Menu Close

‘කො’හේවත් ‘රෝ’න්දේ ගහන්නේ නැතිව ‘නා’ගෙන ගෙදර හිටපිය…!!

                       
නා ගෙන ගෙදර හිටි පමණින් බේරෙන්න බැරි සතුරෙක්ට මුහුණ පෑමට අපට සිදුව ඇත. සතුරා අපට පෙනේ නම් ඒත් කමක් නැත. සතුරා කුඩාය. කොතරම් කුඩාද කියනවා නම් කෙස් ගහක විශ්කම්භයක් තුලට මේ කොරෝනා සතුරෝ පන්සීයක් පමණ එක පෙළකට තැබිය හැක.  

කොරෝනා වෛරසය සමඟ අපට ජීවත් වන්නට සිදුව තිබේ. වෙන විකල්පයක් නැත. ඒ සඳහා හොඳම ක්‍රම සොයා ගත යුතු වේ. මුලින්ම අවබෝධ කර ගත යුත්තේ කොරෝනා මාරයා ලොවට අළුත් බවත්, අප අද දින ඒ ගැන දන්නා මතයන් හෙට වෙනස් බව විද්‍යාඥයන් කියන්නට ඉඩ ඇති බවය. පහත ‘අනුමාන’ යයි ලියා ඇති දෑ එපමණ ඔළුවට ගන්න එපා….!…!!.. ඒ මට හිතුනු දේ පමණි. 
උදාහරණයක් සේ මුලින්ම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කියා සිටියේ, මුඛ ආවරණ වැදගත් නැති බවය. පසුව ඔවුන් ඒ තීරණය හකුලා ගත්හ. එසේ හෙයින් හැකිතාක් විශ්වාසනීය ආරංචි මාර්ග වලින් ලැබෙන තොරතුරු පරිහරණය කිරීම ඉතා වැදගත් වේ.  

කොරෝනා වෛරසය ජංගම දුරකථන වල LCD තිරයේ, මුදල් නෝට්ටු වැනි පෘෂ්ට මත දින 28 ක් දක්වා නොනැසී පවතින බව ඕස්ට්‍රේලියාවේ ජාතික විද්‍යා ඒජන්සිය වන [Australia’s national science agency-CSIRO] විසින් කරන ලද අධ්‍යයනයකින් හෙළි වී තිබේ. ජංගම දුරකථන තිර සහ ප්ලාස්ටික් මුදල් නෝට්ටු වල වීදුරු වැනි සුමට මතුපිටක වැඩි කාලයක් වෛරසය ජීවත් වේ.

කපු වැනි සිදුරු සහිත සංකීර්ණ පෘෂ්ට හා සසඳන විට අඩු උෂ්ණත්වවලදී සහ වීදුරු, මල නොබැඳෙන වානේ සහ වයිනයිල් [vinyl] වැනි සිදුරු රහිත හෝ සිනිඳු පෘෂ්ට මතද වෛරසය තවදුරටත් මසක් පමණ කාලයක් නොනැසී පවතින බව පර්යේෂකයෝ සොයා ගෙන ඇත. ප්ලාස්ටික් මුදල් නෝට්ටුවලට වඩා කඩදාසි මුදල් නෝට්ටු මත වෛරසය වැඩි කාලයක් පවතින බව සොයා ගන්නා ලදී.

ආසාදිත රෝගීන්ගෙන් ලබාගත් සාම්පල වලට සමාන සාන්ද්‍රණයක දී විවිධ පෘෂ්ටයන්හි කෘතිම ශ්ලේෂ්මලයක [artificial mucus] වෛරසය වියළීම හා, මාසයක් පුරා වෛරසය නැවත හුදකලාව තැබීම පර්යේෂණය කල ආකාරය විය.

සෙල්සියස් අංශක 30 ° සහ 40 දී වැඩිදුර පරීක්ෂණ සිදු කරන ලද අතර උෂ්ණත්වය ඉහළ යාමත් සමඟ වෛරසයේ පැවැත්මේ අඩු වන බව පෙනී යයි. පාරජම්බුල කිරණවල බලපෑම මගින්, වෛරසය වේගයෙන් අක්‍රිය කළ හැකි බව මෙම අධ්‍යයනයෙන් සොයා ගන්නා ලදී. උදාහරණයක් සේ ඉන්දියාවේ හෝ ලංකාවේ වෛරසය පැතිරුනද, සාපේක්ෂව මරණ අනුපාතය අඩු වන්නේ එසේ හෙයින්ද යන්න ගැන සැකයක් ඇති වේ. [අනුමානයකි.]

මක්නිසාදයත්, ඝර්ම කලාපීය රටවල් වල පාරජම්බුල කිරණ මෙන්ම සාපේක්ෂව පරිසර උෂ්ණත්වය වැඩි වන හෙයිනි. මේ කාලයේ, [ඔක්තෝබර් 2020] එනම් සීතල ආරම්භ වූ කාලයේ එංගලන්තයේ, ඉතාලියේ, ප්‍රංශයේ  රෝගය වැඩිවීමට හේතුව එය විය හැක. [අනුමානයකි.]

“අපගේ ප්‍රතිඵල වලින් පෙනී යන්නේ SARS-CoV-2 පෘෂ්ට මත දීර්ඝ කාලයක් තිස්සේ ආසාදිතව පැවතිය හැකි බවත්, නිතිපතා අත් සේදීම සහ පෘෂ්ට මතුපිට පිරිසිදු කිරීම වැනි හොඳ පුරුදු වල අවශ්‍යතාවය තවදුරටත් තහවුරු කරන බවත්ය. කාමර උෂ්ණත්වයට ආසන්න සෙල්සියස් අංශක 20 දී, වෛරසය අතිශයින්ම ශක්තිමත් බව පෙනී යයි.

දැන් අපි සාමාන්‍ය දැනුම භාවිතා කර මේ ගැන සිතමු. කොරෝනා වෛරසයේ විෂ්කම්භය මයික්‍රෝන දශම එකකි. එනම් මීටරයකින් දශ ලක්ෂයෙන් දහයෙන් එකකි. එනම් දළ වශයෙන් කෙස් ගසක විෂ්කම්භය ඇතුලත, කොරෝනා වෛරස 500ක් පමණ එකට හේත්තු වන සේ තැබිය හැක. එය එසේ නම්, කුමකට මුඛ ආවරණ දමන්නේද යන්න ගැන කෙනෙක් සිතන්නට පුළුවන.

කොතරම් වටිනා මුඛ ආවරණ දැම්මත්, එළියේ යන වාහනයක දුම, මල් සුවඳක්, කෑම සුවඳක් ඒ හරහා අපට දැනේ. ඒ අංශු කොරෝනා වෛරසයට වඩා බෙහෙවින් විශාලය. ඒ ගන්ධය ගෙන දෙන අන්වීක්ෂීය අංශුත් මුඛ ආවරණය හරහා නාසයට ඇතුල් වන්නේ නම්, මුඛ ආවරණ දැමීමේ හේතුවක් තිබේද?

ඊට නම් ඉතා වැදගත් මෙන්ම අනිවාර්ය හේතුවක් තිබේ. ප්‍රධානම වැදගත්කම වන්නේ කෙනෙක් කසින විට මෙන්ම තදින් හුස්ම ගැනීමේදී ඇතිවන ද්‍රව බිඳු [Droplets] සහ හුමාලය, මුඛ ආවරණය නිසා නැවතීමය. ඒ විසිවෙන දුර මුඛ ආවරණ නිසා බෙහෙවින් අඩු වී යන්නේය. එළියෙන් පැමිණෙන වෛරසද මුඛ ආවරණයන්හී ඇලී නවතින්නට ඉඩකඩ ඇත. පින්තුර බලන්න.   

හුමාලය ඇල්ලීම වැනි බොරු වැඩ කරන්න එපා… ! …!! එය කල යුත්තේ සාමාන්‍ය සෙම්ප්‍රතිශ්‍යාවකට පමණි. එයද එවිට කල යුත්තේ එක වතාවක්, දෙවතාවක් පමණි. ඉන් එක ප්‍රයෝජනයක් ඇත. එනම් ‘සයිනස් ග්‍රන්ථි වල ලේ ගමනාගමනය වැඩි කිරීමය. [paranasal sinuses and brings blood flow to the area.]

හුමාලය ඇල්ලීමේ විශාලතම වරද වන්නේ, බොරු ආරක්ෂාවක් සිතේ පැළපදියම් වීමය. [psychological effect of “security theatre”]  ඒ සෙල්ලම් කොරෝනා වලට අදාළ නැත. මේ කාලේ කොරෝනා පිට දමා, හුමාල මැෂින් විකිණේ. අහුවෙන්න නම් එපා… !…ඊට වඩා මතුරන ලද සුරයක් වටී. 😉  

“ජෝන් හොප්කින්ස්” වෛද්‍ය විද්‍යාලයෙන් ලැබුණු තොරතුරු කීපයක් පහත සේ වේ.

වෛරසය ජීවත් වන ජීවියෙක් නොව ප්‍රෝටීන අනුවකි. එසේ හෙයින් එය මැරෙන්නේ නැත. බැක්ටීරියාවක් සේ ඊට සැලකීමේ ඇති පලක් නැත. එනම් ‘ඇන්ටිබයෝටික්’ භාවිතයෙන් ඊට ඇති වැඩක් නැත. හුදෙක් කෙමෙන් ක්ෂය වීම පමණක් සිදු වන්නේ ඒ අවට ඇති තෙතමනය, උෂ්ණත්වය සහ එය රඳා පවතින පෘෂ්ටය යන කරුණු මතය. වෛරසය වටේටම ඇත්තේ ලිපිඩ [lipid (fat)] කවරයකිනි.

ඇත්තෙන්ම එය ඉතා දුර්වල දෙයකි. මක්නිසාද යත් ඒ ලිපිඩ [හෙවත් තෙල් තට්ටුවක් වැනි] සබන් වලින් තත්පර 20ක් පමණ කාලයක් තුලදී විනාශ වන හෙයිණි. 

එය ඇලෙන සුළු අතු ඇති වෘතාකාර වස්තුවකි. හරියට බක් මී මලක් වැනිය. ඔබ එහි රූපය දකින්නට ඇත. මෙය නාසයේ ඇතුල් පැත්තේ, ශ්වසන පද්ධතියේ ඇළුනු විට එහි ජාන සංයුතිය [genetic code] වෙනස් වී සීඝ්‍රයෙන් බෙදී ප්‍රමාණය වැඩි වීම ආරම්භ වේ. 

65% කට වඩා වැඩි ඇල්කොහොල් ප්‍රතිශතයක් ඇති ද්‍රව්‍යකින් වෛරසය විනාශ වේ. “බ්ලීච්, ක්ලෝරීන් වලින්ද එය විනාශ වේ. කිසි විටෙක ඇඳුම් වල ඇති දුහුවිළි ගසා දැමිය කල යුතු නැත. එසේ කළහොත් එම රෙදි වල ඇලී පවතින්නට හැකි වෛරස අවට වාතයේ පාවෙන්නට ඉඩ ඇත. ඉන්පසු ඒවා ශරීර ගත වන්නට පුළුවන. හොඳම දේ වන්නේ, ගමනක් ගොස් පැමිණි පසු ඇඳුම් සෝදා දැමීමය.

එය කල නොහැකි නම්, එළියේ ඇති උණුසුම් ස්ථානයක එල්ලා තැබීමය. වෛරස් අණුව, සීතල පරිසරයේ වඩාත් ස්ථාවර වන හෙයින් උෂ්ණ රටක වුවද වායු සමීකරණ යන්ත්‍ර ආශ්‍රිතව පහසුවෙන් පැවතිය හැක. කළුවරද එහි පැවැත්මට හිතකර වේ. එය සෞඛ්‍ය සම්පන්න කෙනෙක්ගේ සම හරහා ශරීරයට ඇතුල් නොවේ.  

දැන් මේ දත්ත ගැන විශ්ලේෂනාත්මකව සිතා බැලුවහොත්, පහත ක්‍රියා මාර්ග අපට අනුගමනය කල හැක.

1. සැමවිටම මුඛ ආවරණ භාවිතා කිරීම සහ ඒවා නිවැරදි ආකාරයට භාවිතා කිරීම. සමහරවිට කෙනෙක් කතා කරද්දී මුඛ ආවරණ බෙල්ලේ දමා ගෙන ඉන්නවා දැකිය හැක. නැවත බෙල්ලේ සිට මුව වෙත එය ගෙන යන අවස්ථාවේ දී බෙල්ලේ රඳා තිබුණු වෛරස මුඛයට ඇතුල් විය හැක.

2. හැකි සෑම විටම මුදල් නෝට්ටු භාවිතා නොකර ක්‍රෙඩිට් කාර්ඩ් භාවිතා කිරීම.

3. ග්ලවුස් හෙවත් අත් මේස් දමන්නේ නම්, ඒවා නිවැරදිව භාවිතා කිරීම. එනම් ඒවා ගලවන්නට පෙර ඒ පිටින්ම සබන් යොදා අත සෝදා පසුව ගලවා දැමීම. අවසානයේ අවම සේ තත්පර 20ක් සබන් යොදා අත සේදීම. සබන් වලින් වෛරසයේ ලිපිඩ තට්ටුව දිය වුනාද, විනාකිරි වලින් එය දිය නොවේ. එනම් විනාකිරි භාවිතයෙන් ඇති වැඩක් නැත. 

4. නැවත භාවිතා කල හැකි මුඛ ආවරණ යනාදිය ක්‍රමවත් අයුරෙන් සෝදා, පාර ජම්බුල කිරණ වලට විවර කර, උණුසුම් සූර්යාලෝකයේ සෑහෙන වෙලාවක් තබා භාවිතා කිරීම.

5. පුරුද්දක් සේ කිසි විටෙක හුමාලය ආල්ලමින් උගුරට වධ නොදීම. උගුරේ ඇති සියුම් පටක වලට හානි සිදු වුවහොත්, ඒවා නැවත ශරීරය මගින් අලුත්වද්යා කිරීමට කාලයක් ගත වේ. ඒ ආසාදනය වී ඇති පටක හරහා  වෛරස ශරීරගත වීම පහසු වේ. “හුමාලය නිසා වෛරසය සිරුර තුල විනාශ වන්නේය”, යන්න ගැන මෙතෙක් කිසිම පිළිගත හැකි වෛද්‍ය විද්යාලයකින් වාර්ථාවක් පලවී නැත. 

6. මධ්‍යසාර බීමෙන් හෝ උගුර සේදීමෙන් වෛරසය කිසිසේත්ම විනාශ කල නොහැක. මධ්‍යසාර බොනවා නම් 62% ප්‍රතිශතයෙන් බීම මැනවි. අඩුම තරමේ බෝතලයක් වත් බීම වඩාත් ගුණය. කොහොමත් මැරෙන එකේ, එම්බාම් එකට එය පහසුවක් වනු ඇත. තවද රෙදි සෝදන කුඩු, බ්ලීච් ශරීර ගත කිරීම හොඳය. මේ ඥාණාන්විත අදහස මුලින්ම ගෙන ආවේ, පසුව කොරෝනා පොසිටිව් වූ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විය.

උන්මන්තකයෙක් කියන දේවල් කරන්නට යාම, එතරම් ඇඟට ගුණ නැත.

7. ඇරුණු පරිසරයක වෛරසයේ පැවැත්ම වැසුණු පරිසරයක එහි පැවැත්මට වඩා අඩු වේ. එසේ හෙයින් වාහනයක හෝ නිවසක ජනේල හොඳ වාතාශ්‍රය පැමිණෙන ආකාරයට හැකිතාක් ඇර තැබීම මැනවි. 

8. කෑම, දොර අගුළු, සෙම සොටු,  දුරස්ථ පාලක, ස්මාර්ට් දුරකථන, යතුරු කැරලි, පරිඝනක, රූපවාහිනී වැනි මෙකී එකී සියලු දේ අල්ලන්නට සිදු වූයේ නම්, අත් සබන් යොදා සෝදා ගත යුතුය. මේ සඳහා සාමාන්‍ය සබන් හොඳටම යෝග්‍ය වේ. විශේෂ සබන් කියා දෙයක් අනවශ්‍ය වේ. සෝදා අත් වියළි කරගැනීමද සුදුසු ය. නියපොතු ඇතුලේ වෛරසය පැවතිය හැකි බැවින්, ඒවා කෙටියට කපා තබා ගත යුතුය. 

8. ඉහත 7 කාරණයට අනුබද්ධ තව කාරණයකි. ලෝකයේ ගුවන් ගමන් අවමයක් වී ඇත. ගුවන් යානා සමාගම් වෙඩි කෑ කොටියන් මෙන් කෙසේ හෝ ඔවුන්ගේ ගුවන් ගමන් බිමන් ආරක්‍ෂා සහිත බව නන් අයුරෙන් කියති. ඔවුන් ලොකුවට කතා කරන්නේ, ගුවන් යානා වල ස්ථානගත කර ඇති ‘හෙෆා ෆිල්ටර්ස්’ ගැනය. එහෙත් ඒ ෆිල්ටර වල ඇති අන්වීක්ෂීය සිදුරු හරහා කොරෝනා වෛරසයට පහසුවෙන් ගමන් කල හැක. 

සාරාංශයක් සේ කොරෝනා වලින් වැළකී සිටීමේ හොඳම ක්‍රම වන්නේ සමාජ දුරස්ථ භාවය, මුඛ ආවරණ පැළඳීම  සහ සබන් යොදා අත් සෝදා ගැනීම වේ. 

මේ තරම් කුඩා වෛරසයක් අපේ සිරුරට මේ වන විටත් ඇතුල් වී නොතිබෙන්නේ යයි කාටනම් කිව හැකිද? සිරුරේ ප්‍රමාණයෙන් ට්‍රිලියනයකින් එකක් පමණ වූ මේ වෛරසය අප සිරුරේ තිබෙන්නට බොහෝ ඉඩකඩ ඇත.  මා නම් සිතන්නේ අප සියල්ලන්ගේම ශරීරයේ මේ වෛරසය ඇත යන්නයි. නමුත් එය සැමගේම සිරුරේ ක්‍රියාත්මක වන්නේ එකම ආකාරයට නොවේ. [අනුමානයකි.]

එකක් දෙකක් වෛරස සිරුරට ඇතුල් වුනාට ගැටලුවක් නැත යයි සිතමි. එහෙත් අසාද්‍ය කොරෝනා රෝගියෙක් කණට කර කැස්සොත් නම්, ඒ වෛරස් ලෝර්ඩ් එක මැනේජ් කර ගන්නට බැරුව අපටත් ලෙඩේ හැදෙනු ඇත. [අනුමානයකි.]

වෛරසයේ විෂ්කම්භය මයික්‍රෝන 0.1 ක් බව අමතක කල යුතු නැත. එය බොහෝ පෘෂ්ට හරහා විනිවිද යන්නේය. කොරෝනා වලින් වැළකීමට ශරීරයේ ප්‍රතිශක්තිය වැඩි කිරීමට භාවිතා කරන සමාජ සම්මත, එහෙත් ශරීරයට හානිකර නැති දේ කිරීම වැදගත් විය හැක. ඕනෑවට වඩා භීතිය ඇති කර ගැනීමෙන්ද ප්‍රතිශක්තිය අඩු වන බව සිත්හි තබා ගැනීම මැනවි.

විශ්වයේ ඇති දෑ දළ සේ කොටස් දෙකකට බෙදේ. එනම් ද්‍රව්‍ය සහ මනස ලෙසිනි. [Mind & materials]. ද්‍රව්‍ය වලින් තැනී ඇති ශරීරය ලෙඩ වන විට මනස ලෙඩ වේ. මනස ලෙඩ වන විට ශරීරය ලෙඩ වේ. මේ මා කියූ දෙයක් නොවේ. බුදු හාමුදුරුවෝ වදාළ දෙයකි.

එසේ හෙයින් කොරෝනා වලින් බේරීමට මනස ලෙඩ නොකර තබා ගැනීම ඉතා වැදගත් වේ. 

%d bloggers like this: