Menu Close

Kappela (2020)

“ඉමාෂා දෙව්මිණි” අවුරුදු දාහතක වයසේ යෞවනය පසුකරමින් උන්නු හරි සුන්දර මලක් වගේ ඒ දැරිය දූෂණය කරල මරා දමන්නෙ ඇගෙම පෙම්වතා විසින්. ඒක මුළු රටක් හඬවාපු, පොළව නූහුලන අපරාධයක්. කොටදෙනියාව සේයා, යාපනේ විද්‍යා.. “දෙයියනේ මිනිස්සු කොහොමද එහෙම කරන්නෙ” කියල හිතා ගන්න බැරි, මතකයෙ ඇනිච්ච කටුවක් වගේ රිදුම් දෙන සිද්ධි. අද සමාජෙ පුදුම විදිහට ලිංගික අසහනයෙන් පිරිල ගිහින් බව කියන්න මේ උදාහරණ ඕනාවට වැඩියි. කොල්ලෙක් කියන්නෙ කෙල්ලෙක් පාරෙ යනකොට විහිළු කරන, විසිල් ගහල කුණුහරපයක් කියන එකෙකුටයි කියල අදහසක් සමාජෙ ඇතුලෙ මුල්බැහැල තියනව. කවුරු හරි කෙනෙක් එහෙම කලොත් ඒ “කොලුකමට” කියල සාධාරණීකරනය කරනව. නැහැ ඒක වැරදියි. ගැහැනු හෝ පිරිමි හෝ කිසි කෙනෙක් කැමතිවෙන්නෙ නෑ අපහාස උපහාස විඳින්න. ෆැන්ටසිමය ආශාවන් සන්සිඳුවන ආශාවේ වස්තුව බවට පත්වෙන්න. තව කෙනෙකුගෙ බලපෑමට අනවශ්‍ය විදිහට යටත් වෙන්න කිසි කෙනෙක් කැමති නැහැ. කවුරුවත් එහෙම විය යුතු නැහැ. නමුත් ගැහැනිය ඉස්සරහ බලේ පෙන්නල තමන්ගෙ පිරිමිකම ඔප්පු කරගන්න අර ගතානුගතික අදහස් ඔලුවෙ පුරවගත්ත සාම්ප්‍රදායික පිරිමියා උත්සහ කරනව. අනිත් කාරණය අද සන්නිවේදන මාධ්‍යන්ගෙ දියුණුව එක්ක ලිංගික ආශාවන් ඇතිකරවන දේවල් අන්තර්ජාලය හරහා ඕන තරම් හොයාගන්න පුලුවන්. හිතන්න මේවගේ ගතානුගතික සමාජයකට එහෙම දෙයක් ලැබුණාම වෙන දේ. ස්ත්‍රී දූෂකයෙක් එකවර බිහිවෙන්නෙ නෑ. ඔයවගෙ හේතු සාධක එක්ක ක්‍රමානුකූලව මනුස්සයෙක් ඒ තත්ත්වෙට පත්වෙන්නෙ

බස් වල කෝච්චි වල යන එන, රැකියා කරන ගැහැනුන්ට මේ ගැන අත්දැකීම් ඇති හොඳට. අද සමාජෙ ඉතාම අනාරක්ෂිත තැනක් බවට පත්වෙලා. එහෙම සමාජෙක මිනිස්සු කොහොමද එකිනෙකා විශ්වාස කරන්නෙ? පණ දෙන්න වගේ ලඟ හිටියත් හිතේ තියෙන්නෙ මොනවද කියල කොහොමද දන්නෙ? 

2020 අවුරුද්දෙ තිරගත වුණු Kappela මලයාලම් චිත්‍රපටයෙ ඇතුලත් වෙන්නෙ මේ එකිනෙකා රවටා ගන්න, බියකරු සමාජය ඇතුලෙ ගොදුරක් වෙන්න ගිය “ජෙසී” නම් ගැහැනු ලමයෙකුගෙ කතාව. මලයාලම් සිනමාවටම ආවේණික වුණු කේරළේ සොබාදහම මුහුවෙච්ච අතිසුන්දර පසුතල මැද්දි අපිට දකින්න ලැබෙන කතාව නම් සුන්දර එකක් නොවෙයි. “ජෙසී” ආදරය කලා, පමණටත් වඩා විශ්වාස කලා. ඒ ආදරය ඇයව ජීවිතේ විනාශයේ මුවවිට දක්වාම කැඳවාගෙන එනව. ඇයව ගොදුරට ගන්න මග බලා වුන්නෙ පිරිමියෙක් වගේම ඇයව ඒ උගුලෙන් ගලවා ගන්නෙත් පිරිමියෙක්. ජෙසී නොදැන යන මේ ගමනෙ කෙළවර මොකක්ද කියා වටහගන්න ඔහු ඇය පසුපස්සෙ ඇවිත් අනතුරෙන් ගලවා ගන්නව. පිරිමියෙක් කියන්නෙ අන්න එහෙම කෙනෙකුට. ඔහු අසහනයවත් පීඩනයවත්, මුදාහරින්නෙක් නොවෙ යි. ඔහු ආරක්ෂකයෙක්. ඒ මොහොතෙ ඔහුගෙන් සිද්දවෙන්න ඕන දෙය හරියට ඉටුකරන්නෙක්. “රෝයි” ඔහු ලබාදෙන්නෙ මිනිසත්කමේ ආදර්ශය.

මේක පොඩි ඉල්ලීමක් චිත්‍රපට බලන හැමකෙනෙකුගෙන්ම කරන්න තියන. Kappela චිත්‍රපටය බලන්න. ඒ ගැන අදහස් බෙදාහදා ගන්න. මේ මොහොතෙ අපි කතා කල යුතු මාතෘකාවක් මේක. යුනිකෝඩ් වලින් අපිට කතාකරන්න පුලුවන් පොඩි සීමාවක් ඇතුලෙ වුණත් වඩා යහපත් දෙයක් ඒ ඇතුලෙ අපි බෙදාහදා ගන්න ඕන කියල මම හිතනව. අසහනකාරින්ට විරුද්ධව අපේ අදහස් ලියන්න ඕන පුලුවන් විදිහට. හැමෝම මේ චිත්‍රපටය බලන්න.

%d bloggers like this: