Menu Close

ඩිංගෙන් Hong Kong හිරේ! -පළමු කොටස

යූත් එකෙන් නිමල්ට ඉඩක් ලැබුණේ නැහැ නේද රට යන්න?

“නිමල්ට යූත් එකෙන් පිටරටකට යන්න අවස්ථාවක් ලැබුණෙ නැහැ නේද?” ලාල් හේවාපතිරණ මහතා; ලාල් අයියා ඇහුවේ 1989 අවුරුද්දේ මැද හරියේ දවසකය. 

යූත් එක කිව්වේ තජකයටය. මං කළේ පුංචි හිනාවකින් විතරක් උත්තර බැඳීමය. එදා ලාල් අයියාට විස්තර කියන්නට ගියා නම්, දිග පට්ටන්දරයක් කියන්නට වෙයි. එතකොට ලාල් අයියා තරුණ ජනගහන කමිටුවෙන් ඉවත්වී බොහෝ කාලයක් ගිහින්ය. මගේ මෞන ව්‍රතය ලාල් අයියා මොන විදිහෙන් වටහා ගන්නට ඇත්ද?

“ඔහෙට යූත් එකෙන් ඒ chance එක නොලැබුණාට TYOS එකෙන් දෙනවා! ඔන්න ඒකයි දුප්පත් අපේ සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයේ වෙනස!”

“…. ලාල් අයියේ?”

“හොංකොංවල තියන්න යන තරුණ වැඩ සටහනකට නිමල්තුත් යවන්නයි අපි ලැහැස්ති වෙන්නේ… මම මාදුළුවාවේ සෝභිත ලොකු හාමුදුරුවන් වහන්සේටත් මේ ගැන කිව්වා. උන්වහන්සේත් බොහොම සතුටු වුණා… අවුරුදු හතරක්- පහක් තිස්සේ නිමල් press එක වෙනුවෙන් වෙච්චි මහන්සියත් අපි දන්නවනේ…. ඔයාට මේ වගේ අවස්ථාවක් ලබෙන්නම ඕනි!” ලාල් අයියා තේරුම් කළේ එහෙමය. එහෙම වුණත් මං ඒ ගැන දිගට හිතුවේ නැත. 

මං තජකයේ වැඩ කළේ… (ආසියාවේ ජනගහණය කෝටි 300 වෙන දවසේ ‘නිදි’ දෙසුමක් කරමින්….)

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ, තජකයට බැඳී මා කටයුතු කළේ එහෙම වාසි බලාගෙන-පතාගෙන නොවේ. TYOS; Temperance Youth Organization of Sri Lanka හෙවත් සමස්ත ලංකා අමද්‍යප තරුණ සංවිධානයට මා සම්බන්ධ වුණෙත් එහෙම දුර-දිගක් හිතලා නොවේ.

තජකයේ සභාපති තනතුර එකම එක අවුරුද්දක් විතරක් දරන කෙනෙකුට, ඒ වසරේම පැවැත්වෙන විදෙස් වැඩ සටහනකට ගිහින් එන්නට අවස්ථාවක් දීම, සම්ප්‍රදායක් විදිහටම කෙරීගෙන ඇවිත් බව මං දැන ගත්තෙත් 1984 සභාපති තනතුර බාරගත්තාට පස්සෙය.

ඊට මාස ගණනාවකට පසුව ශ්‍රීලංපසංස විධායක අධ්‍යක්ෂ A මහතා තජක රැස්වීමකට සහභාගී වෙන්නට ඇවිදින් ඒ විත්තිය කියන වේලාවේය.

“සභාපතිතුමා, මම දිගටම යූත් එකේ රැස්වීමට සහභාගී වෙන්න නෙවෙයි ආවේ. විශේෂ කාරණයක් කියලා යන්න. මේ අවුරුද්දෙත් යූත් එකට අවස්ථාවක් තියෙනවා ෆොරීන් ටුවර් එකකට යන්න…. එක් කෙනෙකුට විතරක් නෙවෙයි දෙන්නෙකුටම! ඉතින්, වෙනදා වගේ chairmanට විතරක් නෙවෙයි සෙකට්‍රිටත් ඒකට යන්න පුළුවන්. ඒ දෙන්නම යන්න ඕනෙයි කියලා මම කියන්නෙ නෑ. ඔහෙලාම තීරණේ කරලා, මට කියන්න. හැබැයි ඉක්මනටම…. මොකද, මම ඉතිරි වැඩ ටික ඔර්ගනයිස් කරවන්න ඕනිනේ!” එහෙම කියලා A මහතා පිටත්ව ගියේය.

පස්සේ ඒ මාතෘකාව ගැන සාකච්ඡා කෙරෙද්දී මර්වින් බොතේජු හිතවතා විකල්ප අදහසක් ඉදිරිපත් කළේය. 

“මෙච්චර කාලෙකට හිටපු චෙයාර්මන්ලා හැමෝටම මේ චාන්ස් එක ලැබිලා තියෙන බව ඇත්ත. ඒත් ඒ, අවුරුද්දකට එක්කෙනාට ගණනේ….. මේක ලොකු දෙයක්නේ, එක සැරේ දෙන්නෙකුටම යතෑකිනෙ! මේ අවුරුද්දේ ඉන්දිරා සෙකට්‍රි නිසා, මම කැමතියි යෝජනාවක් කරන්න. අපි ඉන්දිරා එක්ක සුනීතාව යවමුද? අපිට මෙච්චර කැප වෙලා වැඩ කරන සුනීතාට FPA එකෙන් නම් මෙහෙම දෙයක් ලැබෙන එකක් නැහැනෙ.”

වමේ සිට: (හිටගෙන-) සුනීතා රත්නායක, ඉන්දිරා හෙට්ටිහේවා (වාඩිවී) අසෝක කපුරුගේ, ඩී.ඩී. පද්මසිරි, මර්වින් බොතේජු, ලාල් හේවාපතිරණ, අනුර ජිනදාස, ප්‍රසන්න පනංගල ‘නිදිත්’ එක්ක 2020 මාර්තු 14 වෙනිදා ලාල් අයියා හමුවන්නට ගොස්….

එතකොට වසර දහයකට ආසන්න කාලයක් තජකයේ සියලු කාර්යාලයීය කටයුතුත්, සම්බන්ධීකරණ කටයුතුත් අකුරටම ඉටු කරමින් හිටියේ සුනීතාය. FPA ආයතනයේ සේවය කළෙන්, සුනීතා නිල බලයෙන් තජකයට සම්බන්ධවී සිටියාය. 

“එතකොට නිමල්ට?” කවුදෝ ඇහුවේය.

“නිමල්ට තව ඉස්සරහ අවුරුද්දකදී හරි මේ වගේ චාන්ස් එකක් ලැබෙන්න තියෙන ඉඩ ගොඩයි. කවදාවත් සුනීතාට තනියම මෙහෙම ගමනක් යන්න FPA එකෙන් ඉඩක් ලැබෙන්නෙ නෑ. ඉන්දිරා එක්ක යන්න දෙනවා නං, සුනීතලගේ ගෙදරිනුත් අවසර දෙයි. කෙල්ලොම දෙන්නෙක්නෙ… හැබැයි මෙහෙම කරන්න වෙන්නෙ නිමල් කැමැත්ත දෙනවා නං විතරයි! මම මගේ අදහස කිව්වා විතරයි ඔන්න….”

ඒ යෝජනාවට මගේ මනාපය එක හිතින්ම දුන් බව නොකිවමනාය.

ඉතින්, ඒ අවුරුද්දේ පිටරට ගමන ගියේ ඉන්දිරාත්, සුනීතාත්ය. එහෙත් අර කියැවුණු විදිහට මට යළිත් එවන් අවස්ථාවක් ලැබුණේ නැතිය. ‘ලැබුණේ නැතිය’ කියනවාට වඩා මං කැමති ‘ලැබීම වළක්වනු ලැබිණි’ කියලා ලියන්නටය. ටිකෙන්-ටික මා තේරුම් ගත් ඒ රහස ගැන මෙතෙක් කාලයකට මා කතා කොට නොමැත. එදා තජක රැස්වීමේ හිටි මර්වින්, ඉන්දිරා, සුනීතා තිදෙනාම තවමත් නිතර හමුවෙද්දී පවා…..

තජක ඇඳුම් මැසීමේ පුහුණු පන්තියේදී උපදේශිකා ගීතා ශ්‍රීමතී මිය උපදෙස් දීමක ….

තජකයේ ඇඳුම් මැසීම පුහුණු කරවීමේ පන්තියට පැමිණි සිසුවියක් සිටියාය. ඇය තරුණ කටයුතුම කෙරෙන ආයතනයක සේවය කරමින් සිටි එකියකි. හිටියෙත් මහරගමමය. අපේ වැඩ සටහන්වලට සහභාගිවී නායකත්ව පුහුණුව ලද ඒ තරුණිය දක්ෂ එකියකද වූවාය. (ලිවීමේ පහසුව තකා, මෙතැන් සිට මම ඇය රතී ලෙස නම් කරමි.)

“අපේ ගෙදරින් ඉඩ දෙන්නෙ නෑනෙ රැයක් දෙකක් පිට නවතින්න. අම්මව ෂේප් කර ගත්තත් අයියලා…..” පිට පලාතක වැඩ සටහනකට යන්නට රතීට අඬ ගසුවාම ඇය කීවාය. (එහෙම ගමනක් යද්දී හැම විටම අපි තනි සාමාජිකාවක් විතරක් කැටුව නොගියෙමු. ඒ සම්ප්‍රදාය බිඳුණේ එකම-එක වතාවක් පමණකි.) 

“අපි ඇවිල්ලා අම්මටයි, අයියලටයි කිව්වොත්?” මම ඇසීමි.

“අනේ එහෙම කරන්න පුළුවන් නම් උඹට පිං නිමල්… මාත් ආසයි උඹලත් එක්ක programe එකකට ගිහින් බලන්න.”

“ඔව්, ඔව්. ඔහොම වරම් ගන්න වැඩකට යවන්න හොඳම එකා නිමලයා තමයි. ඌත් මහරගම එකානේ… උඹ ගිහින් බලපං මචං.” හැම දෙනාම කීවෙන් ඒ ගෙදරට ගියෙත්, කරුණු කීවෙත්, අවසරය ගත්තෙත් මේ නිමල් දිසානායකයන්මය. (ඒ වෙද්දී රතීට පෙම්වතෙකුත් සිටි බව අපි දැනගෙන සිටියෙමු. ඇයම ඔහුව අපට හඳුන්වා දීලාත් තිබිණි.) ඉන්පසු රතී වසර ගණනාවක්ම අපත් සමඟ විවිධ වැඩ සටහන් රැසකටම සහභාගී වීමද කළාය. ඒ අතර දිනෙක, හදිසියෙන් ඒ නිවසට ගිය වෙලාවක රතී නොසිටියෙන් අම්මා මා එක්ක කතාවට වැටුණාය. අහම්බෙන් ඇය කියූ දෙයකින් මම ගල් ගැසුණෙමි. 

“පුතාලා ගිය සුමානෙත් දවස් තුනක්ම වැඩ සටහන්වලට ගිහිල්ලා ඇවිත් මහන්සි නැද්ද, මේ සුමානෙත් යන්න හදන්නේ? අපේ දුවට නං ඔහොම මේ සතියෙත් යන්න නිවාඩු නැතිවත් ඇති මගෙ හිතේ….”

බොරු දෙසා බාලා මේ යක්ෂ කෙල්ල කොහෙද ගියේ?

ඒ වචන ටිකෙන් එළිදරව් වුණු කතන්දරය තේරුම් ගැනීම මට අසීරු නොවිණි. ‘තජකයෙ නම විකුණල මේ  යක්ෂ කෙල්ල කොහෙද ගියේ?’

නරක වෙලාවටය මෝල් ගහත් පත්තු වෙන්නේ!

රටේ ඉහළම ප්‍රභූවරයෙකුගේ ළඟය, රතීගේ පෙම්වතා සේවය කළේ. එදාම ඔහු අප හමුවට ඇවිත්ය. අර මොකුත්ම නොකියා ඒ හාදයාත් එක්ක කෙරුණු කතාබහේදී හෙළි වුණේ, අර සති අන්තයේ එයා ලොක්කාත් එක්ක ගිය දුර ගමනක් ගැනයි! හාරලා-පාරලා බැලුවාම කොල්ලාගේ කතාව ඇත්තය. ඒකා දුකකුත් කිව්වේය. “දැන් රතීව හම්බ වෙන්නත් හරි අමාරුයි! ඉස්සර තරං එයාට වෙලාවකුත් නැතිලුනෙ…..”

එතකොටත් හතර වටේටම ටිකෙන්-ටික තොරතුරු කාන්දු වෙලා තිබුණු බව අප දැනගත්තේ පස්සෙන් පහුය.

‘රතී එයාලගෙ office එකේම බැඳපු මිනිහෙක් එක්ක නඩලං ගහනවා!”

තජක කමිටු රැස්වීමකදී, නමක්- ගමක්- අයුරුවක් සඳහන් නොකොට මම ඒ ගැන කීවෙමි.

“මට ආරංචි විදිහට අපේ තජකයේ නම දඩමීමා කරගෙන සමහරුන් අයුතු ප්‍රයෝජන ගන්නවාලු. කරුණාකරලා මින් මනත ඒ වැරැද්ද කරන්න එපැයි කියලා, අනතුරු අඟවන්න කැමතියි. තම-තමන්ගේ පුද්ගලික ජීවිත ගත කරන විදිහ ගැන අපි නීති දමන්න යනවයි කියලා හිතන්න එපා. ඒ නිදහස කාටත් තියෙනවා. හැබැයි තජක නම විකුණන්න එපා! ඒකට අවනම්බුවක් වෙන විදියට වැඩ කරලා, youth එකට තියෙන පිළිගැනීම-ගෞරවය විනාශ කරන්න එපා.”

විද්දේ පඳුරට වුණත් ඊතලේ ….

විද්දේ පඳුරට වුණත් ඊතලය හාවාටම වැදී තිබිණි. මා පහර දුන්නේ එළිපිටමය. මට පෙරළා පහර දී තිබුණේ නම්, මගේ අනභිමුඛයේදී හොර- රහසෙනි.

රතී A මහතාට මොනවා කීවාදැයි මම නොදනිමි. A මහතාත් ආයතනයේ ඉහළම තනතුරුලාභිනියක සමඟ කෙරෙන අනියම් පෙම ශ්‍රීලංපසංස කාටවත් රහසක් නොවිණි. මට හිතා ගන්නට තියෙන්නේ, රතී ඉතා හොඳින් ගින්නක් අවුළුවන්නට ඇති බවයි; කිල්ලෝටයේ හුණු තිබෙන උදවිය, බුලත් විට හපන්නන්ට කැමැති ඇති බවයි.

අර හොඳේ තරම කියන්නට හැක්කේ යළි විදෙස් ගමනකට මගේ නම යෝජනා නොවීමෙනි.

එහෙම මට විණ කැටුවා වුවත්, අදටත් ඇය පිළිබඳව මට ඇත්තේ මහත් ලැදියාවකි. ඒ තරමටම ‘ගට’ තියෙන වෙනින් කෙල්ලෙකු ගැන මගේ මතකයට නොඑයි! ‘කොච්චර ගටක් තියෙන්න ඕනිද, අර කොල්ලව බැඳපු දවසෙත් ඌව අතෑරල දාලා, වේල් එක පිටින් හොර මිනිහා ළඟට දුවන්න හිතුණය කියලා ලියුමක ලියන්න. කොල්ලමයි දික්කසාද නඩුවට රතීගේ ඒ ලියුම ඉදිරිපත් කරලා තියෙන්නෙ!’

රතීගේ ගට්ස් ගැන සලකමිනි, මගේ සම්පූර්ණ ලකුණු එයාට දෙන්නේ! හරි හෝ වේවා වැරදි හෝ වේවා, මා කැමති තිර ගති තිබෙන අයටය; වැනෙන පෙන්දන්ට නොවේ!

(එදා මා කටයුතු කළේ නිවැරදි ආකාරයෙන් බවට හොඳ සහතිකයක් අවුරුදු 15කට විතර පසුව ලැබුණේය. අප සමඟ උරණවී සිටි රතී, මහරගමදී මා ළඟටම ආවේ, මා ඇයව නොදැක සිටි වෙලාවකය. “…. කොහොමද නිමල්?…. මම xxxන්නව බැන්දා, එයත් ඩිවෝස් වුණාම….. බබාලත් ඉන්නවා.”

එපමණකුත් නොවේ. දැන් ඒ පවුලම විදෙස් රටකය. අවුරුදු දෙක තුනකට පෙර රතී නැවතත් මා හා දුරකතනයෙන් කතාත් කළාය.)

දැක්ක ගමන් පැහැදෙන්න එපා!

එදා ඔය කතාව ලාල් අයියාට කියන්නට නොසිතුණේත්, මගේම ආරස්සාවටය. කිව්වා නම් ලාල් අයියා මතක් කරනවා ඇත්තේ පරණ උපදේශයකි.

“මම නිමල්ට කියලා තියෙනවා නේද, එක පාරටම කවුරු ගැනවත් පැහැදෙන්න එපැයි කියලා. තව කෙනෙකුට සහතික දීලා; ඇප වෙලා මැද ඉන්න එපැයි කියලා… වැරදුණාම තමුන්ටමනෙ හානිය…”

තජකයට තරම් සම්පත් නැතත් සලඅතසයටත් අරමුදල් හොයා ගන්නට ලාල් අයියා සමර්ථ වුණේය. අමද්‍යප මුද්‍රණාලයත් එහෙම සොයාගත් මුදල්වලිනි ආරම්භ කළේ. පසුව අලුතෙන් බිහිවූ ADIC ආයතනයට පවා සම්බන්ධ වෙමින්, අමද්‍යපය නංවන්නට ලාල් අයියා යොදාගත්තේ ඔහුගේ සංවිධාන ශක්තියයි; මෙහෙයවීමේ කුසලතාවයයි; ව්‍යාපෘති ලිවීමේ සූරකමයි. 

නිදිගෙ පංච තන්තරේ ලියද්දී මගේ මතකය වගේම මට උදව් වෙන්නේ, ගෙදර පුරාම ගොඩ ගසාගෙන; පුරවාගෙන ඉන්නා ‘ලට-පට’ ගොන්නයි.

“තමුසෙව සොහොන් කරන්නද හලෝ මේ පරණ පත්තරයි, පොතුයි, කුණු ගොඩවලුයි පොදි ගගහා තියාගෙන ඉන්නේ?” නෙවිල් කිහිප දවසක්ම කිව්වේය. කියල විතරක් නිකං හිටියෙත් නැත. එක දවසක් අයස්මන්තත්, මර්විනුත් එක්කලා මං නාවලපිටියේ, දොළොස්බාගේ දේවාලයට ගිය අතරේ ලොකු අපරාධයකුත් කළේය. අර ‘වළන් කඩේ’ සම්පත් රණසිංහත් ඒකට උදව් කළේය. දෙදෙනා එක්ව මගේ ලටපටවලින් 1%ක් විතර ගිනිබත් කළෝය. 

අනුර ජිනදාස සොහොයුරා ‘හොංකොං’ ගමන ගැනත් කියමින් 1989 එවූ ලිපියක්….

“නිමල් අයියේ… ඔන්න අපි දෙන්නා ඔයාට ලොකූඌඌඌ උදව්වක් කරන්න පටන් ගත්තා….” ගින්න ඇවිළෙන අතරේ සම්පතා, මර්වින්ගේ මොබයිලයට කතා කරලා උජාරුවෙන් මට කිව්වාත් එක්කය. “…. මේ ගෙදර තියෙන පරණ කුණු ගොඩවල් සේරම කොනක හිටලා පුච්චන්න ගත්තා…..”

ඒ වෙලාවේ මට එහෙම කිව්වායින්, ටෙලිෆෝනය හරහාම අතිභයානක තර්ජනයක් කොට ඉතිරි 99% බේරා ගන්නට නිදිට ඇහැක් වුණේය. එහෙම බේරා ගත්තු ඒවායිනුත් කොටහකට පාඩාවි වේයන් හා මීයන් වැඩේ දීලාය. සිදු වුණු පාඩුව තවම ගණන් බලා නැත! ඒත් එහෙම විනාශ විනැයි හිතූ ලිපියක් හම්බ වුණේ, බ්ලොගයකට foto දෙක-තුනක් හොයද්දීය. ලිපිය ලියා තියෙන්නේ එවකට සලඅතස ගරු භාණ්ඩාගාරික අනුර ජිනදාස සොහොයුරාය. (මගේ විවාහය ගැන හරිගිය අනාවැකියක් කියූ කෙනාය. එතකොට ජ්‍යෝතිෂ්ශාස්ත්‍රඥයෙකු නොවූ ඔහු දැන් ඒ ගැන පොතකුත් පළ කර තිබෙයි!) 

   16.10. 89

   ගෙදරදී.

   නිමල්,

අද හමුවෙන්නට බලාපොරොත්තුවෙන් හිටියත් පමාවූ නිසා නොකියාම යන්නට සිදුවුණා. ඒ ගැන අමනාප නොවන්න.

මීළඟ සතියේ සඳුදා තමා අපට මුදල් ලැබෙන්නේ. ඒ ලැබෙන්නෙත් රු.70,000/-ක් පමණයි. අපේ ඇස්තමේන්තුව නම් මාසයකට අප සාමාන්‍යයෙන් පවත්වන කටයුතු පවත්වා ගැනීමට රු.25,000/-ක් පමණ අවශ්‍ය බවයි.මේ අඩුවට හේතුව ඔබගේ ගමන සඳහා රු.52,000/-ක් පමණ වෙන්කර තිබීමයි. මේ කටයුත්ත සිදු නොකර, ඔබ හොංකොං නොගොස් සිටියොත් අපට රු.1,00,000/-ක් අහිමිවී යනවා. ඉතිං මට මේ පහත සඳහන් කරුණු පිළිබඳව steering committee හි අනුමැතිය අවශ්‍යවී තිබෙනවා………..”

හොංකොං ගමනට කීයක් ගියාදැයි….

මගේ හොංකොං ගමනට කීයක් වැය විණිදැයි නිශ්චිතව දන්නේ නැතත්, ඒ ලිපියේ මේ කොටස මෙතැනට එබුවේ 1989 වියදම් ගැන හැඟීමක් ඇති කර ගැනීම සඳහාය.

ඒ හොංකොං ගමන සතියක එකකි!

“නිමල්, Conference එකේ ඔර්ගනයිසර්ස්ලා හොංකොංවල ‘හාබර් විව් ඉන්ටර්නැෂනල් හවුස්’ එකේ කාමරයක් ඔයාටත් බුක් කරලා තියෙන්නෙ දවස් දෙකකට. ඩුවල් රූම් එකක්. හැබැයි නිමල් එතැන හොඳ වුණාට රේට්ස් ඉහළයි. ඔයාට වියදමට දෙන සල්ලි ඇති, සතියම  ඒකෙ ඉන්න වුණත්. හැබැයි, ඔහොම වැඩ සටහන්වලට යනකොට අපි හැමෝම කරන්නේ- ඉතිරි දවස් ටිකට ලාබ තැනක් හොයාගන්න එක.

-ඒක ඔයාගේ වැඩක්! තව එකක්…. ඔය බිස්කට්, මාළු ඇඹුල් තියල්, සීනි සම්බෝල වගේ දේවල් ටිකක් ගෙනියන්න පුළුවන් නම් පාන්- බටර් වගේ දේවල් එක්ක උදේ වේල පිරිමහගන්න පුළුවන්… අඩු වියදමකින්…!” ලාල් අයියා කියව්වේ මගේම යහපතටය.

ගමනට පෙර මගේ වියදම් සඳහා ප්‍රමාණවත් මුදලක් මට ලබා දෙන බවත් එවෙලේ කියැවිණි. එහෙත් ඒ ගණන් හිලවු නම් මට මතක නැත.

“ම්ම්ම්ම්ම් තව වැදගත් කාරණයක්…. නිමල්ට මතකද අර ෆස්ලුල් හක්?”

1989.11.13 හමුවකදී: ඇමති ටිරෝන් ප්‍රනාන්දු, ඇමති වි.ජ.මු. ලොකුබණ්ඩාර මහත්වරුන් හමුවූ ෆස්ලුල් හක්. (දකුණු කෙලවරේ- කමල් වලේබොඩ මහතා…)   

හමු වුණු ඕනෑම කෙනෙකුට ඒ මනුස්සයාව අමතක වෙන්නට බැරිය; වඩාත් හොඳින් කියන්නේ නම් අමතක කරන්නට බැරිය.

ෆස්ලුල් හක් ලාංකිකයෙක් නොවේ. බංගලියෙකි; බංග්ලාදේශ ජාතිකයෙකි! සම්මන්ත්‍රණ කාක්කෙකි!! මට එහෙම හිතුණාට මං එව්වා ලාල් අයියාට කියන්නට ගිය එකක් නැතිය.

එතකොටත් ෆස්ලුල් හක් මහත්තයා International Organization of Good Templers ආසියානු කලාපයේ ගරු සභාපතිය……….

ඉතින් මං හාවෙකුසේ කන් දෙකම පුළුවාන් තරම් දික් කරගෙන බලා හිටියේ ලාල් අයියා ඊළඟට, ඒ ‘හක් ගෙඩියා’ ගැන කියන්නේ මොකක්දැයි අසා ගන්නටය!

%d bloggers like this: