Menu Close

17. දහසය වෙනි දිග හැරුම



දහනව වැනිදා ගමන ඇරඹුණි….බියංකා සහ සඳමිණි කාර්‍යාලය අසලින් වෑන් රථයට නැගීමට පවන් සමග පැමිණියේය…පවන්..බියංකාගේ සැමියා….හෙට දවසේ පස්සරට පැමිණෙන බව පැවසීය …
.
අත්දිග බ්ලවුසයක් සහ ඩෙනිම් කලිසමකින් සැරසුණ සඳමිණි බියංකා සමගින් කතාබහ කරමින්ම බෑගයද ඔසවා ගෙන වෑන් රථය අසලට පැමිණියේය…
.
සම්පූර්ණ කණ්ඩායම හය දෙනෙක් වූ නිසා වෑන් රථයේ ඕනෑවටත් වඩා ඉඩකඩ තිබුනි….
.
සුදු පැහැ ටීෂර්ටයක් සහ නි පැහැ ඩෙනිම් කලිසමකින් සැරසී උදාර මඩුගල්ලේ එතනට එනවිට බියංකා සඳමිණි ගේ අත හෙමින් කෙනිත්තුවාය…
.
” අම්මට සිරි…. අදනෙ ලොක්කගෙ හැන්ඩිකම පෙනුනෙ …අපරාදෙ බං පවන් ට හා කියල බැන්දෙ …අනේ මගෙ හිත කූං ගානව…කීං ගානව…” බියංකා කුටුකුටු ගාමින් කියවන්නට වූවාය..
.
” බී…කටවහන් හිටපන්…කාටහරි ඇහුණොත් විසුමක් වෙන්නෑ…මුන්ගෙ කටවල් දන්නවනෙ…නීලිකා ත් ඉන්නව ..මතක තියාගනින්” සඳමිණි බියංකාට පහත් හඬින් කියා පහරක් ගැසුවාය…ඇත්තෙන්ම උදාර ගේ කඩවසම් කම මොනවට ඔප් නැංවී තිබිණ….කාර්‍යාල ඇඳුමට වඩා කෙළිලොල් කඩවසම් බවින් යුත් සිය ප්‍රධානියා දෙස හැම ඇසක්ම යොමු වන බව සඳමිණි දුටුවාය..නීලිකා කඩි කෑවා මෙන් නලියන්නට ගත්තාය…
.
උදාර මඩුගල්ලේ සඳමිණි දෙස නෙත්කොන් බැල්මක් පමණක්ම හෙළා රියැදුරු සමග ගමන් මග සාකච්ඡා කලේය…ඇයගේ අහඹු නෙත් බැලුම් කිහිපවිටක් තමා ඔස්සේ සැරිසරනු දුටුවද එය නොදත් සේ සිටින්නට ඔහු වග බලා ගත්තේ….එය දෙදෙන්නාටම අවදානම් හෙයිනි..
.
සියල්ලන් රියට ගොඩ නැගුණු පසු උදාර ඉදිරිපස අසුනට බර දී ආසන පටි පැළඳ ගත්තේය…
.
” අනේ එයා මෙතනට එනව නම් කියල හිතක් කෑගහනව වගේ ඇහෙනවා…” බියංකා සඳමිණි ගේ කණට කර කීවාය….ඇයට රවා බලා පහරක් එල්ල කල සඳමිණි ඉදිරිපස බැලුවේත් උදාර අහම්බෙන් පසුපස බැලුවේත් එකම විටය…සිවුනෙත් තත්පර ගණනාවක් වෙළී පැටළී ඉන් අනතුරුව මිදී ගියහ ….
.
බියංකා සෙමින් කැස්සාය…සඳමිණි ට සිනා යන්නට එන හෙයින් ඇය ජනෙල් වීදුරුවෙන් ඉවතට ඇස් යොමා ගත්තාය…වෙනදා මෙන් හිතට ඔහු සම්බන්ධව අපහසුතාවයක් දැනෙන්නේත් නැත….සියුම් ආගන්තුක හැඟීමකින් හිත වෙළී යනු ඇයට දැනේ….ඉක්මනින් නිදිසුව දෑසට එනවිටත් සඳමිණි ගේ මුවෙහි එම මන්දස්මිතය එලෙසින්ම ඉතිරි වී තිබුණි….
.
රාත්‍රී ආහාරය පිණිස අතරමග නවත්වන විටද සඳමිණි උන්නේ නින්දේය…
.
” මෙහෙමත් නින්දක්…” උදාර මඩුගල්ලේ ට සිනා පහළ වූයේ බියංකා කිතිකවමින් සඳමිණි ඇහැරවන අයුරු දුටුවිටය….
.
” මොකද දෙන්න අද කෑම කන්න එහෙම අදහසක් නැද්ද…?” සියල්ලන්ම වාහනයෙන් බැස රෙස්ටුරන්ට් එක ට ගියද මේ යෙහෙළියන් දෙදෙනා තවම වාහනය තුළ ඔට්ටු වෙනු දුටු උදාර එතනට පැමිණියේය…
.
“අනේ මන්ද සර්…නිදිපෙති බීල වගෙ නිදි….මට වොෂ් රූම් යන්නත් ඕන…අනේ සර් පොඩ්ඩක් බලනවද..මට හදිසීයි…” බියංකා ලද අවසරයෙන් යටි සිතෙන් සිනාසෙමින් එතනින් දුව ගියාය….
.
උදාර මඩුගල්ලේ මොහොතක් ජනේලයට හිස තබා දෑත් නිකට යටින් ගුලි කරගෙන නිදන ඇය දෙස බලා උන්නේය…සිතේ උපදින සහසක් හැඟුම් හිතුවක්කාර ලෙසින් උතුරා යයි….. එහෙත් හිතට පෙර මොළය ඉක්මන් වෙයි…

“සඳමිණි නැගිටින්න…අනික් අය කන්නත් ගිහින්….” උදාර ඇයගේ උරහිසට අත තබා සෙමින් සෙලවීය….
.
” අන්නේ…මොකක්ද බී…නිදාගන්න දෙන්නකෝ…” කියමින් ඒ අත අල්ලාගත් සඳමිණි තම දෑතට තදකොට ගෙන එය මුහුණට තබා ගත්තාය…එක් වනම දැනුණ නුහුරු බවින් තිගැස්සි අත අත් හළ සඳමිණි දෑතින්ම මුහුණ වසා ගත්තේ ඒ උදාර මඩුගල්ලේ බව දැනගත් විටය…
.
උදාර තිගැස්සී ගතවූ ක්ෂණය දෙස නිනව් නැතිව බලා උන්නේය ..ඇය නොදැන කල ද ඒ ස්පර්ශය සුන්දරය . සියුම් ය… හදවත තාල නගනු ඔහුට දැනේ….
.
” යං යං කන්න….අන්න බියංකා වොෂ් රූම් ගියා හදිස්සි වෙලා…යමු…” උදාර නොසන්සුන් බව මැඩ ගනිමින් පැවසීය…එහෙත් ඒ හඬද වෙවුලුම් කන සුලු බව සඳමිණි ට දැනුණි…..
.
” අනේ සර්….මම බියංකා කියල හිතුවෙ….අනේ….” සඳමිණි හීන් හඬින් බිම බලාගෙනම පැවසීය….
.
” හරි ඉතින් මම මොකුත් කීවෙ නෑනෙ…හ්ම්…යං යං…” උදාර පෙරට අඩිය තැබීය….
.
සිදුවූ සියල්ල අසා ගත් බියංකාගේ සිනහව පුපුරා ගලා හැලුණි…සඳමිණි තරහෙන් ලැජ්ජාවෙන් කටක් දෙකක් පමණක් කා නැවත වාහනයට ගොඩ වැදුණාය….
.
උදාර මඩුගල්ලේ… දෑසට නිදිමත පැමිණෙද්දී වෙනත් අයෙක් සමග ආසන මාරු කරගත්තේය….
.
” එහ්…මම සර්ව මෙතනට එවන්නද…උඹට අත බදාගන්න ආයෙම….” බියංකා කුටු කුටු හඬින් පැවසුවාය…සඳමිණි ඇයට රවා බලා ඉදිරිපස බලාගාත්තාය…
.
උදාර මඩුගල්ලේ සිය සුරත දෙස යළිත් බැළීය…ඒ සිනිඳු ස්පර්ශය ජීවිතය ට වෙනස්ම ඇරයුමක් කරන අන්දම…
.
ඉතින් තව කොච්චර කල් නම් මම බලා ඉන්නද සඳමිණි…..උදාර මඩුගල්ලේ සුසුමක් හෙළා දෑස් වසා ගත්තේය ….

*********************************
.
වැඩ මුලුව පැවතුණේ සුන්දර නමුණුකුල කඳු යාය පේන ඉසව්වේ වූ පුහුණු මධ්‍යස්ථානයකය…සැබවින්ම සිත් ගන්නා සුලු වූ එම ස්ථානය පුරා විවිධ මල් සහ එළවලු වර්ග වවා තිබිණ…සඳමිණි ද බියංකා සමගින් සිත් සේ ලද අවසරයෙන් ඒ අවට සැරිසැරුවාය….
.
වැඩ මුලුවට පැමිණි බොහෝ අය සමවයස් අය වූ නිසා එය විනෝද ජනකද විය…. ලංකාව පුරාම විවිධ පළාත් වලින් පැමිණි සියල්ලෝම දින තුන ගත වෙත්ම සහෝදර බැම්මෙන් බැඳුණහ….
.
වැඩමුලුව ද ඉතාමත් ප්‍රයෝජනවත් වූ එකක් වූ අතර….සඳමිණි ට වූ එකම ගැටලුව වූයේ බියංකා සිය සැමියා සමග ආසන්නයේ වූ හෝටලයක රාත්‍රී නවාතැන් ගැනීම පමණි….එහෙත් නව යුවල ගැන සිතා සඳමිණි තනිව කාමරයක ට වූවාය..නීලිකා හා කාමරයක් හවුලේ බෙදා ගත හැකි වුවද එය ට ඇයගේ කැමැත්තක් නොවීය…..
.
අවසන් දවසේ කල් වේලා ඇතිව උදේ දහයටම ඉවර වුවද පිරිසගේ බලවත් ඉල්ලීම මත ඇවිදින්න ට යන්නට අවසර ලැබිණ…. පසුවදා උදෙන් ආපසු කොළඹ බලා යායුතු හෙයින් වැඩිදුර ඇවිදින්නට නොයා පැමිණෙන්නැයි සියල්ලන්ටම උදාර මඩුගල්ලේ ගෙන් අණ ලැබිණ….
.
සඳමිණි ගේ සිත බොහෝ නිදහස් ව තිබුණි…
.
” ඇත්තමයි බී….. මම මේ මෙහෙම ගමනක් එනවමයි…කැම්පස් කාලෙවත් ට්‍රිප් එකක් යන්න තාත්තා ඉඩ දුන්නෙ නෑ….කසාද කාලෙ ඊට එහා …මං ඇවිදින්න කොච්චර ආසද…..ඒත් ඉඩක් ලැබුණෙම නෑනෙ…” සඳමිණි පුහුණු මධ්‍යස්ථානයේ මිදුලෙහිදී බියංකා හට කියනු උදාර අසාගෙනය…..
.
ඇය පිළිබඳ දැනෙන ශෝකාකූල හැඟීම උදාරට දරාගන්නට නොහැකි තරම් ය …පව් අසරණී….
කෙසේ වතුදු ඇයට නිදහසේ ඇවිදින්නට ඉඩ සලසා තමා ඔවුන් හා එක්නොවී සිටිය යුතු යැයි උදාර ට සිතුණි..මන්ද සඳමිණි තමා ඉන්නා විට නිදහසේ නොඉන්නා බව වැටහී යන්නට ගත් නිසාය…..
.
” සර් …එන්නෙ නැද්ද ඇවිදින්න යන්න ….” බියංකා උදාර මඩුගල්ලේ ගෙන් ඇසුවේ සඳමිණි ඒ අසල සිටියදීය….

” ඔයාල ගිහින් එන්න…මම පොඩි හයික් එකක් කරනව ඒ වෙලාවෙ….” උදාර ට නමුණුකුල අසල වූ කුඩා කන්දකට නැගීමට ආසාවක් ඇතිවී තිබිණ… ඇමරිකාවේ සිටිනා කාලයේදී හැකි තරම් කඳු නැගීම විනෝදාංශයක් කරගෙන උන්නද ලංකාවට ආ පසු එයට ඉඩක් නොලැබිණ…..
.
සඳමිණි දෑස් විසල් කොට බැලුවාය…

” මම රට ඉන්න කාලෙ සැහෙන්න හයිකින් කලා…ට්‍රැවලින් කලා…ඒක ඇබ්බැහියක්…මෙහෙ ආවට් පස්සෙ ඒ අත්දැකීම මිස් උනා සෑහෙන්න…ඉතින් අද බලන්න ඕන පොඩි ට්‍රයි එකක්…..” උදාර සඳමිණි ගේ ඇස් වලින් ඇසෙන පැණයට පොදු පිළිතුරක් සැපයීය…..
.
” අපිත් යමුද බං සර් එක්ක….” සඳමිණි කුටු කුටු ගා ඇසුවාය….ඇයට ඒ අත්දැකීම් නැත ….ඇත්තේ මහත් ආසාවකි…
.
” මෙහ්….මට කඳු නගින්න ටිකක් බයයි…බං ..නිකම් හනිමූන් බබෙක් වගේද කියල හිතිල ඉන්නෙ මේ ටිකේ…. උඹට ඕන්නම් සර් එක්ක පලයන්….” බියංකා සඳමිණි ගේ කණට කෙඳිරුවාය…..
.
” පිස්සුද මට එහෙම තනියම යන්න බෑ….. අනික සර් මොනව හිතයිද….?” සඳමිණි නොරිස්සුමෙන් පැවසුවාය… උදාර මඩුගල්ලේ ඒ කිසිවක් නෑසුනා සේ පිටේ එල්ලාගත් බෑගයද ගෙන පිටත් විය….
.
සෙසු සියල්ලෝම සිය ගමන් සඳහා පිටත් ව ගොසිනි…. බියංකා හිස කැරකිල්ලක් මුවාවෙන් ඇවිදින්නට යන්නට අදිමදි කලාය…සඳමිණි අපේක්ෂා භංග ව ඔහේ බලා උන්නාය…..
.
එක් වනම හුන් තැනින් නැගිට ගත් ඈ බියංකා දෙස වරක් බලා….” මං එහෙනම් යනව….” කියා දත් විරිත්තා සිනාසුනාය….බියංකා මහ පටැගිල්ල ඔසවා ඇයට අනුමැතිය දුන්නේය…
.
සඳමිණි උදාර මඩුගල්ලේ ගිය දෙසට දුව ගියාය…මීටර් සියයක් පමණ දුවන විට ඈත කඳු වලල්ලකට දුරදක්නය එල්ල කොට සිටිනා උදාර මඩුගල්ලේ ඇයට ඈතින් දිස් විය ….
.
උදාර මඳක් නැවතී ඈත කඳු ශිඛර දෙස බලා උන්නේය…පුදුමාකාර සුන්දරත්වයකි…ඇමරිකාවේ කඳු වලට වඩා හරිතපැහැයෙන් දිදුලන කඳු වැටි නෙතට සුවයකි…..නැවත ගමන් අරඹන්නට සූදානම් ව මගට බට උදාර මඩුගල්ලේ එක්වනම දුටුවේ ඈතින් අත ඔසවමින් දුව එන ඇයයි…ඔහුගේ දෑස පළමුව විශ්මයෙන්ද දෙවනුව සතුටින් ද උතුරා ගියේය…..
.
සඳමිණි දුව විත් ඔහු අසල නැවතී දෙකට නැවී හතිලන්නට වුවාය…
.
” ස්..ස්ස් .සර්…මා..මා.මාත් එන්නද…..එහේ එහේ හ් හ්…හ්…යන්නහ්…” හතිලමින් වචන කැඩි කැඩී පපුවටත් අත තබා ගෙන කියවන ඇය දෙස උදාර සිනාවෙන් පිරි මුවෙන් බලා උන්නේය…..
.
“ඉස්සෙල්ල මෙන්න මෙහෙට වෙලා ටිකක් හති අරින්න…ඔහොම යන්න ගියොත් මට කන්ද නගින්න වෙන්නෙ ඔයත් උස්සගෙන” උදාර පාර අයිනේ වූ ගලක් වෙත ඇය යොමු කලේ හිඳ ගැනීමටය….
.
” යන්න ආස නම් ඒ වෙලාවෙ කියන්න තිබුණනෙ…..පස්සෙ දුවන් එන්නෙ නැතුව ….” උදාර ඉවතට හැරී සිනාසෙමින් කීවේය….සඳමිණි බිම බලාගෙන සිනාසුනාය…..
.
ගමන අරඹා ටික වේලාවක් යන තුරු දෙදෙනාම නිහඬ ව ගමන් කලද ඉන් පසු උදාර නිහඬ බව බිඳිමින් කතාකරන්න ට පටන් ගත්තේය….
.
ඔහු විදේශගත ව උන් කාලයේ ඇවිදින්නට ගිය ස්ථාන, කඳු නැගීම් ආදිය ගැන විස්තර කියමින් ගමන් කලේය…සඳමිණි සුරංගනා කතා අහන ළදැරියක් සේ දෑස් ලොකු කරගනිමින් විස්තර අසා උන්නාය…..
.
” මිනිස්සු පරිසරයට සමීපව ජීවත් වෙන්න ඕන කියල මම විශ්වාස කරනව….එතකොට ජීවිතේ හරි සැහැල්ලුයි…ප්‍රශ්න වලට ජීවිතේ ට එබෙන්න වෙලාවක් නැති තරම්….” ඔහු ඈත කන්දකින් එක සීරාවට ගලා හැලෙන දිය දහරක් වෙත සඳමිණි ගේ අවධානය යොමු කරවමින් පැවසීය…..
.
” පේනවද …..කොච්චර බාධක තිබුනත් ඒ උල්පත අන්තිමේ ගඟක් දියඇල්ලක් වෙලා තමන්ට ඕන තැනට යන හැටි …..”
.
සඳමිණි පරිසරයට මෙන්ම උදාරගේ කතා විලාශයටද ආශක්ත වෙමින් උන්නාය…
.
කන්දේ මඟක් දුරට යන විට ඉතා සියුම් ව ගලා යන දිය පාරවල් එකිනෙක හමුවිය…
නම නොදන්නා කැලෑ මල් රාශියක් ඔබ මොබ පිපී තිබිණ…සඳමිණි පරිසරයේ සුන්දරත්වයෙන් වශීකෘත ව බලා ඉඳිත්දී ඇයගේ සැහැල්ලුවෙන් උදාර සතුටු විය…..
.
ඉඳහිට සිය කැමරාව අතට ගෙන ඇයගේ සුන්දර ඉරියව් ග්‍රහණය කරගත් ඔහු…. ඇයගේ විඳීමට බාධාවක් නොකොට විවේක ගත හැකි ඉසව්වක් සොයා ඒ මේ අත බැලීය…වේලාව එක ත් පසුවීය..ගමන ඉක්මන් කල යුතුය…ඇය හා එක්වූ ගමන හිතුවට වඩා මන්දගාමීය….
.
” සඳමිණි එන්න….තව පැයබාගෙන් කන්ද උඩට යන්න පුලුවන් ඉක්මන් කලොත්…අපි හවස් වෙන්න කලින් බහින්නත් ඕන….”
.
කැලෑ මල් ගොන්නක අසිරියෙන් මෙලෝ සිහියක් නොමැතිව බලා ඉන්නා ඇය ට තරමක් උස් හඬින් අමතා උදාර ගමන ඇරඹීය….


යලි හමුවෙමු



%d bloggers like this: