Menu Close

වාහන විත්ති 433 – පෙට්‍රල් වාහන විදුළි වාහන බවට හැරවීම.

                           

යමෙක්ට විදුළි වාහනයක් අවශ්‍ය නම් කල හැක්කේ, දැනට ඇති වාහනය විකුණා විදුළි වාහනයක් ගැනීමය. නැතහොත් සාමාන්‍ය වාහනයක් විදුළියට හරවන ක්‍රමය නෙට් එකෙන් සොයා ගෙන, ඒ ඒ උපාංග ගෙන්වා ගෙන දින ගණනක් මහන්සි වී තම පෙට්‍රල් හෝ ඩීසල් රථය විදුළියට හැරවීමය. මේ දෙවන ක්‍රමය කරදර කාරී වුවද, වියදම නම් අඩුය.

එහෙත් ලංකාව වැනි රටක නම් එය කිරීම සිහිනයකි. නොයෙක් වාහන නීතිද හරස් වනු ඇත. ලෝකයේ අද ඇති වී තිබෙන විදුළි වාහන ප්‍රගතියට අනුව නම් ප්‍රංශයේ තෙවන ක්‍රමයක්ද ඇත. එනම් පෙට්‍රල් වාහනය, “Transition One” යන ආයතනයට දී එය විදුළි වාහනයක් කර ගැනීමය. පැය හතරක් තුල ඒ පෙට්‍රල් වාහනය සම්පූර්ණයෙන්ම විදුළිය වාහනයක් බවට හරවා ඔබට නැවත ලබා ගත හැක.

මෙය ඉතා ලෙහෙසි සහ පහසු, වෙලාව අඩුවෙන්ම ගත වන පරිවර්ථනයක් බව පැහැදිළිය. කෙසේ වුවද මේ ගැන අන්තර් ජාලයේ සොයා බැලූ විට, ‘පවර් ස්ටියරින්’, ‘වායු සමීකරණ’ ආදී අනෙකුත් උපාංග සියල්ල මුල් ආකාරයට අයිතිකරුවාට දෙන්නේද යන්න නම් පැහැදිළි නැත. නමුත් මෙය ප්‍රංශ ආණ්ඩුවේ අනුමැතිය සහ මාර්ග නීති මත කෙරෙන හෙයින් ඒවා වෙන බවට සැකයක් නැතිවාක් මෙන් පෙනේ.

එසේ විදුළිකරණය කරන ලද රථය මගින් කිලෝ මීටර් 100ක දුරක් ධාවනය කල හැක.  මෙය මෙතරම් විගස කල හැකි වන්නේ ඉහත කී සමාගම මගින් වාහනයේ සම්පූර්ණ එන්ජිම ඇති කොටස [Sub frame] ඉවත් කර ඒ වෙනුවට නවතම කොටසක් යොදන බැවින් බව පෙනී යයි. මේ ආකාරයට වෙනස් කල හැකි වාහන මෙසේ වේ. Renault Twingo II, Fiat 500, MINI, Volkswagen Polo, Toyota Aygo, Citroën C1, Peugeot 107, Renault Clio 3, Peugeot 207, Citroën C3, Dacia Sandero, Renault Kangoo, Citroën Berlingo, and the Peugeot Partner.

තවද මෙය කිරීම වඩා සුදුසු වන්නේ, වාහනය වසර දෙකක් පමණ පැරණි නම්ය. එහෙත් ඊට වඩා පැරණි වාහන නොකල හැකි බව ඉන් අදහස් නොවේ. නමුත් ලාභය කෙමෙන් අඩු වී යන්නේය. තම පැරණි වාහනය තත්වයෙන් උසස් බෙන්ස්, වොල්වෝ වැනි වාහනයක් නම් මෙසේ විදුළි වාහනයක් කලද පාඩු නැත්තේ, ඒවායේ උසස් නිමාව සහ කාර්මික තත්වය කාලයත් සමඟ ලෙහෙසියෙන් පහතට නොවැටෙන හෙයිණි.

කෙසේ වුවද, තම පැරණි වාහනයට තවමත් ආදරය කෙරෙන කෙනෙක්ට එය ගැටලුවක් නොවනු ඇත. බැටරි මිළද පහතට යන නිසා එය සාධාරණීයකරණය කල හැකි වනු ඇත. මේ ක්‍රියාවලිය ප්‍රංශ ආණ්ඩුව මගින් අගය කරන හෙයින් ඊට යන වියදමෙන් කොටසක් ආණ්ඩුව දරයි. එනම් අවසානයේ මේ සඳහා පාරිභෝගිකයා ගෙවිය යුතු මුදල වන්නේ ඩොලර් 5500 ක් හෙවත් ලංකාවේ මුදලින් රුපියල් මිලියනයකට සමීප මුදලක් පමණි.

පරිසර පරාමිතික සැලකු විටද මෙය අලුත් විදුළි වාහනයක් මිලට ගන්නවාට වඩා වඩාත් හොඳ දෙයක් බව පෙනී යයි. මක්නිසාදයත්, වාහනයක් නිර්මානයේදී ඒ සඳහා අවශ්‍ය වන සියලු උපාංග අලුතෙන්ම නිර්මාණය කිරීමේදී පරිසරයට මුක්ත වන කාබන් ප්‍රමාණයට වඩා අඩු ප්‍රමාණයක් පැරණි රථයට එකතු කරන ෆ්‍රේම් එක, බැටරි සහ ඉන්වරටරය වැනි උපාංග වලට භාවිතා වන හෙයිණි.

ෆොසිල ඉන්ධන වලට ඇති ඉල්ලුම දිනෙන දින පහත බහින මේ යුගයේ, ඒ සඳහා පාරිභෝගිකයන් ගෙවන මිළද යුරෝපීය රටවල් වල නම් අඩුවෙමින් යයි. ලංකාවේ නම් මෙය මෙසේ නොවන වගක් පෙනෙන්නේ ෆොසිල ඉන්ධන වලින් විශාල බද්දක් ආණ්ඩුවට යන හෙයිනි.

පාරිභෝගිකයා විසින් මිළට ගන්නා ෆොසිල ඉන්ධන වලින් ලැබෙන ‘රට ඇතුලේ’ පනවන බද්දට වඩා වැඩි ප්‍රමාණයක් මුදල් ඉතිරි කර ගැනීමට හැකි වන්නේ, ඒ ෆොසිල ඉන්ධන සඳහා යන මුදළ රටේ ඉතිරි කර ගැනීමෙනි. 
  
ස්වභාවිකව පහත වැටෙන ෆොසිල ඉන්ධන ඒ ආකාරයෙන් පාරිභෝගිකයාටද අඩු වන්නේ නම්, විදුළි වාහන ගැනීමේ ප්‍රවණතාවය අඩු වේ. මෙය සමහර රටවල් වල වී ඇති දෙයකි. දුර දිග දකින යුරෝපීය ආණ්ඩු නම්, ෆොසිල ඉන්ධන වාහන වලට වෙනත් ආකාරයේ බදු පනවනු ලැබේ. මෙතෙක් කල් දුර දිග දකින්නට නොහැකි වුවද,  ලංකාවේ පෙට්‍රල් මිළ මේ ප්‍රමාණයෙන්ම තබා ගන්නේ හෝ තවත් වැඩි වන්නේ නම් මැනවි. [… මෙය මට ගුටි කන්නට වන ප්‍රකාශයක් විය හැක… 🙂 ]

එවිටවත් විදුළි වාහන වැඩිවී, ලංකාවෙන් ෆොසිල ඉන්ධන සඳහා රටෙන් පිටට යන විශාල විදේශ විනිමය ප්‍රමාණය අඩු කරගත හැක.

දැන් නිතරම අහන ගැටලුව, නැවතත් ඇසීමෙන් වළකින සේ ඉල්ලා සිටිමි. එනම් මෙසේ වැඩිවන විදුළි වාහන ආරෝපණය සඳහා තවමත් භාවිතා වන්නේ නොරොච්චෝලේ ගල් අඟුරු බලාගාරයෙන් එන බල ශක්තිය නිසා, අපි තවමත් කාබන් විමෝචනය කරන බවත්, මේ විදුළි වාහන ප්‍රගතිය ලංකාවේ වුවහොත්, එය කාබන් විමෝචනයේ ප්‍රමාණය වැඩි වන්නේද යන්නය.

මේ ගැන නොයෙක් රටවල් වලින් පරීක්ෂණ පවත්වා ඇත. ඒවායේ නිගමනය වන්නේ, රටක 100%ක් ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන බලාගාර තිබුනද, එමගින් ලැබෙන විදුළිය මගින් විදුළි වාහන ආරෝපණය, ෆොසිල ඉන්ධන වාහන භාවිතා කිරීමට වඩා පරිසර හිතකාමී වන බවය. අතුරු ආරංචියක් සටහන් කළහොත්, යුරෝපයේ වැඩිම ගල් අඟුරු බල ප්‍රතිශතය ඇති ඕස්ට්‍රියාවේ ද එය හඳුනා ගෙන විදුළි වාහන ප්‍රවර්ධනය සඳහා ජනතාවට දිරිය දේ.

බොහෝ අය නොසිතන දෙයක් වන්නේ, පෙට්‍රල් හෝ ඩීසල් වාහන වල එන්ජින් ඒකාකාරී වේගයකින් ක්‍රියාත්මක නොවන බවය. එවිට එන්ජිමේ නාමික කාර්යක්ෂමතාවය [Nominal efficiency] තව තවත් අඩුවේ. නමුත් ගල් අඟුරු හෝ වෙනත් ෆොසිල ඉන්ධන බලාගාරයක් සැම විටම ඒකාකාර වේගයකින් ක්‍රියාත්මක වේ. 

අනෙක් නොසිතන දෙයක් වන්නේ, ෆොසිල ඉන්ධන වාහනය ට්‍රැෆික් ඇති විට පාරේ ඉතා සෙමෙන් ධාවනය වීම හෝ එන්ජිම ක්‍රියාත්මක වෙමින් නවත්වා තැබීමට වන බවය. එනම් ෆොසිල වාහන සෙමෙන් ධාවනය වන විට ඉතාම අකාර්යක්ෂම වේ. විදුළි වාහනයක් එසේ නොවේ. ට්‍රැෆික් ඇති වෙලාවට පාරේ නවතින විට වාහනයේ මෝටරයද නවතී. හුදෙක් වායු සමීකරණ යන්ත්‍රය පමණක් ක්‍රියා කරයි. ඔබ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියා විරහිත කළහොත් වාහනය මගින් බැටරියෙන් කිසිම ශක්තියක් ඒ අවස්ථාවේ නොගනී.

මෙය විශාල ශක්ති ඉතිරි කිරීමකි. නවතම විදුළි වාහන වල නම් වහළයේ සූර්ය පැනල සවි කර යම් තරමකට වාහනයේ බැටරිය ඉන් ආරෝපණය කෙරේ. අප විසින් වටහාගත යුතු තවත් ඉතා වැදගත් දෙයක් වන්නේ, “පුනර්ජනන බල ශක්තිය” ප්‍රවාහනයටද එකතු වන ආකාරයයි.

[… අමතර දෙයක් සටහන් කලොත්; පාරේ ධාවනය වන බස් රථයක වහළයේ වර්ග ඵලය, එම වාහනයේ වායු සමීකරණ යන්ත්‍රය ක්‍රියාත්මක කිරීමට සෑහෙනු ඇත. ඒ සඳහා බැටරි අවශ්‍ය වන්නේ නැත්තේ, මෙකළ බැටරි රහිත Off grid ඉන්වර්ටර ඇති හෙයිණි. ඒ ඉන්වර්ටරයක ධාරිතාවයට වඩා එක වොට් එකක් වැඩි විදුළි බලයක් සැපයීමෙන්, ඉන් ස්ථාවර බලයක් ලබා ගත හැක. යම් හෙයකින් සූර්ය පැනල ඇටවුමට සෙවන වැටෙන්නේ නම්, ඒ අවස්ථාවේ සාමාන්‍ය ආකාරයට බසයේ එන්ජිම මගින් ක්‍රියාත්මක කෙරෙන ඇටවුම භාවිතා වන ආකාරයට (Change over unit) වායු සමීකරණ යන්ත්‍රය ඇටවිය හැක….]      

විදුළි වාහන ලංකාව වැනි රටකට තව තවත් හොඳ වන්නට නම්, ලංකාවේ බල ශක්තිය සඳහා භාවිතා වන ෆොසිල ඉන්ධන වලින් ක්‍රියාත්මක වන බලාගාර හැකිතාක් අඩුවෙන් ක්‍රියාත්මක කල් හැක්කේ, ඒ සඳහා සූර්ය බල ශක්තිය ජාතික බල සැපයුමට හැකිතාක් භාවිතා කිරීමය. එවිට මේ ප්‍රංශ ආකාරයට විශාල පරිමාණයෙන් සාමාන්‍ය ෆොසිල ඉන්ධන වාහන විදුළි වාහන වීම ගැටලුවක් වන්නේ නැත.

නොබෝදා විදුළි බල මණ්ඩලය විසින් තීරණය කරන ලද, විශ්මය ජනක “U ටර්න්” එක ඉතා වැදගත් වේ. එනම් කිලෝ වොට් 100 සූර්ය බලාගාර 10,000 ක් දිවයිනේ නන් පෙදෙස් වල බිහි කිරීමේ වේ. එය ජනාධිපති තුමාගේ 80% පුනර්ජනන බලය පිළිවෙත සමඟ එක්ව යන බව පෙනී යයි. ඊට අමතරව අපට කල හැකි එක දෙයක් වන්නේ, අපගේ බල ශක්ති අවශ්‍යතාවයට සරිලන ආකාරයට Off grid ආකාරයේ බල පද්ධති සකස් කර ගැනීමය.

එවිට වහළයෙන් පෙට්‍රල් එනවා වැනිය.

දැන් කෙමෙන් විසඳෙන මේ ප්‍රෙහේළිකාවේ අවසාන කොටස වන්නේ, විදුළි වාහන වලට ඇති කුඩම්මාගේ සැළකිලි ඉවත් කිරීමය. ඒ අතරතුර ආයෝජනය කල හැකි යම් ආයතනයකින්, ලංකාවේ ඇති ෆොසිල ඉන්ධන වලින් දිවෙන වාහන විදුළි කරණය සඳහා අවශ්‍ය උපාංග ගෙන්වා ඒ කාර්යය කල හැකිද බැලීම නම් වටිනා දෙයක් වනු ඇත.

තවත් විස්තර සඳහා,

https://cleantechnica.com/2020/10/24/transition-one-will-convert-your-old-gasmobile-to-electric-power-in-about-4-hours/

%d bloggers like this: