Menu Close

24, අවසන් දිගහැරුම (සඳක් සේ)

උදෑසන සිට ගත වූ හෝරා කිහිපයකට පසු සඳමිණි සුන්දර මනාලියක සේ හැඩගන්වනු ලැබුවාය…. ජීවිතය තමා දෝතට ගෙන එන්නේ ජීවිතයේ සොඳුරුතම ආශ්වාදනීය හැඟීම් ය…. හා හා පුරා මනමාලියක වන සේ කෝල බවකින් හිත පිරීයයි…
කෙතෙක් අමතක කලද පෙර අතීතයේ අඳුරු සටහන් හිතට ඉබේම එබිකම් පාන්නේ සැසඳීම් කරමිනි…..
.
එකල ලංකාවේ ප්‍රසිද්ධම රූපලාවණ්‍ය ශිල්පිණියක අතින් සඳමිණි හැඩගැන්වූයේ සුධීරට අවැසි පරිද්දෙනි….එතැන ඔහුට අවැසි වූයේ බටහිර පන්නයේ මනාලියකි…සංකර වූ විලාසිතාවන්ගෙන් ඔද වැඩුණ ඒ සමාජය තුළ සඳමිණි අසරණ ව බලාඋන්නාය…තමා සුධීරගේ මනමාලිය වුවද…. එම සභාවේ වූ කීදෙනෙක් ගේ ඇස් වලින් නිරුවත් වන්නට ඇත්දැයි එදවස මනමාලියක සේ ඒ හැදි ඇඳුමෙන් නිරාවරිත ගත දෙස බලා උන් දෙනෙත් මග හැර ඇය සිතුවාය…..
.
සිහින් සුසුමක් හෙළා….පියවි ලොව වෙත ආ සඳමිණි ඉදිරියේ කැඩපතින් දිදුලන සිය වත දෙස බලා උන්නාය…තම දෑස් වල පෙර නොවූ තරම් කාන්තියක් ඉපදී ඇත….තමන්හට තමන් සුන්දර යැයි දැනෙන මොහොතක් ගැහැණියකට ජීවිතේ තිබිය යුතුමය….ඒ හැම දවසම තමා උපන්නේ අලුතිනි…..ඒ උදාර මඩුගල්ලේ හමුවූ පසුය …..ඔහු තම ජීවිතය ඔහු ගේ සෙනෙහසින් සිත්තම් කල පසුය ……
.
” ඇස්වහක් කටවහක් නෑ මගෙ කෙල්ල…..උඹට වරදින්නෙ නෑ …” සඳමිණි ව සියුම් ලෙස සිපගත් බියංකා දෑසේ නැගුණ කඳුල තෙතමාත්තු කලාය…..මේ තරම්ම සොඳුරු මනමාලියක වන සිය ප්‍රාණසම මිතුරිය, යෙහෙලිය ගැන හිත පුරා උතුරන සතුට ඇය දරාගත්තේ කඳුලක මුසු කරගෙනය…..
.
” මට ඉඹින්න බයයි…ලොක්කා පැලෙයි දැක්කොත්….” බියංකා සිනහසෙමින් කීවාය….උදාර මඩුගල්ලේගේ ඇත්තේ සුලුපටු ඉරිසියාවක් ද නොවන බව දන්නේද බියංකාමය…..
.
” මතකනෙ එදා අර මිස්ටර් රිචඩ්සන් හග් කලා කියල ….” බියංකා හිනා වෙමින් පැවසුවේ පෙර දිනක නෙදර්ලන්තයේ සිට පැමිණි විධායක නිලධාරියකු වූ රිචඩ්සන් මහතා සඳමිණි ගේ දෑත අල්ලා ඇය වෙත කල සිපාචාරය…ට පසු උදාර හැසිරුණු අන්දම සිහිකරමිනි…..
.
” අනෙ අම්මේ බං …මං නම් එදා හිතාගත්තා …ආයෙ සුද්දො එනවනම් මං එදාට නිවාඩු දානව කියල….” සඳමිණි ද සිනහවට එක්වූවාය….
.
” උඹ ඔස්ට්‍රේලියාවේ ගියාම අබායා එකක් ඇඳපන්….නැත්තං මේ යකා පිපිරිල නහිනව….” යෙහෙළියන් දෙදෙනා ගේ සිනහව කාමරයෙන් පිටතටද විහිද ගොසිනි…..
.

********************************
තමා අසල බිම ට නෙතු හෙලා සිටින සිය සොඳුරු මනමාලිය දෙස ඇස්පිය නොහෙලා මඳක් බලා උන් උදාර මඩුගල්ලේ ….සිතපුරා උතුරා යන සැනසුම් සුසුමක් හෙලුවේය …..
.
පෝරු මස්තකයේදී පවා ඇයගේ දෑස හසුවන හැම මොහොතකම ඔහු ඉමහත් වූ සෙනෙහසකින් බලා උන්නේය….හැමදාමත් මෙන් ඇය රතුවෙමිනි….එහෙත් ඒ දෑස දිදුලයි…..ඒ සතුටේ අනුරුවයි……
.
බොහෝ අඩු හිතවතුන් කිහිප සංඛ්‍යාවක ගේ එකතුවෙන් සැමරූ විවාහය සඳමිණි ගේ ජීවිතයේ සුන්දරම අත්දැකීම වන්නට උදාර වගබලා ගත්තේය…
.
ඉතාම සොඳුරු තේමාවකට සැකසුණ සියලුම දෑ විවාහ උත්සවයට ගෙන ආවේ චාම් එමෙන්ම වැදගත්ම අලංකාරයකි…..
.
සෝපාවේ ඉඳගත් වහාම ඇයගේ අතැඟිලි පටලා ගත් උදාර ඇයගේ වතට එබී බැලුවේය. …..
.
” ඉතින් …..”

“ඉතින්…”

දෑස් වල කතා බොහොමයක් මුවගදී ගිලිහෙමින් පවතී….නිරුත්තර දෙනෙත් අග පැටලෙන්නේ සෙනෙහසම පමණි……
.
” බෑග් ඔක්කොම හරි නේද…..? ආයෙ හැරිලා අරක මේක නෑ කියල එන්න පුලුවන් වෙන්නෑ තේරුණාද …..? ” සඳමිණි ගේ නහය සෙමින් මිරිකමින් උදාර පැවසීය……සඳමිණි ඒ දෙනෙතේ එල්ලීගෙනම සිනා වූවාය…..ඉතින් ජීව්තය සිහිනයක් නොවේමැයි….හෙටින් ඇරඹෙන ඒ නවමු ලෝකය ඔහුගේත් ඇයගේත් පමණි…..
.
හිත මිතුරන් ගෙන් සමුගෙන උදාර ගේ නිවහන වෙත පැමිණ මංගල ඇඳුම් වලින් නිදහස් වී ගත්තේ දවසේ විඩාව මග හැර ගන්නටය….
.
බැල්කනියේ සෝපාවෙහි හිඳගත් උදාර මඩුගල්ලේ සඳමිණි සිය ඇකයට ගෙන හිඳුවා ගත්තේය…..
.
” බලහන් කෙල්ලෙ මං කොච්චර අවාසනාවන්තද කියල …..” උදාර මහත් සොවින් මෙන් පැවසීය …..සඳමිණි දෑස් විසල් කොට ඔහු දෙස බලා උන්නාය …..
.
” අවුරුදු දෙකක් ආදරේ කලා….යාන්තම් ඉඹ ගන්න ලැබුණෙත් එහෙම වෙලාවක….දැන් මේ කසාද බැන්ද ….ඒත් හනිමූන් යන්න තව දවස් දෙකක් ඉවසන්න උනා නෙව මට…..” උදාර ශෝකාකූල හඬින් පැවසීය….සඳමිණි අතක් මිට මොලවා ඔහුට පහරක් ගසා ඒ තුරුලේ දැවටුණාය…..
.
තව පැය ගණනාවකින් ඔවුන් ඔස්ට්‍රේලියාව බලා පිටත් විය යුතුය ….මධුසමය තවත් දින දෙකකට කල් යවන්නට සිදුවූයේ හදිසි සැලසුම් හෙයිනි……
.
ජීවිතය මල් උයනක් සේ සුවඳවත් වෙමින් තිබිණ…ඇයගේ සිහිලැති ගෙල අසල හිස තබා ගත් උදාර දෑස් පියාගත්තේ ඉමහත් සැනසුමිනි……
.
” නැගිටපන් ලොක්කා…එයාපෝට් යන්න වෙලාව හරි….” තාරක කෑගසා ගෙන විත් උදාර නැගිටුවත්දීත් ඔහු උන්නේ සඳමිණි ගේ ගෙල මුල මුහුණ හොවාගෙනය…

” නංගී….අහල තියද දිට්ඨ ධම්ම වේදනීය කම්ම කියල ජාතියක්…..මූට පලදුන්නෙ ආන්න ඒක….මූ මගේ මගුල දවසෙ මගෙ හනිමූන් ගෙනියන බෑග් එක ට කරපු දේ ඔයා දන්නවද….මගෙයි ගෑනිගෙයි රෙදි ඔක්කොම එකට තියල මස්සවල තිබ්බා….මෙන්න මූ..මූ තමා ඔක්කොම කලේ….
නුවරඑළියෙ ගිහින් අපි කාපු කට්ටක්….ඔයා දන්නෑ….
අනේ සාදු…. මූට වයස යනකල් බඳින්න බැරිඋනා…ඒකට අන්තිමට ඔයා අහුවුණා….පව් ඔයා….
උඹට හොඳ වැඩේ…තව දවස් දෙකක් ඉන්නවෙනව හනිමූන් යන්න….අනේ ෆ්ලයිට් එක තවත් දවස් දෙකක් පරක්කු වෙයන් දෙයියනේ මගම…..” තාරක මහ හඬින් වක්කඩ කැඩුවා සේ කියවාගෙන යද්දී….සඳමිණි ආයාසයෙන් හිනාව තද කරගත්තාය…..
.
උදාර මහ හඬින් සිනා සෙමින් එය පිළිගත්තේය….
.
” තව ත් දවස් දෙකක් පරක්කු උනොත් මං මෙයාව අරන් ට්‍රාන්සිට් එකෙන් පනිනව එහෙ හොටෙල් එකකට…තව නම් ඉන්න බෑ බං….මං මොකෝ සියලු කෙලෙස් නසල ඉන්නව කියලද ……මෙයා හිතන් ඇත්තෙ නම් එහෙම තමා ….යමංකො….” තාරක සමග කියවගෙන ගොස් අවසන් කලේ තමා ගේ කොපුලක් සිප ගනිමිනි….සඳමිණි විලියෙන් ඇඹරුනාය…..
.
” යමන් යමන් පරක්කු වෙනව…..” තාරක පහළ මාලයට යන විටත් සුමනේ බෑග සියල්ල වාහනයට දමා අවසන් ය….
.
දෙදෙනා නිවසින් පිටතට බසිනා විට සුදු මල් ඉහිරුන වතුර වීදුරුවක් ගෙන ඉදිරියට පැමිණියේද සුමනේය…..සිය හිතෛෂී සේවකයා ගේ ලෙන්ගතු කම හමුවේ උදාර තවත් මෘදු විය…
.
“සුමනේ…එහෙනම් පරෙස්සමින් ඉන්න…තාරක මහත්තයා සුමනේ ගැන නිතර හොයල බලයි….අපි එහෙනම් ගිහින් එන්නම් සුමනේ….” උරහිස් දෙකට අත තබා සෙමින් කරුණාබර හඬින් පැවසු ඔහු වාහනයට ගොඩ වූයේ සුමනේ දෑස පිරි කඳුලු පිස ලනු බලා සිටය…..
.
තාරකගෙන් සමුගත් උදාර සඳමිණි සමගින් කටුනායක බණ්ඩාරනායක අන්තර්ජාතික ගුවන් තොටුපලෙන් සිය ගුවන් යානය වෙත පිවිසුණේය….
.
දසත බොහෝ අඳුරක් ගලා එන රාත්‍රිය සමගින් ගුවන් යානය ලංකා අහසේ ඉහළට නැග පියාසර කරන්නට විය…… පුරා සඳක් අහස පුරා සුන්දර ව පායා තිබිණ….

” මගේ සඳ…… ” උදාර මඩුගල්ලේ සිය බිරිඳගේ උරහිස් වටා සිය සුරත යවා තම සිරුර වෙත තුරුලු කොට ගත්තේය…..සඳමිණි සිය සැමියාගේ උණුසුම් දෙතොල් අතර දෑස් පියා සැනහී සිනහසුනාය……ජීවිතය එතරම්ම සුන්දරව ඉතිකින් ගලා ගියේය….

#සඳක්_සේ

…………….නිමි …………….

❤❤❤❤❤❤❤❤❤❤❤❤

.
ඉතින් මෙතුවක් කල්…..උදාර සඳමිණි සමග උන් ඔබ සැමට මගේ ආදරය…..
.
ඇතැම් විට ප්‍රේමය පිළිබඳ මා නිර්වචනය කරන්නාවූ මේ ඉසව්ව යථාර්ථය ට ඔබ්බෙන් ඇතැයි ඔබ සිතනවා වන්නටත් පුලුවන…එහෙත්….මගේ සිත තුළ නිර්මාණය වූ ඒ ආදර අන්දරය ඔබ වැළඳ ගැනීම මට ඉමහත් සතුටක්මය……
.
.සඳමිණි ගේ චරිතය මගේ අකුරු අතර නිරාවරණය වන විට මා සමීපතම මිතුරිය සහ නැගණියක් මට කීවේ….ඒ ඔයාමයි කියාය….සඳමිණි ගේ චරිත ලක්ෂණ බොහොමයක මා සිටි බව සැබෑය….
එමෙන්ම මට හමුවූ සඳමිණි ලා බොහොමයක් මේ චරිත කතාවේ මුසු වූහ….
.
එහෙත් මට උදාරලා එතරම්ම මුණ ගැසී නැත….හමු ව ඇත්තේ එක් අයෙකි…දෙදෙනෙකි…පරමාදර්ශීය චරිතයක් ලෙස උදාර ගොඩනගන්නට මට අවැසි වූයේ නැත….එහෙත් මා සිත තුල උන්නේ එවන් උදාර කෙනෙකි…..

කතාව පුරාවටම ඔබ සැම මට දුන් අදහස් හා දිරියට ආදරය බව කියමි…මෙය කොරෝනා සමයේ ලද විවේකයේ ලියවුණ මා විසින් ලියූ එකම කතාවයි…..ඉතින් ඉදිරිය ගැන කීමට තවම කල් වැඩිය….

මා සමග රැඳුණ දිරිදුන් ඔබට තුති….මේ සොඳුරු කවරයත් මට නිමවා දුන් තනුෂිකා නංගී ට ස්තුතියි ආයෙම….
.
ආදරය සුන්දර ම මනෝ භාවයකි….එය ජීවිතය පුරාම අප විඳිය යුතු බව පමණක්ම කියා ඔබෙන් සමුගනිමි….

ආදරෙයි

මම
විසිරි සිහින


%d bloggers like this: