Menu Close

හැඟුම් දඩමීමාට වහංවී – හයවෙනි කොටස

මේ පැටලිලිවලින් ගොඩ එන්න පුළුවන් වෙන්නේ ඒකාධිපති බලතල තියෙන නායකයෙකුට….
කාගෙද වැරැද්ද?කාටද ඇඟිල්ල දික් කරන්නේ? පලි ගන්නේ කොහොමද?මේවා අපේ හිත්වල කැකෑරෙන්න උනා. මේ වියවුල්වලින් ගොඩ එන්න ප්‍රජාතන්ත්‍රවාදී/ කොමියුනිස්ට්වාදී උත්තරවලින් පුලුවන්ද? මෙච්චර පැටලිල්ලකින් ගොඩ එන්න අවශ්‍ය වන්නේ මනා පෞර්ශ්‍යයක් ඇති, ඉදිරි දැක්මක් ඇති ඒකාධිපති පාලකයෙක් නෙමේද,අධිරාජයෙක් වැනි.

මේ වියවුල් වේදිකාවට තමා  ඇඩොල්ෆ් හිට්ලර් නම් ඔස්ට්‍රියානු ජාතික තරුනයා ගොඩ වෙන්නේ.

හිට්ලර් අපේ අවධානය සොරාගත්තා. ඒ ඔහුගේ චතුර කථිකත්වයෙන්. තනි ජර්මනියක් වෙනුවෙන් අපහාස විඳීමට, පොලිස් පහර කෑමට, හිරබත් කෑමට ඔහුගේ සූදානම ක්‍රියාවෙන්ම පෙන්නීමෙන්; මේ ජර්මනියේ විනාශයට යුදෙව්වන්ගේ ක්‍රියාකලාපය විවෘතවම කියා පෑමෙන් ඔහු පොදු ජර්මානුවාගේ එක්සේසත් බලවත් ජර්මානු අධිරාජ්‍ය සිහිනය මත ක්‍රියා කලා.

මාටින් ලූතර්ගේ ‘යුදෙව්වන්ගෙන් ලෝකය මුදවාගැනීමේ වැඩපිලිවෙල’ට විවෘතවම එකඟ වෙන ඔහු,මේ මුලුමහත් නිහීන ජර්මානු අබග්ගයටම යුදෙව්වනුත්, (කාල් මාක්ස්ගේ ) කොමියුනිස්ට්වාදය වැනි දර්ශනයනුත් හේතු වූ හැටි මනාව අපට විස්තර කර දෙනවා.

“යකඩෝ….! පීරිස්, ඉතිහාසය පුන-පුනා නැවත-නැවත සිදු වෙනවා….
මේ එහෙම දෙයක් නේද? එක එක යුගවල; එක-එක රටවල. අපේ රටේත්…
අපි කොච්චර නම් චතුර කථිකත්වයට වසඟ වෙනවද? බණ දේශනා කරන්නට දක්ෂ උන්නාන්සේ කෙනෙක් දැක්ක ගමන් ඒ පස්සෙන් දුවනවා. ‘මම රහත් වෙලා’ කියලා පට්ට කෙබර කෙළිද්දීත් අදහනවා.
‘මම රහතෙක්මි’ කියලා කිව්වද මොට්ට අපි රැවටෙනවා….. ඒක බොරු බව ඇස් පනාපිට පෙනෙද්දීත්….

‘විදුලි පුටුවට වුණත් යන්න ලැහැස්තිය’ කිව්වම ඒකත් විශ්වාස කරනවා, දැන් ඒක නැති බව දැන-දැනමත්… නිදාගන්නෙවත් නැතිව ජනතාවට සේවය කරනවා කිව්වම ඒකත් විශ්වාස කරනවා. කපටියෝ හොටු-කඳුළු පෙර-පෙරා stageවල අඬද්දී අපි ඇඟේ මයිල් කෙළින් කරගන්නවා….”

“මොකක්ද පීරෝ, මේකට මේ වෙලා තියෙන්නේ? හලෝ…. තමුසෙ ඔහොම කුලප්පු වෙලා කියවගෙන ගියොත් හුස්ම ගන්න අමතක වෙලා වළ කජ්ජ ගහයි!” නෙවිල් කිව්වේ bite එකට අත යවමිනි.

“එහෙමමත් නෙවෙයි නෙවිල් අයියේ,  ඔය නිමා කොලුවා කතා කරන්නේ එයාගේ අත්දැකීම්වලින් කියන එකත් අපි අමතක කරන්න හොඳ නෑ. …. මිනිහා නාකි වෙලා තියෙන්නේ ඉඩෝරෙට නෙවෙයි කියලනෙ කියන්නෙත්……”

“වයසේ කතා මෙතෙන්ට ඕනි නැහැනෙ… මං කියන්නේ මිනිස්සු කතාවලට රැවටෙන තරම ගැන…. රෑ වැටිච්චි වළේ දවල්ටත් වැටෙන එක ගැන… ඒ ගැන කතා කරමුකො. රෙද්දෙ වයස!…. ඉතින්…..”

නෑ, නෑ, නිමල් අයියේ ඔයා හරි! 
මම ඉස්සෙල්ලා කිව්වා නේද නාර්සිසිස්ට්ල ගැන…. narcissist කියන්නේ තමන්ටම දැඩි ලෙස ප්‍රේම කරන්නන්ට කියලා මම කිව්වනෙ.
අපි හැමෝමත් යම්තාක් දුරකට හරි නාර්සිසිස්ට්ලා…. අපි වැඩියෙන්ම ආදරේ අපිටනෙ; අපි දිවිහිමියෙන්ම ආදරේ කරන අභ්‍යන්තර න්‍යශ්ටියක් තියනවා අපේ ඇතුලාන්තයෙ. ඒ අතරෙ අපි නිරන්තරයෙන්ම මොකද්දෝ ලොකු අඩුවකින්; හිස් බවකින් පෙලෙනවා.

ස්ත්‍රී – පුරුෂ අර්ධය බැගින් ඇති අර්ධ නාරීශ්වර දෙවියන්වත් නාර්සිසිස්ට් කෙනෙකු නොවෙයිද?

 

අපි හැමෝම අපි ලඟ නැති, ඒත් අපිට තිබිය යුතුයි කියල හිතන දේවල් ඇති අයට වසඟ වෙන්න කැමති ඒ නිසයි…. අපි හොයනවා; බැඳෙනවා එහෙම අයත් එක්ක. මම මේ ගැන මගේ නර්මදා නංගි ගැන ලියද්දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කලා මතක ඇති මේ මහත්වරුන්ට!

මෙතැනදි හරිම භයානක වෙන්නෙ අසනීපයක්, ව්‍යාධියක් වෙන තරමට; වෙන කිසි කෙනෙක් ගැන හිතන්න බැරි තරමට නාසිසිස්ට් වෙන එක- pathological narcissism වෙන එක. එහෙම අයට නොයෙකුත් මනෝවිද්‍යාත්මක හේතු නිසා හරියට හැදුන අභ්‍යන්තර න්‍යශ්ටියක්;  personality එකක් නෑ.

එතකොට මොකද වෙන්නෙ දන්නවද? 

හැම තිස්සෙම අනුන් තමන් ගැන මොකද්ද හිතන්නෙ/ අනුන්ව තරහ කර නොගෙන- අනුන්ගෙ ගෞරවය ආදරය ලබාගන්නෙ කොහොමද/ ලබාගත්තු ආදර ගෞරව කීර්ති ප්‍රශංසා දිගටම පවත්තාගන්නෙ වැඩි කරගන්නෙ කොහොමද කියන එක ගැන නිරන්තරයෙන් කල්පනා කරන්න වෙනව. කරන කියන හැම දෙයක්ම ඒ වටා සැලසුම් කරන්න වෙනව.

එහෙම  අය තමයි අනුන් පාලනය කරන්න පෙලඹෙන්නෙ; බලන්න දේශපාලනයට බහින පොලිටීශියන්ස්ලා. එයාලට දැනෙන එයාලගේ අඩුව අපට දැනෙනවාට වඩා වැඩී.

ඒත් තමන්ගේ ව්‍යාධියෙන් යහපත් විදිහට ගොඩගිය නායකයෝ; ගොඩයන නායකයෝ ඉන්නවද?


ඒ නිසාම දේශපාලකයෝ නරක් වෙන්නෙ නෑ, ඒ අඩුව සපුරාගන ප්‍රසිද්ධ වෙන්න ගිහින් රට සමාජය දියුනු කරනව නම්. ඒත් තමන්ගෙ ව්‍යාධිමය නාසිසිස්ට් තත්ත්වය හඳුනාගන යහපත් විදියට ගොඩගිය නායකයො කීයෙන් කී දෙනාද ඉන්නෙ?

මාකස් ඔරෙලියස්, පෙරික්ල්ස්, ධර්මාශෝක- මේව මම දෙන උදාහරනම නෙමේ මිත්‍රවරුනි, ලෝක ඉතිහාසය විශ්ලේශනය කරන ඉතිහාසඥයො උනත් දෙන උදාහරන; ඒත් මමත් ඒවට එකඟයි.

“ඔය පොලිටීෂියන්ස්ලා…. ඒ මිනිස්සුන්ට මොනවා අඩුද ඩොක්ටර්?” ගවීන් ඇහුවේ ඇස් දල්වාගෙන.

මේකයි ගවීන් මල්ලී,
එහෙම අය වැඩියත්ම හොයන්නේ බලය, කීර්තිය, නම්බුව වගේ දේවල්.

පවු; එයාලා එකත් එක්ක අපිත් පවු- අපිට අන්තිමට වෙන දේට උන් නිසා!

පුලුවන් තරම් ධනයෙන් බලයෙන් කීර්තියෙන් ආඪ්‍ය වෙලා අපෙන් වෙනස් වෙලා ඉන්න කෙනා- මහ දවල් හෙඩ් ලයිට් දාගත්තු, කන් අඩි පැලෙන්න නලා සද්ද කරන ඩිෆෙන්ඩර් ජීප් හත අටකට මැදි වෙලා, මගෙ මුලු ඇස් වාට්ටුවම අංගසම්පූර්න කරන්න යන මිල තරම් වටින වෙඩි නොවදින බෙන්ස් රථයක හාන්සි සෙයියාවෙන් යන ඔයාගෙත් මගෙත් මහජන නියෝජිතය බලවත් ඇවිටිල්ලෙන් මොකද්ද අපිට දකින්න බල කරන්නෙ?

මේ බලන්න! අනේ මේ, මගෙ දිහා බලන්න! දැන් මම වටිනව නේද! මම වැදගත් නේද! මේක තමා ප්‍රශ්නෙ; 
one who feels he is deficient needs external validation to live meaningfully. External validation- මේක හුඟක්ම ඕන කරන අය තමා දේශපාලනය කරන්නේ/ බරපතල (ලිංගික) අපරාධ කරන්නේ/ වධකාගාරවල වධකයන් වෙන්නේ/ ස්ත්‍රීසොඬ වෙන්නේ/ අසීමීතව සල්ලි හම්බ කරන්නේ….

ලෝකයක් දිනන්නට ගිය ස්ටාලින්ට වුණේ………..


හුඟක් වෙලාවට දේශපාලනය කරන නාසිසිස්ට්ලට චතුර කතිකත්වයත් තියෙනවා…. චතුර කථිකයෙක් වනන්න ගත්තහම හැඳහුන් වස්ත්‍රවලට අස්වාමිකව දුවපාං අම්මා! කියල දුවන කෙනෙක් මිත්‍රවරුනි මම!

මගේ හිත දිව්වේ අපේ රටේ පාලක පැලැන්තියේ උත්තමයන් වෙතටය.

අලුතින් තියරියක් දැන ගත්තාම එය කොතෙක් නිවැරදිදැයි, මං හොයාගන්නේ දන්නා-කියන අයට ඒ න්‍යාය ආදේශ කිරීමෙනි….ඇත්ත නේන්නං. හොඳම කථිකයන් කපටි කතාකාරයන් විතරය! ඉතිරිවා නීතිමය පැත්තෙන් තවමත් තීරණයවී නැත!!

….. තව කාරණයක් තියෙනවා.

එහෙම අයට බලය ලැබුණාම ඉස්සෙල්ලාම කෙළින්නේ තමන්ගේ ළඟින්ම ඉන්න, තමන්ට ජීවිත කාලයක් වැඩියෙන්ම උදව් කල එකාට.

තමන්ට බැරි කාලෙ උදව් ගන්න pathological නාසිසිස්ට්ල පුලුවන් කාලෙදි ඒ ගැන විඳවනවා. කාගෙන්වත් උදව් ගත්තා කියල පිලිගන්න එක නිහතමානීත්වය පුරුදු පුහුනු කල එක්කෙනෙක්ට විතරනෙ කරන්න පුලුවන්.

ලෝක ඉතිහාසය බලනවා නම් රුසියාවේ ස්ටාලින්, ඒ වගේම හිට්ලර්- තමන්ට උදව් කලා කියල කියවපු අයව ලෝබ නැතුව නාඳුනන තුවක්කුකරුගෙ උන්ඩයට බිලි කලා!
හැඟීම් දඩමීමා කරගෙන ෂේප් එකේ තමන්ගේ වැඩේ කරගන්න එක ගැන නේද…

“හැබැයි පීරෝ, උඹ කියාගෙන ආවේ වෙන කතන්දරයක් නේද? මොකක්ද මචං…. උඹ කිව්වේ, හැඟීම් දඩමීමා කරගෙන ෂේප් එකේ වැඩේ කරගන්න එකනේ…. නේද?”

“ඒක තමයි මර්වින්…. තියරිය ඒක තමයි. වැදගත්කම ඒ තියරිය කොතනටද හරි යන්නේ; ඒ තියරිය කොතනටද දාලා අදත් වැඩ ගන්නේ කියන එක තේරුම් ගැනීම….. මේ කියාගෙන ආවේ හැඟීම් දඩමීමා කරගෙන නාසිසිස්ට්ලා කොහොමද වැඩ ගන්නේ කියන එක. එහෙම නේද පීරිස්?”

ඔබතුමන්ලා සේරම නිවැරදියි xකයිනේ!

යකෝ…. මට අහුවුණු; වැදගත්ය කියලා හිතුණු දේවල් ටිකක් මම උඹලත් එක්ක කතා කරනවා.
නිමල් අයියත් තිස්සෙම කියන්නේ, I provide, You decide කියලා…. මාත් මේ ඒකමයි කරන්නේ…. උඹලා තම-තමන්ගේ නුවණේ හැටියට හිතාගනිල්ලා…..

ඒත්, උඹලා ඔහොම කෙළවරක් නැතිව මරාගන්නයි, කැලේ පනින්නයි යනකොට නම් මටත් මල පනිනවා…. මම තවම කියලා ඉවර නෑ හුයන්නනෙ….මේක කියලා ඉවර කරන්න දීපල්ලා!

අප හැමෝම අයස්මන්ත මහත්තයාට ඉඩ ලබා දෙමින් නිහඬතාව ඇති කරන්නට ගිය මුත්….. “ගවීන්, අහගෙනද ඉන්නේ?” මට කියැවිණි. 
මිනිස් මොළයේ ක්‍රියාකාරිත්වය වටහාගෙන ඒ අනුව කෙරෙන සූක්ෂ්ම ව්‍යාපෘතිවලින් පුළුවන් …..

“අහගෙන විතරක් නෙවෙයි හිත-හිතා….. කමක් නැහැ නේද කිව්වට. නිමල් අංකල් වගේ නෙවෙයිනෙ ඩොක්ටර්…. රාජකාරියක් කරන කෙනෙක්නෙ…. ඒ නිසා කෙලින්ම දේශපාලනේ කතා කරන්නෙ නෑ වෙන්නැති…”

අන්න හරි ගවීන් මල්ලී. උඹට තේරුනා. අඤ්ඤා ගවීන්…. මම රජයේ සේවකයා. මගේ දිවංගත මාමන්ඩිගෙන් මම ඉගන ගත්තෙ. දිවිහිමියෙන් ඒ ව්‍රතය රකිමි, සේවයෙ ඉන්න තාක්! …. ඉතින්….

“පොඩ්ඩක් හෝව්!  මං වහන්සේත් ඔය බව තේරුම් ගත්තු නිසාමයි මුලදීම කිව්වේ post එකට fotos තෝරන රාජකාරියයි, කැප්ෂන්ස් දාන රාජකාරියයි දෙක නං මට ඕනි විදියට කරන බව. දැන් කියමු මහත්තයෝ ඉතිරි හරිය…”

හමුදාවේ පූර්න අවසරය ඇතිව ඔහු බැඳෙන මේ දේශපාලන පක්ශය, National Sozialistishe Deutsche Arbeiter Partei- NSDAP කෙටියෙන් නම් Nazi Party ලෙස ඔහු නම වෙනස් කරනවා. ඔහුගේ මොලය හෝදන්නෙ ඩයිට්‍රික් එකාට්; යුදෙව් විරෝධී බීජ වපුරමින්.
ඔහුගේ අන්ත දක්ශිනාංශික මානසික පසුබිම හදන්නේ ගොට්ෆ්‍රීඩ් ෆෙඩර් සහ කාල් ඇලෙක්සැන්ඩර්.

ඔහු බැවේරියාවෙ බලය අල්ලන්නට ගොස් රිමාන්ඩ් කෙරෙනවා. අධිකරන තීන්දුවකින්, ඉන්පසු සිර දඬුවමකට ලක් කෙරෙනවා. එහිදී ඔහු ලියනවා තම ආත්මකතනය හා දේශපාලන දැක්ම වන මගේ අරගලය– Mein Kampf.
මේ පොත සඳහා ඔහු මුලින් තබන්නට තීරනය කල නම ඔහු හිතන විදිය පෙන්නුම් කරනවා;Four & Half Years Struggle Against Lies, Stupidity and Cowardice!සිර ගෙදරදී ඉතා හොඳ සැලකීමකට හා ගෞරවයකට ලක් වෙන ඔහු නියමිත කාලයට කලින් ඉහල උසාවියේ බලවත් විරෝධය මැද නිදහස ලබා ගන්නවා.

මට දෙකොණින්ම හිනාවෙන්නයි ඕනේ!

නිර්මාංශික හා අමද්‍යප වන ඔහු ලමුන් සුරතල් කරන, දරුවන් වඩාගන සුරතල් කරන ඡායාරූපවලින් සිය දක්ශිනාංශික යුදෙව් විරෝධී පෞර්ශ්‍යට සමගාමීව කරුනාවන්ත, ප්‍රතිපත්තිගරුක ප්‍රතිරූපයකුත් නිර්මානය කර පෙන්වනවා. මේ සඳහා දක්ශ ඡායාරූප ශිල්පීන්ගේ සහාය මෙන්ම, ඔහුගේ ආංගිකාභිනය මෙහෙයවන්න කෘතහස්ත නලුවන්ගේ සේවයත් ලබා ගැනෙනවා.

“පීරිස්, පොඩ්ඩක් නවත්තනවද? මට ටිකක් නිදහසේ හිනාවෙන්න ඕනි හලෝ.”

“ඉතින් නිමල් අංකල් නැඟිටින්නේ මොකටද? හිනාවෙන්න නේද break එකක් ඉල්ලුවේ?” මං එන්නේ මොකාටදැයි දැනගත් ගවීන් ඇහුවේ අහිංසක තාලෙනි.

“වාඩි වෙලා ඉන්නකොට කොහොමද මිනිහෝ අනිත් පැත්තෙනුත් හිනාවෙන්නේ, මේ කියවෙන ඒවට? අනික, දන්නවනේ… ලස්සන කතන්දර කියනකොට මට නිකම්ම එක-එක දේවල් මැවිලා පේන්න ගන්නවා!”

මේකා එක්කනෙ බැරි!

දේශපාලන මඩ ගොහොරුවක එරී දාර්ශනික කතා කිය-කිය, කොහාටවත් නිශ්චිතව රට අරන් නොයන දේශපාලකයො නිර්මානය කරන්නේ ඒකාධිපතියෙකු බිහි වීමට අවශ්‍ය කාලය,දීපය,දේශය ආදී නිර්නායක. කවදත් අස්ථාවරබාවයට බය අපි එහෙම වෙලාවකදි ඒකාධිපතියෙක් ඉල්ලා හිටින තත්වයක් ඇති වෙනවා.
ස්පාටන්වරුන්ගේ  කාලයේ ඉඳලාම මේ සිදුවීම තවමත් සිද්ද වෙනවා……..

විවේක බුද්ධියෙන් දුර ඈතට බලපාන තීරන ගැනීමේ පොදු හැකියාව අපෙන් යට යනවා. ග්‍රීසියේ පෙරික්ලස්ගේ කාලයේ ස්පාටාන්වරු ආක්‍රමනය කල කාලේ සිට ඒක තවමත් එහෙමයි. 
හිට්ලර් මෙන්න මේ අවශ්‍යතාව යොදා ගන්නවා තම ඒකාධිපති නායකයෙක් වීමේ සිහිනය සැබෑ කර ගැනීමට.

එහෙම තෝතැන්නක විනීත වෙන්න, තම අරමුනු හංගන්න අවශ්‍යත් නැහැ. අපි ආස no nonsense අභ්‍යන්තර විනයකින් මෙහෙයවන දැඩි පාලකයෙක් ඇවිත් අපව වසඟ කරගන්නවට.

“අනේ සකෝ, බල ලෝ!”

එහෙම වෙලාවක, සියලු ප්‍රචන්ඩකම් බැර වෙන්නේ රට එක්සේසත් කර ස්ථාවර කිරීමේ පොදු හීනයට. සිය ප්‍රතිරූපය පොදු මිනිසුන් විසින්ම තවතවත් පුම්බද්දි ඔහු ආරම්බ කරනවා තම විරුද්ධ පාක්ශිකයන්ට අඩන්තේට්ටම් කිරීමටම- පැරාමිලිටරි හමුදාවක්. ඔහු
ක්‍රමයෙන් චන්ද රැස් කරමින් බලවත් පක්ශයක නායකයෙක් වෙන අතරේ වැදගත් තනතුරුවලට නාසි නායකයෝ රිංගවනවා නොදැනෙන්න.

ඔහුගේ එක උපායක් උනේ – ඔබ ක්‍රමයට අකැමැති නම් මුලින් ක්‍රමය අනුගමනය කරන්න;සියල්ලෝ රවටමින් එහි මුදුන් හිනිපෙත්තටම යන්න; ඉන්පසු රිසි සේ එය වෙනස් කරන්න යන ක්‍රමයයි.
කොතෙක් ඝාතන කෙරුණත්, ළමයින් හුරතල් කරනවා වගේ සංවේදී ෆොටෝවලින් පත්තර සැරසුණා!

ඔව්- ඔහු ලෝකයේ මෙතෙක් බිහි උන බිහිසුනුම මනුශ්‍ය ඝාතන ක්‍රමවේදය ඇස් පනාපිට ගොඩනගද්දී, අප ඔල්වරසන් දෙමින් දකින්න; වර්නනා කරන්න කැමති උනේ ඔහු කන නිර්මාංශ ආහාර වේල/ සාදයකදී වයින් වෙනුවට අත රැඳි පලතුරු යුශ වීදුරුව/ පත්තර පිටුවල නිතර පෙනුනු ලමයි හුරතල් කරන රූප

We erupted into a frenzy of nationalistic pride that bordered on hysteria. For minutes on end, we shouted at the top of our lungs, with tears streaming down our faces: Seig Heil, Sieg Heil! From that moment on, I belonged to Hitler body and soul.
         (Alfons Heck; a Hitler Youth)

හිට්ලර් ජර්මනියේ චාන්සලර් වන්නේ 1933දි; ඒ මහත් දේශපාලන මැරකම්වල, බිය වැද්දීම්වල ප්‍රථිපලයක් වශයෙන්.

ඒ වසරේදීම ඔහු ඔහුගේ කැබිනෙට්ටුවට පාර්ලිමේන්තුවෙන් නොවිමසා පනත් සම්මත කිරීම සඳහා අසීමිත බලතල ලබා ගන්නවා, නීත්‍යානුකූලව!

මෙසේ ඔහු ව්‍යවස්ථාදායකයේ හා විධායකයේ පූර්න බලතල තමා යටතට ගන්නවා.

“කී සැරයක් නං අපට වැරදුණාද ඔය ටික කරන්න ගිහින්….? ඒත් ඉගෙනගෙන නැහැ.”
 “නිමලෝ, උඹ කියන්නේ ජේ.ආර්ද?”

එතකොට හැඟීම්වලට වසඟ වෙනවා විතරක් නෙවෙයි… අන්ධත් වෙනවා!

“ඇයි එතැන විතරද වැරදුණේ? UNP එවුන්ට පෙනෙන්නෙ අනිත් එවුන් කරපු වැරදි…. SLFP, JVP හැමෝටමත් ඒ ලෙඩේමයි. විරුද්ධ එකා කළොත් වැරදියි. හිතවත් එකා- තමන්ගේ එකා මොක කළත් හරි…. අඩුම ගණනේ එහෙම දෙයක් විවේචනය කරන්නවත් ඉඩක් තියෙනවද?”

“එතකොට හැඟීම්වලට වසඟ වෙනවා නෙවෙයි, අන්ධත් වෙනවා….”

අන්න කතන්දරේ….ඔහොම කිව්වට දන්නෙම නැහැ අපි වසඟ වෙලා…..

රම්‍ය වන මලේ – ඔබ කටු රොදක ඇයි කැලේ, ප්‍රශ්නය අහන කොටම, මලට නොකියා කියනවා ‘ඔබ ඉන්නේ සිටිය යුතු තැන නෙවෙයි’ කියලා. එක සැරෙන්ම මලත් ලනුව කනවා…
‘මා දනිම් කෙසේ – මේ කටු රොදක මා මෙසේ – කුමට පිපුණෙ කටුක දුකම – විඳින්ටා කැලේ. ඉතින්…. බිලි බා ගැනිල්ල ලෙහෙසියි!

තමුන්නාන්සේලාගෙ මොල තට්ටු තුනක බිල්ඩිමක් වගේ මිත්‍රවරුනි.

උඩම කොටසෙන් තමයි තර්කානුකූලව හිතන්නේ; තීරණවලට එළඹෙන්නේ. ඒක තමා පරිනාමිකව අලුත්ම hardware එක neocortex. දෙවෙනි තට්ටුවෙන් කරන්නේ හැඟීම්වලින්, ඉවෙන් තීරන ගන්න එක- ප්‍රතිචාර දක්වන එක- limbic cortex. දුක, බිය, තරහ, ඊර්ශ්‍යයාව, සැකය වගේ දේ නිපදවන්නෙත්, ඒවාට ප්‍රතික්‍රියා කරන්නෙත් මේ තට්ටුවෙ සෛල; පරිනාමිකව අවුරුදු මිලියන ගනනක් පරනයි- ප්‍රබලයි.

අපි හිතමුකො මහ කැලයක් මැදින් යද්දී දරුණු සතෙකුව දැක්කයි කියලා…….

අපි හිතමුකො කැලේක යද්දී වලහෙක් දැක්කය කියලා. හිත-හිතා ඉන්නේ නැතිවම අපි ඈතට දුවනවා….

ඒ වෙලාවට අපි තර්ක කර-කර ඉන්නෙ නැහැ. වලහ නාකියිද;හයියෙන් දුවයිද;ඉන්නෙ බඩගින්නෙද;පැටියොත් ඉන්න වැලහින්නක්ද වගෙ දේවල් නොහිතා පුළුවන් වීරියෙන් දුවනවා. ඒකට අවශ්‍ය විදියට අපේ කකුල්වල මාංශ පේශීන්ට රුධිරය සපයන්නත් මොලය වගබලා ගන්නවා….

එහෙම තමයි අපේ මොලය හැඩ ගැහිලා තියෙන්නේ.

දෙවෙනි තට්ටුව උත්තේජනය උනොත් තර්කානුකූල තුන්වෙනි තට්ටුව shutdown වෙනවා. මොලේ රුධිරගමනය තුන්වෙනි තට්ටුවට නොදී දෙවෙනි තට්ටුවට හැරවෙන නිසා එහෙම වෙන්නෙ- හදිසි අනතුරකට ලෑස්ති වෙන්න.

තරහ ගිය/ හැඟීම්බර වෙච්ච කෙනා එක්ක කතාවට යන්න එපා/ තර්ක කරන්න යන්න එපා- පස්සෙ නිවිච්චහම හෙමින් කතා කරන්න කියල අපේ පැරැන්නො කිව්ව එක 100%ක් හරි.
ආයෙ ඒ ලේ ගමනය පුරුදු පරිදි neocortex එකට යැවෙන්න දවසක් උනත් ගතවෙන්න පුලුවන්. ආවේගෙන් ලියුමක් ලිව්වත් ඒක යවන්න කලින් පැය විසිහතරක් ඉවසලා නැවත 
කියවද්දි, අපි ඒක ඉරල විසි කරන්නෙ ඒකයි.
‘මාතෘභූමිය බේරාගැනීමේ අන්තිම අවස්ථාවයි මේ’ කියලා දෙසද්දී…..

ප්‍රේමයෙදි අපි ගංතෙරදි කෙකටිය මල් නෙලන්නිය වසඟ කලත්, දේශපාලනයෙදි හිට්ලර් එලිපිට යුදෙව්වන්ට තාඩන පීඩන කරමින් ජර්මානු ජනතාව වසඟ කලත්, ඒ දෙතැනදිම සාර්ථක වෙද්දි සිදුවෙන්නෙ එකම දෙයක්.

ප්‍රේමාතුරයගෙ/ ජනතාවගෙ හැඟීම්වලට සංවේදී limbic cortex එක විසින් තර්කානුකූලව කරුනු-කාරනා කිරා-බලා තීන්දු-තීරන ගන්න මොලේ උඩ තට්ටුව, neocortex එක යටපත් කිරීම- override කිරීම!

ඒ වගෙ අවස්ථාවල අපට තර්ක කරන්න මතක් වෙන්නෙවත් නෑ…..

“ I got it! ජාතිය අනතුරේ – අධිරාජ්‍යවාදී බිල්ලෙක් අපේ රට ගිලගන්න එනවා – මේ තමයි අපේ මාතෘ භූමිය බේරාගන්නට ලැබෙන අන්තිම අවස්ථාව වගේ කතන්දර ඇහෙන කොටම ඇවිස්සෙන්නෙත් අපේ මොළේ දෙවෙනි තට්ටුවද පීරිස්?”

%d bloggers like this: