Menu Close

ගලහිටියාවේ පන්තිනායක තනතුරේ තතු – Class monitorship at Galahitiyawa Central College


මේ සටහන පෙර මා ලියා පළ කළ කොටස් හතරක (1, 2, 3, 4) සටහන් මාලාවේ දිගුවක් නමුත් වෙන්ව ද කියවිය හැකි ආකාරයට සකසා ඇත.


අලුත් පාසලේ හයවන ශ්‍රේණියේ ඉගෙනුම ඇරඹා දිනකින් දෙකකින් පමණ පන්තිය භාර ජේ. ඒ. කුලරත්න ගුරුවරයා (කුලරත්න සර්) අප අමතා වැදගත් නිවේදනයක් කළේ ය.

“මේ පන්තියට පන්ති නායකයකු සහ නායිකාවක පත් කරගත යුතුයි.”

කුලරත්න සර් විස්තර කළ පරිදි පන්තියේ පිරිමි ළමුන් අතරින් පත් කරගත යුතු වුණු පන්ති නායකයාගේ මූලික කාර්යභාරය වන්නේ උදෑසනම පාසලට පැමිණ විදුහල්පති කාමරයේ තබා ඇති දින සටහන් පොත සහ පැමිණීමේ ලේඛනය ද, අවශ්‍ය පරිදි හුණු කූරු ද පන්තියට ගෙන ඒමයි. දිනය අවසානයේ දී ඉතිරි වන හුණු කූරු කෙසේ වෙතත් පෙර කී සටහන් පොත් දෙක ආපසු ගොස් සුරැකිව විදුහල්පති කාමරයෙන් තැබීම ද පන්ති නායකයාගේ වගකීම විය.

මීට අමතරව, ඒ ඒ දිනයේ පන්තියේ සිටින සිසුන්ගේ සංඛ්‍යාව නිවැරදිව දන්වා, දිවා ආහාරය සඳහා ඇදිහැස බිස්කට් ලබා දෙන කාමරයෙන් පන්තියට නියමිත බිස්කට් ප්‍රමාණය ගෙනැවිත් සිසු සිසුවියන් අතර බෙදාදීම ද පන්ති නායකයාගේ වගකීම විය. ඇදිහැස (ඇමරිකන් දීමනා හැමට සමානව) බිස්කට් යනු, ඇමරිකා එක්සත් ජනපදයේ සහනාධාර ව්‍යාපෘතියක් යටතේ, පාසල් සිසුන් අතර මන්දපෝෂණය අඩුකිරීම පිණිස ලබාදුන් දිවා ආහාරය යි. එක් සිසුවෙකුට දිනකට බිස්කට් තුනක් ලැබුණි. වසර දෙකකින් පමණ මේ ව්‍යාපෘතිය අවසන් විය. දැන් මංචී ලෙස හැඳින්වෙන්නේ ඇදිහැස බිස්කට් නිෂ්පාදනය කළ කර්මාන්ත ශාලාව යැයි සිතමි.

පන්ති නායක තනතුර යනු මම කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වෙනි ශ්‍රේණියේ ඉගෙනුම ලැබූ වසරේ දී දැරූ වගකීමකි. එනිසා එය මට කළ හැකි සරල කටයුත්තක් ලෙස මගේ සිතේ ඇඳුණි.

ඇත්තටම, පෙර වසරේ පස්වැනි ශ්‍රේණියේ පන්ති නායකයා ට පැවරී තිබුණු වගකීම් මීට වඩා වැඩිබව කිව යුතු ය.

පිරිමි ළමුන්ට නියමිත කාර්යය වූ, පන්ති කාමරයේ දෙපස පිහිටි කැනස් මල් පාත්ති ඇතුළු මිදුළ කොටස් දෙකේ වල්පැල යනාදිය වෙතොත් ගලවා සුළඟින් එකතු වන කොළරොඩු ඉවත් කර පිරිසිදුව තබා ගැනීම සහ පන්තියේ මැටි කළයට උදෑසනම අල්ලපු වත්තේ ලිඳෙන් වතුර පුරවා ගෙනැවිත් සෝදා පිරිසිදු කරන ලද පොල් කටුව ද සමග පන්තියේ පසෙක තැබීම යන ප්‍රධාන කර්තව්‍යද්වය ඉටුකිරීම සඳහා සතියේ දින පහට ළමුන් දෙදෙනා බැගින් සිවුදෙනකු නම් කර ඔවුන් එම කාර්යය ඉටු කරනවා දැයි අධීක්ෂණය කිරීම පන්ති නායකයා ගේ වගකීම විය. පන්ති නායකයා ද සතියේ දින දෙකක එම කාර්යය සිදුකල අතර, කිසියම් සිසුවෙකු පාසලට නියමිත දිනයේ නොපැමිණියේ නම් එම අඩුව පිරවීම ද ඔහුගේ නායකත්ව වගකීම විය.

ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ නල ජල සැපයුමක් තිබුණු අතර කම්කරුවෙකු ද සේවය කළ බව මගේ මතකයයි.

කොස්සින්න ශ්‍රී සීලානන්ද කණිෂ්ඨ විද්‍යාලයේ දී පන්ති නායකයා ලෙස මට පැවරී තිබුණු තවත් වගකීමක් වූයේ පන්තියට අයිති ලීවලින් සාදන ලද අල්මාරියේ භාරකාරීත්වයයි.

පැරණි පොත්පත් කිහිපයක් ද, මගේ මතකය නිවැරදි නම් මිනී ඔළුවක් වැනි යමක් ද, තවත් ලට්ට ලොට්ට කිහිපයක් ද තිබුණු මෙම අල්මාරිය සුරක්ෂිත කර තිබුණු ඉබ්බාගේ යතුර, මා පන්තියේ පිරිමි ළමුන්ගේ වැඩි ඡන්දයෙන් ප්‍රජාතන්ත්‍රවාදීව පහේ පන්තියේ පන්ති නායක ධුරය ලද දිනයේ ම මට බමුණුසිංහ ටීචර් ගෙන් ලැබී තිබුණු අතර මා පාසැලට ගියේ නූලක අමුණන ලද ඉබි යතුර මාලයක පෙන්ඩන්ටුවක් ලෙස පැළඳ ගෙනයි.

ගලහිටියාව මධ්‍ය විද්‍යාලයේ මා සිටි කිසිදු පන්තියට එවැනි අල්මාරියක් නොතිබුණි. එවැන්නක් තිබුණේ වුව ද, ගණේමුල්ල ජාඇල ප්‍රධාන මාර්ගයට සමාන්තරව පිහිටි පැරණි නේවාසිකාගාර ගොඩනැගිල්ලේ ජාඇල අන්තයේ කොරිඩෝරයේ කොනක අඩුක්කර පවත්වා ගෙන ගිය අපේ පන්තියේ අල්මාරියක ට කිසිසේත් ඉඩ නොතිබුණි. එනිසා කුලරත්න සර්ගේ 6ං පන්තියේ නායකයා ලෙස පත්කර ගැනීමට නියමිතව සිටි සිසුවාට මාලයක පෙන්ඩන්ටුවක් ලෙස ආඩම්බරයෙන් ගෙල වටා පැළඳ ගෙන ඒමට යතුරක් හිමිවෙන බවක් නොපෙනුණි.

පන්තියේ සිටි සිසුවියන් අතරින් පත් කර ගත යුතු වූ පන්ති නායකාවගේ වගකීම වූයේ කුමක්දැයි මට නිවැරදිව මතකයෙන් කිව නොහැකි නමුත් එය පන්තිය පිරිසිදුව තබා ගැනීම විය යුතුය.

කොස්සින්න ශ්‍රී සීලානන්ද විද්‍යාලයේ පස්වැනි ශ්‍රේණියේ දී මගේ අත්දැකීම වූ ආකාරයට පන්ති නායකයා සහ නායිකාව තෝරා ගැනීම සඳහා සිසුන් අතරේ ප්‍රජාතන්ත්‍රවාදී ඡන්දයක් පැවැත්වේ යැයි මගේ සිතට නිකමට හෝ සිතිවිල්ලක් පැමිණියේ නම් එය පැවතුණේ තත්පර කිහිපයකට පමණි. ඒ සමගම කතා කළ පන්තිය භාර ගුරු කුලරත්න සර් කියා සිටියේ, මෙම තනතුරු සඳහා පත් විය යුත්තේ පාසලට නොවරදවා උදෙන්ම පැමිණිය හැකි සිසුවෙකු සහ සිසුවියක බවයි.

“උදෙන්ම ඉස්කෝලෙට එන්න පුළුවන් අය අත උස්සන්න!” ඔහු පැවසීය.

යාගොඩ පැත්තේ සිට දුම්රියෙන් ගනේමුල්ලට පැමිණ එතැන් සිට පා ගමනින් පාසලට එන සමන් නමැති සිසුවෙකු අත එසවීය. සිසුවියන් අතරින් මෙම වගකීම භාර ගැනීම සඳහා අත එස වූයේ, පෙර දිනක, ගලහිටියාව මධ්‍යම විද්‍යාලයේ සිසුවියනට නියමිත නිල ඇඳුම වෙනුවට, තමන් පස්වෙනි ශ්‍රේණියේ උගත් පාසලේ දී ඇඳි හතරැස් කර ඇති සුදු ගවුමක් ඇඳ පැමිණ කුලරත්න සර්ගේ උදහසට ලක් වූ ශ්‍රීපාලි නම් සිසුවිය යයි මගේ මතකයයි.
එදින සිට සමන් සහ ශ්‍රීපාලි දෙදෙනා සමහරවිට වෙනදාටත් වඩා උදෑසනින් පාසලට පැමිණ ඔවුනට පැවරුණු වගකීම් නිසි පරිදි ඉටු කරන්නට ඇත.

මතු සම්බන්ධයි

-රසික සූරියආරච්චි

(image: )

%d bloggers like this: