Menu Close

වාහන විත්ති 403 – හාලි ඩේවිඩ්සන් විදුළි බයිසිකලය. 

                          livewire_660_082719033811චීනාට අපි පැලෙන්න ආදරේ කල යුතු ජාතියකි. චීනා නැත්නම් මේ වැකිය ඔබ බලන්නේ නැත. මට මෙය ලියන්න වන්නේද නැත. එනම් පරිඝනක, මොබයිල, ටැබ් ඔය එකී මෙකී සියලුම දේ අඩු ගානට ලබා දුන්නේ චීනා මිසෙක, පරිගණක මුලින්ම නිර්මාණය කල බටහිර රටවල් ඇතුළු ඇමරිකානුවන් නොවේ.

මේ ප්‍රවණතාවය විදුළි වාහන වලටද අදාළ බව ලාභ BYD වාහන වලින් පෙනේ.  ලිපියේ පෙන්වන ඉතා මිළ අධික ‘හාලි ඩේවිඩ්සන්’ මෝටර් සයිකලය වැනි සයිකලද අනාගතයේ අඩු මිලට චීනා විසින් නිර්මාණය කරනු ඇත. එතෙක් අපට කල හැක්කේ වෙළඳපොලේ ජනප්‍රිය වන විදුළි මෝටර් සයිකල ගැන උනන්ඳු වීම පමණි.  

ප්‍රසිද්ධ සහ කීර්තිමත් යතුරුපැදි සන්නාමයක් වන, ‘හාර්ලි ඩේවිඩ්සන්’ ඕස්ට්‍රේලියානු සහ නවසීලන්ත වෙළඳපොලවල් සඳහා සිය පළමු විදුළි යතුරුපැදිය වන, ‘ලයිව්වෙයාර්’ මුදා හැර තිබේ. සාමාන්‍ය හාර්ලි ඩේවිඩ්සන් විලාසිතාවේදී, යතුරු පැදි සන්නාමය හාර්ලි ඩේවිඩ්සන් විදුළි බලයෙන් ක්‍රියාත්මක වන ලයිව්වෙයාර් හි සිත් ඇදගන්නා සුළු ක්‍රියාකාරිත්වය අවධාරණය කරයි. තත්පර තුනකින් පැයට කිලෝ මීටර් 100 වේගයක් ලබා ගැනීම නම් බෙල්ල කැඩෙන ආකාරයේ වේගයකි.

හාර්ලි ඩේවිඩ්සන් සමාගම මේ විදුළි වාහනය නිෂ්පාදනය මගින් අත ගසා ඇත්තේ එසේ මෙසේ කාර්යයකට නොවේ. අමුතුම කණ්ඩායමකට එය ආකර්ෂණය කිරීමටය. මක්නිසාදයත් එම මෝටර් බයිසිකල් පදින්නේ වෙනම වර්ගයක පාරිභෝගිකයන් පිරිසක් හෙයිණි. මොන රටක සිටියද, ඔවුන් එකම ආකාරයේ මිනිසුන් කොටසක් බව නම් පෙනේ. මේ බයිසිකල් එකක් පමණක් පාරේ දැකීම පහසු නැත. කණ්ඩායමක් බොහෝ බයිසිකල් වල නැගී එක්ව ඒවා පැද යන්නේ පැරණි වෙස්ටර්න් චිත්‍රපටයක් සිහියට නංවමිනි.

කණ බිහිරි කරන ශබ්දයක් ඇති මේ බයිසිකලයෙන් ඇති කෙරෙන ශබ්දය, අර්තාපල් අල වලට ඉංග්‍රීසියෙන් කියන Potato යන්න එක දිගටම කියනවාක් වැනිය.

පොලිසිය පවා මේ මිනිසුන් යනවිට මඟ හැර සිටී. එක හේතුවක් වන්නේ ඔවුන් නාහෙට අහන්නේ නැති උන් වීමය. අනෙක විසි කරන්න සල්ලි තිබීම හෝ රජ පවුල්වල උන් වීමය. බොහෝවිට මැදිවියට ආසන්න අය මේ බයිසිකල් භාවිතා කරන අතර ස්වභාවයෙන්ම මේ බයිසිකල් වලින් එන ශබ්දය විශාල හඬකි. ඔවුන් හැඳගෙන යන ඇඳුම් පවා එකම ආරක් ගනී. මේ බයිසිකල් වල ඊට ඇති ආවේනික ස්වභාවය මෙන්ම, මළ නොබැඳෙන වානේ වැනි ලෝහ වලින්  බොහෝ කලාත්මක සේ තනා තිබීම නිසා, මේ බයිසිකල් ඉතා මිළ අධිකය.

හාර්ලිඩේවිඩ්සන් බයිසිකලයක් ගැනීමට වත්කමක් මධ්‍යම පාන්තිකයෙකුට නැත.    

එක්තරා රටක මේ බයිසිකලයක් ධාවනය වන විට දුටු දෙයක් ඔබට කියමි. වාහන වල වේගය මැනීම සඳහා රේඩාර් තිබුණු පාරක කල්පනාවෙන් වාහනය එළවිය යුතුය. වේගය කිලෝ මීටර් 1 කින් වැඩි වුවහොත්, ලැබෙන දඩය අති විශාල වේ. එසේ වාහනයක් එළවන අවස්ථාවක පසුපසින් ඈතින් එන බයිසිකලයක්, ඉඩ දෙන්න යයි කියමින් ලයිට් දල්වනවා දුටිමි. තවත් තත්පරයකින් මා එළවූ වාහනය ඔහු විසින් පසු කරනවාත් සමඟම බයිසිකලයෙන් නිකුත් වූ මහ හඬ අතරේ, ඔහු අතින් මට ආචාරය කළා මෙන් දුටුවෙමි. එවිගසම රේඩාර් ආලෝකයක් දුටිමි.

ඔහු මට ආචාර කළා නොව, රේඩාර් ආලෝකය ඇසට වැටීම නැවැත්වීමට ඇස් අතින් මුවහ කළා පමණි. ඔහුගේ වේගය අඩුම ගානේ පැයට කිලෝ මීටර් 200ක් වන්නට ඇත. ඔහුට ප්‍රශ්ණය වන්නට ඇත්තේ රේඩාර් වලට ගෙවන මිළ නොව, ඇසට තද ආලෝකයක් වැටීම විය.
මුදල් අවුලක් නැති මේ ආකාරයේ අයට නව විදුළි බයිසිකලය ජනප්‍රිය කිරීම එතරම් පහසු නැත.

… “ලයිව්වෙයාර් යතුරුපැදිය මීට පෙර යතුරුපැදි නිර්වචනය කර ඇති සංවේදනයන් රැඩිකල් ලෙස වෙනස් කරයි” යනුවෙන් සමාගම නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. … “බාධාවකින් තොරව එය අධික බලයක් ලබා දෙන අතර මෙහෙයුම් සරල බව නිසා යතුරුපැදියේ සැබෑ වින්දනය කෙරෙහි වැඩි අවධානයක් යොමු කිරීමට යතුරු පැදිකරුට ඉඩ සලසයි”…

ඩොලර් 50,000 ක පමණ මිලකට, යතුරුපැදි කරුවන්ට යුරෝපීය WMTC ශ්‍රේණිගත කිරීම භාවිතා කරමින් කිලෝමීටර 158 ක ධාවන දුරක් ලබා ගත හැකි අතර, හාර්ලි ඩේවිඩ්සන් බැටරියේ ප්‍රමාණය හෝ ආරෝපණ අනුපාතය සඳහන් නොකළද, සරළ ධාරාවක් මගින් විනාඩි 40 කින්, මේ ලයිව් වයර් බයිසිකලය  0-80% ප්‍රමාණයකට නැවත ආරෝපණය කල හැක.

සුපුරුදු ‘ක්ලච් එක’ වෙනුවට විදුළි ආරම්භයක් සහිතව, හාර්ලි ඩේවිඩ්සන් හී අසුනේ සුමට අත්දැකීම යතුරුපැදි කරුවන් අගය කරති. ලයිව්වෙයාර්හි ඇලුමිනියම් රාමුවක්, ඉහළ ක්‍රියාකාරිත්වයකින් යුත්, ‘මොනෝ-කම්පන’ පසුපස ෂෝක් ඇබ්සෝර්බරය සහ, ඉදිරිපස ෆෝක් එක සඳහා විශාල පිස්ටන් ආකාරයේ ෂෝක් ඇබ්සෝර්බරය වේගය වෙනස් කිරීමට ගැලපෙන අතර, සුවිශේෂී අඩු වේගයකින් පාලනය කිරීමේ හැකියාවද ලබා දෙයි”… යනුවෙන් පාපැදි නිෂ්පාදකයා පවසයි. සමහරවිට මෙහි තේරුම වන්නේ ෂෝක් ඇබ්සෝර්බර වල පරාමිතික පදවන්නාට අවශ්‍ය ආකාරයට වෙනස් කිරීම වන්නට ඇත.

එසේ නැත්නම් අධි සුඛෝපභෝගී වාහන ඒ පරාමිතික පාරේ ආකාරයට ස්වයංක්‍රීයව වෙනස් වෙනවා වන්නද විය හැක.    

[සටහන :- විදුළි වාහන මෙන්ම විදුළි බයිසිකලද ආරෝපණය කිරීමට ග්‍රිඩ් එක නොමැතිව කල හැකිය. එනම් ග්‍රිඩ් එකෙන් සම්පූර්ණ පරිබාහිරව මෙන්ම බොහෝ මිළක් යට කරන්නට වන බැටරි බෑන්ක් එකක් නොමැතිව කෙලින්ම සූර්ය පැනල පමණක් භාවිතා කර ඇටවිය හැකි විදුළි ආරෝපිත ස්ථාන දැන් දැන් ලෝකයේ දියුණු වෙමින් පවතී. මේ ආකාරයේ ඉන්වර්ටර ගැන විස්තරයක්, සහෝදර පිටුවක (DIY Off Grid Sri Lanka group) දමා ඇත. එහි ලින්ක් එක පහත ඇත. වෙළඳ ඇසක් ඇති , කෙනෙක්ට එය ප්‍රයෝජනවත් වනු ඇත.] 

ආරක්ෂිත සහ විශ්වාසදායක ගමනක් සහතික කිරීම සඳහා ප්‍රති-අගුළු තිරිංග [Anti lock break system] සහ වංගු ගැනීමේ දී වැඩි දියුණු කළ  ස්ලිප් පාලනය ඇතුළත් වේ. හාර්ලි ඩේවිඩ්සන් සමාගම පවසන්නේ එය සිය සුපුරුදු මෝස්තර සමඟ එක්ව යන බවයි. බැටරිය ඇලුමිනියම් පතුරු භාවිතය මගින් සිසිලනය කර ඇත. ‘ලයිව් වයර්’ බයිසිකලය තැඹිලි හෝ කහ හෝ “විචිත්‍රවත්” කළු පැහැයෙන් ලබා ගත හැකි අතර, ආසන දෙකේ ක්‍රමය, වේගය පෙන්වන මීටරය, අත් සහ පාද පාලක සමඟ ආරෝපණය ලබා දීමේ රැහැන් සහ චාර්ජරය එයට අඩංගු වේ.

අන්තිමට ඇති ලින්ක් එකේ පෙන්වන්නේ, මේ බයිසිකලයකින් මෙක්සිකෝවේ සිට කැනඩාවට ගිය කෙනෙක් ගේ කතාවකි. විදුළි බයිසිකල් වලින් දුර යෑමට නොහැකිය යන්න කෙමෙන් කෙමෙන් ඉතිහාසයට යමින් පවතී.

https://thedriven.io/2020/07/02/harley-davidson-reveals-electric-livewire-pricing-in-australia-opens-pre-orders/

https://www.facebook.com/groups/diyoffgrid/?multi_permalinks=699383737304334&notif_id=1594108901418956&notif_t=feedback_reaction_generic

https://electrek.co/2020/07/03/harley-davidson-livewire-electric-motorcycle-mexico-to-canada/?fbclid=IwAR33CosgaK7Q7tkIkoyeVo9D7e2YfkCr2E82PNHpE73TlMRePHKn6jRRQJA

 

%d bloggers like this: