Menu Close

ශ්‍රී ලංකාවේ ඇත් පරපුරට මුල්වරට එක් වූ නිවුන්නු!

ශ්‍රී ලංකාවේදී පළමුවරට කණෙරක් විසින් ඇත් පැටවුන් දෙදෙනකු බිහිකර ඇති බැව් රජරට ජාතික වනෝද්‍යානයකින් වාර්තා වුණා. මේ අලුත බිහි වූ නිවුන් ඇත් පැටවුන් දෙදෙනා දැක ඇත්තේ මින්නේරිය ජාතික වනෝද්‍යානයේදීයි, මේ පැටවුන් දැක ගැනීමට හැකිවී ඇත්තේ, ජූලි මාසයේ පළමු වන සතියේදි, අලි ඇතුන් 12 දෙනකු පමණ ඉන්නා රෑනක් සමගයි.

අලුත බිහි වූ නිවුන් ඇත් පැටවුන් දෙදෙනා

නිවුන් අලි පැටවුන් ඉපදීමේ සම්භාවිතාව ඇත්තේ සියයට එකක් පමණයි. ඒ නිසා නිවුන් පැටවුන් දෙනෙකු ලැබීම වාසනාවක් සේ සැලකිය හැකියි. ඇත් රංචුවට අලංකාරයක් වූ ඒ දසුන මුලින් ම දුටු වනජීවී නිලධාරින්ගෙන් ඒ බව දැන ගත් ආචාර්ය සුමිත් පිලපිටිය ඔවුන් දැක ගැනීමට වහා මින්නේරිය බලා ගියා. ඒ ඇත් නිවුන්නුන්ගේ සුරතල් ලෝකයට දැක ගැනීමට ලැබුණේ ඔහු‍ගේ කැමරාවෙනුයි.

වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල්වරයකු හා වනජීවී සංරක්ෂණය පිළිබඳ ජගත් විශේෂඥයකු වන ආචාර්ය සුමිත් පිලපිටිය සහ වනජීවී නිලධාරීන් පිරිසක් කළ නිරීක්ෂණවලින් මේ බව තහවුරු වුණා. සති 3ක් හෝ 4ක් වයසැති මේ පැටවුන් එකම කෙණෙරකගෙන් කිරි උරා බොන, ඒ කෙණෙර සමඟ නිතර ගැවසෙන බව, බොහෝ වේලාවක් ඔවුුන්ගේ හැසිරීම් රටා නිරීක්ෂණය කළ ආචාර්ය පිලපිටිය ප්‍රමුඛ කණ්ඩායම නිගමනය කර ඇති අතර මින්නේරිය ජාතික වනෝද්‍යානය භාර භාතිය මඬුගල්ල පවසා ඇත්තේ මෙය තවදුරටත් තහවුරු කර ගැනීමට දැනටමත් ඩීඑන්ඒ පරීක්ෂණ කරන්න සැලසුම් කර ඇති බවයි.

 
නිවුන් ඇත් පැටවුන් දෙදෙනා දැක ඇත්තේ 
මින්නේරිය ජාතික වනෝද්‍යානයේදීයි,

ශ්‍රී ලංකා අලියා, (Elephas maximus maximus) ආසියානු අලියාගේ උප විශේෂයන් තුනෙන් එකක්. 1986 වඳ වී යාමේ තර්ජනයට ලත් සත්වයකු ලෙස (IUCN- The International Union for Conservation of Nature) විසින් නම් කරනු ලැබුවා. ශ්‍රී ලංකා භූමියෙන් සියයට හැටක අලින් ජීවත් වන බව සඳහන් වෙනවා. හොඳින් වැඩුණු අලියකුගේ උරහිස තෙක් උස මී. 2 (අඩි 6.6)ත්, මී. 3.5 (අඩි 11.5)ත් අතර වෙනවා. සිරුරේ බරත් කි.ග්‍රෑ.2,000 (රා. 4,400)ත්, කි.ග්‍රෑ. 5,500(රා.12,000)ත් අතර වෙනවා. අලියකුගේ සාමාන්‍ය ජීවිතකාලය වසර 55ත් 70ත් අතර වෙනවා.

අලියාගේ ශ්‍රවණ හැකියාව මිනිසාගේ ශ්‍රවණ හැකියාව ඉක්මවා යන පරාසයකයි, තියෙන්නේ. එය හර්ට්ස් 16සිට 12,000 අතර පරාසයක විහිදෙනවා. මේ නිසා අපට නෑසෙන හඬ බොහොමයක් අලියාට ඇසෙනවා. ඒවාගේම අපට නෑසෙන්නට ඔවුනොවුන් සමග කථාබහ කරන්න අලින්ට පුළුවන්. අලියාගේ පාදවල පිහිටීමේත් විශේෂත්වයක් තියෙනවා. අලියාගේ පාද හතරම නැවෙන්නේ එකම අතටයි. අනිත් කිසිම සතකුට මේ පිහිටීම නැහැ. මෙය උගේ දැවැන්ත සිරුර හැසිරවීමට පහසුවක් වෙනවා. ඒවාගේ ඒ නිසාම ඌට සිරුරට සාපේක්ෂව අනිත් සතුන්ට වඩා වැඩි වේගයකින් දුවන්න පුළුවන්. සතුන් අතර දිගම නහය ති‍යෙන අලියා එය අතක් ලෙස පාචිච්චි කරන බව ඔබ දන්නවා. ඒත් ඔබ දන්නවාද අලියකුට ඔය විස්මිත අතින් අල්පෙනෙත්තක් වුවත් අහුලා ගන්න පුළුවන් බව.

මේ පැටවුන් එකම කෙණෙරකගෙන් කිරි උරා බොන, 
ඒ කෙණෙර සමඟ නිතර ගැවසෙන බව

2011 වනජීවී සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ අලි සංගණනයට අනුව මෙරට සිටි මුළු වන අලි ගහනය 5879කි. මේ වන අලින්ගෙන් සියයට 67.19ක් වනජීවී රක්ෂිතවලද, සියයට 29.78ක් වනරක්ෂිත දෙපාර්තමේන්තුවට අයත් වනාන්තරවලද, සියයට 2.03ක් හුදෙකලා වනාන්තර කුට්ටිවල ද සිටිනවා. 1900 ගණන්වල 12,000ක්ව තිබූ අතර මෑත දී කළ නිල සංගණනය අනුව අලි ගහනය 6000ක් දක්වා පහත වැටී තියෙනවා. ඒ අනුව වසර සියයක් තුළ හරි අඩකින් අඩුවී තියෙනවා. 2020 වන විට මෙරට ඇස්තමේන්තු ගත කළ අලි ගහණය 7,500ක් යයි සැලකෙනවා.

වසරක් පාසා අලි ඇතුන් 250ක් පමණ විවිධ හේතූන් මත අපට අහිමි වී යනවා. අලි ඇතුන් මිය යන ප්‍රධාන හේතුව අලි මිනිස් ගැටුමයි. 2016 වසර තුළ පමණක් අලි 270ක් මරා දමා තිබෙනවා. ඒ වසරේ අලි පහරදීමෙන් සිදු වූ මිනිස් මරණ 68ක්. 2018 දී අලින් 319ක් හා මිනිස් ජීවිත 96ක් ද, 2019දී අලින් 361ක් හා මිනිස් ජීවිත 29ක් ද අහිමි වුණා. 2017 අයවැය ලේඛනයේ සඳහන් වුණා, ගත වූ වසර 5 තුළ 1380ක් අලින් ඝාතනයට ලක් වූ බව. මේ ආකාරයට මියයන අලි වැඩි දෙනෙක් අවුරුදු 20-40ත් අතර ශක්තිමත් පිරිමි අලින් බව හෙළිදරවු වී තියෙනවා. එය අනාගත පරපුරට බලපානවා. 2014-2018 තෙක් අලින් පහරදීම නිසා සිදු වූ මිනිස් මරණ 401ක් ලෙස දැක්වෙනවා. අලි මිනිස් ගැටුම නිසා වසරක් පාසා මිනිස් ජීවිත 59ක් විතර වන අලි පහරදීම්වලින් මිය යනවා. අලි මරණවලින් සියයට 85ක් සිදු වන්නේ මිනිස් ක්‍රියාකාරකම් නිසයි. ගොවීන් අලින් දෙස බලන්නේ වගා වනසන කෘමීන් දෙස බලන්නාක් වගෙයි.

සති 3ක් හෝ 4ක් වයසැති මේ පැටවුන්

ශ්‍රී ලංකාවේ භූමි ප්‍රදේශයෙන් සියයට 60ක වන අලි වාසය කරනවා. එහෙත් ස්වාභාවික පරිසරයේදී සංචාරකයන්ට වන අලි දැක ගත හැකි ආරක්ෂිත ස්ථාන වන්නේ ජාතික වනෝද්‍යානයි. ඒ අතර කවුඩුල්ල, යාල, මින්නේරිය, උඩවලව ආදිය ප්‍රධානයි. කෑගල්ලේ පින්නවල අලි අනාථාගාරය හා උඩවලව ඇත් අතුරු සෙවන යන ස්ථානයේත් අලි ඇතුන් රඳවා තබනවා. එයින් පින්නවල අලි අනාථාගාරය පිහිටුවා ඇත්තේ කැළයේ දී අනතුරට ලක්ව අලි ඇතුන්ට ප්‍රතිකාර කිරීමටත්, මවු කෙණෙර මිය යාම නිසා අනාථ වන පැටවුන් හදා වඩා ගැනීමටත්, පාවිච්චි කිරීමටයි. එහි අලි ඇතුන් 70ක් පමණ ඉන්නවා. උදේ පාන්දර අලි බලන්නට යන සංචාරකයන්ට, පැටවුන් කිරි පෙවීමටත්, ලොකු අලින්ට පලතුරු කැවීමටත්, අවස්ථාව ලැබෙනවා. උඩවලව ඇත් අතුරු සෙවණ පිහිටුවා ඇත්තේ, කැළේදී මව මිය යාම නිසා අනාථ වන හෝ අනතුරට ලක් වන කුඩා පැටවුන් හදා වඩා ගෙන නිසි වයසේ දී ආපසු කැළයට මුදා හැරීමටයි.

හීලෑ අලි ඇතුන් පිට යාමට ආසා කරන විදේශික සංචාරකයන් වැඩි දෙනකු ඒ සඳහා යන්නේ හබරණටයි. කොළඹ සිට කි.මී. 210ක් දුරින් පිහිටි මේ ප්‍රදේශයේ දී රාත්‍රි කාලයේ දී වන අලින් මහා මර්ගය හරහා යනු දැක ගත හැකියි.

වන අලි ඇතුන් පිටරට පැටවීම ශ්‍රී ලංකාවේ නීතියෙන් තහනම් වුවද විශේෂ අවසර මත එතෙර රටවලට තෑගි වශයෙන් දුන් හීලෑ අලි ඇතුන් පවා ඒ රටවල දී පීඩාවට පත් වී ඇති බවට වාර්තා තියෙනවා. විදේශ රටවල දුක් විඳින අපේ අලි ගැන හොඳම නිදසුන එන්නේ පාකිස්ථානයෙන්. ඒ ‘කාවන්’ හස්තියායි. 1985 වසරේදී ශ්‍රී ලංකා රජයේ තෑග්ගක් ලෙස එවකට පාකිස්ථාන ජනාධිපති සියා උල්හක්ට තෑගි කරන ලද්දේ වසරක් වයසැති පැටියකු ලෙසයි. ඌ ඉස්ලාමාබාද්හි මර්ඝසාර් සත්වෝද්‍යාන‍යට බාර කෙරුණු අතර මුළු පාකිස්ථානයටම සිටි එකම ශ්‍රී ලංකා අලියා වුණා.

‘කාවන්’ පාකිස්ථානයේ සත්තු වත්තේ දී 
සිය දුක පළ කරමින් සිටි අවස්ථාවක්

‘කාවන්” දැන් 33 වැනි වියේ පසු වෙනවා. ඒ හස්තියා පීඩාවට පත්ව ඇති බව දුටු සත්ව හිංසාව පිටු දකින පරිසරවේදීන්ගේ උද්ඝෝෂණය නිසා ‘කාවන්’ වෙනුවෙන් ලෝක ජන මතයක් ගොඩ නැඟුණා. පරිසරවේදීන් ලක්ෂ ගණනක පෙත්සමක් අත්සන් කළා. ඒ සඳහා මූලිකත්වය ගෙන ක්‍රියා කළේ ෂෙයා නම් ඇමරිකානු පොප් තාරකාවයි. එහි ප්‍රතිඵලයක් වශයෙන් වසර හතරක නඩු විශාගයකින් පසු පසුගිය මැයි 31 වැනිදා ඉස්ලාමාබාද් මහාධිකරණය ‘කාවන්’ ගැන තීන්දුවක් දුන්නා. ඒ තීන්දුව අනුව කාවන් පීඩාවට පත් වූ බව පිළිගත් මහාධිකරණය කාවන් එතැනින් නිදහස් කර දින 30 ඇතුළත පහසුකම් සහිත සුදුසු තැනකට යවන ලෙසත් ඒ සඳහා ශ්‍රී ලං‍කාවෙන් උපදෙස් ලබා ගෙන්නා ලෙසත් නියෝග කළා. පාකිස්ථානයේ වන අලි සඳහා අභය භූමියක් නැති නිසා අවශ්‍ය නම් වෙනත් රටකට යවන ලෙසටත් නිර්දේශ කරලා තියෙනවා. කාවන්ට විසඳුමක් එරට නැති නම් අපට මෙහි ගෙන්වා ගැනීම හොඳ යයි මට සිතෙනවා.

මේ ආකාරයට ම අපෙන් එතෙර රටවලට තෑගි දුන් තවත් අලින් ගැන ශෝකජනක පුවත් වාර්තා වුණා. රුමේනියාවේ ටාගු මියුරේ සතුන් වත්තේ ටානියා, පිලිපීනයේ මැනිලා සතුන් වත්තේ මාලී, කැනඩාවේ එඩ්මන්ටන් වැලී සත්තු වත්තේ ලුසී ඉන් කීප දෙනෙක්. ඒ වෙනුවෙන් නිසි මැදිහත් වීමක් ශ්‍රී ලංකාවෙන් වත් සිදු වුණේ නැහැ.

විදෙස් රටවල පීඩාවට පත් වූ අලින් ගැන අවධානය යොමු නොකළා පමණක් නොව ශ්‍රී ලංකාව තුළ පීඩාවට පත් වූ අලින් ගැන පවා අවශ්‍ය අවධානය යොමු වූ නැත. වනයේ වෙසෙන කෙණෙර මවුන් මරා පැටවුන් අල්ලා ගෙන අවුත් නීති විරෝධී ව ව්‍යාජ බලපත්‍ර මත විකිණීම හා පන්සල්වලට පරිත්‍යාග කිරීම පිළිබඳ නඩු ගණනාවක් ම පවරනු ලැබූ හැටි අපට මතකයි.

අලි ඇතුන්ගේ අනාගතය ගැන අප දක්වන උනන්දුව ඉතා මඳ බව, මගේ හැඟීමයි. ඔවුන් රැක ගැනීමට දීර්ඝකාලීන වැඩ පිළිවෙළක් සකස් කර නැහැ. දැන් වඳ වී ගෙනයන වේගය අනුව මේ අපූරු සත්වයා අපට බලන්නට, තවත් අවුරුදු 20කට 25කට වඩා ජීවත්වෙතැයි සිතන්න අමාරුයි.

ලෝකයේ වන සතුන් අතරින් ගොඩබිම වෙසෙන විශාලතම සතාත්, මුහුදේ වෙසෙන ලොකුම සත්වයාත්, එක දවසක් තුළ, (උදේ මිරිස්සේ මුහුදේදී නිල් තල්මහත්, සවස යාල අභයභූමියේදී අලියාත්) බලන්න පුළුවන්, ලොව එකම රට හැටියට අපට ලොව පුරා පවතින කීර්තිය අලියාගේ වියෝවීම සමග අපට අහිමිව යාවි.

 – පර්සි ජයමාන්න

%d bloggers like this: