Menu Close

අවසානයක් නොවේ – දහ වන කොටස

සංලක්ෂය – 
කතාවේ ශෛලියට, කාලයට සහ යතාර්ථයට ගැළපෙන පරිදි ස්කැන්ඩිනේවියානු අද්මිරාල් ගේ නම ඇඩම් – ඩ්‍රේක් ඇන්ඩර්සන් ලෙස වෙනස් කරන ලදි.

මේ පිළිබඳව ඉතා උනන්දුවෙන් සිය අගනා කාලය මා හා ගත කරමින් ලබා දුන් පෝෂණය සම්බන්ධයෙන් හිතවත් Pra Jay මහතාට කෘතඥවෙමි.

පළවෙනි කොටස

තුන් වෙනි කොටස

මුරකාවලේ සිට පටු මාවත නැගෙනහිර දෙස ට විහිදුණි. මාවත දෙපස වූයේ මනාව නඩත්තු කරන ලද උද්‍යානයකි. එහෙත් විමසිලිමත් වූ යුරෝපීයයාගේ දෑසට, තමන් පසුගිය සති දෙකකට පමණ පෙර ටිකිරි බණ්ඩාර සමඟ දිවාකාලය ගත කළ නාථ දේවාලය සහ ඊට මෙපිටින් වූ පත්තිනි දේවාලය ඊසාන දෙසින් තරමක් ඈතින් දැක ගත හැකි විය. 
මුරකාවල පසුකර අඩි දහයක් යන්නට ලැබුණේ නැත.
“විදුව!” 
කෙටි නියමය අනුව හතර වටින් ම ගුවනට මුදාහැරුණු ඊතල සිය ගණනක් සිහින් සිවුරුහඬ නඟමින් තමන් දෙසට ඇදී එනු අසරුවන් ති දෙනාට ඇසුණි… පෙනුණි.
https://encrypted-tbn0.gstatic.com/images?q=tbn%3AANd9GcQzHdV
Kq0zyCA18mrudlLgKA-VTHbYqipSVlA&usqp=CAU

ඊතල මුදාහැරෙණ සියුම් ශබ්දයත් සමඟ ම, ඇඩම් ගේ ස්නායු සහ මොළය ක්ෂණිකව ක්‍රියාත්මක විය. අසුගේ දෑළ ට විළුඹින් ඇන, අසු වේගයෙන් පන්නවමින්, සිය උඩුකය ආපිට කරකවා, දකුණු උරහිසට උඩින් පිටුපස බැලූ ඔහු, නැවත අනෙක් පසට හැරෙමින් සිය වටපිටාව එක් බැල්මකින් පරීක්ෂා කළේ ය. ඔහුට අඩි කිහිපයක් ඉදිරියෙන් වූ  ස්වදේශික දූතයෝ දෙදෙනා ඒ වන විටත් අශ්වයන්ගේ වේගය වැඩි කරගෙන සිටිබව පෙනුණි. එසැණින් “වහං වෙමූ!” යි කෑගසමින්, ඔහු දකුණු පසට නැවී, දකුණතින් අසුගේ ගෙළෙහි ලෝම කැටියක් අල්ලාගෙන, වම් කකුල ඔසවා අසුගේ සිරුරෙහි දකුණු පැත්තට ගත්තේ ය. මේ සියල්ලට ගත වූයේ එක් නිමේෂයකි. ඊතල වර්ෂාව අසරුවන්ගේ වම්පසින් පතිත වෙද්දී, අද්මිරාල් සිටියේ, සිය සිරුර මුළුමණින්ම අශ්වයාගේ දකුණු ඇළයෙහි රඳවා එල්ලීගත් වනම, ඉතා වේගයෙන් අසු පන්නවමිනි. 
සිග්… සිග්… සිග්… වැනි හඬක් නඟමින් ඊතල වදින හඬ ද, අශ්ව ලාඩම් තණ පත් විනිවිද බොරළු පොළොව මත වේගයෙන් වදින හඬ ද, තත්පර කිහිපයක් පුරා ඇසුණේ ය. දුනුවායන්හට තවත් වටයකට ඉඩ නොතබා, අසරුවන් තිදෙනා හට රජ මැදුරේ ඇතුල් දිය අගළට ළඟාවීමට හැකි විය. 
දිය අගළ අසලින් නැවත වම්පසට හැරුණු අසරුවෝ අඩි කිහිපයක් දුරට වේගය අඩු කරගනිමින් ගොස්, දළදා මාළිගාවේ දොරකඩ අසල නැවතුණ හ. ඒ වනවිටත් ඇඩම් සිටියේ අසුගේ දකුණු ඇළයේ එල්ලීගත්වනම ය. ස්වදේශික අසරුවෝ නතර වනවාත් සමඟම යුරෝපීයයා ද, බුහුටිලෙස අසු නතරකොටගෙන බිමට පැන්නේ ය. ඔහු මුලින්ම පිරික්සුවේ තමා මෙතෙක් දුර ගෙන ආ අශ්වයා ට වී ඇති හාණියෙහි තරම ය. 
ඇඩම් අසුගේ වම්පසට යත්ම, ඊතළ විස්සක් තරම උගේ බඳ පුරා ඇළී තිබෙනු දුටුවේ ය. ඒ ඊතළ වැදුණු තැන වටා සම රතු වෙමින් පැවති නමුත් එක් ඊතලයක්වත් සම විනිවිද ගොස් නැති බව දුටු ඔහු විමතියට පත් විය. ඔහු එක් ඊගසක් ඇද, ගළවා ගත්තේ ය. එහි ලෝහමය තුඩක් නොවී ය. අගිස්ස අර්ධ ගෝලාකාර වන සේ සකස් කර ඝනකම් ලාටු විශේෂයක් ගල්වා ඒ ඊතලය සකස් කර තිබුණි.
විස්මය දනවන මුහුණින් යුක්තව ඔහු මිත්‍ර දෙසට හැරුණි. කිසිත් විමසීමට පෙර මිත්‍ර අත ඉහළට දිගුකර දළදා මැදුරට උතුරු දිගින් පිහිටි, රජ මැදුරේ සීමැදුරු කවුළුව වෙත ඇඩම් ගේ අවධානය යොමු කළේ ය. එහි සිට තමන් දෙස පරීක්ෂාවෙන් බලා සිටි පුරුෂයන් දෙ ‌දෙනෙකු අද්මිරාල් ගේ දෑසට ලක් විය. 
ඇඩම් සහ මිත්‍ර රජ මැදුර දෙසට පා ගමනින් යද්දී, අනෙක් ස්වදේශික දූතයා ඔවුන්ගේ අශ්වයන් තිදෙනා වෙනත් පැත්තකට රැගෙන ගියේ ය. රජ මැදුරේ අංගනය වෙත ඔවුන් සේන්දු වෙත්ම, සීමැදුරු කවුළුවෙහි සිටි පුරුෂයින් දෙ දෙනා ද එහි ආවෝ ය. විචිත්‍ර ආභරණයෙන් හා ඇඳුමින් සැරසී නොසිටිය ද, ඒ දෙ දෙනා ගෙන් එක් අයෙකු රාජසිංහ රජතුමා බව ස්කැන්ඩිනේවියානුවා ට හඳුනාගත හැකි විය. අනෙක් තැනැත්තා කලු රතුවන් මුල් ඇඳුම ඇඳ සිටි අතර, එහි හිස්වැස්ම ඔහුගේ වමතෙහි විය. ඇඩම් අඩ දණින් වැටී හිස නවා රජතුමා හට ආචාර කළේ ය.
රජු අද්මිරාල්ට නැඟී සිටින ලෙස අතින් සංඥා කළේ ය.
“නුඹේ පරීක්ෂණය සාර්ථකයි කියා හිතනවද ගලගොඩ?” රජතුමා සිය දකුණත් පසින් සිටි නිළමක්කාරයා ඇමතුවේ, ඇඩම් ගේ දෑස් දෙස එක එල්ලේ බලමිනි. තරුණයෙකු වූ ගලගොඩ නිළමේ එතෙක් බිමට නැඹුරු කරගෙන සිටි හිස ඔසවද්දී, ඔහුගේ මුහුණ දුටු අද්මිරාල් විස්මයට පත් විය. ඇත්දළ පැහැයෙන් යුතු වූ දිගටි රූමත් මුහුණ, සුඛනම්‍ය බව පෑ අඟ පසඟ, කළු පැහැ ඇස්, තද කළුවන් කෙස්වැටිය සහ හිස්වැස්මේ ඉදිරිපස රැඳවුණු කුඩා ධ්‍යානී බුදු රුව ඔහුට සිහිපත් කළේ, සතියකට පමණ පෙර තමාගේත්, ධනසේකර කුමාරිහාමිගේත් දිවි ගැළවූ තරුණයා ය.
“අවසරයි දේවයන් වහන්ස…” ගලගොඩ නිළමේ හඬ අවදි කළේ ය. “අප මෙතනදී දුටුවා, හදිසි අවස්ථාවක ක්ෂණිකව ක්‍රියාකිරීම, කණ්ඩාමක සාමාජිකයෙකු වශයෙන් මෙන්ම, තනිවම දිවි ගළවාගැනීම සහ ඉතා ඉක්මණ් හා ඵලදායී තීරණ ගැනීමේ හැකියාව… ඒ ගැන අප සෑහීමකට පත් වෙනවා. ඉතිරි හරිය උඩුමුල්ලේ ගෙන් අසා දැනගමු කියා හිතනවා.” ඔහු රජතුමා වෙත හැරී හිස නැමී ය.
රාජසිංහ රජු මිත්‍ර දෙස සිය විමර්ශනාක්ෂිය යොමු කළේ ය. 
“අවසරයි දේවයන් වහන්ස.” මිත්‍ර හෙවත් උඩුමුල්ලේ නිළමේ රජු ඇමතීය. “පරිසරයටත්, භූමියේ වෙනස්කම්වලටත් හුරුව කටයුතු කිරීම සහ අසුන් පැන්නවීම අතින් අද්මිරාල් අන්දිරිසන් ඉතාම ඉහළ මට්ටමක සිටිනවා. ඔහු හදිසි ආපදාවකදී කණ්ඩායමේ සාමාජිකයන් ගැන අවධානයෙන් සිට, සිය ජීවිතය පවා අවදානමක හෙලා වුණත් අනෙකා රැක ගැනීමට වෙහෙසෙන ඒ වගේම නිර්භීත තැනැත්තෙක් බව අප දුටුවා.”
“ඊළඟ පියවර?”
“ඔබ වහන්සේ ගේ අවසරය ඇතුව, මේ රැඳවියාගේ සේවය අපගේ රහස් දූරයේ කටයතුවලට යොදා ගැනීමට අපේක්ෂා කරනවා…”යි ගලගොඩ නිළමේ කීවේ ය.
“අවසර දෙනවා.” රජතුමා ගලගොඩ සහ උඩුමුල්ලේ ගේ දෑස් දෙස මාරුවෙන් මාරුවට බලමින් කතා කළේ ය. “මේතාක් කාලයකට ඔබගේ දූරය අප හෝ අපගේ රාජධානිය අනතුරේ හෙළා නෑ. ඒ වෙනුවට ඉතාම සාර්ථක ලෙස අප රාජධානිය අනතුරින් බේරාගැනීමට සියලුම අවස්ථාවල සමත් වී තිබෙණවා. ඒ වගේම කිසිවිටකත් ඔබ පැවරුණු හෝ පවරාගත් කිසිවක් ඉටු කරන්න අසමත් වෙලා ද නෑ. ඒ කීර්තිය, මේ කරුණ සම්බන්ධයෙනුත් පවත්වාගැනීම අප ද අපේක්ෂා කරනවා.”
රාසිං දෙවියෝ ආපසු මැදුරට යාමට හැරුණා හ. එතුමාට හිස නවා ආචාර කළ ගලගොඩ සහ උඩුමුල්ලේ නිළමේවරු, තමන් පසුපස එන ලෙස ඇඩම් හට සංඥා කරමින්, රජ මැදුර ඉදිරිපිට අංගනයේ තනා තිබූ කණු හතරකින් යුත් විවෘත මඩුවක් කරා ගියහ. එහි වාඩි විම සඳහා ගල් පුවරු යොදා ආසන සකස් කර තිබුණි. අද්මිරාල් ඇන්ඩර්සන් හට අසුන් ගන්නා ලෙස දැන්වූ නිළමෙවරු ඔහු අසලින්ම දෙපසින් වාඩි වූ හ. 
අහන්නට හා පැහැදිලි කරවා ගන්නට කරුණු කොතෙක් තිබුණ ද, අද්මිරාල් ඒ කිසිවක් ගැන සංඥාවක් හෝ මුහුණින් නොපෙන්වා, නිළමෙවරුන් හට අවස්ථාව දී නිහඬව සිටියේ ය. “ඔබට මා මතකයි නේද?” ගලගොඩ නිළමේ කතාව පටන් ගත්තේ ය. 
“ඔව්. මම හිතා උන්නෙ, මාත් ධනසේකර කුමාරිහාමිත් එදා බහිරවයාගෙන් බේරා ගත්තේ, ඒ වගේම අපට ප්‍රතිකාර කළේ දෙවියෙක් හෝ එවැනි බලවේගයක් කියලා…”
ගලගොඩ මඳ සිනාවක් පාමින් හිස සිරස් අතට සෙලවී ය.
“ඔබ දන්නවාද කීමක් තියෙනවා, සත්‍යය මනඃකල්පිතයට වඩා විස්මය ජනකයි කියා? මම ගලගොඩ නිළමෙ. මුල් කාලයේ පටන්, අඳුනන අය මට කතා කරන්නෙ සුමන කියලා.”
ඇඩම් සිය වමත නළලට කිට්ටු කර ආචාර කළේ ය. “මම ඇඩම්…”
“අපි දන්නවා ඇඩම්.” සුමන ඔහුගේ කතාවට බාධා කළේ ය. “අප ඔබ දෙස බලාගෙන හිටියා, ඔබ අපගේ රටට පැමිණි දා පටන්… එදා ඔබ ධනසේකර කුමාරිහාමි බේරාගන්න ඉදිරිපත් වුණා. මට හොඳටම විශ්වාසයි ඔබ ඒ වෙලාවේ බහිරවයෙකු ගැන විශ්වාස නොකළ බව. ඒත් ඒ බහිරවයා දුටු වෙලාවේ, පසුබහිනවා වෙනුවට ඔබ ඉදිරියට ආවා. ඉතාම විශිෂ්ඨ අන්දමේ සටනක් දුන්නා. අවසානයේ මිය යන්න උනත් සූදානම් වුණා…”
“ඒ වෙලාවේ මට වෙන දෙයක් කරන්න ඉතිරි වෙලා තිබුණේ නෑ.”
“ඇත්තටම වෙන දෙයක් ඉතිරි වෙලා තිබුණේ නැති එක ද ඩ්‍රේක්?” මිත්‍ර ඇසීය. “නැත්නම්…”
සුමන ඔහුගේ කතාවට බාධා කරමින් මිත්‍ර ගේ අත අල්ලා ගත්තේ ය. 
“එතනදී අප ඔබ ගැන තක්සේරුවකට ආවා. ඔබ රණ ශූරයෙක් තරමට දක්ෂයෙක්. ඒ වගේම තමන්ට ළෙංගතු උදවිය වෙනුවෙන් කැප වන්නෙක්. ඉතින් අපි තීරණය කළා, ඔබ අපගේ රහස් දූරයට එකතු කරගන්නට.”
“රහස් දූරය… මේක ඇත්තටම ආරම්භ වුණේ මීට අවුරුදු දෙදාහකට උඩදි. මේ ලංකා ද්වීපයේ ඒ වනවිටත් තිබුණේ කුඩා කුඩා රාජ්‍ය කීපයක්. එහෙත් තිස්ස නම් රාජකීය ලේ ඇති පියෙකුට සහ ගාමිණි අභය නම් වුණු පුතෙකුට අදහසක් තිබුණා ඒ සියලු රාජ්‍ය එකතු කරලා තනි රාජධානියක් හැටියට, එක ක්‍රමයක් යටතේ රට පාලනය කරන්න. ඒ සඳහා උපකාරී වුණුු එක ඒකකයක් හැටියට සෙබළුන් දහ දෙනෙකුගෙන් තමයි මේ දූරය මුලින් ම හැදුණේ.
“කල් යාමේ දී මේ දූපතේ විවිධ රාජ වංශ බිහිවුණා. රාජ්‍යය කොටස් වලට කැඩුණා, නැවත එක්සත් වුණා. ඒ ඒ කාලවකවාණු වල වුණු පෙරළිත් එක්ක, රහස් දූරය ස්ථාවර ඒකකයක් බවට පත් වුණා. ඒ කියන්නෙ, රජු වෙනස් වෙන්න පුළුවන්. රාජ වංශය වෙනස් වෙන්න පුළුවන්. ඒත් රහස් දූරය වෙනස් වෙන්නෙ නෑ. ඒක දිගටම එකම විදිහට පවතිනවා. කාලෙන් කාලෙට ප්‍රබල වන, ඒ වගේම රටේ ජනතාවගෙ අපේක්ෂා ඉටු කරන, රාජ්‍යයට අපි උපකාර වෙනවා, ඒ වගේම ඒ රාජ්‍යය ආරක්ෂා කරගන්න අපි කටයුතු කරනවා.
“දැන් මේ දූරයෙ ඉන්නෙ හතර දෙනයි. එයින් දෙන්නෙක් අපි.”
“එතකොට රහස් දූරය ගැන මේ වෙනකොට මේ රටේ, දන්නෙ ඔබ හතර දෙනා, මම සහ රජතුමා විතරයි ද?” ඇඩම් ඇසීය.
“ඇත්තම කිව්වොත් ඩ්‍රේක්…” මිත්‍ර ඔහුගේ උරහිසට අත තැබී ය. “රජතුමාවත් හරියටම දන්නෙ නෑ, මේ දූරයෙ සියලු දේ ගැන.”
“එතකොට මගෙන් මොනවද බලාපොරොත්තු වෙන්නෙ?” 
“ඔබ අපේ පස්වැනියා වීම තමයි අපේක්ෂා කරන්නෙ.” සුමන කීවේ ය.
“ඒක ටිකක් බරපතළ අවදානමක් නෙවෙයි ද?”
“නෑ ඩ්‍රේක්… සාමාජිකත්වයෙ මට්ටම් කීපයක් ඔබට පසු කරන්න වෙනව. ඒ අභියෝග සියල්ල දිනාගත්තට පසුව තමයි ඔබ නිත්‍ය සාමාජිකයෙක් වෙන්නෙ. ඒ වෙනකොට ඔබ අපි ගැනත් අපි ඔබ ගැනත් සියල්ල දැනගෙන අවසන්. ඒ වගේම අප කාටවත් ආපසු හැරී යාමක් ඉතිරි වන්නේ නෑ…” 
“මම එකඟයි…” ඇඩම් තීරණය දීම සඳහා එක මොහ‌ොතක්වත් කල් ගත්තේ නැත.
“හොඳයි” ගලගොඩ නිළමේ ඔහු ගේ දෑස් දෙස බැලුවේ ය. “පටන් ගැන්ම වශයෙන් අපට කියන්න… මිත්‍ර මුලින් ම අහන්න ගිය කාරණාව. ඔබ එදා බහිරවයාගේ කඩු පහරින් මාරාන්තික තුවාලයක් ලැබුවා. ඒ කඩු පහර ඔබගෙ හදවත ට ලොකු හාණියක් කළා. ඒත් ඔබ මිය ගියේ නෑ. ඒ වගේම ඉතාම කෙටි කාලයකින් ඒ තුවාලය සුව වුණා.
“කොහොමද එහෙම වුණේ?”
%d bloggers like this: