Menu Close

“පිං අංකේ” හෙවත් බැංකු කතාවේ කඩඉමක් – Wow, what a feeling!


මා කුඩා කාලයේ අම්මා ඇරඹූ තැපැල් කන්තෝරු ඉතිරි කිරීම් ගිණුමේ තිබුණු සුළු මුදළ ආපසු ගෙන උසස් පෙළ අවසාන වූ පසු සමයේ මගුල් ගෙදරකට කළිසම් කමිස ගත් හැටි සහ ඉන්පසුව දිගු කාලයක් බැංකුවලින් බේරී සිටි මට අවසානයේ ගිණුමක් ඇරඹීමට සිදු වූ හැටි මීට කලින් පළ කළ සටහන් දෙකේ මම ලිව්වෙමි.

නොකරම බැරිවුණු නිසා සිකුරාදාවක එලෙස ලංකාවේ බැංකුවක ගිනුමක් අරඹා, ඉන් පසුදාම පශ්චාත් උපාධියක් සඳහා විදෙස් ගත වූ මට ඊළඟ සඳුදාම නැවත බැංකු ගිණුමක් ආරම්භ කිරීමට සිදුවිය.

මගේ බැංකු ගිණුම් ඉතිහාසයේ කඩඉමක් ලෙස සැළකිය හැකි ඒ අවස්ථාව පිළිබඳ අතුරු කතාවක් මෙලෙස කෙටියෙන් ලියන්නට සිත්විය.

එලෙස මා විදේශයක දී ඇරඹූ ගිණුම කඩඉමක් වන්නේ මා මුලින්ම ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ලැබුවේ ඒ ගිණුම සඳහා වූ නිසා ය.

මේ 1988 වසර විය. එවැනි කාඩ් ලබා දෙන බැංකුවක් එකල ලංකාවේ ද තිබුණු බව මම දැන සිටියෙමි. ඒ විදෙස් බැංකුවක් වූ හොංකොං සහ ෂැන්හයි බැංකුවයි. ඔවුන්ගේ ශාඛා පිහිටියේ එකක් පමණක් නිසා සහ එය ද පිහිටියේ කොළඹ කොටුවේ නිසා අප වැනි ගම්බයියන්ට එවැනි සීමිත වූ පහසුකමක අවශ්‍යතාවක් එකල නොතිබුණි.

නමුත්, මේ විදේශයේ දී මට මෙලෙස බැංකු ගිණුමක් ඇරඹීම අනිවාර්ය වූයේ පශ්චාත් උපාධිය හදාරන කාලයේ දී මට ලැබෙන ශිෂ්‍යත්ව මුදල ගෙවන්නේ ගිණුමකට පමණක් වීම නිසා ය.

මා සමග ඒ උපාධිය හැදෑරීමට ගොස් සිටි පිරිස අතර ලංකාවේ වෙනත් සිසුන් තිදෙනෙකු ද විය. අප තිදෙනා සඳුදා ඇරඹූ බැංකු ගිණුමට අපට එදින ම හෝ පසුදා පෙර කී පරිදි ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් ගිණුමේ ඇති මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද ලැබුණි.

මේ සටහන කියවන සෑම දෙනෙකුට ම අද මෙය අති සරල කරුණක් ලෙස පෙනී ගිය ද, එය අප ලැබූ නවමු අත්දැකීමක් විය. ඒ සමගම අපට කාඩ් එක සමග භාවිතා කිරීමට පර්සනල් අයිඩෙන්ටිෆිකේෂන් නම්බර් හෙවත් රහස්‍ය “පිං අංකයක්” ද ලැබුණි.

ඒ රහස්‍ය අංකය ඉලක්කම් හතරකින් සමන්විත විය.

එය මතකයේ තබා ගන්නා ලෙසත්, ප්‍රසිද්ධියේ ලියා නොතබන ලෙසත්, අන් කිසිවෙකුට ලබා නොදෙන ලෙසත් අපට උපදෙස් ලැබුණි.

මෙහි දී මා ලද විනෝදජනක අත්දැකීමක් මෙසේ ය.

අප ලාංකික සිසුන් සිව්දෙනා මේ කාඩ් එක ගැනත් පිං අංකය ගැනත් කතාබහ කරමින් සිටියෙමු. මේ සිව් දෙනාම ගණිතය හැදෑරූ මැවිසුරු උපාධිය ලද අය වූහ.

දැන් මේ “පිං අංකයේ” තියෙන්නේ ඩිජිට්ස් හතරයි නේ. එතකොට කොච්චර කම්බිනේෂන් තියෙන්න පුළුවනි ද එකෙකු ඇසීය.

ගණිතයේ කෙල පැමිණි සිටි අනෙකෙකු වහා ගණං හැදීම ඇරඹීය.

“පළමුවෙනි ඩිජිට් එකට බින්දුවේ ඉඳලා නමය වෙනකං ඔප්ෂන්ස් දහයක් තියෙනවා. දෙවෙනි තැනටත්, තුන්වෙනි සහ හතරවෙනි තැන්වලටත් එහෙමයි, එතකොට දහය වැඩිකිරීම දහය වැඩිකීරීම… …. …..”

“මොනවද මචං ඔච්චර ගණං හදන්න තියෙන්නේ, බින්දුවේ ඉඳලා 9999 දක්වා තියෙන්නේ හරියටම දහ දාහයිනේ!” මම කියා සිටියෙමි.

ඊට තත්පර කිහිපයකට පසු මගේ මිතුරා ද, තම කම්බිනේෂන්ස් සහ පර්මියුටේෂන්ස් ගණනය කිරීම මගින් ඒ පිළිතුර සොයා ගත්තේ ය!

හදිස්සියට කොරහේ අත දාන්න බැරිවෙනවාය කියන්නේ එවැනි අවස්ථාවලට යැයි සිතමි.

නැවතත් ඔටෝමේටඩ් ටෙලර් මැෂිමකින් මුදල් ආපසු ගත හැකි බැංකු කාඩ් එකක් ද සහිත ගිණුම පිළිබඳ කතාවට යතොත්, මේ ගිණුමේ මාසික සුළු අය ප්‍රමාණයට සමානවම මාසය පුරා වැය සිදු වූ නිසා, එහි රැඳුණු මුදලක් නැති වුව ද, උදේ පාන්දර, සවස් කාලය, රාත්‍රිය, මැදියම කියා වෙනසක් නොමැතිව ද, බැකුවේ විශ්වවිද්‍යාල ශාඛාව, අසල කඩ මංඩියේ ශාඛාව හෝ මහ නගරයේ ඇති විවිධ ශාඛා ද කියා වෙනසක් නොමැතිව තියෙන තුට්ටු දෙක අපට ඉතා පහසුවෙන් ආපසු ලබා ගත හැකි වීම අප ලැබූ විශාල පහසුකමක් විය.

මා ඒ ගිණුමට මෙන්ම, බැංකු කාඩ් එකට ද කෙතරම් ඇළුම් කළේ ද යත්, අධ්‍යාපනය නිමවා, පශ්චාත් උපාධිය ලැබ, ආපසු ලංකාවට ඒමට පෙර ගිණුමේ ඇති මුදල් සියල්ල රැගෙන එය වසා දැමීමට මට නොසිතුණි. ඒ, එවිට මගේ බැංකු කාඩ් එක ද බැංකුවටම ආපසු දෙන්නට වේ යැයි සිතුණු නිසා ය.

එනිසා ගිණුමේ ඉතා සුළු මුදලක් ඉතුරු කර මගේ සිහිවටනය වූ බැංකු කාඩ් එක ද රැගෙන ලංකාවට පැමිණියෙමි.

මෙයින් වසර හතර හමාරකට පසු, මා වෙනත් ගමනක අතර මැද මේ නගරයේ ද දින දෙකක් ගත කිරීමට සිදුවෙන බව දැන මගේ සිහිවටන බැංකු කාඩ් එක ද රැගෙන ගියෙමි.

අහෝ!

ගිනුමේ ගණුදෙනු කටයුතු සිදු නොවන බැවින් අවම ශේෂය නැති මාස සඳහා සුළු මුදලක් බැගින් කපා ගෙන, ඒ වන විට ඔවුන් මගේ ගිණුම අහෝසි කර දමා තිබුණි.

-රසික සූරියආරච්චි

%d bloggers like this: