Menu Close

පතොක්

එක සීරුවට වැටෙන වැස්ස නිසා බැල්කනියෙන් පදාසයක්ම තෙමිලා බව නිම්නාට පෙනුණා. ඈත පේන මානයක් යනකම් තිබුණේ තෙතබත් වෙලා වෙව්ලන ගස්වල මුදුන්. මේ වැස්ස වැටෙන්න පටන් ගත්තේ ඊයේ හවස. හීතලට දෑත පෙරවාගෙන ආයෙත් ගේ ඇතුළට එන්න කළින් නිම්නාගේ ඇහැ ගැටුණේ බැල්කනියේ මුල්ලකට එකතුකරලා තිබුණු මල් පෝච්චි ටික. තදින් වැටුණු වැස්සෙන් හෙම්බත්වෙලා බෝගන්විලා පඳුරු අතු ඉති නමාගෙන, බිම බලාගෙන හිටියා. ඒ කිසිම දේක වගක්වත් නැතිව හිටියේ පතොක් පෝච්චිය විතරයි.
නිම්නා ගේ ඇතුලට ගියේ බැල්කනියට ඇරුන වීදුරු දොර සද්දෙට වහගෙන. ඒ සද්දෙට සාලයේ බිත්තියේ ගහලා තිබුණු පින්තූරයත්, මේසය උඩ තිබුණු පිඟන් කෝප්පත් වෙවුලුම්කෑවා. එක දෙයක් ගැන තියෙන නොරිස්සුම, කේන්තිය තව දෙයකින් පිටකරන එක ගැන තාත්තා හිටියා නම් පොඩි පහේ දේශනයක් අහගන්න තිබුණු බව නිම්නා දැනගෙන හිටියා. දොරේ දෙදරුමට ඇදවුණු රාමු කළ පින්තූරය කෙළින් කරන ගමන් නිම්නා තමන්ට දැනෙන මේ කේන්තිය තේරුම්ගන්න ආයෙත් උත්සාහ කළා.
මේ පින්තූරයේ නිම්නාට වයස අවුරුදු දෙකක් විතර ඇති. ඒකෙ නිම්නා හිටියේ තාත්තාගේ අතේ, තාත්තාගේ කන්නාඩිය දාගෙන. පින්තූරේ නිම්නාගේ පුංචි මූණෙන් බාගයක් වැහුණු කන්නාඩිය දිහා බලාගෙන තාත්තා හිනාවෙනවා. නිම්නාත් තාත්තාට කට ඇරලා ලොකු හිනාවක් දෙනවා. මේක සාහිත්‍ය උත්සවයකදී කවුරුහරි තාත්තාගේ කැමරාවෙන් අහම්බෙන් ගත්ත පින්තුරයක් බවත් ඒකෙ ලස්සන නිසා රාමු කළ බවත් තාත්තා කියන කතාව නිම්නාට කටපාඩම්. මේ වගේ රාමු කළ පින්තූර කීපයක්ම පරණ ගෙදර තිබුණා. ඒවා අතරින් තට්ටු ගෙදර බිත්තියක එල්ලෙන්න වරම් ලැබුණේ මේ පින්තූරෙට විතරයි. අනෙත් පින්තුර ටික පොත් පත්, ඇඳුම්, සපත්තු එක්ක කොහේ හරි පෙට්ටියක, සූට්කේස් එකක තියෙන බව නිම්නා දැනගෙන හිටියා. මේ ගෙදර පදිංචි වෙලා දවස් දහයක් ගියත් වුවමනාම බඩු ටිකක් විතරක් එලියට අරගෙන ඉතුරු බඩු අස්නොකර ඉන්න නිම්නාගෙන් ඒ ගැන තාත්තාත් කිසි දෙයක් ඇහුවේ නැහැ. බිත්තියේ එල්ලෙන්න වරම් නොලැබුණු පින්තූර අතරේ අම්මා තරුණ කාලේ පින්තූරයකුත් තිබුණා. ඒක අම්මා, ඉස්සර දවසක අම්මාගේ හොඳම යාලුවාගේ මඟුල් ගෙදර යන්න කලින් ස්ටුඩියෝ එකකට ගිහින් ගත්ත බව අම්මා කාට හරි කියනවා නිම්නාට මතකයි. ඉස්සර ක්‍රමේට පින්තූරයකට පෙනී ඉන්දැද්දී අහක බලාගෙන හිටියත් ඒ පින්තුරයේ අම්මාගේ තිබුණේ හින්දි නිළියකගේ පෙනුමක්. ඒත් කවදාවත් ඇස් දෙකට විහිදුණේ නැති අම්මාගේ හිනාව ඒ පින්තූරේදීත් එහෙමම බව නිම්නාට ඉස්සරත් තේරිලා තිබුණේ. බිත්තියේ නොඑල්ලූ අම්මාගේ පින්තූරය ගැන ආයෙත් හිතද්දී නිම්නාට හදිසියේම මතක්වුණේ බැල්කනියේ තෙමෙන පතොක් පඳුර. 
තමන්ගේ පුංචි කාලේ පින්තූර පුරවපු පින්තූර ඇල්බම් වල අම්මා තමන්ව වඩාගෙන ඉන්න පින්තූර එකක්වත් නැති බව තේරෙන්න තමන්ට සෑහෙන්න කල් ගතවුණේ ඇයි කියලා නිම්නා හරියටම දන්නේ නැහැ. තාත්තාගේ ආදරේ නොඅඩුව ලැබුණු නිසා අම්මා හැමතිස්සෙම හිටියේ තමන්ට වඩා අඩි තුන හතරක් ඈතින් බව නිම්නාට තේරෙන්න කල් ගතවෙන්න ඇති. ඉස්කෝලේ ගියාට පස්සේ පන්තියේ ළමයි ඒ අයගේ අම්මලා එක්ක කළ කී දේවල් ගැන කියද්දී, අම්මලා ඒ අයට මහලා දීපු ලස්සන ගවුම් ගැන, උපන්දිනවලට හදලා දීපු රස කෑම ගැන කියද්දීය මෙතැන මොකක්දෝ අඩුවක් තියෙන බව නිම්නා ට දැනෙන්න පටන් ගත්තා. මුල ඉඳන්ම නිම්නාගේ ජීවිතේ පාට ගෑවේ තාත්තා. නිම්නා පුංචි කාලේ තාත්තා එයාව අරගෙන ගිය ගමන් වලදී අම්මාත් හිටියාද කියලා තමන්ට මතක නැති බව දවසක් එයාට හදිසියේ තේරුණේ තිගැස්මක් එක්ක. ‘අම්මා ඉන්න ඇති, නැතිවෙන්න බැහැනේ’, එදා නිම්නා තමන්ටම කියාගත්තා. ඒත් ඒ ගමන් වලදී අඹ අච්චාරු කාපු හැටි, පාර අයිනේ වෙළෙන්දෙක්ගෙන් රූං පෙත්තක් අරගත්ත හැටි, මින් මැදුරේදී නිම්නාගේ තොප්පිය නැතිවුණු හැටි වගේ පුංචි පුංචි දේවල් මතක නිම්නාට ඒ ගමන් වලට අම්මාත් එකතු උනාද කියලා මතක තිබුණේම නැහැ.
අම්මා බොහොම කාර්යබහුල කෙනෙක් බව නිම්නා පුංචි කාලේ ඉඳන්ම දැනගෙන හිටියා. අම්මා දවසෙන් වැඩිහරියක් ගත කළේ කරදරයට පත්වුණු ළමයි එක්ක. ළමා මනෝවෛද්‍යවරියක් වුණු ඈට ළමා මනස හොඳින් තේරුම් ගන්න තිබුණු දක්ෂකම, හපන්කම ගැන පත්තරවල පවා නිතර සඳහන් වුණා. විභාගය කිට්ටු නිසා පාඩම් කරන්න හිතාගෙන ඉස්කෝලේ නොගිහින් ගෙදර නැවතුනු ඉස්සර දවසක, උදේ වරුවට විකාශය වුණු රූපවාහිනී වැඩසටහනක අම්මා කතාකළ හැටි නිම්නා දැක්කේ අහම්බෙන්. අම්මා රුපවාහිනී සාකච්ඡා වලට නිතර යන බව දැනගෙන හිටියත් ඒ එකක්වත් බලන්න උනන්දුවක්, වුවමනාවක්, වෙලාවක් නිම්නාට තිබුණේ නැහැ. ගෙදරක දරුවන්ට ආදරය, ආරක්ෂාව පිරුණු පරිසරයක් හදන හැටි ගැන පියවරෙන් පියවර විස්තර කරමින් අම්මා එදා ඒ වැඩසටහනේදී මවලා දුන්නු පරිසරය ගැන නිම්නා අහගෙන හිටියේ පුදුමයෙන්. අම්මලා තාත්තාලා දරුවෝ එකට කෑම කන, දරුවන්ට නින්ද යනකම් අම්මලා කතන්දර කියන පවුල්! ඒ විස්තර කියමින් ඉන්නේ තමන්ගේ අම්මා බව හදිසියේම මතක් වුණාම නිම්නාගේ දැහැන හරි ඉක්මණින් බිඳුනා. 
නිම්නා කුස්සියට ගියේ මේ පරණ මතක අමතක කරලා කන්න දෙයක් ලෑස්ති කරන්න හිතාගෙන. තට්ටු ගෙදර පදිංචියට ආව දවසේ ඉඳන් තාත්තා හැමදාම වැඩ ඇරිලා එද්දී හන්දියේ කඩයකින් කෑමට දෙයක් අරගෙන එන්න පුරුදු වෙලා හිටියා. ඒත් තාත්තා එහෙම කෑම ගේන්නේ තමන් උයන්න කරදර වෙනවාට අකමැත්තෙන් බවත්, තෙල් මිරිස් පිරුණු ඒ කෑමට තාත්තාගේ ලොකු මනාපයක් නැති බවත් නිම්නා දැනගෙන හිටියා. උයන්න වුවමනා වලං පිඟන් හොයාගන්න නම් කුස්සියේ මුල්ලක ගොඩගහලා තිබුණු කාඩ්බෝඩ් පෙට්ටි අස් කරන්න ඕන බව දැනගෙන නිම්නා පුටුවක් ඇදගෙන ඊට කිට්ටු වුණා. 
අම්මා ඉස්සර කැමැත්තෙන් කළේ මල් පැල වලට සාත්තුවත්, ඉඳහිට කළ ඉවිල්ලත් විතරම බව නිම්නාට මතක් වුණේ පෙට්ටිවලින් පිඟන් කෝප්ප එලියට ගනිමින් ඒවා තැන් තැන් වල තියද්දී. ඒ කාලේ ගෙදර උයන රාජකාරියට රාණි අම්මා හිටියත් විවේකයක් තිබුණු දාට එක එක්කෙනාට කෑමට එන්න කියන්න, ඒ අය වෙනුවෙන් කෑම වට්ටෝරු පොත් බලාගෙන කෑම ජාති හදන්න, ඒ කෑමවලට අමුත්තන්ගෙන් ප්‍රශංසා ලබන්න අම්මා ආසා කළා. මේ විදිහට නිතරම ආවේ අම්මාගේ යාළුවො මිසක් තාත්තාගෙ යාළුවො නම් නෙමෙයි. අම්මා එක්ක එකට වැඩ කළ දොස්තර යාළුවො, අම්මා එක්ක වෛද්‍ය විද්‍යාලයේ හිටිය පරණ මිතුරියෝ මේ විදිහට නිතර ආවා ගියා. ඒ අය එන දවසට කෑම වෙලාවට විතරක් පෙනී ඉඳලා ආයෙත් අතුරුදහන් වෙන්න තාත්තා අම්මා එක්ක වචන නැති ගිවිසුමකට එළඹිලා තිබුණු බවක් පෙනුණා. ‘අපෝ මහේන්ට අඬගහලා වැඩක් නැහැ, එයා පොතක ඔලුව ඔබාගෙන ඇති!” තාත්තා ගැන අහන යාලුවන්ට අම්මා එහෙම කීවේ හිනාවෙමින්. ඒත් අම්මා සතුටින් ඉන්න බව පෙනුණු ඒ සාදවලදී වුණත් අම්මාගේ හිනාව කවදාවත් ඇස් දෙක වෙනකම් පැතිරුණේ නැති බව ඒ කාලෙත් නිම්නාට හිතුණා. පුංචිම කාලේදී නිම්නා මේ සාද වලදී අම්මා ළඟ දැවටෙමින් ඉන්න උත්සාහ කළත් වැඩි කල් නොගිහින් එයා ඒ වෙනුවට තාත්තාගේ පොත් පිරුණු කන්තෝරු කාමරය තෝරාගත්තා. තාත්තා කතා නොකළත් ළඟ ඉන්දැද්දී කාමරයත් හිතත් පිරෙන බවත්, සාදයේ සෙනඟ පිරිවරාගෙන ඉන්න අම්මා ලඟදි දැනෙන පාළුව තනියම පොතක් කියවමින් ඉන්න තාත්තා ළඟ නොදැනෙන බවත් නිම්නාට බොහොම ඉක්මණින් තේරුණා. ඉතින් වැඩි කල් නොගිහින් අම්මාගේ මිතුරු සාද වලදී උස් හඬින් ඇහුණේ “අපෝ ඒ දෙන්නාට අඬගහලා වැඩක් නැහැ, තාත්තයි දුවයි පොත් දෙකක ඔලු ඔබාගෙන ඇති!’ කියන අම්මාගේ කටහඬ. 
මේ ඇරෙන්න රාජකාරී නොකළ හැම විවේක වෙලාවක්ම අම්මා ගත කළේ මිදුලේ මල් පැල අතරේ. රට පුරාම තැන් තැන් වලින් ගෙනා එක එක වර්ගවල මිල අධික මල් පැල ජාති වත්ත පුරාම හැම තැනම හිටවලා තිබුණා. ඒවා තැනින් තැනට මාරු කරමින්, පෝර දාමින්, වතුර දාමින් ඒ වගේම සමහර දවස්වලට ඒවා උදුරලා දාමින් අම්මා ගෙවත්තේ කාලය ගත කළා. මේ හැම පැලයකම එක විශේෂත්වයක් තිබුණා. කොයිතරම් ලස්සන මල් පිපෙන වර්ගයක් වුණත් ඒ හැම පැලයකම කටු තිබුණා. අම්මා එක එක වර්ගවල ඉයුෆෝබියා පැල, බෝගන්විලා පඳුරු වලට මේතරම් ආදරය කළේ ඒවායේ කටු තියෙන බව නොදැන ද කියලා නිම්නාට හිතුණු වාර අනන්තයි. ඒත් ඒ ගැන අහන්න, විහිළුවක් කරන්න, අඩුම ගානේ අම්මාගේ වගා වැඩට සම්බන්ධ වෙන්න පුලුවන් පරිසරයක් ගෙදර තිබුණේ නැහැ. කොතැනක හිටියත්, මොනවා කළත්, හැමදාම මොකක්දෝ ලං වෙන්න බැරි නොපෙනෙන පවුරක් අම්මා වටේ තිබුණා. 
අම්මාගේ මල් වගාවට පතොක් පඳුරු එකතු වුණේ අවුරුද්දකට විතර උඩ දී. මේතරම් කල් අම්මා ගෙවත්තේ හිටෙව්ව කටු ගස් වල අඩුම ගණනේ මලක්වත් පිපුණත්, විස කටු වලින් පිරුණු පතොක් පඳුරු දකිද්දී නිම්නාට දැනුණේ මහා මූසල හැඟීමක්. ඒ හැම පතොක් පඳුරක්ම ‘මගේ කිට්ටුවට එන්න එපා!’ කියලා කෑ ගහලා කිව්වේ තමන්ගේ තියුණු කටු උලුප්පලා. පැල තවානේ ලොරියෙන් පතොක් පැල දුසිම් දෙකක් විතර ගෙවත්තට බාලා ගිය දවස නිම්නාට හොඳට මතකයි. එදා තමයි ඊට කලින් කවදාවත් අහලා නැති විදිහට අම්මායි තාත්තයි රණ්ඩු වුණේ. ඒ රණ්ඩුව අහගෙන ඉන්න බැරි නිසා නිම්නා ගෙදරින් එළියට දුවගෙන ඇවිත් මිදුලේ බංකුවකට වෙලා අඬමින් ඉන්දැද්දියි ඒ පතොක් පඳුරු ටික ගෙවත්තට ආවේ. ඒ රණ්ඩුවට හේතුව තාත්තා පස්සේ නිම්නාට කිව්වා. එදා ඉස්පිරිතාලයෙන් ආව දුරකථන ඇමතුමක් තාත්තාට නරක ආරංචියක් කියලා තිබුණා. අම්මාගේ මොලේ පිළිකාවක් බවත් ඒ වෙද්දී අම්මාත් ඒ බව දැනගෙන මාසයක් තරම් වන බවත් අම්මාට ප්‍රතිකාර කරමින් හිටිය දොස්තර තාත්තාට කියලා තිබුණා. සැත්කමක් කරලා ඉවත් කරන්න බැරි මේ පිළිකාව ගැන පවුලේ අයට කියන්න අම්මාව උනන්දු කළත් ඈ හැම වතාවකම ඒක ප්‍රතික්ෂේප කළ නිසා තමන් මේ පියවර ගත් බව ඒ දොස්තර තාත්තාට කියලා තිබුණේ කනගාටුවෙන්. 
තාත්තා තමන්ට මේ විස්තරය කියද්දීවත් අම්මාට කිසිම චෝදනාවක් නොකළ බව නිම්නාට මතකයි. නිම්නාගේ ඔලුව අතගාමින් කතා කළ තාත්තාගේ ඇස් දෙකේ කඳුළු පටලයක් තිබුණා. ඒ කතාව අහලා නිම්නාගේ හිත කීරිගැහිලා ගියත් එයාගේ ඇස්වලට නම් එක කඳුලක්වත් ආවේ නැහැ. 
එදායින් පස්සේ වුණත් ගෙදර ලොකු වෙනසක් වුණේ නැහැ. අම්මා ඊට පස්සේත් තමන්ගේ අසනීපය ගැන නිම්නා එක්ක එළිපිට කතා කළේ නැහැ. අම්මා තව ටික දවසක් වැඩට ගිහින් ගෙදර නැවතුණා. තාත්තා කිසි කතාවක් නැතිව රස්සාවෙන් නිවාඩු අරගෙන අම්මාව ප්‍රතිකාර වලට අරගෙන ගියා. ඒ වෙද්දී නිම්නා සරසවියේ පලවෙනි අවුරුද්දේ. දේශන ඉවරවෙලා පරක්කු නොවී ගෙදර එන්න නිම්නා පුරුදුවුණේත් ඒ කාලේදී. ඒකට හරියටම හේතුවක් නොතිබුණත් තාත්තාගේ හයියට හරි තමන් ගෙදර ඉන්න ඕන බවක් නිම්නාට දැනුණා. ප්‍රතිකාර නොතිබුණු හැම වේලාවකම අම්මා කාලය ගතකළේ ගෙවත්තේ. මීට කළින් අම්මා ආදරේ කළ මල් පැල හැම එකක්ම අමතක කරලා ඒ දවස් ටිකේ අම්මාගේ සම්පූර්ණ අවධානයම යොමු වෙලා තිබුණේ පතොක් පැල ටිකට. ඒ වෙද්දී එන්න එන්නම දුර්වල වෙලා හිටිය අම්මා අමාරුවෙන් ඇවිදිමින් පෝච්චි වල තිබුණු පතොක් පඳුරු අතගාමින් උන්නු හැටි නිම්නා ජනේලයෙන් බලාගෙන හිටියේ හිස් බැල්මකින්. වැඩිකල් ගත නොවී අම්මා ඇඳටම කොටුවුණා. අම්මාගේ සාත්තුවට ගෙදර අය අවශ්‍ය නැති බවත් ඒ වෙනුවෙන් ගෙදර නවතින්න සාත්තුකාරියක් අම්මාම ලෑස්ති කරලා තිබුණු බවත් තාත්තා නිම්නාට දවසක් කීවේ ඈත බලාගෙන. ඒ වගේම අවම ප්‍රතිකාර ලබන්න අම්මා අත්සන් කළ ලියවිල්ලක් ඇගේ දොස්තරට යවා තිබුණු බව තාත්තා දැනගත්තේ සුපුරුදු විදිහට දොස්තරගෙන් ලැබුණු දුරකථන ඇමතුමකින්. අම්මා ඒ දවස් වැඩිපුර ගතකළේ නින්දේ, එහෙම නැත්නම් කාමරයේ ජනේලයෙන් එළියේ පේන අහස දිහා බලාගෙන. ඒ දවස්වල නිම්නා ඒ කාමරයේ දොර ළඟ හිටගෙන ඇඳේ වැතිරිලා ඉන්න අම්මා දිහා බලාගෙන වරු ගණන් ගත කළා. ඉස්සර අම්මාගේ සාද වලට ආව මිතුරු මිතුරියෝ කිසිකෙනෙක් අම්මාව බලන්න නොආවේ අම්මා ඒ අයව වැළකුව නිසාද අම්මාගේ අසනීපය ගැන ඒ අය නොදැන හිටිය නිසාද කියලා කවුරුවත් කතා කළේ නැහැ. මිදුලේ තිබුණු එක පතොක් පෝච්චියක් ඒ කාමරේ ජනෙල් පඩිය උඩ තියලා තිබුණේ අම්මාගේ අණින්. අම්මා ඒවගේ දෙයක් ඉල්ලුවත් තමන්ගේ අන්තිම දවස් වලින් එක විනාඩි පහක් නිම්නා එක්ක කතාකරන්න නොඉල්ලන්නේ ඇයි කියලා නිම්නා නොහිතා ඉන්න උත්සාහ කළා. 
අම්මා නැතිවුණේ බදාදා දවසක දවාලක. සරසවියේ දේශනයක් ඉවරවෙලා එලියට එද්දී තාත්තාගෙන් මඟඇරුණු දුරකථන ඇමතුම් තුනක් තියෙනවා දැක්ක ගමන්ම මේ ඒ ආරංචිය බව නිම්නා දැනගත්තා. අම්මා අසනීප වුණු අලුතම පැහැදිලි අකුරෙන් තමන්ගේ අවමංගල්‍යය කළ යුතු හැටි ලියලා තාත්තාට දීලා තිබුණා. තමන්ගේ මිනිය මල් ශාලාවක තැන්පත් කරලා දවසක් ඇතුලත ආදාහනය කළ යුතු බවත්, අසල්වැසියන්ටත් අම්මාගේ ගමේ දුරස් නෑදෑයන්ටත් මරණය දැනුම් දෙන්න අවශ්‍ය නැති බවත් ඒ උපදෙස් අතරේ තිබුණා. අන්තිමේදී අතලොස්සක් සෙනඟ සහභාගී වුණු අම්මාගේ අවමංගල්‍යය හරි ඉක්මනින් ඉවර වුණා. ‘අති දක්ෂ ළමා මනෝවෛද්‍යවරියක් සමුගනී’ එක පත්තරයක ඇතුලේ පිටුවක අම්මා ගැන තිබුණු පුංචි සටහනක් තාත්තා අරන් තියාගෙන තිබුණු බව නිම්නා දැක්කේ තාත්තාගේ පොත් මේසය අස් කරද්දී. ඒ සටහනට පාවිච්චි කරලා තිබුණු අම්මාගේ වෛද්‍ය හැඳුනුම්පතේ පින්තූරයේත් අම්මාගේ හිනාව ඇස් දෙකට නොවිහිදී දෙතොලින් නතර වෙලා තිබුණා. 
පදිංචිය වෙනස් කරන අදහස තාත්තා ගෙනාවේ අම්මාගේ තුන් මාසේ දානය දවසේ රෑ. ඒකට හේතුව හැටියට තාත්තා කීවේ නිම්නාගේ සරසවියටත් තාත්තාගේ රැකියාවටත් කිට්ටු තැනකට පදිංචියට යන එකෙන් වෙලාව ඉතුරු වෙන බවයි. ඒත් ඒ වෙද්දීත් ගෙදරත් ගෙවත්තේත් හැමතැනම අම්මා තවමත් ඉන්න බව ගැන නිම්නාට අමුතුවෙන් පැහැදිලි කරන්න දෙයක් තිබුණේ නැහැ. නිම්නා ඒ යෝජනාවට කැමතිවුණේ එක පයින්. 
ඉන්පස්සේ ගතවුණේ බොහොම කලබල මාස කීපයක්. ගේ විකිණීම ගැන මහන්සිවෙමින් තාත්තා එහෙ මෙහෙ දිව්වා. සරසවි යන අතරේම ගෙදර බඩු අස් කරමින්, අහුරමින්, අනවශ්‍ය දේවල් වීසිකරමින් නිම්නාගේ දවස් ගතවුණා. අම්මාගේ බඩු මුට්ටු අස් කිරීම තාත්තා නිම්නාට පැවරුවත් ඒක තමන්ට කරන්න බැරි බව තේරුණු නිසා නිම්නා ඒ රාජකාරිය රාණි අම්මාට බාර දුන්නා. නිම්නාත් තාත්තාත් තට්ටු ගෙදර පදිංචියට යද්දී රාණි අම්මා ආයෙත් ගමට යන්න නියමිතව තිබුණා. අම්මාගේ බඩු මුට්ටු වලින් කැමති දෙයක් රාණි අම්මාට ගන්නත්, ඉතුරු ඕන දෙයක් කුණු ගොඩට දාන්නත් නිම්නා දුන්නු අණ රාණි අම්මා අහගෙන හිටියේ පුදුමයෙන්. ඒත් අවුරුදු ගණනක් තිස්සේ ඒ ගෙදර දේවල් අහපු දැකපු රාණි අම්මා ඊට එහාට ඒ ගැන කිසි දෙයක් කතා කළේ නැහැ.
මල් පෝච්චි ගෙනියන අදහස තාත්තාට ආවේ ගෙදරින් පිටත්වෙන්න ඔන්න මෙන්න තියෙද්දීයි. ඒ වෙද්දී ගෙදර බඩු මුට්ටු පැටවුණු ලොරිය පිටත්වෙලා ගිහින්. ‘අපි මෙයින් දෙකතුනක් අරගෙන යමු’ කියලා කියද්දී නිම්නා දිහා නොබලන්න තාත්තා ප්‍රවේසම් වුණු හැටි නිම්නා දැක්කා. ඉන්පස්සේ නිම්නා බලාගෙන ඉන්දැද්දී තාත්තාම ගිහින් දම් පාටත්, සුදු පාටත් මල් පිපුණු බෝගන්විලා පෝච්චි දෙකකුත් අම්මාගේ කාමරේ තිබුණු රවුම් පතොක් පැලය තිබුණු පෝච්චියත් වාහනේ පිටිපස්සට දැම්මා. ඊට විරුද්ධව වචනයක්වත් නොකිව්වත් නිම්නා ඉන්නේ අකමැත්තෙන් බව තාත්තාට නොතේරුණා වෙන්න බැහැ. තමන්ට මේතරම් කිට්ටු තාත්තාව උනත් සමහර වෙලාවට තේරුම් ගන්න බැරි බව නිම්නාට හිතුණේ ඒ එන ගමනේදී. 
වැස්ස තුරල්වෙලා හවස අහසේ අමුතු කහ පාට එළියක් පැතිරිලා බව නිම්නා ජනේලයෙන් දැක්කේ අහම්බෙන්. කුස්සියේ බඩු අස්පස් කරන්න වුණු මහන්සිය නිසා ඉවිල්ලත් එපාවුණු නිම්නා කුස්සියෙන් පිටවෙලා ආයෙත් බැල්කනියට ආවේ හෙට ඉඳන්ම උයන්න හිත හදාගෙන. අහසේ කළු වලාකුළු දෙබෑවෙලා බැහැගෙන යන ඉරේ එළියෙන් ගස් කොලන් නෑවිලා තිබුණා. වැස්ස නිසා හවස සෙල්ලම මඟ අරුණු තට්ටු ගෙවල් වල කොල්ලෝ කුරුට්ටෝ එකා දෙන්නා පහළ පිට්ටනියට එකතු වෙමින් කෑකෝ ගහන හඬ ඈතින් ඇහුණා. මල් පෝච්චි තුන බැල්කනියේ කෙටි තාප්පය උඩින් තියන්න නිම්නාට හිතුනේ ඒවාට හවස අව් රැල්ලක්වත් වැටෙන්න ඉඩ අරින්නයි. දවසක් තිස්සෙම වැටුණු වැස්සෙන් ප්‍රබෝධමත් වෙලා බෝගන්විලා මල් හිනාවෙමින් හිටියා. 
රවුම් පතොක් පඳුර අතට ගනිද්දී ඒකෙ කටු අතරින් මලක පොහොට්ටුවක් මෝදු වෙමින් තිබුණු බව නිම්නා අහම්බෙන් දැක්කා. 

Picture- copyright free image from Unsplash, by Sefora Castaldo

%d bloggers like this: