Menu Close

චිත්තම්මා

පසුගිය ජුනි 29 වෙනිදා චිත්තම්මා…. (foto- සෙරාන් එච් ගමගේ)

ජුනි 29 වෙනිදා රටක් වටිනා චිත්තම්මා අභාවප්‍රාප්ත වූවාය! කියන්නට නම් මොකක්දෝ වගෙය. එහෙත් ඇගේ අභාවය ගැන මට කණගාටුවක් නැත!!!

මූ වගේ නරුමයෙක්! ඔබට මා ගැන හිතෙන්නට ඇත; කමක් නැත. එහෙම හිතුවාට කමක් නැත. ඒත් දිගටම කියවනවා නේද?
මේ පෝස්ටුව චිත්තම්මාත්, මාත් ගැනය.

ඇයගේ වියෝව හරියටම තලපත්පිටියෙන් පදාසයක් නාය ගියා වගේ දැනෙන්නකි. ඇය රටක් වටිනා අම්මා කෙනෙකු වුණේ ඇගේ දූ-පුතුන්ට විතරක් නොවේ; තව සනුහරයකටමය. ඇයගේ නමම ඊට සාක්ෂිය; චිත්තම්මා!

චිත්තම්මා එතරම් වටිනා චරිතයක් නම්, ‘එයාගේ අභාවය ගැන දුකක් නැහැ’යි කියන්නේ මා රහත් වෙලා නිසා නොවේ; ඇත්තම කියන්නට හිත හදාගත් නිසාය.

මෙහෙම ඇත්ත කිව්වාම කාගෙ-කාගෙ හෝ මුහුණ නරක් වුණත් කරන්නට දෙයක් නැත. පහුගිය ජුනි මාසයේම මැද හරියේ දවසකත් ‘ඒ මූණ නොරොක් වෙන වැඩේ’ මං අත්දුටුවේ, කටෙන් වචන වාගයක් පැන්නාට පස්සෙය; මං වචන දෙකකින් ඇත්තම කිව්වාමය. ‘මෙයා කළුයිනෙ!’
රෝසි – සමිත් දෙන්නගේ කුළුඳුල් දෝණිය මට පෙනුණේ කළුවටය!
මානෙල් නංගිගේ දෝණියන්දෑ රෝසි, කුලුඳුලේ ඉපැද්දුවේ කෙල්ලකි. ඉස්පිරිතාලේ ඉඳලා ගෙදරට එක්ක යන අතරේ, අපේ ගෙදරටත් ගොඩ වැදුණේ ‘ලොකු මාමට පෙන්නලා යන්නයි ආවේ’ කියාගෙනය.
සිඟිත්තිය දුටු ගමන්ම මට කියවුණේ අරහෙමය.
‘මෙයා කළුයිනෙ!’
දැරියගේ අම්මාටත් කලින් ඒ කතාවට මුහුණ ඇඹුල් කරගත්තේ ආච්චි අම්මාය.

“ලොකාට මතක නැහැ. රෝසි පුංචි කාලෙත් මෙහෙම තමා, දැන් සුදු වුණාට…..”
 
දරු පැටියෙකු කළු පැහැති යැයි කීම වරදක් බව තවමත් මට හිතෙන්නේ නැත. මා කීවේ මට පෙනුණු දෙයයි; මට හැඟුණු දෙයයි.

ඔහොම කෙලින් කතා කරන්නට ගිහින් තව පොඩ්ඩෙන් ‘මහරගම බාල්දි සිරා’ මට බාල්දියකුත් පෙරළනවාය. ඒ 1977 මහ ඡන්දෙන් පස්සෙය. මහරගමට තේරී පත්වුණු UNP මන්ත්‍රී ප්‍රේමරත්න ගුණසේකර මහත්තයාව පිළිගැනීමේ උත්සවයේදී, එතුමාට ‘පොල්කටු මාලයක් දමනවා’යයි මා කියූ නිසාය.

(එතකොට අවුරුදු හතරක්වූ අපේ චූටි නංගී; දීපානි නිසා දැන් ගුණසේකර උන්නැහේ මගේ මස්සිනා වෙලාය.) 
ඔහොම මොන බාල්දි පෙරලෙන්නට ගියත්; තවම හරිහමං කෑමක් කාලා නැති නිසාද කොහෙද මම තවමත් ඇත්තම කියමි! 
චිත්තම්මා ප්‍රියන්ත, නලින් දෙපුතුන් හා රසිකා, චමනී ලේලියන් දෙන්නා එක්ක ….
මා චිත්තම්මා හඳුනාගෙන දැන් අවුරුදු 35කට කිට්ටුය. ඒ සුමිතුරු W.A.L. ප්‍රියන්තත්, නලින් ප්‍රියදර්ශනත් හින්දාය.
‘චිත්‍රා අමරතුංග’ ඒ දෙන්නාගේත් දූරුන් තිදෙනෙකුගේත් අම්මාය.

මට මල්ටිපල් මයෙලොමා නම්වූ රුධිර පිළිකාව හැදී ඇති බව දැනගත් වහාම; ප්‍රතිකාර පටන් ගන්නටත් කලින්ම, තලපත්පිටියේ ශ්‍රී බෝධිරුක්ඛාරාම විහාරස්ථානයෙදී බෝධි පූජා පින්කමක් පැවැත්විණි.

මට සෙත් පැතීමට එය සංවිධානය කෙරුණේ චිත්තම්මා ප්‍රධාන නෑදෑයන් වෙතිනි. නෑදෑයන් කිව්වේ මගේ නෑයන් නොවේ.
චිත්තම්මාගේ සහෝදර-සහෝදරියන්, ඔවුනගේ දූ-පුතුන් හා ඒ පවුල්වල උදවියයි.
ඒ බෝධි පූජාවට 100 කටත් වැඩි පිරිසක් සහභාගී වුණු බව ස්තුති පූර්වකව කියන්නේත් ආඩම්බරයකට නොවේ; නෑදෑ සනුහරේ තරම කියන්නටය.  

චිත්තම්මාට සොයුරු-සොයුරියන් හය-හත් දෙනෙකි. ඔවුන්ගේ දරුවන්…. අම්මෝ… මට ගණන් වැරදෙයි; හැබැයි ඒ හැමෝටම ඇය එක්කෙනෙකි; චිත්තම්මාය! 
අපේ පන්සලේ කුලඟන සමිතියේ ……..
“නිමල්, මට ලොකු උදව්වක් කරලා දෙන්න ඕනේ. හැබැයි, කාටවත් කියන්න එපා. දැන් මම කතා කරන්නෙත් කවුරුවත් නැති වෙලාවක…” 2019 අවුරුද්දේ අවසන් භාගයට කිට්ටු දවසක හැන්දෑවේ ඇය කිව්වේ දුරකථනයෙනි.

“මොකක්ද කරන්න ඕනේ අම්මේ?”
“ඔයා දන්නවනේ අපේ පන්සලේ කුලඟන සමිතිය… විල්පත්තුවේ ට්‍රිප් එක ලැහැස්ති කරල දීලා, ඔයත් ආවේ…”

“එහෙම මතක නැති වෙනවද අම්මේ? කියන්නකො මොකක්ද කරන්න ඕනෙ කියලා….”

“නිමල් ලබන මාසේ අපේ කුලඟන සමිතියේ සංවත්සරේ. යන්තං හරි ඔලුව උස්සලා ඉන්න පුළුවන් නම් මම යනවාමයි, ළමයි එපා කිව්වත්…” චිත්තම්මා එහෙමය.
තරමක් හිතුවක්කාරය. සමාජ සේවා වැඩවලට; විශේෂයෙන් පන්සලේ වැඩවලට ගියාම තිරිහන් වෙයි.

කුලඟන සමිතියේ චාරිකාව ගියාමත් එහෙමය. විල්පත්තුවේ මරදන්මඩුව බංගලාවෙදී, ඒ සාමාජිකාවෝ නැටුම්-ගැයුම්-රැඟුම්, කවි-ගීත-විරිදු, නාට්‍ය, කෙළි-සෙල්ලම් කළෝය.
ඒ වැඩි හරියක් තරගය; ආරාධිතයකු විදිහට ගිහින් හිටියා මදිවාට, මට විනිසුරුවරයෙකුගේ භූමිකාවත් කරන්නට වුණේය!

ගමන පටන් ගනිද්දීම ලොකු හාමුදුරුවන් වහන්සේ දුන් උපදේශය මම අකුරටම පිළිපැද්දෙමි. 
කුලඟන සමිතිය විල්පත්තුවේ විනෝද චාරිකාවේදී… (2018 ජුනි 30)
“අද අපි යන්නේ වන්දනා ගමනක් නෙවෙයි. විනෝද චාරිකාවක්. වැඩිහිටියන්ට ගැලපෙන විදිහට නිදහසේ ගමන යමු.
හැබැයි, මේ ගමන ගිහින් කරන-කියන විනෝද වෙන දේවල් මේ පින්වතුන් අතරේම සීමා කරලා තියාගන්න….
මට නම් ඔබ හැම දෙනෙක්ම විශ්වාස වුණත්, කෙරෙන විහිළුවක් වුණත් පුළුල් මනසක් නැති කෙනෙකුට වැරැද්දක් විදියට පෙනෙන්න පුළුවන් බවත් අමතක කරන්න එපා.”

උන් වහන්සේගේ වදන් සියල්ල මට දැන් මතක නැතත්, එහි මුඛ්‍යාර්ථය වුණේ ඒකය.

එනිසාම, චිත්තම්මාගේ දූ-දරුවන් හා මගේ මිතුරන් trip එකේ විස්තර අසද්දීත් මං නෙවෙයි මොකුත්ම පිට දැම්මේ.
(නීතියක්-රීතියක් තියෙනවා නම් එය හැම එකාටම පොදු විය යුතුය. සිරි ලංකාවේ කෙරෙනවා මෙන් නොවිය යුතුය.)
ඉතින්, මා මගේ I Pad එක එළියට ගත්තෙත් ගමන අවසානයේ කණ්ඩායම් foto එක ගන්නා වෙලාවේ විතරය!

ඒ ගමනෙදී චිත්තම්මා ‘නැන්දම්මා කෙනෙකු’ විදිහට විරිදු කිව්වාය. ‘ලේලියගේ’ චරිතයට ආවේශ වෙමින් විරිදු කිව්වේ දයාය.
දයාගේ දියණියක්; චමනි විවාහවී සිටින්නේ චිත්තම්මාගේ දෙවෙනි පුතු නලින් එක්කය. 
විරිදු කියූ දෙනෑනලා – චිත්තම්මා, දයා වස්ගමුවේ මැදපිටිය කඳවුරු බිමේ……
මේ විනෝද කතන්දර කියන්නේ කෙනෙකුට ආදර්ශයට ගන්නටත් එක්කය. මේ කොදෙව්වේ වැඩි දෙනෙකු හිතන්නේ 50-60 පැන්නාම, නර කෙසක්-දෙකක් පහළ වුණාම කළ යුත්තේ පින්-දහම් විතරක් කියලාය. එතැනින් ජීවිතය ඉවරද?

“නිමල්, ඔයාට වටින්නේ නෑ- මේ අවුරුදු හැට-හැත්තෑව පැනපු ගෑනු අවුරුදු කුමාරි තරගෙට ආවම තෝරන්න…. හාමුදුරුවෝ එක්ක. ඔයාත් විනිශ්චය මණ්ඩලේ හිටියලු නේද?”

විල්පත්තු ට්‍රිප් එකෙන් පස්සේ දායක සභාවේ උපාසක මහත්තයෙක් නෝක්කඩුවක් කියාගෙන ආවේය.
දන්නවනේ මගේ හැටි? කළේ තවත් ප්‍රශ්නයක් අසා, එතුමාව නිරුත්තර කරන එකය!

“ගමන පටන් ගනිද්දිම ලොකු හාමුදුරුවෝ දීපු උපදේශය කඩලා, එහෙදී වෙච්චි දේවල් ගැන, මෙහෙ හිටිය ඔබතුමාට ඔය කේලම කිව්ව ගොබ්බයත් දායක සභාවේ එකෙක්ද?” (ඇත්තම කිව්වොත්, ඒ කේලමා ගැන කියද්දී ‘ගොබ්බයා’ වෙනුවට මගෙන් කියවුණේ ටිකක් සැර වැඩි, පරුෂ වචනයකි.)

විදේශ රටවල වැඩිහිටියෝ නොයෙකුත් කෙළි සෙල්ලම් කරති; මුළු සිරුරටම හොඳ ව්‍යායාමයක් වෙන පිහිනීමේ පවා යෙදෙති. 60+ වේදිකාවේ සිංදු කිව්වත් අපේ වැඩිහිටියන් ගොඩ දෙනෙකු පොද වැස්සකටවත් තෙමෙන්නට බයය! පීනසේ!! ඉතින් කොහේ පීනන්නද. 

ඒකටත් එක්ක චිත්තම්මා. Trip යන්නට පය උස්සාගත් ගමන්ය; 2019 සැප්තැම්බරයෙදී ‘මන්දාරම් නුවර’ ගිය ගමනේදී බංගලාවේ නතරවී නොඉඳ, camping site එකට යන්නට කන්දකුත් නැංගාය!
අපේ සංවත්සරේ දවසට කියන්න ලස්සන කවි ටිකක්…
“ඉතින්, කුලඟන සමිතියේ සංවත්සරේ දවසට අම්මා මොකක්ද කරන්න යන්නේ?”

“මට ලස්සන කවි දහයක් විතර ලියලා දෙන්න, නිමල්. එදාට කියන්න. පාඩම් කරගන්නත් ඕනි නිසා දවසකින්-දෙකකින් ලියලා දෙනවද?”

“හරි… මම කවි ටික ලියලා අම්මට call එකක් දෙන්නම්… නැතිනං නෙවිල්වත් අඬගහගෙන ගෙනත් දෙන්නං”

“එපා, එපා, ඔයා කතා කරන්න එපා. ගේන්නත් එපා… කවුරුවත් නැති වෙලාවක මමම කතා කරලා විදිහක් කියන්නම්…”

“හොරා… මෙච්චර දවස් ඔයා ඕක අපිටවත් කිව්වේ නැහැනේ….”
බබිතා නංගී කිව්වේ ජුලි පළමුවෙනිදා අවමඟුල නිමාවී කතාබහ කරමින් සිටින අතරේය. “ඒ දවස්වල අම්මා හිටියේ අපේ ගෙදර. අපි කවුරුවත් නැති වෙනකල් ඉඳලා තමයි ඔයාට කතා කරන්න ඇත්තේ. ඉතින් කොහොමද කවි ටික අම්මට දුන්නේ?”

“නංගි දන්නවද, අම්මට ගොඩක් කවි කියන්න මහන්සි වැඩි නිසා මම ලියලා දුන්නේ පහයිද කොහෙද. ඒත් මම අම්මගෙන් ඇහුවේවත් නැහැ කවි ටික කිව්වද කියල….” මා කීවේ ඇත්තය.

මරණයේ ද්වාරය අබියසටම ගිහිනුත් චිත්තම්මාට ආපසු එන්නට හැකි වුණේ…..

අවුරුදු දෙකක විතර කාලයක් තිස්සේ චිත්තම්මා හිටියේ අසනීපයෙනි. කිහිප වතාවක්ම මරණයේ දොරටුවටමත් ගිහින් ආපසු ආවාය. ආවාමත් නොවේ; දූලා-පුතාල එකතුවී full ඩම් දමා, ඇයව ආපසු මෙලොවට ඇදගත්හ.
ඒ ලක්ෂ ගණනින් වියදම් කරමිනි; සැත්කම් ගණනාවක් කරවමිනි; වෙලාවක්-අවේලාවක් නොබලා උදව් කළ හිත-මිතුරු දොස්තර මහත්වරුන්ගේ සහාය ලබා ගනිමිනි.

මට වැඩියෙන්ම උදව් කරන්නේ ඒ මහත්වරුන්ය. ඒ දොස්තර මහත්තුරුන් සේරමලා නලින්ගේ බැචාලය! ඒ අතින්, චිත්තම්මා කොච්චර වාසනාවන්තද? ලොකු පුතා ඉංජිනේරුවෙකි, දෙවැන්නා දොස්තරෙකි!! 

‘අම්මාට හොඳටම අමාරුයි’ පණිවිඩය නිසා නලින් ඕස්ට්‍රේලියාවේ සිට කිහිප වතාවක්ම ලංකාවට ඉගිල්ලුණාත් එක්කය.
අන්තිම වතාවේ නම් ‘කොරෝනා නීති’ නලින්ට හරස් වුණේය.

“මේකයි බබිතා නංගී. මම එහෙම අම්මගෙන්වත් ඇහුවෙ නැත්තේ සංවත්සරේට නොයැවුණාවත්ද කියලා සැක හිතුණු නිසයි. එතකොට දුක හිතෙනවනෙ….”

“කොහෙ දුක හිතෙන්නද නිමල් අයියේ…. අම්මා ගියානෙ. සමිතියෙ සංවත්සරේට යන්නම ඕනියි කිව්වා…. එහෙදී කවි ටිකකුත් කිව්වයි කියලා ආරංචි වුණා. දැනුයි දන්නේ ඒවා ඔයා ලියපු විත්තිය. ඉතින්, කියන්නකෝ අපේ අම්මා හොරෙන්ම ඒවා ගෙන්න ගත්තේ කොහොමද කියලා….”
චිත්තම්මා ඔස්ට්‍රේලියාවෙදීත් ගිරි මුදුනක… රසිකා, කවිජ, වෙනුජ සමඟින්…..
“පස්සේ වෙලාවක ඔයාලගේ අම්මම call කළා….”

කවි ටික ලියූ කොළය ලියුම් කවරයක දමා, එය බණ පොතකට දමා තියන්නැයි ඇය මට කීවාය. “මම අපේ දයාපාලව එවන්නම්, ඔයා ළඟ තියෙන බණ පොතක් ගෙන්නා ගන්න විදිහට.”

බොරුවට රඟනවා වුණත් එය හරියටම කිරීම ‘අමු කැලේගේ මුණුබුරා’ වන මගේ පුරුද්දය.
“අම්මේ, මම ඒක පන්සිය පනස් ජාතක පොත ඇතුළේ දාල එවන්නං. පොත ලොකු හින්දා තව බෑග් එකකත් දාන්න පුළුවන්නෙ, එතකොට.” මම කිව්වෙමි.

“…. එතකොට දයාපාල බාප්පා අතින් නිකමටවත් පොත දිග ඇරෙන්නෙත් නැහැනේ…” 

දයාපාල බාප්පාය කිව්වේ, චිත්තම්මාගේ නැඟණියගේ සැමියාටය. එයා එන්නේ ත්‍රී වීලරයේය.

චිත්තම්මා මට දෙවෙනි නැත. දයාපාල බාප්පා ආවේ මොනර කොළයකුත් දික් කරගෙනය. “පිස්සුද දයාපාල බාප්පේ? මේ පොතත් එක්කම ඕක ආපහු දීලා, චිත්තම්මාට කියන්න පොත මගේ ගණනේ කියලා.” 

“එහෙනං ඒ පොත තමයි, අපේ අම්මා නන්ද කුමාරලගේ අම්මට දෙන්නය කිව්වේ. මම අද උදෙයි ඒක එයාට දුන්නේ, ඇඹිලිපිටියේ ඉඳල ආවම… බෑග් එක පිටින්ම තිබ්බේ. මං ඇතුළ බැලුවෙ නෑ” බබීතා නංගී කිව්වාමය, සම්බන්ධ කරගන්නට හිටි එක link එකක් ගිලිහුණු බව මට තේරුණේ.
නෑදෑ සනුහරයක් එක්කම ඔස්ට්‍රේලියාවෙත් සංචාරය කරන්නට ගිහින්…. 
“අම්මා ගැන මොනවා හරි ලියවෙන්නයි හිතේ තිබ්බේ…. ඒකට ඔය කවි ටිකෙනුත් වැඩක් වෙයි කියලයි හිතුවේ. මම ඔයාට කියන්න ආවේ ජාතක පොත ඇතුළේ බලන්න, කවි ටික තියේද කියලා. දැන් වැඩේ ගැස්සුණානෙ…”

“හොඳ වැඩේ…. දැන් යමුකො ඇඹිලිපිටි, නන්දෙගෙ අම්මා පස්සේ….” එතනම හිටි අයස්මන්ත මට කෝචෝක් කළේ උඩ පනිමිනි. “පණ්ඩිතයට කෙළවෙලා!”

එතැන හිටි හතර-පස් දෙනාම හිනා වුණත් මට මොකෝ? කවි නැතිව post එක ලියනවා…. මම හිතා ගත්තෙමි.

පහුගිය අවුරුදු තිස් ගණන මුළුල්ලේම ප්‍රියන්තලා ගිය සංචාරවලින් මට miss වුණේ තුන-හතරකි.
සුපුරුදු විදිහටම අලුත් අවුරුදු දිනවලදී මඩොල්සිම යන්නටත් ප්‍රියන්ත දින වෙන් කරවාගෙන අත්තිකාරමුත් ගෙවා තිබිණි.

“ඔන්න නිමල්, ඒ දවස්වලට වෙන ගමනක් දාගන්න එපා… මම නෙවිල්ටත් කිව්වා….”. ප්‍රියන්ත මට කිව්වේ මාර්තු මාසයේ මුලදීමය.

“නිමල් අයියට කියන්න, අපේ අම්මා කියලමයි තිබුණේ මඩොල්සිම යන්න එයාට වෙනම වාහනයක් ඕනෑ කියලා… හිතුණු වෙලාවට ඇඳ වගේ එහෙම පිටින්ම දිගාරින්න පුළුවන් සීට් තියෙන එකක්…” බබිතා කිව්වාය.

කොරෝනා හින්දා ඒ සැලසුම් සේරම වතුරේ ගියේය.
පියවි ඇසින් දකින්නට බැරි කොරෝනා වෛරසය නිසා සේරම සැලසුම්….
“නිමල්, අපේ අම්මා අලුත් ගවුම් වගේකුත් අඳින්නේ නැතිව තියාගෙන හිටියේ… ට්‍රිප් එක ගියාම අඳිනවා කියලා….” කොරෝනා නිසා ගමන cancel වුණාම ප්‍රියන්ත කිව්වේය.

Covid 19; පියවි ඇහින් දැකගන්නටවත් බැරි තරම් පුංචි වෛරසයක් කොච්චර බලසම්පන්නද කියලා මට හිතුණේ එතකොටය;
‘ආරෝග්‍යා පරමා ලාභා’ බුදු වදනේ මහිමය නැවතත් පසක් වුණේ එතකොටය.
 
“අනේ නිමල්, පේනවනේ… ඉස්සර trip එකක් ගියාම මම මෙහෙම පැත්තකට වෙලා ඉන්නවද? එපා වෙනවා මෙහෙම නිකං ඉන්න ගියාම….” චිත්තම්මා මට කිව්වේ අප 2019 දෙසැම්බරයේදී, ඇල්ලේ ‘Renuka’s Rest’ එකේ  හිටිද්දී කතාවට අල්ලා ගත්තාමය. 

“නිමල් අයියේ, ඔයා වගේ ලේසියෙන්; ලෙඩේ හිතට ගන්නේ නැතිව ඉන්න හැටි ගැන අම්මට කියන්නකෝ, පුළුවන් නං. ලොකු දෙයක්!” කියලා මාව චිත්තම්මා ළඟට යැව්වේ ප්‍රියන්තගේ බිරිය රසිකාත්, චිත්තම්මාගේ නැඟණිය රානි පුංචිත් දෙන්නාය.

මමත් මගේ අත්දැකීම්, අපහසුකම් දරාගන්නා අයුරු ඇයට කිව්වෙමි. කියන්නට නම් ලෙහෙසිය. අමාරු ඒවා කරන එකය!

“දැන් පැත්තකට වෙලා ඉන්න එක ඇත්ත අම්මේ…. පේනවනේ… ඉස්සර වතුරක් දැක්කොත් මම ඒකට නොබැහ ඉන්නවද? දැන් වතුරක් දැක-දැක ගොඩට වෙලා ඉන්නේ. හැමදාම හැමදේම එකම විදිහට තියෙන්නේ නැහැනෙ අම්මෙ. ඒවා ගැන ආසා හිතලා දුක් වෙනවට වැඩිය මම නම් කරන්නේ, ඒ දවස්වල කරපු දේවල් ගැන හිතලා සතුටු වෙන එක…. දැන් බලන්නකෝ… අම්මා කී සැරයක් නම් දඹදිව වන්දනාවේ ගියාද? ඇයි කඨින පිංකම?….”
ඒකනේ, 2022 තමයි මට කඨිනෙට දින ලැබුණේ.. 2015 කඨින පිංකම බාරගෙන හිටි අයට….
එතකොට නම් චිත්තම්මාට හිනාවක් නැඟිණි.
“අනේ ඔව් නිමල්. මට දිනේ ලැබිලා තිබුණේ 2022.
ඒකෙත් හැටි බලන්නකෝ….. 2015 දී කඨින පිංකම බාරගෙන හිටි අයට ඒක කරන්න බැරි වුණේ මගේම පිනට.
ඒ නිසානේ මට ඒ චාන්ස් එක හම්බ වුණේ…. අනේ, අපේ දරුවෝ- නෑදෑයෝ-යාළුවො සේරම එකතු වෙලා, හදිස්සියේම වුණත් මට කොච්චර ලස්සනට ඒ පිංකම කරන්න සලස්සලා දුන්නද?”

“ඒකනේ කියන්නේ අම්මෙ….. කොච්චර දේවල් තියෙනවද අපට සතුටු හිතන්න. එතකොට ඇඟේ ලේත් පිරිසිදු වෙනවා… තියෙන කරදර වුණත් අමතක වෙලා යනවනෙ…”

හැම දෙයක්ම හිනාවෙන් බාර ගන්නටත් ලොකු වාසනාවක් තියෙන්නට ඕනෑය. 

දරු-මුණුබුරන් ගැන වුණත් තියෙන බැඳීම අත්හරින්නට හැකියාව ලැබෙන්නේ ටික දෙනෙකුටය. දරු-මුණුබුරන් විතරක් නොවේ, මී මුණුබුරු-මිණිබිරියන් ගැනත් චිත්තම්මා ආදරෙන් හිටියා වැඩියි වගෙය! (මට එහෙම හිතෙන්නේ මගේ නසරානිකම නිසා වෙන්නත් ඉඩ තිබේ.)

“නාකි වෙනකොට අපිට කොහොම වෙයිද මචං?” අවමංගල්‍යය අවසානයේ චිත්තම්මා ගැනත්, දැන් ටිකෙන්-ටික ඩිමෙන්ශියාවටම බර වෙමින් ඉන්නා නෙවිල්ලාගේ අම්මා ගැනත් කතා කරමින් ඉඳිද්දී ඉන්දිරා හෙට්ටිහේවා මගෙන් ඇසුවාය. 
අපි ආවා වගේම යන්නත් එපැයි. සැනසිල්ලේ ඒ ගමන යන්න ලැබෙනවා නම්……
“ඒ කිව්වේ තව අවුරුදු පනහකින් විතරද?”

“උඹට ඉතින් කොයිකටත් හිනානෙ….”

“මම නම් හිතන්නේ ඉන්නෝ, සුදු අම්මා ගියා වගේ යන්න තියෙනවා නං කියලා….”

සුදු අම්මා කිව්වේ ඉන්දිරාගේ ලොකු අම්මාටය; ගීතාගේ අම්මාටය. සුදු අම්මාත් සනුහරේකටම නායකත්වය දුන්නියකි! හදිසියේ රෝගීවී ජුබිලි කණුවේ ගෙදර සිට කළුබෝවිල රෝහලට ගෙනයන ටිකට ඇය ඇස් පියාගෙනත් ඉවරය.

“…හිතුවට කොහොම වෙයිද කියලා නං දන්නෙ නෑ. හැමදාම ඉන්නයැ, ආවා වගේම යන්නත් එපැයි. කවුද හිතුවේ චිත්තම්මා වුණත් ටික කාලෙකට හරි මෙච්චර වේදනාවක් විඳියි කියලා…. ටික කාලයක් වුණත්, වේදනා විඳ-විඳ ඉන්නෙ නැතිව ඉක්මනට යන්නයි තිබ්බේ…”

චිත්තම්මා මියගියාට කණගාටුවක් නැතැයි මා කිව්වේ ඒ පදනමෙනි. 

චිත්තම්මාගේ වියෝව තලපත්පිටියටම දැනුණු එකකි! (foto- සෙරාන් එච්. ගමගේ)

              හිටියත් දරු කැලක් ‘චිත්තම්මා’   අම්මේ 

              තව කප්පරකටත් අම්මා විණි       අම්මේ 
              මව්වත්කමට සීමාවක් නැත         අම්මේ 
              නිවනින් නිවී සසරින් ගොඩවෙනු අම්මේ෴
%d bloggers like this: