Menu Close

177. පලවෙනි ඇන් ඇක්සිඩන්ට් එක


මීට වසර ගනනාවකට පෙර ඒ කියන්නේ ලංකාවේ සී.ටී.බී බස් රජ කල සමයේ රියැදුරෙක් ගෙන් “මේ බස් එක කීයට  විතර එහාට යයිද?” කියා විමසුව හොත් උත්තර වලට ලැබෙන්නේ සුද්ධ සිංහලය.
ඒ කාලෙ හැටියට නොවෙයි දැන් උනත් රියැදුරෙක්ගෙන් “ඔයා අතින් ඇක්සිඩන්ට් එහෙම වෙලා නැද්ද ?” කියා විමසුව හොත් එයටහොඳ ප්‍රථිචාරයක්නම් නොලැබෙනු ඇත.
එහෙත් මා සේවය පිණිස වැඩ පොලට බොහෝවිට යන්නේ බයිසිකලයෙන් දැනගත් විට “ඇක්සිඩන්ට් වෙලා එහෙම නැත්ද?” කියා කට පුරා අහන අය මට බොහෝ විට මුණ ගැසී ඇත.
මා එයට පිළිතුරු ලෙස පවසන්නේ “ඔයා අහන කල් නම් වෙලා තිබුනේ නෑ!” කියාය.
එවිට බොහෝ විට ප්‍රශ්ණය අහපු අය බොහෝ සෙයින් විස්සෝපයට පත්වේ.
එහෙත් මම ඊළඟ මොහොතේ “මොකද නැත්තෙ වෙලා තියෙනවා!” කී විට යාන්තමින් සාමාන්‍යය තත්වයට පත්වේ.

මා සයිකල් පදින්න පුරුදු වෙන කාලේ සිදුවුනු අපූරු සිදුවීමක් මාහට තාම මතකයේ පවතී.

ඒ සිද්ධිය මා මෙසේ පෙල ගස්වන්නම්!

අපේ පරම්පරාවේ බයිසිකල් කෙළිකාරයා උනේ අපේ අයියාය.
උන්නැහැ මම ඔය කියන සිද්ධිය වෙන කොට වැඩ කලේ බිංගිරියේ. 
එයා වැඩකලෙත්  තාත්තා වාගේම ෆොරස්ට් එකේ. 
ඒ කියන්නේ  වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ. 
නැවතිලා උන්නේ රජයේ නිළ නිවාසෙ.
ඒ කාලේ එයාව බලන්න මම එන්නෑ කියලා එකම අඬෝ වැඩියාවයි. 
එක නිවාඩු කාලෙක මමත් මගෙ ඇඳුම් කැඩුම් ටිකත් දාගෙන ගියා මුන්නැහැ එක්ක දවසක් දෙකක් ඉඳලා එන්න. 
අපේ අයියා මහ කේන්ති කාරයා. 
හොස්ස අගින් මැස්සෙකුට නෙවෙයි කෝඳුරුවෙකුටවත් යන්න බෑ එයා පරළ වෙනවා.
මම ඉතින් එහාට සම්ප්‍රාප්ත වෙලා දවසක් දෙකක් යනකොට අයියාට රාජකාරිමය වැඩකට හලාවතට යන්න උවමනාවක් ආවා.
එයා ගියේ මට පරිස්සම්ව ගෙදරටම වෙලා ඉන්න අවවාද කරලා.
බිංගිරිය කියන්නේ තරමක තැනිතලාමය  භූගෝලීය ලක්ෂණ පෙන්නුම් කෙරෙණ ගමක්.
ඒ මුළු පලාතම පිහිටියේ පොල්ත්‍රිකෝණෙ මැද්දේ බැවින් පොල් වතු යායවල් එමට.
එසේම ගම ඇතුලට දිවෙන ගුරු පාරවල් කිහිපයක්ද තිබුණා.
අපේ අයියා බොහෝ විට ගමන් බිමන් ගියේ එයාගෙ මහානර්ඝ ෆ්ලයිං පිජන් සයිකලයෙන්.
අයියා හලාවතට ගිහින් එන තුරු නිල නිවාසේ ඇතුලෙ හිටිය මගෙ හිත තිබුනේම මේ යකඩ ගොඩ සමග.
ඒක එයාගෙ නිළනිවාසෙ ඇතුලෙ විරාජ මානව මා දිහා බලාන ඉන්නවා.
හිත තදකරගෙන ඉඳලා ඉඳලා ඉන්න බැරිම උනු මොහොතක; මේක පොඩ්ඩක් පැදලා “ඉංදියාවේ හිරේ ගියත් සැපයි” කියලා හිතිලා හිත තද කර ගෙන ගේමට බැස්සා.
ඉතින් මමත් හීං සීරුවේ සයිකලේ එලියට අරං දොරපලු දෙකත් හොඳට අඩවල් කරලා පාරට කිට්ටු කලා.
ඔය කියන කාලෙ මම ඉස්කෝලෙ අට වැන්නෙ විතර ඇති.
ඒත් උස තිබුනා රිටකට පොඩ්ඩක් අඩුව වගේ.
බයිසිකලේ පාරට ඒ කියන්නේ කුරුණෑගල හලාවත ප්‍රධාන පාරට දාලා දෙතුන් විටක් එහාට මෙහාට ගිහින් බැලුවා.
බයිසිකලේ පැදෙනවා හිටු කියලා.
ඔය කාලේ ආපු ෆ්ලයිං පිජන් බයිසිකල වල ෆ්‍රී වීල් එකේ ඒ කියන්නේ දම්වැල දිවෙන පිටුපස දැති රෝදේ; දැති 20 කින් සමන් විත වුනා. 
කොග් වීල් එක දැති 44. 
ඉතින් ඕනෑම කන්දක් ගේමක් නැතිව පදින්න පුළුවන් කම තිබුනා.
අපේ අයියාගේ නිළ නිවාසේ එහෙමත් නැතිනම් ක්වාටස් එක ඉදිරියෙන් තිබුණු පාර තිබුනේ තරමක ආනතයකට.
කොටින්ම පොඩි නැග්මක් සහිතව දිග කන්දක්.
මේ නිසාම සයිකලේ කන්දට පැදලා අනිත් පැත්තට පල්ලමේ  රූමයා වගේ යන එක තමයි එකම විනෝදෙ උනේ.
ටික වේලාවක් ඔය පැදිල්ල පැදලා කන්දට පදින එක; ටික වෙන්න වාතයක් වෙමින් තිබුනු නිසා සයිකලේ පදින්නට ඊළඟට මම තෝරා ගත්තේ ගම ඇතුලට විහිදුනු ගුරු පාර.
තද මෙරූන් පාටැති ඒ පාර අයියාගේ පාලනය යටතේ තිබුණු තේක්ක වගාවක් ඔස්සේ ගම දෙසට ඈතින් ඈතට ගියා.
මම සයිකලය ගුරු පාරට ගෙන වේගයෙන් ඒ මේ අතට පදින්නාට පටන් ගත්තා.
පළමුව ප්‍රධාන පාරේ සිට කෙටි දුරක්. . . !
ඉන් පසු ඊට මදක් වැඩි දුරක්. . . . !!
ඊළඟට තවත් දුරක්. . . . . . . !!!
මෙලෙසින් වටයෙන් වටය වැඩි වන දුරින් යුතුව මා සයිකලය පදිමින් විය.
ගමක තබා අගනුවර වත් ත්‍රී වීල් නොතිබූ අවධියේ යතුරු පැදියක් වුවද ඉතා දුලබ දසුනක් වූයෙන් මාහට මගේ සතුට මට ඇවැසි පරිදි ගැනීමට බාධාවක් නොවීය.

එදින පොල දවස. 
බිංගිරිය කඩ මණ්ඩිය ආසන්නයේ පැවති පොලට පැමිණි ගැහැනුන් කිහිප දෙනෙකු හා පිරිමින් අත ලොස්සක් හැරෙණ්නට මා හට ගුරු පාරේ මෙලෝ බාධකයක් නොවීය.
 මහ පාරේ සිට ගම දෙසටත් නැවත ගම ඇතුලේ සිට මහ පාර දෙසටත් සයිකලය පදින මා හට; පොලේ සිට බඩු මලු කර පින්නා ගෙන ගෙවල් බලා යන එකම පිරිසක් පසු කර යාමත් මුහුණට මුහුණ හමුවීමත් නිරන්තරයෙන් සිදු වුනි.
තේක්ක වගාව ගම තුලට බොහෝ දුරක් විහිදුනි.
“තේක්ක වගාව” කීවාට එය විශාල ගස් වලින් හෙබි කැලෑ කුට්ටියකි.
තේක්ක ගස් වල විශාල කොල වලින් මුළු මහත්මාර්ගය මෙන්ම වන පෙතද සෙවන වී තිබුනි.
පුරවා ගත් බඩු මළු අතින් කටින් එල්ලා ගත් ගැමි ගැහැණුන්  පිරිමින් තුන් හතර දෙනෙක් මද්ධහනට කලින් ගෙදෙරට යන්නට පාර දිගේ සෙමින් සෙමෙන් ගාටමින්ය.
ඔවුන් යන්නේද දෙතුන් දෙනා ලං ලංව කියවමින්ය.
බුලත් සපමින්ය.
පාත්ත ගමනින්ය.
මේවන විට පැය භාගයකට අධික කාලයක් සයිකලය පදිමින් සිටි මා සිටියේ සයිකල් පැදීම පිළිබඳව මනා පරිචයකින් ය.
මෙය ඇත්තක්ද?
නැත ඒ සිතට දැනෙනා හැටිය.
“සයිකලය අතට හොඳට හුරුය!” මේ සිතට දැනුනු හැටිය.
මෙසේ ඒ අතටත් මේ අතටත් සයිකලය පදිමින් සිටි මා වටයෙන් වටය තේක්ක වන වගාව පසු කොට ගම තුලට අවතීර්ණ වෙමින් සිටියෙමි.
මා ඒ වන විට අධික වේගයකින් පදිමින් විය.
අවසන් වතාවට මා ගම ආසන්නයෙන් සයිකල හැර වූයේ විශාල පල්ලමක් අභියසදීය.
ගම තුල සිට ප්‍රධාන මාර්ගය දෙසට පැමිණි මා හැකි උපරීම වේගයෙන් ගම තුලට දිවුනු ගුරු පාරේ පා පැදිය ධාවනය කලෙමි. 
මගේ බලා පොරොත්තුව මා දුටු පල්ලමේ සුපිරි වේගයකින් ගමන් ගැනීමටය.
සයිකලය වංගු වලින් හැරෙමින්, කෙලින් වෙමින් වේගවත් ගමනකය.
අද මෙන් නොව එදා හිස පුරා වැවී තිබුනු කෙහෙ රැලි හුළඟේ ලෙල දෙමින්ය.
මෙතෙක් මෙම මාර්ගය ඔස්සේ ඒ අතටත් මේ අතටත් සරක්කාරං කරද්දී දුටු ගැමියන්, ගැමි ලියන් වඩ වඩාත් ගම දෙසට ලං වී සිටියහ.
පෙනෙන්නට නැත්තේ පාත්ත ගමනින්, බුලත් සපමින්, බඩු මලු හිස මත සමතුලිත කර ගනිමින්, අතක කළ පොඩියක් ගෙන ගිය බබලතී හා ඇය හා දොඩමළුව ගිය උස් ගැහැණිය පමණි.
බබලතී වයස අවුරුදු 50 ක පමණ වන්නට ඇත.

උස් ගැහැණිය ඊට තරමක් ලා බාල බවක් පෙන්නුම් කලාය.
ඊළඟ වංගුව අවසාන වන්නේ; මෙතෙක් පුල පුලා බලා සිටි ඒ අසිරිමත්මොහොත එළඹෙමින්ය.
ඔව් ඒ පෙරකී සීඝ්‍ර බෑවුමය.
පාර විහිදී තිබුනේ උස් ඉවුරු දෙකක් අතරිනි.
අවට සමතලා බිමට වැසි වැටෙන විට එම වැසි ජලය පහලට ගලා ගියේ මෙම ගුරු පාර ඔස්සේය.
එම නිසාම පටි පාරේ එක් පසක් ගැඹුරට හෑරී කාණුවක් නිර්මානය වී තිබුණි.
වංගුව අසුරු සැණින් පසුවී ගොස් පල්ලමට සෙට මෝල් වුනේ ඊ ගහක් මෙනි.
පල්ලම අඩි 50-60 ක් පමණ විය.
පල්ලමට අවතීර්ණ වී හැකි උපරීමයෙන් පදිමින් උපරීම වේගයක් සයිකලයට දෙමින් සිටි මාගෙ  නෙත ගැටුනේ පෙර කී කාන්තවන් දෙදෙනා පුරුදු ගමණින් පල්ලමේ අවසානයට කිට්ටු කරමින් සිටිනා අයුරුයි.
සයිකලය පෙර නොවූ විරූ වේගයකින් ගමනේය.
කාන්තාවන් දෙදෙනාත් මාර්ගයේ දෙපස ඉවුර ආසන්නයෙන් ගමනේය.
ඔවුන් දෙදෙනා අතරින් සයිකලය ධාවනය කිරීම මාගේ අරමුණ් විය.
ඔවුන් පසු කර යාමට තත්පරයක්  දෙකක් තිබියදී වයසින් වැඩි තරබාරු ගහැණිය; හෝදා පාළුවූ මාරගයේ පසෙක වූ කාණුව මග ඇරීමට පාර මැද්දට පාවී ආවේය.
ඔබ ජීවිතයේ එක් වරක් හෝ තමා පදවන ලද වාහනයක් ක්ෂණික අනතුරකට පත්වී ඇත්නම් මෙනෙහි කොට බලන්න. 
අනතුර වලක්වා ගැනීමට තිරිංග පාගනවා වෙනුවට සිදුවන්නේ තම අත රැඳි සුක්කානම හෝ සයිකලයේ හැඬලය තමා වෙතට ඇද ගනිමින් වාහනයේ ධාවනය නවතා ලීමට උත්සාහ කිරීමයි.
මෙය කියවන විට විහිළුවක් සේ හැඟුනද බොහෝ විට සිදු වන්නේ එයයි.
මාගේ ඇස් මනා පිට එක් අවස්ථාවක දී සිදුවූ මෝටර් රථ අනතුරකදීද මෙය මා මනාව දුටුවෙමි.
මොටර් රථ පදවන විට සිදුවන ක්ෂණික අනතුරකදී; තමන් නොසිතාම සිදුවන  සිදුවන මෙම පට ලැවිල්ලේදී; සුක්කානම තමාවෙතට ඇද ගැනීමට වෙර දරද්දී ඇක්සලරේටරය නිරායාසයෙන්ම තදින් පෑගේ.
“බ්‍රේක් එක කියලා කලබලේට ඇක්සලරේටරේම පෑගුනා!’ කියා පවසන්නේ මෙම ක්‍රියා දාමය යැයි මා සැක කරමි.

තවත් නිමේශයකින් සිදුවන අනතුර මග අරවා ගැනීමට මාහට බ්‍රේක් ගැසීමට සිහියක් නොවීය.
මමද කලේ හඬලය හැකි වෙර යොදා මාදෙසට ඇද සයිකලයේ ගමන නැවැත්වීමට උත්සාහ ගැනීමයි.
පරණවී ගිය චීත්ත රෙද්දකින් හා හැට්ටයකින් සැරසී සිටි තරබාරු කාන්තාවගේ සිරුරේ සමමිතික රේඛාව හා මාගේ සයිකලයේ ඉදිරිපස ටයරය හා සයිකලයේ ගමන් පථය ඒක රේඛී වෙලාය.
ඒ මා සයිකලය  පැදවූ වැරදි ආකාරයක් නිසා නොව ඇය කාණුව මග ඇරීමට ගොස් මාර්ගයේ මැදට පැමිණ ස්ථාන ගතවූ අයුරුය.
මතක් වෙන විටත් කියන්නට, ලියන්නට නොව හිතන්නට පවා බිය උපදවේ.
සයිකලයේ ඉදිරිපස ටයරය කාන්තාවගේ දෙපා අතරින්; ඇය විළි වසාගෙන සිටි චීත්තයද එයට යටින් වූ අවශේෂ වස්තරයද දෙපළු කරමින්; ලී ඉරන මඩුවක බංකු කියතක් දැව කඳක් ඉරාගෙන මතුවන්නාසේ  ගමන් ගත්තේය.
හැඬලය ඇගේ ඉඟටියේ හෝ පිට මැද්දෙ වැදී ඇය පසෙකට වීසිවී ගියේය.
සයිකලය සමග මා කරනම් ගසා බිමට වැටුනේ ඇගේ අතක තිබුනු කළය බිම වැටී සුන් බුන් වූ තැන අසලමය.
පල්ලම දිගේ තලන බටු, ඉන්නල, දෙහි තරඟයට දුවමින්ය.
බණ්ඩක්කා කරල්; වම්බොටු අත නොහැර අප අසලම තිබුනේය.
කාණුවේ පසෙක වූ පං මල්ලේ ඉතිරිව තිබුනේ වට්ටක්කා බෑයකි.
එයද ඇයට යටව ගොස් තිබුණු නිසා විය යුතුය.
එයද පැවතියේ චප්පව ගොස්; එය විකුණූ වෙළෙන්දාටවත් හඳුනාගත නොහැකි වන ලෙස විකෘථිවී ගොසින්ය. 

“මේ  (teek) කොල්ලාට මගේ රෙද්ද අස්සෙ යන්නෙ නැතිව වෙන යන්න තැනක් තිබුනෙම නැද්ද යකො .ඕ . . ඕ . . (teeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeeek) “

ඇය මට මිශ්‍ර සිංහල හෝඩියෙන් අමතන්න විමි.

“(teek) අම්මේ මගෙ තුනටිය! (teeeeeeek)!!

මා ඇය දෙස කෙලින් බලන්නට වත් නොගියාට ඇය සිටින්නේ දෙපළුවී ගිය චීත්තය නිසා හිරි ඔත්ප් බිඳී ඇති බැවින්  බව ඇස් කොණින් මා දුටුවෙමි.
ඇය  විළි වසා ගැනීමටවත් උත්සුක නොවී හිටි වනම සිටිමින් මාගේ දයාබර මෑණියන්ව සිහි කරමින් විය.
මා සයිකලය කෙළින් කර ගත්තේ ලෙලි ගිය දනිස්සෙන් කොර ගසමින්ය.
සයිකලයේ හැඬලය ආපසු ගෙදර යන්නට මෙන් හැරී ගොස්ය.
මා එය කෙලින් කරගන්නටවත් වෙලාව අපතේ නොහැර සයිකලයෙ බාරයට උඩින්  කකුල දමා පල්ලමේම පදින්නට විය.

වියෝග ප්‍රවේගයෙන් ගමන් ගත් මා විනාඩි ගනනකින් තවත් සෑහෙන දුරක් ගමන් කොට සයිකලය අනතුරේ ගුරුත්වාකර්ශණයෙන් ගැලවී යාමට සමත් විමි.

මාගේ දණිස් – බනිස් වාගේ ඉදිමී ඇවිත්ය.
සයිකලයෙන් බැස ඉදිරිපස රෝදය කකුල් දෙකට මැදි කොට හැඬලය යතා තත්වයට පත් කර ගත් මා එම මාර්ගයේම ඉදිරිය ට පැද මතු වූයේ; බිංගිරිය  – කුළියාපිටිය මාර්ගයෙන් ය. 
එතැන්සිට සෙමෙන් සෙමෙන් ගාටමින් පදිමින් වාසස්ථානයට පැමිණෙන විටත් අයියා පැමිණ නොසිටියේය.
වහ වහා සයිකලය හොඳින් පිසදැමූ මම අයියාගේ සරමකට ගෙවැදුනෙමි.
ඒ අනෙකක් නිසා නොව දනිස් සඟවා ගැනීමටය!
අදටත් අයියා මේ වගක් දන්නේ නැත.

ඔහු බ්ලොග් කියවන්නෙක් නොවන බැවින් එය ජීවිත කාලයටම රහසක් වේවි!
අපරාදෙ චීත්තේ!
%d bloggers like this: