Menu Close

           නිවැරදි  මනසිකාරය 

  392584_6432_2 [- පූජ්‍ය, ‘කොත්මලේ කුමාර කස්සප තෙරුන් වහන්සේගේ’ දේශනයක් ඇසුරෙනි . ]

මේ දේශනය දමන්නට හේතුවක් වූයේ මා ලැබූ අත් දැකීමක් හෙයිණි. ස්වාමින් වහන්සේගේ සම්පූර්ණ දේශනය ලිපිය අවසානයේ ‘යූ ටියුබ් ලිපිනයේ’ ඇත.

කලකට පසුව හමු වූ හිතවතෙක් මට කියා සිටියේ ඔහු, ‘අහවල් ස්වාමින් වහන්සේගේ’ , ශ්‍රාවකයෙක් බවය. ඔහු කියා සිටියේ ඒ ස්වාමින් වහන්සේගේ බණ දේශනා ඇසූ බොහෝ දෙනෙක් රහත් වී ඇති බවය. කාටවත් කියන්න එපා යයි ඔහු මට කියා සිටියේ, …”ඔහුද, ‘අනාගාමී බව’ ලබා ගෙන ඇති බවය”… එයට, ‘හිනා වෙනවාද, නැතොත් අඬනවාද’, කියා අදහසක් මට ඒ වෙලාවේ ඇති නොවුයේ, ඔහුගේ අනෙක් ආකාරයේ ඇදහීම් ගැන මා දැන සිටි හෙයිනි.

මා දන්නා විදියට ඔය කියන ‘අනෙක් අන්ධ ඇදහීම්’ එක්ව, අඩුම තරමේ ඔහුට ‘සුතවාදී’ කෙනෙක් වන්නට වත් නොහැක.   

මේ ලින්ක් එකේ ආකාරයට ස්වාමින් වහන්සේ වදාළ දෙය කෙටියෙන් පවසන්නේ නම්, ‘සුතමය භාවය’ හෙවත් දහම් ගැන ඇති තාර්කික අවබෝධය නිසා, එය, ‘සෝතාපන්න’ යයි සේ සිතීම වැරදි බවය. මගේ හිතවතා පමණක් නොව ඔහු පිළිපදින, දහම ගැන, ‘සිංහල පද නිරුක්ති’ සපයා දෙන ඒ මහණුන් වහන්සේ ද, ඒ මෝහය නිසා ඒ පටලැවිල්ලේ හිරවී, රහත් වී යයි සිතාගෙන ඇත. ඒ අනුව ඔහු අනෙක් අයට, ‘රහත් සහතික’ දේ 

මේ දේශනාව දිගය. බොහෝ කල්පනාවෙන් ඇසිය යුතුය. ගැඹුරුය. එපමණ කාලයක් නැති කෙනෙක්, ඒ තරම් කාලයක් සිත කේන්ද්‍රගත කල නොහැකි කෙනෙක් වෙනුවෙන්, කෙටියෙන් එකින් එක එහි සාරාංශය පහත සේ ලීවෙමි.   

  1. ශ්‍රැතවත් බව හෙවත්,  ‘සුතවත් බව’ හෙවත් ‘ධර්මය ඇසීමෙන් නිවැරදිව අවබෝධය ලැබීම’, නිසා සෝතාපත්ති ඵලය ලැබී ඇති යයි වැරදි අදහස කෙනෙක් ඇති කර ගනී. ‘සුතවත් බව’ සහ සෝවාන් ඵලය එකක් නොවේ. 
  2. නමුත් සුතවත් ශ්‍රාවකයා ‘මනසිකාරය’ හෙවත් ඒ ඉගෙන ගත් දහම් විමර්ශනය කරන විට, එහි ප්‍රතිඵලයක් සේ සෝතාපත්ති, හෙවත් ‘සෝවාන්’ ආදී ඉහල මානසික තත්වයන්ට පැමිණේ. 
  3. යම් දුකක් හටගන්නාවා නම් එය හට ගන්නේ අවිද්‍යාව හෙවත්, ‘චතුරාර්ය සත්‍යය නොදැනීම’ නිසාය. එය ‘අනුපස්සනාවක්’ හෙවත්, ‘නුවණින් මනසිකාරය කිරීමක්’ යයි කියයි. [සුත්ත නිපාතයේ, ‘ද්වේතානුපස්සනා’ කියා දේශනාවක මෙය පැහැදිළිව සටහන් කර ඇත.]
  4. අවිද්‍යාවෙන් , ‘නිරෝධය’ පිළිබඳ දැකීම තවත් ‘අනුපස්සනාවක්’ වේ. මේ කාරනා දෙක හෙවත්, අ). අවිද්‍යාව හට ගැනීම, ආ). අවිද්‍යාවේ නිරෝධය දැකීම යන කරුණු දෙක ‘ද්වේතානුපස්සනාවක්’ සේ හැඳින් වේ. 
  5. පංච උපාධාන ස්කන්ධය හෙවත් රූප, වේදනා, සංඥා, සංස්කාර සහ විඥාන යන කොටස් පහකි. රූප යනු වින්දන ලෝකයයි. එය රූපයක්, සුවඳක්, ඇසීමක්, දැනීමක් හෝ ස්පර්ශයක් විය හැක. සරළ බව සඳහා එහි යමක් ඇසෙන් දැකීම පමණක් සලකමු.    
  6. අන්ධකාරයේ අපට යමක් නොපෙනේ. යම් වර්ණ සටහනක් හෙවත් බාහිර වස්තුවකින් එන ආලෝකය ඇහැට වැටීමෙන් රූපය පෙනේ. ඒ රූපය පෙනීමේදී, සත්ව හෝ පුද්ගල හෝ ආත්ම භාවයක් අප ලඟට ආවේ නැත. එවැනි අනාත්ම ලක්ෂයක් තිබුණු තැනක, අප හිතෙන ඇසුරු කල දේවල් අනුව ඒ වස්තුව හඳුනා ගනිමු. 
  7. එය එවිට ඇලෙන්න සුදුසු, ගැටෙන්න සුදුසු යයි සටහනක් සිතේ ඇති විය. සිතේ තිබුණු ආශ්‍රව, සිතේ තිබුණු කෙලෙස් අනුව, ඒ බාහිර රූපයේ තිබෙන දේවල් සේ කල්පනා කළෙමු. එනම් රූපයේ නිරෝධය අප නොදුටුවෙමු. එනම් රූපය හට ගත් බව දුටුවේත් නැත. රූපය නිරෝධ වූ බව දුටුවේත් නැත. එය අනාත්ම ගනුදෙනුවක් බව අප දුටුවේද නැත. පුද්ගල බවක් මැවිණ. කුඩා දරුවෙක් ලොකු වෙනවා අප දැක ඇත්තෙමු. එහෙත් ඒ ළමයාගේ මුල් කාලය සහ පසු කාලය එකම පුද්ගලයා සේ වැරදි ලෙස අප හඳුනා ගනිමු. නිත්‍ය නොවන්නේ අනිත්‍යය වේ. එනම්, අනිත්‍යය දුක බව පැහැදිළිය. 
  8. දුක එවිට, ඇලෙන දෙයක් හෝ ගැටෙන දෙයක් නිසා ඇති විය. ඒ දේ විඳින අනෙක් පැත්තේ සිටින ‘මම’ යන සංකල්පයද නිර්මාණය වී ඇත. එනිසා පුද්ගල බව, මමත්වය පවත්වන විටද එක දිගට ජීවත් වන ‘මම’ යන්නක් හරහා දුක් විඳීම සඳහා වූ, ජාති ජරා මරණ විඳින තමාගේ පැවැත්ම නිර්මාණය වී ඇත. 
  9. රූපය හටගැනීම සහ නිරෝධය දුටුවේ නැති නිසා, එය සත්ව, පුද්ගල සේ උපාදාන සේ කරගෙන ඇත. ඒ නිසා දුක යන්න ගලාගෙන එයි. එනම් රූපය හටගන්නා ආකාරය නොදැකීම අවිද්‍යාව වේ. කැමති හෝ අකමැති බව ගොඩ නගා දුන්නේ චේතනාව වේ. ඒ නුවණ නැති නිසා එය, ‘පුද්ගල භාවයක්’ සේ දැනේ. එය තුන් කාලයේම දකී. “ඊයේ සිටියෙමි”… “අද සිටිමි”… “හෙටද සිටින්නෙමි”, සේ අප මායාවක පැටලී ඇත.  
  10. ඒ පුද්ගල භාවය නිවනක් සේ බුදුන් වහන්සේ දේශනා නොකරයි. එනම් නිවන දකින්නට පුද්ගල භාවය ඉක්මවා යා යුතුය. …  “මහණෙනි, තොපගේ නොවේ නම් ඉන් ඉවත් වන්න- බුදුන් වහන්සේ. 
  11. එවිට, ‘ඇහැ’ දුරු කල යුතුය. ‘රූපය’ දුරු කල යුතුය. එනම්, අවසානයේ විඥානයෙන් ඇස ඇසුරු නොවන්නේ කෙසේද? ඇස සහ රූපය නිසා ‘චක්ඛු විඥාණය’ හටගනී. ඇස සහ රූපය නැති නම් චක්ඛු විඥාණය හට ගන්නේ නැත. ඇස අනිත්‍ය නම්, රූපය අනිත්‍ය නම් ඒ නිසා චක්ඛු විඥාණයද අනිත්‍ය වේ.හේතුව අනිත්‍ය නම් ඵලය අනිත්‍ය වේ. ඇස අනිත්‍ය වන්නේ, වර්ණ සටහනක් නැත්නම් රූපය දැකිය නොහැකි හෙයිණි. මුලින් දුටු රූපයක් නැවත දැකිය නොහැක. හටගෙන නිරුද්ධ වූයේ නම් එය අනිත්‍යය.
  12. අනිත්‍ය, දුක්ඛ, අනාත්ම යන්න ත්‍රිලක්ෂණය වේ. [අනිච්චා මිසෙක ‘අනිච්ච’ කියා වචනයක් නැත. අනිච්චාවත සංඛාරා යයි කියන්නේ එහෙයිණි.] සාමාන්‍යයෙන් අප එදිනෙදා දකින දේවල් වෙනස් වීම අනිත්‍ය යයි කියනවාට වඩා, ‘අනිත්‍ය යන්න ගැන බුදුන් වහන්සේගේ දේශනාව ඉතා ගැඹුරු වේ.  එනම් හේතු ඇතිවන විට ඇතිවන, හේතු නැතිවන විට නැතිවෙනවා යයි දකින කෙනෙකුට පමණක් නිවැරදිව අනිත්‍යය මෙනෙහි වේ.
  13.  කෙනෙක්ට හිසේ රුදාවක් ඇත්නම්, එය නැතිවී ගිය විට සුවයක් දැනේ යන්න අනිත්‍යය නිසා දුකක් ඇති වේ යන්නට පරිබාහිර බවක් පෙනේ. නමුත් බුදුන් වහන්සේ උගන්වන අනිත්‍යය ඊට වඩා බොහෝ ගැඹුරු දෙයකි. බුදුන් වහන්සේ දේශනා කලේ, ඇති දෙයක ඇති දුක නැතිවීම නොවේ    
  14. අනිත්‍යය ගැන දේශනාව වන්නේ, ස්කන්ධ ධර්මයේ හටගෙන නිරෝධ වීම ගැන කීමයි. එතන ඔළුවක් හෝ කැක්කුමක් නැත. ඔළුව කැක්කුම හටගත්තේ මටය කියා පුද්ගල භාවයක් එතන නැත. එනම් ඔළුව කැක්කුමේ දුක හෝ ඉන් මිදීමේ සැප විඳින්නේය කියන, විඳින ‘මම’ නැත. මුලින් දුටු රූපයක් නැවත දැකිය නොහැක. හටගෙන නිරුද්ධ වූයේ නම් එය අනිත්‍යය. හටගෙන නිරුද්ධ වූ දෙයකි. හටගත් රූපය දිගටම දකින්නේය යන මෝහය, අනිත්‍යය දකින කෙනෙක්ට නැත.
  15. එම අවිද්‍යාව නිරෝධ වීම සඳහා අපට ප්‍රතිපදාවක් අවශ්‍ය වේ. එය සීල, සමාධි සහ ප්‍රඥා සේ ඉදිරියට යයි.  සීලයට මානසික සංවරයක් නැත. එය කය වචනය දෙකේ සංවරයයි. සිතුවිල්ලකින් කිසිම ශික්ෂා පදයක් බිඳෙන්නේ නැත. කායික වාචසික සංවර ඇති කිරීම සීලයකින් ඇති කෙරේ. මානසිකව කෙලෙස් ඇති විය හැක. එවිට ඉන් ඉවත්වීමට සමාධිය අවශ්‍ය වේ. 
  16. කය වචනය සංවර වී ඊළඟට ප්‍රඥා ඇති වේ. ඒ අවස්ථාවේ දී රූපය අනුව [ශබ්ද ගන්ධ රස ස්පර්ශ අනුව] කාමය අනුව කරන දේ එහදී ඔහුගෙන් ඇති වන්නේ නැත. සමාධිය ලැබූ කෙනෙක් සීලය කඩා ගන්නේ නැත. ප්‍රඥාව ලබු කෙනෙක් සීලය හෝ සමාධිය කඩා ගන්නේ නැත.  ප්‍රථම ධ්‍යානය තබාගෙන කාමය සම්බන්ද මනසිකාර නැත. කාමය සම්බන්ද මනසිකාර ඇත්නම්, එතන ප්‍රථම ධ්‍යානය නැත.   

මගේ හිතවතා ද මෙය බලනු ඇතැයි සිතමි.  

පින්බර පොහෝ දිනක් වේවා… !    

https://www.youtube.com/watch?v=DPelgKhZICk&feature=youtu.be          

      

 

%d bloggers like this: