Menu Close

කලන්තේ දැමීම්

අද මා සේවය කරන සෞඛ්‍යායතනයේදී පුහුණුවට පැමිණි හෙදියන් හෙද සොයුරන් පිරිසක් දකින්නට ලැබුනා.
ඔවුන් අතරින් පැමිණි කෙනෙක් ඇසුවේ “ඩොක්ටර් උතුරේ අහවල් රෝහලේ වැඩකළා නේද ?” කියා ය.
මට එවිටම ඔහුව මතකයට ආවේ එහි හමුවූ හෙද සොයුරෙක් ලෙසය එහෙත්  ඔහු වැඩ කළ ඒකකය මතකයට ආවේම නැත.
“තියටර් එකේ මතකද ඩොක්ටර්” ඔහු ඇසූවිට මටටක්කෙටම මතක් විය.
“ඔව්නේහැබැයි මම ඊටපසු අවුරුද්දේ මාරුව ලැබ කොළඹ ආවා” මම කීවෙමි.
මෙච්චර මේ මූඛ නහය ආවරණය කර ගනිමින් මාස්ක් දමා සිටියද අවුරුදු 8 කට පසුව වුවද ඔහු මා හඳුනාගත් හැටි පුදුමය.
අප වැඩකරන ඕනෑම තැනක සෑම අංශයකම අය හා සුහදව කටයුතු කිරීමද ඔවුන් සැම තරාතිරම් ලෙස නොව මිනිසුන් ලෙස සැලකීමද මා උගත් දහමය. ඒ සමග සහෝදරත්වයෙන් වැඩ කළ නිසා ඔවුන් සැම , ගෙවල්වලින් බොහෝ දුර බැහැර වැඩ කළ අප වෙත දයාබර වූවෝය.

ඇත්තටම ඔහුව මතකයට නැඟීමත් සමග එහි සිදුවූ සිදුවීමද මතක් වුණි.  පත්වීම ලැබ තියටර් එක හෙවත් සැත්කම් කරන ශල්‍යාගාරයේ පුහුණුවට ආ ඔවුන් කිහිප දෙනෙක් අප සැත්කම් කරනු බලා සිටින්නට විය. පළමු දවසෙම ඔහු කලන්තය හැදී වැටුනේ අප සැම පුදුම කරමිනි. මන්ද ඔහු වැටෙනකම් අප දුටුවේ නැත.
එදා සියල්ලන්ටම ඔහුව බයිට් එක විය.

ඉන්පසු එළඹි දිනක වාට්ටුව බලන් හිටි මා වෙත ආ දුරකථන ඇමතුමකි. “ඩොක්ටර් ආර් කලන්තේ දැම්මා ඉක්මනින් තියටර් එකට එන්න”
කලන්තේ දමා සිටියේ සුමිතුරු වෛද්‍යවරයාය.
නිතරම විහිළුවෙන් ඉන්නා මේ සගයා, ප්‍රසව හා නාරිවේද ඒකකයේ ඉන්න බහුතරයක් දෙනා හෙදියන් සුළු සේවිකාවන් සහ වෛද්‍යවරියන් දෙදෙනා සහ රෝගීන් සියල්ල ස්ත්‍රීන් නිසා… මේක නම් ඉතින් පිටරට විකාශය වන විහිළු නාට්‍ය සීරීස් එකක් වැනි ජීවිතයක් බව කියමින් සිටියේය.
දැන් ඔහු කලන්තේ දමා ඇත.
 ඉතින් එදා සිට මම ඇතුළු හෙදියන් අප සියල්ලන් බොහෝදිනක් යනකම් ඔහුට විහිළු කළේ “වැඩක් නෑ ඉතින් ඔහොම කලන්තේ දමනවානම්” කියාය. ඒවෙනකොට ශල්‍යාගාරය සහ සැත්කම් අපට ඒ තරම් හුරු පුරුදුය.
” අධි ආලෝක අර තියටර් ලයිට් එක ඔළුව මුදුනේ තියන් අලුත් සර් ට ඇසිස්ට් කරලා බලන්න” ඔළුව නම් රත් වුණා නොසෑහෙන්න”
කියමින් ඔහු නිදහසට කාරණා කීවේය.
ඉන් පසු එවැනි කාලයවැයවන සැත්කම් සඳහා අත්  උදව් දීම භාර වුනේ මට ය. එහෙව් එක් දිනක තියටර් එකේ ලයිට් එක (අධි ආලෝකමත්) ඔළුව උඩින් ම විහිදෙන සැත්කම් දිනයක මට ද සිදුවුනේ ඇස් නිලංකාර වේගෙන යද්දී අසල සිටි හෙදියට යන්තම් කියා ගැනීමය.
“මිස් මට කලන්තේ වගේ”
මිස් පැමිණ මා පසු පසින් සිට ගත්තේ හරි යාවිද බලන්නය.. හරි යන පාටක් නැත.
“තව පොඩ්ඩයි මේ ටික මට කරගන්න පුළුවන්” සර් කීවෙන් මා විගහින් ශල්‍යාගාරයේ පොළොවේම හිඳ ගත්තෙමි. ඔළුව පහත් කර ගත්තෙමි මදක් හරි යාගෙන එද්දී නැගිට එළියේ හාන්සි පුටුවට ගියෙන්, සීනි සංතෘප්ත ඩෙක්ස්ට්‍රෝස් ද්‍රාවණයක්ද ටිකකින් උණු උණු කිරි තේකක්ද ලැබුනෙන් යතා තත්ත්වයට පත් වීමි.
“දිට්ඨ දම්ම වේදනීය කර්ම” වෛද්‍ය ආර් ට හිනා වූ මට ආර් පැවසුවේය. දොස්තරලා දෙන්නෙක්ම කලන්තේ දැමූ හෙයින් හේතු සෙව්වෙමු. අලුත් සර් ලයිට් මදි කියද්දී තියටර් එකේ අතිරේකව ඇති බල්බ් එකක් සහිත ලාම්පුවක් ගෙන අත් උදව් දෙන අනෙක් වෛද්‍යවරයා සිටින පැත්තෙන් අපට කෙළින් අටවන හෙයින් මේ අලකලංචිය සිදුවන බව එක හේතුවක් විය.
“තියටර් එකේ  ඒ ලයිට් එක සැර වැඩී තමා. VH &R එකට ඇසිස්ට් කරද්දී කෙලින්ම ඔළුව උඩ. ඒක තමා ප්‍රශ්නේ”  වෛද්‍යවරු දෙන්නෙක් කලන්තේ දැමීමට හේතුව එසේ තීන්දු විය.

උතුරු කොන සේවය කළ කාලයේ රස කතා

%d bloggers like this: