Menu Close

මහවැලි ගඟ පහළ විල් ගොවිතැන

 

මහවැලි ගඟ පහළ විල් සහ විල්ලු ගොවිතැන

 

 

 

හඳපාන්විල

 

 

(ක්‍රිෂ්ණ විජේබණ්ඩාර)

(පින්තූර-සුපුන් රංජන)

මහවැලි ගඟේ පහළ නිම්නයට වසන්තය එළඹෙන්නේ, ඊසාන දිග මෝසමේ වැසි ලැබෙන  නොවැම්බරය අග භාගයේ පටන් දෙසැම්බර්, ජනවාරි සහ පෙබරවාරි ආරම්භය දක්වා වකවානුවට ය. ඒ කාලයට, මහවැලි ගඟ මහවැලි ගඟ ජලයෙන් පිරී ඉතිරී යන අතර, පහළ නිම්නයට ගංවතුර කඩා වදියි!

 

මහවැලි ගඟේ ගංවතුර සමය යනු ගඟ පහළ විල් පද්ධතිවලට දියවර පිරෙන්නටත්, එයින් විල්ලුනිර්මාණය වන්නටත් මග පෑදෙන වකවානුවකි. ගඟ පහළ නිම්නයේ අනාදිමත් කාලයක් තිස්සේ කෙරෙන විල්සහ විල්ලුගොවිතැන, එම ප්‍රදේශවලට ම ආවේණික වූවකි.  සාරවත් විල්ලු පසේ හට ගන්නා එක් ගොයම් පඳුරක් හරකෙක් දිගේලි කරන්නට තරම් ශක්ති සම්පන්න බව, මහවැලි ගඟේ පහළ ම පෙදෙස්වල පැරණි කියමනකි!

 

එක ගොයම් පඳුරක් උප්පිඩක්’, පොළොන්නරුවේ හිඟුරක්ගොඩ වෙසෙන ආරියරත්න සුබසිංහ (ආරි සර්) ගොවියා කියන්නේ ය. හෙතෙම විල් සහ විල්ලු ගොවිතැන අරභයා අත්දැකීම් ඇති, වස විසෙන් තොරව දේශීය වී වගා කරන්නට උනන්දුවක් දක්වන්නෙකි.

 

මහවැලි ගඟේ පහළ නිම්නයට මහියංගණයෙන් පහළ දෙහිඅත්තකණ්ඩිය, අරලගංවිල, මනම්පිටිය, සෝමාවතිය, සුංගාවිල සහ කන්දකාඩුව සිට ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේ සේරුවිල දක්වා පෙදෙස් ඇතුළත්කර ගත හැකි ය. එම ප්‍රදේශවල ඔස්සේ ගලන, මහවැලි ගඟට සම්බන්ධ වන ලොකු කුඩා ජල මාර්ග, ගංවතුර දෙගොඩ තලා යන කාලයට මැකී ටික කලකට අතුරුදන් වෙයි. එයින් පසුව විල්සහ විල්ලුනිර්මාණය වන වකවානුව එළඹෙයි.  එය සිදු වන්නේ ගංවතුර ටිකෙන් ටික බැස යාමත් සමගිනි.

 

මහවැලි ගඟ පහළ පැරණි විල් පද්ධතිය පටන් ගන්නේ දෙහිඅත්තකණ්ඩියෙනි. එහි සිට ත්‍රිකුණාමලයේ ගං මෝය දක්වා ස්වාභාවික විල් අටක් තිබේ.  දෙහිඅත්තකණ්ඩියට නුදුරින් හුංගමාලගම ප්‍රදේශයේ පිහිටි පොල්අත්තාවිල’, ‘හඳපාන්විල’, ‘අරලගංවිල’, ‘සොරිවිල’, ‘කටුවන්විල’, ‘පරකාසවිල්ලුවහෝ මීන්විල’ (සෝමාවතිය), ‘සුංගාවිලසහ සේරුවාවිලයනු එම විල් අටයි.

 

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේ ජන ප්‍රවාද කතා අනුව, ‘හුංගමාලගමයනු හුංගානම් ආදිවාසී නායකයෙකු අස්වැද්දූ ප්‍රදේශයයි.  එය හමු වන්නේ පොල්අත්තාවිලප්‍රදේශයේ ය. ඔහු ගොවිතැන්කර ඇත්තේ එහි දියවරිනි. මහවැලි ගඟේ ජල මට්ටම අඩු වුණු ඉඩෝර කාලයට, පොල්අත්තාවිලට බැසීම පිණිස පුරාණයේ ඉදි කළ පියගැට පෙළවල නටබුන් අදත් දකින්නට පුළුවන. මේ සෑම තැනක ම පුරාණ ගඩොල්, ගල් කණු කෑලි වාගේ නටබුන් තියෙනවා’, පොල්අත්තාවිලට නුදුරින් වෙසෙන ගොවියෙකු වන නන්දසිරි කේ. පතිරණ හෙවත් ගුරු අයියාකියයි. මේවාට අමතරව, මහවැලි ගඟ පහළ කොටස්වල විල්ලුයනුවෙන් හඳුන්වන ජලාශ රාශියක් වේ. ඒවායින්  බහුතරයක් පිහිටා ඇත්තේ වනගතව ය.

 

විල් සහ විල්ලුවල ජීවිතය

මහවැලි ගඟේ විල් පද්ධතියේ ජීවිතයරඳා පවතින්නේ ගංගාවේ දියවර ගලා යන රටාව අනුව ය. ගංගාව උතුරා ගංවතුර ගලන කාලයට, වැහි පිටාර වතුර ගඟ ඉවුරු පැන, විල්වලට එක් වෙයි. එයින් විල් පිරී යන්නේ ය. ගොවීහු ඒ දියවරින් ගොවිතැන් කරති. ඇතැම් විට, පිරී ගිය

විලක දියවර, වගා කන්න කිහිපයකට ම වී වගාකර ගැනීම සඳහා ප්‍රමාණවත් ය.

 

විල්ලු නිර්මාණය වන්නේ ද මහවැලි ගඟේ ජලය ගැලීම පදනම්කර ගනිමිනි. ගංවතුර නිසා මහවැලි ජල ගැලුම් නිම්න ප්‍රදේශය ජලයෙන් පිරී යයි. වේගයෙන් ගැලුව ද, ඒවා බැස යන්නේ (සිඳී යන්නේ) සෙමිනි. එය සිදු වන්නේ ජලයෙහි දියවී ඇති රොන් මඩවිල්ලු භූමියෙහි තැන්පත් වන්නට ඉඩ සලසමිනි.

 

ජලය ක්‍රමයෙන් සිඳී යන විට, ගංවතුර පැවති සමයේ මහවැලි අතු ගංගා ආදියෙහි සැරිසැරූ මත්ස්‍යයන් මේ කාලයට විල් සහ විල්ලු ප්‍රදේශවලට කොටු වේ. උන් දඩයම් කිරීම පිණිස කණ්ඩායම් වශයෙන් වනගත වීම, ගංවතුර බැස යන වකවානුවට ඇතැමුන්ගේ සිරිතයි. මෙය මහවැලි ගඟ පහළ නිම්න ජන වහරෙහි හැඳින් වෙන්නේ විල් රකින්න යනවායනුවෙනි.

විල්ලු යනු ඇත්තට ම, ගංවතුර බැස ගිය වනගත පහත් බිම්වල ඉතිරි වන දිය මංකඩවල් ය. ඒවා වැඩි වශයෙන් පිහිටන්නේ අන්තිම පහත් භූමිවල ය. ගංවතුරෙන් පසුව එළඹෙන වියලි සමයේ දී මේ දියමංකඩවල් තවදුරත්  සිඳී යන්නේ ය. එය විල් රකින්නට (දඩයමේ) යන අයට වාසියකි.

 

ගංවතුර බැස යන සමයට විල් රකින්නට  යන්නේ කණ්ඩායම් වශයෙන් එක් කණ්ඩායමකට මිනිසුන් දස දෙනෙකු වත් අයත් වෙති. ඔවුහු කිසියම් වනගත විලක්  හෝ විල්ලුවක් අසල ඉදි කරන වාඩියක මාසයක් පමණ දඩයමෙහි යෙදෙති. ආහාර ඇතු ළු  බඩු භාණ්ඩ ද පටවා ගෙන ඔවුන් වනයට ගමන් කරන්නේ මරං කරත්තනමින් හඳුන්වන ගොන් කරත්තවලිනි. එක් කණ්ඩායමකට කරත්ත තුන හතරක් ඇතුළත් වෙයි.

 

මරං කරත්තයනු මහවැලි ගඟේ පහළ නිම්නයට ම ආවේණික ගොන් කරත්ත විශේෂයකි. එහි රෝද බොහොම උස ය. එබැවින් මඩ වගුරු භූමිවල එරෙන්නේ නැත. කරත්තයේ තට්ටුව ද අසාමාන්‍ය ලෙස උස ය. එබැවින් මඩ වගුරු තරණය කරන විට පටවා ඇති බඩු භාණ්ඩ තෙමෙන්නේ නැත. විශේෂත්වය එය නොවේ. ගොනුන් ඉදිරි පසින් කරත්තය අදින විට, එය වතුර ඇළවල්, විල් හෝ විල්ලු වැනි ජලජ පරිසරයෙහි පාවීයයි! ගොනුන් පිහිනා යයි! රෝද උස නිසා කරත්තය වතුරින් නිරුපද්‍රිතව තල්ලුවී යයි. මේ කරත්ත නිපදවා ඇත්තේ මරංදැවයෙනි. මහවැලි ගඟ පහළ පිහිටි මීගස්වැව, පඹුරාණ, පල්ලියගොඩැල්ල ආදී පෙදෙස්වල මරං කරත්තතවමත්  ඉඳහිට භාවිතා කෙරේ.

 

විල් දඩයමේ ක්‍රියාවලිය දෙයාකාර ය. විල්ලුවට කොටු වුණු මසුන් දඩයම් කිරීම එක් ආකාරයකි. රාත්‍රියට විල්ලුවෙන් දිය බීමට එන ගෝනුන්, මුවන්, වල් ඌරන් ආදී වන සතුන්ට වෙඩි තබා දඩයම් කිරීම, අනෙක් ආකාරයයි. මෙය ඉතා අනතුරුදායක ක්‍රියාලියකි. එබැවින් සතුන්ට මිනිස් ඉව නො දැනෙන ලෙස, දඩයම්කරුවන් දියමංකඩවල් රකින්නේ, විල්ලුවට යටිහුලස් දිශාවෙනි’.

දඩයම් කළ මසුන් හෝ වන සතුන්ගේ මාංශ තීරුවලට ඉරා, දුම් මැහිවල වේලනු ලැබේ. දර ලබා ගන්නේ වනයෙහි ඇද වැටුණු ගස්වලිනි.

 

විල්ලු දඩයම්කරුවන්ගේ ව්‍යාවහාරයට අනුව, දඩමස් අතර රජුලෙස සැලකෙන්නේ ගෝනුන්ගේ මාංශයයි. ලුණු දමා, දුම් ගසා හෝ වියලා ගත් ගෝන මස් ගෝන කරවලය. මුව මස්, ‘මුව කරවලය. මසුන්, ‘විල්ලු කරවලහෝ වැව් කරවලය. මාසයකට අධික කාලයක් විල් පරිසරයෙහි ගතකොට විල් රකින්නට ගිය කණ්ඩායම් ආපසු ගමට එන්නේ කරත්ත පුරවා ගෙන ය. වියලා ගත් මස් මාංශ, මීපැණි, ගෝන අං සහ මුව අං තට්ටු, මුව, ගෝන ආදී සතුන්ගේ හම් සහ කපා මිටි බැඳගත් වේවැල් ද ඒවායෙහි තිබේ. මේ සියල්ල විශාල ආදායමකි.

 

විල් රකින්නට යන අය ආදායම බෙදා ගන්නේ පංගුවටය. ඒ මිනිස් පංගුව’, ‘බඩු පංගුවසහ තුවක්කු පංගුවආදී වශයෙනි.  විල් රැකීමේ කටයුත්ත සංවිධානය කළ පුද්ගලයා එය ගෙවන්නේ එක්කෝ බඩුවලිනි. නැතිනම් මුදලිනි. කොයි හැටි වෙතත්, ගෙනා බඩු භාණ්ඩවලින් යම් කොටසක් දඩයමට සහභාගිවූ අයට තෑගි වශයෙන් ලැබේ.

 

විල් රකින්නට ගිය කරත්තයක් දෙකක් ගමට පැමිණියා යනු, ඒ ගෙදර අයට මංගල්‍යයක් වැනි ය. විල් රැකිල්ලෙන් ගෙනා බඩු භාණ්ඩ මිල දී ගැනීමට සෙනග පැමිණීම, ඊට හේතුවයි. විල්ලු රකින්නට යාමේ දඩයම් කටයුත්ත වර්තමානයේ අභාවයට ගොසිනි.

 

විල් හෝ විල්ලුවේ වී ගොවිතැන

ගංවතුර  සමයට මහවැලි ගඟේ ඉහළ සිට ඇදී එන බොර පැහැති ජල කඳ, තැන්පත් වන්නේ පහළ නිම්නයේ විල් සහ විල්ලු ප්‍රදේශයේ ය. බොර පැහැති ජලයේ දියවී තිබෙන්නේ රොන් මඩ ය. ගංවතුර බැස යාමේ දී ඒවා විල්ලු භුමිවල තැන්පත් වෙයි. මේ රොන් මඩ අතිශයින් ම සාරවත් ය. ඉතින්  විල් සහ විල්ලු ප්‍රදේශවල රසායනික පොහොර නැතිව වී වගා කරන්නට පුළුවන. මහවැලි ගඟේ පහළ මැදිරිගිරිය ආශ්‍රිතව පිහිටි මීගස්වැව, පල්ලියගොඩැල්ල, පඹුරාන, වඩිගවැව සහ සුංගාවිල ආදී ප්‍රදේශවල අතරින් පතර වුව, විල්ලු වී වගාව සිදු වේ. විල්ලු වීගොවිතැන ඇරඹෙන්නේ ජනවාරියේ ය. ඒ ගංවතුර බැස ගිය පසුව ය. ඔවුන් කරන්නේ මැද කන්නයකි’.

 

විල්ලු වී ගොවිතැනින් නෙලා ගන්නා වී අස්වැන්න, පෝෂණ ගුණයෙන් ඉහළ ය. ඒවායෙහි වියැට අමුතු රන්වන් පැහැයෙන් යුක්ත ය. බරින් ද වැඩි ය. විල්ලු ගොවිතැනේ වී අස්වැන්න මිලයට ගැනීමට, වී වෙළෙන්දන් බොහොම කැමති ය. මහවැලි ගඟේ විල්ලු පරිසරයෙන් සැලකිය යුතු භූමියක් අයත් වන්නේ, පොළොන්නරුව දිස්ත්‍රික්කයේ එගොඩ පත්තුවටය. වර්තමානයේ එහි වැඩි කොටසක් මහවැලි එල් කලාපයට අයත් වේ. එගොඩ පත්තුවේ වී බරින් වැඩි බව, පොදු මතයයි. එහි රහස සෑම වසරක ම, මහවැලි ගඟේ ගංවතුර සමයට හොර රහසේ ගොවි බිම්වල තැන්පත් වන රොන් මඩ සාවරයයි!

000000000000000000000000000000000000000000000

2020/10/05

 


%d bloggers like this: