Menu Close

කෝවිඩ් නැත්තේ කොහේද?

මේ වන විට ලෝකය පුරා කෝවිඩ් ආසාදිතයින් මිලියන 13ක පමණ ප්‍රමාණයක් හඳුනාගෙන තිබෙනවා. සෑම දිනකම තවත් ලක්ෂ දෙකකට වඩා වැඩි රෝගීන් ප්‍රමාණයක් මේ ගණනට එකතු වෙනවා. ලංකාවත් මේ වෙද්දී කන්දකාඩුවෙන් පටන් ගත්  කොරෝනා පොකුර මර්දනය කර ගැනීම සඳහා වෙර දරමින් සිටිනවා. එය වැලිසර පොකුර පාලනය කළ තරම් පහසු වන එකක් නැහැ. එහෙත්, කළ නොහැක්කක් නෙමෙයි.

ලෝකයම කෝවිඩ් සමඟ සටන් කරමින් සිටින මේ මොහොතේ තවමත් කෝවිඩ් වලින් බේරී සිටින රටවල් තිබේද? ඒ මොනවාද?

උතුරු කොරියාව– මිලියන 25.6ක ජනගහණයක් සිටින උතුරු කොරියාව මුලින්ම කෝවිඩ් වසංගතය ආරම්භ වූ චීනයටත්, ඉන් පසුව වසංගතය පැතිරුණු දකුණු කොරියාවටත්, මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන රුසියාවටත් මායිම් වී ඇති රටක් වුවත් නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් උතුරු කොරියාවෙන් කෝවිඩ් ආසාදිතයින් කිසිවකු හමු වී නැහැ. කවුරුත් දන්නා පරිදි උතුරු කොරියාව ඒකාධිපති සමාජවාදී පාලනයක් පවත්වා ගෙන යන ලෝකයෙන් වෙන්ව සිටින රටක්. දේශපාලනික හේතු මත ලෝකයෙන් වෙන්ව සිටීම මේ අවස්ථාවේදී උතුරු කොරියාවට වාසියක් වී ඇති බව පෙනෙනවා.

තුර්ක්මේනිස්ථානය– මිලියන 6ක ජනගහණයක් සිටින තුර්ක්මේනිස්ථානය මේ වන විට වේගයෙන් කොරෝනා පැතිරෙන ඉරානයට හා කසකස්ථානයට මායිම් වී ඇති මධ්‍යම ආසියානු රටක්. එහෙත්, නිල සංඛ්‍යාලේඛණ අනුව මෙතෙක් තුර්ක්මේනිස්ථානයෙන් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ. පැරණි සෝවියට් සංගමයේ සාමාජිකයෙකු වූ තුර්ක්මේනිස්ථානය සෝවියට් සංගමයේ බිඳ වැටීමෙන් පසුව මේ වන විට තුර්ක්මේනිස්ථානු ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂය ලෙස නම් කර ඇති තුර්ක්මේනිස්ථානු කොමියුනිස්ට් පක්ෂය යටතේ පාලනය වන, ලෝකයේ වඩාත්ම මර්දනකාරී රාජ්‍යයක් සේ සැලකෙන රටක්. උතුරු කොරියාව තරමටම නැතත් තුර්ක්මේනිස්ථානයද බොහෝ දුරට ලෝකයෙන් හුදෙකලාව සිටින රටක්. ඊට අමතරව ඉතා අඩු ජන ඝනත්වයක් ඇති රටක් වීමේ වාසියද තුර්ක්මේනිස්ථායට තිබෙනවා.

සොලමන් දූපත්– පැපුවා නිව්ගිනියාවට නැගෙනහිරින් පිහිටි 655,000ක පමණ ජනගහණයක් ජීවත් වන දූපත් රාජ්‍යයක්. කෝවිඩ් වසංගතය ආරම්භයේදීම දේශ සීමා වසා දමමින් රටට වෛරසය ඇතුළු වීම වලක්වා ගැනීමට සමත් වුනා. මේ වන තුරු වෛරසයෙන් බේරී සිටිනවා.

වන්වාතු– ජනගහණය 305,000ක් පමණ වන වන්වාතු සොලමන් දූපත් වලට නැගෙනහිරින් පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. පසුගිය මාර්තු අවසන් සතියේ සිට වන්වාතු දූපත් රාජ්‍යයද හදිසි තත්ත්වයක් දිගටම පවත්වා ගනිමින් කෝවිඩ් උවදුර රටට ඇතුළු වීම මෙතෙක්  වලක්වාගෙන සිටිනවා.

සමෝවා– ජනගහණය 202,000ක් වන පැසිෆික් සාගර මධ්‍යයේ පිහිටි දූපත් රාජ්‍යයක්. පෙබරවාරි මාසයේ සිටම රටට පැමිණෙන්නන් දැඩි ලෙස පාලනය කරමින් සිටිනවා. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

කිරිබාස්– ලෝකයේ හරි මැද පිහිටි රටක් ලෙස සැලකිය හැකි කිරිබාස් දිවයින පැසිෆික් සාගරය මැද පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 122,000ක් පමණ. හුදෙකලා භූගෝලීය පිහිටීමේ වාසිය ලබමින් කිරිබාස් දිවයින කෝවිඩ් සතුරාගෙන් තවමත් බේරී සිටිනවා.

මයික්‍රෝනීසියාව– ජනගහණය 105,000ක් පමණ සිටින, පැපුවා නිවුගිනියාවට උතුරෙන් පිහිටි සිංගප්පූරුවට වඩා මඳක් කුඩා දූපත් රාජ්‍යයක්. මාර්තු මැද පමණ සිට රටට ඇතුළු වන විදේශිකයින් අනිවාර්යයෙන්ම නිරෝධායනයට ලක් විය යුතු වූ අතර රටේ නිරෝධායන පහසුකම් ධාරිතාව සීමා වන අවස්ථා වලදී විදේශිකයින් පැමිණීමද සීමා කළා.

ටොංග– පැසිෆික් සාගරයේ ජාත්‍යන්තර දින රේඛාව ආසන්නයේ පිහිටි තවත් දූපත් රාජ්‍යයක්. ජනගහණය ලක්ෂයකට මඳක් වැඩියි. සිංගප්පූරුවට වඩා මඳක් විශාල රටක්. රටට ඇතුළු වීමට ඉඩ ලැබෙන්නේ කෝවිඩ් වලින් තොර වෙනත් රටක දින 14ක කාලයක් ස්වයං නිරෝධායනයට ලක් වීමෙන් පසුව පමණයි.

මාෂල් දිවයින්– පැසිෆික් සාගරය මැද හුදෙකලාව පිහිටි, ජනගහණය 58,000ක් වන දූපත් රාජ්‍යයක්. තවමත් කෝවිඩ් රකුසාගෙන් ගැලවී සිටිනවා.

පලාව්– ජනගහණය 18,000ක් පමණ. ලෝකයේ ජනගහණය අඩුම රටවල් හතරෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් තොර රටක්.

නවුරූ– මාෂල් දිවයින් වලට දකුණින් පිහිටි කුඩා දිවයිනක්. ජනගහණය 11,000ක් පමණයි. ලෝකයේ කුඩාම හා ජනගහණය අඩුම රටවල් තුනෙන් එකක්. තවමත් කෝවිඩ් වලින් බේරී සිටිනවා.

ටූවලූ– ජනගහනය 10,200ක් පමණයි. වතිකානුව හැරුණු විට ලෝකයේ ජනගහණය අඩුම රට. ලෝකයේ කුඩාම රටවල් හතරෙන් එකක්. කෝවිඩ් වෛරසය තවමත් මේ කුඩා රාජ්‍යයට ඇතුළු වීමට සමත් වී නැහැ.

බටහිර සහරාව– වර්ඩෝමීටර් අනුව බටහිර සහරාවෙන් මේ වන විට කෝවිඩ් රෝගීන් 10 දෙනෙකු හමු වී තිබෙනවා. එහෙත්, බටහිර සහරාව ලෙස හඳුන්වන රට කුමක්ද කියන එක මතභේදාත්මක කරුණක්. බටහිර සහරාව ලෙස පොදුවේ හැඳින්වෙන බිම්කඩෙන් තුනෙන් දෙකක් පමණ තිබෙන්නේ මොරොක්කෝවේ පාලනය යටතේ. මොරොක්කෝව විසින් සලකන්නේ බටහිර සහරාව මොරොක්කෝවේ කොටසක් ලෙසයි. සහරාවී අරාබි ප්‍රජාතන්ත්‍රවාදී ජනරජය ලෙසින් හඳුන්වා ගන්නා බටහිර සහරාවේ නැගෙනහිර බිම් තීරුව පොලිසාරියෝ පෙරමුණ විසින් පාලනය කරනවා. බටහිර සහරාවෙන් මෙතෙක් හමු වී ඇති කෝවිඩ් රෝගීන් සියලු දෙනාම හමු වී තිබෙන්නේ මොරොක්කෝ පාලනය යටතේ ඇති බටහිර කොටසින්. නැගෙනහිර කොටසින් තවමත් කිසිදු කෝවිඩ් රෝගියෙකු හමු වී නැහැ.

%d bloggers like this: