Menu Close

වාහන විත්ති 404 – එක්සත් රාජධානියේ වාහන ආරෝපිත ස්ථාන සහ ලංකාවට ඉන් ඇති වැදගත්කම.

SOLARබ්‍රිතාන්‍යයේ සිද්ධියක් ලංකාවට ආදේශ වන්නේ කෙසේදැයි කෙනෙක් සිතනු ඇත. ඇත්තටම ඊට හේතු ඇත. එනම් ලංකාව බ්‍රිතාන්‍ය යටත් විජිතයක් වීම හෙයින් හෝ, මිනිසුන් සිතන විදිය තරමක් බ්‍රිතාන්‍යයන්ට සමාන වෙන නිසාදෝ [අනුමානයක් පමණි] , ලංකාවේ ජනතාවද ඒ ආකාරයට හැඩ ගැසෙන්නේද යයි සිතේ. බ්‍රිතාන්‍යයෙන් ලැබුණු අධ්‍යාපන ක්‍රම, නීති පද්ධතිය, දේශපාලන සහ පාර්ලිමේන්තු ක්‍රමයද තවත් කරුණක් වන්නට ඇත.

ශත වර්ෂයකට සමීප කාලයක් තුල ලංකාවට බ්‍රිතාන්‍යයෙන් ගෙන්වන ලද මෝටර් වාහන වර්ග මෙන්ම, නොයෙකුත් ආකාරයේ යන්ත්‍ර හේතුවෙන්ද, ලංකාවේ ජනතාව බ්‍රිතාන්‍යයේ වන සිදුවීමකට වඩාත් සිත් යොමු කිරීම තවත් හේතුවක් වේ. 

අතීතය මතක ඇති කෙනෙක්ට මොරිස් මයිනර්, හිල්මන්, කේම්බ්‍රිජ් ,වොක්සෝල්, ෆෝර්ඩ්, හම්බර් වැනි මෝටර් රථ, බී.එස්. ඒ., ට්‍රාම්ප්, ඒරියල් වැනි මෝටර් සයිකල බ්‍රිතාන්‍යයේ නිෂ්පාදන විය. තේ කර්මාන්තයේ අදත් කර්මාන්ත ශාලාවල ශත වර්ෂයක කාලයක පමණ නිහඬ සේවයක් දෙමින් භාවිතා වන යන්ත්‍ර බොහොමයක්, එක්සත් රාජධානියේ ස්කොට්ලන්තයෙන් සහ එංගලන්තයෙන් ගෙන්වන ලද ඒවා වේ.     

සමහරවිට කෙනෙක්, බ්‍රිතාන්‍යය වැනි ධනවත් සහ බලවත් රටක් සමඟ අපට කල හැකි දේ කුමක්දැයි සිතනු ඇත. වාසනාවට මේ ආකල්ප වෙනස් කල හැකි ප්‍රධාන සාධක තුනක් අපට ඇත. එකක් නම් විද්‍යාවේ දියුණුව වේ. අනෙක චීනා ලාබෙට බඩු තැනීමය. අවසාන හේතුව වන්නේ ලංකාවට වසර පුරා දීප්තිමත් හිරු එළියක් වැටීමය.මේ කාරණා තුනම නිසා රටේ විවිධ දේශපාලන හේතුන් මෙන්ම, රටේ ඇති දරිද්‍රතාවය නිසා කරගත නොහැකි ඇතැම් දේ කරගැනීම පහසුවක් වේ. 

මේ කාරණා තුනම එකවර ඉටුවන තැනක් නම් චීනා තනන, ‘ඕෆ් ග්‍රිඩ්’ ඉන්වර්ටර සහ ලාභ වෙමින් යන විදුළි වාහන වේ. [සටහන :- ඉන්වර්ටරයක් යනු, සූර්ය පැනලයක් වැනි ප්‍රභවයකින් විදුළි බල ශක්තියක් ලබා ගෙන, ඒ බලය නිවාස වල භාවිතා වන වොල්ට්ස් 230 විදුළි බලයට වෙනස් කරවන උපකරණයකි. මේ විස්තර තව දුරටත් කාර්මිකයන් සහ ඉංජිනේරුවන්ට පමණක් අදාළ තොරතුරු නොවේ. හුදෙක් සාමන්‍ය දැනීම පමණි.]      

විශේෂයෙන් ලංකා විදුළි බල මණ්ඩලයට කිසිම සම්බන්දයක් නැතිව හිරු එළියෙන් පමණක් බල ශක්තිය ලබා ගැනීමත්, ඒ බල ශක්තිය දිවා කාලයේ ප්‍රයෝජනවත් සේ කළමනාකරණය කල හැකිවන ආකාරයේ, බැටරි පවා අනවශ්‍ය, සාපේක්ෂව ඉතා ලාභ,  ‘ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටර’ ඇති බව අප දැන ගතිමු. ඒවායේ ඇති වැදගත්ම ප්‍රයෝජනය නම්, ඉතා ලාභ වීමත් ඇටවුම් සරළ වීමත් ය. දහවල අවශ්‍ය වන බල ශක්ති අවශ්‍යතාවය ඉන් සරළව ඉටු කරගත හැක. මේ ලාභ දායි ‘ඕෆ් ග්‍රිඩ් ඉන්වරටර ප්‍රවෘත්තිය’, කුඩා ව්‍යාපාර හිමි අයට වැදගත් වනු ඇත.

විශේෂයෙන් දිවා කාලයේ කාර්යාල වලට අවශ්‍ය වායු සමීකරණය සඳහා යන විශාල බල ශක්තිය මේ ක්‍රමයෙන් ලබා ගැනීමට හැක. කොහොමත් දිවාකාලයේ උණුසුම වැඩි වේ. එහි වක්‍ර ප්‍රතිඵලයක් සේ, බල ශක්ති ජනනය සඳහා රටෙන් පිටතට ඇදෙන විශාල විදේශ වීනිමය ධනස්කන්ධය අඩු කරවීමට දායකත්වය දීමක් වනු ඇත. 

නැවතත් අප බ්‍රිතාන්‍යයේ තොරතුරු ගැන සිත් යොමු කලොත්;  

2025 වන විට එක්සත් රාජධානියේ නිවාස 350,000 කට වැඩි ප්‍රමාණයක විද්‍යුත් වාහන ආරෝපිත ස්ථාන සවි කෙරෙන බව එක්සත් රාජධානියේ විදුළි වාහන ආරෝපණ සමාගමක් වන ඇන්ඩර්සන් පවසයි. එය වන්නේ රටේ බොහෝ සෙයින් විදුළි වාහන ජනප්‍රිය වීමෙන්ය. 2025 වන විට විදුලි වාහන මිලියනයක් පමණ එක්සත් රාජධානියේ මාර්ගවල ලියාපදිංචි කිරීමට අපේක්ෂා කරන අතර, ඇත්ත වශයෙන්ම නිවාස ආරෝපණ අනුගමනය කරනු ඇත.

ප්‍රවාහන විදුලි වාහන නිවාස ආරෝපණ යෝජනා ක්‍රම භාවිතා කරමින්, ‘ඇන්ඩර්සන් සමාගම’ විකුණුම් ප්‍රවණතා විශ්ලේෂණය කළහ.

ඉදිරි පස් වසර තුළ එක්සත් රාජධානියේ ධාවන පථවල සහ ගරාජවල බිත්ති පෙට්ටි 362,270 ක් [වෝල් බොක්සස් හෙවත්, ආරෝපිත ස්ථාන] ස්ථාපනය කළ හැකි බව සොයාගෙන ඇත.

මෙයට හේතුව එක්සත් රාජධානියේ වෙළඳපොලේ විදුලි වාහන ආකෘති 2020 අවසන් වන විට 60 සිට 176 දක්වා ඉහළ යනු ඇතැයි පුරෝකථනය කර ඇති අතර, 2021 දී මාදිලි 214 ක් සහ 2025 දී මාදිලි 333 කින් වාහන වර්ග වැඩිවේ. අතීතයේ නම් වාහන මොඩල වර්ග වල මෙසේ වැඩිවීමක් කිසිසේත් සිදුවූයේ නැත. එයින්ම පෙනී යන්නේ මේ විදුළි වාහන වැඩිවීමේ දැවැන්ත ප්‍රවනතාවයම වේ. .

ඇන්ඩර්සන් හි වාණිජ අධ්‍යක්ෂ ජෙරොම් ෆයිසාට් මෙසේ පැවසීය. … “පසුගිය මාස තුන තුළ, අපගේ නගරවල පරිසර දූෂණය පහත වැටී ඇති අතර, දශක ගණනාවකට පසු අප ලැබූ ඇති පිරිසිදු වාතය අප භුක්ති වින්දෙමු”… “ විද්‍යුත් මාර්ගයට පිවිසීම, සදාචාරාත්මක තේරීමකට වඩා වැඩි ය”… “එය අනාගතය වැලඳ ගැනීම තේරීමකි”…“විදුළි මෝටර් රථයකට, බයිසිකලයකට හෝ ස්කූටරයකට මාරුවීම නිසා මිනිසුන් ඔවුන්ගේ ඡන්දය ඊට දෙන බව අපට පෙනේ”…

දැන් ලංකාවට මේ ප්‍රවෘත්තියේ ඇති වැදගත්කම ගැන සාකච්චා කළහොත්, … “කෙනෙක් අසළ ඇති උස ගහකට නගින්න උත්සාහ කරන්නේ නම්, ඔහු ඒ ගහේ අතු අතරින් පෙනෙන හඳට නගින්නට උත්සාහ කරනවා වැනිය”… “ඒ ප්‍රයත්නය තිබේ නම්, අනිවාර්යයෙන්ම ගසට නැගීමට හැකි වනු ඇත”….

ඉහත බ්‍රිතාන්‍යයේ නිවාස වල සවි කෙරෙන ‘ආරෝපිත ස්ථාන පෙට්ටි’ බොහෝවිට බ්‍රිතාන්‍යයේ පාරේ විදුළියට සම්බන්ද ඒවා විය යුත්තේ, බ්‍රිතාන්‍යය බොහෝ විට වසර පුරා අඳුරු රටක් හෙයිණි. එසේ ඒ ආරෝපිත ස්ථාන ජාතික බල ශක්ති සැපයුම හෙවත් ග්‍රිඩ් එකට සවිකිරීමේ ප්‍රායෝගික නොහැකියාව ඇතැයි කියා කකුලෙන් ඇදීම සහ දේශපාලනමය යටි කූට්ටු ව්‍යාපාරද බ්‍රිතාන්‍යයේ නැත.  ඒ දෙකම පවතින සකළ සිරින් පිරි සිරි ලංකාව හෙවත්, ඉන්දියන් සාගරයේ [අ]මුතු ඇටයේ, බ්‍රිතාන්‍යට නැති වාසිය වන්නේ හිරු එළියයි. 

වහළයේ සූර්ය පැනල සවි කර ගැනීම සහ ඊට ඕෆ් ග්‍රිඩ් ඉන්වර්ටරයක් සම්බන්ද කිරීමට නීත්‍යානුකූල රජයකට හැකියාවක් නැත. මෙන්න මේ වාසිය අප විසින් ලබා ගත යුතු වේ. එතනින් එහාට කෙනෙකුගේ විදුළි මෝටර් සයිකලය ආරෝපණය කර ගැනීමේ බාධාවක් නැත. තවත් එහාට යන්න හෙවත් -”හඳට නගින්න හදන කෙනෙක්ට”- තමාගේ විදුළි වාහනයද ඉන් ආරෝපණය කර ගැනීමට හැකි වනවා ඇත.        

https://electrek.co/2020/07/07/egeb-350000-uk-homes-ev-home-chargers-2025/?fbclid=IwAR1smMAoH-OHp4GEAs1-1DzqoKaX2vcfLsf_CqiacDLNfJ0eAZQJrccsDKo

%d bloggers like this: