Menu Close

සතාසිවම් නඩුව

රෙජිනා සතාසිවම් මියගේ දේහය

ලංකාවෙන් බිහිවූ කීර්තිමත්ම ක්‍රිකට් ක්‍රීඩකයෙක් වන මහාදේවන් සතාසිවම් ගේ  බිරිඳ වන රෙජිනා සතාසිවම් මිනීමැරුම ලංකාවේ වඩාත්ම කතාබහට ලක්වූ සහ අදටත් ලක්වෙන මිනී මැරුමකි. 1951 වර්‍ෂයේ සිදුවූ මෙම සිදුවීම එකල විශාල ජනතා කැලඹිල්ලක් ඇති කලේය​. 

මෙම මිනීමැරුම පිලිබඳව චාමර සිරිවර්ධන මෙසේ ලියයි
දියණියන් සිවුදෙනෙකුගේ පියෙකු වූ සතාසිවම් ගත කලේ තරමක සෙල්ල්ලක්කාර ජීවිතයකි. ඉහල පෙලේ සමාජ ශාලා තුල නිතර දෙවේලේ අඩි පුඩි ගසනු දක්නට ලැබුන හේ 1950 දී ඉවෝන් ස්ටීවන්සන් නැමති බර්ගර්-පෝලන්ත මිශ්‍ර තරුණියක් සමඟ බරපතල හාද කමක් ඇතිකොට ගත්තේය. ඇගේ අපේක්ෂාව වූයේ පෙම්වතා ඉක්මනින්ම බිරිදගෙන් දික්කසද වී තමා විවාහ කොට ගනු ඇති බවයි. එහෙත් ජනප්‍රිය ක්‍රිකට් ක්‍රීඩකයා දෙලොවක් අතර සිරව සිටියේය. මන්ද යත් හරිහමන් ආදායම් මාර්ගයක් නුවූ ඔහු යැපුනේද යමක් කමක් ඇති තම බිරිඳගේ මුදලින් බැවිනි. මේ කරුණු නිසා බම්බලපිටියේ ඇල්බන් පෙදෙසේ පිහිටි සතාසිවම් නිවස සාමාකමී තැනක් නොවීය. එසේ වුවද ඉහල සමාජයේ බොහෝ විට දැකිය හැකි පරිදි අමනාපකම් මද්‍යයේ වුවද මෙ අඹු-සැමි යුවල තවදුරටත් එකිනෙකා හා කතා බහ කල බවද සැලකිය යුතුය. 1950 අගදී සතාසිවම් යුවල බ්‍රිතාන්‍යයේ සංචාරයක නිරත වූහ. ඉවෝන් ස්‍ටීවන්සන්ද වෙනම බ්‍රිතාන්‍ය බලා යාත්‍රා කලාය. සතාසිවම් බ්‍රිතාන්‍යයේදී තම පෙම්වතිය හමුවූ බවත් ඈ හා ගමන් බිමන් ගිය බවත් දැනගත් බිරිඳ 1951 පෙබරවාරියේදී තනිවම නැවු නැඟ ලංකාව බලා පැමිණියාය. සතාසිවම් පැමිණියේ හය මසකට පසු සැප්තැම්බරයේදීය. නිවසට නොගිය හේ හනිෆා නැමති මිතුරෙකුගේ නිවසේ නවාතැන් ගත් අතර සතාසිවම් මහත්මිය සිය සැමියාට එරෙහිව දික්කසාද නඩුවක් ගොණු කොට තිබිණ. 1951 ඔක්තෝබර් 08 වනදා මිතුරාගේ නිවසේදී ඔහුට දික්කාසාදය සදහා සිතාසිය භාර දෙන ලදී. ප්‍රකට ක්‍රිකට් ක්‍රීඩකයාට සිදුවූයේ මහ විපතකි. තම වියදමට මුදල් හදල් හා හිසට සෙවනක් අහිමිවීමේ අනතුරට අමතරව දරු සිවු දෙනා වෙනුවෙන් නඩත්තු ගෙවීමට සිදුවීමේ තර්ජනයටද හේ මුහුණ පා සිටියේය.
සිතාසිය ලද දින දහවල් තම මිතුරා වූ හනිෆා සමඟ නිවසට පැමිණී සතාසිවම් දික්කසාද නඩුව අහක් කොට ගන්නා මෙන් බිරිදගෙන් අයැද සිටියේය. එහෙත් ඈ ඊට එකඟ නුවූවාය. අනතුරුව එදින මැදියමේ යලි තනිවම නිවසට පැමිණී හේ සාමකාමී ලෙස බිරිඳ නිදාසිටි කාමරයට ගොස් නිදාගත්තේය. පසුවදා උදෑසන පොඩිහාමි නැමති 77 වියැති සතාසිවම් මහත්මියගේ විශ්වාසවත් මෙහෙකාරිය වැඩිමහල් දූවරු දෙදෙනා සුපුරුදු ලෙස පාසලට රැගෙන ගියාය. වයස 8ක් හා 10ක් වූ ඔවුහු ශාන්ත බ්‍රිජට් කන්‍යාරාමයේ උගනුම ලැබූහ. නිවසේ ඉතිරි වූයේ සතාසිවම් යුවල අවුරුදු 3 හා 4 වයස් වල දරුවන් දෙදෙනා හා දින 11ට පෙර නිවසේ මෙහෙකරු ලෙස සේවයට බඳවා ගනු ලැබූ විලියම් නැමති 19 වියැති ගැටවරයා පමණී. ඉන් අනතුරුව හටගත් සිදුවීම් මාලාව අභිරහසකි.
එදින සවස 3ට පමණි ඔස්ටින් නැමැති රෙදි අපුල්ලන්නා සතාසිවම් නිවසට පැමිණියේ සුපුරුදු පරිදි කිලිටි රෙදි රැගෙන යාම සදහාය. සතාසිවම් මහත්මිය සිටින්නේදෙයි සෙල්ලම් කරමින් සිටි වයස 3 ක් හා 4ක් වූ කුඩා දියණියන් දෙදෙනාගෙන් විමසූ කල ඔවුහු ගරාජය පෙන්වූහ. ඒ අනුව එම ස්ථානයට එබිකම් කල ඔහු දුටුවේ ගෙහිමි කත ගරාජය තුල වැටී සිටින අන්දමයි. ඇගේ බෙල්ල මත ලී වංගෙඩියක් පෙරලා තිබිණ. බියපත් රෙදි අපුල්ලන්නා වහා අසල් වැසිය කතක් එහි කැඳවීය. වෛද්‍යවරියකගේ බිරිඳ වූ ඈ සිදුවූයේ කුමක් දැයි කුඩා ලමුන් දෙදෙනාගෙන් විමසූ මුත් පැහැදිලි යමක් කීමෙහිලා ඔවුහු අපොහොසත් වූහ. සිංහල ඉංග්‍රීසි කළවම් බසින් අපැහැදිලි ලෙස කතා කල ඔවුන් කී ඳෑ අතරින් ‘මමී’, ‘ඩැඩී’ හා ‘හොරා’ යන වචන පමනක් ඈට ඇසිණ. උදෑසන පාසලට කැටුව ගිය වැඩිමහල් දියණියන් දෙදෙනා සමඟ පොඩිහාමි නැමති මෙහෙකාරිය ආපසු පැමිණියේ ඒ අවස්ථාවේදීය. ගරාජයට දිවගිය ඈ ස්වාමිදුවගේ බෙල්ල මත වූ වංගෙඩිය ඉවත් කල අතර සිරුර සීතල වී තිබිණ. මෙහෙකාරිය හඬා වැලපෙන අතර අසල්වැසි කත විසින් දෙන ලද දුර ඇමතුමකට අනුව පොලිසියද සුළු වේලාවකින් එම ස්ථානයට පැමිණියේය. නිවසේ සිට බම්බල පිටිය පොලිසියට තිබුනේ යාර කිහිපයක දුරකි.
සිද්ධිය සැලවූ සැනින් එහි පැමිණී පොලිස්පති රිචර්ඩ් අළුවිහාරේ පරීක්ෂනයට පෞද්ගලිකවම මැදිහත් වූයේ සතාසිවම් පවුලේ ප්‍රභූ සබඳතා නිසා බව සැකයක් නැත. මෙහෙකරු විලියම් අතුරුදන්ව සිටි අතර සතාසිවම් හනිෆා නැමති මිතුරාගේ නිවසේ සිටියදී පොලිස් අතඩංගුවට පත්විය. පරීක්ෂණය සඳහා විශේෂඥ සහාය ලබා ගැනීමට සිතූ පොලිස්පති තැන කොලඹ අධිකරණ වෙද්‍ය නිලධාරි වෙනුවට පේරාදෙණිය සරසවියේ අධිකරන වෛද්‍ය පීඨාධිපති GSW ද සේරම්ට පශ්චාත් පරීක්ෂණය භාර කලේය. ද සේරම් සුප්‍රකට බ්‍රිතාන්‍ය අධිකරණ වෛද්‍ය විශේෂඥ සිඩ්නි ස්මිත් ගේ ගෝලයෙකි.
මරණ පරීක්ෂණය පසුවදා පැවැත්විණ. මෙහිදී ගෘහ සේවිකාව වූ පොඩිහාමි කියාසිටියේ තම පියා විසින් මවට කොසාකින් පහරදී ගරාජයට ගෙන ආ බව සිවු හැවිරිදි මංජුලා තමාට කී බවය. එහෙත් මරන පරීක්ෂණක විසින් උපායෙන් කරුණූ විමසන ලදු අවස්ථාවේ සහෝදරියන් පාසැල් ගිය පසු මව උණ වැලදී ගරාජයේ නිදා සිටි බව දැරිය කියා සිටියාය. පියා විසින් මවට කල පහරදීමක් හෝ ගරාජය රැගෙන යාමක් ගැන කිසිදු සඳහනක් නොකෙරිණ. වැඩකාර කොළුවා පිටව ගිය බැවින් තමාට කෑමට කිසිවක් නොලැබුන බවත් මව අසනීපව ගරාජයේ නිදා සිටි බැවින් කෑම ඉල්ලා ඈට බාධා නොකල බවත් එහින නිවසට ‘හොරු’ නොආ බවත් ඈ වැඩිදුරටත් කීවාය. ඈ බුද්ධිමත් ලෙස පිළිතුරු දුන් බවත් සෙසු විමසීම් වලට ඈ දුන් පිළිතුරු නිවැරදු බවත් මරණ පරීක්ෂකගේ වැටහීම විය. අනිත් අතට පරීක්ෂණය මෙහෙයවූ පොලිස් පරීක්ෂක තැන කියා සිටියේ තමා අපරාධය කල බවට සතාසිවම් විසින් රිමාන්ඩ් බන්ධනාගාය තුලදී තවත් සැකකරුවෙකු සමඟ පාපොච්චාරණය කොට ඇති බවට එම සැකකරු ප්‍රකාශ කරන බවයි. එහෙත් එය ප්‍රතික්ෂෙප කල සතාසිවම් කියා සිටියේ තමා උදෑසන 10.15ට නිවසින් පිටවූ බවත් බිරිඳ තමා සමඟ දොර අසලට පැමිණි බවත්ය. ඔහු ගමන් කල ටැක්සි රියැදුරාද තමා ඈ දුටු බව සහතික කලේය. මේ අනුව ඇතැම් සාක්ෂි වල බරපතල ප්‍රතිවිරුද්ධතා ඇති බවද පැහැදිලිවම පෙණින.
පශ්චාත් පරීක්ෂණය පැවැත්වූ ද සේරම් අධිකරණ වෛද්‍ය නිලධාරී තැනගේ මතය වූයේ පිටුපසින් ගෙල සිරකිරීමෙන් මරණය සිදුව ඇති බවයි. අවසන් ආහාරය ගත් වේලාව නිශ්චිත නැතත් ශරීර උෂ්ණත්වය පහත වැටීම හා දෘඩතාව අනුව බලන කල මරණය සිදුවූ වේලාව උදෑසන 10 – 11.30 අතර බවත් එම අවස්ථාවේ මරණ කාරිය සිටගෙන සිට ඇති බවත් ඔහු නිගමනය කලේය.
නව දිනකට පසු විලියම් හුංගම කලමැටිය ප්‍රදේශයේදි අත්ඩංගුවට ගන්න ලදී. පොලිස් පරීක්ෂයෙකු විසින් ගත් ඔහුගේ පළමු කටඋත්තරයෙන් කියවුනේ තමා සතාසිවම් මහත්මියගේ ගෙල සිරකොට මරා ඇගේ තැල්ල හා රන් වලලු ගලවාගෙන ගොස් උකස් කල බවය. අනතුරුව තවත් ප්‍රකාශයක් දුන් ඔහු බිරිය මරා දැමන ලද්දේ සතාසිවම් විසින් බවත් අනතුරුව හේ තමාට දහයේ කොල අටක් දී ගමට යන ලෙස උපදෙස් දුන් බවත් කීය. එහෙත් පසුව දා පොලිස් පති හමුවට පමුණුවන ලද අවස්ථාවේ තමා කුස්සියේ පොල්ගාමින් සිටි අතර තුර සතාසිවම් පැමිණ තමා ඉඩු මහලේ බිරියගේ කාමරයට කැටුව ගිය බවත්, ඔහු ඇගේ ගෙල සිරකරන අතර ඈ අල්ලගැනීමට තමාට අණ කල බවත්, අනතුරුව දෙදෙනා එක්ව සිරුර ගරාජයට ගෙන ගිය බවත් සතාසිවම් ඇගේ රන් අබරණ තමාට දී ඇගේ ගෙල මත වංගෙඩියක් තැබූ බවත්, බියපත්ව සිටි තමා නිවසින් පිටව ගමට ආ බවත් රන් අබරණ අඩු මුදලයට උකස් කල බවත් තමා අතඩංගුවට ගත් පොලිස් පරීක්ෂකයා කල බලපෑම් මත පෙර අවස්ථා දෙකේ ඔහු උපදෙස් දුන් අන්දමට වැරදි ප්‍රකාශ දෙකක් නිකුත් කල බවත් කියා සිටියේය. පොලිසිය උකස් කරුවන් කරුවන් සොයා ගිය මුත් ඒ වනවිටත් රන්භාණ්ඩ උණුකොට තිබිණ. මෙය අඩු මුදලට ලබා ගන්නා හොරබඩු අරබයා එකල රන් කරුවන් අනුගමනය කල සමාන්‍ය පිළිවෙතයි.
මේ ව්‍යාකූල තත්වය යටතේ ලංකා දණ්ඩ නීති සංග්‍රහයේ 296 වගන්තිය යටතේ පැවරුන නඩුවේ එකම විත්ති කරු වූයේ සතාසිවම්ය. තමා නිර්දෝෂී බව ඔහු කියා සිටි අතර විත්තියේ දැඩි විරොධතා මත නීතිපති විසින් රජයේ සාක්ෂිකරු ලෙස නම් කෙරුන විලියම්ට 284 වගන්තිය යටතේ කොන්දේසි සහගත සමාවක් ප්‍රදානය කෙරිණ. මේ වනවිට පොලිසිය වරින් වර නිකුත් කල නිවේදන හා පුවත්පත් වාර්තා හේතුවෙන් රටේ පොදු මතය වූයේ සතාසිවම් වැරදි කරු බවයි. මෙම තත්වය සැලකිල්ලට ගත් ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු EMF ග්‍රටියන් තමා මේ තාක් ඇසූ දෑ සියල්ල අමතක කොට මුලසිට සාක්ෂි විමසන මෙන් ජූරි සභාවෙන් විශේශයෙන්ම ඉල්ලා සිටියේය.
සතාසිවම්ට එරෙහිව ගොඩනැගුන තර්කය නම් ඔහුගේ සෙල්ලක්කාර ජීවන රටාවත්, ඉවෝන් ස්ටීවන්සන් මෙනෙවිය හා තිබූ හාදකමත්, සතාසිවම් මහත්මියගේ දික්කාසාද නඩුව මඟින් ඇති කෙරුන පීඩනයත් මත ඈ මරා දැමීම සඳහා ඔහු තුල තිබුනේ යැයි සැක කල හැකි චේතනාවයි. විලියම්ගේ මෙන්ම මෙහෙකාරිය වූ පොඩිහාමිගේ සාක්ෂිය ද ඔහුට හිතකර නොවීය. මේ තත්වය යටතේ වඩාත්ම තීරණාත්මක සාධකය වූයේ මරණය සිදුවූ වේලාවයි. සතාසිවම් ගේ ටැක්සි රියැදුරු 10.15 ට සතාසිවම් මහත්මිය දුටු බවට දුන් සාක්ෂිය ගැන සැක පහල කරමින්, විලියම් උදෑසන 10 ට ඇගේ රන් බඩු උකස් කල බවට තහවුරු කෙරෙන වනත් සාක්ෂි ඉදිරිපත් කිරීමට පැමිණිල්ල දැරූ උත්සාහයේ අරමුණ වූයේ සතාසිවම් 10.15ට නිවසින් පිටවන විට ඔහුගේ බිරිය මියගොස් සිටි බව ඔප්පු කිරීමය.
එහෙත් අධිකරණ වෙද්‍ය නිලධාරී ද සේරම්ගේ මතය වූයේ සතාසිවම් විලියම්ගේ සහායෙන් නිදන කාමරයේදී ඈ මරා දැමූ බව පිළිගත නොහෙන බවය. මලසිරුරේ දෙපා වල තැවරී තිබූ කළු පැහැති ද්‍රව්‍ය කුස්සියේ පොලොව මත ඇති අපද්‍රව්‍ය හා සමාන බව පෙන්වා දුන් ඔහු කියා සිටියේ සතාසිවම් මහත්මිය කුස්සිය තුලට පැමිණී බවත්, ඇගේ ගෙල මිරිකන ලද්දේ එම අවස්ථාවේ බවත් සිතිය හැකි බවයි. ඇගේ පාදයේ තැරවී තිබූ අපද්‍රව්‍ය ගැන පැහැදිලි කිරීමට විලියම් අපොහොසත් විය. මරණය සිදුවූ වේලාව පිළිබඳ පැමිණිල්ල දිගින් දිගටම අභියෝග කල බැවින් ද සේරම්ගේ ගුරුවරයා වූ මහාචාර්ය සිඩ්නි ස්මිත් මේ වෙනුවෙන් ලංකාවට කැඳවන ලදී.
මරනය සිදුවූ නිවස පරීක්ෂා කල මහාචාර්ය ස්මිත් පෙන්වා දුන් වැදගත් කරුණක් වූයේ කුස්සියේ දොර මත වූ යකඩ අගුල සතාසිවම් මහත්මියගේ පිටේ වූ තුවාලය හා සැසඳෙන බවය. මේ හේතුව නිසා මරණය සිදුවී ඇත්තේ කුස්සිය තුල බවට තවදුරටත් සනාථ වූ අතර ඔහු නිගමනය කලේ එය සිදුවූයේ පෙරවරු 11.00 ට පසුව බවයි. එමෙන්ම රන්භාන්ඩ කොල්ලා කෑම මෙන්ම ලිංගික චේතනාවද බැහැරකල නොහැකි බව පෙන්වා දුන් ආචාර්ය ස්මිත් ඒ පිළිබඳ අවධානය යොමු නොවීම ගැන විමතිය පල කලේය.
වැඩිදුරටත් කරුණූ දැක්වමින් විත්ත්කරු වෙනුවෙන් පෙනී සිටි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා කියා සිටියේ විලියම් රජයේ සාක්ෂි කරුවකු ලෙස සැලකීම ඔහුට බොරු කීම සඳහා ලබ දුන් බලපත්‍ර්යක් වී ඇති බවයි. විලියම් කියන පරිදි සතාසිවම් තම බිරිය මරා දැමී නම් ඔහුට ඒ සඳහා හවුල් නොවී සිටීමට මෙන්ම එය වැලැක්වීමට ඕනෑ තරම් අවස්ථා තිබූ බව හේ තර්ක කලේය. එසේ නම් රන්භාන්ඩ උකස් තබා ඔහු කලමැටියට පලා ගියේ මන්ද? තම ඉරින ඇඳුම් ඔහු සැඟවූයේ ඇයි? සීරුම් තුවාල ඇත්තේ ඔහුගේ මිස සතාසිවම්ගේ නොවේ. ඔහු මෙන් සතාසිවම් සැඟවුනේ නැත. ඒ මන්ද? විලියම්ට මෙන් ඔහුට සැඟවීමට හේතුවක් නොතිබිණ. 284 වන වගන්තිය යටතේ තාක්ෂණික කරුණු මත විලියම් සාක්ෂි කාරයෙකු ලෙස සැලකීම තුලින්ම ඔහු අහිංසකයෙකු නොවන බව ඔප්පු හමාර යයි ආචාර්ය කොල්වින් ආර් ද සිල්වා තරයේ කියා සිටියේය.
පුරා දින 625ක් කෙරුන විවිධ පරීක්ෂණ හා තර්ක විතර්ක සලකා බලමින් සැකයේ වාසිය විත්තියට ලබා දුන් ශ්‍රෙඨාධිකරණය 1953 ජුනි මස සිය තීන්දුව ප්‍රකාශයට පත් කරමින් මහදේවන් සතාසිවම් තම බිරිය මරාදැමීම ගැන එල්ලවූ චෝදනාවෙන් නිදොස් කොට නිදහස් කලේය. කෙසේ වුවද මෙම තීන්දුව ගැන මෙන්ම රට තුලද ඔහු කෙරේ වූයේ ඉතා අයහපත් ආකල්පයකි. මිනී මැරුවේ වංගෙඩියදැයි ඇතමුන් ප්‍රශ්න කලහ. මෙහි ප්‍රතිඵලයක් ලෙසදෝ ඊලඟ මැතිවරනයේදී ආචාර්ය කොල්වින් ආර් ද සිල්වාට තම පාර්ලිමේන්තු අසුන පවා අහිමි විය. දෙමසකට පසු එංගලන්තය බලා ගිය සතාසිවම් එහිදී ඉවෝන් ස්ටීවන්සන් හා විවාහ වූ අතර ඔවුනට දරුවන් තිදෙනෙකු ලැබිණ. සතාසිවම් මහත්මියගේ දරුවන් සිවු දෙනා ඇතුළුව දරුවන් හත් දෙනාම හැදුනේ වැඩුනේ එකටය.
පසු කලක සිය පවුල සමඟ මැලේසියාවේ පදිංචියට ගිය ඔහු එරට ක්‍රිකට් කණ්ඩායමේ නායකත්වය ද හෙබවූ අතර 1977 දී හෘදයාබාධයකින් මිය යනවිට ඔහුගේ වයස 61 කි.
මේ පිළිබඳ දීර්ඝ අධ්‍යනයක් කල කීර්තිමත් විද්වතෙකු වන මහාචාර්ය රවීන්ද්‍ර ප්‍රනාන්දු පවසන්නේ සතාසිවම් තම බිරිය මරා දැමුවේ යයි ලමුන් දරුවන් මෙන්ම පවුලේ සාමාජිකයන් විශ්වාස නොකරන බවයි. එහෙත් ක්‍රිකට් ක්‍රීඩකයකු ලෙස සතාසිවම් ලද ප්‍රසිද්ධිය හා ඔහුගේ ඉහල සබඳතා මත ඔහු මෙසේ නිදහස් වූ බව සිතන්නෝද සිටිති. (චාමර සිරිවර්ධන )

පසු සටහන
සිඩ්නි ස්මිත් ගේ උපකල්පනය අනුව මිනීමැරුම කරන ලද්දේ විලියම් විසිනි. රෙජිනා මරා දැමීමට පෙර විලියම් ඇයට ලිංගික ප්‍රහාරයක් එල්ල කල බව සිඩ්නි ස්මිත් ඔහුගේ මෝස්ට්ලි මඩර් පොතේ සඳහන් කරයි. තවද රෙජිනා ඝාතනය කිරීමෙන් වසර ගනනාවකට පසු විලියම් තවත් කාන්තාවකට ලිංගික අපයෝජනයක් කල බව වාර්තා විය​. සතාසිවම් ගේ දරුවන් මෙන්ම ඔහුගේ නැන්දනිය එනම් රෙජිනාගේ මව සතාසිවම් මිනීමරුවා බව විශ්වාස නොකලහ​. බිරිඳගේ මරණින් පසු ඔහු තම නැන්දනිය බැලීමට ගිය අතර ඇය ඔහුව ආදරයෙන් පිලි ගත්තාය​. සතාසිවම් මිය ගියේ වැල්ලවත්ත බීච් වාඩියේදී සිටියදී හටගත් හෘධ ආබාධයකින් බව කියවේ.
1998 වසරේදී මීගමුව රෝහලේදී එක් රෝගියෙක් මට කතාවක් කීවේය​. වරක් ඔවුන් යාල සංචාරයකට ගොස් රාත්‍රියේ සාදයක් දැමූහ​. එහිදී සරමක් ඇඳි එක් වයස්ගත ගැමියෙකු රාත්‍රී සාදය තිබූ ගිනිමැළය වෙත ආවේය​. සාදය පැවැත්වූවෝ මේ ගැමියාටද මත්පැන් බීමට දුන්හ​. ටික වේලාවක් යන විට බීමත් වූ ගැමියා විකාර කිරීමට පටන් ගත්තේය. හදිසියේම තම සරම එසවූ මහළු ගැමියා තමන් ගේ පුරුෂ ලිංගය පෙන්වා ” සර් මම තමයි විළියම් මම සතාසිවම් මහත්තයාට දුන්නේ මේකෙන් තමයි ” කියා කීවේය​. මගේ රෝගියා සහ ඔහුගේ මිතුරන් ඉන් විමතියට පත් වූහ​.
මේ කතාවේ සත්‍යතාවය මම නොදනිමි. එහෙත් විළියම් තවමත් ජීවතුන් අතර කොහේ හෝ සිටිනවා විය හැක​.

විළියම් (රෙජිනා සතාසිවම් ඝාතනය සිදුවූ කාලයේදී ගත් චායාරූපයකි )
%d bloggers like this: