Menu Close

පඩි තකා වැඩ කිරීම

මිනිසා වැඩ කරන්නේ ඇයි කියන එක ගැන කලින් ලිපියෙන් අපි කතා කළා. මිනිස්සු වැඩ කරන්නේ එක්කෝ වැඩ කිරීමෙන් සතුටු  වන නිසා. එහෙම නැත්නම් වැඩ කිරීම අසතුටක් වුනත්, වැඩ කිරීම නිසා ලැබෙන සල්ලි හෝ වෙනත් දෙයකින් ඒ අසතුට ඉක්මවන සතුටක් ලැබෙන නිසා. 

බොහෝ දෙනෙක්ගේ පළමු ඉලක්කය තමන්ට සතුටු විය හැකි වැඩක් කරන එකයි. ඒ නිසා, ජීවත් වෙන්න ප්‍රමාණවත් තරම් සල්ලි තියෙන මිනිස්සු එසේ සල්ලි තිබුණු පලියට වැඩ නොකර ඉන්නේ නැහැ. එවැනි සමහර අය වැඩ කරන්නේ සල්ලි බලාගෙන නෙමෙයි. නමුත්, සල්ලි බලාගෙන වැඩ නොකළත් සල්ලි ලැබෙන වෙලාවල් තියෙනවා. සමහර විට සල්ලි ගලන වෙලාවලුත් තිබෙනවා. එය තීරණය වෙන්නේ එවැන්නෙක් තමන්ගේ සතුට වෙනුවෙන් කරන වැඩ නිසා වෙනත් අය කොයි තරම් සතුටු වෙනවද කියන එක මතයි.

සල්ලි බලාපොරොත්තුවක් නැතිව තමන්ගේ සතුට ගැන පමණක් සිතා වැඩ කරන අයට සමහර වෙලාවට සල්ලිත් ලැබෙනවා වුනත් ඒ ගැන සහතිකයක් නැහැ. එහෙත්, ලැබෙන සතුට වෙනුවෙන් මිනිස්සු සල්ලි නැතුවත් වැඩ කරනවා. මේ වගේ බ්ලොග් ලියන අපි වගේ අය, වත්පොතේ දේශපාලනය කරන අය වගේම වෙනත් විවිධ ස්වේච්ඡා කටයුතු වල නිරත වන අය ඒ දේවල් කරන්නේ තනිකරම තමන්ගේ සතුට වෙනුවෙන්. ඊටත් අමතරව තමන්ගේ සතුට වෙනුවෙන් සල්ලි දීලා වැඩ කරන අයත් ඉන්නවා. දිනපතා ජිම් යන අය ගැන හිතන්න!

තමන් සතුටු වෙන ඇතැම් දේවල් කරන්න මුදලක් වැය වෙනවා. තමන් සතුටු වෙන වෙනත් දේවල් කරලා ඒ මුදල උපයාගන්න බැරිනම්, ඒ සතුටු වන දේවල් කිරීම සඳහා මුදල් හොයා ගන්න අසතුටු දේවලුත් කරන්න වෙන්න පුළුවන්. තමන් සතුටු වන දේවල් කරලා මුදල් උපයන්න පුළුවන්ද කියන එක යම් තරමකට කෙනෙකුගේ “වාසනාව” මත තීරණය වන දෙයක්. මම මෙහිදී වාසනාව කියන වචනය භාවිතා කළේ තමන්ගේ පාලනයට මුළුමනින්ම යටත් නැති බාහිර සාධක මත කියන අදහසින්. 

මහන්සි වූ තරමට මිනිහෙක්ට සාර්ථක වෙන්න පුළුවන් කියන එක අර්ධ සත්‍යයක්. මහන්සි වන මිනිහෙක් එසේ මහන්සි නොවන මිනිහෙක්ට වඩා සාර්ථක වෙන්න ඉඩ තිබෙනවා වුවත් හැම විටම එය එසේම වෙන්නේ නැහැ. එය තීරණය වෙන්නේ මහන්සි වෙන්නේ මොකටද කියන කාරණාව මතයි. මැණික් හම්බ වෙන්න ඉඩක් තියෙන්නේ මැණික් ඉල්ලමක් තියෙන තැනක පතලයක් හෑරුවොත් පමණයි! 

කවුරු හෝ කෙනෙක් කරන වැඩ වලට ලැබෙන මුදල තීරණය වෙන්නේ ඒ වැඩේ ආන්තික ඵලදායීතාවය මතයි. ආන්තික ඵලදායීතාවය තීරණය වෙන්නේ කරන වැඩෙන් සතුටු වන අය මතයි. ඒ නිසා කරන වැඩකින් තමන්ද සතුටු වී සල්ලිත් හොයා ගන්න අවශ්‍යනම් ඒ වැඩෙන් තමන් සතුටු වීම හා අනුන් සතුටු කරවීම අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා. මෙයම වෙනත් විදිහකින් කිවුවොත් තමන් කරන වැඩෙන් ඒ වැඩේ කිරීම නිසාම ලැබෙන සතුට හා වැඩේ කිරීම වෙනුවෙන් ලැබෙන මුදල් නිසා ලැබෙන සතුට අතර සමතුලිතතාවයක් පවත්වා ගන්න වෙනවා.

සාමාන්‍යයෙන් තමන් කැමති රස්සා කරන අයට ඒ වෙනුවෙන් යම් මිලක් ගෙවන්න වෙනවා. ඒක ස්වභාවිකවම වෙන දෙයක්. අපි හිතමු කෙනෙක්ට රැකියා තෝරා ගැනීම් දෙකක් තිබෙනවා. පළමු රැකියාවෙන් මසකට රුපියල් 25,000ක් ලැබෙන නමුත් දෙවැන්නෙන් ලැබෙන්නේ රුපියල් 20,000ක් පමණයි. මේ වගේ වෙලාවක මුදලින් පාඩුවක් වුනත්, දෙවන රැකියාව තෝරා ගන්නා අය ඉන්නවා. එහෙම කරන්නේ දෙවන රැකියාව කිරීමෙන් ලැබෙන සතුට පළමු රැකියාව කිරීමෙන් ලැබෙන සතුටට වඩා වැඩි නිසයි. එපමණක් නෙමෙයි. ඒ වැඩි වන සතුට, එහෙමත් නැත්නම් සතුටු වෙනස, මසකට රුපියල් 5000ක් ලැබීමේ සතුටටත් වඩා වැඩි නිසයි. 

දැන් මේ වගේ අවස්ථාවක කෙනෙක් පළමු රැකියාව තෝරා ගන්නේ මසකට රුපියල් 5000ක් වැඩියෙන් ලැබෙන නිසානේ. ඔය රුපියල් 5000 පස්සේ යන්නේ ඒ සල්ලි වලින් තමන් සතුටු වන දේවල් මිල දී ගන්න පුළුවන් වන නිසයි. ඒ කියන්නේ අවසාන වශයෙන් බැලුවහම පළමු රැකියාව තෝරා ගන්නේ රුපියල් 5000 වැය කර “මිල දී ගත හැකි” සතුට නිසා මිසක් රුපියල් 5000 නිසා නෙමෙයි. දෙවන රැකියාව කිරීමෙන් ඊට වඩා සතුටක් “නොමිලේම” ලැබෙනවානම්, ඔය අමතර රුපියල් පන්දාහෙන් මිල දී ගන්න පුළුවන් අඩු සතුට පස්සේ යන එක තේරුමක් නැහැනේ. ඒ නිසා, තාර්කිකව හිතන මිනිහෙක්ගේ තේරීම වන්නේ දෙවන රැකියාවයි.

දැන් මේ තේරීම සිදු වෙන්නේ ශ්‍රමිකයාගේ පැත්තෙන්. කරන වැඩේ ආන්තික ඵලදායීතාවය මෙයින් බාහිර වෙනම කරුණක්‌. මේ උදාහරණයේදී ශ්‍රමිකයා වඩා සතුටු වෙන්නේ තමන්ගේ ආන්තික ඵලදායීතාවය අඩු රස්සාව කිරීමෙන්. 

මෙය තවත් පැහැදිලි කරන්න අපි කවුරු හෝ පුද්ගලයෙක් ගනිමු. අපි කියමු රවීන් කණිෂ්ක කියලා. රවීන් කණිෂ්කට එක්කෝ රඟපාන්න පුළුවන්. නැත්නම් සිංදු කියන්න පුළුවන්. මේ දෙකෙන් ඔහු වඩා සතුටු වෙන්නේ කොයි වැඩෙන්ද? අපි කියමු ඔහු වඩා සතුටු වෙන්නේ සිංදු කියන එකෙන් කියලා. රඟපාන්න ඔහු සිංදු කියන්න තරම්ම කැමැත්තක් නැහැ. නමුත්, ඔහු සිංදු කියන විට සතුටු වන පිරිසට වඩා රඟපාන විට සතුටු වන පිරිස වැඩියි. ඒ නිසා, නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය වැඩියි. ගායකයෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය අඩුයි. 

පෞද්ගලිකව රවීන් කණිෂ්ක වඩා සතුටු වෙන්නේ සිංදු කියලා. හැබැයි මේ තමන් වඩා සතුටු වන දේ කිරීමෙන් ඔහුට මුදල් වලින් බැලූ විට අවාසියක් වෙනවා. ඒ නිසා, ඔහු වඩා වැඩි මුදලක් උපයන්න පුළුවන් රඟපෑම කරලා ඒ අමතර මුදලින් තමන්ට අඩු වෙන සතුට මිල දී ගන්නවා.

සෞම්‍ය ලියනගේ දක්ෂ නළුවෙක්. නළුවෙක් විදිහට ඔහුගේ ආන්තික ඵලදායීතාවය ගොඩක් වැඩියි. නමුත්, ඔහු පෞද්ගලිකව මේ නළු රස්සාවට වඩා විශ්ව විද්‍යාලයේ රස්සාවට කැමතියි. තමන්ගේ සතුට වෙනුවෙන් සෞම්‍ය ලියනගේ විශ්ව විද්‍යාලයේ රස්සාව තෝරා ගන්නවා. ඒ රස්සාවේදී ඔහුගේ ආන්තික ඵලදායීතාවය සාපේක්ෂව අඩුයි. ඒ නිසා, ලැබෙන මුදලත් අඩුයි. නමුත්, ඒ රස්සාව කිරීමෙන් ඔහුට ලැබෙන අමතර සතුට නළු රස්සාව කරලා ලැබෙන අමතර මුදලින් මිල දී ගන්න බැහැ. ඒ නිසා, සෞම්‍ය ලියනගේගේ තේරීම වන්නේ විශ්ව විද්‍යාලයේ රස්සාවයි. එය තාර්කික තේරීමක්. (රවීන් කණිෂ්ක වගේම සෞම්‍ය ලියනගේවත් උදාහරණ විදිහට ගත්තේ මේ කරුණ පැහැදිලි කිරීම සඳහා පමණයි. ඒ අයගේ සැබෑ පෞද්ගලික රුචි අරුචිකම් මොනවාද කියලා දන්නේ ඒ අයයි.)

තමන් පෞද්ගලිකව කැමති වැඩ කරන්න යාමෙන් මේ විදිහට මූල්‍යමය පාඩුවක් වෙන්නේ තමන් කරන්න වඩා කැමති දෙය හා තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි දෙය, එනම් වෙනත් අය තමන් කරනවාට කැමති දෙය, එකක් නොවී දෙකක් වූ විටයි. එවිට එක්කෝ ලැබෙන මුදල ගැන සතුටු නොවෙමින් තමන් කරන රස්සාව කරන්න වෙනවා. එහෙම නැත්නම්, තමන් කරන රස්සාව ගැන කැමැත්තක් නැතුව සල්ලි වෙනුවෙන් අකැමැත්තෙන් වැඩ කරන්න වෙනවා.

ඉහත කාණ්ඩ දෙකේම ඉන්න අයට කවර හෝ දුක් ගැනවිල්ලක් තිබෙනවා. ලේඛකයෝ, කලාකාරයෝ වගේ අයත්, බොහෝ සරසවි ආචාර්යවරුන් හා ඇතැම් ආණ්ඩුවේ රස්සා කරන අයත් පළමු කාණ්ඩයේ පිරිස් අතර ඉන්නවා. ඒ අය තමන් කැමති රස්සා තෝරාගෙන තිබෙනවා. ඒ රස්සා කිරීමෙන් ඔවුන්ට ලැබෙන ආදායම තීරණය වෙන්නේ ඔවුන්ගේ ආන්තික ඵලදායීතාවය මතයි. බොහෝ විට රස්සාවේ ස්වභාවය අනුව මහන්සි වී වැඩ කලා කියලා ආන්තික ඵලදායීතාවය වැඩි වෙන්නේ නැහැ. ඒ නිසා, ආදායම් වැඩි වෙන්නේත් නැහැ. ඇඟළුම් කර්මාන්තයේ ශ්‍රමිකයින් වගේ අය බොහෝ විට ඉන්නේ දෙවන කාණ්ඩයේ. ඔවුන්ට සාපේක්ෂව හොඳ වැටුපක් ලැබෙනවා. ලැබෙන වැටුප තකා රැකියාව කළත්, ඔවුන් බොහෝ විට කරන රැකියාවෙන් සතුටු වෙන්නේ නැහැ.

මේ ගැටළුව විසඳෙන්නේ තමන් කැමති රස්සාවත්, තමන්ට වඩාත්ම ඵලදායී ලෙස කළ හැකි රස්සාවත් දෙකම එකක් වූ විට පමණයි. වැඩි දෙනෙකුට එවැනි රැකියා කරන්න ඉඩ ලැබෙන්නේ ශ්‍රම වෙළඳපොළ පුළුල් වන තරමටයි. 

ලංකාව වගේ ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව පුළුල් නැති, ශ්‍රම වෙළඳපොළ සාපේක්ෂව නිදහස් නැති රටක බොහෝ දෙනෙකු හා අදාළව බොහෝ විට මේ දෙක දෙකක්. ඒ නිසා, ගොඩක් අය තමන් කරන රස්සා කරන්නේ කැමැත්තෙන් නෙමෙයි. කැමති රස්සා කරන ගොඩක් අය ලැබෙන වැටුප පිලිබඳව සතුටු නැහැ. ඇමරිකාව වගේ රටක වුනත් තමන් කරන රැකියාව ගැන වගේම ලැබෙන වැටුප ගැනත් සතුටු පිරිස බහුතරය නෙමෙයි. එහෙත්, ඒ පිරිස සාපේක්ෂව වැඩියි.

%d bloggers like this: