඔයා දෙන විදිහට මේවා අරගොල්ලන්ට දෙන්න.”

එසේ කළෙමි. එලෙස කිරීමෙන් මට අහිමි ගෞරවයක් අත්පත් කර ගත්තෙමි. ඔවුන්ගෙන් එකම එක අයෙකු හෝ මේ පෝස්ටුව කියවා දැන්වත් ඇත්ත දැනගනු ඇත….. ඔබට තියෙන xකේ අමාරුව ගැනත් දැනගනු ඇත. (දොස්තර මහත්තයාගේ අරුම දොළදුක්, ආසාවන් සමහරක තොරතුරු දැනටමත් ඔබ කියවා තිබේ!)

එහෙත්, එදාම සිදුවූ හිත පාරවන කතාවකුත් තවම මගේ හිත පෙළයි.

අප හැමදෙනාම වෙහෙසවී, ශ්‍රමය-ධනය-කාලය කැප කොට ඒ සද් කාර්යය කළේ පිවිතුරු චේතනාවෙනි.

කොතරම් සංවිධානාත්මකවද යත්  පිරිසට පැමිණෙන පිළිවෙලට අංක පවා නිකුත් කරලාය. එහෙත් අපේම හිතවතෙකුගේ මවට තවත් රෝහලකට යන්නට තිබුණු බැවින් ‘පෝලිම’ කැඩුවෙමු. ඒ ගැන ඒ වෙලාවේම අපට බැනුම් අහන්නටත් සිදු වුණේ රැස්ව සිටි පිටස්තරයන්ගෙනි!

මෙදා හම්බන්තොට මහ රෝහලේ අක්ෂි වෛද්‍ය අංශයටත්…..

ඉතිං එදා අපට මෙන්ම, මෙදා හම්බන්තොට රෝහලටත් ඓතිහාසික දිනයක් වුණේය!

“දැනට තිස් අවුරුද්දකට ඉස්සෙල්ලයි හම්බන්තොට රෝහලේ අක්ෂි වෛද්‍ය අංශය පටන් ගත්තේ. තනි දොස්තර මහත්මයෙකුගෙන්… වෛද්‍ය A.P.S. අබේසූරිය මහත්මයා මෙහාට එනකොට අවශ්‍ය අක්ෂි වෛද්‍ය උපකරණ මොනවාවත් රෝහලේ තිබ්බේ නෑ. එතුමා ඇවිත් තිබුණේ ටෝච් එකක් විතරක් අරගෙන…. අඩියෙන් අඩිය; ටිකෙන් ටික තමයි පස්සේ ඒ උපකරණ ලබාදී තිබුණේ. ඊට තුන් අවුරුද්දකට පස්සේ මටත් මේ අංශයට පත්වීමක් ලැබුණා.  දෙන්නෙකුට හැරෙන්නටවත් ඉඩක් නැති කාමරයකයි අපිට මුලින්ම වැඩ කරන්න වුණේ!….”

ඒ විස්තර කියැවුණේ 27 අවුරුද්දක සර්විස් එකක් ඇති සුජානි නංගිගේ පිළිගැනීමේ කතාවේදීය.

පසුගිය අවුරුදු හතරටම…..

%d bloggers like this: