Menu Close

නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා – යසුනාරි කවබත


වෛද්‍ය රුවන් එම් ජයතුංග 

ජපන් නවකතාකරුවෙකු හා කෙටිකතා රචකයෙකු වන යසුනාරි  කවබත  නොබෙල් සාහිත්‍ය ත්‍යාගය දිනූ ප්‍රථම ජපන් ජාතික ලේඛකයා විය. ඔහු 20 වන සියවසේ ජපානයේ සාහිත්‍ය-නූතනවාදී ව්‍යාපාරයේ නායකයෙකි.  ඔහුගේ කෘති පැරණි ජපානයේ සුන්දරත්වය නූතනවාදී ප්‍රවණතා සමඟ ඒකාබද්ධ වූ අතර ඔහුගේ ගද්‍ය යථාර්ථවාදී දර්ශන සමඟ මුසු විය. ඔහු සිය ලේඛන ක්‍රමය ජපානයේ සාම්ප්‍රදායික කාව්‍යයන් වන හයිකු සමඟ සමාන්තරගත කළේය. ඔහුගේ කෘති පුළුල් ජාත්‍යන්තර ආකර්ෂණයක් ලබා ඇත.  

ජපානයේ ඔසාකාහි  1899 දී උපත ලැබූ යසුනාරිට වයස අවුරුදු 3 දී ඔහුගේ පියා මිය ගියේය. ඊළඟ අවුරුද්දේ ඔහුගේ මව මිය ගිය අතර පසුව ඔහුව හදා වඩා ගන්නා ලද්දේ ඔහුගේ මිත්තනිය සහ සීයා විසිනි. 1915 දී තම සීයා අහිමි වීමෙන් පසු යසුනාරි මධ්‍යම පාසල් නේවාසිකාගාරයකට ගියේය.  ඔහුගේ මුල් ළමාවිය කම්පනය හා වියෝවෙන් සලකුණු විය. පසුකාලීන ජීවිතයේ කතුවරයා තමා “නිවසක් හෝ පවුලක් නොමැති” දරුවෙකු ලෙස විස්තර කළේය. සමහර විචාරකයින්ගේ මතය වන්නේ මෙම මුල් කම්පන ඔහුගේ වියෝග කාංසාව පිළිබඳ හැඟීම සඳහා පසුබිම සකස් කරන බවයි.  

1920 සිට 1924 දක්වා කවබත ටෝකියෝ ඉම්පීරියල් විශ්ව විද්‍යාලයේ අධ්‍යාපනය ලැබුවේය. ඔහු 1924 දී විශ්ව විද්‍යාලයෙන් උපාධිය ලබා ගත්තේය. තරුණ කවබත  රබීන්ද්‍රනාත් තාගෝර්ගේ කෘතිවලට කැමැත්තක් දැක්වීය. ඉංග්‍රීසි භාෂාවේ ප්‍රවීණයෙකු වූ ඔහු  ජේම්ස් ජොයිස්ගේ යුලිසෙස් නවකතාව කියවූ අතර ජේම්ස් ජොයිස් ඔහුගේ ප්‍රියතම ලේඛකයෙකු විය.  කවබත යුරෝපීය ඇවන්ගාඩ් සාහිත්‍යය කෙරෙහි උනන්දුවක් දැක්වීය. ටෝකියෝ විශ්ව විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියදී ඔහු ෂින්-ෂිචේ නමින් සාහිත්‍ය සඟරාවක් ආරම්භ කළ අතර ඔහුගේ පළමු කෙටිකතාව වන “ Shokonsai Ikkei ” (යකුසුනි උත්සවයෙන් දර්ශනයක්) ප්‍රකාශයට පත් කළේය. 

කවබත ජීවත් වූයේ ජපන් සාහිත්‍යයේ අධිරාජ්‍යවාදී කාල පරිච්ඡේදය තුළ ය. එම කාලයේදී ලේඛකයන්ට ලිවීමට යම් නිදහසක් ලැබුණි. ප්‍රබන්ධ ලේඛකයෙකු  වූ ඔහු මාධ්‍යවේදියෙකු  ලෙස ටෝකියෝහි මයිනිචි ෂිම්බන් පුවත්පතේ කටයුතු කලේය. ඔහුගේ “Snow Country”  (1937 ) නවකතාව ඉතා ජනප්‍රිය විය. එය බටහිර ජපානයේ පාළු සුන්දරත්වය මධ්‍යයේ නාස්තික වූ ප්‍රේමයේ ප්‍රබල කතාවකි. “Snow Country”  කාව්‍යමය වශයෙන් ජනනය කරන ලද දර්ශන මාලාවකින් සමන්විත වෙයි. සොබාදහම සහ භූ දර්ශනය පොතේ චරිත මෙන් ම සංකීර්ණ කොටසක් වන අතර හිම කඳු මුදුන් සහිත කඳුකර භූමි ප්‍රදේශය අජීවී චරිතය බවට පත්වේ. කතාව ආරම්භ වන්නේ   ජපානයේ බටහිර වෙරළ තීරයේ නීගාටා පළාතේ  නිවාඩු නිකේතනයකට යන  ෂිමාමුරා නම් මිනිසෙකු පිලිබඳ තොරතුරු අනාවෘත කිරීමෙනි. ෂිමාමුරා යනු ටෝකියෝවේ ධනවත් මුද්‍රා නාට්‍ය විචාරකයෙකි. තම ජීවිතයට තවත් අර්ථයක් ගෙන ඒම සඳහා ෂිමාමුරා කඳුකර නිකේතනයට ගොස් ඇත. 

නවකතාවේ ප්‍රධාන චරිතය වන ෂිමාමුරා සහ කොමාකෝ යන ගීෂාව අතර ප්‍රේම සම්බන්ධයක් ඇති වෙයි. එය ගීෂා සම්ප්‍රදායට පටහැණිය​. ගීෂා හි සාම්ප්‍රදායික කාර්යභාරය වන්නේ චිත්තවේගීය ආතුලිත වීමකින් තොරව මිනිසෙකුගේ අවශ්‍යතා සපුරාලීමයි. සම්ප්‍රදායට අනුව තම ආගන්තුකයා සමඟ බැරෑරුම්, දීර්ඝ ප්‍රේම සම්බන්ධයක් ගීෂා බලාපොරොත්තු නොවිය යුතුය. එහෙත් ඔවුන් ගේ සම්බන්ධතාවය සංකීර්ණ වන අතර ෂිමමුරාට හැඟෙන්නේ ඇය ඔහු සමඟ ගැඹුරින් සම්බන්ධ වී ඇති බවයි. කොමාකෝ  ගීෂාව , ෂිමාමුරා සමඟ ආදරයෙන් බැඳී සිටින්නීය. ෂිමාමුරා ජීවත් වන්නේ මනංකල්පිත ලෝකයක බව පෙනේ. කොමාකෝ සමඟ වර්ධනය වෙමින් පවතින සම්බන්ධතාවයට මුළුමනින්ම කැපවීමට ඔහුට නොහැකිය. ජීවිතය සමඟ පූර්ණ ලෙස සම්බන්ධ වීමට ඇති ඔහු තුල තිබෙන අකමැත්ත ඔහුගේ නොගැඹුරු සම්බන්ධතාවයෙන් පෙන්වයි.  තවද කොමාකෝ සහ ෂිමාමුරා අතර ඇති වූ චිත්තවේගීය ගැටුම ඔවුන් ගේ සබඳතාව ආකුල කර දමයි.

ඔහුගේ පශ්චාත් යුධ සමයේ වැදගත්ම කෘති දෙක වන්නේ Thousand Cranes (දොඹකර දහසක්) සහ Sound of the Mountain (කඳුකරයේ නාදය) වෙයි.  Thousand Cranes නවකතාව සාහිත්‍ය සඳහා නොබෙල් ත්‍යාගය යසුනාරි කවබටාට පිරිනැමීමේදී නොබෙල් කමිටුව විසින් උපුටා දක්වන ලද නවකතා තුනෙන් එකකි.  දොඹකර දහසක් යනු ගැඹුරු සංකේතවාදයේ හැඟීමක් ගෙන දෙන  කෘතියකි. දොඹකර දහසක් දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපන් සමාජයේ ප්‍රචණ්ඩකාරී සංක්‍රාන්තියක නිරූපණය කරයි. 

දෙවන ලෝක යුද සමයේදී ජපන් මිලිටරි බලය කෙරෙහි යසුනාරි කවබතට විශ්වාසයක් නොවීය​. ඔහු ජපන් මිලිටරිවාදය මෙන්ම ජපන් හමුදාව විසින් සිදු කල ක්‍රෑරකම් පිළිබඳව දැන සිටියේය​. ජපානයේ පරාජය මෙන්ම පරමාණු බෝම්බ විසින් සිදු කල විනාශය ඔහු දුටුවේය​. දෙවන ලෝක සංග්‍රාමයත් සමඟ ඇති වූ මිලිටරිවාදී උද්යෝගයට ඔහු සහභාගී වීම ප්‍රතික්ෂේප කළද, පසුව ජපානයේ දේශපාලන ප්‍රතිසංස්කරණ ගැන ද ඔහු තුළ පැහැදීමක් නොවීය. දෙවන ලෝක යුද්ධ සමයේදී යුද්ධයේදී මියගිය ලේඛකයින්ගේ කෘති ප්‍රකාශයට පත් කිරීමට ඔහු කටයුතු කළේය. යසුනාරි  කවබත ගේ යුද්ධයට පෙර කෘතිවල චරිත ජපන් සම්ප්‍රදාය නූතනත්වයේ කම්පනයෙන් රැකවරණයක් ලෙස සලකන නමුත් එය මිත්‍යාවක් පමණක් බව ඔහු ඉක්මනින් වටහා ගනී. යුද්ධයෙන් පසු  යසුනාරි කවබත සම්ප්‍රදායට සහයෝගය දක්වන්නේ සමාජයේ පරිහානිය වඩා හොඳින් පෙන්වීමට පමණි.  ඔහුගේ පශ්චාත් යුධ කෘතීන් වන “සවුන්ඩ් ඔෆ් ද මවුන්ටන්, දොඹකර දහසක් සහ “මාස්ටර් ඔෆ් ගෝ ”  නූතනත්වයේ බලවේග නිසා පුද්ගලයෙකු එදිනෙදා ජීවිතයේදී කම්පනයට මුහුණ දිය යුතු බව පෙන්වා දෙයි.

Thousand Cranes (දොඹකර දහසක් – ජපන් විශ්වාසයක් හා භාවිතයක් වන්නේ “ඔරිගාමි කඩදාසිවලින් සෑදූ දොඹකර දහසක් නැමූ රෝගී පුද්ගලයෙකුට ඉක්මනින් සුවය ලැබෙනු ඇත යන්නයි )  මෙම නවකතාව එය දෙවන ලෝක යුද්ධයෙන් පසු ජපන් සංස්කෘතිය පිළිබඳ අවබෝධයක් ලබා දෙයි. එසේම  අතීතය සහ වර්තමානය අතර ඇති කඹ ඇදීම ඉස්මතු කරයි. මෙම නවකතාවේ  විසිපස් හැවිරිදි වියේ පසුවන කිකුජි මිතානි ප්‍රධාන චරිතය වන අතර ඔහුගේ දෙමාපියන් මිය ගොස් ඇත. ඔහුගේ දෙමව්පියන්ගේ මරණයෙන් පසු සාම්ප්‍රදායික තේ උත්සවයකට සහභාගී වෙමින් සිටියදී, කිකුජිට තම පියාගේ හිටපු අනියම් බිරිඳ වන ඔටා මහත්මිය මුණගැසෙයි. සාම්ප්‍රදායික තේ උත්සවය කිකුජිගේ ළමා කාලය පිළිබඳ  මතකය අවදි කරන බැවින් මෙම භෞතික ගමන ඉතා ඉක්මනින් අධ්‍යාත්මික ගමනක් බවට පත්වේ. කිකුජි තේ භාජන භාවිතා කරන විට, ඔහුගේ පියා පිළිබඳ සිතුවිලි ඔහු වෙත පැමිණේ. කිකුජිට තම පියාගේ හිටපු අනියම් බිරිඳ වන ඔටා මහත්මිය පිළිබඳව ළමා කාලයේ මතකයන් තිබේ. මුලදී කිකුජි ඔටා මහත්මියගේ අශෝභන ස්වභාවය ගැන තැතිගෙන සිටියත්  පසුව ඔවුන් රාගයෙන් බැඳෙති.  කිකුජි ගේ මර්දනය කරන ලද ආශාව ඔහුගේ පියාගේ මරණයෙන් පසු නිදහස් වේ. ඔහු තම ආශාව යථාර්ථයක් බවට පත් කරන්නේ මවකගේ  (ඔටා මහත්මිය ගේ)  පෙම්වතා බවට පත්වීමෙනි. 

ඔහු තම පියාගේ අනියම් බිරිඳ වන ඔටා මහත්මිය සමඟ සමීප සම්බන්ධතාවයක් ගොඩනඟා ගෙන තිබේ. ව්‍යභිචාරය තහනම් කරන පියා සහ සංස්කෘතික පීඩනය කිකුජිගේ දෙමව්පියන් ජීවත්ව සිටියදී ඔහුගේ ආශාව මැඩපවත්වයි. කෙසේ වෙතත්, ඔහුගේ දෙමව්පියන්ගේ මරණයත් සමඟ ඔහුගේ ආශාව පහව යන්නේ නැත. ඔටා මහත්මිය ඔහුගේ අභ්‍යන්තර ආශාව ප්‍රකාශ කිරීමට සුදුසුම චරිතයක් බවට පත්ව ඇත. ඔටා මහත්මිය සමඟ කිකුජිගේ සමීප සම්බන්ධතාවය ඔහුගේ මර්දනය කරන ලද ඊඩිපාල් මානසිකත්වයේ මුදා හැරීමකි. පියා සහ පුතා ඇත්ත වශයෙන්ම එකම මවගේ රූපයේ ආදරය සඳහා අරගල කරති. ඇයට කිකුජි සමඟ රුධිරයෙන් කිසිදු සම්බන්ධයක් නැත. එහෙත්, ඇගේ මාතෘ ගුණාංගය නිසා ඇය මවක චරිතයක් ලෙස සැලකිය හැකිය. දැන් කිකුජිගේ දෙමව්පියන් අභාවප්‍රාප්ත වී ඇති හෙයින්, ඔහුගේ ආශාව පරීක්ෂා කිරීමට කිසිවෙකු නැත. ඔහුගේ ආශාව ඔටා මහත්මිය වෙනුවෙන් ප්‍රකාශ වේ. ඇය ඔහුගේ ආශාවේ පරමාදර්ශී වස්තුවකි. ඔටා මහත්මිය මෙන්, කිකුජිට අතීතය සහ මළවුන් අමතක කළ නොහැක. මෙම මතකය ජීවතුන් හා මළවුන් අතර සම්බන්ධයක් ඇති කළද, එය මානසික අවපීඩනය ජනනය කරයි. 

ඔටා මහත්මිය ඔහුගේ මියගිය පියාගේ අනියම් බිරිඳ පමණක් නොව දියණියක සිටින මවකි. ඇගේ දියණිය කිකුජිගේ  වයසේය. තම පියාගේ පෙම්වතිය සමඟ ලිංගිකව හැසිරීමෙන්  කිකුජි භීතියට හා ලැජ්ජාවට පත් වුවද, ඔහුට ඇයගේ ආකර්‍ෂණය ප්‍රතික්‍ෂේප කළ නොහැක. කිකුජි තම මියගිය පියාගේ අනියම් බිරිඳ වෙත ආකර්‍ෂණය වූ නමුත් පසුව ඔහුගේ  ආශාවන් ඔටා මහත්මියගේ දියණිය ෆුමිකෝ වෙත යොමු වෙයි.  ඇයගේ දියණිය හමුවීම ඔහුගේ අභ්‍යන්තර අරගලයේ ආරම්භය සංකේතවත් කරයි.  ඔටා මහත්මියට  ඇගේ පෙම්වතා අහිමි වීමේ කම්පනය සහ ඔහුගේ පුතා සමඟ ඇයගේ වර්තමාන සම්බන්ධය පිළිබඳ ලැජ්ජාව ඇයට සියදිවි නසා ගැනීමට හේතු  කාරකයන් වන අතර ඔටා මහත්මියගේ සිය දිවි නසා ගැනීම කිකුජිව සසල කරවයි.  වරදකාරී බව සහ ලැජ්ජාව ඔටා මහත්මිය බිඳ දමන අතර ඇය දිවි නසා ගත්තාය. ඔටා මහත්මිය සියදිවි නසා ගත් විට,  ඇයගේ මරණයට තමන් වග කිය යුතු බව කිකුජි සිතයි. මේ නිසා කිකුජි මානසික පීඩාවට පත් වෙයි. 

කතාවේ ප්‍රධාන චරිතය වන කිකුජිට ඔහුගේ අවිනිශ්චිත ස්වභාවය සහ ඉරණම නිසා තමාගේම මාර්ගයක් තෝරා ගැනීමට නොහැකි වේ. ඔහු වටා කාන්තාවන් විශාල ප්‍රමාණයක් සිටින අතර ඔහු ඔවුන්ගේ බාහිර සුන්දරත්වය පමණක් දැක ඔවුන් කෙරෙහි ආකර්‍ෂණය වෙයි.  අශෝභන සුන්දරත්වය සහ ආරෝපිත ලිංගිකත්වය නවකතාව පුරා දැකිය හැකිය. ලිංගික  ඊර්‍ෂ්‍යාව , ආකර්‍ෂණය  සහ මරණය මෙහි ප්‍රධාන තේමාවන් වෙති. සාම්ප්‍රදායික උරුමය ගැන උනන්දුවක් නොදක්වන ජපානයේ නව පරම්පරාව  මෙම කතාවේ ප්‍රධාන චරිතය වන කිකුජි මිතානි හරහා නියෝජනය වෙයි.  ඔහු ජීවත් වන්නේ සම්ප්‍රදායික ජපන් හා බටහිර ගැති කොටස් ආධිපත්‍යය සඳහා සටන් කරන මංසන්ධියේ ය. බටහිර නූතනත්වය වැලඳ ගැනීමේදී කිකුජි මිතානි ජපන් සම්ප්‍රදායන් ප්‍රතික්ෂේප කරන අතරම ඒ අතරම අතීතයේ පැවති චාරිත්‍ර වාරිත්‍ර නැතිවීම ගැන ආකූල වෙයි.  නවකතාවේ ප්‍රධාන චරිත අතීතය නැවත ලබා ගැනීමට හා ඔවුන්ට අහිමි වූ දේ නැවත ලබා ගැනීමට උත්සහ දරති. 
   
ඔහුගේ The Sound of the Mountain  (1954) පවුල් අර්බුදයක් සම්බන්ධිත කථාංග මාලාවක නිරූපණය කරයි. මෙම නවකතාව කමකුරා හි ඔගාටා පවුල මත කේන්ද්‍රගත වන අතර එහි සිදුවීම් ටෝකියෝ හි සේවය කරන විශ්‍රාම යාමට ආසන්න ව්‍යාපාරිකයෙකු වන ෂින්ගෝ ඔගාටා නම් වයස්ගත පුද්ගලයා පිලිබඳව තොරතුරු කියයි.  නවකතාවෙන් ගවේෂණය කරන්නේ ප්‍රේමයේ වෙනස්වන භූමිකාවන් සහ වයසට යාමේදී මිනිසුන් මුහුණ දෙන සත්‍යයයි. ප්‍රධාන චරිතය වන ෂින්ගෝ මානව සබඳතා හා සොබාදහමේ සාම්ප්‍රදායික ජපන් වටිනාකම් නියෝජනය කරයි. ඔහු තම දරුවන් දෙදෙනාගේ විවාහ අර්බුද ගැන සැලකිලිමත් වේ. ෂින්ගෝ ගේ එදිනෙදා ජීවිතයේ දර්ශන සොබාදහම, සිහින හා මතකයන් පිළිබඳ කාව්‍යමය විස්තර සමඟ බැඳී ඇත. 

ෂින්ගෝ ඔගාටා, ඔහුගේ ජීවිත තේරීම් බොහොමයක් ප්‍රශ්න කිරීමට පටන් ගනී. තම පුතාගේ සහ දියණියගේ අක්‍රිය විවාහයන් ගැන ෂින්ගෝ තමාටම දොස් පවරා ගන්නා අතර, ඔහු අතීතයේ සිදු වූ වැරදි නැවත නොකිරීමට පුතාට අනතුරු අඟවයි. ෂින්ගෝගේ  සිහින ජීවිතය විකෘති වී ඇත. මහලු වියේ අවාසනාවන්ත තත්වය ෂින්ගෝගේ ජීවිතය හරහා කතුවරයා පෙන්වා දෙයි. මිනිස් ජීවිතයක් ක්‍රමයෙන් පටු වීම නවකතාවේ තේමාව වෙයි. දෙවන ලෝක සංග්‍රාමයෙන් පසුව ඇති වූ මහා කම්පනයේ බලපෑම නවකතාව ඔස්සේ කතුවරයා පෙන්වා දෙයි.  

ඔහුගේ හොඳම කෘතිය වන  The Master of Go (1951) පැරණි ශූරයකු සහ තරුණ අභියෝගකරුවෙකු අතර පැවති තරඟයක් පිළිබඳ විස්තරයකි. Go යනු චෙස්  වැනි උපාය මාර්ගික ක්‍රීඩාවකි. එය  ක්‍රීඩකයන් දෙදෙනෙකු සහභාගී වන  පුවරු ක්‍රීඩාවක් වන අතර එහි ඉලක්කය වන්නේ ප්‍රතිවාදියාට වඩා වැඩි භූමි ප්‍රමාණයක් වට කර ගැනීමයි. මෙම ක්‍රීඩාව මීට වසර 2500 කට පෙර චීනයේ සොයා ගන්නා ලද අතර එය අද දක්වා අඛණ්ඩව ක්‍රීඩා කරන පැරණිතම පුවරු ක්‍රීඩාව යැයි විශ්වාස කෙරේ. බොහෝ විචාරකයින් මෙම කෘතිය ජපන් සංස්කෘතිය හා දෙවන ලෝක යුද්ධය පිළිබඳ  කවබත ගේ  විවරණය ලෙස සලකති. පැරණි ක්‍රීඩකයා සහ ඔහුගේ තරුණ අභියෝගිකයා අතර අරගලයේ ආවේනික තේමාවන් තිබේ. එය පැරණි සම්ප්‍රදායන් සහ නව ප්‍රායෝගිකවාදය අතර ආතතිය පිළිබිඹු කරයි. එඩ්වඩ් සයිඩන්ස්ටිකර් The Master of Go  හි   තේමාව දෙවන ලෝක සංග්‍රාමයේදී ජපානය පරාජය වීම සංකේතාත්මක සමාන්තරයක් ලෙස සලකයි. The Master of Go නවකතාව අධිරාජ්‍ය ජපානයේ වෙනස් කළ නොහැකි සම්ප්‍රදායන් විසිවන සියවසේ ප්‍රහාරයට මුහුණ දුන් මොහොත ග්‍රහණය කර ගනියි. 

ඔහුගේ තවත් අනගි නවකතාවක් වනThe Lake (1954) හි  ප්‍රධාන චරිතය වන ගිම්පෙයි පළමු ලෝක යුද්ධයේදී සොල්දාදුවෙකු ලෙස දිවි ගලවා ගෙන පසුව පාසල් ගුරුවරයෙකු බවට පත් වූ පුද්ගලයෙකි. ගිම්පෙයි ඔහුගේ අවාසනාවන්ත ළමා කාලය පිලිබඳ තැවෙමින් නව යොවුන් වියේ ගැහැනු ළමයෙකු පසුපස හඹා යයි. ඔහු තම සිසුවියක  වන හිසාකෝ නම් දැරියක් සමඟ රහසිගත සම්බන්ධතාවයක් පවත්වා ඇති බව ඔහුගේ උසස් නිලධාරීන් දැනගත් විට ඔහුගේ තනතුර අහිමි වේ. ඔහු සේවයෙන් පහ කිරීමෙන් පසු ගිම්පෙයි දරිද්‍රතාවයට ඇද වැටෙන අතර මානසික ව්‍යාකූලත්වයක් පෙන්වයි. ගිම්පෙයි තරුණ පෙම්වතුන් කෙරෙහි ඊර්‍ෂ්‍යාවෙන් හා වෛරයෙන්  යුතුව  කාන්තාවන් තුළ තරුණ සුන්දරත්වයේ පරිපූර්ණත්වය සෙවීමට යයි.  ගිම්පෙයිට සැබෑ මානව මිත්‍රත්වයට අවස්ථාවක් ලැබුනද ඔහු එයින් බැහැර වෙයි. ඔහු තමා ගැනම හෙළා දකින උමතු සහ හුදකලා චරිතයකි.  අලංකාරය හා භීෂණය සමස්ත නවකතාවේම සංකේතය ලෙස පහසුවෙන් දැක්විය හැක.  ගිම්පෙයි දොස්තයෙව්ස්කිගේ භූගත මිනිසා සිහිගන්වයි.

ඔහුගේ The House of the Sleeping Beauties (1961) යනු ගණිකා නිවාසයක් ගැන වන අතර හුදකලා මහළු මිනිසෙකු වන එගුචිගේ කතාව පාඨකයාට ඉදිරිපත් කරයි. හුදකලා පුද්ගලයෙකුගේ මනසෙහි කාමුක මනංකල්පිතය සහ යථාර්ථය අතර අන්තර් ක්‍රියාකාරිත්වය ගවේෂණය කරන මෙම නවකතාව අශුභවාදය , තනිකම සහ හුදකලාව පිළිබඳ ගැඹුරු හැඟීම් සමග  සම්බන්ධ වෙයි. ධනවත් මහලු පිරිමින් සුන්දර තරුණියන් අසල නිදා ගැනීමට මුදල් වියදම් කරති. වයස අවුරුදු හැට හතක් වන එගුචි බොහෝ කාන්තාවන් සමඟ ජීවිත කාලය පුරාම පුළුල් ලිංගික අත්දැකීම් ලබා ඇති මිනිසෙකි. ඔහු තරුණියකගේ නිරුවත් සිරුර අසල නිදා ගැනීමට දිගින් දිගටම ආශා කරයි. එහෙත් ඔහු කාන්තාවන් කෙරෙහි දැඩි කලකිරීමට පත්ව ඇත. මහළු වූවද ඔහු ලිංගිකත්වයේ සැප අත්හැරියේ නැත. ඔහුට ස්ත්‍රීන් සමඟ ගනුදෙනු කළ හැක්කේ රාගයේ ගාමක බලයෙන් තොරව, සහ ඔවුන්ව තමන් ආසන්නයේ රඳවා තබා ගැනීමෙන් පමණි. 

මෙම නවකතාව එගුචි ගේ මහලු වියේ නිර්දය ගමන් මාර්ගය පිළිබිඹු කරයි.  කතුවරයා කාමුකත්වය, අතීත ස්මරණය , මහලු වයස, මරණය යන තේමා ගවේශනය කරයි. නවකතාවේ එන තවත් එක් චරිතයක් වන මහළු කෙගා, එගුචිට පාපොච්චාරණය කරන්නේ තරුණියක  අසල නිදා සිටියදී තමා ජීවතුන් අතර සිටින බවය. එය ඔවුන්ට මරණය අමතක කරවයි. “ඔබ සමඟ  සයනයේ පියකරු  නිරුවත් තරුණියක් සිටින විට අවසානය ගැන සිතිය හැක්කේ කාටද? කියා එගුචි අසයි. මෙම ආශාව එක්තරා ආකාරයකින් මරණය පිලිබඳ කාංසාව විතැන් කිරීමකි. ඔවුන්ට නින්ද යනු රාජ්‍යයන් දෙක අතර අමුතු අතරමැදි අවධියකි. එගුචි ගේ සිතුවිලි මානුෂීය හා අමානුෂික පරිසරයන් අතර ඇති සියුම් රේඛාව බිඳ දමයි. මහල්ලන් ජීවිතයේ අවසානය සහ ජරාව නිරූපණය කරන අතර තරුණියෝ සුන්දරත්වය හා ජීවිතය නියෝජනය කරති. මෙම නවකතාව මගින් කවබත අවධාරණය කරන්නේ පැවැත්මේ ලෝකය සමඟ පුද්ගලයෙකුගේ සම්බන්ධතාවය උද්දීපනය කිරීමට මිනිස් මනසට ඇති හැකියාවයි. තවද මානව සබඳතා සහ ජීවිතය කෙරෙහි ගැඹුරු අශුභවාදී ආකල්ප නවකතාව පුරා රැව් දෙයි.  ගේබ්‍රියෙල් ගාර්ෂියා මාකේස්  තමන් ගේ නවකතාවක් වන  Memories of My Melancholy Whores සඳහා තේමාව ලබා ගන්නේ කවබත ගේ මෙම නවකතාව අනුසාරයෙනි. 

“Dandelions”  යනු කවබත ගේ අවසාන නවකතාව වන අතර එහි කවබත ආශාවේ නොගැලපීම ගවේෂණය කරයි. නවකතාව ආරම්භයේදීම “සත්‍යය, යහපත් හා අලංකාරය සොයන කලාකරුවෙකුට  යක්‍ෂයාගේ ලෝකය නොමැතිව බුදුන්ගේ ලෝකයක් තිබිය නොහැකි බව පවසයි. මෙම නවකතාවේ කවබත ගවේෂණය කරන්නේ ආශාවේ අනිත්‍යතාවය පිලිබඳවය. මෙම නවකතාවේදී ඔහු  Somagnosia නම් රෝගය ගැන පවසයි.  ඉනෙකෝ තරුණිය ‘සොමාග්නෝසියා’ නම්   රෝගයෙන් පීඩා විඳින්නීය. ඇය මනෝ චිකිත්සක රෝහලක් වන ඉකුටා සායනයේ ප්‍රතිකාර ලබන්නීය​. මෙම Somagnosia රෝගයේදී රෝගියාට  පෙනීම නැති වී යයි.  ‘සෝමග්නෝසියාව’ ප්‍රබන්ධ රෝගයක් ලෙස දැක්වේ. මෙම  Somagnosia තත්වය අන් අය සමඟ සම්බන්ධ වීමට ඇති හැකියාව කෙරෙහි බලපායි.  එසේම මනෝ චිකිත්සක රෝහලක් වන ඉකුටා සායනය පිලිබඳව කරුණු කතුවරයා අනාවරණය කරයි. එහි කිසිදු ප්‍රතිකාරයක්  රෝගීන්ට ගැලපෙන්නේ නැත.  

කතුවරයා ඉනෙකෝගේ ළමා කාලය, ඇගේ රෝගයේ ආරම්භය සහ ඉරණම පිළිබඳ   තොරතුරු පවසයි.  කුඩා දැරියක් ලෙස ඉනෙකෝ කම්පනයට පත්ව තිබුණාය. ඇයගේ පියා ප්‍රවීණ යුද අශ්වාරෝහකයකු වූ අතර, ජපානය යටත් වූ විගසම ඔහු දැඩි කම්පනයට පත්විය. ඔහු සිය දිවි නසා ගත්තේය​. පියාගේ මරණය ඇයගේ සිත තුල හොල්මන් කරන්නට විය​. ඇය කෑගසමින් ඇස් වසා ගන්නා විට ඇගේ පියා සහ ඔහුගේ අශ්වයා එම උස් කඳු මුදුනේ සිට මුහුදට ඇද වැටෙමින් තිබුණි. පියාගේ මරණය ඇයගේ පීඩාවේ මුල බව නිසැක ය. ඇයගේ ආයතනිකකරණය යම් ආකාරයක මරණයක් සේ දැනේ. කුනෝට ඉනෙකෝ සමඟ විවාහ වීමට අවශ්‍ය වන අතර, ඔහු  ඇයගේ අසනීප තත්වය පාලනය කළ හැකි යැයි විශ්වාස කරයි. සංකල්පයක් ලෙස අන්ධභාවය කවාබාටාගේ නවකතාවේ කේන්ද්‍රීය වන අතර එහිදී සෑම චරිතයක්ම යම් දෙයකට අන්ධ වේ. මතකයන්, පරිකල්පනය, චිත්තවේගයන් සහ දර්ශනය සියල්ල එකිනෙකට සම්බන්ධ වන්නේ කෙසේද යන්න නවකතාව විමසා බලයි. 

යසුනාරි  කවබත යනු අනන්‍යතාවය, ලිංගිකත්වය, අධ්‍යාත්මිකභාවය, වයස්ගත වීම, මරණය වැනි විෂයයන් නිරන්තරයෙන් ගවේෂණය කළ ලේඛකයෙකි. ජපන් ගීතමය සම්ප්‍රදාය , බෞද්ධ හා ෂින්ටෝ චින්තනය සහ සංකේතවාදය යසුනාරි කවබතගේ කෘති සඳහා තේමාවන් ලබා දී ඇත​. ඔහු බොහෝ විට මරණය පිළිබඳ ගැටලුව හෝ ජීවිතයේ තනිකම පිළිබඳව කතා කරයි. ඔහුගේ කෘතිවලට සෙන් බුද්ධාගමේ චින්තනයන් ද අඩංගු වෙයි.  

ඔහුගේ ප්‍රධාන චරිත වන්නේ හුදෙකලා පුද්ගලයන් වන අතර  ඔවුන් අවට ලෝකය ගැන නිරීක්‍ෂණ සිදු කරති.  ඔහුගේ චරිත ප්‍රතිවිරෝධතා සමග ජීවත් වේ. කවබත ලිංගිකත්වය, මරණය සහ ශූන්‍යවාදී චරිත සමඟ මිශ්‍ර වූ සාම්ප්‍රදායික ජපන් සංස්කෘතිය නිරූපණය කරන සුවිශේෂී ලේඛන ශෛලියක් වර්ධනය  කලේය.  එය එක්තරා ආකාරයක​ට මංමුලා සහගත ඛේදවාචකයන්ගෙන් පිරුණු ‘සාහිත්‍ය ප්‍රබන්ධ විශේෂයකි.  යසුනාරි  කවබත ගේ බොහෝ කෘති තුළින් ඔහුගේ ජීවිතයේ දුරස්ථභාවය පිළිබඳ හැඟීම නිරූපණය කෙරේ. ඔහුගේ චරිත ඔවුන් වටා තාප්ප ගොඩනඟා ඇති අතර එනිසා ඔවුන් හුදකලාව අත් විඳිති.    

කවබත ජපන් සෞන්දර්යය පිළිබඳවද ලිවීය​. කවබත ගේ නවකතා තුල ජපානයේ සෞන්දර්‍යාත්මක සම්ප්‍රදාය පිළිබඳ ගැඹුරු විස්තර අඩංගු වෙයි.  එසේම  ඔහු ජපන් මනෝභාවයේ අඳුරු පාර්ශවය හෙළි කලේය​. ඔහු  හැඟීම්බර ලේඛකයෙකු වූ අතර නිරූපණ හා මනෝභාවය ප්‍රකාශ කිරීමේ දක්ෂයෙකු විය​. ඇතැම් විට සාහිත්‍යය තුළින් ජපන් සංස්කෘතිය ආරක්‍ෂා කිරීමේ ඔහුගේ අභිප්‍රාය ඔහුගේ නවකතා මගින් පිළිබිඹු වෙයි. ඔහුගේ ලේඛන ජපානයේ විචිත්‍රවත් හා ශෝකජනක සුන්දරත්වය හා අධ්‍යාත්මය ග්‍රහණය කර ගනියි. 

යසුනාරි  කවබත 1972 දී මිය ගිය අතර එය සියදිවි නසා ගැනීමක් බවටද සැකයක් තිබේ. ඔහු නූතනවාදී යුරෝපීය හා සම්භාව්‍ය ජපන් ආභාෂයන් දෙකම දක්‍ෂ ලෙස භාවිතා කලේය. ජපාන සාහිත්‍යය ඉංග්‍රීසි හා වෙනත් බටහිර භාෂාවලට පරිවර්තනය කිරීම සඳහා ඔහු ගාමක බලවේගයක්ද විය​.


Works Cited

Kawabata, Yasunari. The Master of Go. 1951. Translated by Edward Seidensticker. 1972. Random House. 
Print, D.(1984). Dawn to the West: Japanese Literature in the Modern Era. New York: Holt. 
%d bloggers like this: