Menu Close

241) කෝවිඩ්ට බය වෙන්න ඕනමද?

ලංකාවේ ආයෙත් කෝවිඩ් ගැන කතාව පටන් අරගෙන, දවස ගානේ තැන් තැනි “පොකුරු පිපෙත්දි” සමාජගත වුනාද නැත්ද කියන එක ගැන තර්ක කරමින් ඉන්න මේ වෙලාවේ , මීට මාස පහ හයකට පෙර ලියූ ලිපියක් යම් යාවත්කාළීන කිරීමක් සහිතව නැවතත් මේ පළකරන්නේ කවුරු හරි යමක් ගනීවි කියන අරමුණින්. 

කෝවිඩ් 19 කියන්නේ ශ්වසන බිඳිති සහ ස්පර්ෂය මගින් බෝවන රෝග අතර පැතිරීමේ සීග්‍රතාවය (dissemination of an infection) ඉහළින් තිබෙන වයිසරයක්. වයිසරසයේ ප්‍රමාණය, ධාරක පරිසරයෙන් පිට පැවතීමේ කාළය සහ හැකියාව, දේහගත වන ආකාරය සහ දේහය/සෛලය තුල තම වර්ධනය සහ ප්‍රතිගුණනය කිරීමේ වේගය සහ හැකියාව අනුව ඒ හඳුනාගැනීම කරන්නේ. ඒ කියන්නෙ කෝවිඩ් 19 බොහොම ඉක්මණින් පැතිරීමේ යාමක් සිදුවෙනවා. ඒ සඳහා හේතුවන ප්‍රධාන සාධක විදියට , Asymptomatic stage ඒ කියන්නේ වයිරසය දේහගත වී , දින 2-11ක් පමණ වන තුරු කිසිදු රෝග ලක්ෂණයක් නොපෙන්වා “වයිරස පතුරවන්නෙක්“ ලෙස අදාල පුද්ගලයාට තිබෙන නොදැනුවත් හැකියාව , වගේම සමහර ආසාදියන්ට කෝවිඩ් ලක්ෂණ ලෙස සැලකිය හැකි කිසිදු රෝග ලක්ෂණයක් සම්පුර්ණ කාළය තුලම නොපෙන්වා සමාජය තුල පැවතීමේ හැකියාවත් හේතුවෙනවා. මේ අය සෞඛ්‍ය ප්‍රජාව තුල හඳුන්වනේ “supershedder,” ලා විදියට. 
මෙතැනදි තවත් ප්‍රායෝගික ගැටළුවක් මීට එකතු වෙනවා. ඒ සමාජය තුල ජනඝණත්වය වැඩි වන අවස්ථාවේ, එහෙම නැත්නම් එක් ප්‍රෙද්ශයක් තුල , වාහනයක් තුල තදබදය වැඩි වන තරමට, පුද්ගලයන් දෙදෙනෙක් අතර දුර අඩුවෙත්දි, Suppershredder කෙනෙක් , ඒ කියන්නේ වයිරසය දේහය තුල පවතින කෙනෙක්ගෙන් වෙනත් කෙනෙක්ගේ ඇඟට පැනල “අමුණ ගන්න“ මේ වයිරසයට තිබෙන හැකියාව වැඩි වෙනවා. 
අනෙක් හේතුව මෙම වයිරසයේ ආකෘතික ස්වභාවය. එනම් මෙහි ඇති ප්‍රෝටීනමය නෙරුම් නැත්නම් spikes අපේ දේහ සෛල වලට බැඳෙන්නේ වෙනත් සමාන වයිරසයකට ඇති මෙම “බැඳීමේ හැකියාවට“ වඩා දහගුණයක් ඉහළ හැකියාවකින්. තේරෙන බාසාවෙන් කිව්වොත්, මතකනම් අපි ඉස්කෝලේ යනකාළේ ළඟින් ගියත් මේස් වල තුත්තිරි වල් ඇපල ඇමිණෙන හැටි. අන්න ඒ වගේම මේ වයිරසය දේහගත වුනොත් දේහල සෛල වලට ඇමිණෙන්නේ “ආයේ ගලවන්න බැරි වෙන්නම“ තවත් මේ වයිරසයේ විශේෂ ලක්ෂණයක් තිබෙනවා. ඒ තමයි මේ වයිසරයේ පෙර කී නෙරුම් තුල , මිනිස් අක්මාවට , පෙහනලු අන්ත්‍ර වල සෛල වල “දොරවල් ඇරගෙන“ ඒවාට ඇතුලු වෙන්න පුළුවන් “යතුරක්“ (Furin activation sites)තිබෙනවා. අන්න ඒ හැකියාව නිසා , වෙනත් සෛල වලට සාපේක්ෂණ , මිනිස් අවයව කිහිපයකට එකවර පහර ගහන්නට මෙයාට පුළුවන්. මේ multi organ failure එක තමයි කෝවිඩ් නිසා මරණයට හේතුවන පොදු සාධකය වන්නේ. මේ “යතුරු හැකියාව“ කෝවිඩ් පැතිරීම වේගවත් වීමටත් හේතුවක්. 
තවත් සාධක ගණනාවක් තිබුණත්, පොදුවේ අපට පහසුවෙන් වටහා ගත හැකි සාධක විදියට මේතුලින්ම අපට ලංකාවේ කෝවිඩ් පැතිරයාම පිළිබඳ අවබෝධයක් ලබා ගන්න පුළුවන්. ඉහළ ජණඝනත්වයක් තිබෙන , පොදු ප්‍රවාහන සේවා බහුලව යොදා ගන්නා, ආයතන තුල මෙන්ම පොදුවේ ජනතාව තුලද අත්සේදීම තැන තැන කෙළ නොගැනීම වැනි “සරළ සෞඛ්‍ය ආරක්ෂක පුරුදු“ ගැන වැඩි තැකීමක් නොතිබුණු රටක, සාමාන්‍ය තත්ත්වය යටතේ කෝවිඩ් වයිරසයට “තෝතැන්නක්“ වෙන බව වෙනම කියන්න ඕන නැහැනේ. ඊටම සමහර පුද්ගලයන් තුල ඇති සාම්‍රපදායික මත සහ විශ්වාස මෙන්ම, පැතිරෙන විද්‍යාත්මක සනාථ නොකළ දැනුමද පෙර කී තෝතැන්න, රිදී නිම්නයක් කරාවි කෝවිඩ්ට. 
ඉතින් මේ පසුබිම තුල වයිසරයේ පැතිරීම පාළනය කළ හැකි හොඳම දේ පුද්ගලයන් අතර භෞතික දුරස්ථභාවය (එනම මීටර දෙකකවත් පරතරයක්) පවත්වා ගැනීමයි. නමුත් ලංකාවේ ජනගහනය , රැකියා ස්වභාවය ප්‍රවාහන පද්ධතිය ගැන සැලකීමේදී සහ පුද්ගලයන් තුල තිබෙන ආකල්පමය මතවාද අනුව මේ දුරස්ථභාවය පවත්වා ගැනීමට කළ හැකි හොඳම දේ “ඇඳිරි නීතියයි“ . ඊට අමතරව අත්සේදීම ,සමාජය තුල ගැවසීමේදී මාස්ක් එකක් පැළදීම (එය තමා‍ට ආරක්ෂාවක් දෙනවාට වඩා අනෙකා ආරක්ෂා කිරීමක් කරන්නේ) මුහුණ නොඅල්ලා සිටීමේ වැදැගත්මක , ලක්ෂණ ඇත්නම් වෙන්ව කාළය ගත කිරීම මෙන්ම ලක්ෂණ වැඩි වන තත්ත්වයකදි ඉක්මණ් ප්‍රතිකාරයට යොමු කිරීමද වැදගත් තැනක තිබේ. ඒ අතර , ලක්ෂණ ඇති පුද්ගලයන්, ඔවුන් සමඟ ගැටුනු පුද්ගලයන් සහ සමහර අවස්ථාවල අහඹූ පුද්ගලයන් සඳහාද කෝවිඩ් හඳුනාගැනීමේ පරික්ෂණ කරමින් පැතිරයාමේ රටාව , වේගය පිළිබඳ දැනුවත් වීම සමහ දැනුවත් කිරීම වැදගත් වෙනවා. 
 දැනට පවතින තත්ත්වය තුල ලංකාව තුල මේ සියළු කටයුතු “සාධාරණ සීමාවක“ සිදුවෙමින් පවතින බව දැනගන්නට ලැබෙනවා. පරික්ෂණ ප්‍රමාණය ඉහළ නැංවීම, ආසාදියන් සමඟ සම්බන්ධවූවන් හඳුනාගැනීම , නිරෝධායනයට යොමු කිරීම වැනි කටයුතු සාර්ථකව සිදුවන අතරේ “ඇඳිරි නීතිය “ නිසා පෙර කී දුරස්ථභාවය පවත්වා ගැනීම සිදුවෙනවා. කෙසේ වුවත්, මේ අවදානම ඉදිරියේ, යම් ආකාරක යහපත් ප්‍රවණතාවයක් ගැන ඉඟ පළ කරන්නට පුළුවන්. ඒ , ඉදිරියේදී වයිරසයට ගොදුරු වන සංඛ්‍යාවේ ඉහළ යාමක් වුවද, ( ඇඳිරි නීතිය ඉවත් කිරීමට පසු , සීග්‍ර වර්ධනයක් සමඟ) වෙනත් රටවලට සාපේක්ෂණ කෝවිඩ් නිසා සිදුවන මරණ සංඛ්‍යාව අඩු මට්ටමක පවත්වා ගැනීමට හැකිවනු ඇත. එයට ප්‍රධාන හේතුව නම් , බොහෝ රටවල කෝවිඩ් මරණ ප්‍රතිශතය ඉහළ නැංවීමට දායක වන ඉතා වියපත් මහළු ප්‍රජාව අපේ රට තුල එතරම් නැතිවීම සහ සිටින වියපත් ප්‍රජාවද , වෙනත් බොහෝ දියුණු රටවල මෙන් එක්ව එකම නිවාස පද්ධතියක් තුල වාසය නොකිරීමයි. ( දියුණූ රටවල තිබෙන වෛද්‍ය සේවාවල දියුණූව සහ සමහර ජානමය තත්ත්ව නිසා , ඉතා වියපත් වන තුරු (වයස 90-105 වැනි) විවිධ රෝගාබාධ සමඟ ජීවත්වන වැඩිමහළු ජනතාව සඳහා සේවා සැපයීමට ඔවුන් සඳහාම වෙන්වූ , නිවසා පද්ධතීන් තිබේ). 
කෙසේ වුවත් ආසාදනය වීම සීග්‍රව ඉහල ගොස් සෞඛ්‍ය පද්ධතියට දරාගත හැකි සීමාවෙන් ඉහළ ගියොත්, කෝවිඩ් නිසා ප්‍රතිකාර අවශ්‍ය රෝගීන්ට ප්‍රමාණවත් සහය ලබා දීමට නොහැකි වීම මත ලොකු අවදානමක් මතු වෙන්නට පුළුවන්. ඒ වගේම අපේ රටේ ඇති ඉහළ දියවැඩියා , හෘදයාබාධ මට්ටම සහ සමහර ප්‍රෙද්ශ වල තිබෙන වකුගඩු ආබාධ සහිත වූවන්ගේ ප්‍රමාණය මත මේ සංඛ්‍යාව ඉහළ යාමේ තවත් අවදානමක් තිබෙන බව මතක් කරන්නම ඕන. 
මෙම තත්ත්වය හමුවේ, කෝවිඩ් පිළිබඳව වඩාත් සංකීර්ණ අවධානය යොමු කළ යුත්තේ හුදෙක් මරණ අනුපාතය නිසාවෙන්ම නොවේ. කෝවිඩ් වයිරසය විවිධ පුද්ගලයන්ගේ දේහය තුල සිදු කරන වෙනස් හානීන් සළකා බැලීමෙනි. තවත් විදියකින් කිව්වොත් කෝවීඩ් හැදෙන දහසකින් එක් කෙනෙක් මැරෙන්න පුළුවන්. අපි හුඟක් කතා කරන්නේ මේ “මරණය” ගැන. ඒත් අනෙක් නමසිය අනූ නවයම දැනෙන, හෝ දැනට නොදැනෙන සෞඛ්‍ය ආපදාවකට ලක්වෙලා අවසන්. ඒ මෙම වයිසරය පෙනහලු වලට පමණක් පහර නොගහන නිසා. මෙම වයිරසයට පුළුවන් ඇගේ තිබෙන සියළුම අවයව , ඉන්ද්‍රියයන්ට හානි කරන්න. ඒ සමහර හානි ක්ෂණිකව නොපෙනුනත් ඉදිරි කාළ සීමාව තුල වෙනත් ආකාරයක ගැටළු, රෝග ඇති කරන්න හැකියාවක් තියෙනවා. ඒ නිසා දැන් හඳුන්වා දෙන පරිදි අයෙකුගේ දේහයට කෝවිඩ් වයිරසය ඇතුළු වුවහොත්, කෝවිඩ් වල දරුණූ ලක්ෂණ නොපෙන්වා රෝග තත්ත්වයෙන් සුව වුනත්, අදාල පුද්ගලයාගේ “තිබුණූ අපේක්ෂිත ආයු කාළය” දැන් අවුරුදු දහයකින් අඩු වෙනවා. ඒ තරම් හානියක් කළ හැකි බව හඳුනාගෙන තිබෙනව, ඊට අමතරව තවත් හඳුනාගනිමින් තිබෙනවා. 
 නිමාවට පෙර කිව අවධාරණය කළ යුතු කරුණූ කිහිපයක් තිබෙනවා. ඒ, 
• කෝවිඩ් බෝවීමේ හැකියාව ඉතාමත් වැඩි වයිරස රෝගයක් බව. 
• PCR පරික්ෂණයදී Negative වීම යනු 100%ක නිවැරදි නොවිය හැකි බව. ( අදාල පරික්ෂණයේ සමස්ථ නිවැරදිබව තිබෙන්නේ 70-80%ක පරාසයේ වගේම , රෝගියාගේ තත්ත්වය , වයිසරය දේහ ගත වී ගත වූ කාළය, පරික්ෂණ කට්ටවල වල තත්ත්වය, සාම්පලය ගැනිමේ තාක්ෂණ ක්‍රම වල ගැටළු) මේ නිරවද්‍යභාවයට සීමා ගේනවා 
• මාස්ක් එක දැමීමෙන් තමන් නොව , අනෙකා ආරක්ෂා වන බව. ( තමන් ආරක්ෂා වීමට නම් දුර තබා ගැනීම සහ අත පිරිසිදුව තබා ගැනීම වැදගත් බව) 
• කෝවිඩ් වල මූලික රෝග ලක්ෂණ ලෙස සෙම්ප්‍රතිශ්‍යාව උණ ලක්ෂණ වලට අමතරව, රස සුවඳනොදැනී යාම, ඇස් රතු වීම සහ කඳුළු ගැනීම අසාමාන්‍ය ලෙස වැඩි වීම හෝ සාමාන්‍ය උදරාබාධයක ලක්ෂණ වැනි ටිකක් වෙනස් ලක්ෂණද ඇතිවිය හැකි බව 
• කෝවිඩ් දේහ ගත වුවත්, කිසිදු ලක්ෂණයක් නොපෙන්වා, වයිරසය පැතිරවිය හැකි විශාල පිරිසක් සමාජය තුල සිටිය හැකි බව 
 • මෙන්ම , අවසානයේ, කෝවිඩ් නිසා මිය නොගියද , තම ආයු කාළය අඩු වන හානි රැසක් දේහය තුල සිදුවන බව දැන සිටීම වැදගත් වේවි. 
මේ තත්ත්වය විවිධ පුද්ගලයන් කියන විදියට මැජික් වගේ ඉවර කරන්නට නොහැකි අතර, ඊට සෘජුව පහර දිය හැකි එන්නතක් සමාජ ගත කර තවත් මාස කිහිපයක් යන තුරු “කෝවිඩ් අවසන් කළා යැයි” එක දාගන්නට උත්සාහ නොකර, පොදුවේ රටක් සියල්ලම නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරමින්, කෝවිඩ් සමඟ ජීවත් වන්නට හුරුවීම කළ යුතු බවයි මගේ අදහස. දැනට පවතින තත්ත්වය තුල , කැනඩාව සහ අමෙරිකාව තුල සාර්ථක මට්ටමේ අත්හදා බැලිම් අවසන් වෙමින් පැවතියද, ඒවා ප්‍රතිකාරයක් ලෙස “මෙම රටවල” සමාජය තුලට ලඟා වීමට තවත් වසරක්වත් අවමව ගත වේවි. ඒ නිසා කෝවිඩ්ට “බය වෙලා කුලප්පු වෙනවාට වඩා” , යකා එක්ක වුනත් ඉන්න පුළුවන් සිරි ලාංකික අප, කෝවිඩ් එක්කත් දැනගෙන පරිස්සමින් ජීවත් වෙන්න හුරුවීමයි වැදගත්. 
සුව සතුට! මම මහේෂ්
%d bloggers like this: