Menu Close

ගොළු හදවතින් තණමල්විලට

පළමු ලිපිය තණමල්විල කොල්ලාගේ ඉතාලි මස්සිනා 

මට මතක විධිහට ඉස්සෙල්ලම  “ගොළු හදවත” බැලුවේ අසූ ගණන්වල මුල කොල්ලුපිටියේ  පොලිසියේ පිටුපස පිට්ටනියකද කොහෙද?  පිට්ටනියත්  දැන් එතන නැතිව ඇති.   සුගත් ගෙයි දම්මිගෙයි සින්දුව නම් යූබටයේ ඕන තරම් අහන්න පුළුවන් වෙනවනේ  එපාවෙනකම්ම.
ඊට පස්සේ ආවේ කේමදාස මාස්ටර් ගේ “ගොළු හදවතින් තුන්වැනි යාමයට ” කැසට් පටය. සෝවියට් දේශයේ ඉගෙන ගත්දී මගේ යාළුවෙක් හිටිය වෛද්‍ය විද්‍යාව හදාරපු , එයා ළඟ ඒ කැසට් පටය තිබ්බ නිසා  අපි ඒක නිතර ඇහුවා. යාලුවා අද අප අතර නැහැ. හැබැයි මට කැසට් පටය නම් දීල තිබ්බ වසර ගාණකට කලින්. දැන් යූ බටේ ඒකත් තියනවා. ගොළු හදවතේ මියුරු සංගීතය කේමදාස මාස්ටර් ගෙන්.
තණමල්විල කතාවෙත් ගොළු හදවත වගේ කතාවක් යනව. හැබැයි අපි ඉන්නේ හැට ගණන්වල නෙමේනේ, දෙදාස් විස්සේ නිසා දම්මිලා දහ දෙනෙක් එක්ක විතර.
 පලවෙනි දම්මි මම ආදරයෙන් කියන බම්මන්නා , සමාවෙන්න දීප්ත ට තෑග්ගකුත් අහිංසක විධිහට ගෙනත් දෙනවා. අහිංසකම අහිංසක ගමේ කෙල්ල. මූන රවුමට තියන ලස්සන අහිංසක හිනාවක් තියන දම්මි. නමත් ගොළු හදවතේ දම්මිමයි. 
කතාවේ තුන්වන කොටසේ අර 4×4 එක පහු කරන යද්දී පතෝලය  ව** පෙන්නන සීන් එකේදී දීප්ත දම්මිව තුරුල් කරගන්නවා, එච්චරම තමයි. දම්මිගේ ඒ චරිතෙටම ගැලපෙන රඟපෑම් මරු.  
දීප්තට ගැලපෙනම නම කියන්නේ සුලෝ . “භූතයා ” කියල. සුලෝ ටත් තියනව දීප්ත එක්ක පොඩි ලස්සන ආදර හැඟීමක්. භූතයා ගාණට ඒකත් හැන්ඩ්ල් කරනව. වැඩිය දෙන්නෙත් නෑ . ගන්නෙත් නෑ. 
සුලෝගේ තියනවා ගෑවිලා යන සුන්දර කමක්. රඟපෑම් කියල වැඩක් නෑ . ටොපේ ටොප්.
ඊළඟ දම්මි , යසෝ අක්ක. “ගොළු හදවතේ ” වගේම අක්ක පටන් ගන්නේ පොත් වලින් ගේම දෙන්න. පොත දානවා , පොත් දෙනවා ගන්නවා. මුකුත් වෙන්නේ නැහැ. ජනේලෙන් එළියේ ඉඳන් බලල යනවා. තණමල්විල ඉඳන් රත්නපුරේ ඇවිල්ල අවන්හලක ටෝස්ට් කනවා.   
හරියට අපි ලන්ඩන් ඉඳන් ලංකාවට ට ගිහිල්ල ට්‍රිපක් යනකොට දකින දකින ආප්ප කඩවල, කොත්තු කඩවල නවත්තනවා වගේ.   ඒක කෙළවර වෙන්නේ යසෝ අක්ක නොඑන ලෝකෙට ගියාට පස්සේ. සමන්ති අක්කට ඔයිට වැඩිය සපෝර්ට් එකක් දෙන්න තිබ්බ දීප්ත මලයට සම්ප්‍රදායට එරෙහිව යන්න. ලංකාවේ අනන්ත වෙන දෙයක් රොෂාන් රවින්ද්‍ර දන්නෑ වගේ ඉන්නවා. 
යසෝධරා ගේ රඟපෑම් අපි හැමෝම දන්නවා. දැකලත් තියනවා. දුන්න චරිතේ හොන්දට් කරනවා.
ඊළඟ දම්මි, දම්මිමත් නෙමේ. තමන්ට ලැබෙන්නේ නැති තෑග්ග යසෝ දෙනවා යාලුවට. සුලෝගේ භූතයට (මම කිව්වේ දිප්තට) තිබ්බ නාලිකා ගේ කසාදෙ බේරලා දෙන්න. ක්‍රිස්ටොෆ් කිසිලේව්ස්කි ගේ ත්‍රී කලර්ස් බ්ලු සිනමා කෘතියේ ජුලී ගේ සැමියයි දරුවයි  නැති වෙලා ඉන්න කොට, ජුලී  ජිවිතයට තේරුම දෙන කෙනෙක් හෙව්වා වගේ නාලිකා ගේ ජිවිතේට  තාවකාලික සහනයක්  දෙන්න තිබ්බ. අත ඇරලා දාමු. මේවා හරියට ලංකාවේ වෙන්නේ නැහැ වගේ. නාලිකා ගේ රඟපෑම් එතන ඇවරේජ්. කටහ්වට වුලක් වෙන්නේ දෙන්නේ නැහැ. ගානට ගෙනියනවා.
ඊළඟ දම්මි අර අපේ පරපුරේ මුල්ම දම්මි ට එහා. දම්මි- මරියා කියන්නෙම ආදරණිය ගීතයක් වගේනේ. ඒ නිළියට  (කලණි) අපි ආදරයෙන් බැඳුනේ “සහෝදරයා ” කතාවෙදිනේ. ඉතින් මේ භුතයට (සොරි දිප්තට) එයාව නම් කොහොමටවත් දෙන්න බැහැ. අල්තාරේ ගාවට ගිය එකත් “ගොළු හදවතේ” වෙරළු දුන්න වගේ අර අපේ හිතත් ඔල්මොරොන්දන් වෙන්න දාපු කෑල්ලක්. යන්තන් මරියා දිප්තයව කර ගහ ගන්නේ නැතිව බේරුනා. හප්පේ හිතට ආපු සනීපෙ. අර අපේ මුල් දම්මිට , යසෝට කරපු අසාධාරනෙට පොලිත් එක්ක හම්බවෙනවා එතැනදී. වෙඩින් කාඩ් එකත් හදල දීල සැරසිලිත් කරලා අල්තාරේ ගාව අන්නවන ඇන්නිල්ල මරු.
හැබැයි සහෝදරයා එකේ හිටිය නිසාද කොහෙද ඒ රඟපෑමම තමා දැනුනේ. වෙලාවකට හිතුන එතනට වෙන කෙනෙක් දාන්න ඕන. මරියා කියන්නේ පූජාසනයක් උඩ තියල කොන්දේ මල් ගහල ඈතින් ඉඳන් බලන් ඉන්න ඕනේ පෙම්වතියක් වගේ. දීප්ත කළේ ඒක.  
දැන් නිකමට හිතන්නකෝ ෆ්‍රෙන්ච් අධ්‍යක්ෂක කෙනෙක් හරි ජර්මන් හරි සමහර බ්‍රිතාන්‍ය අධ්‍යක්ෂක කෙනෙක්  ඔය ජවනිකා අවුරුදු 51 එක පස්සෙත් (ගොළු හදවත – 1969) ඔහොම කරයිද? ඔය ඉහත  කියන සම්බන්ධතා   ටිකෙයි විශේෂයෙන් නාලිකා ගේ ගෙවල් පැත්තෙන් හෙම හොඳ ස්ටිමි සීන්ස් (steamy s** scenes – ලංකාවේ මේ  දවස් වල යන සමහර පරිවර්තන පොත් අනුව වාශ්පිත ජවනිකා  ) ටිකක් බලන්න තිබ්බ. නෙට්ෆ්ලික්ස් සිරිස් එකක් හෙම දැම්මනම්. ලංකාවේ තවම එහෙම නැතිලු. ඒ වුනාට අර මොකද්ද සර්ච් යන්තරේක එස් ඊ එක්ස් වචනේ හොයන කට්ට්ටිය ගේ උඩින්ම ඉන්නවලු. මේ හින්ද  වෙන්ට ඇති.
දැන් මට ඇත්තටම අවුල්වුන හරිය ජර්මන් ශ්‍රී ලංකන් කෙල්ල හම්බ වෙන සීන් එක.  දුම්රිය ස්ථානයේ පඩිපෙල නැගල  ඇවිල්ල ලඟට ආවම ඇඟට තුරුළු කරගත්තට නළලට වත් කිස් එකක් දෙන්නේ නැහැ. ඊළඟ ඔඩ් සීන් එක එන්නේ දීප්ත ජ්රමනියට යනකොට දුම්රියෙන් බැහැල එන ජවනිකාව. නාද්යා  අත උස්සල වේව් එකක් දෙනව. එනව වම දකුණ, වම දකුණ ලෙසට ඇවිත් දිප්ත දිහා බලල බදා ගන්නවා . ඇස්  දෙක රෝල් කරල බලනවා. දකුණට හැරේන් කියල විධානයක් ආව වගේ හැරෙනවා. දෙන්න අත් දෙක ඉන වටේට දාගෙන වම, දකුණ වම දකුණ කියල යනවා.
දැන් මගේ බිරිඳ බඳින්න  කලින් වුනත් හම්බ වෙන්න යනකොට යුරෝපයේ කොහොමත් අපි එක්කෝ මුහුණ දෙපැත්තට ඉඹිනවනේ. කෙලින්ම මුහුණට කිස්  කරන්නේ නැත්නම් (අහල පහල අම්මල තාත්තල හිටියොත්.)  ඒ නැතත් අම්මල තාත්තල හම්බවෙන්න ගියත් ඒ අයත් පොඩ්ඩක් සජීවී ලෙස  මුහුණ දෙපැත්ත කිස්  කරලනේ භාර ගන්නේ. එළියේ හෝ ගේ ඇතුලේ.  ඉතින් ඒ ටික වගේම ඒ ජර්මන් ජවනිකා ඔක්කොම වගේ දැනුනේ හුඟක් ආධුනික විධිහට. මම මෙතැන උලුප්පල පෙන්නුවේ ඒ නිසා.  මට හිතුං රොෂාන් රවින්ද්‍ර ඒ ජවනිකා වල  පොඩ්ඩක් අඩුවෙන්  උපදෙස් දීල තියනවා හරි නිළිය ආධුනික වැඩි ඇති  කියල.  එහෙම නැත්නම් අර ගොළු හදවතේ තේමාවම දීප්ත අරභයා අරන් යන්න හදල මේ පිටරට ජවනිකා වලදී පොඩ්ඩක් ඇනගෙන වගේ.
මුලින් ලිව්ව ලිපියට ප්‍රතිචාරයක් දාපු බ්ලොග් සහෘදයෙකු වන මාතලන් කියල තිබ්බ “අජිත් උඹත් තණමල්විල කොල්ලෙක් නේද ” කියල . ඒ කිව්වේ ඒ අච්චුවේ වගේ කියන එක කියල මට තේරුණා. මාතලන් කිව්ව එකට හේතුව මේක වෙන්න ඇති. මේ  නාට්‍යය අපට අල්ලා යන හේතුවත් ඒකම වෙන්න ඇති.
ඒකෙ මේ ලියන විස්තරේ තියනවා. තාත්තා අවසන් හුස්ම හෙලන කොට මම මගේ එම්එස්සි එකේ නිබන්ධනය ලියනවා. ඒක ඉවර කරලම එන්න හිටියේ. පස්සේ ඒකට  කල් අරගෙන මරණෙට ආව.තාත්ත ගොඩක් කාලයක් අසනීපෙන් හිටි නිසා  ගෙදර මකුළු දැල් බැඳිලා ජරා ජීර්ණ වෙලා. දැක්ක ගමන් දුක හිතුන. මල්ලිට අම්මට  ඒවා බලන්න වෙලාවක් නැහැ. තාත්තගේ ලෙඩ  එක්ක ඔට්ටු වුනා මිසක්.  මම මළගමේ දී  ඇඬුවේ  නැති වුනත් හත් දවසේ දානේ  වෙනකොට යන්නේ නැහැ කියල හිතාගෙන හිටියේ ආපහු.  එපා වෙලා හිටියේ. තිබුන හීන වගයක් බොඳ වෙලා ගිහින් වගේ නිසා. හත් දවසේ දානේ දෙන වෙලේ පාංශකූලේ දුන්  හමුදුරුවෝ වදාල දෙයකට මට  වාවන්නේ නැතිව ගියා. එක පාරටම තේරුනා තාත්ත තව දුරටත් නැහැ කියල. එවෙලේ කඳුළු එන්න ගත්ත නිසා මම එලියට ගියා. අම්ම පිටිපස්සෙන් ඇවිල්ල මාව වැළඳ ගෙන අපි දෙන්නම එවෙලේ ඇඬුව. එච්චරයි.
 
මගේ ජර්මන් පෙම්වතිය (දැන් බිරිඳ) ලංකාවට  ආව .එයා එතකොට ඩෙල්ටා එයාර් ලයින් එකේ වැඩ නිසා එයට නිකන් ටිකට් එකකුත් දීල තිබුණ.  
එය මට කීව අපි ආපහු යමු. ඔයාට මෙහෙ කරන්න දෙයක් නැහැ කියල. එයා ආවේ නැත්නම් මම හුඟක්  දුරට ආපහු  ලන්ඩන්  නොඑන වග එයාට තේරිලා තිබ්බේ ඒ වෙනකොට. 
හැබැයි ඉතින් ඒ තීරණේ හරි. අද  මම ලස්සන දුවල දෙන්නෙක් ගේ තාත්ත කෙනෙක්. ආදරණිය බිරිඳ ක  ගේ සැමියෙක්. අපි දින කොට එයාට සාරි අඳින්න ඕනේ වුනා. බඳින්න ඕන වුනේ සිංහල ක්‍රමයට පෝරුවක් උඩ නැගල .  ඉතින් සාරියක් අන්දලා තමයි බැන්දේ. දැන් ඉතින් ඒ දවස් වගේ නෙමේ. අම්ම එක්ක කතා කරන්න  ලේසියි වට්සැප්  වීඩියෝ දාල . අවුරුද්දකට සැරයක් වත් ලංකාවට ඇවිත් යනවා. ඒ හැම වෙලේම  තාත්ත තව ටික කාලයක් හිටිය නම් කියල හිතෙන වාර අනන්තයි.   පිටරටක ඉන්න  අපේ ගොඩක් අයගේ  කතාව. 
ස්තූතියි රොෂාන් රවින්ද්‍ර   
  
– තව එක කොටසක් තියනවා ලියන්න 
%d bloggers like this: