Menu Close

ඩිංගෙන් Hong Kong හිරේ! -දෙවෙනි කොටස

මමත් ඉතිං කන් දෙක හාවෙකුගේ වගෙ දික් කරගෙන….

එතකොටත් ෆස්ලුල් හක් මහත්තයා International Organization of Good Templers ආසියානු කලාපයේ ගරු සභාපතිය……….

ඉතින් මං හාවෙකුසේ කන් දෙකම පුළුවාන් තරම් දික් කරගෙන බලා හිටියේ ලාල් අයියා ඊළඟට, ඒ‘හක් ගෙඩියා’ ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය! Fazlul haque ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය. 

ලාල් අයියා මං වාගෙ කට හැකරයෙක් නොවේ; එක විදිහක ගල් ආඳෙකි. (සමාවෙන්න ලාල් අයියේ එහෙම රෞඩි ශෛලියෙන් ඇත්තම කීවාට! ඒ වැකිය ඔබේ ක්‍රමයට නම් කියනු ඇත්තේ මෙහෙමය. ‘ඔහු සුපරීක්ෂාවෙන්, හොඳින් සොයා බලා විචක්ෂණශීලීව කටයුතු කරන්නෙකි.’)

ලාල් හේවාපතිරණ ලේසියෙන් වචනයක් වරද්දන්නෙ නැති කෙනෙකි. බහුශ්‍රුත විද්වතුන් කොහොමත් එහෙමය. ලාල් අයියා වැනි අය හා කටයුතු කිරීමෙන්ය ‘කබ්බෙකු’ වුණු නිදි වුණත් පන්නරය ලැබුවේ!

“…. නිමල්ට පළවෙනි දවස් දෙකේ room එක share කරගන්න වෙන්නේ හක් උන්නැහෙත් එක්කලයි.”

ඒ කතාන්දරයේ හැංගිලා තිබුණේ ‘warning’ පණිවුඩයකි.

හම්මෝ! මට හීල්ලුණි. ඒ පණිවිඩයේ සැඟවුණු ‘අනතුරු ඇඟවීම’ වටහා ගන්නට නම්, ඒ වචන ටික කියද්දී ලාල් අයියගේ දෙබැම එසවුණු හැටි, කට කොණක හිනාවක් හංගා ගෙන හිටි හැටි සහ වචන උච්ඡාරණය කෙරුණු හැටිත් මැනැවින් නිරීක්ෂණය කළ යුතුමය.

මිස්ටර් ෆස්ලුල් හක් මට පළමුවෙන්ම හමු වුණේ කෝට්ටේ ශ්‍රී නාග විහාරස්ථානයේදීය. ලාල් අයියා විදේශිකයන් පිරිසක් අමද්‍යප තරුණ පුහුණු මුද්‍රණාලය පෙන්වන්නට කැටුව ආ දවසේය. අනෙක් හැමෝම සුදු හම ඇත්තවුන් වෙද්දී, හක් මහත්තයා තලෙළු පැහැත්තෙක් වුණේය! ඒ මදිවාට තොප්පියකුත් දාගෙන හිටියේය.

‘බලාගෙනයි, මං තොප්පි දාන්නෙක්!’ කියලා නොකියා කියනවා වගෙය.

ෆස්ලුල් ඕනෑම කෙනෙකු හා හරිම සුහදව සිනාසෙයි; අතට අත දෙයි; එයාගෙම ඉංගිරිසි accent එකකින් සංවාදයේ යෙදෙයි. ආසියානු ගතිය නිසාද මන්දා, මටත් පළමු දවසේදීම දැනුණේ ෆස්ලුල් හක් කාලයක සිට දැනගෙන සිටින බවකි! ඒ මනුස්සයාගේ නියම සුද පෙනෙන්නට පටන් ගත්තේ ඉගිලෙන්නට පටන් ගත්තාමය!

මේ බ්ලොගයේ සියලුම පෝස්ටුවලදී මං කියන කාරණා සේරගේම වගකීම මගේ අතේය.

අපේ රටේ තියෙන්නෙම ‘වැඩි කතා – අඩු වැඩ’ සංකල්පයයි…. 

මං කියන්නේ දේවල් මට පෙනුණු අයුරුය. දේවල් මා වටහා ගත් අයුරුය. මට වැරදිලා වෙන්නටත් ඉඩ තිබේ. එක-එක්කෙනාට යම්-යම් දේවල් පෙනෙන්නේ වෙනස් කෝණවලිනි. තේරුම් යන්නේ- තේරුම් ගන්නේ වෙනස්ම කොන් අල්ලා ගන්නා විදිහටය. එහෙම බලද්දී මාත් full චාටර් වගේ බව අමතක නොකරනු මැනැවි. එදාත් මං දැක්කේ ලාල් අයියා කිව්වාට වඩා ගොඩාරියක් දේවල්, නොකියා කියූ බවයි.


මට පෙනුණු විදිහට නම් ෆස්ලුල් හක් මහත්තයා රස්සාවට කළේ රට-රටවල පැවැත්වෙන සමන්ත්‍රණ- වැඩමුළු- සාකච්ඡා ආදියට සහභාගී වීමයි. ‘සම්මන්ත්‍රණ කාක්කෙකි’ කියලා පහුගිය පෝස්ටුවෙදී මට ලියැවුණේ එබැවිනි.

අපේ රටවල්වලට මෙය වසංගතයකි. කොරෝනාවලටත් වඩා බියකරු වසංගතයකි. හැමදාම කොහේ හෝ තැන්-තැන්වල තියෙන රැස්වීම් කන්දරාව? කතා- කතා- කතා විතරය. ගැනෙනා තීන්දු හරිම අල්පය. ඒවායින් ක්‍රියාත්මක වෙන තීන්දු ඊටත් අල්පය. මේ ව්‍යසනය; වැඩ නොකිරීම ළඟදී අපේ ජනාධිපතිතුමාටත් ඇහැ ගැහිලා තිබිණි.

හක් උන්නැහේට කිසිම අඩු-පාඩුවක් නැතිව ඒ සුවිශේෂී රස්සාව දිගටම කරගෙන යන්නට ලොකුම වාසියකුත් ලැබිලා තිබ්බේ එතුමා උපදින කොටමය. හැම තැනදීම ඒ මනුස්සයා ඒ කාරණය උලුප්පා පෙන්නුවේය. රට, ජාතිය හා ආගම!

ෆස්ලුල් ගොයියා රට යන අත දැනගෙන ඒ විදිහට…..

“මම නියෝජනය කරන්නේ ඉතාම දුප්පත් රටක්…. ඉස්ලාම් භක්තිකයෙක් විදිහට…..” හැම තිස්සෙම එයාගෙන් කියවුණේය.

ඒ දවස්වලත් දැන් වගේම ජාතීන් අතර- ආගම් අතර වෙනස්කම් නොතකා කටයුතු කරන්නට ඕනෑ කියලා නිතරම කියැවිණි. ඕනෑම රාජ්‍ය හෝ රාජ්‍ය නොවන හෝ සංවිධානයක, කමිටුවක, රැස්වීමක සියලු ආගම්- සියලු ජාති නියෝජනය වෙනවා නම් ඉස්තරම්ය. ඔය ‘න්‍යාය’ දැනගෙන හිටි ඒ හාදයා නියම තැනට ඇනේ ගහන්නට දැනගෙන හුන් නිසා, ෆස්ලුල් මහත්තයාට තමන්ගේ රටේ ඉන්නට වෙලාවක් තිබ්බෙම නැති තරම්ය.

මම හිත හදා ගත්තෙමි. නොදන්නා රටකදී මෙහෙම කෙනෙකු හරි ඉන්නා එකත් ලොකු දෙයකි. මිනිහ කොහෙද මාව තම්බන්නේ?

International Conference on Youth සම්මන්ත්‍රණය පැවැත්වුණේ 1989 දෙසම්බර් 4-9 දිනවලදීය. තේමාව වුණේ ‘A Caring Community for Young People’ යන්නයි.

දෙසැම්බරය පටන් ගන්නවාත් එක්කම අපේ අම්මා ලංකාවට ආවාය. දැන් වගේ අවුරුද්දකට තුන් වතාවක් මෙහාට එන්නට අපේ අම්මාට ඉඩක් තිබුණේ නැත. එතකොට dadaa ජීවතුන් අතර සිටි බැවිනි. “මොකද්ද රංජි, මම එනවයි කියල කිව්වා නේද කලින්ම, ඔයා සුමානයක්ම රට යන්න හදන්නේ!” අපේ අම්මා ආව ගමන්ම නහයෙන් ඇඬුවාය.

කේන්දරයෙනුත් කියවිලා තිබුණේ අම්මාටත්, මටත් එක ගෙදරක විසිල්ල…

“අම්මට පිස්සුද? මේක අතින් සල්ලි දීලා යන ගමනක්ය? ලාල් අයියලා අමද්‍යපෙන් යවන්නේ. ගොඩක් රටවල්වලිනුත් එනවා. ඒ මිනිස්සු ඕවා ඔර්ගනයිස් කරන්නේ මාස ගණනාවක ඉඳලා. මම වගේ කබ්බෙක් නිසා එයාලගෙ plan වෙනස් කරන්නද, අම්ම කියන්නේ…..”

අපේ අම්මා නිරුත්තර වුණේ එතකොටය.

මම කියා ඇත්තෙමි. අපේ අම්මාටත් මටත් එක වහලයක් යට ඉන්නට බැරිය. අම්මාට කොහොම වෙතත් මට. එක තත්ත්පරයෙන් මගේ යකා නග්ගවන්නට අපේ මෑණියන් වහන්සේට තියෙන්නෙ පුදුමාකාර හපන්කමකි. ඉතින් අප අතර ගෝරිය. හැබැයි, කොයි තරම් දබර වුණත් අපේ අම්මාගේ දරු කැලතෙන් එයාට විශ්වාසවන්තම පුත්තරයාත් මේ මංය. (එයා හිතන විදිහ වෙනස්ද මන්දා, මට නම් පෙනී ගිහින් තියෙන්නෙ එහෙමය.)   

‘ඔව්වා කලිනුත් කියවලා තියෙනවනේ. මෙතැනට අදාළද?’ කියලා නේද, මෙච්චර දුරට කියවපු ඔය රත්තරන්ලා හිතුවේ. අනේ, නැත. හොඳටම අදාළය. මේ පූර්විකාව විතරය.

“හරි. මම එන්නං එයාර්පෝර්ට් එකට නිමල්ව ඇරලවන්න. කාමරේ බලාගන්න ඕනි නං, ඔයා යන වෙලාවට යතුරත් ඉල්ලාගෙන මගෙ ළඟ තියාගන්න වෙනවනෙ.” නෙවිල් කිව්වේය. මා නැවතී හුන් කාමරය සතියක්ම වසා දමා තියන්නට බැරි තත්ත්වයෙනි මං හිටියේ.

හොරෙකුට ආවත් ගෙනියන්න වෙනින් මොනාද තියෙන්නෙ?

“වෙන ඉලව්වක් නං නෑ, හොරෙකුට ආවත් ගෙනියන්න. TV එකයි, වීඩියෝ ඩෙක් එකයි දෙක හරි පරෙස්සම් කරගන්න එපැයි….. දොරට නිකං කොන්ඩි පට්ටමක් අල්ලලා, ඉබ්බෙක් දාලා විතරයිනෙ. ඔයා රෑට මෙහාට ඇවිත් ඉන්නවද?” මා කලින්ම නෙවිල්ට කියා තිබිණි.

ගුවන් තොටුපළට යන්නට වෙන් කර ගත් වෑන් රිය ආවේ තරමක් පමා වෙලාය. ටයි-බයි දාලා, කලිසං කෝට් ඇදලා හිටි නිසා, වාහනය පමා වෙද්දී මං හිටියේ හීන් දාඩිය පෙරමිනි.

“අන්න ආවා…. යං යං…” මං කියද්දී, කාමරයේ දොර වැසුවෙත් නෙවිල්ය. එතකොටත් මං වාහනය ඇතුළේය. කටුනායකටම ගියාමවත් මගේ කලබලය නිමාවී තිබ්බේ නැතිය. නෙවිල්ට සමුදී, ලගේජ් එකත් පවරා කවුන්ටරයෙන් ඇතුළට ගියාමය මට හුස්මක් වැටුණේ. කියන්න ලජ්ජා වෙන්නේ මොකටද? එතකොට උහුලන්නට බැරි තරමටම ‘හුලිජ්ජ බොක්ක’ පිරිලාය! 

මුත්‍රා පහ කරන්නට වැසිකිළියට ගියාමය, මට තරු පෙනුණේ.

මෙහෙම කියන්නට තරම් වටිනවාය කියලා මට හිතෙන දේවල්ය තවමත් මට සිද්ද වෙන්නේ! කෙළවෙන- කෙළවාගන්නා වැඩමය මට නම් වෙන තරමක් වෙන්නේ. මුත්‍රා කරන්නට කලිසමේ zip එක විවර කරන්නට කෝට් බෑය මෑත් කරද්දීය, මට කෝට් සාක්කුවේ තිබුණු බර දැනුණේ!

ඊට කලිනුත් ජොකා අස්සේ සල්ලි හංගාගෙන ඇවිත් පුරුදු මට….

අපේ අම්මාගේ ස්ටර්ලින් පවුම් දාහකට කිට්ටු මුදලක් සාක්කුවේය. නෝට්ටුවලින්ම!

දැන් තේරෙනවද ‘අපේ මව් යානය මාව විශ්වාස කරනවා’ය කියලා පැවසූ හේතුව? මුදල් ගනුදෙනුවලදී අපේ අම්මට මාව විශ්වාසය. කොච්චරද කියනවා නම්, ලංකාවට එන දවසක් ඇත්නම්- මා හමුවෙන පළමු මොහොතේදීම ඇය ගෙනවුත් තිබෙන මුදල් සේරම මගේ අතේ තියයි. වරන්-වර ඒවා ඉල්ලා ගන්නේ පස්සෙය. එතෙක් ඒවා පරෙස්සම් කරන්නේ මං වහන්සේය.

දැන් වුණත් බයක් නැතිව මේවා කියන්නේ, දැන් ඒ චාරිත්තරය නොකෙරෙන නිසාය.

“අනේ අම්මේ, දැන් මම කොයි මොහොතේ ගිහින් තියෙයිද ෂුවර් නැහැනෙ. ඔව්ව මගේ ළඟ තියන එක හොඳ නැහැ නේද?” අපේ අම්මාත් මගේ කතාව පිළිගත්තාය. වෙනින් විකල්පයක් සොයා ගත්තාය. මං එහෙම කියූ වෙලාවේ නම් මොකුත්ම කිව්වෙත් නැත. ලොකු පුතාව අහිමි වෙනවා මදිවාට, සල්ලිත් නැති කරගන්න ඕනිද කියලාය- ඉස්සර විදියට නම් එයා හිතන්නේ! දැන් 84ක් නිසා අම්මාගේ චින්තනය වෙනස් වෙලා වෙන්ටත් ඉඩ තිබේ…..

ඉතින්, එදා අර කාමරයේ එච්චර සල්ලියක් තියලා එන්නට බැරිය. ඒ මුදල් තිබුණු කවරය පිටින්ම කෝට් සාක්කුවේ ඔබා ගත්තේ නෙවිල්ගේ අතේ ඒක අම්මාට යවන්නටය. කලබලය නිසා මට ඒ විත්තිය සහමුලින්ම අමතක වෙලාය.

එච්චර සල්ලියක් ‘ප්‍රකාශ නොකොට’ නෝට්ටු වශයෙන්ම රටකින් රටකට ගෙන යාම නීතියෙන් තහනම්ය!

එහෙම කළාම මට දැනුණේ නිළමේ කෙනෙකුට ඇඳලා ඉන්නවා වගෙය!

මට  බය හිතුණේ; තරු පෙනුණේ මං ඒ විත්තිය දැනගෙන හිටි නිසාය. ඉතිං මං කළේ ඒ වෙලාවේ කරන්නට ඉතිරිවී තිබුණු එකම දෙයයි. ඒ වැඩේ මට නොපුරුදු එහෙකුත් නොවේ. බෙන්තොට ඉඳලා එද්දී, සීයේ නෝට්ටුවලින් රුපියල් හැට-හැත්තෑ දාහක්  ආරක්ෂාකාරීව ගෙදර ගෙනාවේ එහෙමය.

ඒ ක්‍රමයටම මං කළේ මුදල් කවරය පිටින්ම ‘ජොකා’ ඇතුළට දමා ගැනිල්ලයි. මරේ මරුය! එහෙම කර ගත්තාම මට දැනුණේ ‘නිළමේ කෙනෙකුට අන්දවලා’ වගෙය.

අපේ ජනකාන්ත ගායක මිල්ටන් මල්ලවාරච්චි, නිවේදක රසවතා ප්‍රේමකීර්ති ද අල්විස් බියෙන් හිටියා යැයි කියන්නේ ගුවනින් යන්නටය.

එදා පැය ගණනාවක් මුළුල්ලේ මා බයෙන් ගැහෙමින් හිටියේ ගුවන් යානයෙන් බැහැලා, හොංකොං ගුවන් තොටුපළෙන් එළියට පැනගන්නා තුරුය. ඒ කඩුල්ල පැන ගැනිල්ල ලෙහෙසි වුණේ එහාට යන්නේ ඇයිදැයි කිව්වාමය. හැබැයි ඊට පස්සේ….

අපට එවා තිබුණු විස්තර අනුව නම් ගුවන් තොටුපළේ ‘වෙනම පිළිගැනීමේ කවුන්ටරයක්’ තිබෙන්නට ඕනෙය. එතැන ඉඳලා නවාතැන් සූදානම් කොට තිබෙන හෝටල වෙත යාමට Shuttle Bus එකකුත් තිබෙන්නට ඕනෙය. ඒ සඳහා US$ 6ක් අය කෙරෙනු ඇති බවත් දන්වා තිබිණි. ඒත් ගුවන් තොට පාලුම පාලුය. කෝ? මෙලෝ යකෙකු නැත. ටිකක් එහාට-මෙහාට ගොස් බලද්දී ආරක්ෂක නිලදරුවෙක් මා ළඟට ආවේය. උදව්වක් අවශ්‍ය දැයි ඇසුවේය.

හොංකොං ගුවන් තොටුපළේ නිලධාරියෙක් ටැක්සියක් ගෙන්නලා දුන්නේ….

ඔහුට අනුව ඒ විශේෂ පිළිගැනීමේ කවුන්ටරය වසා දමා තිබුණේ ඊට පැයකට විතර කලින්ය. මගේ ගුවන් යානය එදා පැයකටත් වඩා ප්‍රමාද වෙලාය.

අනේ! එදා කරදරත් එතැනින් ඉවර වුණේ නැති හැටි.

අර ආරක්ෂක නිලධාරියාම ටැක්සියක් කතා කොට දුන්නේය. ඒ දෙන්නා කතා කළේ ඉංග්‍රීසියෙන් නොවේ. එහෙත්, මං ටැක්සියට ගොඩ වෙන්නට කලින් අර නිලදරුවා ‘අය කරන්නට නියමිත ගාස්තුව’ත් රහසෙන් වගේ මට කිව්වේය. අපි පිටත් වුණෙමු. ගමන පටන් ගත් වෙලාවේම රියදුරු මහතා ‘මං වහන්සේ’ ගැන සම්මුඛ පරීක්ෂණයකුත් පටන් ගත්තේය; ඉංගිරිසියෙන්…. අන්තිමේදී……

නියමිත තැනට ළඟා වුණාම ඒ හාදයා ලොකු ගණනක් ඉල්ලුවේය. ආරක්ෂක නිලධාරියා මට කියූ ගණන පමණක් මම ඔහුට දිගු කළෙමි.

මගෝ ඩිගො ඩයි – sorry, මට පරතරය මාරු වෙලාය. ආයෙමත් කොරෝනා යස්සයා ඔළුව උස්සාගෙන එද්දී සමාජ පරතරය; Social Distance එක තියාගන්නත්, ‘මාක්ස්වාදී වෙන්නටත්’….. (අප්පට සිරි….. තවත් වැරැද්දකි; ඒක ‘මාස්ක්වාදී’ වෙන්නට ඕනෙය.) තරයේ සිත තබාගත යුතුය.

ඉතින්, ‘මගෝඩි ගොඩයි’ තියෙන්නෙ ඉන්දීය සාගරයේ මුතු ඇටය හරියේ විතරක් නොවෙන බව එදා මම තේරුම් ගනිමින් සිටියෙමි. ආරක්ෂක නිලධාරියා මට ගෙවන්නට කිව්වේ මෙච්චරකැයි මම එක හෙළා කියා සිටියෙමි. ඒ මා දන්නා ඉංග්‍රීසියෙනි. එතකොට අර මාතලියා ගොබ්බ පාර්ට් එකක් රඟන්නට ගත්තේය. “No English…. නෝ ඉංග්ලිෂ්. මී නෝ ඉංග්ලිෂ්!”

දිගටම මේ යක්ෂයාත් එක්කලා හෙට්ටු කරමින් ඉන්න පුළුවන්ද?

මට තරහය. රෑ දොළහට විතර මේ යක්ෂයාත් එක්ක දිගටම හෙට්ටු කරමින් ඉන්නද?

කළ යුතු හොඳම දේ මගේ සිරසට ආවේ එතකොටය. ඌරාගේ මාළු කපන්නට ඕනෙ ඌරාගේ ඇඟේම තියලය.

“No money….! මී පේ නෝ මනි… කෝල් පොලීස්…. පොලීස්….පොලීස්….”

දේසේ හැටියට බාසේ කියන්නේ ඒවාටය. ‘පොලීසිය’ මතක් කළා විතරය. ටැක්සි ඩ්‍රයිවරයා මගේ අතේ තිබුණු නෝට්ටු කිහිපයත් උදුරාගෙන වාහනයෙන් ඉගිල්ලුණේය. පෙනුණේ නම් ඒකා දන්නා හොඳම කුණුහරුප ටිකත් ඒ අතරේ ජප කළ බවයි. මගෙ මොකෝ? මට තේරුණේ මිනිහාගේ ඇක්සන්ට් එක විතරය. ඊට අවුරුදු විසි ගණනාවකට පස්සෙය එවැනි අත්දැකීමක් මට යළිදු ලැබුණේ. කිලෝ මීටර් සීයක් පා ගමනින්; පාද යාත්‍රාවේ කතරගමට යන අතරේ අර සිංහල නොදන්නා දෙමළ අම්මලත් එක්ක කතාවක් දමාගෙන….දෙමළ නොදන්නා මං පැය ගණනාවක් යාල කැලය මැදින් තනිවම ගියේ!

එදා හොංකොංහි හෝටලයට ගියා මතකය. උඩින්-පල්ලෙන් ඇඟ හෝදා ගත්තාත් මතකය. ඇඳට වැටුණාත් මතකය. හොඳට නින්ද ගියාද, හීන පෙනුණාද වගේ ඒවා මතක නැත.

හොංකොං හෝටලයේ සැපට නිඳාගෙන හිටි මට…..

ඇහැරුණේ කවුරුන්දෝ දොරට තඩි බාන සද්දෙටය. ඇඳෙන් බිමට බහිනවාත් එක්කම, බිමට වැටුණේ සල්ලි කවරයයි.  අච්චර මහන්සියෙන් ඉඳලාත් මට ඒ කවරය අමතක වෙලා නැත. මං නිදා ගන්නට ඇත්තෙත් ඒක තුරුලු කරගෙනය. ඉක්මනින්ම ඒක කොට්ටය යටට ඔබලා, හංගලා ගිහින් දොර ඇරියෙමි…..

%d bloggers like this: