Menu Close

මගේ ගලහිටියාව මතක (II) – Sisira Premakumara and Ananda Jayathilaka


මේ ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ මා ගතකළ සිව් වසරක කාලය පිළිබඳ ලියවෙන දීර්ඝ මතක සටහනක දෙවන කොටසයි.

පළමුවෙනි කොටස සඳහා: https://rasikalogy.blogspot.com/2020/05/my-galahitiyawa-central-collage-memories.html


කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ සිටියදී මා ගලහිටියාව මධ්‍යම විද්‍යාලය පිළිබඳව මුලින් ම ඇසූ හැටි සහ හයවෙනි ශ්‍රේණිය සදහා එහි යාමේ අරමුණ ඇතුව විභාගයකට මුහුණ දුන් හැටි මෙම ෆේස්බුක් කණ්ඩායම සඳහා ලියන මගේ මතක සටහනේ මුල් කොටසේ ලිව්වෙමි.

අප මුහුණ දුන් විභාගයේ ලකුණු මත කොස්සින්න කණිෂ්ඨ විද්‍යාලයෙන් කිහිප දෙනෙකුට ම ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ ඉගෙනුම ලැබීමට තේරුණු බව කියැවෙන ලිපි ලැබුණු නමුත්, සෑහෙන්න හොඳ ලකුණු ප්‍රමාණයක් ලබා ගත්, මට මතක විදිහට ඔහු පාසලෙන් දෙවනියට වැඩිම ලකුණු ලබාගත් සිසුවා විය, සිසිර ප්‍රේමකුමාරට එම ලිපිය ලැබුණේ නැත.

එය මහා අවාසනාවන්ත තත්වයක් විය. පාසලෙන් ඒ පිළිබඳව කිසිවක් කළේ දැයි මා හරි හැටි නොදන්නා නමුත් සිසිර ප්‍රේමකුමාරගෙන් අම්මා ගම්පහ අධ්‍යාපන කාර්යාලයට ගොස් මේ පිළිබඳව පැමිණිලි කර අවසානයේ සියල්ල යථා තත්ත්වයට පත්කර ගත්තා ය. මට මතක විදිහට සිදුවී තිබුණේ ප්‍රේමකුමාරට ලැබිය යුතු එම ලිපිය කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයට නොව ගම්පහ අධ්‍යාපන කොට්ඨාශයේ වෙනත් පාසැලකට යැවූ ලිපි ගොන්න අතරට එකතු වී තිබීමයි.

ප්‍රේමකුමාර ද මා සමගින් ගලහිටියාව මධ්‍ය විද්‍යාලයට ඇතුලත් වූ අතර අපි දෙදෙනා වසර හතරක් ම එකම පංතියේ සිසුවන් වීමු.

මගේ මතකය නිවැරදි නම්, ප්‍රේමකුමාර ගේ සම්පූර්ණ නම අක්මීමන ගේ දොන් සිසිර ප්‍රේමකුමාර විය. මීට සති කිහිපයකට පෙර ඔහු ප්‍රේම් ප්‍රේමකුමාර් වැනි නමකින් ෆේස්බුක් ඔස්සේ මා හා සම්බන්ධ විය. නමුත් ඔහු පිළිබඳ වැඩි විස්තරයක් එම ෆේස්බුක් ප්‍රොෆයිලයේ හොයා ගත නොහැකි විය.

ගලහිටියාවේ අධ්‍යාපනය ඇරඹීමට පෙර දින, දෙමවුපියන්ගේ යෝජනාවකට අනුව, මම මගේ පස්වෙනි ශ්‍රේණියේ පන්තිභාර ගුරුවරිය වූ බමුණුසිංහ ටීචර් ගේ නිවසට බුලත් අතක් ද රැගෙන ගියෙමි. බමුණුසිංහ ටීචර් විවාහ වී සිටියේ කොස්සින්නේ ජම්පි ගුරුන්නාන්සේ නමින් ජෝතිර්වේදියෙකු ලෙස එවකට ප්‍රකටව සිටි මල්ලව ආරච්චි නම් විශ්‍රාමික ගුරුවරයා ගේ පුත්‍රයා සමඟ ය.

මගේ අල්ලපු වත්තේ අසල්වාසියා මෙන්ම පස්වැනි ශ්‍රේණියේ එකම පන්තියේ උගත් ආනන්ද ජයතිලක ද, එම කර්තව්‍යය සඳහා එම මොහොතේම බමුණුසිංහ ටීචර් ගේ නිවසට තම පියා සමඟ ගොස් සිටියේ ය. ඔහු බමුණුසිංහ ටීචර්ට ත්‍යාගයක් ලෙස ගස්ලබු ගෙඩියක් ගෙන ගොස් තිබුණි. අප ගෙන ගොස් තිබුණේ බුලත් අතක් පමණක් වීම මගේ ලැජ්ජාවට හේතු විය.

මා ආපසු එනවිට බමුණුසිංහ ටීචර් මට half sheet හෙවත් A4 ප්‍රමාණයේ කොළ සීයක් පමණ ත්‍යාගයක් ලෙස දුන්නා ය. මේවා පසු කලෙක මා උසස් පෙළ හදාරන සමයේ halfsheet වල සටහන් ලිවීමට ඇරැඹූ පසු ව භාවිතා කළ කොළ වර්ගයටද වඩා ඉහළ ප්‍රමිතියේ, සාමාන්‍යයෙන් කඩයකින් මිලදී ගැනීමට නොහැකි ආකාරයේ, ඒවා විය.

මේ 1973 වසරේ ජනවාරි මාසයයි. ලංකාවේ ආර්ථිකයේ තරම් හොඳ එකක් නොවී ය. පාසලට ඇතුල්වෙන සිසුන් සඳහා පුටුවක් සහ ඩෙස්ක් එකක් අවශ්‍ය බවත් ඒ වෙනුවෙන් රුපියල් තිස් පහක් ගෙවන ලෙසත් දන්වා පාසලෙන් ලිපියක් එවා තිබුණි. එය පාන් ගෙඩි සීයක, නොඑසේ නම්, සීනි රාත්තල් පනහක වටිනාකම ය. නිවසේ සිට පාසල දක්වාම මගේ බස් ගාස්තුව වූයේ සත පහලොවකි. වැඩිහිටියකුට සත තිහකි.

නියමිත දිනයේ අම්මා ද තාත්තා ද සමඟ මම ගලහිටියාව මධ්‍යම විද්‍යාලය වෙත මුල්වරට පා තැබුවෙමි. මා අයත් වූයේ 6A නම් පංතියටයි. අපේ පංති භාර ගුරුවරයා වූයේ ජයසිංහ ආරච්චිගේ කුලරත්න හෙවත් ජේ. ඒ. කුලරත්න ය. ඔහු අපේ ගණිතය ගුරුවරයා විය. එපමණක් නොව ඊළඟ වසර දෙකේදී ද අපේ පන්තිය භාර ගුරුවරයා මෙන්ම ගණිත ගුරුවරයා ද වූයේ ඔහු ම ය.

මතු සම්බන්ධයි.

-රසික සූරියආරච්චි

එතැන් සිට කතාව තෙවැනි කොටසින්: https://rasikalogy.blogspot.com/2020/05/galahitiyawa-memories-iii.html

(image: http://wwa.you2repeat.com/watch/?v=be9bOgE0xw4)

%d bloggers like this: