Menu Close

විසංවාදී පැවැත්මක පරම වියනොහැකි බව

 

jagath_1609exh_30953_big1

 

කුඩා අතපසු වීමක් නිසා ජූලි මස 5 වැනි ඉරිදා පැවති ඔන්ලයින් මෙයසූ සංවාදයට අදාළ සංවාද සටහන පල කිරීමට නොහැකි විය. මේ තිබෙන්නේ එම සටහනයි. මේ සටහන් පෙළ එයට අදාළ වීඩියෝව සමග කියවීම අත්‍යවශ්‍ය වෙයි (එම වීඩියෝව නරඹන්න මෙතැනින්). අවසානයේ දී මේ සියල්ලෙහි ඉලක්කය වන්නේ මෙයසූ ගේ ‘පරිමිතත්වයෙන් පසු’ කෘතිය කියවීමට උපකාරයක් කිරීමයි. එවැනි පොත් කියවීම සඳහා කිසියම් පසුබිමක් අවශ්‍ය වන නිසා අපේ වැනි සමාජයන් වල ඒවා සිදු කිරීමට මෙවැනි විශේෂ පරිශ්‍රමයක් දැරීමට සිදුවෙයි. බ්ලොග්, සමාජ මාධ්‍ය වැනි දේවල් වලින් මේ ආකාරයේ දිගු කාලීන මහන්සියක් ඉල්ලා සිටින වැඩ කිරීම එතරම් පහසු නොවේ. මේවා බොහෝ විට සෑදී තිබෙන්නේ ඉක්මනින් කියවා, ඉක්මනින් අමතක කර, ඉක්මනින් වෙනත් දෙයක් වෙත මාරු වන කාලික ආකෘතියකිනි. නමුත්, අනෙක් අතට, දර්ශනය ඉගෙන ගැනීම වෙනුවෙන් මහන්සි වන පිරිස, ප්‍රායෝගිකව ගත්විට, කොහොමත් එතරම් වැඩි පිරිසක් නොවේ. නමුත් දිගු කාලීනව සමාජයේ මතවාද මෙහෙයවන්නේ මේ පිරිසයි. එවැනි පිරිසක් වෙනුවෙන් සහ එවැනි පිරිසක් උත්පාද කිරීම වෙනුවෙන් මේ මහන්සිය අපි දරමු.

 

***

 

අප විසින් සංවාදය අවසම් කළේ සමපේක්ෂී දර්ශනය විසින් යෝජනා කරනා පරමත්වය පිළිබඳව අදහස ඇසුරින් අපට අත්පත් කර ගත හැකි විශේෂ අවබෝධය කුමක්ද යන්නයි. අප විසින් තහවුරු කර තිබෙන්නේ, ඉතාම සරල අර්ථයෙන් ගත්විට, ඕනෑම දෙයක් සිදුවීමේ හැකියාව පරම වනවා යන අදහසයි. විඥානවාදය සහ පරිමිතවාදය අතර ගැටුම ඔස්සේ අපට පැමිණිය හැකි අනිවාර්ය නිගමනය වන්නේ මෙය බව මෙයසු පෙන්වා දෙයි. නමුත් අප මෙය තහවුරු කිරීමෙන් පසුව මෙය තවදුරටත් එම ගමන් පථය මත පරායත්ත වන අදහසක් වන්නේ නැත. ඒ වෙනුවට අපට දැන් මුණ ගැසී තිබෙන්නේ කිසිදු ආකාරයේ සාපේක්ෂතාවාදයකට යටත් නොවන ආකාරයේ පරමත්වයකි. මෙය නොවුපන්‍යාසික මූලධර්මයක් ලෙස මෙයසූ හඳුන්වන්නේ මෙම නිසාය. මෙය ප්‍රතික්ෂේප කිරීමට උත්සාහ කරනා කෙනෙක් හට මෙහි නිරවද්‍යතාවය අනිවාර්යයෙන් පිළිගැනීමට සිදු වේ.

මෙහි ප්‍රතිඵලයක් ලෙස මේ ආකාරයට අප විවර කරගෙන තිබෙන්නේ තරමක පුදුමාකාර කවුළුවකි. එම කවුළුවෙන් බැලූ විට අපට පරම යථාර්ථය යනුවෙන් හඳුනා ගැනීමට ඇත්තේ ඕනෑම දෙයක් වියහැකි වියවුලකි. පවත්නා ඕනෑම දෙයක් නොපැවත්මක් බවට පත්විය හැකිය. ඕනෑම දෙයක් වෙනස් විය හැකිය. වෙනස් වීම යන්න පවා වෙනස් කරමින් කිසිවක් වෙනස් නොවී මේ ආකාරයටම තිබිය හැකිය. සමහර දේ අකණ්ඩව පැවැතිය හැකිය. මෙයසූ විසින් අධි-වියවුල ලෙස නම් කරන්නේ මෙයයි.

නමුත් මෙවැනි අධි-වියවුලක් පරම යථාර්ථයක් වනවා කියා පැවසීමෙන් අපට අත්පත් කරගත හැකි නිශ්චිත වාසි වන්නේ මොනවාද? අප කියා සිටින්නේ ‘ඕනෑම දෙයක් විය හැකි බව’ පමණක් නම් එය එතරම් දාර්ශනිකව ප්‍රයෝජනවත් අදහසක් ලෙස පෙනී යන්නේ නැත. එමෙන්ම මෙම දැනුම සහ නූතන දර්ශනයේ පරිමිතත්වය වෙනුවෙන් පෙනී ඉන්නා දාර්ශනිකයා පෙන්වා දුන් නොදැනුම අතර වෙනස කුමක්ද යන්නත් අපට පැහැදිළි වන්නේ නැත. අප මෙයට පෙර දුටු පරිදි නූතන දාර්ශනිකයා පෙනී සිටින්නේ අපගේ පරිමිත දැනුමින් ඔබ්බෙහි ඕනෑම දෙයක් විය හැකිය යන අදහස වෙනුවෙනි. නමුත් නූතන දාර්ශනිකයා මෙය හඳුන්වන්නේ දැනුමේ නිමේශයක් ලෙස නොව නොදැනුමේ නිමේශයක් ලෙස යි. වඩාත් සරල ලෙස, එමගින් නූතන දාර්ශනිකයා පෙන්වා දෙන්නේ සිය  දැනුමේ සීමාවයි. මෙයට පරසපරව දැන් සමපේක්ෂී දාර්ශනිකයා කියා සිටින්නේ ද මෙලෙස ඕනෑම දෙයක් විය හැකි බව නොවේද? එසේ නම් මේ දෙකේ වෙනස කුමක්ද?

මෙහි සියුම් නමුත් දුරදිග යන බැරෑරුම් වෙනසක් ඇති බව පැහැදිළි වේ (පි.211-212). නූතන දාර්ශනිකයා පෙනී සිටින්නේ දැනුමේ සීමාව වෙනුවෙනි – ‘පරිමිතත්වය’ වෙනුවෙනි. අපගේ දැනුම අපරිමිත වන්නේ නැති බව එමගින් අවධාරණය වෙයි. එම නිසා එම සීමාවෙන් ඔබ්බෙහි ඕනෑම දෙයක් එක ලෙස වලංගු විය හැකි බව පිළිගැනීමට ඔහුට / ඇයට සිදු වේ. මරණය සම්බන්ධ මෙයසූ ගේ දෙබස් නාටකයේ අවසානයේ දී හෙළිදරව් වූයේ මෙයයි. නූතන දාර්ශනිකයා ට අනුව ඒක දේවවාදයත්, පුනර්භවය සහ එහි වියහැකි පරම අවසානය පිළිබඳව විශ්වාසයත්, මරණයෙන් පසු සියල්ල අවසන් වීමත්, මරණය ප්‍රතික්ෂේප කරන පරම විඥානවාදයත් එක සමාන වියහැකිභාවයන් වෙයි. මේවා අතරින් කුමක් නිවැරදි වේ ද, මේවා වෙනුවට වෙනත් වියහැකිභාවයක් නිවැරදි වේ ද ආදිය අප දන්නේ නැත. නූතන දාර්ශනිකයා ගේ මූලික තර්කය වන්නේ මෙම දැන ගත නොහැකි බව අපේ වර්තමාන තාක්ෂණය වැනි දේ වල සීමාවක් නොව ඥානවිභාගාත්මක සීමාවක් වන බවයි. අපට දැනුම ලබා ගැනීම ආරම්භ කළ හැකි වන්නේ එයට පෙර මේ මේ දේවල් තිබෙනවා කියා පිළිගැනීමෙන් පමණි. එම මූලික කොන්දේසි කුමන ආකාරයට අර්ථකථනය කළ ද, එම කොන්දේසි වල අනිවාර්යතාවය සියලු දෙනා විසින් පිළිගනු ලබයි. පරිමිතවාදී දර්ශනයන් වලින් පෙන්වා දෙන්නේ මෙම කොන්දේසි පසු කොට ඉහත වියහැකිභාවයන් සම්බන්ධයෙන් අපට අදහස් දැක්විය නොහැකි බව පමණි. එම වියහැකිභාවයන් ප්‍රතික්ෂේප කළ නොහැකි දේ ලෙස බාර ගැනීමට නූතන දාර්ශනිකයාට සිදු වන්නේ මෙම නිසාය.

නමුත් මෙයසියානු සමපේක්ෂී දාර්ශනිකයා පෙනී සිටින්නේ මේ සෑම වියහැකිභාවයක්ම වෙනුවෙන් නොවේ. ඒ වෙනුවට ඔහුගේ / ඇයගේ සංවාදය තිබෙන්නේ නූතන දාර්ශනිකයා සමග පමණි. නූතන දාර්ශනිකයා විසින් දැනුමේ සීමාව ලකුණු කරන විට සමපේක්ෂී දාර්ශනිකයා විසින් සිදු කරන්නේ මෙම සීමාව ලකුණු කිරීමේ ප්‍රතිඵලය පෙන්වා දීමයි. එම ප්‍රතිඵලය වන්නේ එම සීමාවෙන් ඔබ්බෙහි ඕනෑම දෙයක් වියහැකි බව අප දැන ගැනීමයි. එම දැන ගැනීම සම්බන්ධ වන්නේ අපේ දැනුමේ සීමාවෙන් ඔබ්බට වන නිසා එය පරම ලෙස වලංගු වන බවත් අපට කිව හැකිය. දැන්, මෙය පරම ලෙස වලංගු වනවා යන්නෙහි අර්ථය කුමක්ද? එහි සරල අර්ථය වන්නේ මෙයට ඉහළින්, මෙයට වඩා උත්තරීතර කිසිවක් පැවතිය නොහැකි වනවා යන්නයි. මෙම නිසාම මෙහි ඉතා බැරෑරුම් ප්‍රතිවිඵාකයක් ඇති බව අපට හඳුනා ගත හැකිය. මෙයට වඩා උත්තරීතර කිසිවක් නොමැති වන නිසා අපට මෙම මූලධර්මයට යටත් නොවන කිසිම පැවැත්මක් නැති බව පැහැදිළි වේ. වෙනත් ආකාරයකට කියන්නේ නම්, යමක් පවතිනවානම් එය අනිවාර්යයෙන් මෙලෙස අහඹු ලෙස වෙනත් දෙයක් බවට පත්වීමේ හැකියාවට යටත් විය යුතුය. මෙය කිව හැකි තවත් එක් ආකාරයක් වන්නේ අනිවාර්ය පැවැත්මක් කිසිදා පැවතිය නොහැකි බව කීමයි. එම නිසාම ඉහත මරණය පිළිබඳව දෙබස් නාටකයේ අනෙක් සියලුම වියහැකිභාවයන් මේ පරම වියහැකිභාවය ඉදිරියේ ප්‍රතික්ෂේප වී යයි. අහඹු ලෙස වෙනස් වීමට යටත් නොවන පැවැත්මක් පැවැතිය නොහැකි වන නිසා සර්ව බලධාරී දෙවි කෙනෙක් සිටිය නොහැකිය. එලෙසම, නිර්වාරණය වැනි පරම අවසානයකින් කෙළවර වන සංසාර චක්‍රයක් ද අනිවාර්ය නොවේ. එවැන්නක් තිබෙනවා කියා අප පිළිගත්ත ද එය ඕනෑම මොහොතක වෙනස් වීමට යටත් බව පිළිගැනීමට සිදු වෙයි – හදිසියේ නැවත ඉපදීම ඇණ හිටිය හැකිය; නිවන් දුටු අය නැවත ඉපදිය හැකිය. මේ හා සම ලෙස සරල යථාර්ථවාදී තිසීසයත් අනිවාර්ය නොවන බව මෙහිදී අවධාරණය කළ යුතු වන්නේ සමපේක්ෂී දර්ශනයේ තිබෙනා නවීනත්වය සලකුණු කිරීමට මෙය වැදගත් වන නිසාය. ඉතා පැහැදිළිව මරණයෙන් පසුව මගේ පැවැත්ම අතුරුදහන් වී යා හැකිය. නමුත් එය කිසි සේත්ම පරම අවසානයක් විය නොහැකි වේ. අන් සෑම දෙයක් සේම, මාගේ පැවැත්ම ද හේතුවකින් තොරව නැවත ඇති විය හැකිය.

මෙහි ප්‍රතිඵලයක් ලෙස පරිමිතවාදී දාර්ශනිකයා සහ සමපේක්ෂී දාර්ශනිකයා අතර තීරණාත්මක වෙනසක් ඇති බව අපට පැහැදිළි වෙයි. අපගේ පරිමිත දැනුමේ සීමාවෙන් ඔබ්බෙහි ඕනෑම දෙයක් විය හැකි බව පරිමිතවාදියා කියනා විට සමපේක්ෂී දාර්ශනිකයා කියා සිටින්නේ වියහැකිභාවය පරම වන නිසා කිසිවක් අනිවාර්ය නොවනා බවයි. ප්‍රායෝගිකව ගත්විට යම් යම් දේ අනිවාර්ය ලෙස අපට පෙනී යා හැකි බව මෙමගින් ප්‍රතික්ෂේප වන්නේ නැත. අප දන්නා කියන කාලයේ සිට වලංගු වන්නා වූ නියාම ධර්ම, නිදර්ශනයක් ලෙස, පැවතෙන බව කෙනෙක් ට පෙන්වා දිය හැකිය. නමුත් සමපේක්ෂී දාර්ශනිකයා මෙයට ලබා දෙන පිළිතුර වන්නේ එය වෙනස් වනවා අප දැක නොමැති වුවත් එය වෙනස් වීමේ හැකියාවට සදාකාලිකවම යටත් වනවා යන්නයි.

මේ අනුව අපට පැහැදිළි වන්නේ අහඹුබවේ පරමත්වය මගින් ඕනෑම දෙයක් විය හැකි වනවා යන්න අප තරමක් සංශෝධනය කළ යුතු බවයි. සත්‍ය වශයෙන්ම මෙමගින් ඕනෑම දෙයක් සිදු වන්නේ නැත. ඒ වෙනුවට මෙම මූලධර්මය විසින් වියහැකි දේ වෙත යම් යම් සීමාවන් පනවයි. එසේ වන්නේ මෙම මූලධර්මයේ ඇති ස්වභාවය නිසාමය. ඒවා මෙයසූ විසින් ‘ස්වයං-සීමාරකණයන්’ ලෙස නම් කරන්නේ මෙම නිසාය (පි. 213). අධි-වියවුලේ සර්වබලධාරී බව නිසාම එයට යම් යම් සීමාවන් වෙත යටත් වීමට සිදු වේ. මේ ඇසුරින් අපට අහඹුබවේ පරමත්වය සම්බන්ධයෙන් වැඩිදුර කරුණක් හෙළිදරව් වේ. එය ක්‍රියාත්මක විය හැක්කේ යම් යම් කොන්දේසි වලට යටත්ව පමණි.

මේ මගින් අපට දර්ශනයේ ඉතිහාසයේ එන එක්තරා ප්‍රශ්නයකට පිළිතුරක් ලබා දීමට ද අවස්ථාවක් ලැබෙයි (පි. 214). එම ප්‍රශ්නය වන්නේ දේවල් වල එහිම-ස්වරූපය සම්බන්ධයෙන් කාන්ට් ගේ සුප්‍රකට අදහසයි. අපගේ දැනුමේ පරිමිත බව සලකුණු කිරීමෙන් පසුව කාන්ට් විසින් මෙම පරිමිතත්වයට අදාළ නොවන අදහස් දෙකක් ඉදිරිපත් කරයි. එම අදහස් දෙක වන්නේ:

  1. දෙයෙහි-එහිම-ස්වරූපයක් තිබේ
  2. දෙයෙහි-එහිම-ස්වරූපය විසංවාදී නොවේ

නමුත් මෙම අදහස් දෙක අප පිළිගත යුතු වන්නේ ඇයිද කියා පෙන්වා දීමට කාන්ට් කිසිදා සමත් වූයේ නැත. ජර්මන් විඥානවාදීන් අතින් මෙම අදහස බරපතල ලෙස ප්‍රශ්න වීමට ගන්නේ ද මෙම නිසාය. නමුත් අහඹුබවේ පරමත්වය සාධනය කිරීමත් සමගම මෙයසූ හට මේ සඳහා දැන් අලුත් පිළිතුරක් ඇති බව පෙන්වා දිය හැකිය. අපි මෙහි දෙවැනි කරුණෙන් මෙම පැහැදිළි කිරීම ආරම්භ කරමු (පි. 215-223)

යමක් විසංවාදී නොවනා බව අමුතුවෙන් කිව යුතු නොවේ කියා කෙනෙක් කියන්නට ඉඩ තිබේ. විසංවාදී පැවැත්මක් යනු අපට ප්‍රායෝගිකව සිතා ගත හැකි දෙයක් නොවේ. නමුත් අපට සිතා ගත නොහැකි දේ පරම ලෙස විය නොහැකි වන්නේ ද? නූතන දර්ශනය විසින් මෙවැනි දේ කීමේ අයිතිය අපෙන් උදුරාගෙන තිබෙනා බව අපි දනිමු. එම නිසාම අපට සිතා ගත නොහැකි වූ පමණින් එය පරම ලෙස ප්‍රතික්ෂේප කිරීමේ අයිතිය අපට හිමි වන්නේ නැත. අපට සිතා ගත නොහැකි වඩාත් ගැඹුරු ‘චින්තන ක්‍රමයකට’ අනුව විසංවාදී පැවැත්මක් සිතීමේ හැකියාව අපට ප්‍රතික්ෂේප කළ නොහැකි වේ.

එසේනම් මෙයසූ විසින් මෙය ප්‍රතික්ෂේප කරන්නේ කෙසේද? මේ සඳහා ඇති කෙටි පිළිතුර වන්නේ ඔහු මෙය සිතීමේ නොහැකියාව පිළිබඳව ගැටලුවෙන් වෙන් කර ගන්නවා යන්නයි. මෙයසූ විසින් විසංවාදී පැවැත්මක් පරම ලෙස විය නොහැකි බව පෙන්වා දෙන්නේ එය සිතිය නොහැකි නිසා නොව එමගින් අහඹුබවේ අනිවාර්යතාවය අභියෝගයට ලක් වන නිසාය.

මෙහි මූලික තර්කය සාරාංශ කිරීමට එතරම් අපහසුවක් නැත. අප යමක් විසංවාදී පැවැත්මක් වනවා කියා කියනවානම් එමගින් අදහස් වන්නේ එය, එකම මොහොතක, එම දෙය සහ එහි ප්‍රතිපක්ෂය වනවා යන්නයි. නමුත් අප එහි ප්‍රතිපක්ෂය ද එහි අනන්‍යතාවයේ කොටසක් ලෙස ඒ වනවිටත් තිබෙන්නේ නම් එය කිසිදා වෙනත් දෙයක් බවට පරිවර්තනය විය නොහැකිය. මන්ද, වෙනත් දෙයක් බවට පරිවර්තනය වනවා යනු එය දැන් නොවන තතවයකට පත්වීමයි. නමුත් විසංවාදී පැවැත්මක් යනු සෑම විටම ඒ වනවිටත් එය නොවන දෙය ලෙස ද පවතින්නා වූ අත්භූත පැවැත්මක් වන නිසා එය කිසිදා මෙලෙස වෙනත් දෙයක් බවට පත් වීමේ හැකියාවෙන් තොර වෙයි. එම නිසාම එය අනිවාර්ය පැවැත්මක් වනවා යන්නත් පැහැදිළි වේ. අනිවාර්ය පැවැත්මක් යනු එය නොපැවතීමේ හැකියාවෙන් තොර වූ පැවැත්මකි. විසංවාදී පැවැත්ම යනු එහි නොපැවැත්ම ද එහි කොටසක් ලෙස අන්තර්ගත වන පැවැත්මක් වන නිසා එය ඒ වනවිටත් ‘නොපැවත්මක් ලෙස පවතින්නා’ වූ පැවැත්මක් වෙයි. නිදර්ශනයක් ලෙස එක් වමට ජීවත් වන සහ මරණයට පත් වූ මිනිසෙක් සිතන්න. එවැනි මිනිසෙක් කිසිදා ‘මිය යන්නේ’ නැති බව අපට පැහැදිළි වෙයි. මන්ද ජීවත් නොවීම යන්න ද එම පැවැත්මේ අභ්‍යන්තර කොටසක් ලෙස ඒ වනවිටත් තිබේ. එම නිසා එයට අලුතෙන් ජීවත් නොවීම යනුවෙන් පරිවර්තනයක් අත්පත් කරගැනීමට දෙයක් නොමැත. එම නිසාම එය අනිවාර්ය පැවැත්මක් ලෙස සදාකාලිකව පැවතිය යුතුය. නමුත් අධි-වියවුලේ සර්වබලධාරී බව විසින් මෙම හැකියාව නැති කර ඇති බව පැහැදිළි වේ. මන්ද, එවැනි විසංවාදී පැවැත්මක් පවතිනවා කියා පිළිගන්නවා යනු පවත්නා දෙය පරම ලෙස වෙනත් දෙයක් බවට පත්වීමේ හැකියාවෙන් යුතු වනවා යන මූලධර්මයේ බිඳ වැටීමකි. එම අර්ථයෙන්, මෙයසූ විසින් විසංවාදී පැවැත්මක හැකියාව ප්‍රතික්ෂේප කරන්නේ එය ‘අත්භූත වන නිසා’ හෝ ‘සිතා ගත නොහැකි නිසා’ නොව එය වියනොහැකි නිසාය.

තවත් ආකාරයකට අපට මෙයම පැහැදිළි කළ හැක. විසංවාදී පැවැත්මක් තිබෙනවා කියා අප අනුභූතිකව තහවුරු කරනවා කියා සිතන්න. එවැනි පැවැත්මක් ඇති වූයේ ඇයි යන ප්‍රශ්නයට අපට පිළිතුරක් දෙන්නට සිදු වන්නේ නම් කිව යුතු වන්නේ කුමක්ද? අපට කියන්නට තිබෙන්නේ එය මෙසේ තිබෙන්නේ ද කරුණක් ලෙස බව පමණි. එම නිසාම එය මෙසේ තිබීමට සහ වෙනත් ස්වරූපය ගැනීමට පරම ලෙස නොහැකි වනවා කියා අපට කියන්නට හැකි වන්නේ නැත. නමුත් මෙය විසංවාදී පැවැත්මක් නිසා එය වෙනත් ස්වරූපයක් ගැනීම යනුවෙන් කිසිවක් පවතින්නේ නැති බවත් අපට පැහැදිළි වේ. එම අර්ථයෙන් එයට තිබෙන්නේ කරුණුමය පැවැත්මක් නොවනවා කියන්නට අපට සිදු වෙයි. නමුත් මෙය වියනොහැකි බව අපට පරිමිතවාදියා විසින් මේ වනවිටත් ශක්තිමත් ලෙස පෙන්වා දී තිබේ. පැවතිය හැකි වන්නේ කරුණුමය ස්වරූපයෙන් පවත්නා දේ පමණි. ආධානග්‍රාහී පාරභෞතික විද්‍යාව ප්‍රශ්න කිරීමට පරිමිතවාදියා විසින් යොදා ගත් තියුණු අවිය වන්නේ මෙයයි. එම නිසා කරුණුමය නොවන, එනම්, පරම අර්ථයෙන් පවතින්නා වූ කිසිවක් පෙන්වා දීමට කෙනෙක්ට දාර්ශනිකව කළ නොහැකි වේ. මෙහි ප්‍රතිඵලයක් ලෙස පවත්නා ඕනෑම දෙයක් කරුණුමය ලෙස පමණක් පැවතිය යුතු අතර එම නිසාම එය කිසිදා විසංවාදී පැවැත්මක් නොවේ.

වංගීස සුමනසේකර

 

 

 

 

***

%d bloggers like this: