Menu Close

පඩි පැකට්ටුව සහ බැංකු ගිණුම – Do we need banks?


පොඩි කාලේ අම්මා විසින් අරඹන ලදුව තැපැල් කාර්යාලය හරහා ගනුදෙනු කටයුතු කළ ජාතික ඉතිරි කිරීමේ බැංකුවේ ගිණුමක් මට තිබුණි. ශත විසිපහ, පනහ, රුපියල බැගින් ගෙවා බැංකු පොතේ විශේෂ මුද්දර වර්ගයක් අලවා මේ ගිණුමේ මුදල් තැන්පත් කරණ ලදී. සල්ලි දැමීම මිස ආපසු ගැනීමක් ගැන එකල නොසිතුවෙමි.

ඒ සුවිශේෂී අවස්ථාව උදාවුණේ මා උසස් පෙළ විභාගයට පෙනී සිටි පසුවය. එදා, මගේ ළමා ගිණුමේ තිබූ මුදලින් කොටසක් රැගෙන පුංචි අම්මාගේ මංගල උත්සවය සඳහා මයුරා (ජිල්) සාප්පුවෙන් මැසූ කලිසමක් සහ කමිසයක් මිලට ගත් බව මට අද ද හොඳින් මතකයේ ඇත්තේ එතෙක් ටේලර්-මේඩ් කලිසම් සහ කමිස ඇඳී මා මුලින් ම මිලට ගත් රෙඩි-මේඩ් ඇඳුම් ගත්තේ එලෙස නිසා ය.

විශ්වවිද්‍යාලයේ සිටි කාලයේ ද, ඉන්පසුව, පළමුවෙනි, දෙවෙනි තුන්වෙනි රැකියාවේ නිරතවෙන කාලයේ ද මට බැංකු ගිණුමක අවශ්‍යතාවක් ඇති නොවුණි.

විශ්වවිද්‍යාල ශිෂ්‍ය සමයේ නිවසෙන් ද, ඥාතීන්ගෙන් ද ලැබුණේ මුදල් ය, තැපැල් ඇණවුම් ය. භාවිතා කළේ සල්ලි කොළ සහ කාසි ය. අතට ලැබෙන තුට්ටු දෙකට බැංකු ගිණුම් අවශ්‍ය නොවුණි.

රැකියාවට ගිය පසු ද, අපට මාසික පඩි ලැබුණේ මුදල් කොළවලින් ලියුම් කවරයක බහා පඩි-පැකට් එකක් ලෙසිනි. ඒවා නැවත බැංකුවට දැමීමට යෑම කාලේ කා දැමීමක් විය.

ඒ දිනවල මා මගේ ආදායම කළමනාකරණය කළේ මෙලෙසයි.

පඩි දිනයේ දී ලැබෙන පඩි පැකට්ටුව කමිසයේ උඩ සාක්කුවේ දා ගනිමි.

එයින් රැගෙන වියදම් කරමි.

මාරු කාසි පර්ස් එකට දමමි.

නවාතැනට ගිය විට, පඩි පැකට්ටුව මේසය මතට දමමි.

පසුවදා සේවයට යන විට එදින අඳින කමිසයේ රුවා ගනිමි.

ඇතැම් මාසවල සීයේ කොළයක් දෙකක් ඉතිරිවේ. ඒ වන විට පඩි පැකට්ටුව හෙවත් ලියුම් කවරය ද නැමී, ඉරී, කල් ඉකුත් වී ඇත. එසේ ඉතිරිවන මුදලක් වෙහොත් එය ඊළඟ මාසයේ පැකට්ටුවට එකතු කරමි.

ජරාජීර්ණ වූ පසුගිය මාසයේ පඩිය බහා තිබුණු ලියුම් කවරය කාර්යාලයේ කුණු බක්කියට දමමි.

මා කළ තුන්වෙනි රැකියාවේ දී, මා සමග මැවිසුරුවන් දහ දෙනෙකු සේවය ඇරඹූහ. ඔවුන්ගෙන් සමහරෙකුට බැංකු ගිණුම් තිබෙන්නට ඇත. එලෙස නොතිබුණු අයගෙන් මා හැර අන් අය සේවා ස්ථානය නුදුරින් තිබුණු අතුරුගිරියේ ලංකා බැංකුවට ගොස් ගිණුම් ඇරඹූහ.

ඒ පඩියෙන් කොටසක් ඉතුරු කිරීම සඳහා විය යුතුයි. මක් නිසා ද යත්, අපට පඩි ලැබුණේ මුදලින් බැවිනි.

එසේ නමුදු මගේ ඒ බැංකු රහිත සරල ජීවිතය වෙනස් කිරීමට වසර එකහමාරකට පමණ පසුව සිදුවිය.

එයට හේතුව වූයේ, මට පශ්චාත් උපාධියක් හැදෑරීම පිණිස, විදෙස්ගතවීමට අවස්ථාවක උදා වීමයි. මා සේවය කළ ලංකා වානේ සංස්ථාව රාජ්‍ය ආයතනයක් වූ නිසා ඒ කාලය සඳහා පඩි සහිත අධ්‍යයන නිවාඩු ලබා ගැනීමට ද මට ඉඩකඩ තිබුණි.

මගේ පාඨමාලාව ඇරඹීමට නියමිතව තිබුණේ සඳුදාවක ය. මට ඒ අධ්‍යාපන ආයතනයට යාමට ගුවන්ටිකට් පත් ලැබී තිබුණේ ඉන් දින දෙකකට පෙර සෙනසුරාදා ය. කල් තියාම අයැදුම් කළ නමුදු, පඩි සහිත නිවාඩු අවසරය මට ලැබුණේ බ්‍රහස්පතින්දාවක දිවා කාලයේ ය. මේවන විට සංස්ථාව අසල තිබුණු ලංකා බැංකු ශාඛාව දේශප්‍රෙමී කඩතුරාවකට මුවා වී ජනතාව අතර ජාතිවාදය ඇවිස්සූ ජවිපෙ ත්‍රස්තවාදීන් විසින් ගිනිබත් කර තිබුණු අතර මට අධ්‍යයන නිවාඩු කාලයේ වැටුප් ලබා ගැනීම සඳහා පිරිස් පරිපාලන අංශයට තොරතුරු ලබා දීම සඳහා බැංකු ගිණුමක් එදින ආරම්භ කළ නොහැකි විය.

දැන් ඉතිං මක් කරන්නද?

පසුදා නවාතැන අතහැර නිවෙසට යා යුතුය. සෙනසුරාදා උදේ පාන්දරින් ගුවන් තොටුපොළට යෑමට සිටියේ නිවසේ සිට දෙමව්පියන් ද සමග ය.

ළඟම බැංකුව පිහිටියේ කඩුවෙල නගරයේ වූ අතර අපේ ජ්‍යෙෂ්ඨ සගයෙකු වූ සුමනසිරිගේ බිරිඳ සේවය කළේ එහි නිසා, පසුදා උදෑසන එහි ගොස් ඇයගේ ද උපකාරයෙන් එහි ගිණුමක් ඇරඹුවෙමි. මට මතක ආකාරයට ඒ දිනවල (1988) ගිණුමක් ඇරඹීමට නම් වෙන අයෙකුගේ ද අත්සනක් අවශ්‍ය විය. මා උදක් ම කඩුවෙල ගියේ ඒ නිසා ය.

ඒ මාසයේ සිට තවත් මාස විස්සක කාලයක් පුරා මගේ පඩිය සංස්ථාව විසින් ඒ ගිණුමට බැර කරණ ලදී.

මගේ බැංකු ගනුදෙනුවල ආරම්භය එලෙස විය.

-රසික සූරියආරච්චි

ප/ලි
බැංකුවක සිද්ධියක් ගැන මා ලියූ කෙටි සටහන ෆෙස්බුක් කණ්ඩායමක මුලින් පළ කළ විට එහිදී දැක ගන්නට ලැබුණු අමන කතා කිහිපයක් නිසා, මගේ බැංකු ඉතිහාසය ද, බැංකු අත්දැකීම් ද, ඒ හා සම්බන්ධ වෙනත් දේ ද, ලියා රසිකොලොජියේ පළ කිරීමට සිතුණි.

මේ ඒ ලිපි මාලාවේ දෙවෙනි ලිපියයි.

මෙන්න මුල් ලිපිය:
බැංකුවක කතාවක් හෙවත් සේවා සපයන්නා සහ ගණුදෙනුකරුවා – Know your rights
https://rasikalogy.blogspot.com/2020/07/know-your-rights.html

(image: )

%d bloggers like this: