Menu Close

බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?

ගේට්ටුවෙන් ඔබ්බෙහි ඇත්තේ A 9 ප්‍රධාන පාරයි. පාන්දර 3 පමණ ය. ඉන් මෙහා ඇති බුදු මැදුර අභියසදී පියවර වේගය, අඩු කළ මා බුදු මැදුරේ වළාකුළු බැම්මේ මුදුන අතින් අල්ලාගෙන නැවතුනේ වට පිට බලන ගමන්. මා මෙහි ආවේ වාට්ටුවේ හදිසි තත්ත්වයක් පාලනය කර අහවරව ය. 

මධ්‍යම රාත්‍රී දොළහ පසුවෙද්දීම රාත්‍රී වැඩමුරය භාරව සිටින වෛද්‍යවරිය වන මා වෙත දුරකථන ඇමතුමක් ලැබුනේ පැයක පමණ වූ කෙටි නින්ද හමාර කරමිනි. රාත්‍රී සේවයේ නියුතු වෛද්‍යවරයා සිටිය යුත්තේ වාට්ටුවේ වෛද්‍ය විවේක කාමරයේ ය. එහෙත් එම වාට්ටුවට වෛද්‍ය විවේක කාමරයක් නොතිබිණි. මේ වාට්ටු සංකීර්ණයම හදිසියේ හැදූ ඒවා වන නිසා ඔහොම කාමර හදන්න මතක් නොවෙන්නත් ඇති. එනිසා විටින් විට වෛද්‍ය නේවාසිකාගාරයේ සිට පෙනෙන දුරකින් පිහිටි වාට්ටුව වෙත අපට දුවන්නට සිදුවුනේ දිනක් හැර දිනක් පාසා යෙදෙන රාත්‍රී වැඩමුරය සහිත දිනවල ය. 

“ඩොක්ටර්, ඇඩ්මිශන් එකක් හදිසිම එකක් නෙමේ” හෙදිය දුරකථනය ඔස්සේ පවසයි. 

“ හරි මිස් මම එන්නම්” මම විදුලි පන්දම රැගෙන නේවාසිකාගාරයේ කාමරයේ සිටි අනෙක් වෛද්‍යවරිය සුවසේ නිදනු බල බලා, ශබ්ද නොනැගෙන සේ දොරවසා අගුළු දමා නික්මුනා. 

මා යන විට ඇවිත් තිබුණේ නොදන්නා යම් සතෙක් විසින් සපා කෑ අයෙකු ය. ඔය අතර වාට්ටුවේ සිටින ඇදුම රෝගියෙක් වූ ජෙයපාලන් මාස්ක් එක එක අතකින් අල්ලාගෙන ඔක්සිජන් සමග නාස් කුහරය වෙත ඇදෙන දුම ආඝ්‍රහනය කරමින් සිටියේය. 

ජෙයපාලන් වයස පණස් ගණන් වන ගොවියෙකි. දිර්ඝ කාලයක් ඇදුම සඳහා ඖෂධ ගනී.මේ කාලයේ පැවති වර්ෂා තත්ත්වය නිසා විටින් විට ඇදුම සහ ශ්වසන රෝගී තත්ත්වයන් සහිත අය රෝහල්ගත වේ.
මා වෙද නළාව තබා පිට පැත්තෙන් ඔහුගේ ශ්වසනය සහ ශබ්ද පරීක්ෂා කළෙමි.

ඉක්මනින් හුස්ම ගනී.. පිට කරන්නේ කීං කීං හඬ සමග හුස්ම ගත්තාට වඩා දීර්ඝ කාලයක් වැය කරමිනි. වාට්ටුවේ බහුතරය කහිමින් සෙම් සොටු පිටකරමින් සිටී. ඒ රෝග කාරක අපටද වැළඳේ, ඇතුල් වෙන රෝගීන් හට පෙති කරල් පොවමින් අපද ඒ පෙති, කරල්ම බොමින් මේ ගත කරන කාලය ගැන මදක් නතරව සිතමි. 

“සුසුඛං වත ජීවාම ආතුරේසු අනාතුරා 

ආතුරේසු මනුස්සාස විහරාම අනාතුරා” (ධම්ම පදය) 

ආතුර වූ මිනිසුන් මැද අප අනාතුරව වෙසෙමු. ධම්ම පද ගාථාව මතකයට නැගේ. කයින් ආතුර වෙනවට වඩා දරුණු හිතින් ආතුර වෙන එක. මම මගේ හිතට එය මතක් කරදෙමින් හිත හදා ගනිමි. 

සැනෙන් බිඳෙන සසලවෙන හිත්වලින් ආතුරව ගතින් ආතුරව උදව් පතා පැමිණ ඇත්තේ අපට ආගන්තුකයන් ය. ඒ මිනිසුන්ගේ සෙම් සොටු කිවිසුම් කැස්ස සමඟ අප මුහුණු මත තැවරේ. ප්‍රෙශර් මනිමින් නළාව තබමින් ඇඟේ හැම තැන අල්ලා මිරිකා ඔබ ඔබා පරීක්ෂා කරමු. දහඩිය වැකුණු ශරීර, දිනගනන් නා පිරිසිඳු නොවූ ශරීර ඇත්තන් කිසිඳු ආවරණයක් නොමැති අත්වලින් අල්ලා ලෙඩේ හොයගන්න පරීක්ෂා කරමු. 

උදේ රෑ ආසාදන වලකාගන්න පෙති ගිල, රෑ පුරා ලෙඩ රෝග උත්සන්න වන අය සමග ඔට්ටු වී උදෑසන තඩිස්සු වූ නිදි නොලැබ විඩාබර ඇස් රැඳි මුහුණින් වාට්ටුව පුරා ඇවිදිමු. ක්ලිනික් දිනවල ක්ලිනික් දුවන්නෙමු. 

දැන් මදක් පහසුවෙන් හුස්ම ගනිමින් ඇඳේ උඩ කොටසේ මෙට්ටයට උස්සා පහසු කර දී තිබෙන හෙයින් දැන් සැනසිල්ලේ  සිටී. ඔරලෝසුවෙන් වේලාව බැලුවෙමි. පාන්දර තුනහාමාරටකිට්ටුය. ඊළඟට නිතර සොයා බලන රෝගීන් වාට්ටුවේ ඉදිරිපස කොටසේ සිටියායින් ඔවුන් ගැන සොයා බැලුවෙමි. ඩෙංගු උණ සෑදී ඩෙංගු රක්තපාත තත්ත්වය සමග පොර බදිනා, රෝගියාගේ තත්ත්වය මේ වනවිට හොඳ අතට හැරෙමින් පවතින නමුදු දවසට කිහිප පාරක් දෙවියන් සිටින අත සොයා වඳින්නට ඇඳෙන් බැස කකුල් අත පය සෝදන්නට බැරි වීම නිසා කණස්සල්ලක් ඔහුගේ හිත පෙලයි. මන්නාරම් දෙසින් ආ වැසියෙකි. 

“අනේ ඩොක්ටර් මට වන්දනා කරන්න ඕනෙමයි. දැන් දවස් ගාණක්ම මට වන්දනා කරන්න බැරි උනානේ.” ඔහුව පරීක්ෂා කරද්දී පවසයි. 

“ඔබේ දෙවියන් තේරුම් ගනීවි ඔබ දැන් සුපුරුදු ලෙස වන්දනා කරන්න බැරි තත්ත්වයක ඉන්නේ කියලා. හිතින් සියල්ල හිතන්න තාත්තා. හිතේ භක්තියනේ වැදගත්ම. කය වෙහෙස කිරීම හොඳ නැහැ නෙව. ඇරත් මූත්‍රා බටේ එහෙ මෙහෙ උනොත්. බෑග් එක ගැටහලා තියෙන්නේ ඇඳ විට්ටමේ. ඉතින් එහෙ මෙහෙ දුවන්නැතුව ඉන්න තාත්තේ” 

” ඔබවද මේ ප්‍රතිකාරද දෙවියන් දෙන උදව් දුවේ” කියමින් හේ සැනසෙයි.

අපි නාඳුනන මේ සියල්ලන්ට අම්මේ, තාත්තේ සීයේ,මාමේ, අයියේ මල්ලී යැයි කියන්නේ අපේ සංස්කෘතියේ හුරුව නිසා ය. 

මෙහි වැසියන් අපට පෙරලා අම්මා හෝ අයියා යැයි පවසති. මා කලින් ලීවා මෙන් ඒ ගෞරවය හඟවන ආමන්ත්‍රනයකි. අනිත් කොන පොතේ මේ නිසා ඇතිවූ අලකලංචි ලීවා මතක් වේ. 

එළිමහන් පාරෙන් රෝහල් බුදු මැදුරට ඇවිද එන්නට සිතුන නිසා මා කෙටි පාර අමතක කළාය. නිරිත දිගින් හමන සිහිල් සුළඟට නිරාවරණව ගල් කණු සතරක් අතර මැදි කර සමාධියෙන් වැඩ සිටි බුදු පිළිමය පිහිටි කොටස රාත්‍රියේද එළිය කර තිබිණි. බුදු රුව හිත නිවා සනසයි. ඉදිරිපිට අතුරා ඇති කළුගල් ටයිල් මත හිඳගත් මම සියලු සත්වයෝ නිදුක් වෙත්වා…නීරෝගි වෙත්වා යැයි මෙත් වැඩුවෙමි. මළගිය ඇත්තන්ට පින් දුන්නෙමි. සියළු රෝගී හදවත් නිවී සැනහේවා යැයි මෙත් වැඩුවෙමි. මගේ හදවත පුරා ඇවිල යන ශෝකී කම්පන ය මෙවෙලෙත් අඩු වූයේ නම් නැත. 

“ඔය බුදු මැදුරෙ තිස්සෙම රැඳෙන්න එපා. මිනිස්සු හිතයි ඔයාට ප්‍රශ්නයක් තියෙනවා කියලා” එක් වෛද්‍යවරයෙක් මට පැවසූයේ වෛද්‍ය නේවාසිකාගාරයේ භෝජනාගාරයේ ආහාර ගන්නා වෙලාවේදීය. 

“බුදුන් වඳින්නේ ප්‍රශ්න තියෙන අයද ?” මම ඇසුවේ විමතියෙනි. 

“ඔව් හොඳට බලන්න !” ඔහු කියන්නේ සමාජයේ බහුතරයකගෙන් පෙනෙනා හෝ බහුතරයක් දෙනා හිතාගෙන ඉන්නා මතයකි. 

මම දෑස් ඇරලා අවට බැලුවෙමි. අඩවන් වූ දෙනෙතින් සමමෙත් සිහිලෙන් නැහැවෙමින් වැඩ හිඳින බුදු රුව මා ඉදිරිපිට ! ඊට පිටුපසින් ගේට්ටුවේ මුරකුටිය දෙසින් මුර උන්නැහේ හිස දමා බලන්නේ මේ මහා රෑ බුදුන් වඳින්නේ කවුරුන්ද කියා විය යුතුය.

බුදුන් වැඳීම හැමෝම කළ ද බුදුන් පෙන්වූ මග ගමන් ගන්නා මිනිසුන් අල්පය. 

“කටින් බුදු බණ විදින මිනිස්සු තමයි භයංකරම, බුදු  සරණා යී…. කියලා ෆෝන් එක තියන මිනිස්සුන්ගෙන් පරිස්සම් වෙන්න ! ප්‍රසව හා නාරිවේද විශේෂඥ වෛද්‍යවරයා වෝඩ් රවුන්ඩ් එක කරමින් මේ ළඟකදි ඉඳන් බුදු මැදුරක් හැදීම වෙනුවෙන් වෙහෙසෙන අපි දිහා බලාගෙන කීවේය. 

%d bloggers like this: