Menu Close

අට විසි මහල 19 – අම්රිතාගේ දියණිය

(මේ පළවන්නේ අටවිසි මහල නවකතාවේ දහ නව වැනි කොටසයි . මින් පෙර කොටස් මෙතැනින්)
සේලට  හා මනෝරන්ජන්ට  පසුදා අලුයම වනතුරු කතාබහ කරන්නට බොහෝ දේවල් තිබිණි. දෙදෙනාම ඇසින්  නුදුටු පසුගිය මාසයේ සයිට් එකේ විස්තර, ලබන මාසේ  තුන්වන තට්ටුව දමන අයුරු, ඉන්පසු යන්නට සිටින ට්‍රිප් එක  ආදියට අමතරව  ඉන්ටවිව් එක දවසේ අසේලගෙන් වමාරාගත් සමස්ත ජීවිත කතන්දරයේ  සමහර පරිච්චේද ඉතා සීරුවෙන් තව දුරටත්  දිගාරින්නට විය . මේ වෙලාවේවත් මනෝරන්ජන් ඔහුගේ පවුලේ කිසිවෙකු ගැනවත් , සරසවි ජීවිතය  හෝ දේශපාලනය ගැනවත්  වචනයකුදු  කතා නොකළ අතර අසේල ඒවා හාරා අවුස්සනට ගියේ නැති එක ඔහුට මහත් ඉස්පාසුවක් විය .

එහෙත් අසේල මහත් කුතුහලයෙන් අම්රිතා ගැන විමසිලිමත් වන බව මනෝරන්ජන්ට  තේරුම් ගියේය .

” මනෝ මහත්තයා මට තියෙන ලොකු ප්‍රශ්නයක් කියන්නද ? ඔයයි අම්රිතායි මාර විදිහට ගැලපෙන ජෝඩුවක්. යාලුකමකට එහා ගිය ලෙන්ගතුකමක් ඔය දෙන්න අතරේ තියෙනවා කියල මට තේරුනා. ඔය දෙන්න තරුණ වයසේදීම  දෙන්නගෙම් රටෙන් පිටදී තනියම හම්බ වෙලා, දුක සැප බෙදාගෙන ජීවත් වෙලා ආදරවන්තයෝ නොවුනේ කොහොමද කියල මට හිතා ගන්න බෑ. අනෙක් අතට ඔයා නෙතදරා ගැන උනන්දු වෙනකම් මම හිතාගෙන හිටියේ ඔයයි අම්රිතයි අතරේ මොනා හරි හුටපටයක් තියෙනවා කියල . ඇත්තම කියනවානම් ඊට පස්සේ මමත් අම්රිතා ගැන උනන්දු වුනා. මම මර කැමතියි ඒ වගේ කෙල්ලෙකුට. වෙලාවකට අම්මා කෙනෙක් වගේ. වෙලාවකට සෙල්ලම් ඉස්කෝලේ චරිතයක් වගේ. මිනිස්සු එක්ක බැලන්ස් කරගෙන ජීවත් වෙන විදිහ . උනන්දුව , ඇහුම් කන් දෙන එක . පැහිච්ච කම .විනෝදෙන් ඉන්න එක ,  මේ ඔක්කොටම වඩා ලස්සන . ‘

දිග සුසුමක් හෙලූ  මනෝරන්ජන් මෙසේ කීවේය .

” අම්රිතා  ආදරේ හිතෙන  යාලුවෙක් තමයි අසේල . අපි දෙන්නා අතරේ ආදර සම්බන්ධයක් තිබුනා නෑ වගේ . ඒ කතාව පුදුමාකාරයි. මට ජීවිතේට අම්රිතා අමතක කරන්න බෑ. අම්රිතාටත් එහෙම වෙයි. මම කාලයක්  පණටත් වඩා අම්රිතාට ආදරේ කළා. අම්රිතාගේ ආදරේ ඉල්ලලා බැගෑපත් වුනා . ඒත් ඒ කතාව දිගයි . අසේල අම්රිතා ගැන ඕනිවට වඩා  හිතන්න එපා . ඒ කතාව ඒ තරම් සංකීර්ණයි.”

මනෝගේ කතාව නතර වූ හැටියේම අසේල මෙසේ කීවේය .

“හොඳයි අදට අපි කතාව නවත්වමු. අම්රිතා ගැන වගේම එයාගේ දුව ගැනත්  මට තියෙන්නේ ලොකු ප්‍රශ්නයයක්?

” වහා නැගිට ඇඳ මත වාඩි වූ මනෝරන්ජන් පුදුමයෙන් මෙන් මෙසේ ඇසුවේය .

” එතකොට අම්රිතා ඔයාට සේරම කතාව කිව්වද ?”
” නෑ මම එයා ට දුවෙක් ඉන්නවා  කියල අනුමාන කරා . මම ඒ දෙන්න ඉන්න ෆොටෝ එකක් අහම්බෙන් දැක්කා  . ඒ ගැන අපි තව දුරටත් වාද කර ගන්න ඕනි නෑ. අපි වෙන දෙයක් ගැන කතා කරමු’

විනාඩි කීපයක් නිහඬව සිටි මනෝරන්ජන් මෙසේ කීවේය.

” අපි දැන් අටවිසි මහලේ ඉස්සරහ වැඩ ටික හොඳට කරන්න ඕනි . ඔලුව සැහැල්ලුවෙන් තියාගෙන. අසේල දඹුල්ලේ  වැඩ ටික ඉක්මනින් ඉවර  කරලා කොළඹ එන්න ඕනි “

” එතකොට සිල්වා ?” අසේල සෙමින් මිමිණුවේය.
මනෝරන්ජන් කිසිත් නොදොඩා නින්ද ගියාක් මෙන් සිටියේය .

පසුදා මද්දහන පමණ වන විට  මනෝරන්ජන් හා අසේල ගලහ පාර දිගේ පේරාදෙණිය සරසවි භුමිය වෙත ඇවිද යමින් සිටියෝය.
‘ අපිට කෙල්ලට මුකුත් ගන්නත් බැරි වුනා ” අසේල කියද්දී මනෝරන්ජන් කිව්වේ
” ඔව් අපට කිරි හට්ටි හත අටකුයි කුරුම්බා වල්ලකුයි ගන්න තිබ්බා ” කියලාය.
දෙදෙනාම  කොක් හඬ ලා සිනා සුනෝය.

ඉන්පසු අසේල බැරෑරුම් ලෙස මෙසේ කිව්වේය.

” අපි මේකේ ඇතුලේ කිසි කෙනෙක් අඳුනන්නේ නෑ. මම  කාලෙකට කලින් එක පාරක් ඇවිත් තිබ්බට අගක් මුලක් දන්නේ නෑ. නෙතදරා ඉගෙන  ගන්න තැන තියෙන්නේ , නැවතිලා ඉන්න හොස්ටල් එක තියෙන්නේ, මේ පාරේ කියල විතරයි දන්නේ. එත් කාගෙන්වත් අහන්න බෑ. මම වාසගමක්වත් දන්නේ නෑ. ඒ උනාට ඒ වගක් කාටවත් පෙන්වන්නේ නැතිව  අපි දන්නවා  වගේ යන්න ඕනි . හරිද ?

එවිටම වාගේ  පිටුපසින් පැමිණි අලුත්ම  ලාන්සර් රථයක් ඔවුන් පසුකර පාරේ අයිනට වෙන්නට නතර කළේය.
රියෙන් බැසගත් රියදුරා දෑත විහිදුවාගෙන දුව ආවේය.

” අඩෝ මචං මනෝ උඹ කොහෙද මේ? . මාර කාලෙකින් දැක්කේ බං. උඹනම් පොඩ්ඩක්වත් වෙනස්වෙලා නැ. මම  උඹල පස්සෙන් හෙමීට හෙමීට සෑහෙන දුරක් ආවා මේ උඹමද කියල සැකේ නැති කර ගන්න . පස්සේ උඹේ අර පාරේ  ගල්වලට පයින් ගහන පුරුද්ද නිසා  තමයි සහසුද්දෙන් මේ උඹමයි කියලා හිතා ගත්තේ .”

අමුත්තා තොර තෝංචියක් නැතිව දොඩද්දී මනෝ හා අසේල තුෂ්නිම්භීත බලා සිටි  අතර සැනෙකින් සිය පළමු වසර සගයා දර්සනයා අඳුරා ගන්නට මනෝරන්ජන්ට  හැකි විය . අසු හයේ අවුරුද්දේ මොරටු සරසවියේ පළමු වසරට ඇතුල් වූ දර්සන වැහි වැහී ඇරෙන සරසවිය  අතහැර ජපානයට ගියේ පවුලේ කවුරුන් හෝ එහෙ සිටි නිසාය. ඔහු නිසා අද ගමනේ අරමුණු සුනු විසුනු වී යනු ඇතැයි මනෝරන්ජන් මදක් සැලුනේය . එහෙත් ඔහු සියල්ල අමතක කර සිය පැරණි මිතුරා  සමග ලෙන්ගතු කමෙන් කතා කළේය.

” මචං මාර සන්තෝෂයි . උඹට අවුරුදු අටකට පස්සෙත් අපි මේ තරම් හොඳට මතක තිබ්බ එක කොච්චර දෙයක්ද ? “

“උඹලා මේ කොහෙද යන්නේ ? උඹ මොකද දැන් කරන්නේ ? ” දර්සන අසද්දී කට උත්තර නැතිව හිටි මනෝරන්ජන් යන්තමට උත්තරයක් ගැට ගසා  ගත්තේය .

“අපි මචං බිල්ඩින් ප්‍රොජෙක්ට් එකක වැඩ කරන්නේ. අද නිවාඩු දවසක්. ඊයේ දඹුල්ලේ ගියා . අද ආපහු කොළඹ යන ගමන් නිකමට පේරාදෙණිය බලල ඇවිදලා  යන්න ආවා . ඉතින් කියපන්කො උඹ මොකද මෙහෙ කරන්නේ කියල “

” නියමයි මමත් සෙට් වෙන්නම්. මම බං මෙහෙ ඉනින්ජිනියරින් ස්ටාෆ් එකට ජොයින් උනා . තාම අවුරුද්දක් වත් නෑ.  අනික අද හවස් වරුව ෆ්‍රී . කෝ උඹලගේ වාහනේ ?”

“ඒක  මම ඩ්‍රයිවත්  එක්ක ඇරිය පිලිමතලාවට . නිකං ඉනන එකේ මිනිස්සු ටිකක් පටවාගෙන ඇවිත් කීයක් හරි හොයා ගන්න කියල “

තරමක් පුදුමයෙන් බලා සිටි දර්සන ඉන්පසුව මනෝරන්ජන්ගේ  පිට හරහා පාරක් ගැසුවේය. ඉන් පසු අසේල දෙස බලා  “මල්ලි මේවට තමයි ඉස්සර අපි මනෝ ජෝක් කිව්වේ. මූ බස් එකේ ආවා කියන එක කියපු  විදිහ තමයි ඔය. හා හා නැගපල්ලා නැගපල්ලා. අපි කැම්පස් එකේ වටයක් ගහල  ක්ලබ් එකට ගිහින්  බීලා කාලා කතා කරමු” .

තවදුරටත් දර්සනයාගෙන් ගැළවීමක් නැතියෙන්  මනෝරන්ජන් හා අසේල  ඔහුගේ ලාන්සර් රථයට ගොඩ වුනෝය.  ඉන්පසු  රථය මනස්කාන්ත සරසවි බිම සිසාරා හෙමින් හෙමින් පාවී ගියේ දර්ශනගේ මුවින් තොරණේ කතාව  මෙන් ඉදිරිපත්වන සරසවි බිමේ විස්තර කථනයත් සමගය . ඔය තියෙන්නේ මෙඩිකල් ෆැකල්යටිය  , මේ පාලමෙන් යට කෝච්චි පාර . අන්න බලන්න දකුණු පැත්තේ සරසවි උයන ස්ටේෂම , ලංකාවටම කැම්පස් එකක් ඇතුලේ ස්ටේෂමක් තියෙන්නේ  ඔතන විතරයි  , ඔය තියෙන හෝල් එක ගෑනු ළමයින්ගේ හොස්ටල් එකක්  විජේවර්ධනේ ඉස්සර ඕකේ කොල්ලෝ ඉඳල තියෙන්නේ උන් කොච්චි යන වෙලාවට ජනෙල් උඩ නැගලා විකාර  කරනවා කියල තමයි උන් වෙන අහකට දාල කෙල්ලන්ට මේක දීල තියෙන්නේ . ඔය තියෙන්නේ අරුනාචලම්, ඔය තියෙන්නේ ජයතිලක හෝල් එක , මේ දකුණු පැත්තේ පිට්ටනි ටික .එහා පැත්තේ තියෙනවා ග්‍රවුන්ඩ් එකක් ඒකෙ රනින් ට්‍රැක් එක ගල් අඟුරු දාලා  හදල තියෙන්නේ . එහෙම ඒවත් ලංකාවට එකයි තියෙන්නේ මයේ හිතේ . මේ අල්විස් පොන්ඩ් එක. භීෂණ කාලේ මේක  වටේ  කොල්ලෝ මරල දාල තිබ්බලු “

සුන්දරත්වය වසාගත් වේදනාවක සිරියක් ඒ අවට තිබෙනවාක් මෙන් මනෝරන්ජන්ට දැනිණි . අසේල තමා කිසිදා නුදුටු මනෝරම්‍ය භූමියක රස විඳිමින් සිටියේය. ඉඳ හිට හමුවන පෙම්වතුන් , කල්ලි ගැසී යන කොල්ලන් හා කෙල්ලන් මෙන්ම තණකොළ කපන සේවකයන්ද ඔහුගේ නෙතට අපූරු දසුන් වුනේය .

මීට මාස කීපයකට ඉස්සර පේරාදෙණියට ආ දර්සන මේ තරම් රසවත්ව කියන්නට මේක ඇතුලේ හැම විස්තරයක්ම දන්නේ කොහොමද කියා මනෝරන්ජන් කල්පනා කළේය . ඔහු කළමනාකරණ පීඨය හා සංඝමිත්තා ශාලාවේ ස්ථානීය පිහිටීම හා දර්සන කී පසුබිම් වාර්තා හොඳින්, ඉතාම වුවමනාවෙන් හිතේ  රඳවා ගත්තේය .

අවසානයේ දර්ශන සමග සරසවි ස්ටාෆ් ක්ලබ් එකෙන් බීර වීදුරුවක් බී දහවල් අහර ගත් ඔවුහු  දර්සනගේ  රථයෙන්නුම නුවර බස්පලට ගියෝය. මුලින්ම අසේල දඹුල්ල බස් එකකට නංවා  ඉන්පසු ගුඩ් ෂෙඩ් එක ළඟ නවතා තිබු කොළඹ  ඉන්ටසිටියට මනෝරන්ජන් ගොඩවන තුරුත් දර්සන කතා කියමින්ම සිටියේය .
” ඊළඟ පාර මෙහෙ ආවම දවසක් ඉඳල යන්න වරෙල්ල හොඳද . අපිට බලන්න ඇවිදින්න තැන් තව ඕනි තරම් තියෙනවා  ” දර්සන කීප වතාවක්ම කිව්වේය .

දඹුලු බස්රියේ හරි බරි ගැසී වාඩි වූ අසේල අද දවසේ සිද්ද වෙච්ච සියලු දේ ගැන තෘප්තිමත්ව සිටියේය .
” මනෝ මහත්තයා ආයෙමත් වයස විසි දෙකේ තුනේ එකෙක්ගේ ගානට වැටෙන්න ගියාට එයාගේ යාළුවො පිට රට ගිහින් ලොකු ලොකු  උපාධි කරලා කැම්පස් වල උගන්වනවා . මෙයාටත් තියෙන්නේ ආපහු රට ගිහින් හොඳට ජීවත් වෙන්න “

සිය සරසවි සගයා කලකට පසු හමු වීම සතුටක් වුනාට මනෝරන්ජන් බස්රියට වී ජනේලයෙන් ඉවත බලාගෙන සිටියේ තෝන්තුවාවෙන් මෙනි. බස්රිය යලිත් පේරාදෙණිය පාලම මතින් යද්දී ඔහු මහවැලි ගඟ   දෙසත් ඈතින් පෙනෙන සරසවි  මන්දිර  දෙසත් යලි බලා සිටියේය. එක්වනම අසුනින් නැගී සිටි ඔහු “ඉස්සරහ මාව බස්සලා  යන්න” කියා කෑ ගැසුවේය . කොළඹට ටිකට් ගත් මේ හාදයා ආපසු බහින්න හදදදී කොන්දොස්තර කොලුවා සිය මුදල් පසුම්බිය තදින් අල්ලා ගත්තේ සල්ලිනම් ආපහු දෙන්නේ නෑ කියා සිතමිනි .

පේරාදෙණිය ගන්නොරුව හන්දියේදී  බසයේ වේගය අඩු වූ විගස ඉන් බැසගත් මනෝරන්ජන් කන්ද පැත්තට වෙන්න  රිය ගාලේ නතර කර තිබු ත්‍රී වීලරයකට ගොඩ වුනේය .
“ගලහ පාරේ  යමු ” ඔහු කීවේය

***
මේ වෙලාවේ අම්ර්තා දිස්පූර් නගරයට ආසන්න ගුවාහටි ජාත්‍යන්තර ගුවන් තොටුපලට ඇදෙන රියක පසුපස අසුනේ වාඩි වී කල්පනා කරමින් සිටියේ දැන්  මනෝරන්ජන් මොනවා කරනවා ඇත්දැයි කියලාය . ඇය ඊළඟට පහත්වී සිය උකුලේ හිස තබාගෙන නිදන දැරියගේ සියුමැලි කම්මුල ඉම්බාය.

මීළඟ කොටස 

Photo Source : Divaina

%d bloggers like this: