Menu Close

ඇයගේ ඇඳුම

මළහිරු බසින යාමයේ රූමත් අනිෂා පාළු මාවත දිගේ නිවෙස කරා හනි හනිකට පියවර මැන්නාය. ඇයගේ එක් අතක නෙලාගත් වන පලතුරු මල්ලකි. අනෙක් අතේ දර කෝටු මිටියකි. එතරම් උස් නොවූ, දීප්තිමත් රෝස පැහැයකින් ඡවි කල්‍යාණය හැඩවූ අනිෂා දිගු තද දුඹුරුවන් වරලසකට හිමිකම් කිව්වාය. ඇයගේ පිරිපුන් ලැමද වැසුනේ පටු රෙදිකඩකින් පමණි. පුළුලුකුලේ සිට දණහිසට මදක් ඉහලින් නිමාවන තවත් රෙදිකඩකින් ඇඟේ යටි කය වැසී තිබුණි. දිගු නීල නෙත් සඟලකින් හා රත ලවනතින් අලංකාර වූ පිරිපුන් වතක් සතු වූ ඇය යන්තම් දහනව වන විය පසු කළා පමණි. 

ඇය විසූ කුඩා නගරය දැන් බොහෝ සෙයින් කලහකාරීය. දස වසක් මුළුල්ලේ ඇදී ගිය යුද්ධය යන්තම් නැවතී ඇත. බොහෝ විට එය තාවකාලික විරාමයක් විය හැක. යුද්ධයෙන් හෙම්බත් වූ සොල්දාදුවෝ නැවතත් ගම්බිම් බලා පැමිණ ඇත. රැකියාවක් හෝ උපයාගත් කිසිවක් ඉතිරිකරගෙන නොමැති ඔවුන් වීථි පුරා අයාලේ ඇවිදී. දැන් සොරකම්, මංකොල්ල කෑම් සාමාන්‍ය සිදුවීම් බවට පත්ව ඇත. සුළු බහින්බස් වීමක් පවා කෙලවර වන්නේ කිහිප දෙනෙකු මාරාන්තික තුවාල ලබාය.  

මාවත අසල වන රෝඳක දූ කෙළිමින් සිටි පුරුෂයන් සිව් දෙනාට ඈතින් පැමිණෙන අනිෂා ඇස ගැටුනේය. ලතාවට පියනගන ඇයගේ අඟපසඟ මැදිවියට පාතබමින් සිටි මේ සේවයෙන් ඉවත් වූ යුද බටයන්ගේ නෙතඟ පිනවිය. ඇය අසලට පැමිණෙන විට මේ ගිනිගත් හැඟීම් ඇවිස්සුනු පිරිසට තමන්ව පාලනය කරගත නොහැකි විය. වහා මාවතට පිනූ ඔවුහු බියෙන් තැති ගත් අනිෂාව කැලෑ රෝඳට ඇදගෙන ගොස් අමානුෂික ලෙස දුෂණය කළහ. 

මේ සිදුවීම නගරයේ වැසියන් බොහෝ සෙයින් තැති ගැන්වීය. තරුණ දූවරුන් සිටි දෙමව්පියෝද, රූමත් භාර්යාවන් සිටි ස්වාමිපුරුෂයෝද තම කාන්තාවන්ට දෑස් හැරෙන්නට මුළු සිරුරම වැසෙන සේ ඇඳුම් ඇඳගෙන නිවසින් පිටතට යාමට බල කළහ. තැති ගෙන සිටි නගරයේ බොහෝ තරුණියන් මේ ඇඳුම් කැමැත්තෙන්ම පැළඳීමට ඉදිරිපත්විය. 

ඒ සමගම තරුණියන්ට වන අතවර බොහෝ සෙයින් අඩු විය. මීට කාරණා දෙකක් බලපෑවේය. දිගු ලෝගුවෙන් වැසුණු තැනැත්තා හෝ තැනැත්තිය පිළිබඳව කිසිඳු කාමුක හැඟීමක් පුරුෂයන් තුල ඇති නොවීම පළමු කාරණයයි. දෙවෙනි කාරණය නම් ලෝගුව ඇතුලේ සිටින තැනැත්තිය කාගේ කවරෙක්දැයි නොවැටහීමයි. සමහර විට ඇය නගර ප්‍රධානියෙකුගේ හෝ රණශුරයෙකුගේ ඥාතියෙක් විය හැක. එවන් අයෙකුට හිරිහැර කිරීම මරණයට අත වැනීමකි. 

———————————–

ඔබ ඒ කියවුයේ දින කිහිපයකට කෙටි කල, මානව ඉතිහාසයේ දශක හෝ සියවස් කිහිපයක් තුල රඟ දැක්වුණු  සිදුවීමකි. 

මානව ශිෂ්ඨාචාරයේ පැවැත්ම සහ ගලා යාම මැනවින් නිරීක්ෂණය කරන්නෙකුට යම් කරුණක් පැහැදිලිවේ. එනම් ආහාර-පාන, ඇඳුම්-පැළඳුම්, ගෙවල්-දොරවල්, යාන-වාහන පමණක් නොව ආගම-දහම පවා සැකසෙන්නේද ඉන් අනතුරුව විකාශය වන්නේද සමාජයේ අවශ්‍යතාවය අනුව බවයි. සාමාන්‍යයෙන් මෙම සංකල්පවල විකාශය දීර්ඝ කාලීනව සිදුවන්නකි. එහෙත් සමාජ අවශ්‍යතාවය තීව්‍ර වූ විට රජ අණින් හෝ දේව අණින් (ආගම් හරහා පැමිණෙන) මේ වෙනස්කම් ඇතිවීම අධි ත්වරණයකට ලක් කල හැක.

මා දකිනා ආකාරයට කාන්තා ඇඳුම ශිෂ්ඨාචාරයක මානව සුරක්ෂිතභාවය කියාපාන කැඩපතක් බඳුය. ඉතා දියුණු සාමකාමී රාජ්‍යයන් පැවතුනු කාල වකවානු වල කාන්තාව ඉතා අලංකාර දුහුල් සළුපටින් ගත වසා ගෙන සිටි බව ඉතිහාසය පැහැදිලිව පෙන්වා දෙයි. මැද පෙරදිග මිසර අධිරාජ්‍ය (ක්ලියෝපැට්‍රා දක්වාම), ග්‍රීක සහ රෝම අධිරාජ්‍යය, චීනයේ අධිරාජ්‍ය යුග කිහිපයක්ම, ඉන්දියාවේ ස්වර්ණමය යුගයන් කිහිපයක්ම මේ සඳහා උදාහරණ ලෙස දැක්විය හැක. මේ යුගවල ලියැවුණු පොත පත සහ ශිලා ලේඛනයන්හි, ඇඳි චිත්‍ර සහ බිතුසිතුවම් වල, මූර්ති හා කැටයම් ශිල්පයන්හි මේ කාන්තා ඇඳුම අපූරුවට ගෙත්තම් කර ඇත. ලංකාවේ පවා කාශ්‍යප යුගයේ බිතුසිතුවම් මේ පිළිබඳව සාක්ෂි දරයි.

සමහර යුගවල ඉතා අලංකාර සාමාන්‍ය ඇඳුමින් සැරසී සිටි මැද පෙරදිග කාන්තාව ප්‍රථමයෙන් මුළු ගතම වසා ගන්නේ ඉස්ලාම් දහම බිහි වන්නට බොහෝ කලකට පෙර සිටය (වසර 4000ට පමණ පෙර). මෙයට හේතුවන්නේ එම කාල වකවානුවල එම ප්‍රදේශය තුල හටගත් අවිචාරී, අරාජික ස්වභාවයයි. එය කාන්තාව අනාරක්ෂිත කළේය. මේ නිසා ගතම වසාගෙන නිවසින් පිටතට යාම කාන්තාවට සුරකිෂිත වාතාවරණයක් ඇති කළේය. 

මගේ අරාබි මිතුරන් කිහිප දෙනෙකුම පැවසුවේ කළු පැහැති ලෝඟුව ස්වාභාවිකවම කාන්තාව ගෙදරට සිමා කර තබන බවයි. ස්වාමියා දවසේ වැඩ කටයුතු සඳහා නිවසින් නික්ම යන දිවා කාලයේ කාන්තාවන් නිවසෙන් පිටතට පැමිණීම මෙම කළු කබාය විසින් අහුරා දමයි. ඉතා උෂ්ණාධික මද පෙරදිග ප්‍රදේශයේ දහවලක කාල වර්ණයෙන් සැරසී ඔබට වැඩි දුර ඇවිදගෙන යාමට නොහැක. මේ බව මම මැනවින් අත්දැක ඇත්තෙමි (කළු පැහැති ඇඳුමින් සැරසී සෞදි අරාබියේ දහරාන් නගරයේ ඇවිදීමට ගොස්).

එසේම ඉතිහාසයේ යම් යම් කාලවකවානු වල මැදපෙරදිග මෙන්ම ඉන්දියාවේද ගණිකාවෝ මුළු ශරීරයම වැසෙන පරිදි ලෝගුවක් පැළදීමට පුරුදු වී සිටියහ. ඒ ගණිකා නිවාසයෙන් පිටතට යන එන විට තමා හඳුනා ගැනීමට නොහැකි වීම සඳහාය. මෙම සිරිතද සහශ්‍ර කිහිපයක් ඈතට දිව යයි.
———————————-

ස්ත්‍රී පුරුෂ බේදයකින් තොරව “ඇඳුම” මානවයා නිපදවාගන්නේ මූලික කාරණා දෙකක් සන්තර්පණය කරගැනීම සඳහාය. ඉන් පළමුවැන්න විලිවසා ගැනීමයි. දෙවැන්න සැප පහසුව පිණිසයි. මෙහි සැප පහසුව යනු කාළගුණයට ඔරොත්තුදීම, රළු පෘෂ්ඨ හා ගැටීමේදී ඇතිවන අපහසුව මගහරවා ගැනීම, සෞඛ්‍යාරක්ෂිත වීම ආදී කරුණුයි.

මේ මූලික කාරණා දෙකට අමතරව කාන්තා ඇඳුම තීරණය වන්නේ ඇය ජිවත්වන සමාජයේ ශිෂ්ඨත්වය මතයි. පිරිමියා සංවර වූ සහ හික්මුණු, එමෙන්ම මනසින් උසස් වූ සමාජයක කාන්තාවට ඇඳුම පිළිබඳව මුලිකවම සැලකිලිමත් විය යුත්තේ විලිවසා ගැනීම සහ සැප පහසුව යන කාරණා දෙක උදෙසා පමණි. එතනින් ඔබ්බට ඇඳුමෙහි දිග පළල හැඩ වැඩ තීරණය කිරීම ඇය සතුය. 

එහෙත් යම් කාල-දේශ රාමුවක් තුල පිරිමියා මානසිකව දුර්වල නම් හා ශිෂ්ඨසම්පන්න ගුණාංග වලින්  පහල තැනක සිටියි නම් ඇයට මේ අයිතිවාසිකම අහිමිවේ. සිගිරි කාශ්‍යප යුගයේ කුලවමියන් බුදුපුදට ගිය ආකාරයට අද කාන්තාවට පන්සල් යාමට නොහැක්කේ මේ නිසාය. ඇය මේ බව පහන් සිතින් තේරුම් ගත යුතුය.

       

%d bloggers like this: