Menu Close

චීන වත්කම්

ලංකාවේ වගේම ඇමරිකාවේත් ශුද්ධ බැරකම් ගැන කලින් ලිපියෙන් කතා කළා. මේ එක් එක් රටේ ශුද්ධ බැරකම් එම රට වල ජාතික ආදායමෙන් බාගයකට ටිකක් වැඩියි. ඇමරිකන් ඩොලර් බිලියන 84ක ජාතික ආදායමක් උපයන ලංකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් බිලියන 45ක්. ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 21.4ක ජාතික ආදායමක් උපයන ඇමරිකාවේ ශුද්ධ බැරකම් ප්‍රමාණය ඇමරිකන් ඩොලර් ට්‍රිලියන 12.1ක්.

ඉහත සමානකම තිබුණත් ඇමරිකාවේ ශුද්ධ බැරකම් ලංකාවේ ශුද්ධ බැරකම් මෙන් රටට බරක් නොවන බව මම පැහැදිලි කළා. ඇමරිකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 31%ක් පමණක් වුවත්, ලංකාවේ ශුද්ධ බැරකම් මුළු බැරකම් ප්‍රමාණයෙන් 77%ක් වීම මේ වෙනසට එක් හේතුවක්. එක් එක් රට තමන්ගේ වත්කම් වලින් උපයන හා බැරකම් වෙනුවෙන් ගෙවන පොලී අනුපාතික අතර වෙනස දෙවන හේතුවයි. කොහොම වුනත් ලෝකයේ විශාලතම ශුද්ධ බැරකම් සහිත රට ඇමරිකාව බව පැහැදිලි කරුණක්.

ලෝකයේ රටවල් අතරින් වැඩිම ශුද්ධ වත්කම් ඇති රටක් වන්නේ චීනයයි. 2020 මාර්තු අවසානයේදී ලෝකය පුරා වූ චීන වත්කම් වල වටිනාකම ඇමරිකන් ඩොලර් බිලියන 7,635.4ක් වෙද්දී චීනයේ බැරකම් වල වටිනාකම වුනේ ඇමරිකන් ඩොලර් බිලියන 5,498.1ක් පමණයි. ඒ කියන්නේ ඇමරිකන් ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ප්‍රමාණයක් චීනය සතුයි. එම ප්‍රමාණය චීනයේ මුළු බැරකම් ප්‍රමාණයෙන් 39%ක්.

ලංකාවේ ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් ලෙස ඩොලර් 438ක් තිබෙනවා. ඇමරිකාවේ ඩොලර් 100ක වත්කම් සාපේක්ෂව වලට බැරකම් ලෙස ඩොලර් 145ක් තිබෙනවා. එහෙත්, චීනයේ  ඩොලර් 100ක වත්කම් වලට සාපේක්ෂව බැරකම් තිබෙන්නේ ඩොලර් 72ක් පමණයි. වෙනස පැහැදිලියිනේ.

හැබැයි ශුද්ධ බැරකම් තිබුණු පලියටම ඇමරිකාවෙන් ප්‍රාග්ධනය පිටතට ගලා නොයන බව අපි පෙර ලිපියෙන් දැන ගත්තානේ. ඒ කියන්නේ ශුද්ධ වත්කම් තිබුණු පලියටම ප්‍රාග්ධනය රටක් ඇතුළට ගලා එන බවටත් සහතිකයක් නැහැ. ඒ නිසා, අපට චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දෙසත් බලන්න වෙනවා.

පහතින් තිබෙන්නේ 2020 මාර්තු අවසානයේදී චීනයේ ශේෂ පත්‍රයයි. මෙයට හොංකොං ඇතුළත්ව නැහැ.

වත්කම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-    2,089.5
කළඹ ආයෝජන-                 640.8
මූල්‍ය ව්‍යුත්පන්න-                   10.5
වෙනත් ආයෝජන-           1,714.3
නිල සංචිත-                        3,180.3
එකතුව-                              7,635.4

බැරකම් (ඇමරිකන් ඩොලර් බිලියන) 

සෘජු විදේශ ආයෝජන-  2,906.4
කළඹ ආයෝජන-            1,263.2
මූල්‍ය ව්‍යුත්පන්න-                 11.9
වෙනත් ආයෝජන-         1,316.6
එකතුව-                             5,498.1

චීනයේ වත්කම් හා බැරකම් වල සංයුතිය දිහා බැලුවහම අපට කලින් නොපෙනුණු කරුණු කිහිපයක් පෙනෙනවා. රාජ්‍ය මැදිහත්වීම් වල බලපෑම අඩු සෘජු විදේශ ආයෝජන හා කළඹ ආයෝජන පමණක් සැලකුවොත් චීනයේ වත්කම් වලට වඩා බැරකම් වැඩියි. චීනයේ ශුද්ධ විදේශ වත්කම් වලට ප්‍රධාන වශයෙන් හේතු වී තිබෙන්නේ චීනය සතු විශාල විදේශ සංචිත ප්‍රමාණයයි.

චීනය සතු ඇමරිකන් ඩොලර් බිලියන 3,180.3ක නිල සංචිත වලින් ඇමරිකන් ඩොලර් බිලියන 3,060.6ක්ම විදේශ ව්‍යවහාර මුදල් සංචිත. මේ විදේශ ව්‍යවහාර මුදල් සංචිත තිබුණේ නැත්නම් චීනයේ ඩොලර් බිලියන 2,137.3ක ශුද්ධ වත්කම් ශුද්ධ බැරකමක් බවට හැරෙනවා. මේ විදිහට සංචිත ලෙස එකතු වී තිබෙන්නේ කාලයක් තිස්සේ ඇමරිකාව සමඟ කළ විදේශ වෙළඳාමේ වෙළඳ ශේෂය කියන්නත් පුළුවන්. එය සෘජුව වගේම වක්‍ර ලෙසිනුත් සිදු වී තිබෙනවා. උදාහරණයක් විදිහට අපිට ලංකාව කතාවට එකතු කරන්න පුළුවන්. ලංකාව ඇමරිකාව සමඟ කරන වෙළඳාමෙන් එකතු කර ගන්න ඇමරිකන් ඩොලර් චීනය සමඟ කරන වෙළඳාමේදී චීනයට යනවා.

ලංකාව විසින් ලෝකයට ණය වෙමින් රුපියල ආරක්ෂා කරගන්න දඟලද්දී චීනය විසින් කාලයක් තිස්සේ කළේ එහි අනික් පැත්තයි. චීන මහ බැංකුව විසින් අපනයන හරහා චීනයට ලැබෙන ඇමරිකන් ඩොලර් එකතු කර ගනිමින් දිගින් දිගටම චීනය ඇතුළේ කෘතීම ඩොලර් හිඟයක් ඇති කළා. එහි ප්‍රතිඵලය ලෙස එක පැත්තකින් චීනයට ආනයනය සඳහා අවශ්‍ය ඩොලර් සීමා වී ආනයන සීමා වෙද්දී අනික් පැත්තෙන් චීන යුවානය එහි නියම වටිනාකමට වඩා දුර්වල වී ඩොලරය එහි නියම වටිනාකමට වඩා ශක්තිමත් වෙනවා. එහි ප්‍රතිඵලයක් ලෙස චීන භාණ්ඩ චීනයෙන් පිටතදී එහි නියම මිලට වඩා ලාබ වෙනවා. ඇමරිකන් බඩු මිල අධික වෙනවා.

මෙහි ප්‍රතිඵලයක් විදිහට ඇමරිකාව ඇතුළේදී චීන භාණ්ඩ ගොඩක් ලාබ වෙනවා. ඇමරිකන් භාණ්ඩ වලට චීන බඩු එක්ක තරඟ කරන්න අසීරු වෙනවා. චීනය හා ඇමරිකාව අතර චීනයට වාසිදායක වෙළඳ ශේෂයක් ඇති වෙනවා. චීන ආනයන වෙනුවෙන් ඇමරිකාව ගෙවන ඩොලර් ඇමරිකන් අපනයන සමඟ හුවමාරු වී නැවත ඇමරිකාවට එන්නේ නැහැ. ඒ නිසා, චීනය ඇතුළේ ඇමරිකන් ඩොලර් එකතු වෙනවා.

චීනයේ රාජ්‍ය මැදිහත් වීම නොවන්නට මෙවැනි තත්ත්වයක් වැඩිකල් පවතින්නේ නැහැ. චීනය ඇතුලෙ ඩොලර් සැපයුම ටිකෙන් ටික ඉහළ යන විට ඩොලර් ඉල්ලුම අඩු වී ඩොලරය පිරිහෙනවා. එහෙත්, චීනය එය සිදුවෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයට එන ඩොලර් ටික වෙළඳපොළෙන් එකතු කර ගන්නවා. යුවානය ශක්තිමත් වෙන්න ඉඩ දෙන්නේ නැහැ. චීනයේ සංචිත ඉහළ යනවා. චීන ඇමරිකා වෙළඳ යුද්ධයට හේතු වුනේ චීන රජය විසින් මේ ආකාරයට දිගින් දිගටම චීනයේ වාසියට විණිමය අනුපාතිකය පාලනය කිරීමයි.

දැන් මේ විදිහට සංචිත ලෙස චීනය ඇතුළේ එකතු වන ඇමරිකන් ඩොලර් වලට මොකද වෙන්නේ? සුරක්ෂිතතාව ගැන හිතනවානම් මේ ඩොලර් නැවත ඇමරිකාවේම ආයෝජනය කළ යුතුයි. ඒ නිසා, ඩොලර් වැඩි ප්‍රමාණයක් නැවත ඇමරිකාවටම ආපසු එනවා. හැබැයි එහෙම කරලා චීනයට ලොකු පොලී ආදායමක් උපයන්න බැහැ. මොකද ඇමරිකාව චීනයෙන් ණය ඉල්ලන්නේ නැහැ. සල්ලි අරගෙන ඇමරිකාවට එන්නේ චීනයයි. ඒ නිසා, චීනයට ගන්න වෙන්නේ ඇමරිකාව විසින් ලබා දෙන පොලී අනුපාතිකයයි.

චීනය සමඟ කරන වෙළඳාමෙන් ඇමරිකාවට එක පැත්තකින් ලාබෙට බඩු ලැබෙනවා. අනෙක් පැත්තෙන් අඩු පොලියකට ප්‍රාග්ධනය ලැබෙනවා. මේ වැඩේ කාලයක් තිස්සේ අවුලක් නැතුව සිදු වුනේ ඒ නිසයි. ඇමරිකාවට සිදු වූ අවුල මේ වැඩෙන් ඇමරිකානුවන්ගේ රැකියා අහිමි වීමයි. ඇමරිකාවේ චීන විරෝධය මතු වුනේ රැකියා ප්‍රශ්නය මුල් කරගෙනයි.

චීනය පැත්තෙන් බැලුවහම චීනයට මේ වැඩෙන් විශාල වෙළඳපොළක් හිමි වුනා. චීනය විසින් විණිමය අනුපාතිකය අවප්‍රමාණය කර තියා ගන්නවා කියා කියන්නේ චීන නිෂ්පාදකයින්ට නියම මිලට වඩා අඩු මිලක් ලැබෙනවා කියන එක. චීන ශ්‍රමිකයින්ට නියම වැටුපට වඩා අඩු වැටුපක් ලැබෙනවා කියන එක. ඒ කියන්නේ චීන රජය විසින් සැලසුම් සහගතව චීන ශ්‍රමිකයාව සූරාකෑමක්. චීනය සතු ඩොලර් සංචිත කියා කියන්නේ ඒ විදිහට චීන රජය විසින් එකතු කරගත් නිෂ්පාදන අතිරික්තය. මේ ක්‍රමයට චීනය හා ඇමරිකාව අතර වෙළඳාම චීනයේ වාසියට සිදු වුනත් ඒ වාසිය ලැබෙන්නේ චීන රජයට මිසක් චීන ශ්‍රමිකයාට නෙමෙයි. ඒ නිසා, චීන ශ්‍රමිකයාගේ ආදායම් ඉහළ ගිහින් ඇමරිකාව වැනි බටහිර රටක නිෂ්පාදන මිල දී ගැනීමේ හැකියාවක් චීනය ඇතුළේ හැදෙන්නේ නැහැ.

චීනයේ එකතු වන සංචිත සියල්ලම නැවත ඇමරිකාව ඇතුළේම ආයෝජනය කළොත් චීනයට වෙන්නේ අතින් කාලා හරක් බැලුවා වගේ වැඩක්. වත්කම් තිබුණට මොකටද ඒ වත්කම් වලින් ප්‍රමාණවත් ආදායමක් හැදෙන්නේ නැත්නම්?

චීනයේ ගොඩ ගැහෙන සංචිත වලින් පාඩුවක් නොවෙන්නනම් ඒ සල්ලි කාට හෝ වැඩි පොලියකට දෙන්නම වෙනවා. ලංකාව වගේ රටවල් ණය ගන්න චීනය පස්සේ ගියත් ඇත්තටම කාට හෝ ණය දෙන්න අවශ්‍ය චීනයටමයි. වත්කම් වලට වටිනාකමක් ලැබෙන්නේ ඒ වත්කම් වලින් ආදායම් ඉපැයිය හැකි තරමටයි.

චීනය වගේ රටවල් ඇමරිකාව එක්ක වෙළඳ යුද්ධ වල නිරත වෙන්නේ තමන්ගේ ජාතික ව්‍යවහාර මුදලේ වටිනාකම පහළින් තියා ගන්නයි. චීනයට කලින් ඇමරිකාව මේ වගේ වෙළඳ යුද්ධයක පැටලී හිටියේ ජපානය එක්කයි. එහෙත්, ලංකාව කාලයක් තිස්සේම උත්සාහ කරන්නේ රුපියල මොන විදියෙන් හෝ ශක්තිමත්ව තියා ගන්නයි.

ලංකාවේ රුපියල ශක්තිමත්ව තියා ගන්න උදවු කිරීමෙන් චීනයට වාසි ගණනාවක් ලැබෙනවා. පළමුව මේ වැඩෙන් ලංකාව ඇතුළේ චීන බඩු ලාබ වෙනවා. ඒ නිසා, ලංකාවට සිදු කෙරෙන චීන ආනයන ඉහළ යනවා. දේශීය කර්මාන්ත වැහෙනවා. රැකියා නැති වෙනවා. ඇමරිකාවේදී වෙන දේමයි. හැබැයි ඊට අමතරව තවත් දේවල් වෙනවා.

ලංකාව වගේම චීනයත් තෙවන රටකට විකුණන භාණ්ඩයක් ගැන හිතන්න. දැන් ලංකාවේ භාණ්ඩය නියම මිලට වඩා ගණන්. චීනයේ භාණ්ඩය නියම මිලට වඩා ලාබයි. එක පැත්තකින් ලංකාවට වෙළඳපොළ නැති වෙනවා. අනික් පැත්තෙන් ආයෝජකයෙකුට ලංකාවේ තිබෙන ආකර්ශනීයත්වය අඩු වෙනවා. එක පැත්තකින් ලංකාවේ ආනයන ආදායම අඩු වෙද්දී අනික් පැත්තෙන් ප්‍රාග්ධනය ආකර්ශනය කර ගැනීම, සෘජු ආයෝජන වගේම කළඹ ආයෝජනත්, අසීරු වෙනවා. මෙහි ප්‍රතිඵලය වන්නේ ලංකාවට වැඩි පොලියක් ගෙවා හෝ විදේශ ණය ගන්න සිදු වෙන එකයි. චීනයට තවත් වාසියක්!

ඇමරිකාව එක්ක කරන වෙළඳාම හරහා චීනය සංචිත එකතු කරන තාක් ඒ සංචිත වලින් කොටසක් වැඩි පොලියකට ආයෝජනය කළ හැකි ලංකාව වගේ තැන් හොයා ගන්න එකත් කරන්නම වෙනවා. මෙහිදී අවදානම ප්‍රශ්නයක් නෙමෙයි. මොකද අවදානම ගැන හිතනවානම් සල්ලි ආයෝජනය කරන්න තිබෙන්නේ නැවතත් ඇමරිකාවේමයි. කොහොමටත් ඒ වැඩේ වෙනවා. ලංකාව වගේ රටවලදී කෙරෙන්නේ වැඩි අවදානම්- වැඩි වාසි ආයෝජන. අවදානම ඉහළ වුනත් ලැබෙන පොලිය බැලුවහම ඒ අවදානම ගන්න එකේ පාඩුවක් නැහැ.

මොන කතන්දර කිවුවත් අන්තිමේදී ඇමරිකාව චීනයට ණයයි කියන එක වහන්න බැහැනේ. චීනයට වගේම ඇමරිකාවටත් දැනටනම් වැඩෙන් පාඩුවක් නැහැ. චීනය තමන්ගේ වත්කම් වලින් කොටසක් සුරක්ෂිත අඩු පොලී ආයෝජන වලත්, තවත් කොටසක් වැඩි අවදානම් වැඩි පොලී ආයෝජන වලත් දමලා ලාබ ගන්නවා. ඇමරිකාව තමන්ගේ වත්කම් වලින් උපයන ආදායමට වඩා අඩු පොලියකට ණය ලබා ගෙන එහි වාසිය ගන්නවා. ඒ නිසා, ඇමරිකාව සතුව ශුද්ධ බැරකම් තිබුණත් ඇමරිකාව ලංකාව වගේ අවදානමක නැහැ.

ඇමරිකාවට මේ වාසිය තියෙන්නේ චීනය වගේ රටවල් ඇමරිකන් ඩොලර් ගොඩගහගන්න නිසානේ. චීනය ඩොලර් එක අත ඇරියොත් ඇමරිකාවට මොකද වෙන්නේ? අනිවාර්යයෙන්ම ඩොලර් එක වැටෙන්න ඕනෑ නේද?

කොයි තරම් කතන්දර තිබුණත් ඔය වැඩෙන් ඇමරිකාවට ලොකු හානියක් වෙන්නේ නැහැ. ඇයි? චීනය සතු ඩොලර් සංචිත ප්‍රමාණය එක්ක බැලුවහම ඩොලර් එක වැටෙනවා කියා කියන්නේ චීනයට විශාල පාඩුවක්. චීනය අල්ලාගෙන ඉන්නේ කොටි වලිගයක්. ඒක එහෙම එක පාරට අතාරින්න බැහැ. යම් විදිහකින් චීනය ඔය සංචිත නිදහස් කරනවානම් එය කරන්න වෙන්නේ ටිකෙන් ටික සතෙන් සතේ මිසක් එක පාරට නෙමෙයි.

කොහොම වුනත් චීනය වගේ රටක් ඩොලර් සංචිත සැලකිය යුතු තරමින් නිදහස් කළොත් ඇමරිකන් ඩොලරය පිරිහෙනවා. එයින් ඇමරිකාවට සිදු වන බලපෑම කුමක්ද?

ඇමරිකන් ඩොලරය පිරිහෙනවා කියා කියන්නේ ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියන එකයි. ඒ වගේම ඇමරිකන් බඩු ඇමරිකාවෙන් පිටතදී ලාබ වෙනවා කියන එක. මේ වගේ දෙයක් වුනොත් ඇමරිකානු නිෂ්පාදකයා ක්ෂණිකව ප්‍රතිචාර දක්වනවා.

ඇමරිකාව ඇතුළේ ආනයනික භාණ්ඩ මිල අධික වෙනවා කියා කියන්නේ ලංකාව ඇතුළේ ඒ දේම වෙනවා වගේ දෙයක් නෙමෙයි. ඇමරිකාව ආනයනය කරන්නේ ඇමරිකාව ඇතුළේ හදන්න බැරි දේවල් නෙමෙයි. ආනයනික භාණ්ඩ හැම දෙයක්ම වගේ ඇමරිකාව ඇතුළේ හදන්න අවශ්‍ය තාක්ෂනය, භෞතික ප්‍රාග්ධනය වගේම මානව ප්‍රාග්ධනයත් ඇමරිකාව ඇතුළේ තියෙනවා. එහෙම තියෙද්දී පිටින් ආනයනය කරන්න එකම හේතුව මිල අඩුකම පමණයි.

දැන් ඩොලරය පිරිහී ආනයනික භාණ්ඩ වල මිල වැඩි වුන ගමන් වෙන්නේ කුමක්ද? මේ හැම දෙයක්ම රට ඇතුළේ හැදෙනවා පමණක් නෙමෙයි අපනයන වෙළඳපොළටත් යනවා. ලෝකයට නැවතත් ඩොලර් අවශ්‍ය වෙනවා. ඇමරිකානු ජාතිකවාදය විසින් කරගන්න උත්සාහ කරන්නේත් ඔය වගේ දෙයක්.

ඔය ටික චීනය නොදන්නවා නෙමෙයිනේ. ඒ නිසා, චීනය ඔය කතන්දර වල තියෙන දේවල් කරන්න යන්නේ නැහැ. ඇමරිකාව හා චීනය අතර පෙනෙන්න තිබෙන වෙළඳ යුද්ධය හෝ තරඟය හෝ මොකක් හරි එකේ මතු පිටින් පෙනෙන තරම් ගැඹුරක් නැහැ. රටවල් දෙක අතර සහයෝගීතාවය ඊට වඩා ගැඹුරුයි. ඒ වගේම රටවල් දෙකටම වාසියි.

%d bloggers like this: