Menu Close

මහ මැතිවරණය හා කොරෝනා

අගෝස්තු 5 ලංකාවේ මීළඟ මහ මැතිවරණය සඳහා දින නියම වී තිබෙනවා. ඒ වරක් මේ දිනය කල් දැමීමෙන් පසුවයි. ඒ අතර නැවතත් රටේ කොරෝනා පැතිරෙනවා. එයට සමාන්තරව මැතිවරණය තවදුරටත් කල් දැමිය යුතු බවට අදහසක්ද ප්‍රචලිත වෙමින් තිබෙනවා.

මුලින්ම දින නියම කළ පරිදි ජූනි 20 මැතිවරණය පැවැත්වූවානම් ලොකු අවුලක් සිදු විය හැකිව නොතිබුණු බව දැන් අපි දන්නවා. එහෙත්, දැන් නැවත අතීතයට යන්න බැහැ. ඒ වගේම, මැතිවරණය කල් දමන විට පැවති අවිනිශ්චිත තත්ත්වයන් අනුව ඒ වෙලාවේ එවැනි තීරණයක් ගැනීමේ වැරැද්දක් නැහැ.

කොරෝනා ගැන තවමත් නොදන්නා දේ බොහොමයි. එහෙත්, මුලින් නොදැන සිටි බොහෝ දේ දැන් අපි දන්නවා. අඩු වශයෙන් වැඩිදුර නිගමන වලට ඉඩ සලසන සාක්ෂි රැසක් දැන් අප සතුයි.

– උණුසුම් කාලගුණයක් ඇති හෝ ආර්ද්‍රතාවය වැඩි රටවල් කොරෝනා රෝගයෙන් ආරක්‍ෂිත නැහැ.
– දුඹුරු හම තිබෙන හෝ ආසියානු සම්භවයක් තිබෙන අය කොරෝනා වලින් ආරක්‍ෂිත නැහැ.
– බීසීජී එන්නත ලබා ගෙන තිබීම නිසා කොරෝනා වලින් ආරක්ෂා වෙන්නේ නැහැ.
– ස්වභාවික ප්‍රතිශක්තිය ලැබී රෝගය අවසන් වීම ප්‍රායෝගික යථාර්තයක් නෙමෙයි.
– කොයි තරම් දැඩි ක්‍රියාමාර්ග ගත්තත් කොරෝනා මුළුමනින්ම තුරන් කිරීම අසීරුයි.
– වැලිසර හා කන්දකාඩු නිරීක්ෂණ අනුව ලංකාවේ තිබෙන “සාමාන්‍ය” තත්ත්වයන් යටතේ ඉතා වේගයෙන් රෝගය පැතිරෙන්න පුළුවන්.
– එහෙත් රෝගය පැතිරීම පාලනය කර ගැනීමේ හැකියාව අප සතුයි.
– එන්නත් කිරීමේ විකල්පය ලැබෙනු ඇත්තේ අඩු වශයෙන් ලබන වසර මුලදී.
– එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට සාමූහික ප්‍රතිශක්ති මට්ටමට යන්න බැරි වෙන්න ඉඩ තිබෙනවා.
– එන්නත් කිරීමෙන් පසුවද බොහෝ විට ප්‍රතිශක්තිය දිගු කාලයක් පවතින එකක් නැහැ. වාර්ෂිකව කෝවිඩ් එන්නතක් ලබා ගන්න අවශ්‍ය විය හැකියි.

මේ කරුණු ඇතුළු තවත් කරුණු වලින් පෙනී යන්නේ ලංකාව වැනි රටකට වුවත් කෝවිඩ් සමඟ ජීවත් වීමට පුරුදු වීම හැර වෙනත් විකල්පයක් නැති බවයි.

කෝවිඩ් වලක්වා ගැනීමේ ක්‍රියාමාර්ග වල ආර්ථික හානිය ගැනත් දැන් අපට ඉතා පැහැදිලියි. ලංකාව වැනි රටකට වුවත් ආර්ථිකය අමතක කර කෝවිඩ් පැතිරීම ගැන හිතන්න පුළුවන්කමක් නැහැ. ආර්ථිකයේ විශාල බිඳ වැටීමක් සිදු වුනොත් එහි අතුරු ප්‍රතිඵලයක් ලෙසත් විශාල ලෙස කෝවිඩ් පැතිරෙන්න පුළුවන්.

කෝවිඩ් වැළැක්වීම හා ආර්ථිකය බිඳ වට්ටා නොගැනීම වැදගත්. එහෙත්, ප්‍රජාතන්ත්‍රවාදයත් එසේම වැදගත්. මැතිවරණ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ අනිවාර්ය හා අත්‍යාවශ්‍ය අංගයක්. ඒ වගේම, විශේෂයෙන්ම මේ වගේ ආපදා අවස්ථාවකදී, රාජ්‍ය යාන්ත්‍රණය ශක්තිමත්ව පවත්වා ගැනීම අත්‍යාවශ්‍ය දෙයක්.

හැම දෙයකටම මිලක් තිබෙනවා. මේ වෙලාවේ මැතිවරණය පැවැත්වීමේත් මිලක් තිබෙනවා. එහෙත්, ඒ මිල ගෙවිය යුතු මිලක්.

මේ වගේ අවස්ථාවක මැතිවරණ ප්‍රචාරක කටයුතු සාමාන්‍ය පරිදි සිදු වෙන්නේ නැහැ. එහෙත්, එය නිශේධනීය කරුණකට වඩා සාධනීය කරුණක් කියා කියන්න පුළුවන්. ලංකාවේ මැතිවරණ ප්‍රචාරණ ක්‍රමවේදයේ බොහෝ අංග නැති විය යුතු අංග මිසක් අමාරුවෙන් පවත්වා ගත යුතු අංග නෙමෙයි.

මේ මැතිවරණ ප්‍රතිඵලයේ යම් විකෘතියක් තිබීම පැහැදිලිවම සිදු විය හැකි කරුණක්. එහෙත්, එවැනි විකෘතියක් ලංකාවේ මැතිවරණ ඉතිහාසයට සාපේක්ෂව බැලූ විට බරපතල විකෘතියක් වීමේ ඉඩක් නැහැ.

මෙවර ඡන්ද භාවිතය සෑහෙන තරමකින් අඩු වෙයි. ඒ හේතුවෙන් යම් විකෘතියක් සිදු වෙයි.

ඡන්ද භාවිතය අඩු වී මැතිවරණ ප්‍රතිඵල විශාල ලෙස විකෘති වූ අවස්ථා කිහිපයක්ම ලංකාවේ මැතිවරණ ඉතිහාසය තුළ දැකිය හැකියි. හොඳම උදාහරණ වන්නේ 1989 හා 2005 ජනාධිපතිවරණයි. එම වසර වලදී මෙන් සමස්ත ප්‍රතිඵලය කණපිට හැරීමේ ඉඩක් මෙවර පෙනෙන්නට නැහැ.

මෙවර ජයග්‍රාහකයා පොහොට්ටුව වනු ඇති බව අවිවාදිත කරුණක්. ආණ්ඩුවේ ඉලක්ක මොනවා වුවත් ජනාධිපතිවරණ ප්‍රතිඵල අනුව පවා ආණ්ඩුවට තුනෙන් දෙකක් ගැනීමේ හැකියාවක් පෙනෙන්න තිබුණේ නැහැ. ජනාධිපතිවරණයෙන් පසුව ආණ්ඩුවේ ජනප්‍රියත්වය අඩු වී මිස වැඩි වී නැහැ.

අනෙක් අතට මෙවර මැතිවරණය පැවැත්වෙන්නේ විපක්ෂය වෙන කවර දාකටවත් වඩා දුර්වලව සිටියදී. ඒ නිසා, කොරෝනා නොතිබුණත් මේ මැතිවරණය බොහෝ විට ඇල්මැරුණු එකක්. කෝවිඩ් නිසා ඒ තත්ත්වය උග්‍ර වෙලා.

මහ මැතිවරණයක ප්‍රතිඵලය තීරණය වන්නේ දිස්ත්‍රික් මට්ටමින් නිසා ඡන්ද භාවිතය දිස්ත්‍රික්කයෙන් දිස්ත්‍රික්කයට වෙනස් වුනා කියා ලොකු විකෘතියක් වෙන්නේ නැහැ. එහෙත් වෙනත් ආකාර වල විකෘති සිදු විය හැකියි. උදාහරණයක් විදිහට පාවෙන ඡන්දදායකයින් බොහෝ පිරිසක් ඡන්දය භාවිතා නොකරන්න ඉඩ තිබෙනවා. එය පාක්ෂික ඡන්ද ගොඩක් තිබෙන පක්ෂයකට වාසියක්. ඒ වගේම, අඩු ඡන්ද ප්‍රමාණයක් ලබන පක්ෂයකට කොටෙන් ගොඩ යන එක වඩා පහසු වෙන්නත් ඉඩ තිබෙනවා.

මේ කරුණු වල සමස්ත ප්‍රතිඵලය පුරෝකථනය කිරීම අසීරුයි. කොහොම වුනත් කෝවිඩ් අස්සේ මැතිවරණය පැවැත්වුවා කියා කිසිදු දේශපාලන පක්ෂයකට විශාල අවාසියක් සිදු වෙනවා කියා කියන්න බැහැ.

මැතිවරණය නියමිත පරිදි නොපැවැත්වුවහොත් රටේ ව්‍යවස්ථාදායකයක් නැති වීමේ අඩුව දැනෙන්නනම් වැඩි දවසක් යන එකක් නැහැ.

%d bloggers like this: