Menu Close

දෙයෙහි-එහිම-ස්වරූපයක පැවැත්ම පිළිබඳව සාධනය

Veiled-Woman-II-Jagath-Weerasinghe-2013-acrylic-on-paper-24-cm-x-24-cm

අලුත් අදහසක් ඉදිරිපත් කිරීමේ දී ඕනෑම කෙනෙක් මුහුණ දෙන අභියෝගයක් වන්නේ එම අදහස පවත්නා අදහස් ඇසුරින් තේරුම් ගන්නට අප උත්සාහ කිරීමයි. මෙය වරදක් හෝ දෝෂයක් ලෙස නම් කිරීමට ද බැරිය. අපට ‘දැන ගැනීම’ නම් ක්‍රියාව සිදු කිරීම සඳහා කුමක් හෝ පසුබිමක් තිබිය යුතුය. එම නිසාම අප අලුත් අදහස් තේරුම් ගන්න උත්සාහ කරන්නේ අප දැනටමත් දන්නා නිර්ණායක වලට අනුවයි. එවිට රැඩිකල් නවීනත්වයක් යන්න අප තේරුම් කරන්නේ කෙසේද? පවත්නා දෙයින් රැඩිකල් ලෙස කණ්ඩනය වූ නවීනත්වයන් උත්පාද විය හැකිද?

තරමක් උත්ප්‍රාසජනක ලෙස මෙයසූ ගේ දර්ශනය මගින් උත්සාහ කරන්නේ ද මේ ආකාරයේ රැඩිකල් නවීනත්වයන් ඇති වන ආකාරය සම්බන්ධයෙන් දාර්ශනික ප්‍රවාදයක් ගොඩ නැගීමටයි. එවිට එම ප්‍රවාදය තේරුම් ගන්නවා යනුම රැඩිකල් නවීනත්වයන් ඇති වන ආකාරය තේරුම් ගැනීමකි. එම අර්ථයෙන් ගත්විට මෙයසූ ගේ දර්ශනයේ මග හැරිය නොහැකි ප්‍රසාංගික මානයක් තිබෙනවා කියා වුවත් කෙනෙක්ට කිව හැකිය.

ඝණ වූ සියල්ල වාෂ්ප කරන, පවත්නා සියල්ල නිරන්තරයෙන් වෙනස් කරන ධනේශ්වර කාලයක් තුළ අපි එක තැන පල් වෙන මෝඩ වැඩක් කරනවා කියා කෙනෙක් සිතනු ඇත. අවාසනාවට මේ සම්බන්ධයෙන් කරන්නට දෙයක් නැත. මෙම අදහස් අපට හුරුපුරුදු වන තුරු ඒවා හොඳින් පැහැදිළි කර ගැනීමට, සංවාදයට බඳුන කිරීමට අපට සිදු වේ. ඉගෙන ගන්න මහන්සි වෙන පිරිස මෙහි ඉතිරි වනවානම් එය හොඳටම ප්‍රමාණවත් ය.

පහතින් තිබෙන්නේ පසුගිය ඉරිදා – ජූලි 12 දා – පැවති මෙයසූ සංවාදය වෙනුවෙන් සකස් කළ සංවාද සටහනයි. සුපුරුදු පරිදි එම සංවාදයට සවන් දීම සඳහා ‘බටහිර ඉවුරේ දර්ශනය’ යූටියුබ් නාලිකාවට පිවිසෙන්න (අදාළ වීඩියෝව මෙතැනින්).

ලෝකය වෙනස් වන්නේ මිනිසුන් සිතන විදිය වෙනස් වනවානම්ය. මිනිසුන් සිතන විදිය වෙනස් වන්නේ අලුත් අදහස් නිසාය.

 

***

‘දෙයෙහි-එහිම-ස්වරූපය’ පිළිබඳව අදහස මගින් ඉදිරිපත් කරන න්‍යායික ගැටලුව තේරුම් ගැනීම අපහසු වන්නේ නැත. අපට සාපේක්ෂ ලෙස පෙනෙනා දේ සඳහා එහිම වූ ස්වරූපයක් තිබෙනා බව දැන ගන්නේ කෙසේද? අපට දැන ගත හැකි වන්නේ අපට සාපේක්ෂ ලෙස පෙනෙනා දේවල් පමණි. එම නිසා දෙයෙහි-එහිම-ස්වරූපය යනු ද අප විසින් දේවල් වෙත ආරෝපණය කරනා තවත් එක් අදහසක් පමණක් වන අතර අප නොමැති වුවහොත් අපට සාපේක්ෂ ලෝකය සම්බන්ධයෙන් කිසිවක්ම කිව නොහැකි වේ. අවම වශයෙන් එවැනි ලෝකයක් තිබෙන්නේ ද කියා හෝ අපට දැන ගැනීමට හැකියාවක් නොමැත. අප සමග ඇති සම්බන්ධය නොමැති වුවහොත් එම දෙය වෙනුවට අපට සිතා ගත නොහැකි ශුන්‍යත්වයක් නොතිබෙන්නේ ද? අප ට පිළිතුරු නොමැති ප්‍රශ්නය වන්නේ මෙයයි. එම නිසා පොදුවේ ගත්කළ කාන්ට් ගෙන් පසුව සිදු වන්නේ මෙම ප්‍රශ්නය විචාරාත්මක සම්ප්‍රදාය විසින් ප්‍රතික්ෂේප කිරීමයි.

මෙම ප්‍රශ්නයට පිළිතුරු ලබා දීමට තිබෙනා එක් ප්‍රවේශයක් මේ වනවිටත් අප ප්‍රතික්ෂේප කර තිබේ. සත්‍ය වශයෙන්ම එය ප්‍රතික්ෂේප කිරීමට අපට බලකර සිටින්නේ කාන්ටියානු විචාරාත්මක දර්ශනය යන්නමයි. එම විසඳුම වන්නේ දෙයෙහි-එහිම-ස්වරූපය යන්න සඳහා දෙවි කෙනෙකුගේ පැවැත්ම ආදේශ කිරීමයි. මෙම දෙවියන් අප නිර්වචනය කරන්නේ ක්‍රිස්තියානි සම්ප්‍රදායට අනුවද වෙනත් දාර්ශනික ප්‍රවේශයකින් ද යන්න මෙතනදී තීරණාත්මක වන්නේ නැත. මෙවැනි පිළිතුරක් ලබා දිය නොහැකි බව අප මේ වනවිටත් පෙන්වා දී තිබේ. සත්‍ය වශයෙන්ම දෙයෙහි-එහිම-ස්වරූපය සම්බන්ධයෙන් ඉහතින් පෙන්වා දුන් විවේචනය මගින් මේ ගැටලුව මේ වනවිටත් පෙන්වා දී තිබේ. එවැනි දෙවි කෙනෙක් ගේ පැවැත්ම යනු ද අපේ පරිමිත ලෝකයේ තිබෙනා තවත් එක් අදහසක් පමණක් වන අතර අප නොමැති විට එවැන්නක් පවත්නා බව පෙන්වා දීම සඳහා අපට කිසිදු පදනමක් නොමැති වේ.

නමුත් මේ ප්‍රශ්නයට පිළිතුරැ ලබා දීමේ තවත් ප්‍රවේශයක් තිබේ. එමගින් කරන්නේ මෙයට කිසිදු තාර්කික ප්‍රතිචාරයක් ලබා දීමේ හැකියාව ප්‍රතික්ෂේප කිරීමයි. එවිට මේ ප්‍රශ්නයට පිළිතුරක් ලබා ගත හැක්කේ විකල්ප වූ හෙළිදරව්වක් ලෙස පමණි. දෙයෙහි-එහිම-ස්වරූපය යනු අපට කිසිදා තාර්කිකව ළඟා විය නොහැකි පූර්ණ-අනේකත්වයයි.

මේ අනුව අපට මේ ප්‍රවේශ දෙකම ප්‍රතික්ෂේප කිරීමට සිදු වේ. අප පෙන්වා දිය යුත්තේ පවත්නා දේ යනු අපට සාපේක්ෂ දේ පමණක් නොවන බවත් ඒවා සඳහා එහිම වූ ස්වරූපයක් අනිවාර්යයෙන් තිබිය යුතු බවත්ය. වෙනත් ආකාරයකට කියන්නේ නම් අප පෙන්වා දිය යුතු වන්නේ අප නොමැති වුවත් යම් යම් දේ අනිවාර්යයෙන් පැවතිය යුතු බවත් ය. එම අර්ථයෙන් ගත්විට මෙම ප්‍රශනය ලයිබ්නීට්ස් විසින් මතු කරන ලද ඓතිහාසික ප්‍රශ්නයක් හා සම්බන්ධ වන බවත් අපට පැහැදිළි වේ. එම ප්‍රශ්නය වන්නේ කිසිවක් නොමැති වීම වෙනුවට යමක් තිබෙන්නේ ඇයිද යන්නයි (‘Why is there something rather than nothing?’).

නමුත් මෙයසූ විසින් යෝජනා කරනා අර්ථයේ වැදගත් ලක්ෂණයක් ඇති බව ඔහු පළමුවෙන් අවධාරණය කරයි. ඉහත ප්‍රවේශ දෙක මගින්ම දෙයෙහි-එහිම-ස්වරූපය පිළිබඳව ප්‍රශ්නය සඳහා පිළිතුරක් යෝජනා කරන්නේ මෙම ප්‍රශ්නය ශ්‍රේෂ්ඨ ප්‍රශ්නයක් බවට උත්කර්ෂණයට නංවමිනි. දෙයෙහි-එහිම-ස්වරූපයක් ඇති බව අපට හෙළිදරව් කරන්නේ නිකන්ම නොවේ. එය අපට හෙළිදරව් කරන්නේ අපට සිතා ගත නොහැකි තරම් විශාල වූ දිව්‍යමය පැවැත්මක් හෝ අපගේ වටහා ගැනීමේ පරිමිතත්වය ඉක්මවා ගිය අති විශේෂ වූ අවබෝධයකින් ය. නමුත් ඒ වෙනුවට මෙයසූ යෝජනා කරන්නේ අප මේ ප්‍රශ්නය බෙහෙවින් ‘අවනාටකීයකරණය’ කළ යුතු බවයි. මෙය විසඳිය යුතු ප්‍රශ්නයක් බව සත්‍යයකි. මෙයට අප පිළිතුරක් ලබා දිය යුතුය. නමුත් අප මෙයට පිළිතුරක් ලබා දිය යුතු වන්නේ මෙය සියල්ල සඳහා අවසාන පිළිතුර ලබා දෙන ප්‍රශ්නය ලෙස උත්කර්ෂයට නංවමින් නොව, මෙයට ඉතාම සාමාන්‍ය, ලෞකික පිළිතුරක් ලබා දෙමිනි. ඒ අනුව, මෙයසූ අපට කියා සිටින ලෙස, මෙම ප්‍රශ්නයට පිළිතුරක් ලබා දීමේ අධ්‍යාපනික වටිනාකම් අතරින් එකක් වන්නේ මෙම අවනාටකීයකරණයයි.

දැන් මෙම ප්‍රශ්නයට සමපේක්ෂී විසඳුම අවසානයේ දී සම්බන්ධ වන්නේ කරුණුත්වයේ මූලධර්මය සමගයි. එමගිනි කියා සිටින්නේ, සංක්ෂිප්ත ලෙස, කරුණුමයභාවය පරම වේ යන්නයි. එයට අනුව කරුණුමයභාවය යනු ලෝකයේ තිබෙනා තවත් එක් කරුණක් නොව අප සිටියාත්, අප නොමැති වුවත් වලංගු වන්නා වූ පරම මූලධර්මයක් ලෙසයි. පවත්නා දේ සියල්ල අවසානයේ පරීක්ෂා කර බැලූ විට අපට හමු වන්නේ කරුණු පමණි. මෙහි සරල අදහස වන්නේ ඒවා මෙසේ තිබෙන්නේ, මෙසේ පෙනෙන්නේ, මා මෙවැනි ලෝකයක කොටසක් වී ඉන්නේ ආදී ප්‍රශ්න සම්බන්ධයෙන් අපට අවසාන පිළිතුරු, පරම පිළිතුරු නොමැති බවයි. අපට දැන ගත හැකි දෙය එක්තරා සීමාවකින් පසු අවසන් වී යයි. එවිට අපට කිව හැකි වන්නේ මේ දේවල් මෙලෙස තිබෙනවා කියා අපට කරුණුමය වශයෙන් අවබෝධ වන බවයි. එම නිසාම පවත්නා සියල්ලෙහි කරුණුමයභාවයක් තිබෙනවා කියා අපි කියමු. එමගින් අදහස් කරන්නේ ඒවා මෙලෙස තිබීමට සහ වෙනත් දෙයක් බවට පත් නොවීමට අපට අවසාන හේතුවක් ලබා දිය නොහැකි බවයි. එම නිසාම ඒවා අපට සිතා ගත නොහැකි ලෙස වෙනත් දෙයක් බවට පත්වීමේ හැකියාවෙන් යුතු වෙයි. එම හැකියාව අප නිරපේක්ෂ හැකියාවක් ලෙස බාරගත යුත්තේ මෙම නිසාය. එමගින් අපට සාපේක්ෂ වූ දැනුමෙන් කණ්ඩනය වීමේ හැකියාවක් පෙන්වා දෙයි. කරුණුමයභාවය පරම වනවා කියා මෙයසූ කියන්නේ මෙම නිසාය.

නමුත් කරුණුමයභාවයේ මෙම පරමත්වය අපට ආකාර දෙකකින් තේරුම් ගත හැකි බව පැහැදිළි වේ. මෙම අදහසේ ‘දුර්වල’ සහ ‘ශක්තිමත්’ ප්‍රකාශ ලෙස අපට මේවා නම් කළ හැකිය. ‘දුර්වල’ ප්‍රකාශයට අනුව අප කිව යුත්තේ කරුණුමය පැවැත්මවල් තිබේ නම් ඒවායේ කරුණුමයභාවය පරම වන බවයි. මෙම ප්‍රවේශය මගින් කරුණුමයභාවයේ පරමත්වය පිළිගනු ලැබුව ද එමගින් යම් යම් දේ පැවතීමේ අනිවාර්යතාවය කියා සිටින්නේ නැත. වෙනත් ආකාරයකට කියන්නේ නම් කරුණුමය පැවැත්මවල් තිබෙන්නේ නම් පමණක් කරුණුමයභාවය පරම වනවා කියා මෙමගින් කියයි. එම නිසා කරුණුමය පැවැත්මවල් නොමැති වූ විට පරම වූ කරුණුමයභාවයක් ද නැති බව පැහැදිළි වේ.

අනෙක් අතට ‘ශක්තිමත්’ ප්‍රවේශයට අනුව කරුණුමය පැවැත්මවල් අනිවාර්යයෙන් පැවතිය යුතු අතර ඒවායේ කරුණුමයභාවය, එම නිසා, අනිවාර්යයෙන් පරම වනු ඇත. එම අර්ථයෙන් ගත්විට දෙයෙහි-එහිම-ස්වරූපයක පැවැත්ම තහවුරු කිරීම සඳහා තීරණාත්මක වන්නේ මේ දෙවැනි ‘ශක්තිමත්’ ප්‍රවේශය තහවුරු කිරීම බව පැහැදිළි වේ. එමගින් කියා සිටින්නේ කිසිදා පැවැත්ම යන්න සම්පූර්ණයෙන් නැති වන්නේ නැති බවයි. දෙයෙහි-එහිම-ස්වරූපයක් තිබෙනා බව අපට පැහැදිළි වන්නේ මේ අනුවයි.

මෙය පැහැදිළි කරගැනීම සඳහා අපි ‘දුර්වල’ ප්‍රවේශය නිවැරදි බව උපකල්පනය කරමු. එහිදී අප කියන්නේ කුමක්ද? අප දැන් කරුණුමය වශයෙන් පවත්නා බව එවිට පිළිගැනීමට අපට සිදු වේ. අප අත්දකිමින් සිටිනා ලෝකය කරුණුමය වශයෙන් පවත්නා බව ද අප කිව යුතුය. එම නිසා ඒවා යේ කරුණුමයභාවය පරම වනවා කියා අප කිව යුතුය. නමුත් අප ඒ සමගම කියා සිටින්නේ මේ දේවල් පවතින්නේ නැති විය හැකි බවත්, එවිට කරුණුමයභාවය ද පවතින්නේ නැති බවත් ය. නමුත් මෙය සිදු කළ හැක්කේ එම කරුණුමයභාවයේ ද කරුණුමයභාවයක් තිබෙනා බව ප්‍රකාශ කිරීමෙනි. වෙනත් ආකාරයකට කියන්නේ නම් අප දැන් කරුණුමයභාවය ලෙස හඳුනා ගන්නා හැකියාව ද නැති විය හැකි බව එමගින් යෝජනා කරයි. එවිට අප ප්‍රායෝගිකව කියා සිටින්නේ එම දෙවැනි කරුණුමයභාවය වියහැකි බවත්, එම දෙවැනි කරුණුමයභාවය අපගේ කරුණුමය ලෝකයට මෙන්ම එම ලෝකයේ කරුණුමයභාවයට ද සාපේක්ෂ නොවනා බවත් ය. වෙනත් ආකාරයකට කියන්නේ නම් අප එය සිදු කරන්නේ දෙවැනි ආකාරයේ කරුණුමයභාවය පරමකරණය කිරීමෙන් පමණි. නමුත් මේ ආකාරයට ගත්විට අප හසුවන්නේ නිම නොවන චක්‍රයකට බව පැහැදිළි වේ. මේ දෙවැනි ආකාරයේ කරුණුමයභාවය පරමකරණය කිරීම නැවැත්විය හැක්කේ තුන්වැනි ආකාරයේ කරුණුමයභාවයක් පරමකරණය කිරීමෙන් පමණි.

මෙහි ප්‍රතිඵලයක් ලෙස අපට කරුණුමයභාවය පරමකරණය කිරීමෙන් ගැලවිය නොහැකි බව පැහැදිළි වේ. කරුණුමයභාවය පවතියි යන්න කරුණක් නොවන අතර එය අනිවාර්යයෙන් වලංගු වෙයි. නමුත් එම අනිවාර්යතාවය නිසාම එම කරුණුමයභාවය වලංගු වන යථාර්ථයක් ඇති බව ද අපට කිව හැකිය. මන්ද, කරුණුමයභාවය යනු පැවැත්මක් නොවන නිසා එය පැවතිය හැක්කේ පවත්නා දේ සම්බන්ධව වලංගු වන මූලධර්මයක් ලෙස පමණි. වෙනත් ආකාරකයකට කියන්නේ නම් කරුණුමයභාවය යනු දෙපැත්තට ක්‍රියාකාරී වන මූලධර්මයකි. එහි පැවැත්ම අප විසින් තහවුරු කරන්නේ කරුණුමය පැවැත්මවල් විශ්ලේෂණය කිරීමෙන් වුවත් එය තහවුරු වූ පසු එමගින් කරුණුමය පැවැත්මවල් වල අනිවාර්යතාවය ද සහතික කරයි. මන්ද එය පරම ලෙස වලංගු වනවා යන්නෙහි එකම අර්ථය මෙයයි. එය අනිවාර්යයෙන් වලංගු විය හැක්කේ එහි ක්‍රියාකාරිත්වය අදාළ වන පැවැත්මක් තිබෙන්නේ නම් පමණක් වන අතර එය අනිවාර්යයෙන් වලංගු වන බව සැක කළ නොහැකි නිසා එය අදාළ වන පැවැත්මක් තිබෙනා බව ද – අවම වශයෙන් එක් පැවැත්මක් හෝ තිබෙනා බව – අපට සැක කළ නොහැක. නමුත් අප දැන් පරිමිතවාදී දර්ශනවාදයන් ගේ සත්‍යය මේ වනවිටත් තහවුරු කර ඇති නිසා කරුණුමය වශයෙන් පවත්නා සහසම්බන්ධිත ලෝකය සැක කළ නොහැකි අතර එම නිසා අප කරුණුමය වශයෙන් අත්දකිනා මේ යථාර්ථය සැබැවින්ම තිබෙනා බව අපට පැහැදිළි වේ.

මෙය තවදුරටත් පැහැදිළි කර ගැනීම සඳහා අපට දෙවැනි විරෝධයක් සලකා බැලිය හැකි බව මෙයසූ කියයි. කරුණුමය පැවැත්මවල් ලෙස අපට සිතිය හැක්කේ මේ දැන් අප ඉදිරියේ සැබැවින්ම තිබෙනා දේ පමණක් නොව වියහැකි මාදිලියෙන් තිබෙනා සහ එම නිසාම සැබෑභාවයන් ලෙස නොතිබෙනා පැවැත්මවල් ය. නිදර්ශනයක් ලෙස ‘දැන් වහින්නේ නැත’ යන ප්‍රකාශය ගන්න. මෙමගින් කියන්නේ දැන් නොමැති දෙයක් සම්බන්ධයෙනි. නමුත් මෙය කරුණක් ලෙස පමණක් වලංගු වන බව අපි දනිමු. මන්ද, මෙම තත්වය වෙනස් වී දැන් වහිනවා යන්න අපට පහසුවෙන් සිතා ගත හැකිය. එවිට දැන් වහින්නේ නැති වීම අපට ගත හැක්කේ ‘නිශේධනාත්මක කරුණක්’ ලෙසයි. එය දැන් මා ඉදිරියේ පොතක් තිබෙනවා වැනි ‘සාධනීය කරුණක්’ නොවේ. නමුත් නිශේධනාත්මක කරුණක් වුවත් මෙය ද කරුණුමය පැවැත්මක් වනවා කියා අපට කිව හැකිය. එම නිසා කරුණුමයභාවය යන්න වලංගු වීම සඳහා මේ ආකාරයේ නිශේධනාත්මක කරුණු වල පැවැත්ම ද අපට යොදා ගත හැකිය. එම අර්ථයෙන් ගත්විට සත්‍ය වශයෙන්ම කිසිවක් පවතින්නේ නැති වුවත් නිශේධනාත්මක කරුණු පමණක් වලංගු වන අවස්ථාවක් අපට සිතා ගත නොහැකි ද? මෙයට ඔව් කියා අප පිළිතුරු දුන්නොත් ඉහත අපගේ නිගමනය බිඳ වැටෙනා බව පැහැදිළි වේ. එවිට අප කියා සිටින්නේ කරුණුමය දේවල් දැන් පවතින්නේ නැති වුවත් කරුණුමයභාවය වලංගු විය හැකි තත්වයක් පිළිබඳවයි.

මේ සඳහා පළමු පිළිතුර වන්නේ අපට කරුණුමයභාවයේ පරමත්වය සිතිය හැකි වීමේ කොන්දේසි මොනවාද කියා විමසා බැලීමයි. කරුණුමයභාවය වලංගු වීම සඳහා අපගේ සිතීම පැවතීම අනිවාර්ය නොවන්නේ වුවත් කරුණුමයභාවයේ පරමත්වය අවබෝධ කරගත හැකි වීම සඳහා අපගේ සිතීම පැවතීම අනිවාර්ය බව පැහැදිළි වේ. මේ සංකල්පයේ ඇති අත්‍යන්ත විශේෂත්වය වන්නේ ම මෙයයි. එය අපගේ සිතීම තුළින්ම අල්වා ගනු ලබන පරමත්වයකි. නමුත් මෙම අවබෝධය සඳහා අවශ්‍ය වන්නේ පවත්නා දෙයක් නොපැවැත්වීමට ඇති හැකියාව අවබෝධ කර ගැනීමයි. මේ අනුව අප පළමුවෙන් කිව යුතු වන්නේ මෙම සංකල්පය අවබෝධ කරගැනීම සඳහා අප අනිවාර්යයෙන් කරුණුමය වශයෙන් පැවැතිය යුතු බවයි.

මේ ආකාරයට අප මෙහි පරම වලංගු බව අවබෝධ කරගත් විට අපට පැහැදිළි වන්නේ මෙය ක්‍රියාත්මක වීම සඳහා අන්ත දෙකක් පැවතිය යුතු බවයි. එක් අන්තයක තිබෙන්නේ පවත්නා දෙය අනිවාර්ය ලෙස, වෙනස් නොවන ලෙස, පරම ලෙස පැවැත්මයි. නමුත් මෙවැනි පැවැත්මක් නොතිබිය හැකි බව අප මේ වනවිටත් තහරුවුරු කර දී තිබේ. එම නිසා පැවතිය හැක්කේ සෑම විටම අනෙකක් බවට පත්වීමේ හැකියාවෙන් යුතු වූ පැවැත්මවල් පමණි. නමුත් අනෙක් අතට මෙය අපට සිතිය හැකි වන්නේ මෙලෙස අනෙකක් බවට හෝ නොපැවත්මක් බවට හෝ පත්වීමේ හැකියාවක් තිබෙනා පැවැත්මවල් තිබෙන්නේ නම් පමණි. පරිපූර්ණ ලෙස පැවැත්ම අතුරුදහන් වී ගිය හොත් කරුණුමයභාවය අනිවාර්ය වනවා කියා කියන්නට අපට පදනමක් නොමැති වේ.

වංගීස සුමනසේකර

 

 

***

 

%d bloggers like this: