Menu Close

සෝවියට් දේශය බෝල්ටික් රටවල් අත්පත් කරගත් හැටි

1940 ජූනි 17 වනදා සෝවියට් විදේශ ඇමති ව්‍යචෙස්ලාව් මෝලතෆ් ජර්මන් තානාපති ෂුලන්බර්ග්ව සිය කාර්යාලය වෙත කැඳවාගත්තේ පවතින තත්ත්වය පිළිබඳ සාකච්ඡාවකටයි.

මෙහිදී සෝවියට් විදේශ ඇමතිවරයා “ජර්මන් හමුදා ප්‍රංශයේදී ලැබූ විශිෂ්ට ජයග්‍රහණය පිළිබඳ සෝවියට් රජයේ උණුසුම් සුබපැතුම්” එකතු කළා.

එයින් පස්සෙ මෝලතෆ් සාකච්ඡාවට ලක් කළේ ජර්මනියෙ එතරම් කැමති කාරණයක් නෙවෙයි. බ්‍රිතාන්‍යය සහ ප්‍රංශය බෝල්ටික් රටවලදී සිදු කරන යටිකූට්ටු වැඩ මගින් ජර්මනිය සහ සෝවියට් දේශය අතර හොඳ හිත පළුදු කිරීමට උත්සාහ කරන බව පැවසූ මෝලතෆ් එවන් උත්සාහයන් වැළැක්වීමට එම රටවලට සෝවියට් රජයේ විශේෂ නියෝජිතයින් යැවූ බව කියා සිටියා.

ලැත්වියාවේ රීගා නගරයේ මැයි දින සැමරුමක් (1941)

මෙසේ විදේශ ඇමතිවරයා විස්තර කළේ දින කිහිපයකට කලින් සෝවියට් රජය විසින් සිදුකළ කාර්යයක්. මෙසේ යවන ලද නියෝජිතයන් වුණේ ස්ටාලින්ගේ සුවච කීකරු හෙන්චයියන් තිදෙනෙක්. ලිතුවේනියාවට යවන ලද ව්ලදිමීර් දෙකනෝසෆ්, ලැත්වියාවට යවන ලද අන්ද්‍රේයි විෂීන්ස්කි සහ එස්තෝනියාවට යවන ලද අන්ද්‍රේයි ෂ්දානෆ් ඔවුන් තිදෙනායි.

ජූනි 14 වනදා සෝවියට් රජය විසින් ලිතුවේනියාවට අවසානාත්මක නිවේදනයක් එවනු ලැබුණා. එයින් සෝවියට් රජය ලිතුවේනියාවට ඉල්ලීම් කිහිපයක් ඉදිරිපත් කළා. ලිතුවේනියා රජය ඉල්ලා අස්වීම, ප්‍රධාන නිලධාරීන් කිහිප දෙනකු අත් අඩංගුවට ගැනීම සහ සෝවියට් දේශයට රිසි තරම් රතු හමුදාවන් ලිතුවේනියාව වෙත එවීමට අවසර දීම එම ඉල්ලීම් අතර වුණා. මේවා ඉටු කිරීමට ලබා දුන්නේ පැය නවයක කාලයක් පමණයි.

ලිතුවේනියාව මෙම ඉල්ලීම් පිළිගත් නමුත් එරටින් ලැබුණ ප්‍රතිචාරය අසතුටුදායක බව කියා සිටි සෝවියට් දේශය ජූනි 15 වනදා ලිතුවේනියාවට රතු හමුදාව එවීමට කටයුතු කළා. මීළඟ දින කිහිපයේදි ලැත්වියාව හා එස්තෝනියාව යන දෙරටට ද මෙසේ අවසානාත්මක නිවේදන නිකුත් කරමින් ඒවායේ සෝවියට් හමුදා රඳවන්නට සෝවියට් දේශය ක්‍රියා කළා.

1940 දී එස්තෝනියාව​, ලැත්වියාව සහ ලිතුවේනියාව​ (lithuaninanmaps.com)

මෙයින් පසුව බෝල්ටික් රටවල් තුනේ කොමියුනිස්ට් පක්ෂ හැර සියළු දේශපාලන පක්ෂ තහනම් කරනු ලැබුණා. ඒවායේ ජූලි 14 වනදා මැතිවරණ පවත්වනු ලැබුණා. වෙනත් පක්ෂ නොවූයෙන් එහිදී කොමියුනිස්ට් පාක්ෂිකයන් පාර්ලිමේන්තුවලට පත් වුණා.

ඉන් පසුව මේ රටවල් තුනේ පාර්ලිමේන්තු තම රටවල් සෝවියට් දේශයට එක් කරගන්නා ලෙස සෝවියට් දේශයේ උත්තරීතර සෝවියට් සභාවෙන් ඉල්ලා සිටියා. මෙසේ අගෝස්තු 3 වනදා ලිතුවේනියාව ද, අගෝස්තු 5 වනදා ලැත්වියාව ද, අගෝස්තු 6 වනදා එස්තෝනියාව ද සෝවියට් දේශයට එකතු කරගැනුණා.

නට්සි ජර්මනිය මෙම ක්‍රියාව ගැන එතරම් සතුටු වුණේ නැහැ. නමුත් 1939 දී දෙරට අතර අත්සන් කරන ලද නිරාක්‍රමණික ගිවිසුමෙහි රහස්‍ය කොටසට අනුව බෝල්ටික් රටවල් සෝවියට් බලපෑම් කලාපයට ඇතුලත් කරන ලද බැවින් මීට එරෙහි වෙන්නත් නට්සි ජර්මනියට පදනමක් තිබුණේ නැහැ. අනෙක් අතට ඒ වෙද්දී ජර්මනිය සිටියේ බ්‍රිතාන්‍යය සමග සටන පිළිබඳ පූර්ණ අවධානයෙන්. එහෙයින් බෝල්ටික් රටවල් ගැන ලොකු අවධානයක් දෙන්න ඔවුන්ට බැරි වුණා.

%d bloggers like this: