Menu Close

අසිරිමත්වූ දේකි – දොළොස්වෙනි කොටස

මේනක මම ප්‍රෙග්නන්ට්; ඔයාගෙන්…”

දැන දැන මම කිව්ව….

උඹට මම කිව්වා…. දරුවාව මරපන්….(foto- වාසනා ප්‍රනාන්දු)

….උඹට මම කිව්වා, උඹට මම කිව්වා….. කපටි ගෑනි, දරුවව මරපන්….. පව්කාර පාහර බැල්…..”

මේ වෙලාවෙත් අරක්කු වීදුරුවකට යට වෙලා දුම් වැටියකින් පණ කෙන්ද රැකගන්න දඟලන මේනක, වැල්ලවත්ත දෙදරන්න බෙරිහන් දුන්නා…. ඔන්න ඔතනින් පස්සෙ තමයි අපි ආපහු මුලට යන්න ඕනේ. මේනක තාම බෙරිහන් දෙනවා,මම මුහුද දිහා බලාගෙන කල්පනා කරනවා….


මේනකගෙන් ගැබ් වෙන්න තිබ්බ ආශාවක් දැන් විළිරුදාවක් දක්වා වර්ධනය වේගෙන එනවා…..

පස් මහ බැලුම් නොබලපු ඔයා ජීවත් වෙන්න අවස්ථාව ඉල්ලනකොට, මම මේනක නිසා හුස්ම වැටෙන වාරයක් ගාණේ මැරෙනවා…. එක වෙලාවකට මට හිතෙනවා මේ මුහුද හරහා ධාරාණිපාත සුළං රැල්ලක් ඇවිත් මගේ කන් බෙර පළාගෙන ගියා නම් කියලා….. එහෙනම් මේ කිසි දෙයක් මට ඇහෙන්නෙ නෑ,ඒත් වැඩක් නෑ….. එහෙම නම් ගත, සිත, මනස කියන තුනම පුපුරගෙන යන්න ඕන…..

මනස්ගාත පිරුණු ෆැන්ටසියක හිර වෙලා දඟලන,දරුවෙක් ගැන රියැලිටියක් දකින්න අකැමැති මේනක වගේ පිරිමියෙක්ගෙන් ගැබ් අරගත්තු මම,දැන් දරුවෙක් මරණ විදිහක් ගැන හිතනවා…..


මට මොනවද ඇහෙනව,එයා බඩ ඇතුළේ ඉඳගෙන නොපෙරළී තියෙන තොල්වලින් ‘අම්මා’ කියනවද….?

අකුරු කියවලා නැති එයා; ජීවිතය නොදන්න මට ජීවිතය කියල දෙන්න උත්සාහ කරනවාද කියන්න මම දන්නෙ නෑ…. හැබැයි මොනා හරි කියනවා…. දරුවෙක් මරන්න තරම් ජරාජීරණ වුණ පව්කාර; අසික්කිත; කාලකණ්ණි; මජර ගැහැනියක් වෙන්න මට බෑ…. පිරිමියෙකුට ජීවිතයක් ගැන වටිනාකම නැති වුණාට දවසක අම්ම කෙනෙක් වෙන්න හීන දකින ගැහැනියෙක්ට, නූපන් දරුවෙක් වෙනුවෙන්වත් එහෙම හිතන්න බැහැ…..” 

පිරිමියෙකුට ජීවිතයක් ගැන අනුකම්පාවක් නැති වුණාට, නූපන් කිරිකැටියෙකු ගැනවත් …. 

ගබ්සාව ගැන මට කියවන්නට ලැබුණු හරිම සංවේදී නිර්මාණයකින් කොටසකුයි ඒ.

ඇයි මෙහෙම වෙන්නේ…. ඒ ප්‍රශ්නයට නම් එක-එක කෝණවලින් බලලයි උත්තර හොයන්න වෙන්නේ…. ඒත් ඒකට තැන මෙතැන නෙවෙයි. අපි යමු නේද ‘අසිරිමත්වූ දේකි’ පොතට; පොතේ 47 වෙනි පිටුවට.

“ගබ්සා කිරීම ලංකාවේ නීතියෙන් තහනම්. ඉතින් මොකද කරන්නේ?

ගබ්සාවක් ගැන අපට කතා කරන්න වෙන්නේ වුවමනා නැති පිළිසිඳ ගැනීමක් ඇති වුවහොත් පමණයි. ඒ නිසා අනවශ්‍ය පිළිසිඳ ගැනීම් වැළැක්වුවහොත් මේ භයානක ප්‍රශ්නයට මුහුණ දෙන්න වෙන්නේ නැහැ.

ගැබ් ගැනීම වළක්වන්නේ කොහොමද?

මෙය ඉතාම සුළු දෙයක්. අපි මීට කලින් ගැහැනු හා පිරිමි ප්‍රජනන පද්ධතීන් ගැන අවබෝධයක් ලැබුවා. ඒ නිසා දැන් අපි දන්නවා, ගැබ් ගැනීම සඳහා ශුක්‍රාණුවකට ඩිම්බයක් හමු වෙන්න ඕනෑ බව. එය වැළැක්වූ විට පිළිසිඳ ගැනීමක් සිදු වෙන්නේ නෑ.

ඒ සඳහා කළ යුත්තේ සංසර්ගයේ නොයෙදී සිටීම නේද?

ඒ සඳහා කළ යුත්තේ සංසර්ගයේ නොයෙදී  සිටීම නේද?

නැහැ, කොහෙත්ම නැහැ. මේ සඳහා නොයෙක් විද්‍යාත්මක ක්‍රම රාශියක්ම තියෙනවා. අද ලොව පුරා තරුණ-තරුණියන් කෝටි ගණනක් එම ක්‍රම භාවිත කරමින් ගැබ් ගැනීමේ බියක් නොමැතිව සංසර්ගයේ නියම සතුට ලබනවා.

ගැබ් ගැනීම වැළැක්විය හැකි ක්‍රම මොනවාද?

හොඳයි. ඔබ නැවතත් ස්ත්‍රී හා පුරුෂ ලිංගේන්ද්‍රිය පද්ධති ගැන සිත යොමු කරන්න. ගැබ් ගැනීමක් ඇතිවන හැටිද මෙනෙහි කරන්න. පුරුෂයෙකුගේ ශිෂ්ණයෙන් පිටවන ශුක්‍රාණුවක් ස්ත්‍රී ඩිම්බයක් සමඟ එක්වීමෙන් කළලයක් ඇති වෙන බව ඔබට දැන් මතක් වන්නට ඇති.

ඉතින්, ශුක්‍රාණු ස්ත්‍රී යෝනි මාර්ගය ඇතුළේ තැන්පත් නොවුවහොත් ගැබ් ගැනීම වළකින බව මා ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ.

මේ සඳහා ශිෂ්ණයට පැලඳිය හැකි ඉතා සියුම් රබර් කොපු නිපදවා තියනවා. කොන්ඩම් කියල හඳුන්වන මේවා ‘ප්‍රීති’ කියන වෙළෙඳ නාමයෙනුත් විකුණනවා. මෙම කොපුව ශිෂ්ණයට පැලැඳිවිට එහි අග පසුම්බියක් ඇති බව ඔබට පෙනේවි. සංසර්ගයේදී පිටවන ශුක්‍රාණු ඒ පසුම්බියේ එකතු වෙනවා. සංසර්ගයෙන් පසු ශිෂ්ණයත් සමඟම මෙම කොපුව පරිස්සමින් යෝනි මාර්ගයෙන් ඉවතට ගත්විට ගැබ් ගැනීමක් සිදු වෙන්න බෑ.”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමය පටන් ගත්තේ 1953 අවුරුද්දේ. 1980 ගණන් වෙනකොටත් පවුල් සැලසුම් ක්‍රම ගැන ගුවන් විදුලියෙන් වැඩ සටහනක් ප්‍රචාරය කරන්න අවසර ලැබුණේ රාත්‍රී නවයෙන් පස්සේ.

ශ්‍රියානි බස්නායක වෛද්‍යවරිය කොන්ඩම්; ප්‍රීති ගැන කියද්දී…

එතකොට හිතාගන්න පුළුවනි නේද ඒ වෙද්දී තිබුණු තත්ත්වය…..

“අපේ clinic එකට ආව එක පිරිමි කෙනෙක් කිව්වා – ප්‍රීති නම් සාර්ථක පවුල් සැලසුම් ක්‍රමයක් නෙවෙයි කියලා. ඇයි එහෙම කියන්නේ කියලා ඇහුවම තමයි හේතුව එළිවුණේ…. ප්‍රවේසමෙන් වායු බුබුළු නොහිටින ආකාරයට කොන්ඩමය පලඳින විදිය එයාට කියල දීලා තිබුණේ අතේ මහපටැඟිල්ලට කොපුව දාලා පෙන්වලා…. ඉතින් ඒ පුරුෂයාත් සංසර්ගයට කලින් උපත් පාලන කොපුව පැලඳගෙන තියෙන්නේ ඇඟිල්ලට…..”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ වෛද්‍ය අධ්‍යක්ෂිකා ශ්‍රියානි බස්නායක වෛද්‍යවරිය ඒ කාලයේ දෙසුම් පවත්වන විටදී නිතර කියූ කරුණකි ඒ.

එවැනිම තොරතුරකුත් ඒ දිනවල සංසරණය විණි. ඉස්ලාම් දහම අදහන කෙනෙකු උපත් පාලන කොපුව පැලඳගත් පසු එහි කෙළවර පසුම්බිය කපා දමා තිබුණු බව….! ඒ චර්ම ඡේදනය සිහිපත් වුණු විටදීලු!

දැන් නම් බොහොමයක් තරුණයන්ගේ පර්ස් එකේත්, තරුණියන්ගේ අත් බෑගයේත් ‘කොන්ඩම්’ එක-දෙකක් තිබෙන බව ප්‍රසිද්ධ රහසකි. එහෙම කාලයක ‘අසිරිමත්වූ දේකි’ පොතට වඩා සිය ගුණයකින් සංකීර්ණ පොතකි; මේ විෂය ගැන ලියනවා නම් ලියන්නට වෙන්නේ…..

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයෙන් එදා අපේ රටට ‘කොන්ඩම්’ හඳුන්වා දීමේදී සුදුසු වෙළෙඳ නාමය නිර්මාණය කර තිබෙනුයේද පෙරළිකාර වැඩ්ඩෙකි! (ඊට කලිනුත් කොන්ඩම් මෙරටේ තිබුණත් ඒ condemn ගණනටය; එහි නමම ඒ වගට සාක්කිය. එතකොට කොන්ඩම් හැඳින්නුවේ ‘පෘතුගීසි තොප්පි’ කියලාය.

දාගනිල්ලකො තොප්පි!)

ප්‍රීති නම කොන්ඩම්වලට යෝජනා කළේ ‘වැඩකාරයෙකු’ වූ චින්තන ජයසේනයන්ය! 

ගායන ශිල්පී වික්ටර් රත්නායකයන්ගේ පළමු ඒක පුද්ගල ගීත ප්‍රසංගයට ‘ස’ නම යෙදුවේද, බලන්ගොඩ සරත්මධුගේ ‘ඉතින් ඊට පස්සේ’ චිත්‍රකතාවට නම යෙදුවේද, තෙම්පරාදු දේශපාලඥයෙකු පෙරළිකාර කොලමෙන් තිතට ඇන්දුවේද මේ සමතාමය; චින්තන ජයසේනයන්ය!

එදා චින්තන උපත් පාලන කොපුවලට දුන් ‘ප්‍රීති’ නම, අද නොදන්නා කෙනෙකු නැති තරමට ජනප්‍රියය.

ශ්‍රී ලංකාවට උපත් පාලන ක්‍රමයක් ලෙස ‘ප්‍රීති’ හඳුන්වා දෙද්දී පැතිරුණු සාවද්‍ය මත ගණනාවක් ගැනත් ‘අසිරිමත්වූ දේකි’ පොතෙන් සාකච්ඡා කරන්නට අමතකවී නැත.

මෙම ක්‍රමය සංසර්ගයේදී ලැබෙන සතුටට හානියක්ද?

නෑ, මෙම රබර් කොපු ඉතා සියුම්ව සාදා ඇති නිසා සංවේදීතාවට නැතිනම් දැනීමට එතරම් වෙනසක් ඇති වෙන්නේ නෑ.

ගැහැනු සඳහාත් මෙවැනි ක්‍රම තියෙනවාද?

ගැහැනියක් සඳහා මෙවැනි ආවරණයක් යෙදීමේ අපහසුකම ගැන ඔබට අමුතුවෙන් කිව යුතු නැහැ. කොහොම වුණත් ස්ත්‍රීන්ගේ ඩිම්බ කෝෂයෙන් ඩිම්බ පිටවීම තාවකාලිකව වැළැක්වීමේ සාර්ථක ක්‍රම තියෙනවා. ස්ත්‍රී ඩිම්බ පිට වෙන්නෙත්, වර්ධනය වෙන්නෙත් හෝමෝනයක බලපෑමෙන් බව දැනටමත් ඔබ දන්නවා. මේ නිසා මෙම හෝමෝන, ඒ කියන්නේ ඊස්ට්‍රජන් සහ ප්‍රොජෙස්ටරොන් භාවිත කිරීමෙන් ඩිම්බ පිටවීම වැළැක්විය හැකියි.

ගැබ් ගැනීම වැළක්වීමට ……. අසිරිමත්වූ දේකි 49-51 පිටු….

මේ හෝමෝන ගන්නේ කොහොමද?

මේ හෝමෝන සහිත පෙති වෙළෙඳ පොළෙන් ඔබට ලබා ගන්න පුළුවන්. පාවිච්චියේ පහසුව සඳහා මේ පෙති පැකට් වශයෙන් හරිගස්වලයි තියෙන්නේ.

ඩිම්බ පිටවීම වැළක්වීමට හැමදාම එක පෙත්ත බැගින් ගන්න ඕනෑ.

ඉතින් මේ පෙති පැකට්වල පෙති 28ක් ඇති නිසා මාසයකට පැකට් එකක් ගත්තාම ඇති. ඔබ මේ පෙති පැකට්ටුවක් පරීක්ෂා කළොත් එහි සුදු හා දුඹුරු පාට පෙති වර්ග දෙකක් තිබෙන බව පෙනේවි.

හෝමෝන අඩංගු වෙන්නේ සුදු පෙතිවල විතරයි. පාට පෙතිවල තියෙන්නේ විටමින් වර්ගයි.

සුදු පාට හෝමෝන පෙති ඉවරවූ විට පාට (විටමින්) පෙති පාවිච්චි කරන්න ඕනේ. මේ වනවිට ශරීරයේ හෝමෝන ප්‍රමාණය අඩු වෙන නිසා ඍතුවීම සිදු වෙනවා. (ඍතුවීම ගැන කළ සාකච්ඡාවට සිත යොමු කරන්න.) මේ විටමින් පෙති ඉවර වුණාම නැවත අලුත් පැකට්ටුවකින් සුදු පෙති පාවිච්චිය පටන් ගන්න ඕනෑ.

‘මිතුරි’ වශයෙන් වෙළෙඳ පොළේ ඇත්තේද මේ පෙතියි.

මේ ගිලින පෙති කරපු අලකලංචියක් ගැනත්………..

ඔබට දරුවෙකු ලැබීමට අවශ්‍ය නැති කාලය තුළ මෙම පෙති භාවිත කිරීමෙන් ඩිම්බ පිටවීම නැවතී, ගැබ් ගැනීම වළකිනවා. හැබැයි, මේ පෙතිවලින් ආරක්ෂාවක් ලබා ගැනීමට බලාපොරොත්තු වෙනවා නම් නොවරදවාම, දිනපතාම පෙති පාවිච්චි කරන්න ඕනෑ. දිනපතා පෙති පාවිච්චිය අපහසු අය සඳහා හෝමෝන එන්නත් දැන් නිපදවා තිබෙනවා.

මේ හෝමෝන එන්නත ගත යුත්තේ මාස 3කට වරක් පමණයි.

මෙහිදී සිදු වෙන්නේ හෝමෝන නිසා ඩිම්බ පිටවීම වැළක්වීමයි. පෙති ගැනීම නවත්වා දැමූ විට සාමාන්‍ය ලෙස ඩිම්බ පිටවීම පටන් ගන්නවා. ඒ නිසා දරුවෙකු අවශ්‍ය වූ විට පෙති ගැනීම නවත්වා දමන්න.”

මිතුරි; ගිලින පෙති කරපු හදියක්, දිසානායක පරම්පරාවේ ‘පට්ට මෝඩකම් ගොන්න’ටත් එකතු වුණු එක ගැන නම් මට තවම ලජ්ජයි. ඒත්, එහෙමය කියලා වෙච්චි දේ undo කරන්නයැ.

හංගන්නත් නෙවෙයිනෙ ‘ඇත්තම කියනවා’ කියලා උජාරුවෙන් ‘නිදිගේ පංච තන්තරේ’ ලියන්න පටන් ගත්තේ. ඒ හින්දා තමයි මොකුත්ම වසන් නොකර, ‘බය වෙන්නෙපා – ඔයා එකයි, මං එකයි’ පෝස්ටුව ලිව්වෙත්. 

දැන් නම් ගිලින පෙති විතරක් නොවෙයි,  අනෙක් පවුල් සැලසුම් ක්‍රමත් එදාට සාපේක්ෂව, ගොඩක් දියුණුයි; කාර්යක්ෂමයි.

මෙම පෙතිවලින් ගර්භාෂයේ පිළිකා සෑදෙනවාද?

මේ පෙති නිසා සෑදුණු පිළිකා ගැන නම් තවම වාර්තාවී නැහැ. ඒ නිසා බියක් ඇති කරගන්න ඕනේ නැහැ.

ප්‍රොස්ටේට් පිළිකාවලට ප්‍රතිකාරයක් වශයෙනුත්…..

ඇත්ත වශයෙන්ම පිරිමින්ගේ ප්‍රොස්ටේට් ග්‍රන්ථියෙහි සෑදෙන පිළිකාවලට ප්‍රතිකාරයක් වශයෙන් දෙනු ලබන්නේද මෙම හෝමෝනවලින් සෑදූ, ඊට හැම අතින්ම සමාන බෙහෙත් පෙතියි.

ස්ත්‍රීන්ගේ ක්ෂීර ග්‍රන්ථියේ (ළැමේ) සෑදෙන සමහර පිළිකා වර්ගයක් නම් මෙම පෙති නිසා වැඩිවිය හැකියි.

ඒ නිසා පෙති ගැනීමට පෙර වෛද්‍යවරයෙකු ලවා ඔබේ ළැම පෙදෙස පරීක්ෂා කරවා ගන්න.

මෙම පෙතිවලින් කිසිම රෝගයක් සෑදිය නොහැකිද?

පෙති නිසා ඇති වෙන රෝග නැති වුවත් සමහර ස්ත්‍රීන් පෙති ගන්න විට ශරීරයේ බර වැඩි වීමක් විය හැකියි. එසේම පෙති ගන්නා කාලයේදී ඔක්කාරය, වමනය හා සමාන ඍතුවීම හැරුණ විට අස්වාභාවික ඍතුවීම වැනි සුළු ආබාධ ඇතිවිය හැකියි. නමුත් මාස කිහිපයකින් මෙම ආබාධවල අපහසු ගතිය නැතිවී යනවා.

එංගලන්තය වැනි ශීත රටවල ගැහැනුන්ට සාමාන්‍යයෙන් සෑදෙන ලේ කැටි ගැසීම මේ පෙති නිසා උත්සන්න විය හැකි වුවත් ලංකාව වැනි ඌෂ්ණ කාලගුණය පවතින රටක මෙම රෝගය දකින්නට ලැබෙන්නේ ඉතාම කලාතුරකින්. 

ගැබ් ගැනීම වැළක්වීමට මේ හැරුණු විට තවත් ක්‍රම තිබෙනවාද?

ගර්භාෂයේ තැන්පත් කළ ලූපයකිනුත් ගැබ් ගැනීම වළක්වන්නට පුළුවන්!

ස්ත්‍රීන් සඳහා නිපදවා ඇති ලූපය මෙවැනි තවත් එක ක්‍රමයක්. ලූපය ප්ලාස්ටික්වලින් සාදන ලද, රූපයේ තියෙනවා වාගේ කුඩා උපකරණයක්. ගැබ් ගැනීම වැළක්වීමට ලූපය ගර්භාෂය තුළ තැන්පත් කරවාගත යුතුයි. එය සායනයකදී විනාඩි දෙකක (2) තරම් සුළු කාලයකදී වෛද්‍යවරයෙකු හෝ පුහුණු වෛද්‍ය සේවිකාවක විසින් සිදු කරනවා.

මෙය අනතුරුදායක හෝ වේදනා සහගත හෝ දෙයක් නෙවෙයි.

මෙයින් අවුරුදු ගණනාවක් වුවත් ගැබ් ගැනීම වළක්වාගන්න පුළුවන්. ලූපය නියමිත තැන ඇත්දැයි තමාටම දැනගත හැකි වෙන පරිදි එහි සියුම් කෙඳි දෙකක් සවිකර තියනවා. එය යෝනි මාර්ගයේ ඇත්දැයි අතගා බැලීමෙන් තමාටම, එය නියමිත තැන ඇති බව දැනගන්න පුළුවන්.

ලූපය නිසා ගර්භාෂයේ පිළිකා සෑදීමට පුළුවන් නේද?

උත්තරය ඉතා පැහැදිලියි. ලූපය නිසා පිළිකා හැදුණු බවක් ලොව කිසිම තැනකින්, කිසිම දවසක වාර්තා වෙලා නැහැ. ඒ නිසා ලූපය නිසා පිළිකා හැදෙනවා කියන කතාවේ කිසිම ඇත්තක් නැහැ.”

ශ්‍රී ලංකා පවුල් සංවිධාන සංගමයේ මේ පවුල් සැලසුම් ක්‍රමයට; ‘ලූපය’ට තරමක ප්‍රසිද්ධියක් ලැබුණා කාලයකට පෙර සිදුවූ, රූමත් යොවුන් නිළියකගේ අකල් මරණයෙන්.

ඇයගේ මරණය අහඹු අනතුරක් බවට තීන්දු වුණා. ඒත් ඒ මරණයත් ඇමෙරිකාවේ ‘මැරිලින් මොන්රෝ’ නිළියගේ මරණය වගේ රසිකයන් කැළඹුවක්!

මැරිලින් මොන්රෝගේ මරණය වගේම කැළඹීමක් අපේ යොවුන් නිළියගේ මරණයෙනුත්….

අනතුර කළ බවට චෝදනා ලද්දේත් නළුවෙක්. එවකට ඔවුන් දෙදෙනා ‘living together’ සංකල්පයට එකඟව හිටියා වාගෙයි, කියවුණේ. නිළියගේ පශ්චාද් මරණ පරීක්ෂණයෙදී ආන්දෝලනාත්මක කරුණු කිහිපයක් හෙළිවුණු බව වාර්තාවී තිබුණා.

මියගිය නිළියගේ ගර්භාෂයේ ලූපයක් තැන්පත් කොට තිබුණු බව එයින් එක කාරණයක්.

“සාමාන්‍යයෙන් නම් වෛද්‍යවරු මේ ලූපයක් තැන්පත් කරන්නේ එක දරුවෙකු හෝ ප්‍රසූත කළ මවකගේ ගර්භාෂයේ විතරයි….”

ඒ එවක තිබුණු වෛද්‍ය විද්‍යාත්මක මතය. (එහෙම ලිව්වේ දැන් එය වෙනස්වී තිබෙන්නට ඉඩ තියෙන නිසා.) නමුත් අර තරුණ නිළිය විවාහවී තිබුණෙත් නැතිලු; දරුවන් ලැබූ බවක් ප්‍රසිද්ධවී තිබුණේත් නැහැල්ලු! මොන හේතුවකින් හරි ලූපය පිළිබඳ ප්‍රශ්නය ඉතා ඉක්මනින් යට ගැහුණ බවකුයි පෙනුණේ……..

ඒ ලංකාවේ හැටිය. එහෙම කිව්වාට ලෝකය පුරාත් සිද්ද වෙන්නේ ඒ ටිකමය. බලය ඇති එවුන්, ධනය ඇති එවුන් උන්ට ඕනා හැටියට සියල්ල පාලනය කරති…..

“ඒ වුණාට අයියේ ලූප් වැඩේදී……”

%d bloggers like this: