Menu Close

බොරු කීමට සූදානම් වීම: පළමු වසරට ළමුන් ඇතුළත් කිරීමේ තරග

(2020 ‍ජූනි 28 වැනි දින ‘අනිද්දා‘ පුවත්පතේ පළවූවකි)

2021 සඳහා රජයේ පාසැල්වල පළමු වසර සඳහා ඇතුළත් කිරීමට නියමිත දරුවන් සඳහා අයදුම්පත් කැඳවෙන බව සඳහන් දැන්වීම පසුගිය දිනවල ජාතික පුවත්පත් ඇතුළු මාධ්‍ය හරහා ප්‍රකාශයට පත්ව තිබිණ. පස් වෙනි විය පසුකරමින් සිටින දූ පුතුන් සහිත (මධ්‍යම පාන්තික) දෙමාපියෝ ඒ හා සමග සුපුරුදු ‘වාර්ෂික තරගයට’ අවතීර්ණ වූ අතර, කුහුඹු කකුල් හා සමාන අකුරින් මුද්‍රණය වී ඇති උපදෙස් පත්‍රිකා සමග වන අයදුම් පත් කට්ටල බැගින් මිලට ගනිමින්, සත්‍ය සහ අසත්‍ය (බව හොඳින් දන්නා) ලිය කියවිලි සූදානම් කරමින් සිය දරුවාට ‘වඩාත්ම හොඳ’ පාසැල ලබා දීමට පොර බැදීමට අවතීර්ණව සිටිති.

තරගය මතුපිටට පෙනෙන ස්වභාවයක් දක්වා රූපාන්තරණය වන්නේ මේ දැන් වුව ද ඇතැම් දෙමාපියන් දරුවා මව් කුස වැඩෙද්දීම මෙම තරගයේ සැලකිය යුතු කොටසක් සඳහා අවතීර්ණ වන අතර, මුදල් ඇත්නම් ‘හොඳ ඉස්කෝල’ ඇති නාගරික පරිසරවලින් නිවෙස් මිලට ගැනීමත්, මුදල් නැත්නම් එවැනි නිවාස හෝ දේපළ ඇති බව පෙන්වන පරිදි ලියකියවිලි සැදීමත් සිදු කරන බව ප්‍රසිද්ධ රහසකි. නිවාස සහ දේපළවල අයිතියට අමතරව විදුලි හා ජල බිල්පත්, ග්‍රාමසේවක සහතික ආදියට ද වැඩි ඉල්ලුමක් මේ පසුබිමෙහි ලැබෙයි. ඒ අතර එක් එක් අනු අංශ යටතේ ඇති යොමු සඳහා ඉල්ලුම වැඩිවන තවත් දේ ඇත. උදාහරණයකට දුෂ්කර සේවයේ වසර පහක් සපුරා ඇති ගුරු සේවයේ නියුතු මව හෝ පියා සිය ඉලක්ක පාසැල සඳහා වන දුර සීමා තනා ගැනීමට ගමනාගමන මණ්ඩල වෙත ගොඩ වෙයි. තමන් ඉගෙන ගත් ‘ජනප්‍රිය’ පාසැලට ආදි ශිෂ්‍ය ‘අයිතිය’ යටතේ දරුවාට ප්‍රවේශය සාදා දීමට ආදි සිසු/සිසුවි සංගම් නිලධාරීන් හමුවට ගොස් සබඳතා අලුත් කරයි. මෙවැනි කටයුතු රැසක් මේ තරගය පසුපස එකිනෙක බැඳී නැගෙයි.

අල්ලස් දෙමින්, සුදුසුකම් සහිත දරුවන් ඉක්මවමින් සිය දරුවාට ‘හොඳ පාසැල’ සාදා දෙන දෙමාපියන් පිළිබඳ පුවත් තවමත් ඉඳහිට නැඟුණ ද අල්ලස් හා දූෂණ කොමිසම මෙන්ම, ඊටත් වඩා අවස්ථාව අහිමිවන දරුවන්ගේ දෙමාපියන්ගේ උකුසු ඇසට බිය වීම නිසා ඒ සිදුවන්නේ සාපේක්ෂව අඩු අගයකින් බව පෙනේ. එහෙත්, නගරයේ පාසැල ආසන්නයේ හරි හෝ වැරදි අයුරින් පදිංචිය තනමින් දරුවන්ට දොර විවර කරදීමට සිදු කරන වෙහෙස නම් ඉහළ යනු මිස පහළ යනු නිරීක්ෂණය කළ නොහැකි ය.

මේ සියල්ල කුමකට ද?

මාර්ගය සඳහා ප්‍රවිශ්ට වන ස්වරූපය ශිෂ්ට හෝ අශිෂ්ට විය හැකි වුව ද සියලු දෙමාපියන්ගේ අභිප්‍රාය යහපත් පදනමක් මත පිහිටයි. එනම්, සිය පුතු හෝ දියණිය වඩාත් හොඳ අධ්‍යාපනයක් ලැබෙන, පිළිගත් පාසැලක අධ්‍යාපනය සඳහා යොමු කිරීම ය. නිදහස් අධ්‍යාපනය යටතේ සියලු දරුවන්ට නොමිල අධ්‍යාපනය ස්ථිරව ඇත්තේ වුව, නාගරික හා ග්‍රාමීය වශයෙන් ද, ජනප්‍රිය හා ජනප්‍රිය නොවන වශයෙන් ද ඇතුළුව විසල් ධූරාවලියක බෙදී පවතින මෙරට පාසැල් අතුරින් සිය දරුවා තරමක් හෝ තෘප්තිකර මට්ටමක පාසැලකට ඇතුළු කරවීම බහුතර දෙමාපිය සිහිනය වී තිබේ. දරිද්‍රතාවයෙන් පෙළෙන මෙන්ම ඈත දුෂ්කර පළාත්වල දෙමාපියන්ට පමණක් මේ සිහිනය අත හැර ‘දුෂ්කර සේවය’ නියත හෙයින් පැමිණෙන ගුරුවර ගුරුවරියන්ගේ සහායෙන් දිවෙන ‘දුෂ්කර’ පාසැලකට සිය දරුවා ඇතුළු කොට සැනසීමට සිදු වේ. වත්කමක් ඇත්නම් සහ ඉහත තරගය හා ගැටීමට අකමැති නම් යමෙකුට සිය දරුවාට ජාත්‍යන්තර පාසැලක දොරටුව විවර කළ දිය හැකි ය.

‘හොඳම පාසැල -ළඟම පාසැල’ යන සංකල්පය පිළිබඳ කියැවුණු දැන්වීමක් පසුගිය වසරවල නිරන්තරයෙන් ජාතික ගුවන්විදුලි නාලිකාවල අසන්නට ලැබිණ. එහි පදනම ගොඩ නැගී තිබුණේ සියලු පාසැල්වලට සම-පහසුකම් සපයමින් පාසැල් සඳහා මේ හමුවන තරගය අවම කිරීම බව ද කියැවිණ. නමුත් අලංකාර ගීතමය ගුවන්විදුලි දැන්වීම නොඉක්මවූ සංකල්පය කෙළවර 2020 වසරේ දී ද පෙර තරගය කැඳවා ඇත.

අපි රටක් වශයෙන් දිගු කලක් මුළුල්ලේ වචනාර්ථ වෛශ්‍යා වෘත්තියේ යොදවමින් සිටිමු. ප්‍රජාතන්ත්‍රවාදය සිට නිදහස දක්වා ද, ධර්මිෂ්ඨ සමාජයේ සිට යහ-පාලනය දක්වා ද අප වචන කැඳවූයේ එහි අර්ථය සාක්ෂාත් කරනු පිණිස නොවේ. පාසැල් පිළිබඳ මෙම තරගය අපට යෝජනා කරන්නේ ද ඒ හා සමාන ක්‍රියාවලියකි. සියල්ල පසෙක තබා පාසැල් සඳහා දරුවන් ඇතුළු කිරීම සම්බන්ධ නිවේදනය ගන්න. එය පූර්ණ වශයෙන්ම පවතින ධූරාවලිය දැඩිව අනුමත කරන, පවත්වා ගෙන යාමට යෝජනා කරන සහ සහාය දෙන ලේඛණයක් මිස සමාන තත්ව අනාගත පරපුර වෙත තිළිණ කිරීමට යෝජනා කරන ලියවිල්ලක් නොවේ. අංග ගණනාවක් ඔස්සේ ලකුණු ලැබෙන පිළිවෙල යෝජනා කරන එහි ඇති ඉලක්කයම නගරයේ ජනප්‍රිය පාසැල් වෙත ළමුන් ඇතුලත් කිරීම සඳහා ක්‍රමයක් පෙන්වීම මිස 2021 වර්ෂයේ සය වැනි වියට පැමිණෙන ලාංකික දරු පරපුර පාසැල් වෙත ආදරයෙන් පිළිගෙන අනාගතය වෙත කැඳවාගෙන යාම නොවේ.

දැන් ජනප්‍රිය පාසැල් ඉලක්ක කරන දරුවන් බොරු කීමට පුරුදු විය යුතු ය. ළමා කාලයේ පටන් තමන් නගරයේ ආසන්න තැනක ජීවත් වූ බව සම්මුඛ පරීක්ෂණයේ දී වැමෑරීමට හුරු විය යුත්තේ බොරුව පාසැලේ යතුර තමන් වෙත තබන පාලම තනන හෙයිනි. බොරු කියන දරුවා කෙසේ වුව, බොරු තනන හා කියන දෙමාපියෝ සිය දරුවාගේ යතුර වෙනුවෙන් තමන් වෙනත් සුදුසු දරුවකුගේ යතුරක් සොරකම් කරන බව ද නොසිතති.

නමුත්, යළිත්, මේ සියල්ල කුමකට ද?

යහපත් අරමුණක් වෙනුවෙනි. දරුවාට හොඳ අධ්‍යාපනයක් ලබා දීම සඳහා ය. කෙසේ වෙතත්, මේ සියලු කටයුතු මධ්‍යයේ දිගින් දිගටම අප වෙතින් ගිලිහෙන සාමූහික වගකීම හා වගවීම හේතුවෙන් ‘විෂයයගත අධ්‍යාපනයක්’ දරුවන් වෙත තැබීමට හැකි වුව ද දියුණු සමාජයක් තනාගැනීමට නම් අපට ඉඩ නොලැබෙන බව මම යෝජනා කරමි.

සාමූහික පුරවැසි වගකීමක් ඇති සමාජයක් කටයුතු කරනු ඇත්තේ සියලු දරුවන් එක හා සමානව දකිමිනි. තමන්ගේ දරුවාට ආදරය කිරීම පසෙකින් නොතබමින්ම සමස්ථ සමාජයේ දරුවන් ද ඔහු හෝ ඇය හා සමානව දැකීමට එවැනි සමාජයකට හැකි ය. අප එවැන්නන් නම් ඉල්ලා සිටිය යුත්තේ සැමට සම අවස්ථා සහිත අධ්‍යාපනයකි. බොරු කියූ දරුවන්ට පාසැල් දොර විවර කෙරෙන හා යමක් කමක් නැති පවුල්වල දරුවන්ට වේදනාව හිමිවන ක්‍රමයක් නොවේ. එවිට පමණකි අධ්‍යාපනයෙන් අනතුරුව ජීවිතයට පිවිසීමට යහපත් සමාජයක් දරුවා අභියස නිමැවෙන්නේ.

අධ්‍යාපන අමාත්‍යාංශයේ ඉල්ලුම් පත්‍ර කැඳවීම මූලික අත්‍යාවශ්‍ය තොරතුරු විමසීමට පමණක් සීමා කෙරෙන, තනි ඒකල දැන්වීමකට සීමා වන මොහොත තුළ සැබවින්ම ‘ළඟම පාසැල-හොඳම පාසැල’ වී පවතිනු ඇත. ඒ සඳහා අධ්‍යාපනයේ සැබෑ සම අවස්ථා වෙනුවෙන් වන සමාජ වගවීමක් සහිත අරගලයක් අවශ්‍ය ය.

-ප්‍රියන්ත ෆොන්සේකා –

%d bloggers like this: